කැටලිනාවුන්ගේ කොග්ගල
ලංකාවේ ‘කොග්ගල’ ගුවන් තොටුපොළ සම්බන්ධයෙන්, ඉකුත් (2018) මාර්තු මාසය අග භාගයේ, ජාත්‍යන්තර මට්ටමේ
අවධානයක් හට ගත්තේ ය. එය සිදු වූයේ ලෝකයේ
දෙවැනි ‘අන්තර් මහද්වීපික
දීර්ඝ ගුවන් ගමනට’ මුල පිරීම නිමිත්තෙනි. ගමන සිදු වන්නේ ඕස්ටේ‍්‍රලියාවේ ‘සිඞ්නි’ අගනුවර සහ බි‍්‍රතාන්‍යයේ
ලන්ඩන් අගනුවර (හීත්‍රෝ ගුවන් තොටුපොළ) අතර ය. එය මෙහෙය වන්නේ ඕස්ටේ‍්‍රලියාවේ සුප‍්‍රකට ‘ක්වන්ටාස්’ ගුවන් සමාගමයි. එය පැය 17ක, නො නවතින තනි ගුවන්
ගමනකි. ගමන් දුර කිලෝමීටර් 14,498කි.
නව ගුවන් ගමන සම්බන්ධයෙන් ක්වන්ටාස් සමාගම කළ ප්රචාරක
කටයුතුවල ලංකාව ගැන ද සඳහන් විය.
ඔවුන් දෙවැනි ලෝක යුද්ධය පැවති සමයේ ‘පර්ත්’ නුවර සිට ලන්ඩන් යන
අතරතුර, ‘පියාඹන බෝට්ටු’ මගින් ලංකාවේ කොග්ගලට ද පැමිණියහ. එකල ඒවා නො නවතින, දීර්ඝ, බොහොම අපූරු ගුවන්
ගමන් ය. අලුත් ගුවන් ගමන ගැන
කළ ප්රචාරක කටයුතුවල දී, ඔවුන් ඒ ගැන සඳහන්කර
තිබුණේ මහත් අභිමානයෙනි. දෙවැනි ලෝක යුද සමයේ
පෙරදිග ලෝකයේ පැවති ප‍්‍රධාන ම ‘ජලචර ගුවන් තොටුපොළ’ පිහිටියේ කොග්ගල ය. ඒ ගැන රසවත් තොරතුරු අද
පටන් කියවමු.
0000000000000000000000
‘කැටලිනාවුන්ගේ’ කොග්ගල-01
ලොව දිගම ගුවන් ගමනේ යෙදෙන අතරතුර
කොග්ගලට පැමිණි ‘පියාඹන බෝට්ටු’!
(ක්රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡායාරූප-‘Qantas Empire Airways’ ගුවන් සමාගමේ සහ කැටලිනා ප්‍රේමීන්ගේ වෙබ් අඩවිවලිනි)
‘කැටලිනා’ ( Catalina) හෝ ‘කැටලයිනා’
යනු දැන් කාලයේ නම් එතරම් ප‍්‍රසිද්ධ වචනයක් නොවේ. එසේ වුව ද, දෙවැනි ලෝක යුද්ධය
පැවති 1940 දශකයේ නම් (1939-1945) එය මහත් ප‍්‍රසිද්ධ, එමෙන්ම පුදුමය එළවන
සුළු වචනයක් විය. එකල ‘කැටලිනා’ යනුවෙන් හඳුන්වනු
ලැබුවේ, සමුද්‍ර ප‍්‍රදේශවල
මුර සංචාරයෙහි යොදවනු ලැබූ ‘ජලචර ගුවන් යානා’ (Seaplane) විශේෂයකි. වැඩි වේලාවක් ගුවනේ රැඳී
සිටීමට හැකි වීම සහ ගොඩ බිම් ගුවන් පථයක් හෝ ජල තලයක් මතට ගොඩ බැස්ස වීමට තිබුණු
හැකියාව, ඒවායෙහි තිබුණු
විශේෂත්වයයි.
