Total Pageviews

Wednesday, August 26, 2015

රත්නපුර‍යේ දුලබ මැණික් ගල්





 රත්නපුර‍යේ දුලබ මැණික් ගල්

(ක්‍රිෂ්ණ වි‍ජේබණ්ඩාර)

(පින්තූර-ප්‍රෑන්ක් ද ‍සොයිසා)





Rare stone of Kolonna





මෙය කොරන්ඩම්, ගෙවුඩ, නිල් සමූහ (Corundum Cristal) මැණික් ගලකි. රත්නපුර කොලොන්න ප‍්‍රදේශයෙන් 2007 වසරේ දී සොයා ගැනුණි. බර කැරට් 89.10ක් වේ. මෙය දුර්ලභ පිහිටීමකි. මෑතක් වන තුරුම එය, රත්නපුර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පරිශ‍්‍රයේ පිහිටි, මිණිපුර මිනි මියුසියම් මැණික් කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනය කෙරිණි.   


මැණික් බෙනය





කුරුවිට පැරඩයිස් ප‍්‍රදේශයෙන් 2008 වසරේ මැද භාගයේ දී හමුවූ මෙය ඝණීභවනය වූ යමද ඉල්ලම් සංකීර්ණයකි. එය බැලූ බැල්මටම ගස් බෙනයක් සිහි ගන්වයි. මුළුමනින්ම මැණික් ඉල්ලමින් නිර්මාණය වූ එය, ප‍්‍රමාණයෙන් කුඩා කොස් ගෙඩියක් තරම් විශාල ය. එය දැනට රත්නපුර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පරිශ‍්‍රයේ පිහිටි මිණිපුර මිනි මියුසියම් මැණික් කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇත.  


 මැණික් අලි කකුලක්






අලි කකුලක හැඩරුව ඇති මෙම අඹතේස්ත මැණික් සංකීර්ණය, රත්නපුර, කුරුවිට, එ්දණ්ඩවල ප‍්‍රදේශයෙන් හමුවූ බව ප‍්‍රකටය. එය දැනට රත්නපුර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පරිශ‍්‍රයේ පිහිටි මිණිපුර මිනි මියුසියම් මැණික් කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇත.  

වසර මිලියන ගණනක් පැරණි වතුර



 බදුල්ල ප‍්‍රදේශයේ ඉල්ලමකින් හමුවූ මෙය කෙස් පළිඟු වර්ගයට අයත් මැණිකකි.
එහි විශාලත්වය අර්තාපල් අලයක් තරම් වේ. මෙහි ඇති විශේෂත්වය වනුයේ මැණික ඇතුළත ජලය ස්වල්පයක් එක් රැස්වී තිබීමයි. ගල ඇතුළට ජලය ගලා යා හැකි තරම් සිදුරු හෝ පැලූම්ද නැත. මෙහි ඇති ජලය වසර මිලියන ගණනක් පැරණි බව නිසැකය. ගල සොලවන විට, එහි ඇතුළත ඇති ජලය සෙලවෙන හඬ ද ඇසේ! එය රත්නපුරයේ, ‘මිණිපුර මිනි මියුසියම්’ කෞතුකාගාරයේ දී දැක ගන්නට පුළුවන.

2015/08/27.


Monday, August 24, 2015

මහ දාගැබ්වල අතීත රහස් හෙළිවෙයි


                             පුරාවිද්‍යා කැණීම්වලින් හෙළිවන
                            
                     මහ දාගැබ්වල අතීත රහස්


 
රුවන්වැලි මහ සෑය
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
පොළොන්නරුවේ, ‘දෙමළ මහා සෑය’ අරභයා පැවති පැරණි මති මතාන්තර බොහොමයක් දැන් බිඳ වැටී තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් අධ්‍යක්ෂ, ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ මෙහෙය වීමෙන් එහි කෙරෙන කැණීම් ඔස්සේ අලූත් තොරතුරු මතු වීම, ඊට හේතුවයි. කැණීම කෙරෙන්නේ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘතියක් වශයෙනි.

මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුවේ ‘දෙමළ මහා සෑය’ කැණීමේ පර්යේෂණ ව්‍යාපෘතිය ආරම්භ කළේ, 2014 වසරේ මාර්තු 29 වැනි දා ය. ඒ, අරමුදලෙහි අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය ගාමිණී අධිකාරී මහතාගේ මග පෙන්වීමෙනි. කැණීම් මෙහෙය වූයේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් අධ්‍යක්ෂ, ආචාර්ය නිමල් පෙරේරා මහතා ය. පර්යේෂණයෙහි අරමුණ වූයේ, සෑය සංරක්ෂණය කිරීම සඳහා එහි ඉදි කිරීම් ව්‍යුහය නිවැරදිව හඳුනා ගැනීමයි. කැණීම් පර්යේෂණය තවමත්, එනම් 2015 වසරේ මැද භාගය වන තුරුත් පැවැත් වෙමින් යන අතර, දෙමළ මහා සෑය පිළිබඳ මෙතෙක් නෑසූ රහස් ගණනාවක්ම ඉන් අනාවරණය වෙමින් පවතී. මහා දාගැබ් නිර්මාණය සම්බන්ධයෙන් පැරණි ශිල්පීන්ට පැවති දැනුම් සම්භාරය කොතෙක් පිරිපුන් ද යන්න, ඉන් පැහැදිලි වන බව ආචාර්ය නිමල් පෙරේරා මහතා කියයි.

‘මහාවංශය’ පවසන අන්දමට, පොළොන්නරුවේ ‘දෙමළ මහා සෑය’ ඉදිකර ඇත්තේ මහා පරාක‍්‍රමබාහු රජු (ක‍්‍රිස්තු වර්ෂ-1156-1183) විසිනි. රජුගේ අණින්, ඉන්දීය පාණ්ඩ්‍යයන්ට සහාය පිණිස, ‘ලංකාපුර’ නම් සෙනෙවියා ඉන්දියාවට ගොස් කළ සටනක දී, චෝලයන් 12,000ක් අත්අඩංගුවට පත් විය. සිරකාර පිරිස ලංකාවට කැඳවාගත් පසුව, රජු සෑය ඉදිකරවා ඇත්තේ ඔවුන් මෙහෙවරට ගනිමිනි. එබැවින් එය ‘දෙමළ මහා සෑය’ යයි නම් ලද්දේ ය. පැරණි කතාවල එන හැටියට, සෑයෙහි වට ප‍්‍රමාණය  රියන් 1300කි. උස අඩි 1000ද ඉක්මවයි. වර්තමානයෙහි ද එවන් ප‍්‍රතාපවත් ‘මහා දාගැබ් නිර්මිතයක්’ දැකගත හැකි බව ඇත්ත ය. එහෙත් දැන් එය දිස් වන්නේ, කාලයාගේ ඇවෑමෙන් ගරා වැටුණු පැරණි චෛත්‍යයක රූ සිරියෙනි. අද එහි වට ප‍්‍රමාණය අඩි 1950ක් සේ (මීටර්-594.46ක්) සැලකෙයි.

පොළොන්නරුවේ දෙමහල් දාගැබක්
 
‘දෙමළ මහා සෑය’, සාමාන්‍යයෙන් අක්කර තුනහමාරක පමණ භූමි වපසරියකින් සමන්විතය. එය මෙතෙක් කල් සැලකුණේ, බොරළු සහ තිරුවානා ගල් සහිත ස්වභාවික කඳු ගැටයක් මත ඉදි කළ චෛත්‍යයක් වශයෙනි. 2014 වසරේ සිට කෙරෙන කැණීම්වලින් අද ඒ අදහස වෙනස්වී තිබේ. ඒ අනුව සෑය ගොඩ නගා ඇත්තේ, වෘත්තාකාර ප‍්‍රාකාරයක් මැදට, මීටර් 25ක් පමණ උසට පස් දමා, අඩිය අ`ගලට තලා, පුරවා සකස් කිරීමෙනි. මහා සෑයක් යයි අප සිතන වෘත්තාකාර කොටස, මෙසේ පුරවා සැකසූ ප‍්‍රාකාරයයි. එය එක් අතකට, වට අඩි 1950ක පැතිරුණු, මීටර් 25ක් උසැති වේදිකාවක් හෝ මළුවක් වැන්න! එහි හරි මැද කුඩා චෛත්‍යක නටබුන් දක්නට ලැබේ. ඇත්තටම සෑය එයයි!
 
දෙමළ මහා සෑය
කැණීම් භාරව සිටින ආචාර්ය නිමල් පෙරේරා මහතා, ‘වලස්පති බ්ලොග් අඩවියට’ මේ ගැන විස්තර කළේ්,


‘දෙමළ මහා සෑය ඇත්තටම දෙමහල් දාගැබක්. මෙහි භූමිය, වෘත්තාකාර ප‍්‍රාකාරයක්. එහි මැදට, මව් පාෂාණයේ පටන් බොරළු සහිත පස්, තිරුවාණා සහිත පස්, මැටි සහිත පස්, රොන් මඩ සහිත පස්, ගඩොල්, ගොඩනැගිලි කඩා දැමීමේ දී ඉවත් කෙරෙන ද්‍රව්‍ය ආදී වශයෙන් පස්වලින්ම පුරවලා, ජලය දමා අඩිය අඟලට තලලා සකස් කරලා තියෙනවා. පරාක‍්‍රමබාහු රජ තුමා එක පස් බිඳක්වත් අපතේ යවලා නෑ. වටේ තිබෙන වෘත්තාකාර ප‍්‍රාකාරය හදන්න ගඩොල් භාවිතකර තිබෙනවා. මේ ප‍්‍රාකාරය මීටර් 25ක් පමණ උසයි. ඒක හරියට වේදිකාවක් වාගෙ. චෛත්‍යය ඉදිකර ඇත්තේ ඒ මැද යි. මේක ඇත්තටම ලංකාවේ දාගැබ් කර්මාන්තයේ සුවිශේෂ ඉදි කිරීමක්’ යයි පවසමිනි.

දෙමළ මහා සෑය පමණක් නොවේ. ලංකාවේ ඉපැරණි මහා දාගැබ් ගණනාවක්ම, ඒවා ඉදිකිරීම් කර්මාන්තයේ අපූර්ව ලක්ෂණ පෙන්නුම් කරන්නේ ය.

ජේතවන දාගැබෙහි අසිරිය
 
අනුරාධපුරය පූජනීය නගරයෙහි පිහිටි ‘ජේතවන විහාරය’ නමැති බෞද්ධ ස්මාරකය, ලාංකේය ස්තූප නිර්මාණ ශිල්පයෙහි සුවිශේෂ පැතිකඩක් ඉතා සියුම් ලෙස අනාවරණය කරන්නේ ය. එය ඉදිවී ඇත්තේ ක‍්‍රිස්තු වර්ෂ 276-313 සමයේ අනුරාධපුරයෙහි විසූ ‘මහාසේන’ හෙවත් ‘මහසෙන්’ රජුන් දවස ය. ස්තූපයෙහි  විෂ්කම්භය අඩි 367කි. වත්මන් උස අඩි 232කි. එහෙත් අතීතයෙහි එය අඩි 400ක් උසැති මහා දාගැබක් වූහයි කියනු ලැබේ. එකල (පැරණි ලෝකයෙහි), එය ලෙව තුන් වැනි උසම ගොඩනැගිල්ල සේ සැලකුණේ ය!

සුවිසල් ‘ජේතවන දාගැබ’ ඉදිකර ඇත්තේ පිළිස්සූ ගඩොල් මිලියන ගණනක්, මැටි බදාමයෙන් බැඳ, හුණු පිරියම් කිරීමෙනි. වත්මන් ගණන් බැලීම්වලට අනුව, අද කාලයේ ගඩොලක වර්ග අඟලක කොටසකට දැරිය හැකි බර ප‍්‍රමාණය රාත්තල් (Pound) 265කි. එහෙත් ජේතවන දාගැබ බැඳුණු පැරණි ගඩොලක, වර්ග අඟලකට සාමාන්‍යයෙන් රාත්තල් 621ක බරක් දැරිය හැක්කේ ය! ජේතවන දාගැබට ගඩොළු කැට දශ ලක්ෂ 62ක් භාවිත කෙරුණු බව ප‍්‍රකට ය.

මහා පරිමාණ දාගැබ් බැඳීම ලෙහෙසි වැඩක් නොවේ. එහි පාදම සැකසීම, ගර්භය හා එහි මධ්‍ය ලක්ෂයට ලම්බකව චූඩා මාණික්‍යය ස්ථානගත කිරීම, ආදී බැරෑරුම් කටයුතු රාශියක් එහි එයි. ඒවා නිවැරදිව මිණුම්ගත නො කළ හොත්, දාගැබ ගරා වැටීමට ද ඉඩ තිබේ. අද මෙන් ‘ඩිජිටල් මෙවලම්’ නො තිබුණ ද, ඒ කාලයේ, පුරාණ ශිල්පීහු සියල්ල නූලටම කිරීමෙහි සමතුන් වූහ. අඩි සිය ගණන් උස වෙහෙර විහාර අදී මහා පරිමාණ ඉදි කිරීම් අරභයා ඔවුන් සතුව පැවති ඥාණ සම්භාරය ඉතා විශිෂ්ඨ ය. අතීතයේ තැනූ මහා දාගැබ් විශාල සංඛ්‍යාවක් අදත් නිරුපද්‍රිතව තිබීමෙන් ඒ  බව පැහැදිලි වේ.

 
නීලගිරි සෑයෙන් හමුවූ රන් කරඬුවක්
විශේෂයෙන් වෙසක්, පොසොන් ඇතුළු අනෙකුත් පොහොය පින්කම් පිණිස ද, සාමාන්‍ය ආගමික ජීවිතයේ දී ද, ලංකාවාසී බෞද්ධ ජනතාව රට පුරා ඇති මහා දාගැබ්, මහත් සැදැහැයෙන් වන්දනා-මාන කරනු ඇත්තේ ය. දාගැබ් වන්දනය බුදුන් පිදීමක් හා සමාන වීම, ඊට හේතුව ය. ඒ අතර තුර, තමන් කැටිව යන දූ දරුවන්ට ද ඒවා පෙන්වමින් ඔවුහු පැරණි නිර්මාණ ශිල්පීන්ට ද කෘතවේදී වනු ඇත. එබැවින් සෑම වන්දනා සමයක්ම පාහේ, අපේ පැරණි ස්තූප ගැන කතිකා කිරීමට ද අවස්ථාව උදාකර දෙයි.

