Total Pageviews

Sunday, September 27, 2015

සේයා සහ කවිඳුලාගේ කර මතින් අපරාධ පාලනය කරන්නට යාමේ උන්මාදය!

සේයා සහ කවිඳුලාගේ කර මතින් 
අපරාධ පාලනය කරන්නට යාමේ උන්මාදය!

 

සේයා සදෙව්මි දැරිය ඝාතන සිද්ධියත්, ඉන් හට ගත් තත්ත්වයත් පසුබිම්කර ගෙන, ‘සේයා ඝාතනය, ජන විරෝධය සහ විකෘති කළ ප‍්‍රවෘත්ති’ යනුවෙන් 2015 සැප්තැම්බර් 24 වැනි දා ද ලිපියක් පළ කළෙමි. මේ එහි දෙවැනි පියවරයි. 

 

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)

පස් හැවිරිදි ‘සේයා සදෙව්මි’ දැරිය, දූෂණයකර, මරා දැමීමේ සිද්ධියෙන් හට ගත් සමාජ කෝපය සහ කම්පනය තවමත් ඉතා තියුණුව ඇවිළ යනු පෙනෙයි. දැරිය ඝාතන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු බව කියන, ගම්පහ, බදුවතුගොඩ දී අත්අඩංගුවට පත් ‘කොණ්ඩයා’ නමැත්තා කෙරෙහි ද දැන් පැන නැගී ඇත්තේ උග‍්‍ර ජන විරෝධයකි. ඔහු රැගෙන එතැයි කියා ඉකුත් 25 වැනි දා (2015/09/25), දහසකට අධික පිරිසක් සේයාගේ නිවස අසලට රැස්ව සිටියහ. ඔවුන් පාලනය කිරීම සඳහා පොලීසියට මහත් ආයාසයක් දරන්නට විණැයි මාධ්‍ය වාර්තාකර තිබිණි. නිල වෛද්‍ය පරීක්ෂණ සඳහා ‘කොණ්ඩයා’ මීගමුව මහ රෝහලට ගෙන ගිය අවස්ථාවේ දී ද, මහ පිරිස් පැමිණ නො සන්සුන් තත්ත්වයක් ඇති කළහ. එහි දී සැකකරු ගෙන ගිය පොලිස් රථයට ද ප‍්‍රහාර එල්ල විය. සේයාගේ මිනීමරුවන් වහාම එල්ලා මරන්නැයි කියමින් කරන උද්ඝෝෂණ ද තවමත් පැවැත්වෙයි. හට ගත් සමාජ කැළඹීම කොතෙක් දුර-දිග ගොස් ඇති ද යත්, ‘එල්ලූම් ගස’ යළි ක‍්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවට බල කෙරෙන ජන රැල්ලක් ද දැන් නිර්මාණයවී තිබේ.

සිකුරාදා (25 වැනි දා) සේයාගේ නිවස අසලට රැස්වූ පිරිස්, මහත් තර්ජනාත්මකව පොලීසියෙන් ඉල්ලා සිටියේ කුමක් ද?, ‘ප‍්‍රශ්නය විසඳා ගැනීම සඳහා ‘කොණ්ඩයා’ තමන්ට භාර දෙන්නැයි’ කියා ය! එදිනම මීගමුව මහ රෝහලට රැස් වූ පිරිස් ද එයම ඉල්ලා සිටියහ.

 

කවිදු දරුවා


මෙය අහඹුවක් නොවේ. රිය අනතුරකින් මිනිසුන් මියගිය විට ඔවුහු බස් රථ හෝ අනෙකුත් වාහන ගිනි තබති. රියදුරා හසු වුව හොත් කෲර ලෙස පහර දෙති. ආවේගශීලීව අපරාධකරුවන්ගේ නිවෙස්වලට ද ගිනි ලති. සැකකාර පුද්ගලයන් හසු වුව හොත් ඔවුන්ට ද මාරාන්තිකව පහර දෙති. පාරට බැස උද්ඝෝෂණය කරති. සේයාගේ මරණයෙන් කම්පිතව සිටි මිනිසුන්ට, තවත් ගින්දරක් ඇවිලූණි. සැප්තැම්බර් 25 වැනි දා (2015), අතුරුගිරිය, පනාගොඩ, කපුරුගොඩ ප‍්‍රදේශයේ ගල් වැඩ පොළක දී දස හැවිරිදි පිරිමි දරුවෙක් කපා කොටා මරා දමා තිබිය දී හමු වීම, ඒ සිද්ධියයි. ඔහු නමින් ‘කවිඳු දේවේන්ද්‍ර කපුරුගේ’ ය. හෙතෙම පහ වසරේ පාසැල් ශිෂ්‍යයෙකි. පොලීසිය සිද්ධියේ සැකකරු බියගම ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට ගත්තේ ය. ඒ සමගම, 26 වැනි දා සවස 300කට අධික පිරිසක් අතුරුගිරිය පොලීසිය ඉදිිපිටට පැමිණ සැකකරු ඉල්ලා උද්ඝෝෂණය කරන්නට වූහ. පොලීසිය මහජන කෝපය පාලනයකර ගත්තේ මහත් අසීරුවෙනි. යම් කෲරතර අපරාධයක් හට ගත් සෑම අවස්ථාවකම පාහේ ඇතැම් පිරිස් මෙබඳු ප‍්‍රචණ්ඩ හැසිරීම් දක්වන්නෝ ය. වසර කිහිපයක අපරාධ සිද්ධීන් දෙස බලන විට, එවන් කතා පුවත් සෑහෙන සංඛ්‍යාවක් අහුලා ගැනීමට පුළුවන. එය දැන් ‘සමාජ සිරිතක්’ හෙවත් ‘සමාජ චර්යාවක්’ බවට පත්ව තිබේ!

