ඉංජිනේරු උපාධි නො ලැබුව ද
පොළොව යට රිංගන රත්නපුරේ මැණික් පතල් බාස්උන්නැහේලා
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(රංජිත් ඉලේපෙරුම)
වර්ෂ 1970 සහ 1980 යන දශකවල රත්නපුර ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ ම මැණික් ව්‍යාපාරිකයන්
සිවු දෙනෙක් සිටියහ. ඔවුන් නම්, ‘රත්නාලෝක මුදලාලි’ යනුවෙන් ප‍්‍රකටව සිටි ඩී. ඩී. විජයගුණරත්න, ‘බුලත් මුදලාලි’ යනුවෙන් ප‍්‍රකටවූ පී. එස්. විජේනායක, ‘නිලානි මැණික්’ යනුවෙන් ප‍්‍රකටවූ නිමල් පතිරණ සහ ‘ගුරුගේ මැණික්’ නමින් ව්‍යාපාරික
කටයුතුවල නියැලූණු කහවත්තේ ජිනදාස ගුරුගේ යන මහත්වරුන් ය. එකල මැණික් මතුවන
අඩවියේ කොතැනක හෝ වටිනා මැණික් ගලක් හමුවුව හොත් පතල්කරුවන් එය නිසැකව ම රැගෙන
යන්නේ, මේ සිවු දෙනාගෙන්
කෙනෙකු වෙත ය. මැණික්වලට ඉහළම මිලක්
ගෙවීම සම්බන්ධයෙන් ඔවුන් ලැබූ ප‍්‍රසිද්ධිය ඉමහත් ය.
පසු කලෙක ඩී. ඩී. විජයගුණරත්න මහතා (රත්නාලෝක මුදලාලි) ව්‍යාපාරික කටයුතු සිය
දරුවන්ට භාර කරමින් මැණික් වෙළෙඳාමෙන් මදක් ඉවත් විය. එහෙත් දිනපතාම පාහේ
උදේ කාලයට මැණික් පතල්කරුවන් සෑහෙන පිරිසක් ඔහු හමු වන්නට රත්නපුර බණ්ඩාරනායක
මාවතේ පිහිටි ‘රත්නාලෝක හෝටලයට’ පැමිණියහ. ඒ ‘රත්නාලෝක මුදලාලි’ ලවා සිය මැණික්වලට ‘මිලක්’ තක්සේරුකර ගන්නට ය. රත්නපුරේ බසින් කියනවා
නම් ‘ඔෆර් එකක්’ ගන්නට ය. ඔහුගේ ‘ඔෆර් එක’ ඔවුන්ට බොහොම විශ්වාස
ය.
දිනක් ‘රත්නාලෝක හෝටලයේ’ දී ලියුම්කරුට ඩී. ඩී.විජයගුණරත්න මහතා මුණ
ගැසුණි. එවේලේ ද කිහිප දෙනෙක්
ඔහුට මැණික් ගල් පෙන්වමින් සිටියහ. ඔහු දැන් මැණික් වෙළෙඳාමේ නො යෙදෙන බව ද ඒ
සැවොම දැන උන්හ.
‘උදේම ටිකක් වැඩ වැඩියි
වගේ නේ ද?’ ලියුම්කරු විමසුවේ ය.
‘මොනවා කියනවා ද
මහත්තයා උදෙන්ම මැණික් ගල් බලන්න තියෙනවා නම් ඒක කොච්චර වාසනාවක් ද?’ යන්න ඔහුගේ ක්ෂණික
පිළිතුර විය!
මැණික් පතල් හා කර්මාන්ත ලෝකයේ බහුතරයක් දෙනා ‘වාසනාව’ විශ්වාස කරති. මැණික් ගලක් හමුවීම, එයට ඉහළම මිලක් ලබා
ගැනීම මෙන් ම, ආරක්ෂිතව මැණික් පතලක් බැසීම ද ‘වාසනාව’ අනුව සිදුවන බව
ඔවුන්ගේ පොදු අදහසයි. රත්නපුරයේ කෙරෙන සම්ප‍්‍රදායික
ගැඹුරු පතල් සහ දෝනා පතල් කර්මාන්තය දෙස බලන ඕනෑම කෙනෙකුට එය පිළි
ගන්නට ද සිදු වේ.