ස්තූප නිර්මාණයෙහි යටගියාව
 
නීලගිරි සෑයේ පළිඟු කරඬු
අතීත භාරතයෙහි මුලින්ම ‘ස්තූප’ ආකාරයේ ගොඩනැගිලි ඉදි වූයේ, ‘සොහොන් ගැබ්’ වශයෙනි. පසුව බුදුරජාණන් වහන්සේගේ ශාරීරික අවශේෂ තැන්පත්කර ස්තූප තැනීමත් සමගම, බෞද්ධ ස්තූප නිර්මාණ කලාව ඇරඹිණි. ලංකාවේ ස්තූප නිර්මාණය ඇරඹුණේ, ක‍්‍රි. පූ. 03වැනි සියවසේ දී මිහිඳු මාහිමියන් විසින් මෙහි බුදු සසුන පිහිටුවීමත් සමගිනි. ලංකාවේ මුලින්ම ඉදි වූ බෞද්ධ ස්තූපය, අනුරාධපුරයේ පිහිටි ‘ථූපාරාමය’ යි. එසේ වුව ද වංශකතා සහ සාහිත්‍ය මූලාශ‍්‍ර අනුව බලන කල, ‘මහියංගණයේ මහා සෑය’ සහ ත‍්‍රිකුණාමලයේ ‘ගිරිහඩු සෑය’ යන ස්තූපයන් ඉදිවී ඇත්තේ බුදුන් ජීවමාන සමයේ දී ය.


‘ස්තූප’ යන්න, පාලි බසෙහි ‘ථූප’ යන්නෙන් බිඳී ආවකි. එහි සරල සිංහල තේරුම, බුදුරජාණන් වහන්සේගේ ශාරීරික අවශේෂ තැන්පත්කර ඇති ‘ධාතු ගර්භයක්’ (සංස්කෘත බසින් ‘ධාතු ගබ්බ’) යන්නයි. ධාතු ගර්භ, සරල සිංහලයට නැගී ඇත්තේ ‘දාගැබ’ යනුවෙනි. ‘චේතිය’, ‘වෙහෙර’, ‘සෑය’ ආදී වදන් ද, දාගැබ යන වචනයට පර්යාය නාමයන් ය. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික අවශේෂ තැන්පත්කර ඇති ‘දාගැබ’, අතීතයේ පටන්ම භික්ෂු ආරාමයක ඇති වැදගත්ම අංගය වේ. මිනිසුන් එය වන්දනය කරන්නේ, ජීවමාන බුදුන්ට වන්දනය කරනවා යන හැඟීමෙනි. කොටින්ම ඉන් පිළිබිඹු වන්නේ බුදුරජාණන් වහන්සේ ය.

 
නීලගිරි සෑය කැණීම්
ස්තූපවල ‘අණ්ඩය’ හෙවත් බඳෙහි (ගර්භය පිහිටි කොටස) හැඩය අනුව, ස්තූප වර්ග හතකි. ඒ, ඝණ්ඨාකාර (ඝණ්ඨාවක හැඩය), ඝඨාකාර (කලයක හැඩය), බුබ්බුලාකාර (බුබුලක හැඩය), ධාන්‍යාකාර (වී ගොඩක හෙවත් වී රාහියක හැඩය), පද්මාකාර (නෙළුමක හැඩය), ආම්ලාකාර (නෙල්ලි ගෙඩියක හැඩය) සහ පලන්ද්වාකාර (සුදුලූණු ගෙඩියක හැඩය) යනුවෙනි. ලංකාවේ තැනූ ප‍්‍රථම ස්තූපය වන ‘ථූපාරාමය’, ධාන්‍යාකාර ය.

ස්තූපයක් ඉදි කිරීමේ දී, එය ගොඩ නගන්නේ ඉතා ශක්තිමත් ‘පාදමක්’ හෙවත් අත්තිවාරමක් මත ය. එය පොළොව ගැඹුරට හාරා සකස්කර ගැනීම සිරිතයි. සාමාන්‍යයෙන් දාගැබෙහි සමස්ත බර උසුලන්නේ පාදමෙනි. එබැවින් එය ඉතා ශක්තිමත් විය යුතු බව පැරැන්නෝ දැන සිටියහ. පැරණි ලොවෙහි තුන්වන උසම ගොඩනැගිල්ලවූ අනුරාධපුර ජේතවන දාගැබෙහි පාදම (අත්තිවාරම) අඩි 28 ක් ගැඹුරු බව පුරාවිද්‍යා පර්යේෂණවලින් අනාවරණය විය. නියමිත ගැඹුර එන තෙක් පොළොව හාරා, ඉන් ලැබෙන භූමිය පුළුස්සා, ඒ පොළොව කොටා, කළු ගල් අතුරා මට්ටම්කර පාදම සකසා ගැනේ. ස්තූපය හෙවත් දාගැබ ඉදි කෙරෙන්නේ, සකස්කර ගත් පාදම මත ගඩොළු බැඳීමෙනි. අනුරාධපුරයේ අභයගිරි දාගැබට, ගඩොළු දශ ලක්ෂ 54ක් ද, රුවන්වැලි සෑයට ගඩොළු දශලක්ෂ 38ක් ද යොදා ගන්නට ඇතැයි කියති. පැරණි සම්ප‍්‍රදායට අනුව, මුලින්ම ඉදි කෙරෙන්නේ ගර්භය සහිත අණ්ඩයයි. ඉන් පසුව පේසා වළලූ, මාලක, ප‍්‍රාකාර, දොරටු ආදිය ඉදි කෙරේ. ඒවා කෙරෙන අතර, හතරැස් කොටුව, දේවතා කොටුව, සහ කොත් කැරැල්ල ද තැන වෙයි.

ලංකාව අදත් පෞරාණික මහා පරිමාණ බෞද්ධ ස්තූප ගණනාවකටම උරුමකම් කියයි. ඉදි කිරීම් සම්පූර්ණ වූවා නම්, එවකට ලොව විශාලතම බෞද්ධ ස්මාරකය විය හැකි පොළොන්නරුවේ ‘දෙමළ මහා සෑය’, අනුරාධපුරයේ, ‘ජේතවන දාගැබ’, ‘අභයගිරිය’ (වට අඩි 370යි/උස අඩි 235යි), ‘රුවන් වැලි සෑය’ (වට අඩි 300යි/උස අඩි 300යි), ‘මිරිසවැටිය’ (වට අඩි 141යි/උස අඩි 192), ‘මහියංගණයේ මහා සෑය’, අම්පාරේ ‘දීඝවාපිය’ (දැනට උස මීටර්-21/ වට මීටර්-205), ‘තිස්සමහාරාමයේ දාගැබ’, රඹුක්කන ‘දැලිවල කොට වෙහෙර’ (වට අඩි 540යි/උස අඩි 54යි) සහ කතරගම ‘කිරි වෙහෙර’ ආදිය ඉන් කිහිපයකි. ඒවායෙහි ඉදි කිරීම් බෙහෙවින් බැරූරුම් ය. ඒවායෙහි පාදම සකසා ගැනීම, ගර්භයේ වට ප‍්‍රමාණය සකසා ගැනීම මෙන්ම, එහි මධ්‍ය ලක්ෂයට ලම්බක වන සේ චූඩා මාණික්‍යය පිහිටුවා ගැනීම වැනි කටයුතු මෙහෙයවා ඇත්තේ ඉතා සූක්ෂම අන්දමිනි.

ශිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන එම්. එච්. සිරිසෝම මහතා ‘දාගැබ් පුරාණය’ නමැති සිය කෘතියේ පෙන්වා දෙන අන්දමට, දාගැබක පේසා වළලූ සහ මාලක ආදිය ඉදිකෙරෙන්නේ ‘අණ්ඩය’ ඉදි කිරීමෙන් පසුව ය. මින් ‘පේසා වළලූ’ ඉදි කෙරෙන්නේ අණ්ඩය හෙවත් බඳට පහළිනි. මුල් කාලයේ දී ඒවා මලසුන් වශයෙන් භාවිත කෙරිණි. එහෙත් පසුකාලීනව, දාගැබ වැඳීමට එන සැදැහැවතුන්  ඒවා ‘ප‍්‍රදක්ෂිණා පථ’ ලෙස භාවිත කරන්නට වූහ. පැරණි දාගැබ්වල පේසා වළලූවලට පහළින් දක්නට ඇත්තේ ‘මාලක’ ය. එහි උසම මාලකය ‘සලපතල මළුවකි’. පහත මාලකය වැලි මළුවකි.

කෑගල්ලේ, රඹුක්කන, දැලිවල, ‘කොට වෙහෙර’, ක‍්‍රි. පූ. 250 දී පමණ දෙවැනි පෑතිස් රජුන් දවස ඉදි වූවකි. එහි ගර්භයෙහි කළ පුරාවිද්‍යා කැණීම්වලින්, සේද රෙදිකඩක එතූ ලෝහ කරඬුවක් හමු විය. රෙදිකඩ පිළිබඳ පර්යේෂණ කළ  ඕස්ටේ‍්‍රලියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජුඩිත් කැමරන් මහත්මිය සඳහන් කළේ, එය අදින් වසර 2250ක් පැරණි බවයි. මේ රෙදිකඩ, දැනට ආසියාවෙන් හමුවී ඇති පැරණිම රෙදිකඩයි. දාගැබ් ගර්භවලින් හමු වන දෑ ඒ තරම් මවිතය දනවන සුළු ය.

 
නීලගිරි සෑයෙන් කරඬු 300ක්
 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2011 වසරේ සිට 2014 වසර දක්වා, මොණරාගල දිස්ත‍්‍රික්කයට අයත්, සියඹලාණ්ඩුවට නුදුරු ලාහුගල, හැඩ ඔයෙන් එගොඩ මහ වන මැද කළ කැණීමකින්, තවත් විශ්මයජනක මහ දාගැබක රහස් සමූහයක් මතුකර ගත්තේ ය. එය සුප‍්‍රකට ‘නීලගිරි මහා සෑයයි’.

‘නීලගිරි සෑය’, තිස්සමහාරාමයේ ‘මහා ථූපය’, කතරගම ‘කිරි වෙහෙර’, අම්පාරේ ‘දීඝවාපිය’ වැනි රුහුණේ මහා ස්තූප අතරට ගැනෙන දාගැබකි. එහි ගරා වැටුණු තත්ත්වයේ උස අඩි 75කි. දළ වට ප‍්‍රමාණය මීටර් 600ක් පමණ වේ. විශාලත්වය අතින් එය දෙවැනි වන්නේ, ‘දීඝවාපී’ සෑ රදුන්ට පමණක් බව විද්වතුන්ගේ මතයයි. සෑය ඉදි කළැයි පැවසෙන්නේ, ක‍්‍රිස්තු පූර්ව යුගයේ ය. ඒ ගැන නිශ්චිත සාක්ෂියක් නැත. එහෙත් ක‍්‍රිස්තු වර්ෂයෙන් 01 වැනි ශත වර්ෂයෙහි විසූ, භාතිකාභය තිස්ස රජු සහ ඔහුගේ බිසව විසින් චෛත්‍යයට කළ පුද පූජාවන් ගැන සඳහන් සෙල් ලිපි කිහිපයක් නම් නීලගිරි සෑය අවටින් සොයා ගෙන තිබේ. නීලගිරි සෑය භාතිකාභය රජ සමයේ ද පැවති බව ඉන් පෙනී යයි.

 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2011 වසරේ දී නීලගිරි සෑයේ කැණීම් ආරම්භ කළේ, රුහුණේ මහා පුරාවිද්‍යා ස්මාරක සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක් අනුව ය. එවකට පුරාවිද්‍යා කැණීම් අධ්‍යක්ෂවරයා වූ අචාර්ය නිමල් පෙරේරා මහතාගේ මෙහෙය වීමෙන් එය ක‍්‍රියාත්මක විය. ස්ථාන භාර නිලධාරී සම්පත් ගුරුසිංහ සහ පර්යේෂණ සහකාර පාලිත අත්නායක යන මහත්වරු, කැණීමෙහි ක්ෂේත‍්‍ර මෙහෙයුම් ප‍්‍රධානීහු වූහ. කැණීම ඔස්සේ හමුවූ පුරාවස්තු සම්භාරය අතිශයින්ම කුතුහලය දනවන්නේ ය!

 
නීලගිරි සෑය
කැණීමෙන් හමුවූ රන්, මැණික් සහ පළිඟු කරඬු සඛ්‍යාව 300ක් පමණ වේ. ඉන් බොහොමයක ‘සර්වඥ ධාතූන්’ යයි සැක කළ හැකි අවශේෂ තිබිණි. කැණීම් කළ ඉතා සුළු කොටසින් පමණක් ‘සිරි පතුල් ගල්’ 50ක් පමණ හමු විය. හමුවූ ආසන ගල් සංඛ්‍යාව 15ක් පමණ වේ. සොයා ගත් අනෙකුත් පුරාවස්තු අතර, ඡත‍්‍ර 10ක කොටස් ද, ‘යූප ස්ථම්භ’ දෙකක කොටස් ද, විදේශීය කාසි ද විය. මේ සියල්ල සුවිශේෂ ය. මෙතෙක් කළ කිසිදු පැරණි චෛත්‍ය කැණීමකින්, කරඬු හෝ සිරි පතුල් ගල් මෙතරම් සංඛ්‍යාවක් හමු නො වීම, ඊට හේතුවයි! සෑය අවට ඇති වනයෙන් වැසුණු විශාල ප‍්‍රදේශය පුරා, ඉපැරණි බෞද්ධ ආරාමික නගරයක නටබුන් දක්නට ලැබේ. සෑය හැරුණු විට, ඒ කිසිවක් තවම ගවේෂණයකර නැත.

නීලගිරි සෑය පිහිටි හැඩ ඔය නිම්නය අයත් වන්නේ,  රුහුණට ය. එහි ඉපැරණි බෞද්ධ ස්මාරක බොහෝ ය. නීලගිරි සෑය යනු, මහාවංශයේ සඳහන් ‘මහනුග්ගල චෛත්‍යය’ (පරිච්ෙඡ්දය-24) විය හැකිය යන්න, විද්වතුන්ගේ අදහසයි.
(නීලගිරි සෑය පින්තූර-ප්‍රෑන්ක් ද සොයිසා)
2015/08/25.

සංවේදී සත්‍ය කතාවක්



සෝමදාසගේ පේ‍්‍රමය


(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)

‘විලාප ගහන්ඩ එපා යකෝ, මං උඹලට මැරෙන්ඩ දෙන්නෙ නෑ’, වහලේ මුදුන් කුරුපා කණුවේ එල්ලී සිටි සෝමදාස, හිස ඉහළට ඔසවමින් කළුවරේම කෑ ගැසුවේ ය. ඔහුගේ ගෙලට වාරුවී, මුදුන් යටලීය බදා ගෙන සිටි චන්දරාටත්, ඇගේ ගෙලෙහි එල්ලී සිටි දරු සිඟිත්තියටත්, ඒ හඬ ඇසුණි දැයි සැක සහිත ය. මුලූ ගමම දෙවනත් කළ සැඩ ජල පහරේ ද, වර්ෂාවේ ද ඝෝෂාව සවන් පත් හිරිවට්ටන තරම් ය.

