ගොවි බිම්වලින් නැගුණු
අලූත් අවුරුදු අඳෝනාව
නරක පෙර නිමිත්තක් ද?
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ගෙවී ගිය අලූත්
අවුරුදු දවස් ටික, ‘මාර මාර දේවල්’ සිදු වුණු වකවානුවකි. එය ‘මාර මාර‘ එකක් වූයේ, කනකර බඩු උගස්කර මිට
මොළවා ගත් මුදලින් බැරිමරගාතේ අවුරුදු කෑ නිසා ම නොවේ. මෑතක පටන් මුළු රට ම
වෙළා ගෙන ඇති ආර්ථික අර්බුදය තව තවත් උත්සන්න වෙමින් තිබෙන බව පෙන්නුම් කෙරෙන
සිදුවීම් කිහිපයක් ම අලූත් අවුරුදු සමයේ දී එළි දුටු බැවිනි!
ජන මාධ්‍ය ඔස්සේ දිග හැරුණු, ඉන් ප‍්‍රබල ම
සිද්ධීන් වාර්තාවී තිබුණේ,
රටට ආහාර සපයන කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයෙනි. වඩාත් විස්තර සහිතව
කියනවා නම් එළවළු වගා ක්ෂේත‍්‍රයෙනි. අලූත් අවුරුද්ද ආසන්න
වෙත් ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙනා මෑ කරල්, වම්බටු, කැකිරි, පිපිඤ්ඤා, වට්ටක්කා සහ තක්කාලි ආදී එළවළු කිලෝවක්, රුපියල් විසිපහේ තොග
මිලටවත් විකුණා ගන්නට බැරි වුණු බව ඉන් එක් ප‍්‍රවෘත්තියකි. මාධ්‍ය ඔස්සේ දිග
හැරුණු, අතිශයින් ම කණගාටුදායක
අනෙක් ප‍්‍රවෘත්තිය වාර්තා වූයේ හඟුරන්කෙත, අඹලියැද්ද ප‍්‍රදේශයෙනි. තක්කාලි වගාවෙන්
පැරදුණු ගොවියෙක් සියදිවි නසා ගන්නට තැත් කිරීම, ඒ ප‍්‍රවෘත්තියයි.
ගොවීන්ට සිය අස්වැන්න සාධාරණ මිලකට අලෙවිකර ගන්නට
බැරිකමක් උද්ගත වීම සහ එයින් පැන නැගෙන පීඩනය හමුවේ සියදිවි නසා ගන්නට පෙළඹීම මහත්
අවාසනාවන්ත තත්ත්වයකි. ලියුම්කරුගේ අවබෝධයේ
හැටියට, අපේ රටේ ‘ගොවි දිවි නසා ගැනීමක්’ අසන්නට ලැබෙන්නේ වසර
විසි හතරකට පමණ පසුව ය. එනම් 1994 වසරේ අගෝස්තුවෙන්
පසුව ය.
අප‍්‍රියෙල් 12 වැනි දා මාධ්‍ය වාර්තාවල කියැවුණු ආකාරයට, තක්කාලි ගොවියාට
අස්වනු නෙලීම සඳහා රුපියල් 3000ක කුලියක් වැයවී තිබේ. ඔහුගේ අස්වනු ප‍්‍රමාණය
තක්කාලි පෙට්ටි 30කි. ඒවා කරින් ලොරියට ගෙන
යාම සඳහා තවත් රුපියල් 3000ක කුලියක් ද, කොළඹට ලොරි කුලිය
රුපියල් 3750ක් ද වැයවී තිබේ. සමස්ත වියදම රුපියල් 9750කි. එහෙත් කොළඹ තක්කාලි
මිල පහත බැසීම නිසා, ඔහුට ලැබී ඇති අලෙවි
ආදායම රුපියල් 1100කි! එයින් ලොරි කුලිය
පියවන්නට ද බැරි ය!
එයින් කලකිරීමට පත් ඔහු යම් වස වර්ගයක් පානය කරන්නට උත්සාහ
කරද්දී, බිරිඳ එය දැක ඔහු රෝහල්
ගතකර තිබේ. ඇය එය දුටු නිසා ද, වස සුළු ප‍්‍රමාණයක්
පෙවී ඇති නිසා ද, හඟුරන්කෙත තක්කාලි
ගොවියාගේ ජීවිතය ගැලවිණි. සිද්ධිය පුවත්පත් සහ
අන්තර්ජාල මාධ්‍යවල සඳහන්ව තිබුණේ අප‍්‍රියෙල් 12 වැනි දා ය. එනම් අලූත් අවුරුදු
ඔන්න මෙන්න කියා තිබියදී ය.