‘දෝනා පතල්’ යනු දේශීය මැණික් පතල්
කලාවේ සුවිශේෂ පතල් මාදිලියකි. අට රියන් හෝ හරි හතරැස්
සිවු රියන් හෝ පතල් වලක්,
තට්ටු විසි පහක්, තිහක් හෝ ඊටත් වඩා
ගැඹුරට කැනීමත්, එහි පතුලේ සිට තිරස්
අතට දෝනා (උමං මාර්ග වැනි) කැනීමත් දෝනා පතල්වල ක‍්‍රියාවලියයි. තිරස් දෝනා කිහිපයක්
වුව කනින අවස්ථා තිබේ. රත්නපුරය අවට
පැල්මඩුල්ල, පාතකඩ, නිවිතිගල, පනගම, මාරපන, දම්බුළුවන, කහංගම සහ කුරුවිට ආදී
ප‍්‍රදේශවල දෝනා පතල් බහුල ය.
පතලයක තට්ටු ගැසීමේ දී තට්ටු දෙකක් අතර තබා ගන්නා ‘සිරස් උස’ හෙවත් පරතරය ‘මිටි රියනකි’. ‘මිටි රියනක්’ යනු, මිට මෙලවූ වැඩිහිටි අතක ඇ`ගිලි නැමෙන ස්ථානයේ
සිට, වැලමිටේ පහත කොණට ඇති
අඟල් ප‍්‍රමාණයයි. සෑම මිටි රියනකට එකක්
බැගින් තට්ටු ගැසීමත්, පතල් වලේ මුළු හතරේ ‘මුල් කණු’ ගැසීමත් දෝනා පතල්වල
ස්වභාවයයි. පොළොවේ පීඩනය නිසා
පතල් වලේ බිත්ති ඇඹරීම හෝ ගිලා බැසීම වැළැක්වීම, එහි අරමුණයි. තට්ටු ගැසීමේ දී පුවක්
පටි දමා, කැකිල්ල ශාකයේ අතු කපා
ගෙනවිත් බිත්ති ආස්තරණය කිරීම ද සිරිතයි. එයින් පතල් බිත්තිවල
ඇති වැලි හෝ පස්, පදාස පිටින් පතල් වල
ඇතුළට රූටා ඒම වළකියි.
දෝනා පතලයක හෑරෙන පස් ඉවත් කෙරෙන්නේ ‘දබරය’ මගිනි. දබරයක් යනු, පතලයේ මතුපිට ඉතා
ශක්තිමත්ව ඉදි කළ රබර් කොට අට්ටාලයක් මත හරස් අතට සවිකළ තවත් රබර් කොටයකි. එය මැදින් යකඩ දණ්ඩක්
සවිකර රවුමට කැරකවිය හැකි සේ දෙපැත්තෙන් හැ`ඩල දෙකක් (දබර අත්) සාදා තිබේ. හරස් අතට සවිකළ රබට්
කොටයේ (දබර කඳ) එතූ කඹවලට, ලොකු කූඩා දෙකක් අමුණා ඇති අතර පතලය පත්ලෙන් පස් හෝ
ඉල්ලම් උඩට ගෙන එන්නේ එයිනි. දෙදෙනෙක් එක්ව හැඬල මගින් දබරය කරකවන
විට, එක් කූඩයක් පස් ආදිය ද
සහිතව වල මතුපිටට පැමිණෙයි. අනෙක් කූඩය හිස් ය. එය වල පත්ලට ගමන් කරයි! ඇතැම් ගැඹුරු පතලක
පතල්කරුවන් වලට බසින්නේ ද දබරයට ඇමිණූ ලෑලි තට්ටුවක නැගිී ගෙන ය!