 

 ගිගිරුම් සහිත අහස් වාතලය කම්පනය කරමින්, මහා වරුසාව පටන් ගත්තේ පෙරදා හවස ය. ඉක්බිති මුළු රැුයම එක සීරුවට වැස්සේ ය. පසුවදා දහවල් වන විට, මාරාවේශයෙන්  පිටාර ගැලූ ගිං ගඟ, උන්හිටි ගමන් ගමට කඩා වැදුණේ ය. ගෙවල් දොරවල් සියල්ල ජලයෙන් යට විය. ඇතැම් ගෙවල් මහ දවාලේම කැඞී, දියට පෙරළී, ගසා ගෙන ගියේ ය. තවත් සමහර ගෙවල්වලට කුමකින් කුමක්වී දැයි නිනව්වක් නොවී ය. ගඟ, කොතරම් වේගයෙන් ගමට කඩා වැදුනේද යත්, ගම්වැසියන්ට දිවි ගලවා ගන්නට තරම්වත් කාලයක් නො වී ය. වැඩි දෙනෙකුගේ විලාප හඬ, එක් මොහොතකින් සැඩ ජල දහරෙහි සැඟව අතුරුදන් විය. යටිගිරියෙන් කෑගැසූ ටිකිරි හැඬුම්, එක සැණින් වරුසාවේ ඝෝෂාව තුළ ගිලී ගියේ ය. සැඩ දියෙහි ගිලී කවුරුන් මියගියේ ද, කවුරුන්ගේ දිවි ගැලවිණි ද යන්න, ගැන කිසිවෙක් දැන සිටියේ නැත.

 
එදා දහවල් 2.00 පමණ වන විට, සෝමදාසගේ ගෙය ද ජල රකුසාට බිලි විය. ගිං ගඟ පෙනි පෙනී, කුඹුරු වෙල මැද ගොඩැල්ලක නිවස තනා ගෙන සිටි සෝමදාසට, ක්ෂණිකව යා හැකි තැනක් ද නො වීය. හතර වටකරින් පැවති වෙල් යාය, එකම ජල තලාවක් බවට පත්ව තිබිණි. සැඩ ජල දහර මරුවිකල්ලෙන් මෙන් ඔහුගේ නිවස ආක‍්‍රමණය කළේ ය. වතුර ගෙට එන විට, ඔහු මුලින්ම සිය දරු පවුල ද සමග මේසය උඩට නැංගේ ය. ඊළඟට සොල්දරයට නැංගේ ය. නො නැවතුණු ජල කඳ තව තවත් ඉස්සිණි. දැන් ඉතිරිව ඇත්තේ නිවසේ වහලය පමණි. සැඩ රැල්ලෙන් පිම්බුණු මහා ජල තලාවක් මැද, බිහිසුණු ලෙස හුදෙකලාවූ සෝමදාසගේ නිවසේ වහලය පරඬැල්පතක් මෙන් දිස් ඈතට වන්නට ඇත.

ටික වේලාවක දී සොල්දරය ද ජල කඳට බිලි වූයෙන්, සෝමදාස සිය බිරියත්, දරු සිඟිත්තියත් වහල කුරුපාවේ ආධාරයෙන් ඉහළට නැංවී ය. ඔහු කොතෙක් කීව ද, චන්දරාට දරු සිඟිත්තිය කරින් ගෙන වහලයට නැගීම පහසු වූයේ නැත. එබැවින්  ඕ, සැමියාගේ ගෙලට වාරුවී,  කුරුපා ලීය මුදුනේ එල්ලී සිටියා ය. සීතලෙන් ගැහෙමින් තමන් බේරා ගන්නා ලෙස හඬමින් විලාප දුන්නා ය. වර්ෂාවේ සහ සැඩ ජල දහරේ ඝෝෂාව තම විලාප හඬ සැණින් සඟවා ගන්නා බව ඇය නො දත්තා ය. රෙදිකඩකින් එතූ දරු සිඟිත්තියට සිය පණනල රැක ගන්නට තිබුණේ අම්මාගේ සිරුරේ උණුසුම පමණකි. එළඹුණු රාත‍්‍රිය මහත් අකාරුණික එකක් විය.

දරුවෙකු ද පොදිගසා ගත් ගැහැණියක ද ගෙලට වාරුකර ගෙන, කුරුපා ලීයෙහි එල්ලී සිටීම ලෙහෙසි කටයුත්තක් නො වීය. සෝමදාසගේ මුළු සිරුරම ජලයේ ගිලී ගොසිනි. හිස පමණක් යාන්තම් ඔසවා ගෙන සිටීමට ඔහු මහත් වෙහෙසක් ගත්තේ ය. දැන් මුළු පරිසරයම කට්ට කළුවර ය. චන්දරා සිටින බව ඔහුට දැනෙන්නේ ගෙලෙහි පැටලූණු ඇගේ දෙපාවල ස්පර්ශයෙන් පමණි. දරු සිඟිත්තා ස්පර්ශ කිරීමට ඔහුගේ අත දිග මදි ය. ඒ අතර, රකුසු ජල දහර සෝමදාසගේ දෙපා අෑතට ඇද ගෙන යාමට දැඩි උත්සාහයක යෙදුණි. ඔහු වැර වෑයමෙන් සිය දෙපා කුරුපා ලී යෙහි පටලවා ගෙන, රැඳී සිටීමට තැත් කළේ ය. දෙපා මස්පිඩු ගල් ගැහෙන සීතල, ඊට එරෙහිව ගියාක් මෙනි.

කළුවරින් වැසුණු හාත්පස කිසිවක් නො පෙනෙතත්, ජල මට්ටම වේගයෙන් ඉහළ නගින බව සෝමදාසට වැටහිණි. ඒ  සමගම, සීතල ද වැඩිවන බව දැනෙයි. ඔහු චන්දරාට සන් කළේ ය. දෙපා කුරුපාවෙහි පටලවා ගෙන, හැකි උපරිම වෙර යොදා ඇය ඉහළට තල්ලූ කළේ ය. මුදුන් යට ලීයෙහි එල්ලී, උළු කැට දෙක තුනක් පෙරළා වහලයට නැගීම හැර, දිවි ගලවා ගැනීමට අන් මගක් නැති බව ඔහුට පසක් විය. එහෙත් රීප්ප පටි අතරින් දරු පොදිය ද සමග දෑත් ඉහළට දමා, වහලයට නැගීමට ඇය අසමත් වූවා ය. සෝමදාසට මහත් භීතියක් දැනුණි.

‘චන්දරා කෙහොමහරි නැගපන්!’,
 
ඔහු තවත් වරක් ඇය ඉහළට තල්ලූ කරන්නට තැත් කළේ ය. උළු කැට කිහිපයක් වතුරට වැටෙන හඬ ඇසුණි. අත් පා සීතලෙන් හිරි වැටිලා ය. ඇය උත්සාහ නො කළා නොවේ. එහෙත් දරු පොදිය ද දෑතින් ගෙන වහලයට නැග ගැනීම දුෂ්කර ය. ඒ අතර සිඟිත්තිය යළිත් හ`ඩන්නට පටන් ගත්තා ය. ‘පොඞ්ඩිට කරදරයක් නෑ’, සෝමදාස සහනශීලී සිතිවිල්ලක පැටළුණි. සිඟිත්තියගේ විලාපය ඇසුණු චන්දරාට හැඬුම් ආවේ ය.

සෝමදාස තවත් වරක් ඇය ඉහළට තල්ලූ කරන්නට තැත් කළේ ය.
‘මට බෑ සෝමේ!’ ඇය හැඬුවා ය.

සුළඟ, වර්ෂාව පෙරළා ගෙන කළුවර ජල තලය ඔස්සේ පියෑඹී ය. සෝමදාස යළිත් හැකි වෙර යොදා සිය බිරිය ඉහළට තල්ලූ කරන්නට විය. එහෙත් සීතලෙන් ගල්වූ දෙපා ඔහුට අවනත වූයේ නැත. ඒ අතර, දෙපා කුරුපාවෙන් ද ගිලිහුණි! සැඩ දිය කඳ, ඔහු ඇද ගෙන යන්නට තැතනුවේ ය. දෙපා යළිත් කුරුපාවට රඳවා ගන්නට කළ උත්සාහයෙන් ද පලක් වූයේ නැත.
 
‘චන්දරා, චන්දරා’, ඔහු කෑගෑවේ ය. වර්ෂාවේ ඝෝෂාව නිසා එය ඇයට නෑසුණි.
 


දෙපා කුරුපාවෙහි රඳවා ගන්නට සැඩ දිය කළඹමින් කළ දැඟලීම, සෝමදාස අඩපණ කළේ ය. ඊළඟ මොහොතේ දෑත ද කුරුපා කණුවෙන් ගිලිහුණි.

මේ වන විට චන්දරා සිටියේ, එක් අතකින් දරු පොදිය මුදුන් යටලීයට තෙරපා ගෙන, අනෙක් අතින් වහලයේ රීප්පයක එල්ලී ගෙන ය. සැමියාගේ සිරුර සිය දෙපා අතරින් රූටා යනු ඒ මොහොතේ හදිසියේම ඇයට දැනුණි.  ඕ සැණෙකින් එක් පයක් කුරුපාවේ පටලවා ගෙන, අනෙක් පයෙන් හාත්පස ජල කඳ පීරුවා ය. අයිස් මෙන් සීතල ජල කඳ මිස, පයට හසුවන කිසිවක් නොවී ය.

‘අනේ සෝමේ!’ ඇය යටිගිරියෙන් විලාප දුන්නා ය.

පසු සටහන
පසු දින පැමිණි සහන කණ්ඩායම් විසින්, මළ දරුවෙකු තුරුළුකර ගත් සිහිවිකල්වූ කාන්තාවක් ද සොයා ගන්නා ලදී.

(2003 වසරේ මැයි මාසයේ හටගත් ගංවතුර සහ නාය යාම් ඛේදවාචකයේ තොරතුරු ඇසුරිණි)
(2014/05/01.)


Friday, August 21, 2015

ලාංකේය ජෛව සම්පත් ක්ෂේත‍්‍රයේ සමන්ත ලකුණ

ලාංකේය ජෛව සම්පත් ක්ෂේත‍්‍රයේ සමන්ත ලකුණ
 

සමන්ත ගුණසේකර
 සමන්ත ගුණසේකරගේ රේගු මෙහෙවර ගැන කතිකාවක්
 

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
කිසිදු අමුත්තක් නැත. එය විදේශීය මත්පැන් බෝතලයකි. වෙනසකට තිබුණේ, මැරුණු ‘නාගයෙකු’  ඒ තුළ බහා තිබීමයි. නාගයා ලාංකිකයෙකි! 


‘ලංකාවෙන් නයි ගෙනියන එක තහනම්. ඉතින් අපි ඒ විදේශිකයාට දඩ ගැහුවා. එයා හිතුවා දඩේ ගෙව්වාම මේක අරන් යන්න පුළුවන් කියලා. ඒක කරන්න බෑ. පස්සේ ඔහු බෝතලය ඉල්ලලා ඇඬුවා’, සමන්ත ගුණසේකරයන් පැවසුවේ ‘නයි මත්පැන්’ බෝතලය මට පෙන්වමිනි.
 
එය 1990 දශකයේ දිනයකි. එකල ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පිහිටියේ, කොළඹ, කොටුවේ බි‍්‍රස්ටල් වීදියේ පැරණි ‘ටයිම්ස්’ ගොඩනැගිල්ලේ ය. එහි පහත මහලක ඔහුගේ කාර්යාලය පැවති අතර, එකල එය ශ‍්‍රී ලංකා රේගුවේ ‘ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකය’ ලෙස හඳුන්වනු ලැබී ය. සමන්ත එහි ප‍්‍රධානියා ය. එවකට හෙතෙම රේගු අධිකාරීවරයෙකි. ලංකාවේ ජෛව සම්පත් ජාවාරම පාලනය කිරීම එයට පැවරී තිබිණි. එහි දී අත්අඩංගුවට ගත් විවිධ විසිතුරු දේවල්වලින් ඔහුගේ කාර්යාලයේ අල්මාරි පිරී පැවතිණි. ‘නයි මත්පැන් බෝතලය’ ද ඉන් එකකි. ජෛව සම්පත් ජාවාරමේ වැටලීම් පිළිබඳ තොරතුරු ගැනීම පිණිස නිතර එහි යන මාධ්‍යකරුවන්ට, සමන්ත ඉතා හොඳ මිතුරෙකු විය. ලියුම්කරු ද ඔහු හඳුනා ගන්නේ ‘ජෛවවිවිධත්ව ආරක්ෂණ ඒකකය’ නිසා ය.
 
 
කොතලහිඹුටු වැටලීම
සමන්ත ගුණසේකර ‘අරුම පුදුම’ මිනිසෙකි. ඔහු කොළඹට නුදුරු දෙහිවල උපන්නේ ය. දෙහිවල මැදි විදුහලින් සිප්සතර හදාරමින්, ජාතික සත්ත්වෝද්‍යානය ආශ‍්‍රිතව පිහිටි, ‘තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය’ ඇසුරේ යෞවනය ගෙවා දැමුවේ ය. ඉක්බිති ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට බැඳෙන හෙතෙම, ටික කලක දී තම උපන් බිමට එරෙහි ජෛව සම්පත් ජාවාරම පාලනය කිරීමේ රේගු කටයුත්ත සියතට ගනියි. ඉන් පසුව ඒ ස`දහා රේගුව තුළ, ‘ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකය’ බිහි කිරීමට ද ඔහු පුරෝගාමී වන්නේ ය. එය මහත් අපූර්ව කාරණයකි. සමන්තලා බිහි කළ නව ඒකකය, රටක ජෛව සම්පත් ජාවාරම පාලනය කිරීම සඳහා, රේගුවක් ඇතුළේ බිහි කෙරුණු ලොව ප‍්‍රථම ‘ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකය’ වීම, ඊට හේතුවයි. එසේම ‘හරිත රේගුවක්’ පිළිබඳ සංකල්පය ලෝකයට හඳුන්වා දුන් ප‍්‍රථම අවස්ථාව ද එය වෙයි. එතැන් පටන් ඔහු ජෛව සම්පත් ජාවාරම්කරුවන් සමග යුද වදියි. ඔවුන්ගේ අංක එකේ ‘සතුරා’ බවට පත් වෙයි. එහෙත් සිය විෂය සම්බන්ධයෙන් අත්පත්කර ගත් අපරිමිත දැනුම් සම්භාරය හේතුවෙන්, ජාවාරමුන්ට සමන්ත ගුණසේකර නමැති දෑ හිතකාමී රේගු නිලධාරියා යටපත්කර දමන්නට නො හැකි වෙයි. 37 වසරක රේගු සේවය නිමවා, 2015 මාර්තු 31 වැනි දා නිහඬව විශ‍්‍රාම යන තෙක්ම ඔහු ඒ සටනේ පුරෝගාමියෙකි. ඔහුගේ ‘අරුම පුදුම’ දිවි සැරිය, මේ සටහනට නිමිත්තයි.

හෘදයංගම පරිසරවේදියා

පුරා වස්තු වැටලීම්
දිනය සහ වේලාව, හරියටම 2015 මාර්තු 31 වැනි දා දහවල් ය. එවේලේ කිසියම් කරුණක් විමසීම පිණිස ලියුම්කරුට සමන්ත ගුණසේකරයන් මතක් විය. ඉකුත් දින කීපයේම ඔහුගේ ජංගම දුරකතනය අක‍්‍රියව පැවතුණ ද, ‘ඉරුදින’ කන්තෝරුවේ දුරකතනයෙන් සමන්ත ඇමතුවෙමි. එහෙත් ඔහුගේ දුරකතනය තවමත් අක‍්‍රිය ය. බැරිම තැන, අප හිතවත් පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතාට අමතා සමන්ත ගැන විමසුවෙමි. ‘සමන්ත අද පැන්ෂන් යනවා නේ. අද කස්ටම් එකේ පොඩි උත්සවයක්. මමත් එතැන ඉන්නේ. දැන් නම් කොහොමත් පෝන් එක  ඕෆ්කර ගෙනයි ඇත්තේ’, ජගත් ගුණවර්ධන මහතා කීවේ ය.
 