ප‍්‍රශ්නය වන්නේ, ඇතැම් මිනිසුන්ගේ මෙවන් හැසිරීම් නිවැරදි ද? යන්නයි. එයින් රටේ අපරාධ ක‍්‍රියාවලිය පාලනය වන්නේ ද? යන්නයි. යහපත් මානව සමාජයක් තුළ, ඒ ප‍්‍රශ්න සියල්ලටම ලැබෙන පිළිතුර ‘නැත’ යන්නයි! ‘එල්ලූම් ගස’ ක‍්‍රියාත්මකවූ කාලයේත් ‘මිනීමැරුම්’ ගැන අසන්නට ලැබිණි. අපරාධකරුවන් කෙරෙහි ඇතැමුන් ප‍්‍රචණ්ඩව හැසිරුණ ද, එවන් රැල්ලක් පැවතිය ද, අපරාධවල අඩුවක් නැත. පොලිස් සංඛ්‍යාලේඛන අනුව, 2011 වසරේ ලංකාවේ හට ගත් මිනීමැරුම් ඇතුළු සමස්ත අපරාධ සංඛ්‍යාව 54,367කි. ඉන් 1870ක්, ලිංගික අපරාධ ය. 376ක් ළමා අපයෝජන ය. 2014 වසරේ සමස්ත අපරාධ සංඛ්‍යාව 50,962කි. ඉන් 2069ක්, ලිංගික අපරාධ ය. 377ක් ළමා අපයෝජන ය. මෙහි තේරුම, සෑම වසරකම අපේ රටේ සැලකිය යුතු සංඛ්‍යාවක් අපරාධ කෙරෙන බව ය. ඉදින් මහජන කෝපය උත්සන්නකර ගැනීමෙන් අපරාධ පාලනය නො වන බව පිළි ගත යුතු වේ.

‘එල්ලූම් ගසට’ යන්නට මරණ දඬුවම් දෙන්නේ, ‘අපරාධකරුට’ දෙන දඬුවමක් වශයෙන්ම නොවේ. ඉන් සමස්ත ජන සමාජයම අපරාධවලින් මුදා ගැනීමේ පණිවුඩයක් දෙනු පිණිස ය. එසේ වුව ද, මරණ දඬුවමින් සමස්ත අපරාධ ක‍්‍රියාවලියම පාලනය වන්නේ නැත. මරණ දඬුවම ක‍්‍රියාත්මක වන රටවල ද දරුණු අපරාධ වන බව අසන්නට ලැබේ. එය ඇත්තටම අපරාධ පාලනය කිරීමේ එක් කුඩා ක‍්‍රියාදාමයක් පමණි. එබැවින් මරණ දඬුවම යළි අවශ්‍යය යයි හඬ නැගීම, සමාජය අපරාධවලින් මුදා ගැනීම කෙරෙහි එතරම් බල නො පානු ඇත්තේ ය! අනෙක් අතට, පසුගිය ආණ්ඩුව පැවති සමයේ බොහොමයක් අපරාධකරුවෝ ‘ආයුධ හෝ බෝම්බ පෙන්වන්නට’ යාමේ දී පොලිස් වෙඩි පහරට ගොදුරුව මියගියහ. එහෙත් අපරාධ සිද්ධීන්වල  කැපී පෙනෙන අඩුවක් ඇති වූයේ නැත.
 
සමාජ කෝපයෙන් හා ප‍්‍රචණ්ඩත්වයෙන්
අපරාධ පාලනය කළ හැකි ද?

මෙයින් වටහා ගත යුතු කාරණය වන්නේ, එල්ලූම් ගස හෝ වෙන යම් ක‍්‍රියාමාර්ගයකින් අපරාධකරුවන් මරා දැමීම සහ ඔවුන් කෙරෙහි ‘සමාජ කෝපය’ හෝ ‘සමාජ ප‍්‍රචණ්ඩත්වය’ මුදා හැරීම තේරුමක් නැති දෙයක් බවයි. ඉන් අපරාධ පාලනය නොවේ. ස්වභාවය අතිශයින්ම කෲරතර වූ අපරාධ පවා තනි තනි සිද්ධීන් ය. ‘සේයා’ සහ ‘කවිඳු’ යන දරුවන්ගේ ඝාතනම ඊට නිදසුන් වෙයි. ඒවා එකකට එකක් සම්බන්ධ ද නැත. එසේ නම් අපරාධ පාලනය කිරීම පිණිස කුමක් කළ යුතු ද? ඇත්තටම කළ යුත්තේ, දැනටමත් පවත්නා නීති ක්‍රියාවලිය එලෙසම පවත්වා ගෙන යන අතර, මිනිසුන් අපරාධවලට යොමු වීම වැළැක් වීමේ සමාජ පසුබිමක් නිර්මාණය කිරීමයි. එවැන්නක් ඇරඹිය යුත්තේ ආණ්ඩුවේ මෙහෙය වීමෙනි. එය පිළිපැදීම සහ පවත්වා ගෙන යාම පැවරෙන්නේ මහජනයාට ය. මනුෂ්‍යයන් පෞද්ගලිකව තම තමන්ගේ ‘විනය’ පවත්වා ගෙන යන්නේ නම්, මුළු සමාජයම විනයවත් නො වන්නේ ද? කළ යුත්තේ අපරාධකරුවන් බිහි වන්නේ ඇයි ද? යන්න විමසා බලා, ඊට පිළියම් යෙදීමයි. එසේ නැතිව, අපරාධ පාලනය නීති, උසාවි, සිර ගෙවල් හෝ සමාජ ප‍්‍රචණ්ඩත්වය තුළින්ම පමණක් කළ හැකි යයි සිතීම මුලාවකි.

මනුෂ්‍යයන් අපරාධ කිරීම සඳහා පෙළඹෙන්නේ මන් ද? යන කාරණය, මානව සමාජය පිළිබඳ අතිශය ගැඹුරු දෙයකි. එය මනෝ විද්‍යාත්මක මෙන්ම සමාජ විද්‍යාත්මක කාරණයක් ද වෙයි. අපරාධ විද්‍යාවේ ද ඒ ගැන බොහෝ කරුණු ඉගැන් වෙයි. ඇත්තටම, කහවත්ත කොටකෙතන දී වූයේ කුමක් ද?, දැන් දැන් පැතිර යන ළමා දූෂණ සහ ඝාතනවලට හේතුව කුමක් ද? ආදී කාරණා සම්බන්ධයෙන් පිළිතුරක් ගොනු කළ යුත්තේ, සමාජ විද්‍යාව සහ අපරාධ විද්‍යාව හවුල්කර ගනිමිනි. 1977 වසරේ ඇතිවූ ආණ්ඩු පෙරළියත් සමගින් රට විවෘත ආර්ථික ක‍්‍රියාවලියකට යොමු කෙරිණි. ඉන් පසුව සමාජ අවශ්‍යතා ද පුළුල් විය. ආර්ථික ක‍්‍රියාදාමයෙහි ද පෙරළියක් ඇති විය. එය අපරාධවලට බලපෑවේ ද? අපට රටක් හැටියට මෙබඳු තත්ත්වයන් ගැන හරියාකාර විග‍්‍රහයක් නැත. වැඩි දෙනෙක් සිතා සිටින්නේ, කුමන ආකාරයකට හෝ අපරාධකරුවන් ඝාතනයකර දැමීම මගින් අපරාධ පාලනය වෙතියි කියා ය!