දඹුල්ලේ සහ කොළඹ තොග මිල අසාමාන්‍ය ලෙස පල්ලම් බැස්ස ද, එළවළු වගා නො කෙරෙන ( එළවළු හිඟ) පිට පළාත්වල නම් එළවළු
මිල පහත වැටුණේ ම නැත. ලියුම්කරු ජීවත් වන
ගාල්ල ප‍්‍රදේශයේ (කරාපිටිය, තලගහ සහ නරාවල හන්දිය) අප‍්‍රියෙල් 13 වැනි දා වම්බටු ග‍්‍රෑම්
පන්සීය විකිණුනේ රුපියල් 125ට ය. අමු මිරිස් ග‍්‍රෑම්
සියය රුපියල් 35ට ය. එළවළු වර්ග බොහොමයක ම
මිල ග‍්‍රෑම් 250ක් රුපියල් 40ක් හෝ 50-60ක් විය.
මෙහි තේරුම වන්නේ, පාරිභෝගිකයා ගෙවන ඉහළ මිලෙන් සොච්චමක් හෝ ගොවියා අතට නො
යන බවයි. ඔහුගේ සල්ලිය
අතරමැදියන් විසින් දරුණු ලෙස ගසා කන බව යි.
හඟුරන්කෙත තක්කාලි ගොවියා
නො මළ බව ඇත්ත ය. එහෙත් යළිත් මේ රටේ
ගොවීන්ට වස බී සියදිවි නසා ගන්නට තරම් ආර්ථික පීඩනයක් නිර්මාණයවී ඇති බව
අකමැත්තෙන් වුවත් පිළිගැනීමට සිදු වේ. වී, එළවළු, ගම්මිරිස් ආදී බෝග වවන
ගොවීන් බොහොම දෙනෙකුට සිය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නො
ලැබෙන බව රහසක් නොවේ. අලූත් අවුරුද්ද
ආසන්නයේ පොළොන්නරුවේ ‘නාඩු වී’ මිල පැවතියේ රුපියල් 30ක් තරම් නරක තත්ත්වයක
ය. යම් මිලක් වැටෙමින් තිබුණේ ‘සම්බා වීවලට’ ය. වී වගාව නො කෙරෙන ප‍්‍රදේශවල, අලූත් අවුරුදු සමයේ ‘කන්නට පුළුවන්
තත්ත්වයේ’ සහල් කිලෝවක් රුපියල් 80ක් හෝ ඊට එහා මිල
ගණන්වලට අලෙවි විය. පසුගිය කාලයේ නියං
සායට ගොදුරු වෙමින් ද, කලට වේලාවට පොහොර ටික
නො ලබමින් ද දුකසේ වී වගා කළ ගොවීන්ට දැන් කුමක් සිතෙනවා ඇද්ද?
සිය නිෂ්පාදනවලට සාධාරණ මිලක් නො ලැබීම නිසා ගොවීන් දිවි
නසා ගැනීමේ ප‍්‍රවණතාවයක් උද්ගත වූයේ 1990 දශකයේ මුල භාගයේ සිට ය. වී අස්වනු කිලෝවේ මිල
ඔරොත්තු නො දෙන තරමට පහත වැටීම නිසා මුලින් ම සිය දිවි නසා ගත්තේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ
ගොවීන් ය. එකල වී අලෙවිය මහා ප‍්‍රශ්නයකි. සාධාරණ මිලක් කොහෙත්ම
නො ලැබේ. ඉතින් ආදායම සොච්චමකි. ඒ මදිවාට වගාවට ලබා
ගත් ණය වහාම ගෙවන්නැයි බැංකුවලින් ද රතු ලියුම් එයි. පොහොර ටික ද කෘෂි
රසායන ටික ද ගත්තේ ණයට ය. අස්වනු නෙලීමෙන් පසුව
ගෙවන පොරොන්දුව පිට ය. දැන් ඒ වෙළෙන්දන් ද ‘දත් විළිස්සා ගෙන’ ගොවීන් ණය ගෙවන්නට
එනතුරු බලා සිටිති. වී ටික වුකුණා ගන්නට ක‍්‍රමයක්
හෝ මිලක් නැති බැවින් ණය ගෙවන්නට සල්ලි කොයින් ද?
