Total Pageviews

Saturday, December 30, 2017

Saturday, December 23, 2017

බස් නැවතුම් පොළවල් ආශ‍්‍රිතව පිහිටි ‘දිව්‍ය ලෝක’ වැනි වැසිකිළි!




බස් නැවතුම් පොළවල් ආශ‍්‍රිතව පිහිටි

දිව්‍ය ලෝකවැනි වැසිකිළි!
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)

එක්තරා විහිළු කතාවකට අනුව, නිතර කොළඹ යන-එන මිතුරන් පිරිසක් අතර ලෝකයේ මිහිරිතම නාදයකුමක්ද? කියා වාදයක් ඇති විය. එයට පැටලූණු අය එක් එක් නාද ගැන කීහ. ඇතැම්හු බීතෝවන් බඳු සංගීතඥයන්ගේ සංගීත ඛණ්ඩ හෝ ජනප‍්‍රිය ගායක ගායිකාවන්ගේ හඬ වඩාත් මිහිරි යයි පැවසූහ. සමහර අය කුරුළු නාද ගැන කීහ. ඇතැමෙක් පැවසුවේ තම පෙම්වතිය තමන් අමතන හඬ මිහිරිතම නාදය බව ය. යම් නාදයක මිහිරියාව, එක් එක් අවස්ථාවන්ට සාපේක්ෂ බව ද සමහරු කීහ.

ඔවුන් ගෙන් එකෙකු පැවසුවේ, ‘මහත් හදිසියකදී, කොළඹ පිටකොටුවේ පොදු වැසිකිළියක පෝලිමේ සිටින විට, ඇතුළේ සිටි එකා එළියට එන්නට දොර අගුල කරකවන හඬ, දොර අසල නො ඉවසිල්ලෙන් පසුවන එකාට ලොව මිහිරිතම නාදයවන බවයි!

කොළඹ වැසිකිළි පහසුකම් සම්බන්ධයෙන් පටබැඳුණු විහිළු කතාව සටහන් කළේ, මහජනතාව මුහුණ දෙන බරපතල ගැටළුවක් ගැන කියන්නට ය. එය, කොළඹ සහ තදාසන්න නගරවල පොදු වැසිකිළි පහසුකම් පිරිසිදුව, ප‍්‍රමාණවත් තරමට, නො තිබීමේ ප‍්‍රශ්නයයි. ගැටළුවට මුහුණ දෙන්නේ දුර බැහැරින් නගරවලට එන මහජනයා ය. විශේෂයෙන්ම බස් නැවතුම් පොළවල් ආශ‍්‍රිතව පිහිටි වැසිකිළි, ‘දිව්‍ය ලෝකවැනි ය. ඒවායින් හමන සුගන්ධයමහජනයාගේ සියොළඟම සලිත කරවන තරම් ය!


දිනක් ලියුම්කරුට, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාලූ බසයක් අල්ලා ගැනීම පිණිස කඩවත හයිවේ බස්නැවතුමට යාමට සිදු විය. ඒ වන විට ඔහුට දැඩි මුත‍්‍රා බරක්දැනී තිබිණි. හතර වටේ සොයා බැලූව ද වැසිකිළියක් දක්නට නො වීය. බැරිම තැන, එහි සිටි වේලා සටහන්කරුවෙකු ගෙන්  වැසිකිළිය ඇති ස්ථානය කොහේ දැයි විමසන්නට සිදු විය.


මෙතන තිබුණු එක කැඩුවට පස්සේ තවම හැදුවේ නෑ. අර පැත්තේ ටිකක් ඈතට වෙන්න නම් ටොයිලට් එකක් තියෙනවා’, දුර ඈත ඉසව්වක් පෙන්වමින් ඔහු පිළිතුරු දුන්නේ ය. අනතුරුව, ‘මහත්තයාට  ඕනෑ පම්ප් එකක්දාන්න නම්, ඔය බස් එකක් පිටිපස්සට යන්න. අපිත් කරන්නේ එහෙමයි!’, ඔහු වැඩිදුරටත් කීවේ ය.