 ‘සමන්ත පැන්ෂන් යනවා!’ එය ඇදහිය නො හැකි තරමේ ආරංචියක් වැන්න. රේගුවේ කළ රැකියාවෙන් ඉසිඹු ලෑව ද, ඔහුවන් හෘදයංගම පරිසරවේදියෙකුට ගහ කොලට, සතා සීපාවාට, පරිසරයට බැඳි පෙම අත්හැරිය හැකි ද? එය කොහෙත්ම කළ නො හැක්කක් බව, ලියුම්කරුගේ විශ්වාසයයි. අප දන්නා කියන සමන්ත ගුණසේකර, ඒ සැම දෙයක් සමගම, ගහට-පොත්ත මෙන් බැඳී සිටියේ ය.
 

සමන්ත පමණක් නොවේ. ලියුම්කරුගේ පත්තර කලා ජීවිතයේ දී එබඳු පරිසර මිතුරන් කිහිප දෙනෙකුම හමුවී තිබේ. ඉන් මුල්ම මිතුරා, ලලිත් ගමගේ (වර්තමානයේ අනුරාධපුර දිසා වන නිලධාරී) සොහොයුරා ය. ඊළඟට, පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ය. අනෙකා, බන්දුරංග කාරියවසම් මිතුරා ය. සමන්තත්, මේ කියන අනෙක් පරිසර මිතුරනුත් සම්බන්ධයෙන් මහා පොදු ලක්ෂණ කිහිපයක් තිබේ. ගහ කොලට, සතා සීපාවාට, පරිසරයට අපරිමිත ලෙස ඇලූම් කිරීම සහ ඒ උරුමයන් සුරැකීම වෙනුවෙන් දිවි හිමියෙන්ම කැපවී සිටීම, ඉන් ප‍්‍රමුඛතම ලක්ෂණයයි. අනෙක, අවශ්‍ය අවස්ථාවන්හි දී තමන් සතු දැනුම නිර්ලෝභීව බෙදා දෙන්නට තරම් නිහතමානී වීමයි. එසේම ඔවුහු, කිසි කලෙකත් මුදල් හෝ ධන සම්පත්වලට පරිසරය පාවා නො දීමේ මහරු ගුණය ද ප‍්‍රගුණකර ගෙන සිටිති! එබැවින් ලියුම්කරුගේ 26 වසරැති පත්තර කලා ජීවිතයේ දී හමුවූ අනේක විධ පරිසර මිතුරන් අතර, ඔවුහු කැපී පෙනෙති. පරිසර වැඩවල දී ඔවුන් එකට වැඩ කරන්නෝ ය.


සමන්තගේ මුල්ම පාරිසරික එළඹුම, දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය ආශ‍්‍රිතව පිහිටි, ‘තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය’ (
YZA’)නමැති ස්වේච්ඡා සංවිධානයයි. 1972 වසරේ ඇරඹුණු එහි විෂය වුයේ වන සතුන් පිළිබඳ විද්‍යාත්මක ගවේෂණ පැවැත්වීමයි. ඒ සමගම තරුණ කණ්ඩායම් ඒ සඳහා පුහුණු කිරීමයි. ඊට එක් වුණු පිරිස අතර එකල, ජගත් ගුණවර්ධන (පසුව පාරිසරික නීතිඥ), පෝල් මැනුවෙල්, සමන්ත ගුණසේකර (පසුව නියෝජ්‍ය රේගු අධිකාරී), සංජීව ප‍්‍රභර්ෂණ රන්වැල්ල (පසුව අභාවප‍්‍රාප්ත, වෛද්‍ය), ශාන්ත ජයවීර, අශෝක ගුණතිලක, ප‍්‍රසන්ත ජයසේකර, ලලිත් ගමගේ (පසුව දිසා වන නිලධාරී), නයනක රන්වැල්ල (පසුව මාධ්‍යවේදී) ඇතුළු විශාල කණ්ඩායමක් සිටියහ. ඔවුහු සිය අධ්‍යයන කටයුතු මැනවින්කර ගෙන ගියහ.

 

 
ඇත් දළ තොගය


මේ අතර ඔවුන්ට එක්තරා ආරංචියක් ලැබිණි. ඉන් කියැවුණේ, ලංකාවේ මිරිදිය මසුන්, ජලජ පැළෑටි වර්ග සහ ගිරවුන් හොර රහසේම එතෙර යැවීමේ ජාවාරමක් ක‍්‍රියාත්මක වන බවයි. තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ පිරිස වහාම මේ ගැන සොයන්නට ද, ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් ගැන රහසින් තොරතුරු රැස් කරන්නට ද පටන් ගත් හ. මේ අතර, 1978 වසරේ දී සමන්ත දෙවැනි ශේණියේ නිලධාරියෙකු වශයෙන් ශ‍්‍රී ලංකා රේගුවට බැඳුණි. මෙසේ ලැබෙන තොරතුරු රේගු රාජකාරියේ දී ඔහුට මහත් පිටුවහලක් විය.

 
කෙසේ වෙතත්, රේගු රාජකාරියේ දී කළ-එළි බැස්සේ නිකම්ම සමන්ත ගුණසේකර කෙනෙක් නොවේ! තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයෙන් දුන් දැනුමෙන් ද, අත්දැකීම්වලින් ද, පරිසරකාමයෙන් ද හික්මවනු ලැබූ තරුණ රේගු නිලධාරියෙකි. එය පරිසර ක්ෂේත‍්‍රයේ අනේක විධ සොඳුරු සහ කටුක නිම්නයන් ඔස්සේ පා සටහන් ඇඳෙන, දීර්ඝ චාරිකාවක ආරම්භයක් විය. එහි ප‍්‍රථම කඩඉම, වර්ෂ 1981 දී අනවසරයෙන් පිට රට යවන්නට ගිය ‘දෙපුල්ලියා’ (puntius Cumingii) නම් මිරිදිය මසුන් තොගයක් ඔහු විසින් අත්අඩංගුවට ගැනීමයි. ඒ වන විට ක‍්‍රියාත්මක වෙමින් පැවති 1940 අංක 24 දරණ ධීවර ආඥා පනතට අනුව, බුලත් හපයා, ලේ තිත්තයා, හල්මල් දණ්ඩියා, දෙපුල්ලියා, සහ පුලූට්ටා (තල් කොස්සා) යන දේශීය මිරිදිය මසුන් අනවසරයෙන් අපනයනය කරන්නට නුපුළුවන. ඒ ගැන නො තකමින්  දෙපුල්ලියන් අපනයනය කරන්නට තැත්කර තිබුණේ, ‘පර්ල් අයිලන්ඩ් ඇක්වටික්’ නමැති පෞද්ගලික ආයතනයකි.
 

දෙපුල්ලියන් පිළිබඳ සිද්ධිය මහත් ආන්දෝලනයට තුඩු දුන්නේ ය. මිිරිදිය මසුන් පිට රට යවන සමාගම් කලබල වූහ. ‘කස්ටම් එක තියෙන්නේ මාළු අල්ලන්න ද?’ යයි කියමින් සමන්තගේ වැටලීම හෑල්ලූ කළහ. දෙපුල්ලියන් තොගයට එකල රුපියල් 2000ක රේගු දඩයක් පැන විණි. මසුන් රාජසන්තක කෙරිණි. දෙපුල්ලියන් අත්අඩංගුවට ගැනීම, ලංකාවේ ජෛව සම්පත් හොරෙන් පිට රට යැවීමේ ජාවාරමට එරෙහිව වැට බඳින්නට මුල් වුණු ප‍්‍රථම සිද්ධිය බවට පත් විය.

 
මේ අතර, තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ, ශාන්ත ජයවීර, නීතිඥ ජගත් ගුණවර්ධන, අශෝක ගුණතිලක යන මහත්වරු, ලංකාවේ මිරිදිය මසුන් හොරෙන් අපනයනය කිරීම ගැන තවදුරටත් අධ්‍යයනය කරන්නට වූහ. 1980 දශකය මැද භාගය වන විට, අපනයනය තහනම් නැති රෑන ගිරවුන් සමග කලවම් කොට, ලංකා ගිරා මලිත්තන් (Ceylon Loriket) සහ ලංකා අළු ගිරවුන් (Layad’s Parakeet), හොරෙන් පිටරට යවන බව තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකයින්ට වැටහිණි. සංගමයේ සාමාජිකයෙක් එංගලන්තයේ දී උන් විකිණීමට තබා ඇති බව සියැසින් දැක තිබිණි! ඔවුහු වහාම මේ කාරණය, වන සත්ත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුවට (වත්මන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව) දැන් වූහ. එහෙත් ප‍්‍රතිචාරයක් නො වීය. කෙසේ වෙතත් තරුණ රේගු නිලධාරී සමන්ත ගුණසේකරයන්, සිය පරිසර මිතුරන් හා එක්ව ජාවාරම දෙස සිය උකුසු ඇස යොමුකර ගෙන සිටියේ ය. ඒ අතර ලංකාවේ දේශීය මිරිදිය මසුන්, තහනම් පක්ෂීන්, ආවේණික ජලජ පැළෑටි ආදිය හොරෙන් පිට රට යැවීමේ ජාවාරමට එරෙහිව, පරිසර සංවිධාන අතර සංවාදයක් ද ඇති විය. තොරතුරු සෙවීමේ ප‍්‍රයත්නයන් ද දක්නට ලැබිණි. සමන්ත ද එහි සහෘදයෙක් වූයේ ය. අවසානයේ ඔවුන්ට අවබෝධ වූයේ, ලංකාව ක‍්‍රමයෙන් ජාත්‍යන්තර ජෛව සම්පත් ජාවාරමට බිලි වෙමින් යන බවයි!
 
 
ගොඩවායේ රේගුව

ලංකාවේ රේගු ක‍්‍රියාවලිය බොහොම පැරණි ය. එය අම්බලන්තොට, වලවේ ගඟේ මෝය ආශ‍්‍රිතව පැවති ඉපැරණි ‘ගොඩවාය ජාත්‍යන්තර වරාය’ තෙක් දිවෙයි. ගොඩවාය වරාය ඇරඹී ඇත්තේ, මාගම රාජධානිය පැවති ක‍්‍රිස්තු පූර්වයෙන් 02-03 වැනි සියවස්වල දී ය. එකල ගොඩවාය වරාය ඔස්සේ රටින් පිට කෙරෙන භාණ්ඩවලට ද, රටට ගෙන එන භාණ්ඩවලට ද, බදු අය කෙරිණි. ඒ බව ගොඩවායේ ඇති සෙල් ලිපි දෙකකින් ද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1990 දශකයේ කළ පර්යේෂණවලින් ද, තහවුරු විය. බදු අයකිරීම පිණිස එකල මුලාදෑනීන් ද පත්කර තිබිණි. මෙය ලාංකේය රේගු ක‍්‍රියාවලියේ ප‍්‍රාථමික අවස්ථාවක් බව, වර්තමාන රේගු නිලධාරීන්ගේ පිළි ගැනීමයි. යටත් විජිත පලන සමයේ දී රේගු ක‍්‍රියාවලිය පැවතුණේ, ‘රේන්ද තොටුපොළවල්’ වශයෙනි. පසුව වර්ෂ 1815 දී, බි‍්‍රතාන්‍ය පාලනය යටතේ ලංකාවේ ප‍්‍රථම රේගු ආඥා පනත බිහි විය. ඒ සමගම විධිමත් රේගු යාන්ත‍්‍රණයක් ද ඇති කෙරිණි. ආනයන සහ අපනයන පාලනය කිරීමෙන් රටට ආදායම් ගැනීමත්, රටේ සම්පත් සහ උරුමයන් ආරක්ෂාකර ගැනීමත්, රේගුවේ පරමාර්ථයයි.

 
 
රෝස් වුඩ් පරීක්ෂා කරමින්
අතීතයේ අපේ රටින් අපනයනය කෙරුණු භාණ්ඩ අතර, මුතු-මැණික්, අලි-ඇතුන් සහ ඇත් දළ, කුරුඳු සහ ගම්මිරිස් ආදිය ද විය. ඒ අතර, අලි-ඇතුන් සහ ඇත් දළ ආදිය අපනයනය කිරීම, වර්තමාන ජෛව සම්පත් ජාවාරමෙහි මූලාරම්භක අවස්ථාව බව පරිසරවේදීන්ගේ පිළි ගැනීමයි. රේගු ආඥා පනතින් පසුව, වනාන්තර සහ වනජීවීන් ආරක්ෂා කිරීම පිණිස තවත් අණ-පනත් බිහි විය. 1912 වසරේ එළි දුටු රේගු ආඥා පනතින්, මොණරා, සැළලිහිණියා සහ වලි කුකුළා යන පක්ෂීන් ආරක්ෂා කිරීමටත්, උන් පිටරට යැවීම තහනම් කිරීමටත්, නීති පැන විණි. එය වනජීවීන් පිටරට යැවීමට එරෙහිව පැනවුණු මුල්ම රේගු පනතයි. ඊට පසුව ද රේගු ක‍්‍රියාවලියට බලපාන අණ-පනත් ගණනාවක්ම පැනවිණි. රේගු ආඥා පනතට අමතරව, 1968 ආනයන හා අපනයන පාලක පනත, 1993 අංක 49 දරණ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත, 1996 අංක 02 දරණ ධීවර හා ජලජ සම්පත් ආඥා පනත, 1999 අංක 35 දරණ පැළෑටි ආරක්ෂා කිරීමේ පනත, සත්ත්ව නිරෝධායන පනත සහ වන ආඥා පනත යන අණ-පනත් ඒවා අතර වෙයි. රේගු ආඥා පනතේ 12 වැනි වගන්තිය අනුව, යම් රාජ්‍ය පනතකින් ආනයන-අපනයන කටයුතු තහනම්කර ඇති හෝ පාලනයකර ඇති  ඕනෑම අවස්ථාවක, එම පාලන නීති ක‍්‍රියාත්මක කිරීමේ බලය ද රේගුවට පැවරෙයි. ජෛව සම්පත් ජාවාරමට එරෙහි සමන්තගේ දීර්ඝ චාරිකාව, මේ සියලූ අණ පනත් ඔස්සේ වැටී තිබුණේ ය.
 

දෙපුල්ලියන් පිළිබඳ සිද්ධියෙන් පසුව සමන්ත කළේ, ලංකාව බිලි වෙමින් යන ජෛව සම්පත් ජාවාරම ගැන මැනවින් හැදෑරීමයි. ඉන් පසුව ඔහු සිය ප‍්‍රධානීන් හමුවේ ඒ ගැන කරුණු දැක්වී ය. ඉන් රටට ඇති වන අනතුරත්, ජෛව සම්පත්වලට වන හානියත්, පෙන්වා දුන්නේ ය. එහි දී ඔහු යෝජනා කළේ, නීති විරෝධීව කෙරෙන ජෛව සම්පත් ජාවාරම පාලනය කිරීම සඳහා රේගුව තුළ වෙනම ඒකකයක් පිහිටු විය යුතු බවයි.