මෙය  ගැඹුරු කතිකාවකි. සේයා හෝ කවිඳු, පෞද්ගලිකව ඔවුන්ගේ මව්පියන්ට අයිති බව ඇත්ත ය. එහෙත් ඔවුන් රටේ දරුවන් වෙති. ඒ අර්ථයෙන් ගත් කල, රටේ දරු පරපුර රැක බලා ගැනීමේ වගකීමක් සමස්ත ජන සමාජයටම තිබේ. එය පාරේ දී, බසයේ දී, පාසැලේ දී, නගරයේ දී, පාළු මාවතේ දී හෝ තමන්ගේම නිවසේ දී වීමට පුළුවන. දරු පරපුරේ රැකවරණය, වැඩිහිටියන්ගේ දෑස් මානයෙහි රැඳී තිබිය යුතු නොවේ ද? අපරාධ සිද්ධියක දී එවන් පුළුල් කතිකාවක් හට ගන්නවා වෙනුවට, අද රට පුරා පැතිර යමින් තිබෙනුයේ ‘අපරාධකරු තමන්ට ඉල්ලන’ ප‍්‍රචණ්ඩ ජන රැල්ලකි! දරුවන් හෝ මිනිස් සම්පත පමණක් නොවේ. මුළු රටේම සම්පත් රැක බලා ගැනීමේ ‘සමාජ යුතුකමක්’ සෑම පුරවැසියෙකුටම තිබේ. එහෙත් මිනිසුන් නිතරම සිතන්නේ, සියල්ල ‘ආණ්ඩුවෙන් කළ යුතුය’ යනුවෙනි!

කෲරතර අපරාධ සම්බන්ධයෙන් පැතිර යන ‘සමාජ ප‍්‍රචණ්ඩත්වය’ ද දැඩි ලෙස පාලනය විය යුතු ප‍්‍රවණතාවයකි. එවැන්නක් හට ගැනීමේ මූලික හේතුව වන්නේ, නීතිය, පොලීසියේ විමර්ශන ක‍්‍රියාවලිය හෝ අධිකරණ ක‍්‍රියාවලිය අරභයා පැවති මහජන විශ්වාසය බිඳ වැටීම විය හැකි ය. ‘සමාජ ප‍්‍රචණ්ඩත්වයට’ පිදුරු දමන ජනමාධ්‍ය ක‍්‍රියාවලිය ද විය හැකි ය. දැන් කළ යුත්තේ බිඳ වැටුණු මහජන විශ්වාසයක් වේ නම්, එය යළි ගොඩ නැගීමයි.

ගෙවී ගිය වසර ගණනාවක් තුළ, නීතිය සහ එය ක‍්‍රියාත්මක වන ආකාරය ගැන විවිධ ගැටළු ඇති විය. එම ක්ෂේත‍්‍රයට දේශපාලනය සහ මුදල් බලය රිංගා ගැනීම ගැන චෝදනා එල්ල විය. මුදලට ගන්නා නීතියේ බලය විසින්, අපරාධකරුවන් මුදා ගත හැකි යයි ‘මතයක්
ඇති විය. එය නරක තත්ත්වයකි. පොලිස් සංඛ්‍යාලේඛන අනුව, 2014 වසරේ හට  ගත් සමස්ත අපරාධ සංඛ්‍යාව 50,962කි. ඉන් 11,505ක්ම ‘සැකකරු නො දන්නා’ සිද්ධීන් ය. එසේම 50,962ක් වූ සමස්ත අපරාධ සංඛ්‍යාවෙන්, එම වසර තුළ දී විසඳා-නිරවුල්කර ඇත්තේ අපරාධ සිද්ධීන් 16,343ක් පමණි! පොලිස් විමර්ශන ක‍්‍රියාවලිය කොතෙක්  ‘දිළිඳු’ ද යන්න, මේ ඉලක්කම්වලින් පැහැදිලි වේ. තත්ත්වය මෙසේ නම්, කෲරතර අපරාධවලට එරෙහිව (එසේ කිරීමෙන් ඵලක් නැතිව වුව ද) සමාජ ප‍්‍රචණ්ඩත්වයක් ඇති වීම ගැන දොසක් කියන්නටත් නුපුළුවන! දැන් කළ යුත්තේ ‘නීතිය’ සහ එය ‘ක‍්‍රියාත්මක කෙරෙන ආකාරය’ කෙරෙහි, පුළුල් මහජන විශ්වාසයක් යළි ගොඩ නගා ගැනීමයි.

එය නිසැකවම ඉක්මණින් කරන්නට පුළුවන් දෙයක් නම් නොවේ. කාලයත් සමග ගමන්කර, නීතිය සහ යුක්තිය සාධාරණව පසිඳලන බව ක‍්‍රියාවෙන්ම ඔප්පු කිරීමෙන් ඉටුකර ගත යුතු ඉලක්කයකි. මෙහි දී ජනමාධ්‍යයට ද සමාජ යුතුකමක් තිබේ. ‘පිටු ඉඩකඩ’, ‘ගුවන් කාලය’ හෝ ‘සයිබර් අවකාශය’ මොනවා හෝ දහ ජරාවකින් පුරවනු වෙනුවට, ‘සත්‍යය’ සහ ‘මාධ්‍ය සදාචාරය’ මුල්කර ගත් ප‍්‍රවෘත්ති වාර්තාකරණයක යෙදීමයි. එසේම, අපරාධ වාර්තාකරණයෙහි යෙදෙන මාධ්‍යවේදීන්, ‘අපරාධ විද්‍යාව’, ‘මානව හිමිකම්’ සහ ‘සමාජ විද්‍යාව’ සම්බන්ධයෙන් යම් පරිචයක් අත්කර ගෙන වැඩට බැසීමයි.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)
2015/09/27.