වෙන කරන්නට දෙයක් නැති බැවින්, ලියුම්කරු එහි පාළු කෙළවරක බසයක් පිටුපසට ගොස් බිම බලාගෙන බරින් නිදහස් වන්නට වූයේ ය. එම ඉසව්ව මනා සුගන්ධයෙන්පිරුණු තැනකි. ඒ සමගම සිදු වූයේ නො සිතූ දෙයකි. මුවාවී සිටි බසය, උන්හිටි ගමන් සැර දමා එතැනින් නික්ම ගියේ ය! දැන් ලියුම්කරු මුළු බස් පොළටම නිරාවරණයවී සිටියි! ලජ්ජාව පසෙක තබා, ආ වැඩේකර ගෙනම යනවා මිස, වෙන කුමක් කරන්න ද?

අන්තර්ජාලයේ එක් තැනක මහරගම බස් නැවතුම් පොළේ පොදු වැසිකිළිය ගැන කියා තිබුණේ, එය බස්නාහිර පළාත් මහ ඇමතිවරයාගේ ගෙදරින් රැුගෙන ආ එකක්යයි කියා ය. එහි යන විදෙස් සංචාරකයන් ! හොරිබල්කියා පිටතට එන බව ද එහි සටහන්ව තිබිණි!


කොළඹ නාගරික වළල්ලේ ජනාකිර්ණව පිහිටි මහරගම’, දිවයිනේ විවිධ දිශාවන්ට බස් ගමන් ඇරඹෙන නගරයකි. මහනුවර, හොරණ සහ ඇඹිලිපිටිය ආදී ගමනාන්ත ද ඒ අතර වෙයි. මහරගම නගරයේ බස් ගමන් වඩාත්ම ප‍්‍රසිද්ධියට පත් වූයේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සහ මාතර යන හයිවේ බස් ගමන්එයින් ඇරඹෙන්නට වීම නිසා ය. බස් ගමන් අපේක්ෂාවෙන් දිනපතාම පාහේ එහි පැමිණෙන ජන සංඛ්‍යාව අති විශාල ය. ඔවුන්ට තිබෙන පොදු වැසිකිළිය ඇත්තටම හොරිබල්. දෙසැම්බර් 02 වැනි දා දහවලේ සුළුදිය බරින් නිදහස් වීම පිණිස එහි ගිය ලියුම්කරුට සිතුණේ තමන් ක්ලාන්ත වෙතියි කියා ය. වැසිකිළිය ඇතුළත අතිශයින්ම සැර ඇමෝනියාගන්ධයෙන් පිරී පැවතීම, ඊට හේතුව ය! එය  ඕනෑම කෙනෙකුගේ ඇඟ කිළිපොලා යන තරම්-ක්ලාන්ත වියහැකි තරම්  සැර මුත‍්‍රා ගන්ධයකි!


පානදුරය යනු කොළඹට තදාසන්න තවත් ජනාකීර්ණ නගරයකි. එයින් ද රත්නපුරය, මාතර, මහනුවර, බදුල්ල ආදී ඈත පළාත්වලට බස් ගමන් ඇරඹෙයි. එහි වඩාත් ජනප‍්‍රියව ඇත්තේ රත්නපුරා පාරට හැරෙන ස්ථානයේ පිහිටි පෞද්ගලික බස් නැවතුම් පොළයි. ගාල්ල දෙසින් කොළඹ යාමට එන බස් රථවල පානදුර නැවතුම ද පිහිටියේ එය ඉදිරිපිට ය. එතැනින් පාර මාරුවීම සඳහා පසුගිය රජය මගින් විදුලි පියගැට පෙළක්ද සහිත ගුවන් පාලමක් ඉදිකර තිබේ. එය ඉතා නවීන පහසුකමකි. එහෙත් පානදුර පෞද්ගලික බස් නැවතුම් පොළේ පොදු වැසිකිළියක් නැත්තේ ය. පසුගිය රජය විදුලි පියගැට පෙළ ඉදි කරන යමයෙහි පවා පොදු වැසිකිළියක් නො තිබුණේ ය. නව බස් නැවතුම් පොළ ඉදි කිරීමේ දී එතෙක් පැවති පොදු වැසිකිළිය කඩා දැමුණු අතර, අලූත් එකක් තැනවුණේ නැත. බස් නැවතුම් පොළ උඩු මහලේ පොදු වැසිකිළියක් ඉදි විණි. එය ද දැන් බොහෝ කාලයක සිට වසා දමලා ය.