එසේ වුව ද, ඒ වන විටත් දේශීය මිරිදිය මසුන් විදෙස්ගත කරන වෙළෙඳ සමාගම් පැවසුවේ අපූරු විවේචනයකි. ස්වභාවික පරිසරයේ දේශීය මිරිදිය මසුන්  ඕනෑ තරම් සිටින බැවින්, උන් අපනයනය කිරීමෙන් ගැටලූවක් ඇති නො වන  බවයි. මෙහි දී ධීවර අමාත්‍යංශය සිටියේ දැඩි පිළිවෙතක ය. ඔවුුන් පැවසුවේ, බලපත‍්‍ර නැතිව මිරිදිය මසුන් අපනයනය කළ හැකි උපරිම කාලය තුන් මසක් පමණක් බවයි. ඉන් පසුව ඒ සඳහා අවසරපත් ගත යුතු බවටත්, රටේ නීතිවලට අනුගත විය යුතු බවටත්, කොන්දේසි පැනවිණි.
 

මේ අතර, ජාත්‍යන්තර ‘සයිටීස්’ (CITIES) සම්මුතිය ගැන දැනුවත් කිරීමේ ජාත්‍යන්තර සමුළුවක්, 1993 වසරේ ශ‍්‍රී ලංකාවේ දී පැවැත් විණි. සම්මුතියට අත්සන් කළ රටවල් 103ක නියෝජිතයන් එයට එක්ව සහභාගි වූහ. සමන්ත සමුළුවට පැමිණි විදේශීය විද්වතුන් ද මුණ ගැසුණු අතර, ලංකාව ජෛව සම්පත් ජාවාරමට එරෙහිව වැඩ කරන ආකාරය ගැන ඔවුන් දැනුවත් කළේ ය. සමුළු නියෝජිතයන් රේගුවට ද පැමිණි අතර, සමන්ත ගුණසේකර මහතා පවසන ආකාරයේ රේගු ඒකකයක් නිර්මාණය කිරීම යහපත් දෙයක් යයි, ඔවුහු ද අවධාරණය කළහ.

 
එකල රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වූයේ, පී. වීරසේකර මහතා ය. මේ සියලූ තත්ත්වයන් සලකා බැලූ ඔහු ද, සෙසු ඉහළ නිලධාරීන් ද, සමන්තගේ යෝජනාව පිළිගත්හ. ඉන් පසුව, ශ‍්‍රී ලංකා රේගුවේ ‘වනජීවී කාර්යසාධක බලකාය’ නමින් නව ඒකකය ඇරඹිණි. සමන්ත එහි ප‍්‍රධානියා ලෙස පත් කෙරිණි. 1997 වසරේ එහි නම ‘ජෛව විවිධත්ව කාර්යසාධක බලකාය’ යනුවෙන් වෙනස් කෙරිණි. එයින් කෙරුණු වැටලීම් නිසා එය ඉතා ඉක්මණින්ම ජනප‍්‍රිය විය. 1998 වසරේ දී එහි නම යළිත් වෙනස්වී, ‘ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකය’ බව පත් විය. ඒ වන විට ‘රේගු අධිකාරී’ තනතුරට උසස් වීම් ලබා සිටි සමන්ත ගුණසේකර මහතා එහි ප‍්‍රධානියා ලෙස පත් කෙරිණි. පසුකාලීනව එය, ශ්‍රී ලංකා රේගුවේ ‘ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරැමයන් සුරැකීමේ අංශය’ ලෙස නාමකරණය කෙරිණි.
 

ලොව කැළඹූ වැටලීම්

නව ඒකකය ඔස්සේ සමන්තලා කළ වැටලීම් සංඛ්‍යාව දහස් ගණනකි. ඉන් කිහිපයක් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් කැපී පෙනෙයි.

වැහි ලිහිණි කූඩු

වැහි ලිහිණියන් හෙවත් ‘කැදලි තුරීත’ පක්ෂීන්ගේ කූඩු කඩා, පිටරට යැවීම ද හොර ජාවාරමකි. ජාවාරම්කරුවන් උන්ගේ කූඩු රැස් කරන්නේ, ඒවා කඩා පැටවුන් විනාශ කිරීමෙනි. එය කැදලි තුරීත පක්ෂීන් වඳවී යාමට හේතුවකි. කැදලි තුරීත කූඩුවලින් සාදන සුප් වර්ග පානය කිරීමෙන්, වාජීකරණ ශක්තිය ඇති වන බවට ඇතැම් රටවල අය විශ්වාස කරති. එබැවින් එතෙර රටවල එය මිල අධික ආහාරයකි. 1995 වසරේ අප‍්‍රියෙල් මාසයේ 09 වැනි දා සමන්තලාගේ ඒකකය මගින් හොර රහසේම සිංගප්පූරුවට යවන්නට උත්සාහ කළ කැදලි තුරීත කූඩු කිලෝග‍්‍රෑම් 44ක් අත්අඩංගුවට ගත්හ. එවකට එහි වටිනාකම රුපියල් පණස් ලක්ෂයකි. මේ සඳහා රේගු නිලධාරීහු රුපියල් ලක්ෂ 149ක දඩයක් පැන වූහ. පසුව අපනයනකරුවා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභියාචනා කළ අතර, එහි දී රේගු දඩය රුපියල් ලක්ෂය දක්වා අඩු කෙරිණි. එම තීරණය එකල මහත් ආන්දෝලනයට ද තුඩු දුන්නේ ය.

කොතලහිඹුටු කොල්ලය

1998 වසරේ ජූනි මස 22 වැනි දා ඔවුහු ජපානයට හොරෙන් අපනයනය කරන්නට ගිය ‘කොතලහිඹුටු’ ඔසු තොගයක් අත්අඩංගුවට ගත්හ. සමන්ත ගුණසේකරයන්ගේ ප‍්‍රධානත්වයෙන් වැටලීම කෙරුණු අතර, ඔසු තොගයෙහි බර මෙටි‍්‍රක් ටොන් 4.14කි. එය එතරම් විශාල කොතලහිඹුටු තොගයක් රේගු අත්අඩංගුවට පත්වූ ප‍්‍රථම අවස්ථාව ද විය. ඒවා වහාම තහනම් කෙරිණි. මින් ඉතා ශෝචනීය කාරණයක් හෙළිදරව් විය. ලංකාවෙන් හොරෙන් යැවෙන කොතලහිඹුටු මගින්, ජපානයේ දී දියවැඩියා රෝගය පාලනය කරන ඔසුවක් නිපදවා ඇති බව, ඒ කාරණයයි. සිද්ධියට සම්බන්ධ ජපාන සමාගමේ අය, ඒ සඳහා පේටන්ට් බලපත‍්‍ර ද ලබා ගෙන ඇතැයි විමර්ශනවලින් අනාවරණය කෙරිණි. කොතලහිඹුටු (Salacia reticulata) දේශීය වෛද්‍ය ක‍්‍රමයේ දී රුධිරයේ සීනි මට්ටම අඩු කිරීම පිණිස යොදා ගන්නා ඖෂධයකි.
 

කොතලහිඹුටු සිද්ධිය රට පුරා පරිසර ක්ෂේත‍්‍රයේ පුළුල් ආන්දෝලනයකට මග පෑදී ය. ලංකාවේ දේශීය ඖෂධ ශාක මෙන්ම, ඒවා සමග බැඳුණු පාරම්පරික වෛද්‍ය දැනුම ද, හොරෙන් විදෙස්ගතකර  පේටන්ට් බලපත‍්‍ර ගැනීමේ කූට ජාවාරමක් ඇති බව  ඉන් තහවුරු කෙරිණි. ජාවාරම ගැන මුලින්ම රටට හෙළි කළේ, පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ය. ඒ වන විටත්, ‘පස් පංගුවට’ යොදා ගන්නා ඖෂධ ද ඇතුළුව දේශීය ඖෂධ රැසක්ම ජාවාරමට බිලිවී තිබිණි. ලංකාවෙන් හොරෙන් රැගෙන ගිය ඖෂධීය ශාක සහ සතුන් සම්බන්ධයෙන්, ‘නව ඖෂධ’ නිපදවීමේ පේටන්ට් බලපත‍්‍ර වැඩිපුරම ලබා ගෙන තිබුණේ ඇමරිකාව සහ ජපානය යන රටවල් ය. ඖෂධීය ශාකය ලංකාවේ වුව ද, යමෙක් ඉන් ඖෂධ නිපදවීමේ පේටන්ට් බලපත‍්‍ර ගත හොත්, එහි අයිතිය ඇත්තේ ඔවුන්ට ය. ලංකාවේ අය එයින් ඔසු නිපදවනවා නම්, පේටන්ට් බලපත‍්‍ර හිමිකරුවන්ට මුදල් ගෙවිය යුතු ය! ඉන් රටට ඇති වන අනතුර වැටහුණු සමන්ත ගුණසේකර මහතා, තම ඒකකය යොදවා ජාවාරම පසුපස හඹා ගියේ ය. එහි දී ලංකාවට ආවේණික දිවි මකුළුවන්, සමනලයන්, කූඩැල්ලන් ආදී සතුන් ද, ජාවාරමට බිලිව ඇතැයි අනාවරණය විණි.

කෙකටිය ටොන් එකහමාරක්

‘කෙකටිය’ (Aponogeton sp.) වූ කලී, ලංකාවේ ඇල දොළ සහ ගංගා ආදියෙහි හමු වන අලංකාර ජලජ පැළෑටියකි. එය විසිතුරු මසුන් ඇති කරන්නන් අතර බෙහෙවින් ජනප‍්‍රිය ය. අපේ රටේ කෙකටිය විශේෂ තුනක් හමු වේ. ඉන් දෙකක් ලංකාවට ආවේණික ය. ඒවා වඳවී යාමේ තර්ජනයට ලක්ව තිබේ. 2002 වසරේ ජූලි මස 18 වැනි දා ඔවුහු අනවසරයෙන් පිටරට යවන්නට ගිය ‘කෙකටිය බල්බ’ කිලෝග‍්‍රෑම් 1500ක තොගයක් අත්අඩංගුවට ගත්හ. ඒවා පෙට්ටි 90ක අසුරා තිබිණි. අපනයනකරු තම ලිපි ලේඛණ මගින්, ඒවා ‘පිටරට යවන්නට තහනම් නැති කෙකටිය විශේෂයක්’ ලෙස හඳුන්වා තිබිණි. එහෙත් සමන්තගේ හඳුනා ගැනීම වූයේ, ඒවා අපනයනය තහනම් කෙකටිය විශේෂයක් බවයි. අවසන, කෙකටිය සාම්පල් පේරාදෙණිය උද්භිද උද්‍යානයට යැවූ අතර, එහි අධ්‍යක්ෂ ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා කළ පර්යේෂණයකින් ‘ඇත්ත කතාව’ අනාවරණය විය. කෙකටිය තොගය නිසැකවම ‘පිටරට යවන්නට තහනම්’ විශේෂයක් බව ඔහු හඳුනා ගෙන තිබිණි. මේ අතර එවකට පැවති රජයේ ඇමතිවරයෙකු සහායකර ගත් අපනයනකරු, රේගු තහනමේ පැවති කෙකටිය තොගය පිටරට යැවීමට සමත් විය. ඉන් නොනැවතී, සමන්ත ගුණසේකර මහතා තමන් ගෙන් අල්ලස් ඉල්ලූවේ යයි පැමිණිල්ලක් ද කළේ ය. පසුව ඔහු වරදකරු වූ අතර, රුපියල් 15,03,058ක රේගු දඩයකට යටත් කෙරිණි. සමන්ත චෝදනාවලින් නිදහස් විය. අපනයනකාර ව්‍යාපාරිකයා ප‍්‍රකට ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුගේ පියෙකි.

 ඇත් දළ සහ රෝස් වුඞ්

2012 වසරේ දී සමන්තලා තවත් අපූරු වැටලීමක් කළහ. ඒ, කෙන්යාවේ සිට ඩුබායි දක්වා නැවකින් ප‍්‍රවාහනය කරමින් තිබුණු ටොන් එකහමාරක ‘ඇත් දළ’ තොගයක් අත්අඩංගුවට ගැනීමයි. එයට ඇත් දළ 359ක් ඇතුළත් විය. ජාත්‍යන්තර ‘සයිටීස් සම්මුතිය’ අනුව ඇත් දළ ප‍්‍රවාහනය තහනම් කටයුත්තකි. තොගයෙහි දල වටිනාකම රුපියල් කෝටි 36ද ඉක්ම වීය. ඒවා වහාම රාජසන්තක කෙරිණි. එය රේගු අත්අඩංගුවට පත්වූ ලොව විශාලතම ඇත් දළ තොගයයි!

මැඩගස්කර් සහ අප‍්‍රිකානු රටවල වැවෙන ‘රෝස් වුඩ්’ යනු, ලොව මිල අධිකම දැව වර්ගයයි. එය භාවිත කරන්නේ ලොව ඉහළම ධනවතුන්ගේ මන්දිරවල ගෘහ භාණ්ඩ තැනීම පිණිස ය. තද රෝස පැහැති එය අතිශයින්ම අලංකාර දැවයකි. 2014 වසරේ අප‍්‍රියෙල් 02 වැනි දා, අනවසරයෙන් ප‍්‍රවාහනය කළ ලොව ලොකුම ‘රෝස් වුඩ්’ තොගය අත්අඩංගුවට ගැනීමට සමන්ත ගුණසේකර ඇතුළු පිරිස සමත් වූහ. එහි බර මෙටි‍්‍රක්ටොන් 420කි. වටිනාකම දල වශයෙන් රුපියල් කෝටි 4000කට අධික ය. කොළඹ වරායේ දී රේගු අත්අඩංගුවට ගැනෙන විට, රෝස් වුඞ් තොගය මැඩගස්කර් සහ ටැන්සානියා යන රටවල් හරහා හොංකොං වරාය වෙත ප‍්‍රවාහනය කෙරෙමින් තිබුණේ ය. දැව තොගය තහනම් කෙරිණි.

ශ‍්‍රී ලංකා රේගුව, 2014 ජූලි මස 14 වැනි දා කොළඹ, කොටුවේ, නව ගොඩනැගිල්ලට ගෙන යනු ලැබිණි. එදිනම එහි නව රේගු කෞතුකාගාරයක් ද විවෘත කෙරිණි. ගොඩවාය පැරණි වරායේ පටන් ගොඩ නැගෙන ලාංකේය රේගු ඉතිහාසය එයට ගොනු කරමින්, කෞතුකාගාරය බිහි කරන්නට සමන්ත ගුණසේකරයන් ද ඉහළම දායකත්වයක් දුන්නේ ය.