ආණ්ඩුවේ වී මිල දී ගැනුම් යාන්ත‍්‍රණය වූ ‘වී අලෙවි මණ්ඩලයට’ එකල ප‍්‍රමාණවත් තරම්
ගබඩා නො විණි. මුදල් ද නො විණි. ඔවුන්ට වී මිල ස්ථාවර
මට්ටමක රඳවා ගන්නට නො හැකි විණි. මහ කන්නයේ වී අස්වැන්න
එන්නේ සිංහල හා දෙමළ අවුරුද්ද කිට්ටු කාලයේ ය. ගොවීන් අවුරුද්ද කන්නට, ගෙදර දොර යුතුකම් ඉටු
කරන්නට යොදා ගන්නේ වී ටික විකුණා ලබා ගන්නා අහිංසක සල්ලියයි. වී විකුණා ගන්නට
බැරිවූ විට ඒ සියලූ අවුරුදු සිරිය කඳුළුවලට හැරෙයි. ඒ කාලයට වී වෙළෙන්දන්
ද ගොවීන්ගේ වී ටික තුට්ටු දෙකට කිරා ගන්නට පෙළඹෙති.
එය 1994 වසරේ මුල් භාගයයි. පොළොන්නරුවේ ‘ ඕනෑගම’ විසූ බී. ජී. ගුණපාල (42) නම් වී ගොවියා ණය බර
දරාගත නො හැකිව වස බී දිවිනසා ගත්තේ ය. ඒ පිළිබඳව පැවති හදිසි මරණ
පරීක්ෂණයේ දී, මියගිය ගුණපාල ගොවි
මහතාගේ මෑණියන් ද සාක්ෂි දුන්නේ ය. ඇගේ සාක්ෂියෙන්
හෙළිදරව්වූයේ අතිශයින් ම අනුවේදනීය පුවතකි. ණය බර දරා ගැනීමට නො
හැකි වීම සහ වී අස්වනු සාධාරණ මිලකට විකුණා ගන්නට නො හැකි වීම නිසු කලකිරුණු තම
සැමියා (ගුණපාලගේ පියා) ද ටික කලකට ඉහත කුඹුරේ
දී ම සිය දිවි නසාගත් බවයි. ඔහු නමින් බී. ජී. හවඩියා (71) ය. බොහෝ දෙනෙකු පවසන්නේ
පොළොන්නරුවේ ගොවි දිවිනසා ගැනීම් රැල්ල ඔහුගෙන් ඇරඹුණු බව ය! එයින් පසුව
පොළොන්නරුවේ පමණක් වී ගොවීන් 21 දෙනෙක් පමණ සිය දිවිනසා ගත්හ. රටේ අනෙකුත් වී වගා ප‍්‍රදේශවල
ද දිවිනසා ගැනීම් සිදු විය.
වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එකල
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ විපක්ෂ (ශ‍්‍රී.ල.නි.ප.) පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකි. ඔහු අතිශය තීරණාත්මක
ලෙස ගොවීන්ගේ අයිතිවාසිකම් පැත්තෙන් පෙනී සිටියේ ය. ගොවීන්ට සාධාරණයක්
ඉටුකරවා ගැනීමේ සටනෙහි පුරෝගාමියා විය. එවකට බලයේ සිටි එ.ජා.ප. ආණ්ඩුවේ පොළොන්නරු ප‍්‍රධානියෙක්
පැවසුවේ ‘ගොවීන් ජොලියට වස බොන
බවයි!’
අවසන, එනම් 1994 වසරේ අගෝස්තුවේ දී මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ‍්‍රී.ල.නි.ප. ක‍්‍රියාකාරිකයන්
පොළොන්නරුවෙන් උඩින් ම පාර්ලිමේන්තු යවමින්, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය (පොදුජන එක්සත් පෙරමුණ) බලයට පත් විය. එතෙක් බලයේ සිටි එ.ජා.ප. ආණ්ඩුවට ගොවීන්ගේ
පීඩනය වෙනුවෙන් ප‍්‍රමාණවත් යමක් කරන්නට බැරි වීම නිසා පැරදී ගෙදර යන්නට සිදු විය. බලයට පැමිණි වහා ම, චන්ද්‍රිකා කුමාරතුංග
ජනාධිපතිනිය ගොවීන්ට සැනසුම ගෙන එමින්, ඔවුන්ගේ බැංකු ණය කන්ද කපා දැමුවා ය!