Thursday, September 24, 2015

සේයා ඝාතනය, ජන විරෝධය සහ විකෘති කළ ප‍්‍රවෘත්ති


           සේයා ඝාතනය, ජන විරෝධය සහ 
                  විකෘති කළ ප‍්‍රවෘත්ති
 



(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
මුළු රටේම මිනිසුන්ගේ සිත් ශෝකයෙන් කීරි ගැස්වූ කම්පනය තවම අහවර නැත. රටේ තැනින් තැන, ඇගේ මිනීමරුවන් අත්අඩංගුවට ගන්නැයි බලකරමින් දැනුදු උද්ඝෝෂණ පැවැත්වෙන්නේ ඒ නිසා ය. වයසින් පස් හැවිරිදි ‘සේයා සදෙව්මි’ දැරිය, දූෂණයකර, මරා දැමීමේ සිද්ධියෙන් කුපිතව සිටියේ ඇගේ ගම් පළාත වූ ගම්පහ දිස්ත‍්‍රික්කයේ, කොටදෙනියාව, බඩල්ගමුව, අකරංගහ ගමේ වැසියන් පමණක් නො වේ. දැන් මුළු මහත් රට වැසියන් ද ඉන් කම්පනයට පත්ව උන්හ. මිනීමරුවන් අත්අඩංගුවට ගැනීම ප‍්‍රමාද වන විට, කුපිතව හැසිරුණහ. 

දැරිය දූෂණයකර, මරා දමා තිබුණේ 2015 සැප්තැම්බර් 11 වැනි දා රාත‍්‍රියේ ය. ඇගේ පණ සුන් සිරුර පසුදා නිවසට නුදුරු ඇලක තිබී සොයා ගැනුණි. ඇය ඝාතනයට ලක් වූයේ, සිය පස් වැනි උපන් දිනය සමරන්නට ඔන්න මෙන්න කියා තිබිය දී ය. සේයාගේ සිද්ධිය අහස පොළොව නුහුලන කෲරතර ඝාතනයකි. 



පොලීසිය දුන් තොරතුරු අනුව, මාධ්‍ය වාර්තා ඔස්සේ මුලින්ම රටට ඇඟවුණේ දැරිය ඝාතනය සම්බන්ධයෙන් ඇගේ පියා, මව හෝ සීයා සැක කෙරෙන බවයි. ඊළගට සැප්තැම්බර් 19 වැනි දා මාධ්‍ය වාර්තා කළේ, දැරිය ඝාතනය සම්බන්ධයෙන් 17 හැවිරිදි අසල්වැසි පාසැල් ශිෂ්‍යයෙකු සහ තවත් දෙදරු පුද්ගලයෙකු, සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි. පාසැල් ශිෂ්‍යයාගේ ‘ලැප්ටොප් පරිගණකයෙහි’ අසැබි දර්ශන රැසක්වූ බව ද පොලීසිය අනාවරණයකර තිබිණි. ඉන් පසුව සැප්තැම්බර් 23 වැනි දා ගම්පහ, බදුවතුගොඩ දී සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට පත්වූ බව හෙළි විය. ඔහු ‘කොණ්ඩයා  නමැත්තෙකි. 24 සහ 25 යන දිනවල පළවූ මාධ්‍ය වාර්තාවල සඳහන් වූය‘කොණ්ඩයා’ සේයාගේ ඝාතනය පිළි ගෙන, පාපෝච්චාරණයක් ද කර ඇති බවයි.


අප මේ සටහන ලියන්නේ ඒ ගැන විස්තර කියන්නට නොවේ. ඇගේ ඝාතනය සම්බන්ධයෙන් මහජනයා හෙවත් ‘සිවිිල් සමාජය’ හැසිරුණු ආකාරය ගැන යම් විවේචනාත්මක අදහසක් පළ කරන්නට ය. සේයාගේ මරණය හෙළිදරව් වීමත් සමගම, රටට හට ගත්තේ අතිවිශාල කම්පනයකි. ඉන් පසුව ඊට එරෙහිව නැගුණේ ඉතා ප‍්‍රබල ජන විරෝධයකි. පැන නැගුණු ජන විරෝධය තුළ හට ගත් ඇතැම් දේවල්, කොතෙක් දුරට යුක්ති සහගත වීද?, කොතෙක් දුරට මානුෂීය වීද? යන්න, දැන් අසන්නට තිබෙන ප‍්‍රශ්නයයි. සේයාගේ ඝාතනයට එරෙහිවූ සිවිල් සමාජය ඔවුන්ගේ පවුලට එල්ල කළ පීඩනය කොතෙක් ද යත්, සේයාගේ මව්පියන්ට ඇගේ අවමංගල්‍යයට සහභාගි වන්නට සිදු වන්නේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ය! සේයාගේ මව විද්‍යුත් නාලිකාවකට පවසා තිබුණේ, විරෝධතා පැවැත් වූවන්ට ඇති බිය නිසා, කනත්තට ගොස් සිය දියණියගේ මිනී වලට පත් මිටක් හෝ දමන්නට නො හැකි වූ බවයි!

සැණෙන් කුපිත වන මිනිස්සු
ඇත්තටම සාධාරණ ජන සමාජයක එවන් තත්ත්වයක් ඇති විය හැකි ද?, ඒ තත්ත්වය සාධාරණ හෝ යුක්ති සහගත ද?, මානුෂීය ද? යන්න මෙහි දී පැන නැගෙන ප‍්‍රශ්නයයි. එතරම් ජන විරෝධයක් ඇවිළ යාමට, සිද්ධිය සම්බන්ධයෙන්  ඇතැම් මාධ්‍ය කළ වාර්තාකරණයන් ද හේතු වූ බව දැන් නැගෙන චෝදනාවයි. එක් අතකට, ජන විරෝධයක් පැන නැගීමෙහි ද අසාධාරණයක් නැත. කෙසේ වෙතත්, සේයාගේ මරණය සම්බන්ධයෙන් හට ගත් තත්ත්වය, තවදුරටත් කතිකා කළ යුතු, පුළුල් සංවාදයට ලක් කළ යුතු කාරණයක් බව, ලියුම්කරුගේ අදහසයි.