 

රෝස් වුඩ් පරීක්ෂණය
 සමන්ත රේගු සේවයෙන් විශ‍්‍රාම ගැනීම නිමිත්තෙන්, 2015 මාර්තු 31 වැනි දා පැවති චාම් උත්සවයට ‘TRIBUTEZ’ නමින් සමරු කලාපයක් ද නිකුත්කර තිබිණි. ඔහුගේ රේගු සහෘදයෙකු වන රංජිත් ලමාහේවා (රේගු අධ්‍යක්ෂක-ප‍්‍රාදේශීය) මහතා, එහි ලියා ඇති සඳහනක කොටසකින් සමන්තගේ දිවි සැරිය ගැන සටහන අවසන් කරමි.
 
‘... ඉතා සුළුවෙන් පරිසර ලැදියෙක් ලෙස ගමන ආරම්භ කළ ඔබ, අද පැමිණ ඇත්තේ ඉතා දිගු ගමනකි. ඔබ ගෙන් අපගේ දෙපාර්තමේන්තුවට හා අප රටට දැයට ඉටුවූ සේවාව මුළු රටම දැන් දනී. එහෙත් සමහර නිවටයන් ඔබගේ ගමනට අකුල් හෙලූ බව ද මම දනිමි. එම බාධක සියල්ල මැඩ ගෙන අද ඔබ ලත් විජයග‍්‍රහණය මේ මොහොතේ මා සිහිපත් කරන්නේ හද පිරි සතුටිනි. එම නිවටයන් හට අද දින ඔබ නිසි පිළිතුරු ලබා දී ඇත. කුඩා මිනිසෙකු වුව ද ඔබ ක‍්‍රියාවෙන් පතාක යෝධයෙකි. ඉදින් පිය සබඳ, ඔබ විසින් අප දැයට කරන ලද මහඟු සේවය මෙවැනි හදිසි කෙටි සටහනකින් පවසිය නො හැකි ය...‘ඔබ අප දේශයේ උරුමයන්ගේ අව්‍යාජ මුරකරුවාණන් ය’.
 
2015/08/22.

Friday, August 14, 2015

ලංකාව ගැන වෙනස් කතා ටිකක්-02



ලංකාව ගැන වෙනස් කතා ටිකක්-02

 

කදුරුගොඩ විහාර පුදබිම

බුදුන් දවස කන්දරෝඩ


වංශකතා අනුව නම්, බුදු දහම ලංකාවට පැමිණ ඇත්තේ දේවානම්පියතිස්ස රජ (ක‍්‍රි. පූ. 250-210) සමයේ ය. එකල ඉන්දියාවේ, අශෝක අධිරාජයාගේ අනුග‍්‍රහය ඇතිව මෙහි වැඩම කළ මිහිඳුමාහිමියන් විසින් බුදු දහම නිල වශයෙන් ස්ථාපිත කරන ලදී.
 

එහෙත් ඊට පෙර පටන්ම ලක් වැසියෝ බුදු දහම ගැන දැන සිටියහ. ඇතැම් විට ඔවුන් බුදුරජාණන් වහන්සේ පැතිරූ ආගමික දර්ශනය අදහන්නට ද ඇත. බුදුරදුන් ජීවමානව වැඩ සිටි සමයේ භාවිත කෙරුණු මාදිලියේ පාත‍්‍රා කොටස්, ලංකාවේ ස්ථාන කිහිපයකින්ම හමු වීම, කාරණය සනාථ කරන සාක්ෂියක් වන්නේ ය.
 
එකල මහ රහතන් වහන්සේලා ප‍්‍රමුඛ මහ සඟන භාවිත කළ, ‘උත්තර භාරතීය කාල උද්දීප්ත මැටි බඳුන්’  නමින් හඳුන් වන මාදිලියට අයත් පාත‍්‍ර කොටස් කිහිපයක්, 2011 වසරේ යාපනයේ, ‘කන්දරෝඩේ’ පුරාවිද්‍යා කැණීමෙන් සොයා ගැනීම, ආසන්නතම සිදු වීමයි.
 
පුරාවිද්‍යාත්මකව ගත් කල, ලංකා ඉතිහාසයේ පැරණිම ප‍්‍රධාන ජනාවාස හතරකි. ඉන් පළමු වැන්න, ‘අනුරාධපුරය’ යි. දෙවැන්න, රුහුණේ පිහිටි වත්මන් ’තිස්සමහාරාමය’ යි. මන්නාරමේ ඉපැරණි ජාත්‍යන්තර නැව් තොට පැවති ‘මාතොට’ හෙවත් ‘මහාතිත්ථය’ තෙවැන්න ය. සිවුවැන්න, බුදුන් ජීවමානව වැඩ සිටි දවස භාවිතා කළ මාදිලියේ පාත‍්‍ර කොටස් හමුවූ ‘කන්දරෝඩේ’ ය. කන්දරෝඩේ වූ කලී, යාපනය දිස්ත‍්‍රික්කයේ චූනක්කම් උප නගරයට සමීප භූමියකි. එය අතීතයේ දී ප‍්‍රකටව තිබුණේ ‘කදුරුගොඩ විහාරය’ යනුවෙනි.
 
2011 වසරේ කදුරුගොඩ විහාරයේ පුරාවිද්‍යා කැණීම් ඇරඹුණේ, උතුරුකරයේ පුරාවිද්‍යා ස්ථාන ගවේෂණය කිරීම සඳහා ජාතික උරුම අමාත්‍යාංශය මගින් ක‍්‍රියාත්මක කළ වැඩ පිළිවෙලක් යටතේ ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කන්දරෝඩේ කැණීමට, යාපනය විශ්ව විද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශය ද සහායකර ගත්තේ ය. 

කන්දරෝඩේ නිකම්ම පුරාවිද්‍යා භූමියක්ම නොවේ. එය යුද්ධය පැවති සමයේ ජාත්‍යන්තර වශයෙන් පවා දැඩි කතාබහකට ලක්වූ ස්ථානයකි. අතීත කන්දරෝඬේ වූ කලී, යාපනයේ දෙමළ රාජ්‍යයක් පැවති බව කියන සාධකයක් බවට, දෙමළ උගතුන් විසින් මතවාද පතුරුවා හැර තිබීම, ඊට හේතුවයි. දෙමළ ඩයස්පෝරාවට හිතවත් සමහරුන් කන්දරෝඩේ පුරාවිද්‍යා කැණීමට පවා එරෙහි වූහ. ඉන් ‘දෙමළ ඊළමේ’ සාධක කූට ලෙස වනසා දමනු ඇතැයි කියමිනි. අතීතයේ දී ‘ජම්බුකෝල පට්ටන’ හෙවත් ‘දඹකොල පටුන’ වරාය පැවති කන්කසන්තුරේ, කන්දරෝඩේට සමීප මුහුදු තීරයයි.
 
බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නේ අදින් වසර 2600 ක් හෙවත්, ක‍්‍රි. පූ. 06 වැනි සියවසේ දී ය. ගිහි ගෙය හැර පියා පැවිදි දිවියට එළඹෙන සිද්ධාර්ථ තවුසාණෝ, සිය 35 වැනි වියෙහි දී නිර්වාණය අවබෝධකොට ගෙන බුද්ධත්වයට පත් වෙති. ඉන් පසුව පුරා 45 වසරක් පරාර්ථ චර්යාවෙහි හැසිරෙමින්, 80 වැනි වියෙහි දී පිරිනිවන් පාන්නේ ය. මේ කාලයෙහි බුද්ධ ශ‍්‍රාවක භික්ෂූන් වැඩිපුරම භාවිතකර ඇත්තේ, මැටියෙන් තනා නිමකළ චාම් ස්වභාවයේ පාත‍්‍රයන් ය. පුරාවිද්‍යාඥයන් ඒවා හඳුන්වන්නේ, ‘උත්තර භාරතීය කාල උද්දීප්ත මැටි බඳුන්’ යන නමිනි.
 
කන්දරෝඬේ කැණීමෙන් හමුවූ පුරා වස්තු, කාලනිර්ණය කෙරුණේ ඇමරිකාවේ ‘බීටා ඇනලිටික්’ නමැති රසායනාගාරයේ ය. ඔවුන් නිකුත් කළ වාර්තාවෙන් කියැවුණේ, ‘කන්දරෝඩෙන් සොයා ගත්  ‘පාත‍්‍ර කොටස්’, නිසැකවම ක‍්‍රිස්තු පූර්ව හය වැනි සියවසට අයත් වන බවයි. එය අතිශයින්ම පෙරළිකාර කාලනිර්ණ වාර්තාවක් බව, පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි. සොයා ගත් පාත‍්‍ර කොටස්, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ දඹදිවෙහි භික්ෂූන් අතර භාවිතාවූ සම්ප‍්‍රදායට (මාදිලියට) අයත් මැටි බඳුන් කොටස් බවට තහවුරු වීම, ඊට හේතුවයි!
 
 

 කැණීමෙන් හමුවූ උත්තර භාරතීය පාත්‍ර කොටස්

 උත්තර භාරතීය කාල උද්දීප්ත සම්ප‍්‍රදායට අයත් පාත‍්‍ර කොටස්, මීට ඉහත අවස්ථා දෙකකදී ද ශ‍්‍රී ලංකාවෙන් හමුවී තිබේ. ඒ, 1969 වසරේ ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ප‍්‍රධානත්වයෙන් කෙරුණු අනුරාධපුරයේ ඇතුළු නුවර කැණීමෙන් සහ 2000 දශකයේ ජර්මනිය සමග ඒකාබද්ධව, ‘කාවා ව්‍යාපෘතිය’ යටතේ කෙරුණු තිස්සමහාරාමයේ ඇතුළු නුවර කැණීමෙනි. මින් අනුරාධපුරයේ පාත‍්‍ර කොටස් ක‍්‍රි. පූ. 400-350 අතර වකවානුවට අයත් බවට කාලනිර්ණයකර තිබිණි.
 
බුුදුරදුන් ජීවමානව වැඩ සිටි සමයේ පවා, ලක් වැසි බෞද්ධයන් සිටියේය යන්න, පුරාවිද්‍යාත්මකව හෙළිදරව් වීම සිත් පහන් කරවන කාරණයක් නො වන්නේ ද?

 

මාදුරු ඔයට නො දෙවැනි 
කලා වැවේ පැරණි සොරොව්ව
වැව් බැඳවීම, වී වගාව සහ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අපේ රටට ඇත්තේ විශිෂ්ඨ ඉතිහාසයකි. විශිෂ්ඨ තාක්ෂණයකි.
 
වී වගාව සම්බන්ධයෙන් ලංකාවේ මෙතෙක් සොයා ගන්නා ලද පැරණිම, විධිමත් සාධක සමූහය වාර්තා වන්නේ, ආචාර්ය සිරාන් දැරණියගල මහතා, 1969, 1984 සහ 1988 යන වර්ෂවල අනුරාධපුරයේ ඇතුළු පුරයේ කළ කැණීම්වලිනි. ඒ අනුව ක‍්‍රිස්තු පූර්ව 09 වන සියවසේ (අදින් වසර 2900කට ඉහත), අනුරාධපුර හෙක්ටයාර් 10ක් පමණ විශාල භූමියක් සහිත නගරයකි. එහි විසූවෝ වී සහ ධාන්‍ය ගොවිතැන, එළ හරකුන් සහ අශ්වයන් ඇති කිරීම, යකඩ භාවිතය සහ මැටි බඳුන් භාවිතය යන දියුණු සමාජ  ලක්‍ෂණ සහිතව ජීවත් වූ බව පර්යේෂණයෙන් හෙළි විණි. මේ කාලවකවානුව වන විට ලංකාවේ ‘ගල් යුගය’ අවසන්ව, ‘පූර්ව ඓතිහාසික යකඩ යුගය’ එළඹී තිබිණි. එය ලංකාවට ගලා ආවේ ඉන්දියාවෙනි.
 
 

කලා වැව

 ‘ඔය කාලය වෙන කොට වී ගොවිතැන කළා කියන්නේ, අනිවාර්්‍යයෙන්ම කිසියම් වාරි තාක්‍ෂණයක් තියෙන්න ඇති. මොකද ලංකාව ඊසාන දිග සහ නිරිත දිග මෝසම් දෙකින් වර්ෂාව ලැබෙන රටක්. අනෙකි වී වගා  කරන්න නම් වියළි කාලයට ජලය රඳවා ගන්න වෙනවා. ඒ නිසා කුඩා වැව් තියෙන්න ඇති. ඇළ මාර්ගත් කියෙන්න ඇති’, පූර්ව ඓතිහාසික යකඩ යුගයෙහි තිබෙන්නට ඇතැයි සිතන වාරි තාක්ෂණය ගැන එසේ කියන්නේ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ පර්යේෂක, ආචාර්ය නිමල් පෙරේරා මහතා ය.
 

මහා වංශය පවසන අන්දමට ලංකාවේ හැදූ මුල්ම වැව, අනුරාධපුරයේ දකුණු දෙසින් පිහිටි ‘බසවක්කුලම’ (අභය වැව) යි. ක‍්‍රි. පූ. 06 වැනි සියවසේදී විජය කුමාරයා සමග ලංකාවට පැමිණි ‘අනුරාධ’ නම් කුමාරයා අනුරාධපුර ජනාවාස බිහි කළ බවත් ඉන් පසුව පණ්ඩුකාභය රජු බසවක්කුලම වැව ඉදි කළ බවත්, මහාවංශයෙහි සඳහන් වේ. රට බතින් පෝෂණය කිරීමේ සංකල්පය එකල ද තිබෙන්නට ඇත.
 
ක‍්‍රි. පූ. 01 වැනි සියවස වන විට ලංකාවේ වාරි ශිෂ්ටාචාරයෙහි පොදු ලක්‍ෂණයක් වූයේ, ගමක් පාසා ‘කුඩා වැව්’ ඉදිකර තිබීමයි. ඉන් පසුව ක‍්‍රිස්තු වර්ෂ 02 වැනි සියවසේ දී රජ කළ වසභ (ක‍්‍රි.ව. 67 -111) රජ්ජුරුවෝ තත්ත්වය වෙනස් කළහ. ග‍්‍රාමීය වැව්, ‘මහා වැව්’ බවට පත් කිරීම ඔහු කළ කාර්යභාරයයි. මහා ඇළ මාර්ග ද ඉදි විණි. කොටින්ම ලංකාවේ වාරි ඉතිහාසයෙහි විශාල වැව් තැනවීමේ වැඩපිළිවෙළ ඇරඹුණේ වසභ රජුගෙනි. එය අපූර්ව තාක්ෂණ විධි-ක‍්‍රමයකි. මහාවංශය කියන හැටියට, මහවිලච්චිය වැව, මනම්පිටියේ නොච්චිපතාන වැව ඇතුළු විශාල වැව් 12ක් ද, ඇලහැර යෝධ ඇල (අලිසාර ඇළ) ද ඉදිකර ඇත්තේ ඔහුගේ මෙහෙයවීමෙනි. ඉන් පසුව රජ පැමිණි මහසෙන් රජ්ජුරුවෝ (ක‍්‍රි.ව. 274 - 301*, සිය විස් පස් අවුරුදු රාජ්‍ය පාලන කාලය තුළ මහා වැව් 16ක් ද, අන්තර් දෝණි ඇළ මාර්ග රැසක් ද තනවමින් මහා පෙරළියක් කළහ.
 