ගැඹුරු පතලක තිරස් දෝනා කනින්නේ ‘පතු වලේ’ හෙවත් පතලයේ පත්ලේ සිට
ය. එය සිදු වන්නේ ‘මැණික් ඉල්ලම’ පිහිටා තිබෙන ආකාරය
අනුව ය. දෝනාව කනින්නේ, ඉල්ලම කඩා, ගොඩ දා ගැනීම සඳහා ය. උමං මාර්ග බඳු තිරස් දෝනා කැනීම, නිකම්ම කළ හැකි දෙයක්
නොවේ. එය පත්ලට ‘යටි පොලූ’ ද, ඉහළට ‘වහල් පොලූ’ ද සවිකර, හරියට ‘ලෑලි පෙට්ටියක් මෙන්’ සකසාගත යුතු ය! සාමාන්‍යයෙන්
පතල් දෝනාවක් හතර පස් රියනක්වත් පළල ය. ඇතැම් දෝනාවක්, පතල්කරුවන්ට හිට ගෙන යාමට
තරම් උසින් යුක්ත ය.
මෙහි දී ‘පොලූ’ යයි කියන්නේ රබර් කොට මුක්කුවලට ය. දෝනා පතල් වහරේ දී, දෝනාවේ ‘දිග’ කියන්නේ ‘පොලූ’ ගණනට ය. ‘පොල්ලක්’ යනු රියනක් දිග රබර්
කොට මුක්කුවකි. ‘අද අපි පොලූ තුනක් ගැහුවා’ යන්නෙහි තේරුම, එදා දවසේ ඔවුන් රියන්
තුනක් දිගට දෝනාව කැන ඇති බවයි!
එක් දෝනාවක ඉල්ලම කඩා අහවර වූ පසුව තවත් දෝනාවක් කැනීම ද
සිදු වෙයි. එවිට දෙවැනි දෝනාවේ
පස් පතලය මතුපිටට ගෙන එන්නේ නැත. ඒවා පළමුවැනි දෝනාවට
දැමීම සිරිතයි. මැණික් පතලයක දෝනාවක, එනම් පොළොව යට ජීවිතය ‘රැුයක්-දවාලක්’ නො දැනෙන අඳුරු එකකි. වැඩ කිරීම සඳහා අලෝකය සපයා ගන්නේ ‘පතල් ඉටිපන්දම්’ දැල්වීම මගිනි. යම් හෙයකින් ඉටි පන්දම
දැල්වීම ‘අසීරු’ නම් එය නරක පෙර
නිමිත්තකි. එහි තේරුම දෝනාව තුළ ‘වාතාශ‍්‍රය’ හෙවත් ‘ඔක්සිජන්’ හිඟව ඇති බවයි. එවන් තත්ත්වයක් යටතේ
වැඩ කිරීම අන්තරාදායක ය!
අතීතයේ නම් වාතාශ‍්‍රය ලබා ගැනීම පිණිස තිරස් දෝනාවට හරි
කෙලින්, පොළොව මතුපිට සිට තවත්
පතල් වලක් හෙවත් ‘හුළං වලක්’ කනිනු ලැබේ. එවිට දෝනාවට එයින්
වාතාශ‍්‍රය ලැබේ. ‘හුළං වලවල්’ කැනීම දෝනා පතල් කර්මාන්තයේ පැරණි තාක්ෂණ විධි ක‍්‍රමයකි. වර්තමානයේ නම්
බොහොමයක් දෝනා පතල්වලට ‘ජෙනරේටර්’ මගින් විදුලි ආලෝකය ද, විදුලියෙන් ක‍්‍රියා
කරන ‘හුළං මැෂින්’ ද සවිකර තිබේ.
ගැඹුරු පතලයක පත්ලේ සිට, පොළොව මතුපිටට ‘සන්නිවේදන කටයුතු’ කෙරෙන්නේ පතලයේ පත්ල
දක්වා දිවෙන රබර් ‘හෝස් එකක’ ආධාරයෙනි. පත්ලේ සිටින කෙනෙකු
රබර් නළයේ කටට මුව තියා,
‘හබේස්’ යයි කෑගැසූ විට එය පතල
මතුපිටට ඇසේ. මතුපිට සිට ඒ ආකාරයට ම
කෑගැසූ විට, එය පතල පත්ලේ සිටින
අයට ඇසේ. ඉන් පසුව අවශ්‍ය දේ
කතාකර ගන්නේ ද ඒ ආකාරයට ය!