‘කැටලිනා’ ගුවන් යානා එකල, ‘පියාඹන බෝට්ටු’ (Catalina flying
boat) යන, අතිශයින් ම කුතුහලය දනවන යෙදුමින් ද හඳුන්වනු ලැබී ය. ‘කැටලිනාව’ දෙවැනි ලෝක යුද්ධය
පැවති සමයේ බහුලව භාවිතයට ගැනුණු ගුවන් යානා වර්ගයක් විය. ‘කැටලිනාවුන්ට’ ලංකාවේ ද දැඩි
සම්බන්ධයක් තිබේ. දෙවැනි ලෝක යුද සමයේ
දී ඔවුන්ගේ ‘ඉන්දියන් සාගරීය
තිප්පොළ’, ලංකාවේ පිහිටුවා තිබීම
ඊට හේතුවයි. එය පැවතියේ ගාල්ලට
නුදුරු ‘කොග්ගල’ ය. කොග්ගල ගුවන් තොටුපොළේ
ය!
වර්තමානයේ නම් ‘කොග්ගල’ යනු, ගුවන් ගමන් මෙහෙයුම් සඳහා සීමිතව භාවිත කරන අභ්‍යන්තර
ගුවන් තොටුපොළකි. එය පාලනය කෙරෙන්නේ ‘ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවෙනි’. අවශ්‍යය අවස්ථාවල අභ්‍යන්තර
ගුවන් ගමන් සහ ප‍්‍රභූ ගුවන් ගමන් සඳහා ද ගුවන් යානා පුහුණු කටයුතු සඳහා ද දැන් එය
පාවිච්චි කෙරෙයි. අද එසේ හැකිලී පැවතිය
ද, දෙවැනි ලෝක යුද සමයෙහි
නම් එය අතිශයින්ම කාර්යබහුල යුද ගුවන් තොටුපොළක් විය. කොග්ගල, වර්ෂ 1943-1945 සමයේ ජාත්‍යන්තර වාණිජ
ගුවන් ගමන් සඳහා ද භාවිත කෙරුණි. පැරණි කොග්ගල, ජලචර ‘කැටලිනාවුන්’ සමග ‘ගහට-පොත්ත’ මෙන් බැඳී සිටියේ ය!
අතීත කොග්ගල බොහොම අපූරු ය. කොග්ගල ගුවන් තොටුපොළ, එකල ලොව පැවති දීර්ඝතම
මගී ගුවන් ගමනේ අතරමැදි නැවතුම් පොළයි! එය, කොග්ගල සම්බන්ධයෙන් වර්තමානයේ
වැඩි ප‍්‍රසිද්ධියක් නැති කාරණයකි!
දීර්ඝතම මගී ගුවන් ගමන සිදු වූයේ ලොව බටහිර සහ නැගෙනහිර අතර ය. එනම්,
ඕස්ටේ‍්‍රලියාවේ ‘පර්ත් නුවර’ සහ එංගලන්තයේ ‘ලන්ඩන් නුවර’ අතර ය. ගමනේ අතරමැදි නැවතුම
ලංකාවේ කොග්ගල ය. පර්ත් නුවර සිට
කොග්ගලට ඇති සමස්ත දුර කිලෝමීටර් 5632කි. එය ප‍්‍රකටව තිබුණේ, ‘නො නවතින ගුවන් ගමනක්’ වශයෙනි. ගමන සඳහා ගතවූ කාලය, සුළං බාධක නො විණි නම් පැය 28කි. නැතිනම් පැය 30කි. එකල එය හඳුන්වා ඇත්තේ ‘දෙ වරක් හිරු නැගෙන
ගුවන් ගමන’ (Double
sunrise)
යන අපූර්ව විශේෂණයෙනි. මේ දීර්ඝ ගුවන් ගමනේ
දී හිරු නැගීමේ දර්ශනය දෙවරක් දැකිය හැකි වීම ඊට හේතුවයි. ගමනේ දී ඔවුන් ඉන්ධන
ලබා ගන්නේ කොග්ගලිනි. ඊලඟට කෙලින් ම
පකිස්තානයේ කරච්චි නුවරට ය. ‘පර්ත්’-ලන්ඩන්’ නො නවතින ගුවන් සේවාව
මෙහෙයවූයේ ඕස්ටේ‍්‍රලියාවේ ‘ක්වන්ටාස්’ ( Qantas Empire Airways) ගුවන් සමාගමයි. ඔවුන් පවසන අන්දමට, එය බොහොම විශ්මය උපදවන
චාරිකාවකි. ඒ සඳහා යොදවා තිබුණේ ‘කැටලිනාවුන්’ ය.