ළමා ඝාතන සම්බන්ධයෙන් මෑත ඉතිහාසයේ කම්පනීයම සිද්ධිය වාර්තා වන්නේ, 1983 වසරේ අප‍්‍රියෙල් මස 05 වැනි දා ය. එය, ‘මතුගම සමන් කුමාර’ නමැති 14 හැවිරිදි පාසැල් ශිෂ්‍යයා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමයි. රුපියල් ලක්ෂ එකහමාරක කප්පම් මුදලක් ගැනීමේ අරමුණින් ඔහු පැහැර ගෙන තිබිණි. පසුව ඔහුගේ මළ සිරුර, මතුගමට නුදුරු රබර් වත්තකින් පොලීසියට හමු විය. ඊට පසුව 1999 වසරේ ඔක්තෝබර් 08 වැනි දා, අලූත්ගම පදිංචි ‘සදීප ලක්ෂාන්’ නමැති තවත් පාසැල් ශිෂ්‍යයෙක් පැහැර ගෙන ගොස් මරා දැමිණි. එය ද කප්පම් සිද්ධියකි. ඉන් මුළු රටම කම්පනයට පත් විය. 2014 වසරේ ජූලි මස 28 වැනි දා ද සිව් හැවිරිදි දරුවෙක් පැහැර ගැනුණි. ඔහු ගල්ගමුව, මීගලෑවේ, ‘දිනිඳු යශේන් ලංකානාත් ඒකනායක’ ය. එය ද කප්පම් සිද්ධියකැයි ප‍්‍රකට විය. ඉන් රටම කැළඹිණි. පොලිස් පරීක්ෂණ දැඩි විය. අවසන දරුවාගේ දිවි ගැලවිණි. අපරාධකරුවෝ පොලිස් අත්අඩංගුවට පත් වූහ. එම වසරේ (2014) තවත් කම්පනීය පැහැර ගැනීම් දෙකක් වාර්තා විය. ඉන් එකක් වූයේ, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ, නිකදලූපොත, ‘පමාරා කේෂාලි බණ්ඩාර’ නම් සිව් හැවිරිදි දැරියක් පැහැර ගැනීමයි. ඇය පැහැර ගැනුණේ, සැප්තැම්බර් 11 වැනි දා ය. අවසන ඇගේ දිවි ගැලවිණි. අනෙක, ගාල්ල දිස්ත‍්‍රික්කයේ, අක්මීමන, කුරුඳුවත්තේ විසූ ‘දේමුණි පූජනී හසන්ති’ නම් අට හැවිරිදි දැරියක් දූෂණයකර මරා දැමීමයි. සිද්ධියේ සැකකරු සැප්තැම්බර් 18 වැනි දා, දියේ ගිලීමකින් මිය ගොස් තිබිණි. මේවා තනි තනි සිද්ධීන් බව ඇත්ත ය. එහෙත් ඉන් ජන හදවත්වලට දැනුණු කම්පනය සහ තිගැස්ම ඉමහත් ය.

බොහෝ දෙනෙක් සිතන්නේ යම් සිද්ධියක් වූ විගසම, පොලීසිය පැමිණ එහි අපරාධකරුවන් අල්ලා ගනීවි යයි කියා ය. අපරාධයක් විමර්ශනය, අධිකරණය දක්වා දිවෙන යම් නෛතික ක‍්‍රියාවලියකි. එයට යම් සාධාරණ කාලයක් ගත වේ. නිසි සාක්ෂි සොයා ගත යුතු වේ. එබැවින් මිනිසුන් සිතන තරම් වේගයෙන් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනෙන්නේ නැත. අනෙක, පොලීසිය තමන්ට සැකයයි සිතෙන ඕනෑම කාරණයක් ගැන සොයා බලනු ඇත. සේයාගේ සිද්ධියේ දී මාධ්‍ය ද පොලීසිය සොයා ගන්නා සෑම කාරණයක්ම ප්‍රවෘත්ති බවට පත්කර ගත්තේ ය. ඒ කාරණා සත්‍ය ද? යන්න සෙවීමක් නොවී ය. අපරාධයක් විමර්ශනය කිරීමේ දී, එයට යම් කාලයක් අවශ්‍ය වීම,  ප‍්‍රායෝගික තත්ත්වයකි. එහෙත් මිනිස්සු සැණෙන් කුපිත වන්නෝ ය! නො සන්සුන් වන්නෝ ය!

ඇතැමුන් සිතන්නේ, පොලීසිය සිය විමර්ශන කටයුත්ත ‘හරියට’ නො කරන බව ය. ඒ  සඳහා ඔවුන්ට පූර්වයෙහි අත්දැකීම් ද තිබේ. පොලිස් ක‍්‍රියාවලිය දේශපාලනීකරණය වීම, පක්ෂග‍්‍රාහී විමර්ශන ආදී කාරණා සම්බන්ධයෙන් පසුගිය කලයේ චෝදනා එල්ල විය. එසේම ‘සැකකරුවන්’, ආයුධ පෙන්වීමට ගොස් වෙඩි කෑමේ සිද්ධීන් ද ඇති විය. ඇතැම් අපරාධ කවුරුන් කළේ ද යන්න, කොහෙත්ම හෙළිදරව් නො වීය. ගෙවී ගිය කාලය තුළ පොලීසිය කෙරෙහි පැවති ජන විශ්වාසය යම් තරමකට පළුදුවූ බව පිළිගත යුතු වේ. මහජනයා  දැන් යම් අපරාධයක් දෙස බලන්නේ මේවා ද සිතෙහි දරා ගනිමිනි. එබැවින් සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් ද, ඔවුන්ගේ කෝපය හෝ නො සන්සුන්තාවය පදනම් විරහිත යයි කියන්නට නුපුළුවන!
 