අතීතයේ ලංකාවේ පැවති වාරි තාක්ෂණ මහිමය ගැන කියන්නට, බොහෝ දෙනෙක් ගන්නා ප‍්‍රසිද්ධම උදාහරණය ‘මාදුරු ඔය’ මහවැලි ජලාශයයි. එය තැනවුණේ, පැරණි මහ වැවක් නටබුන්ව ගිය භූමියක ය. 1980 දශකයේ දී ජලාශය ඉදි කරන්නට ගිය ඉංජිනේරුවරු, නවීන මිණුම් සිතියම් ආශ‍්‍රයෙන් එහි සොරොව්ව බැඳීම පිණිස යම් තැනක් තෝරා ගත්හ. කැණීම් කරද්දී ඔවුන්ට, පැරණි වැවේ සොරොව්ව ද එතැනින්ම මතු වනු දක්නට ලැබිණි! සොරොව් තැබීම සහ මිණුම් ගැනීම අරභයා පැරැන්නන් සතුව පැවති දැනුම ගැන එදා සියලූ දෙනා මවිතයට පත් වූහ.
 



මෙබඳුම පැරණි සොරොව්වක්, ධතුසේන රජු (ක‍්‍රි. ව. 455-473) සමයේ ඉදි කළ ‘කලා වැවෙන්’ ද හමුවී තිබේ. එය අප‍්‍රකට සිද්ධියකි.
 
මහවැලි ව්‍යාපාරය යටතේ ගෙනා දියවර, 1978 වසරේ දී පමණ කලා වැවට මුදා හැරුණි. ඒ ජලය නව ගොවි බිම්වලට රැගෙන යාම පිණිස, නව සොරොව්වක් සහ ඇල මාර්ගයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක විය. මහවැලි අධිකාරියේ ඉංජිනේරුවරු, කිලෝමීටර් 6.88ක් දිග කලා වැව බැම්ම (වේල්ල) සහ ජල තලය ඇතුළු කොටස් මිනුම් ගත කළහ. ඉන් පසුව, නව සොරොව්ව ඉදි කරන්නට, වැව් බැම්මේ දකුණු ඉවුර දෙසින් (කැකිරාව දෙසින්) පිහිටි ස්ථානයක් නිර්දේශ කළහ.
 
 

ආරියතිලක පීරිස්  මහතා



තෝරා ගත් ස්ථානය කැණීම් කළ ඔවුන් මවිතයට පත් කරවමින්, හරියටම එතැන තිබී ඉපැරණි සොරොව්වක් හමු විය. නව සොරොව්ව ස්ථානගත කිරීමේ නවීන සැලසුමට සමාන ලෙස එය ඉදිකර තිබීම, පුදුම සහගත කාරණයක් විය. ව්‍යාපෘතිය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහභාගි වූයේ, උපදේශක වාරි ඉංජිනේරු, ආරියතිලක පීරිස් මහතා ය. ඔහු පවසන අන්දමට, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැනුම් දීම පරිදි, එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයා ද පැරණි සොරොව්ව නිරීක්ෂණය කරන්නට කලා වැවට පැමිණියේ ය. ඉක්බිති එය සුරක්ෂිතව වසා දැමුණු අතර, සමීප වෙනත් තැනකින් නව සොරොව්ව ඉදි කෙරිණි. එය අදත් දැකගත හැකි ය.
 
මහා ජලාශවල සොරොව් බැඳීම පිණිස සූක්ෂම ලෙස මිණුම් ගැනීම අරභයා, කලා වැව කරවූ රජදරුවන් සතුව පැවති දැනුම විශ්මයජනක ය. එය අදත් කෘෂිකාර්මික ජනී ජනයින්ට නො මසුරුව සිහිල් දියවර සපයන්නේ ය.

 

පේරාදෙණියේ දිවි ගැලවුණු පුවත
ලංකාවේ සරසවියක මුල් වරට, ‘භූ විද්‍යා අධ්‍යයන අංශයක්’ පිහිට වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ය. 1960 වසරේ දී එය ආරම්භ කළේ, දෙස්-විදෙස් පතළ භූ විද්‍යාඥයෙකු වන, (අභාවප‍්‍රාප්ත) මහාචාර්ය පියදාස විජේරත්න විතානගේ (මහාචාර්ය පී. ඩබ්ලිව්. විතානගේ) සූරීන් විසිනි. එයින් බිහිවූ ප‍්‍රකට භූ විද්‍යාඥයන් අතර, මහාචාර්ය සී. බී. දිසානායක, ආචාර්ය විල්බට් කෙහෙල්පන්නල, ආචාර්ය එන්. පී. විජයානන්ද, ආචාර්ය ජේ. රණසූරිය, මහාචාර්ය කපිල දහනායක ඇතුළු විශාල පිරිසක් වෙති. ලංකාවේ භූ පැලූම් අධ්‍යනය කරමින් ද, නාය යාම් අධ්‍යනය කරමින් ද, ඊට පිළියම් සොයමින් ද ඔවුන් රටට කළ සේවාව අති මහත් ය.
 

පේරාදෙණිය නගරය නාය ගිය අවස්ථාවක්


ඔවුන්ගේ විෂය ධාරාවේ වර්තමාන ‘ක්ෂේත‍්‍ර සම්ප‍්‍රාප්තිකයා’, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයයි. ඔවුහු නාය යාම්වලට ගොදුරු වන ප‍්‍රදේශ සිතියම්ගත කරති. නාය යාම් ගැන අධ්‍යනය කරති. අනතුරු ඇඟවීම් කරති. නාය යන ප‍්‍රදේශවලට පිළියම් යොදති. ඒවා, ජනතාව නාය විපතින් ගලවා ගැනීමේ මෙහෙයුම් ය. ඔවුන් පේරාදෙණිය නගරය වෙනුවෙන් කළ මෙහෙයුම සුවිශේෂ ය.
 
පේරාදෙණිය, ප‍්‍රකට පුරවරයක් බවට පත් වූයේ බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ දී ය. සෙංකඩගල පුරයට පිවිසීම පිණිස බි‍්‍රතාන්‍යයන් විසින් මහවැලි ගඟ හරහා දැවැන්ත යකඩ පාලමක් ඉදි කිරීම, ඊට මුල්වූ සිද්ධියයි. එකල ජන කවීහු, ‘පාලම තිබෙයි ඉර-හඳ පවතිනා තුරු’ යයි පාලමෙහි ගුණ-වරුණ ගැයූහ. පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇරඹිණි. 1990 දශකය නිම වනවිට පේරාදෙණිය අතිශය ජනාකීර්ණ නගරයක් විය. මහනුවර නගරයට සමීපයෙන් පිහිටා තිබීම, එහි ආකර්ෂණීයභාවය වැඩි කළාට සැක නැත.
 
 2006 වසරේ නොවැම්බරයේ පේරාදෙණිය නගරය උන් හිටි ගමන් බිහිසුණු නාය යාම් මාලාවකට බිලි විය. මහා මාර්ග ත්‍මන්ම නිවාස ද රැුසක්ම හානි විය. පසුව 2009 වසරේ ඔක්තෝබරයේ ද පේරාදෙණිය නාය ගියේ ය. අවසන නගරය එතැනින් ඉවත් කරන්නට පවා නිර්දේශ කෙරිණි. ඉමහත් ආන්දෝලන ඇති විය.
 
මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, රජයේ නියමය පරිදි වැඩට බැස්සේ ය. හෙල් මළු සැකසීම, අවදානම් ගල්-පර්වත පුපුරුවා දැමීම, පස් තට්ටු සහ පාෂාණ වැර ගැන් වීම, සහ පස මතුපිට ජල වහනය ක‍්‍රමවත් කිරීම ආදී වැඩ කන්දරාවක්, පේරාදෙණියෙහි ක‍්‍රියාත්මක කළහ. රජය ඒ ස`දහා රුපියල් මිලියන 102කට ආසන්න මුදලක් වැය කළේ ය. ඉන්, අස්ථායීව පැවති පේරාදෙණිය යළි ‘ස්ථායී’ කෙරිණි. ඊට පසුව එහි නාය නො ගියේ ය.
 
අපේම විද්‍යාඥයන් එක්ව සංග‍්‍රහකර ගත් දැනුමෙන්, මිය යන්නට තිබුණු නගරයකට යළි පණ පිඹින්නට හැකි වීම, සිත් ගන්නා සුළු, අසිරිමත් කාරණයක් නො වේ ද?


නිල නො ලත් 
සත්ත්ව අවශේෂ විශ්ලේෂකයා
මහජනතාව ‘පාහියන්ගල’ නමින් හඳුන්වන මහා ගිරිකුළ, ප‍්‍රතාපවත් ලීලාවෙන් බලා සිටියේ ය. එහි පාමුල ලෙන් පියැස්ස යට පිහිටියේ, පුරාවිද්‍යා කැණීම් භූමියයි.
 
කැණීම් භූමියට යාබදව ඉදි කළ ලෑලි මැස්සකට වාඩිවූ මිනිසෙකි. මැස්ස පුරාවට අතුරා ඇති කුඩා ගල් පතුරු කැබලි, ඇටකටු කැබලි සහ තවත් සුන්බුන් එකින් එක ඔහුගේ පිරික්සුමට ලක් වෙයි. ඒ අතරින් යමක් වෙන්කර ගන්නා හෙතෙම, එය කැණීම් නිලධාරීන්ට ද පෙන්වමින් වචනයක් දෙකක් කියයි!
 
 

ජූඩ් පාහියන්ගල දී

 හෙතෙම නමින් ‘ජූඩ් පෙරේරා’ ය. නිල වශයෙන් ගතහොත්, ඔහුගේ රැකියාව කම්කරු මට්ටමේ එකකි. දැන් ඔහු ප‍්‍රකටව සිටින්නේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ‘නිල නො ලත් සත්ත්ව අවශේෂ විශ්ලේෂකවරයා’ යනුවෙනි. ජූඩ් පෙරේරා, ‘සත්ත්ව පුරාවිද්‍යාව’ නමැති සුවිශේෂ දැනුම් සම්භාරය ලංකාවට දායාද කළ අතහුරු පරපුරක, තුන් වැනි පුරුක ය.
 
‘සත්ත්ව පුරාවිද්‍යාව’ යනු, පුරාවිද්‍යාව නමැති මහා විෂය පථයේ එන, ඉමහත් කුතුහලයක් දනවන එක් විෂය කොටසකි. පුරාවිද්‍යා පර්යේෂණ ඔස්සේ මුණ ගැසෙන පෞරාණික හෝ, පාෂාණිභූත සත්ත්ව අවශේෂ විද්‍යාත්මකව හඳුනා ගැනීමත්, එයින් පෞරාණික මානව පරිසරය මෙන්ම ජෛවවිවිධත්වය පිළිබඳ විවරණය කිරීමත්, එහි විෂය පථය වෙයි. එය කරන්නේ, පෞරාණික සත්ත්ව අවශේෂ, තවත් සාම්පලයක් සමග විද්‍යාත්මකව සැසඳීමේ විධි ක‍්‍රමයක් මගිනි.
පාෂාණිභූත සත්ත්ව අවශේෂ හඳුනා ගැනීමේ කලාව ලංකාවට තිළිණ කළෝ, ජාතික කෞතුකාගාරයේ සේවය කළ ප‍්‍රවීණ කීට විද්‍යාඥ පී. බී. කරුණාරත්න මහතා ය. ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ පර්යේෂණවලට සහාය වන අතර තුර, ඔහු නව ක‍්‍රමය භාවිත කළේ ය. ඒ අතර, කැලූම් මනමේන්ද්‍රආරච්චි සහ ජූඞ් පෙරේරා යන පුරාවිද්‍යා ලෝලයන් දෙදෙනා ද පුහුණු කරන්නට අමතක නො කළේ ය.
 
පී. බී. කරුණාරත්න මහතා අද ජීවතුන් අතර නැත. කැලූම් මනමේන්ද්‍රආරච්චි මහතා ද සිය සේවාව නිම කොට, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයෙන් සමුගෙන ගොසිනි. දැන් ඉතිරිව සිටින්නේ ජූඞ් පෙරේරා මහතා පමණි.
 
කැණීම්වලින් හමුවන පාෂාණිභූත  ඕනෑම සත්ත්ව අවශේෂයක්, කුමන සතෙකුගේ, කුමන කොටසක් ද? යන්න, ඇස් බැල්මෙන්ම නිවැරදිව හඳුනා ගැනීමට ඔහුට පුළුවන. ඒ ශිල්පය විශ්වවිද්‍යාලවල පවා උගන්වන්නේ නැත. එය පුරාවිද්‍යා කැණීම් නමැති මහා සරසවියේ දී, ඔහු අතේ හුරුවෙන් ලැබූ නැණ මහිමයයි.

 
විල්පත්තුවේ අහම්බය
හීලෑකර ගත් අලි-ඇතුන් ගෙදර-දොරේ ඇති කිරීමක් මිස, වනයේ අතරමංවූ අලි පැටවුන්, මිනිස් ඇසුරේ හදා-වඩා ගෙන ආපසු යවන්නට හැකි බවක්, 1970 දශකය වන තුරුම කිසිවෙක් දැන සිටියේ නැත. අහම්බෙන් වුව, එය සිදු වූයේ ලංකාවේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දී ය.
 
1970 දශකය කාලයේ, වනයෙහි අතරමංවූ වල් අලි පැටවුන් කිරි පොවා හදා වඩා ගනු ලැබුවේ, දෙහිවල ජාතික සත්වෝද්‍යානය තුළ ය. උන් හීලෑ සතුන් බවට පත්කර ගැනීම, එහි අරමුණවී තිබිණි. එහෙත් පසුකාලීනව ලැබුණු උපදේශය වූයේ, උන් ස්වාභාවික පරිසරයෙහිම ඇති දැඩි වන්නට සැලැස්විය යුතු බවයි. ඒ අනුව, 1972 වසරේ දී දෙහිවල සිටි වල් අලි පැටවුන් රංචුව විල්පත්තුවට ගෙන යනු ලැබී ය. උන් ගෙන ගියේ ද, විල්පත්තුවේ දී රැක බලා ගත්තේ ද, එවකට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාව සිටි වෛද්‍ය ෂෙල්ටන් අතපත්තු මහතාගේ මෙහෙය වීමෙනි.
 


 විල්පත්තුවේ දී දිනක් අපූරු දෙයක් සිදු විය. කිරි පොවා හදා වඩා ගනිමින් සිටි එක් වල් අලි පැටවෙක්, හොර රහසේම යළි වනයට පලා යාම, ඒ සිද්ධියයි. පසුව හෙළි වූයේ, ඌ වනයේ වෙසෙන වල් අලි රංචුවකට  එක්වී සිටින බවයි. වල් අලි, සාමාන්‍යයෙන් මිනිස් ඇසුරට වැටුණු පැටවුන් යළි රංචුවට භාර ගන්නේ නැත. එබැවින් මෙය අමුතු සිද්ධියකි.
 
වහාම එය පොත්පත්වල ද සටහන් කෙරිණි. මිනිස් ඇසුරට ගෙන, කිරි පොවා හදා වඩා ගන්නා වල් අලි පැටවුන්, පසුව යළි වනයටම මුදා හරින්නට පුළුවන් බව එයින් පෙනී ගියේ ය.
 