කැටලිනා පරපුරේ නූතනයෙක්
|
‘කැටලිනාවුන්’ සහ කොග්ගල අතර පැවති අපූර්ව
සබැඳියාව හට ගන්නේ දෙවැනි ලෝක යුද සමයේ ය. එනම් දෙවැනි ලෝක යුද්ධයෙහි උණුසුම (වර්ෂ 1939-1942 කාලය) ලංකාවට ද පැතිරෙමින්
පැවති බිහිසුණු වකවානුවේ ය. එකල ලංකාව, යුද්ධයේ ‘මිත‍්‍ර පාක්ෂික
රටක්වූ’ මහා බි‍්‍රතාන්‍යයේ
යටත් විජිතයක් සේ පැවතුණි. යුද උණුසුම නිසා
ලංකාවේ සිටි බි‍්‍රතාන්‍ය පාලකයන් ද බෙහෙවින් කලබලයට පත්ව සිටියහ. ඊට හේතුව වූයේ ජපානය ද
යුද්ධයට ඇදී ඒමයි.
දෙවැනි ලෝක යුද සමයේ දී, ජපානයට ආසියාවේ ‘වෙළෙඳපොළ’ ජය ගැනීම පිළිබඳ
ගැටලූවක් තිබිණි. ඊට හේතුව වූයේ, ආසියාවේ රටවල් බොහොමයක
පාලනය, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය
ආදී ‘මිත‍්‍ර පාක්ෂික රටවලට’ (දෙවැනි ලෝක යුද්ධයේ
මිත‍්‍ර පාක්ෂික රටවල්) අයත්ව තිබීමයි. ඔවුන්ගේ යටත් විජිත
වශයෙන් පැවතීමයි. එබැවින් ඔවුන්ට එරෙහිව
යුද වැදීමට ජපානය කටයුතු කළේ ය.
ජපන් හමුදාවෝ 1941 වසරේ දෙසැම්බර් මස 07 වැනි දා, ඇමරිකා එක්සත් ජනපදයට
අයත්, හයිටි දූපතේ පිහිටි ‘පර්ල් වරායට’ ගුවනින් බෝම්බ දමා
විනාශ කළහ. ඉන් පසුව ඔවුහු 1942 වසරේ පෙබරවාරි 15 වැනි දා සිංගප්පූරුවට
ද පහර දී යටත්කර ගත්හ. එයින් පසුව බුරුමය, මලයාසියාව, තායිලන්තය සහ පිලිපීනය යන රටවලට ද ප‍්‍රහාර එල්ල කළහ.
ලංකාව පිහිටා ඇත්තේ
ඉන්දියන් සාගරයේ ‘යුද උපක්රමික’ ස්ථානයක ය. මේ වන විට ලංකාව බි‍්‍රතානය
යටත් විජිතයකි. එබැවින් ලංකාවට ද ජපන් හමුදාවන්ගේ ප‍්‍රහාර එල්ල වීමේ අවදානමක් හට ගත්තේ ය. එකල ජපානයේ ගුවන්
හමුදාව බොහොම ප‍්‍රබල එකක් විය.
ලංකාවේ ගුවන් ගමන් ඉතිහාසය ඇරඹෙන්නේ 1931 වසරේ ය. එය සිදු වන්නේ, ‘නෙවිල් වින්සන්ට්’ නම් නියමුවෙකු විසින්
ඉන්දියාවේ බොම්බායේ (වර්තමාන මුම්බායි) සිට පදවා ගෙන පැමිණි ගුවන් යානයක්, කොළඹ රාජකීය ගොල්ෆ්
පිටියට සාර්ථකව ගොඩ බැස්වීමේ සිද්ධියත් සමගිනි. ලංකා පොළොවට ප‍්‍රථමයෙන්
ම ගොඩ බැස්වූ එය, ‘ඞී හැව්ලන්ඞ් පස් මොත්’ වර්ගයේ යානයකි. එකල ලංකාවට ගුවන්
තොටුපොළක් නොවී ය.