දෙසැම්බර් පළමුවැනි දා පානදුරය ඔස්සේ ගමනක යෙදුණු ලියුම්කරුට සහ ඔහුගේ බිරින්දෑට, (වරක් කඩවත දී මෙන්) සුළුදිය පහකිරීමේ අවශ්‍යතාවයක් දැනුණි. වැසිකිළියක් ඇති තැනක් ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් පෞද්ගලික බස් නැවතුම් පොළේ නිලධාරියෙක් පැවසුවේ, ‘මෙහේ ටොයිලට් එකක් නෑ, උඩ තට්ටුවේ එකක් තිබුණා. දැන් ඒකත් උතුරන නිසා වහල දාලා. ටොයිලට් යන්න  ඕනෑ ඔයාට විතරක් නම්, අර එහා පැත්තට ගිහින් බස් එකක් පිටිපස්සට වෙලා වැඩේකර ගන්නයනුවෙනි!


පානදුර පෞද්ගලික බස් නැවතුම් පොළට එන අය බස් එකක් පිටිපස්සටයන්නට කැමති නැතැයි සිතමු. එසේ නම් කරන්නට ඉතිරිව තිබෙන්නේ මීටර් තුන්සීයක් පමණ ගෙවා ලංගම බස් නැවතුම් පොළටඇවිද යාම ය. නැතිනම් ඊටත් වඩා දුර ගෙවා පානදුර දුම්රිය පොළට යාම ය! පානදුර පෞද්ගලික බස් නැවතුම් පොළ ආසන්නයේ වැසිකිළි පහසුකම් සහිත ආපන ශාලා කිහිපයක් තිබේ. ඒවා විවෘතකර දෙන්නේ ආහාර ගන්නට එන අයටපමණකි. අපි මේවාට ඉබ්බෝ දාලයි තියෙන්නේ. නැතිනම් බේරා ගන්න බෑ’, එක් ආපන ශාලා හිමියෙක් ලියුම්කරු හා පැවසී ය.


කොළඹ පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම් පොළවල් ගත් විට, ඒවායෙහි පවිත‍්‍රත්වය ඉස්සරට වඩා හොඳ ය. එයින් ද ලංගම මධ්‍යම බස් නැවතුම් පොළේ වැසිකිළිවල තත්ත්වයඉදිරියෙන්ම සිටියි. බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම් පොළේ ඇති වැසිකිළි ද  ඉස්සරට වඩා හොඳ ය. එහෙත් ඒවායෙහි පවිත‍්‍රත්වය ලංගම මධ්‍යම බස් නැවතුම් පොළේ තරම් ඉහළ නැති බව, ‘නාසයටමදැනෙයි. ඒවා එතරම්ම සුගන්ධවත් ය! පිටකොටුව ලංගම බස් නැවතුම් පොළ ආශ‍්‍රිතව, . . ගුණසිංහ ප‍්‍රතිමාව අසල ද මහජන වැසිකිළියක් වෙයි. එහි තත්ත්වය, බස් නැවතුම් පොළවල්වල ඇති වැසිකිළිවලට වඩා හොඳ ය. එහි ස්නානය කිරීමේ පහසුකම් ද තිබේ.