තාත්තා ගැන සැකය?
සේයාගේ සිද්ධිය සම්බන්ධයෙන් මහජනතාව කුපිත වන්නේ ද, සිද්ධිය පොලීසිය හමුවේ දිග හැරුණු ආකාරය අනුව ය. මූලික පොලිස් පරීක්ෂණවල තොරතුරු මාධ්‍ය ඔස්සේ හෙළි වීමත් සමග ය. පොලීසිය හෙළිකර ගත් තොරතුරු අනුව, රාත‍්‍රී කාලයේ පැවරුණු යම් රැකියා කාරියක් අවසන සේයාගේ පියා ගෙදර එන්නේ රාත‍්‍රී 12.10ට පමණ ය. එහි දී ඔහු සිය බිරිය ගෙන් කුඩා දියණිය ගැන විමසයි. එවිට ඇය, ‘දියණිය ආත්තම්මාගේ කාමරයට යන්නට ඇතැයි’ කියන්නී ය. කුඩා දියණිය රාත‍්‍රී නින්දෙන් ඇහැරුණු ඇතැම් දිනවල, තනිවම ගොස් ආත්තම්මා ළඟ නිදා ගැනීම ඔවුන්ගේ පවුලේ සාමාන්‍ය සංසිද්ධියකි. එදත් ඇය එසේ යන්නට ඇතැයි සිතූ මව්පියන්, ඇය ගැන නො සොයාම නින්දට ගොස් තිබේ. ඔවුන් සිය දියණිය අතුරුදන්ව ඇති බව දන්නේ පසුවදා උදේ ය! අනෙක ඔවුන්ගේ නිදන කාමරයේ ජනේලයට ‘ග‍්‍රිල් එකක්’ ද තිබී නැත.

සිද්ධිය සම්බන්ධයෙන් උනන්දු වන මහජනතාව, ඒ සියල්ල අර්ථ නිරූපනය කරන්නේ ‘මව්පියන්ගේ නො සැලකිල්ල’ වශයෙනි. ඔවුන් විද්‍යුත් නාලිකාවලට මුහුණ දීමේ දී ‘දුකක් නැතිව’ සිටීම ද, මහජනයාගේ සැකයට හේතු විය. දැරියගේ පියා කලකට ඉහත යම් අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙකු බවට ආරංචි පැතිර යාම ද ‘සැකමුසු තත්ත්වයට’ පොහොර දැම්මේ ය. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මෙන්ම අන්තර්ජාලය හරහා ද පැතිර ගිය පුවත් ඔස්සේ, දැරියගේ මව්පියන් හෝ පවුලේ අය කෙරෙහි සැකයක බීජයක් වැපිරෙන්නට ඉඩ පාදා තිබිණි. සේයාගේ පියා විද්‍යුත් මාධ්‍යයට ප‍්‍රකාශකර තිබුණේ, ඝාතනය සම්බන්ධයෙන් තමන් සැක බව පවසන නිර්නාමික දුරකතන ඇමතුම් 700කට අධික සංඛ්‍යාවක් පොලීසියට ලැබිණැයි දැන ගන්නට ලැබුණු බවයි. එසේම සිද්ධිය සම්බන්ධයෙන් සැප්තැම්බර් 19 වැනි ද වන තුරුත් නිශ්චිත සැකකරුවෙකු හඳුනාගෙන නො තිබීම ද ගැටළුවක් විය. සැකය වැඩිපුරම එල්ල වූයේ පියාට එරෙහිව ය.

මාධ්‍ය වාර්තා කළ ආකාරයට, සියල්ලෙහි අවසන් ප‍්‍රතිඵලය වූයේ, 2000ක පමණ ජන පිරිසක් සේයාගේ නිවස වටකර ගැනීමයි. ඇගේ අවමගුලේ සියලූ වැඩ කරට ගෙන තිබුණේ ද පිටස්තර අයයි. සේයාගේ පණ සුන් සිරුර නිවසෙහි තිබිය දී, ඇගේ අම්මාටත්, තාත්තාටත්, පවුලේ අයටත්, සිදුව තිබුණේ ඇතූළු කාමරයක සිරකරුවන් මෙන් කල් ගත කරන්නට ය. ඔවුන් අවමගුල් අවස්ථාවට එක් වූයේ ද පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ය. එල්ල වූ පීඩනය කොතෙක් ද යත්, කනත්තට ගොස් සිය දියණියගේ මිනී වලට පස් පිඩක් හෝ දමන්නට බැරි විය! සේයා දියණිය යළි ඔවුන් වෙත එන්නේ නැත. මව්පියන්ට තම දියණිය වෙනුවෙන් සිත් ‘වාවා ගන්නට’ තිබුණු අවසන් මොහොත ද, ඇය මිහිදන් කෙරුණු අවස්ථාවයි. ඇගේ මව්පියන්ට ඒ එවස්ථාව ලැබුණේ නැත! ඒ වෙනුවට ඔවුන් ‘මිනීමරුවන්ය’ යනුවෙන් හංවඩුවක් ද වැදුණි!

සේයාගේ මව්පියන්ට මුහුණ දෙන්නට සිදුවූ තත්ත්වය, සාධාරණ හෝ යුක්ති සහගත නොවේය යන්න ලියුම්කරුගේ අදහසයි. එසේම එය මානුෂීය ද නො වන්නේම ය. ‘සබුද්ධික’ යයි කියූ මහජනයා ‘හැඟීම්වලට’ මුල් තැන දෙමින් හැසිරෙන බව පෙනුණි.

යම් ප‍්‍රමාදයක් වුව ද, පොලීසිය (රහස් පොලීසිය ද ඇතුළුව) හැසිරුණේ ‘වෘත්තීය විමර්ශකයන්’ පරිද්දෙනි. ඔවුහු සේයාගේ පියා එදින රාත‍්‍රියේ කළ රැකියා කාරිය ඇත්තක් දැයි සොයා බැලූහ. පියා බොරුවක් නො කී බව ඉන් හෙළි විණි. ‘ඝාතකයා අසල්වැසියෙක් විය හැකිය’ යන්න ඔවුන්ට අවබෝධ විය. විමර්ශන ඒ ඔස්සේ දිග හැරුණි.