ලංකාවේ ප‍්‍රථම ගුවන් තොටුපොළ, කොළඹට නුදුරින්
රත්මලානේ (කඳවල වත්තේ) ඉදි කෙරිණි. එය විවෘත කෙරුණේ 1938 වසරේ දී ය. ‘කොළඹ ගුවන් තොටුපොළ’ යනුවෙන් නම් කෙරුණු එය, එවකට රටේ ප‍්‍රධාන ගුවන් තොටුපොළ විය. කෙසේ වෙතත්, දෙවැනි ලෝක යුද්ධයේ
උණුසුම නිසා රට තුළ තවත් ගුවන් තොටුපොළවල් කිහිපයක් ඉදි කෙරිණි.
ඒ අනුව, වර්ෂ 1939 දී පුත්තලමේ ‘පාලවිය’, ප‍්‍රදේශයේ ‘අමතර හා හදිසි ගොඩ බැස්වීමේ’ ගුවන් පථයක් තැනවිණි. එය දෙවැනි ලෝක යුද
සමයේ දී භාවිත කෙරිණි. එයට ගොඩ බැස්වූ යුද
ගුවන් යානා, ධාවන පථයෙහි හැසිරවූයේ
‘අලි-ඇතුන් යොදා ගෙන ඇද ගෙන යාමෙනි! වර්ෂ 1940 සහ 1942 වන විට, මීගමුවේ ‘කටුනායක’, ‘වවුනියාව’, ත‍්‍රිකුණාමලයේ ‘චීන වරාය’, කුරුණෑගලට නුදුරු ‘මාවතගම’, ‘මින්නේරිය’ (හිඟුරක්ගොඩ) සහ යාපනයේ ‘පලාලි’ යන ස්ථානවල යුද
කටයුතුවල යෙදුණු ගුවන් යානා බැස්වීම පිණිස
සැකසුණු ‘ගුවන් පථ’ ඉදි කරනු ලැබී ය. එකල ‘කොග්ගල ගුවන් තොටුපොළ’ ඉදි කෙරුණේ, ජලචර ගුවන් යානා ගොඩ
බැස්වීම පිණිස ය. දෙවැනි ලෝක යුද සමයේ
ගුවන් ප‍්‍රවාහන කටයුතු සහ ඔත්තු බැලීමේ සේවා සඳහා වැඩිපුර ම භාවිත කෙරුණේ, ‘කැටලිනාවුන්’ වීම ඊට හේතුවයි.
(මින් ‘කටුනායක’ වර්ෂ 1967 වසරේ පටන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ජාත්‍යන්තර
ගුවන් තොටුපොළ බවට පත් විය. පුත්තලමේ ‘පාලවිය’ සහ කුරුණෑගලට නුදුරු ‘මාවතගම’ හැර අනෙක් ගුවන් පථ, පසුකාලීනව අභ්‍යන්තර
ගුවන් තොටුපොළවල් බවට පත් විය.)
දෙවැනි ලෝක යුද්ධයේ අවදානමට මුහුණ දීම සඳහා, එවකට බි‍්‍රතාන්‍ය
පාලකයන් කොග්ගල ගුවන් තොටුපොළ ඉදි කළේ බොහොම හදිසියෙනි. ඒ සඳහා වර්ෂ 1942 මාර්තු 24 වැනි දා, මුළු කොග්ගල ගම්මානය ම
පැය විසි හතරක් තුළ රජයට පවරා ගන්නට නියෝග කෙරිණි. ඉන් ගම්වැසියන්
හදිසියේ ම ඉවත් කෙරිණි. ඇතැම් දෙනාට, කෑමට පිසූ බත් මුට්ටි
පවා අත්හැර දමා යන්නට සිදු විය. මෙම සිද්ධිය නිසා
කොග්ගල ඔය ආශ‍්‍රිතව මුහුදුබඩ තීරුවෙහි තිබුණු ජනාවාස සියල්ල ම අතුරුදන් විය. හදිසි තත්ත්වය නිසා, මහා ගත්කරු මාර්ටින්
වික්‍රමසිංහයන්ගේ පවුලේ අයට ද කොග්ගල ගම අත්හැර දමා පිටමං වන්නට සිදු විය.