ලියුම්කරු අසා ඇති කතා පුවතකට අනුව, . . ගුණසිංහ ප‍්‍රතිමාව අසල මහජන වැසිකිළිය සමීපයේ එක්තරා පුද්ගලයෙකු රාත‍්‍රිය පහන් කරයි. ඔහුගේ රැකියාව වන්නේ, ‘ලීසිංදමා මිලට ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් හයර් කිරීමයි. හෙතෙම මහනුවර ප‍්‍රදේශයේ පදිංචි දරු පවුල් කාරයෙකි. ලැබෙන ආදායම බෝඩිමක විසීමට තරම් ප‍්‍රමාණවත් නැත. එබැවින් ඔහු දවසේ කුලී ගමන් හමාර වුණු මධ්‍යම රාත‍්‍රි ජාමයේ වැසිකිළිය ආසන්නයට පැමිණ, වාහනය නවතා එහිම රැය පහන් කරයි. තුන් වේල ආහාර කිස කඩයෙනි. ඔහුගේ සබ්බ සේසතම අසුරා තිබෙන්නේ මෝටර් රථයෙහි ඩිකියේ ය. ඔහු අලූයමින්ම අවදි වෙයි. වැසිකිලියට ගොස් රෙදි සෝදා, දිය නා පිරිසිදුවී, මෝටර් රථය ද අස්පස්කර හයර් යාමට පිටත් වෙයි! කොළඹ රටේ එබඳු වැසිකිළි ද තිබේ.


බස් මගීන්ට පහසුකම් සලසන පොදු වැසිකිළි ගත් විට, විශේෂ ලක්ෂණ කිහිපයක් දැකිය හැකි ය. ඉන් ප‍්‍රධානම කාරණය වන්නේ, සලස්වා ඇති වැසිකිළි පහසුකම, එම ස්ථානවලට ඇදෙන මහා ජනස්කන්ධයට සරිලන තරම් ප‍්‍රමාණවත් නො වීමයි. දවසේ කාර්යබහුල වේලාවන්හි දී ඒවායෙහි අධික තදබදයක් දක්නට ලැබීමෙන්ම ඒ බව පෙනේ. අධික තදබදය නිසා ඒවායෙහි පවිත‍්‍රතාවය පවත්වා ගෙන යාම ද අසීරු ය. පොදු වැසිකිළිියයි කී පමණින්ම සිහියට නැගෙන්නේ  අතිශයින්ම අප‍්‍රසන්න, දුර්ගන්ධයෙන් පිරුණු ස්ථානයන් ය!


බස් නැවතුම් පොළ ආශ‍්‍රිතව ඇති පොදු වැසිකිළි හැම එකක්ම පාහේ බොහොම කුඩා ඉඩ පරිශ‍්‍රවල පවත්වා ගෙන යනු පෙනෙයි. එය ද විශේෂ ලක්ෂණයකි. එසේම ඇතැම් ස්ථානයක වැසිකිළියට පිවිසිය යුත්තේ නාගරික වහරේ දෙබිච්චියයි කියන පටු මං ඔස්සේ ය. ඒවා දැකීම පවා යම් කුකුසක් ජනිත කරවයි. කොළඹට නුදුරු කොට්ටාව බස් නැවතුම්පොළ අසල වැසිකිළිය ද එබඳු තැනකි. ඇතැම් තැනකට පිවිසිය යුත්තේ උතුරා ගලන අපද්‍රව්‍ය උඩින් අඩි තබමිනි. සමහර වැසිකිළි ආශ‍්‍රිතව කාලේ කුප්පිනමින් ප‍්‍රචලිත හිස් අරක්කු ඇසුරුම් ද දක්නට ලැබෙයි. ඉවත වීසි කළ ස්ත‍්‍රී හෝ පුරුෂ යට ඇඳුම් ද දක්නට ලැබෙන තැන් බොහෝ ය. කොළඹ දී නම් පොදු වැසිකිළි ආශ‍්‍රිතව අමුතු බැලූම්හෙලමින් සිටින  පුද්ගලයන් ද හිඟ නැත!