මහජන තීන්දුව
එසේ වුව ද ‘ඝාතකයා අන් කවරෙකුදු නොව, දැරියගේ පියාය’ යන්න, ඒ වන විටත් මහජනයා විසින් තීන්දුකර තිබිණි! ඔවුන් අදහන අන්දමට, දැරියගේ මව ද එයට සම්බන්ධ ය. ඒ පිළිබඳ පළවූ අන්තර්ජාල පුවතකට දැමූ ‘කොමෙන්ටුවකින්’ කියැවුණේ, ‘ඝාතකයා ඇගේ පියා බව’ ඔහුගේ මුහුණෙන්ම පෙනෙන බවයි! (කොමෙන්ටුකරුවාගේ කතාව ඇත්තක් නම්, අපරාධ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන  ඕනෑම නැත. මිනිසුන්ගේ මුහුණු බලා අපරාධකරුවන් හඳුනා ගැනීමට පුළුවන!) ඇවිළ යන්නට පටන් ගත් විට මහජන කෝපයක් නිවා දැමීම පහසු කටයුත්තක් නොවේ. එවන් අවස්ථාවල කෝපවූ වැඩි දෙනෙක්, ‘ඇත්තක්’ කීව ද පිළි නො ගන්නා තත්ත්වයට පත් වෙති. ඇත්තටම ‘මහජන සැකයේ සහ කෝපයේ ඇඟිල්ල’ සේයාගේ පියා කෙරෙහි එල්ල වන විට, ඔහු නීතිය ඉදිරියේ හෝ, අඩු තරමින් මුලික පොලිස් විමර්ශනවලින් හෝ, ‘මිනීමරුවා’ යයි ඔප්පුවී තිබුණේ නැත! ඔහු සම්බන්ධයෙන් එවන් සාක්ෂියක් හෝ අනාවරණය කෙරී නො තිබුණේ ය!

කෙසේ වෙතත්, මහජනයා කී පමණින්ම මිනිසුන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පොලීසියට නැත. ඒ සඳහා සාක්ෂි ලැබිය යුතු ය. සේයාගේ සිද්ධියේ දී, ඇසින් දුටු හෝ වෙන යම් මතුපිට සාක්ෂි ද නො වුණේ ය. එබැවින් ‘පරිවේශණීය සාක්ෂි’ සෙවීමට විමර්ශන නිලධාරීන්ට සිදු විය. එවැන්නක් ලෙහෙසි පහසු ද නොවේ.

සේයා සම්බන්ධයෙන් මහජන කෝපයක් ඇවිළ යාමට කාරණා කිහිපයක්ම බලපෑවේ ය. පියා ඇතුළු පවුලේ අයගේ හැසිරීම් ‘සැක කටයුතු’ යයි, සමාජය පුරා අර්ථ නිරූපනයක් ඇති වීම, පස් දිනක් යන තුරුම නිශ්චිත සැකකරුවෙකු හඳුනා ගත නො හැකි වීම සහ සිද්ධියේ කම්පනීය බව, යන කාරණා  ඒ අතර වෙයි. ඉන් ‘සමාජ කම්පනයක්’ ඇති විය. එය පුළුල් ජන විරෝධයක් දක්වා පැතිරිණි.



ඉන් පසුව හට ගත්තේ තවත් ඛේදනීය සිද්ධියකි. එනම් 17 හැවිරිදි පාසැල් ශිෂ්‍යයෙක් සහ දෙදරු පියෙක් පොලිස් අත්අඩංගුවට පත් වීමයි. ඔවුන්ගේ  තොරතුරු පවා මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කෙරිණි. ඉක්බිති මහජන කෝපය ඔවුන් වෙත එල්ල වන්නට විය. ඒ සමගම පාසැල් සිසුවාගේ අනාගතය ද, දෙදරු පියාගේ සමාජ ජීවිතය ද දරුණු අභියෝගයකට ලක් විය. ඔවුන්ට දූෂකයන් සහ මිනීමරුවන් යයි හංවඩුව වැදිණි. දැන් ප්‍රධාන සැකකරු වෙනත් අයෙකු යයි හෙළිවී තිබේ. දැන් සේයාගේ තාත්තා, අම්මා, සීයා මෙන්ම අසල්වැසි පාසැල් ශිෂ්‍යයා සහ දෙදරු පියා ද නිර්දෝෂීවී සිටිති. එහෙත් ඔවුන්ට වැදුණු හංවඩුව මැකී යා ද? ඔවුන්ට වුණු අසාධාරණයට වගකියන්නේ කවුරුන් ද?

ඇතිවූ මෙම තත්ත්වයට හේතුව කුමක් ද? එය අපරීක්ෂාකාරී මාධ්‍ය වාර්තාකරණය බව, ලියුම්කරුගේ පිළිගැනීමයි. ‘යම් කාරණයක ‘සත්‍යතාවය’ සහ ‘නිවැරදිතාවය’, අඩුම තරමින් පාර්ශව තුනකින්වත් තහවුරුකර නො ගෙන කිසිදු තොරතුරක් මුදා හරින්න එපා’ යන උපදේශයක් ජන මාධ්‍යයෙහි එයි. සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් පුවත් ගෙනා ඇතැම් මාධ්‍ය, එය පිළිපැද්දේ ද? යන්න ගැටළුවකි. මූලික පොලිස් විමර්ශනවලින් හෝ ‘ඇත්තක් යයි’ තහවුරු නොවූ අපරාධමය කාරණයක්, ‘සත්‍යයක් යයි හැඟෙන සේ’ පළ කරන්නේ කෙසේ ද?, එසේ කිරීමට ඇති අවශ්‍යතාවය සහ අයිතිය කුමක් ද? යන්න මෙහි දී විමසිය යුතු වේ. මාධ්‍ය ඔස්සේ ගෙන ගිය අනාවරණයන් නිසා, සේයාගේ ඝාතකයා අල්ලා ගැනීමට වැඩි උනන්දුවක් සහ ඒ ගැන සමාජ අවදි කිරීමක් ඇතිවූ බව ඇත්තකි. එසේ වුවත් ඒ මාධ්‍ය ඝෝෂාවම, දැන් දරු පවුල් තුනක සමාජ පැවැත්ම දරුණු අභියෝගයකට පමුණුවා තිබේ. ඇත්තටම මාධ්‍ය ‘හදිසි නො වූවා
නම්’  මෙවැනි තත්ත්වයක් ඇති නො වන්නට ද ඉඩ තිබිණි.