ඉඩම් අත්පත්කර ගත් බි‍්‍රතාන්‍යයෝ, බොහොම ඉක්මණින් එහි
යුද කඳවුරක් හා අහස් යාත‍්‍රා බස්වන ගොඩබිම් ගුවන් පථයක් ඉදි කළහ. එහි එක් අන්තයක්
ඉන්දියන් සාගරය දෙසට ද, අනෙක් අන්තය කොග්ගල
ඔයෙහි ජල තලයට ද විහිදිණි. ගුවන් පථය කෙළවර ජල
තලයෙහි, ‘ජලචර ගුවන් යානා’ (Sea plane) ගොඩ බැස්වීම සඳහා ‘ජලචර ගුවන් පථයක්’ ද ඉදි කෙරිණි. දෙවැනි ලෝක යුද සමයෙහි
‘ජලචර ගුවන් යානා’ වැඩිපුර භාවිත කෙරුණු
බැවින් එය බොහොම වැදගත් දෙයක් විය. ‘කැටලිනාවුන්ට’ ද පහසුවක් විය. ඉක්බිති බි‍්‍රතාන්‍යයේ
රාජකීය ගුවන් හමුදාව, කොග්ගල ගුවන්
තොටුපොළෙහි ‘හිමිකරුවා’ විය. කුමන මොහොතක හෝ ජපන්
හමුදාවේ ප‍්‍රහාර එල්ල වීමට ඉඩ ඇති බව බි‍්‍රතාන්‍යයෝ දැන සිටියහ.
ලෙනාඞ් බර්චෝල් මහතා |
කැනේඩියානුවෙකු වන ‘බලඝන නායක’ (ස්කොඞ්රන් ලීඩර්), ලෙනාර්ඞ් බර්චෝල් (1915-2004)’ ( Leonard Birchall), දෙවැනි ලෝක යුද්ධ සමයේ
‘මිත‍්‍ර පාක්ෂික
හමුදාවන්ට’ සේවය කළ ජ්‍යෙෂ්ඨ
ගුවන් නියමුවෙකි. ඔහු අයත් වූයේ ‘කැනේඩියානු රාජකීය
ගුවන් හමුදාවට’ ය. 1942 වසරේ අප‍්‍රියෙල් මස 02 වැනි දා, ‘කැටලිනාවක’ නැගී පකිස්තානයේ
කරච්චි ගුවන් තොටුපොළෙන් පිටත්වූ බර්චෝල්, කෙලින්ම ගොඩ බැස්සේ කොග්ගලට ය. එහි සිට ගුවන්
මෙහෙයුම්වලට දායක වීම ඔහුට පැවරී තිබිණි. කොග්ගල එකල බොහොම බල
සම්පන්න ගුවන් කඳවුරකි. ලංකාවට ගිනිකොණ සහ දකුණු දෙසින් මුහුදු කලාපයේ සතුරු ක‍්‍රියාකාරිත්වයන්
පිළිබඳ ‘ඔත්තු බැලීම’ පැවරී තිබුණේ කොග්ගලට ය.
දිනය 1942 වසරේ අප‍්‍රියෙල් 04 වැනි දා ය. එදා පෙරවරුවේ මුහුදු
නිරීක්ෂණය සඳහා ‘කැටලිනාවක්’ කොග්ගලින් ගුවන්ගත
කෙරිණි. නියමිත වේලාව ඉක්ම ගිය ද, එය ආපසු පැමිණියේ නැත. එහි රේඩියෝ පණිවුඩ
සම්බන්ධතාවය ද ඇණහිට තිබිණි. යානයට කුමක් වූයේ ද? යන්න කිසිවෙකු නො දත්හ. ගුවන් නිරීක්ෂණය සඳහා
ඊළඟ වාරය පැවරුණේ බර්චෝල්ට ය!
(මතු සම්බන්ධයි)
(මෙම ලිපිය 2018/04/22 ඉරිදා රිවිර පුවත්පතේ
පළ විය.)
ඉතා රසවත්. ඇත්තෙන්ම නොදන්න දෙයක්. වර්තමානයේ ගුවන් හමුදාව විසින් ධාවන පථය ආසන්නයේ පවත්වාගෙන යනු ලබන ආපනශාලාවේ නම කැටලිනා වීමේ හේතුව අද දැනගත්තේ. ස්තුතියි ක්‍රිෂ්ණ
ReplyDeleteආහ්... එතකොට එහෙමයි අර රෙස්ටුරන්ට් එක කැටලිනා ග්‍රිල් වුණේ... අපූරුයි
ReplyDelete