කුඩා ඉඩකඩක ඉදිකර, පිරිසිදුකම ගැන ප‍්‍රමාණවත් තරම් සැලකිල්ලක් නො දක්වමින් පවත්වා ගෙන යාම, බස් නැවතුම් පොළ ආශ‍්‍රිතව ඇති පොදු වැසිකිළි බොහොමයක පොදු ලක්ෂණයයි. එසේම පවිත‍්‍රතාවය ගැන අඩු සැලකිල්ලක් දැක්වීම, මුළු රටේම පොදු වැසිකිළිවල ලක්ෂණයයි. දුර ගමන් සේවා බස් රථ තේ බීමට නවත්වන ස්ථානවල වැසිකිළි, ඇතැම් රෝහල්වල බාහිර රෝගී අංශවල වැසිකිළි සහ නාගරික වෙළෙඳ සංකීර්ණවල ඇති වැසිකිළි පවා මේ ගණයට අයත් වන බව පෙනී යයි. එයින් හෙළි වන කාරණය වන්නේ, මිනිසුන් මළ-මුත‍්‍ර පහ කිරිමේ කටයුත්තෙහි සනීපාරක්ෂාවසම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නො දක්වන බවයි!


ප‍්‍රචලිතව ඇති තොරතුරු අනුව රටේ දියවැඩියා රෝගීන් ගණන ඉතා ඉහළ ය. වකුගඩු රෝග වැළඳුණු අය වැඩි වැඩියෙන් ජලය පානය කළ යුතුව තිබේ. රටේ ගමන් බිමන් ද වර්ධනයවී ඇති බව පෙනෙයි. නගරකරා එන ජන සංඛ්‍යාවන් දිනෙන් දින ඉහළ යයි. ඉතින් ශරීර කෘත්‍යයන්නො කරන්නමෝ ද? එහෙත් පාලකකාරකාදීන් කටයුතුකර ඇත්තේ මළ-මුත‍්‍ර පහ කිරිමේ කටයුත්තෙහි සනීපාරක්ෂාවගැන එතරම් සැලකිල්ලක් නො දක්වමිනි. ඔවුන් වැසිකිළි තනා ඇත්තේ කුඩා ඉඩ පරිශ‍්‍රවල ය. පොදු ස්ථානවලට නවීන වැසිකිළි පහසුකම් සලසා දුන්න ද, ඇතැම් දෙනා ඒවා පාවිච්චි කරන්නේ ගල් යුගයෙහි වසන්නන්පරිද්දෙනි. එහෙත් ඔවුන් සිය නිවෙස්වල දී නම් එසේ නො කරන බව නම් සහතික ය!


දැන් කොළඹ සහ තදාසන්න නගරවල පොදු වැසිකිළි ගාස්තුව රුපියල් 20කි. නව බස් නැවතුම්පොළවල් ඉදි කළ නගරවල හොඳ තත්ත්වයේ වැසිකිළි ඉදි කෙරුණි. ගාල්ල, මාතර සහ කඩුවෙල යන ස්ථාන ඒවාට නිදසුන් ය. ඒවා යම් පවිත‍්‍රතාවයකින් යුතුව පවත්වා ගෙන යනු පෙනෙයි. වැසිකිළි පහසුකම් යහපත්ව නො තිබීමෙන් වැඩිපුරම අපහසුවට පත් වන්නේ කාන්තාවන් ය!


මළ-මුත‍්‍ර පහ කිරිමේ කටයුත්තෙහි සනීපාරක්ෂාවගැන එතරම් සැලකිල්ලක් නො දැක්වීම, පාලකකාරකාදීන්ගේ බුද්ධි මහිමය කොතෙක් දැයි රටට විදහාපාන කාරණයක් ද වන්නේ ය!

2017/12/04.