මැණික් පතල් කොතෙක් ගැඹුරු වුව ද, කොතෙක් දුරට දෝනා ගිය
ද, ඒවා ආරක්ෂා සහිතව
කනින්නේ ‘බාස් උන්නැහේලා’ ය. ඔවුන් කිසිවෙක්
විශ්වවිද්‍යාල මට්ටමේ ඉංජිනේරු ආදී උගත්කම් ලද්දන් නොවෙති. වරක් පැල්මඩුල්ලේ
ගැඹුරු පතලයක දෝනාවක් හොරෙන්ම හාරා තිබුණේ, එක්තරා රාජ්‍ය නිලධාරියෙකුගේ නිවසක් යටට ය. ඔවුන්ට ඒ බව දැන ගන්නට
ලැබුණේ, හදිසියේ ම තම නිවසේ
බිත්ති ගිලා බසින්නට හේතුව කුමක් දැයි
සොයා බැලීමේ දී ය. වඩාත් පුදුමය වූයේ, පතලය සහ නිවස අතර දුර
ප‍්‍රමාණය මීටර් 300ක් පමණ වීම ය. එ පමණ දුරක් ඔවුන් හොර
රහසේ ම පොළොව යටින් පැමිණ තිබුණි! යම් මැණික් පතලයක දෝනා
කැනිය යුත්තේ, ජාතික මැණිික් හා
ස්වර්ණාභරණ අධිකාරිය මගින් පනවන කොන්දේසිවලට අනුව ය.
කලකට ඉහත, ලියුම්කරු දන්නා එක්තරා ගැඹුරු මැණික් පතලයක් කනිමින්
තිබ්ණේ කළු ගඟ ඉවුරට මායිම්වූ පෞද්ගලික ඉඩමක ය. එහෙත් මැණික් ඉල්ලම්
තිබුණේ කළු ගඟට ය. ඒ පතලයේ ‘බාස් උන්නැහේලා’ මැණික් ඉල්ලම ලූහුබඳිමින්,
ගං ඉවුරේ සිට මීටර් 70ක් පමණ දුරට එනම්, ගංගාව මැදට ම වාගේ පොළොව යටින් දෝනා ගියහ! එය කළු ගඟට දැඩි ඉඩෝර සමයක් වුව
ද, දෝනාවෙහි වැඩ කළ හැකි
වූයේ ‘අඟල් පහේ පොම්ප සහිත’ ඩීසල් බලයෙන් දුවන
වතුර ඉසින මෝටර් හතරක සහාය ද ඇතිව ය.
ඒ ගැන විමසූ අයට පතල්කරුවන් පැවසුවේ, ‘ඇයි යකෝ කළු ගඟ පතලෙ මැද්දෙන් එන්න
ගත්තා වගේ වුණා. ඉතින් ඩිසල් මෝටර් නො
තියා වෙන මොනවා කරන්න ද?’
යනුවෙනි.
පතලය බොහෝ වාසනාවන්ත විය. එයින් වටිනා මැණික්
හමුවූ බව පසුව සැලවිය.
ගැඹුරු පතල් කනින, පොළොව හරහට දෝනා කනින,
රත්නපුරේ කිසිවෙකුත් ‘කැනීම් ඉංජිනේරුවන්’ නොවෙති. ඔවුන් භාවිත කරන්නේ
මැණික් මතුවන අඩවිය තුළ පාරම්පරිකව පැවත ගෙන ආ තාක්ෂණ විධි ක‍්‍රම සම්භාරයයි. පාරම්පරික දැනුම්
සම්භාරයයි.
(මතු සම්බන්ධයි)
(මෙම ලිපිය-2018/04/08 - රිවිර පුවත්පතේ පළවිය.)
රත්නාලෝක මැනික් නැතුවට ඔය තාම යසට දුහන්නේ
ReplyDeleteඉංජිනේරුවො ඕක කරන්න ගියානං පතල් කපන්න වෙන් නෑ.
ReplyDelete