මේ අදහස මුහුකුරා වැඩිණි. අවසන, 1995 වසරේ උඩවලවේ ජාතික වනෝද්‍යානයට අනුබද්ධව, ‘ඇත් අතුරු සෙවණ’ බිහි විය. වනයෙහි අතරමං වන වල් අලි පැටවුන්, කිරි පොවා හදා වඩා, යළි වනයටම යැවීම එහි කෙරෙන කටයුත්තයි. ‘යළිත් නිජබිම කරා යාමට ඉඩ දෙන්න’ යන්න, එහි තේමාවයි. ඒ ආකාරයට දැනටමත් වල් අලි පැටවුන් විශාල සංඛ්‍යාවක්, ඇත් අතුරු සෙවණ ඔස්සේ වනයට මුදා හැර තිබේ.  එය, එබඳු කටයුත්තක් කරන ලොව එකම ආයතනය ද වෙයි.  
 
අහම්බෙන් වුව ද ලැබුණු විල්පත්තු අත්දැකීම, වඳවී යමින් තිබෙන වල් අලින්ගේ ලෝකයට අලූත් හුස්මක් වූ හැටි කදිම ය.

 

පොළොව යටට රිංගීමේ ශිල්ප කලාව
මැණික් පතල් කර්මාන්තය අරභයා රත්නපුරයේ ප‍්‍රසිද්ධ කතාවක් තිබේ. ‘මේ වලේ නැත්නම් අනික් වලේ’ යන්න, ඒ කතාවයි. එහි තේරුම වන්නේ කණිමින් සිටින පතලයෙන් මැණික් නො ලැබුණත්, ඊළඟ පතලයෙන් නම් ටක්කෙටම මැණික් ලැබෙන බවයි. ‘ඊළඟ පතලය’ යන්න, කවදා හෝ හෙට දවසේ කණින පතලයයි. වටිනා මිණි කැට හමුවන රත්නපුරය සහ සෙසු පළාත්වල මිනිසුන්ට, සෞභාග්‍යවත් මහ පොළොව ඒ තරම්ම විශ්වාස ය!
 
සම්ප‍්‍රදායික මැණික් පතල් කැපීමේ කර්මාන්තය, මහ පොළොව සමග කරන අතිශය විශ්වාසවන්ත ගනුදෙණුවකි. මතුපිට සිට අඩි 40, 50, 60 තරම් ගැඹුරට කණිමින් ඔවුන් මහ පොළොව ඇතුළට රිංගන්නේ ඉමහත් විශ්වාසයක් පෙරදැරිව ය. වටිනා මැණික් ගල් ලැබීමේ ප‍්‍රාර්ථනයත්, පොළොව ඇතුළේ දී ජීවිතාරක්ෂාවත් එයට ඇතුළත් වෙයි.
 
 

රත්නපුරේ මැණික් පතලක්

 ප‍්‍රධාන වශයෙන්, පොළොවේ ගැඹුරට කණින මැණික් පතල් වර්ග දෙකකි. ඉන් එකක් ‘හතර රියන් පතල්’ ය. එනම්, හතර රියනක් දිග, හතර රියනක් පළල පතල් ය. අනෙක, ‘අට රියන් පතල්’ ය. එනම්, අට රියනක් දිග, හතර රියනක් පළල පතල් ය. මීටත් වඩා දිග-පළල පතල් ද තිබේ. එහත් පොළොව ඇතුළට බසින ගැඹුරුම මැණික් පතල් ‘හතර රියන්’ හෝ ‘අට රියන්’ වශයෙන් කැණීම පතල්කරුවන්ගේ සිරිතයි.
 
මැණික් පතලක් පොළොව යටට හෑරීම, එක්තරා අවදානම් සහගත වැඩකි. වල හාරන්නේ ද බොහොම පරිස්සමිනි. හාරන වල ‘පතල් මුක්කු’ (රබර් කොට) යොදා සවිකරන ‘තට්ටු’ මගින් සවිමත් කරති. පතලේ බිත්ති පුවක් ලී පටි සහ කැකිල්ල අතු අතුරා ආස්තරණය කරති. පතල් වල කැණීම මෙහෙයවන්නේ ‘පතල් බාස් උන්නැහේ’ ය. ‘ලඹ කැටයක්’ භාවිත නො කළ ද, හරියටම ‘ලඹ’ වන සේ පතල ගැඹුරට හෑරීමට ඔහු දනියි.වල යාන්තම් වත් ඇද වුවහොත්, පතලේ බිත්ති බිඳ වැටී, වැඩ කරන පතල්කරුවන් ද සමග පොළොවේ වැළලී යන්නට ඉඩ තිබේ! ගැඹුරු පතල් කැණීම සූක්ෂම වැඩකි.
 
පතල් මුක්කු යොදා ‘පතලේ තට්ටු’ සවි කරන්නේ, ‘කත්තු’ සහ ‘කට්ට’ කපා මුක්කුවට මුක්කුව හිර කිරිමේ ඉපැරණි තාක්ෂණික ක‍්‍රමයට ය. එහි දී එකදු යකඩ ඇණයක් හෝ කොහු ලණු පොටක්වත් පාවිච්චි කරන්නේ නැත. මහ පොළොවත්, තම පාරම්පරික තාක්ෂණික ශිල්ප ඥාණයත්, සුමන සමන් දෙවියනුත් විශ්වාස කරන පතල්කරුවෝ, තට්ටු ගසමින් පොළොව ඇතුළට ගමන් කරති. හරස් දෝනා පවා කණිමින් මැණික් ඉල්ලම් සොයති. මැණික් ගල් ගරා ගනිති. එසේ වුව ද, කිසිදු පතල් බාස් උන්නැහේ කෙනෙකු ‘ඉංජිනේරුවෙකු’ ලෙස හැඳින් වෙන්නේ නැත!
 
නවීන මිණුම් හෝ කැණීම් උපකරණයක්, ඇණයක්, මුරිච්චියක්, ලණු පොටක් පාවිච්චි නො කොට, නිරුපද්‍රිතව පොළොව යට රිංගීම කදිම කලාවකි. අනාදිමත් කාලයක් මුළුල්ලේ පරපුරෙන් පරපුරට පැවත එන අනභිබවනීය තාක්ණික දැනුම් සම්භාරයකි.

 

වන රජවරු
කඳු මුදුනක තිබුණු කඳ කෙලින් සුවිසල් ගසක් සහ බට ගසක්, ළඟ එන සැඩ සුළඟින් ආරක්ෂා වන ආකාරය කතිකා කරමින් උන්හ. ‘මම ඔය සුළඟට බය නෑ. මම ඒකට මුහුණ දෙනවා’, මහ ගස මහත් ආඩම්බරයෙන් කීය. බට ගස දැරුවේ වෙනත් අදහසකි. ‘මට උඹට තරම් හයිය නෑ. මම දෙකට නැමිලා සුළඟට ඉඩ දීලා පණ බේරා ගන්නවා’ යයි බට ගස පිළිතුරු දුන්නේ ය. මහ ගස එබසට සිනාසුණේ අවඥාවෙනි!
 
පසුවදා මැදියම් රැයේ, සැඩ සුළඟ ප‍්‍රචණ්ඩ ලීලාවෙන් ක`දු මුදුන සිසාරා හමා ගියේ ය. අලූයම බලන විට, කඳ කෙලින් මහ ගස දෙකට කැඞී, ඈතට වීසිවී තිබුණේ ය. දෙකට නැමී දිවි බේරා ගත් බට ගස, කිසිද ගැහැටකින් තොරව එතැනම සිටිනු පෙනුණි.
 
 

සිංහරාජය (පින්තූරය-Pic Pick වෙබ් අඩවියෙනි)

කරදර සහ දුක් ගැහැටවලින් ගැලවී යන ආකාරය ගැන කියා දෙන මේ උපමා කතාව, බොහොම ගැඹුරක් ඇති එකකි. එහෙත් සැබෑ ලෝකයේ කඳු මුදුන්වල හමුවන උස් වෘක්ෂයෝ, සැඩ සුළඟින් පෙරළී නො වැටෙන තරම් ශක්තිවන්තයෝ ය. ලංකාවේ තෙත් කලාපීය දේශගුණයෙන් පිරිපුන් කඳුකර සදාහරිත වන ගොමු තුළ, උන්ගේ සංහතිය අදත් ඉහළින්ම වැජඹෙත්.
 
ලංකාවේ වැඩිම උසින් යුත් වෘක්ෂයන් මුණ ගැසෙන්නේ, තෙත් සහ අතර මැදි දේශගුණ කලාපවලට අයත් වන ගොමු තුළ දී ය. ඒවා සිංහල බසින් ‘හොර’ හෙවත් ඉංග‍්‍රීසි බසින් ‘ඩිප්ටෙරකාපේසියේ’  නමැති ශාක කුලයට අයත් වේ.  තවත් සරලව කියනවා නම්, ‘හොර’ හෙවත් ‘ඩිප්ටෙරකාපේසියේ’ කුලය යනු, ලංකාවේ වන බිම්වල ඇති උසම වෘක්ෂයන්ගේ හිමිකරුවා ය.
 
හොර, බූ හොර, දුම්මල, නා පත් බෙරලිය, පිණි බෙරලිය, හො`ඩ බෙරලිය, කොටිකන් බෙරලිය, දොරණ, දුන්, යකහලූ දුන්, තිනිය දුන්, රතු දුන්, මල් මොර, මැන්ඩෝර ඇතුළු හොර කුලයට අයත් ශාක විශේෂ 52ක් පමණ ලංකාවේ දී මුණ ගැසේ. ඒ සියල්ලම ලංකාවට ආවේණික වීම, විශේෂත්වයයි. වඩා වැදගත් කාරණය එය නොවේ. හොර කුලයට අයත් ශාක විශේෂ හැම එකක්ම පාහේ, මීටර් 20සිට 50ද ඉක්මවන තරම් උසින් යුත් රූස්ස වෘක්ෂයන් වීමයි!
 
තෙත් කලාපීය වනාන්තරවල ඔවුන්ට ඇත්තේ ‘රජවරුන්’ බඳු මහේශාක්‍ය දිවි පෙවෙතකි. අනෙකුත් සියලූම වෘක්ෂයෝ අඟුටු මිට්ටන් සේ ඔවුන්ට පහළින් ජීවත් වෙති. උද්භිද විද්‍යාඥයන් මේ ශාක ප‍්‍රජාවට ‘හොර-දුන් සංගමය’ කියා නමක් ද පටබැඳ තිබේ.

 
ඇත් ජානයේ කරුවලගස්වැව ලකුණ
සාහිත්යික මූලාශ‍්‍රවල එන හැටියට, වල් අලි රංචුවක නායකයා සද්දන්ත ඇතෙකි. එනම්, දිගු  දළ සහිත පිරිමි සතෙකි. දිගු-දැවැන්ත දළ පිහිටන්නේ, විශාල සිරුරු සහිත පිරිමි සතුන් හෙවත්, ‘සද්දන්තයින්ට’ ය. එහෙත් සත්ත්ව විද්‍යාත්මකව කාරණය වෙනස් ය. ඒ අනුව, වල් අලින්ගේ ලෝකය ‘මාතෘ මූලික’ සමාජයකි. සැම විටම එහි නායකත්වය හොබවන්නී, රංචුවේ සිටින වයස්ගතම ඇතින්න ය. එනම් ආත්තම්මා ය. වැඩිහිටි ගැහැණු සතුන්, වැඩිවිය පත් පිරිමි සතුන් රංචුවෙහි තබා නො ගනිති. එබැවින් සද්දන්ත පිරිමි සතුන්ට රංචුවේ තැනක් නැත. සත්ත්ව විද්‍යාත්මකව ගත් කල අලි රංචුවක් වූ කලී, ගැහැණු සතුන්ගේ ද, වැඩිවිය නො පත් පිරිමි සතුන්ගේ ද, ගැහැණු හෝ පිරිමි කුඩා පැටවුන්ගේ ද එකතුවකි. රංචුවෙන් ඉවත් කළ වැඩිවිය පත් පිරිමි සතුන්, එක්කෝ රංචුවේ සංඥා දැනෙන මානයේ හුදෙකලාව හැසිරෙති. නැතිනම්, ‘තනි අලින්’ සේ ඉවත්ව යති.
 
ලංකාවේ සිටින්නේ, සත්ත්ව විද්‍යාත්මකව ‘ආසියානු (වල්) අලින්’ ය. උන් අතර, ‘රුහුණු ගැටව්’ සහ ‘සෝමාවතී විල් අලි’ යයි උප විශේෂ දෙකක් ද වෙති. අලින් අතර, ‘දළ ඇතුන්’ සුවිශේෂ ය. බුදු සිරිතෙහි ද උන් ගැන කියැවේ. දළදා කරඬුව වැඩම වීම වැනි බෞද්ධාගමික කටයුතු නිසා, ලංකාවේ දළ ඇතුන්ට හිමිව ඇත්තේ ගෞරවනීය තැනකි.
 
 

(පින්තූරය-Sundaytimes)

අප‍්‍රිකානු අලින්ගේ නම්, ගැහැණු-පිරිමි දෙපාර්ශවයටම දළ පිහිටයි. එසේ වුව ද, ආසියානු අලින් ගෙන් දළ පිහිටන්නේ පිරිමි සතුන්ට පමණි. අනෙක් අයට ඇත්තේ යාන්තම් පිටතට පෙනෙන ‘පණු දත්’ ය. ඒවා ‘දළ’ නොවේ. ලංකාවේ වල් අලින් ගත් කල, ‘දළ ඇතුන්’ ඇත්තේ සියයට 04ක් තරම් සුළු ප‍්‍රතිශතයකි. එහෙත් ඉන්දියාවේ පිරිමි අලින් අතර, සියයට 50-80ක් තරම් දළ ඇතුන් සිටිති. මැලේසියාවේ සියයට 90ක්ම දළ ඇතුන් ය. ලංකාවේ ‘රුහුණු ගැටව්’ සහ ‘සෝමාවතී විල් අලින්ට’ ද දළ නැත. එබැවින් අපේ රටේ ඇත් සම්පත බොහොම වටින්නේ ය. ලංකාවේ දළ ඇතුන් දුලබ මන්දැයි, කිසිවෙකුත් නො දනිති.
 

ලාංකේය වන ඇතුන් සම්බන්ධයෙන් වෙනස් කාරණයක් ද තිබේ. එනම් විල්පත්තුවට නුදුරු පුත්තලම දිස්ත‍්‍රික්කයේ, ‘කරුවලගස්වැව’ වන ප‍්‍රදේශයේ ඇත් ප‍්‍රතිශතය ඉහළ අගයක් ගැනීමයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන අන්දමට, කරුවලගස්වැව ඇත් ප‍්‍රතිශතය සියයට 30කි! එය ජානමය කාරණයක් විය හැකි යයි සමහරු කියති. කෙසේ වෙතත්, ඊට හේතුව ද තවම සොයා ගෙන නැත. ඇත් ප‍්‍රතිශතය වැඩි වීමට හේතු සොයා නො ගත්ත ද, එය අසිරිමත් කාරණයකි.

(පින්තූර-ප්‍රෑන්ක් ද සොයිසා/මුෂාන් හරීම්/ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය)


2015/08/14.