1992 වසරේ දී ලියුම්කරු
මුලින් ම පොළොන්නරුවට ගියේ,
වී ගොවීන් සියදිවි නසා ගැනීමේ ප‍්‍රශ්නය ගැන සොයා බලන්නට ය. සොයා බලා, එකල ඔහු සේවය කළ ‘ලංකාදීප’ පත්තරයට වාර්තා කිරීම සඳහා ය. ඡායාරූප ශිල්පීන් වන
නලීන් දිල්රුක්ෂ සහ ඇන්ටන් ජෝ මෙන්ම සහෝදර මාධ්‍යවේදී මනෝප‍්‍රිය ගුණසේකර පොළොන්නරු
ගමන්වල ‘ගමන් සගයන්’ වූහ. පොළොන්නරුවේ දී රාජ්
වීරසිංහ සහ ඉන්ද්‍රාණි කේ. ආරච්චිගේ යන ප‍්‍රාදේශීය
මාධ්‍යවේදීහු සහාය වූහ.
ගොවි අර්බුදයට බලපෑ කාරණා අතර, වී අස්වනු නෙලන සමයට
ඒවායෙහි මිල බෙහෙවින් පහත වැටීම, මිලදී ගැනීමේ රාජ්‍ය යාන්ත‍්‍රණය අවුල් සහගත වීම, ප‍්‍රමාණවත් තරම් ගබඩා
පහසුකම් නැතිකම සහ මහා පරිමාණ වී වෙළෙන්දන් විසින් මිල ඒකාධිකාරයක් පවත්වා ගෙන යාම
මෙන්ම කුඩා පරිමාණ වී වෙළෙන්දන්ට කලට වේලාවට බැංකු ණය පහසුකම් නො ලැබීම යන
පීඩාකාරී කාරණා එකල ඉස්මත්තේ ම තිබිණි. පසුකාලීනව හෝ ඒවාට ප‍්‍රමාණවත්
තරම් විසඳුම් ලැබුණේ නැත.
පොළොන්නරුව පමණක් නොවේ. ලංකාවේ ප‍්‍රධාන වී
නිපැයුම් දිස්ත‍්‍රික්කවල අදත් එම ගැටලූ ඇති බව දක්නට ලැබේ. හැමදාමත් ගොවියාට
ලැබෙන්නේ අඩු මිලකි. පාරිභෝගිකයාට අධික
මිලකි.
ලියුම්කරු 1992 වර්ෂයේ පටන් ම මේ
පරස්පරය අත් විඳින්නේ ය! 1992 වසරේ පටන් බලයට පැමිණි කිසිදු ආණ්ඩුවක්, ගොවීන් සහ සහල් පාරිභෝගිකයන් පෙළන මේ ගැටලූව
හරිහැටි විසඳුවේ නැත. (දැන් ඒවා ගැන ලිවීමත්
එපා වෙමින් තිබේ!) පාලකකාරකාදීන්ගේ දැක්ම
කොතෙක් ‘පිරිපුන්’ ද යත්, අද පවා පෞද්ගලික අංශය
සතු වී හෝ සහල් තොග කොපමණ ද? යන්න ආණ්ඩුව දන්නේ නැත. ආණ්ඩුවට ඇත්තේ අනුමාන
ගණන් හිලව් ය!
හඟුරන්කෙත තක්කාලි
ගොවියාගේ සිද්ධිය, ලියුම්කරුට නම් බය
හිතෙන කාරණයකි. එළවළු ගොවීන්ට දැන්
සිදු වන්නට යන්නේ ද, එදා වී ගොවීන්ට සිදුවූ
හදිය ම ද?, යන සිතිවිල්ල නිසා
ඒ බය හට ගනියි!
මිල පහත වැටීම නිසා එළවළු අස්වනු තොග පිටින් ඉවත දමන්නට
සිදු වීම, මෑත භාගයේ සිට වරින්වර
අසන්නට ලැබෙන ප‍්‍රශ්නයකි. එයට විසඳුමක් තවමත් ඉදිරිපත්ව
නැත. මහා ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති ධුරය හොබවන්නේ ප‍්‍රබල
ඇමතිවරයෙකි. ඔහුට අමතරව, පළාත් සභා සියල්ලේ ම ද
කෘෂිකර්ම ඇමතිවරු සිටිති. මේ අයට එකතුවී එළවළු
පිළිබඳ ප‍්‍රශ්නය විසඳා ගන්නට නො හැකි විණි ද?
මින් මතුවටත් තත්ත්වය වෙනස් වන්නේ නැතිනම්, රටේ ග‍්‍රාමීය තලයේ
කැකෑරීම් නතර කළ නො හැකි වනු ඇත්තේ ය!
(මෙය 2018/04/29 ඉරිදා රිවිරෙහි පළවිය)
(පින්තූරය-අන්තර්ජාලයෙනි)
No comments:
Post a Comment