ශ‍්‍රී ලංකා කර්තෘ සංසදයේ ‘වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාව’, මෙබඳු කාරණයක් ඉස්මතු කරයි. ‘නිරවද්‍ය වාර්තාකරණය-2-2.’
‘වාර්තාවල නිරවද්‍යතාව, එය පළ කැරෙන්නට කලින් සොයා බැලීම සඳහා කර්තෘවරුත් ඒ ඒ පුවත්පත් කලාවේදියෝත් සෑම සාධාරණ ප‍්‍රයත්නයක්ම දැරිය යුත්තෝය. එවැනි සොයා බැලීමක් ප‍්‍රායෝගිකව නොකළ හැකි අවස්ථාවක දී ඒ බව වාර්තාවෙහි සඳහන් කළ යුතු ය
.’

සේයාගේ සිද්ධිය සම්බන්ධයෙන් එවන් විමසුම් ඇසක් නො ගැටුණු බව, දැන් පැහැදිලි ය.

සේයා ඝාතනයේ සැබෑ අපරාධකරුවන් කවුරුන් ද යන්න, දැන් අනාවරණයවී  තිබේ. ඇගේ පවුලේ අයට මෙන්ම අසල්වැසි පවුල් දෙකකට ද, දැඩි පීඩනයක් එල්ල කළ ‘සබුද්ධික මහජනයාත්’, ඔවුන්ට ඒ සඳහා ‘ඉන්ධන’ අලෙවි කළ ඇතැම් ජන මාධ්‍යත්, දැන් කුමක් කියන්නේ ද?
 
2015/09/25.



Sunday, September 20, 2015

ඩිජිටල්කරණයෙන් ඡායාරූපයක තිබුණු ස්වාභාවිකත්වය ගිලිහුණා

මාධ්‍ය ඡායාරූප   ශිල්පියෙකු සමග පිළිසඳරක්

ඩිජිටල්කරණය  ලොකු පහසුවක්
ඒත් ඡායාරූපයක තිබුණු ස්වාභාවිකත්වය ගිලිහුණා
ප්‍රවීණ මාධ්‍ය ඡායාරූප ශිල්පී ප්‍රෑන්ක් ද සොයිසා


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘යුද්ධ වේවා, වීදි සටන් හෝ කල කෝලාහල වේවා, කැරලි වේවා, අලි-මිනිස් ගැටුම් වේවා, ඒවා කොයිකත් ‘ගැටුම්’ බව අප සිහි තබා ගත යුතුයි. ගැටුම් ‘කවර් කරන්න’ යන මාධ්‍යවේදියා බොහොම පරිස්සමින් කටයුතු කළ යුතුයි. තොරතුරු හෝ ඡයාරූප ගැනීම්වල දී, නිතරම තමන්ගේ ආරක්ෂාව ගැනත් බලා ගන්න  ඕනෑ. තමන්ගේ ආරක්ෂාව ප‍්‍රධානයි. ඒත් ඔහු වැඬේ හරියටම කරන්නත්  ඕනෑ. ඒ සඳහා ඔහු යම් අවදානමකට මුහුණ දිය යුතු වෙනවා. අවදානම ගැන කලබල නොවී, සිහි බුද්ධියෙන් එය කළමනාකරණයකර ගෙන මාධ්‍ය ආවරණ කටයුත්ත කළ යුතුයි. තමන් සිටින ස්ථානයේ වෙන දේවල් නිවැරදිව තේරුම්-බේරුම්කර ගැනීමට අවබෝධයක් ද ඔහුට තිබිය යුතුයි’, අපේ ඡායාරූප මිතුරා කියා ගෙන ගියේ ය.
 
‘මේ වැඩේට ඉතින් නව තාක්ෂණික මෙවලම් සහ නවීන උපකරණ ද භාවිත කරන්නට වෙනවා’ යයි ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
 
අපේ කතාබහ දිග හැරෙමින් තිබුණේ, සති අන්ත ගාලූ සැන්දෑවක ය.  මිතුරාගේ නම ‘ප‍්‍රෑන්ක් ද සොයිසා’ ය. වෘත්තියෙන් මාධ්‍ය ඡායාරූප  ශිල්පියෙකු වන හේ, දිගු කලක් තිස්සේම ලියුම්කරුගේ ද මාධ්‍ය ගමන් සගයා ය. ඔහු දැනට ‘ලක්බිම’ පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරයි. කතාබහට පදනම් වූයේ, මාධ්‍ය වෘත්තික කටයුතුවල දී නිරුපද්‍රිතව හැසිරෙන්නේ කෙසේ ද? යන්න සහ ‘ඩිජිටල්කරණයෙන්’ හටගත් නවීන තත්ත්වයන් ගැන ය. එය කතිකා කෙරුණේ, අප සහෘද ප‍්‍රෑන්ක් ද සොයිසාගේ වෘත්තීය ජීවිතයේ විවිධ අත්දැකීම් ද පදනම්කර ගනිමිනි. අප ඡායාරූප මිතුරා පළ කරන අදහස් නවක මාධ්‍ය වෘත්තිකයන්ට ඉතාමත් වැදගත් වනු ඇතැයි යන්න, ලියුම්කරුගේ කල්පනාවයි. ඔහු මෙතැන් පටන් සිය ලියවිල්ල සටහන් කරන්නේ, ‘සම්මුඛ සාකච්ඡාවක’ ස්වරූපයෙනි.
 
ඡායාරූප ශිල්පයට එකතු වුණේ කොහොම ද?
‘අපි පදිංචි වෙලා හිටියේ හෝමාගම. මම පාසැල් ගියේ පන්නිපිටියේ ධර්මපාල මහා විද්‍යාලයට. දැන් ප‍්‍රකට ඡායාරූප ශිල්පියෙකු වන ‘සුමේධ ලියනගේ’,  මගේ පාසැල් මිතුරෙක්. ඔහුගේ පියා, ඞී. බී. ලියනගේ අංකල් ලේක්හවුස් ආයතනයේ ඡායාරූප ශිල්පියෙක් වශයෙන් සේවය කළා. ඔහුගේ නිවස පිහිටා තිබුණේ හෝමාගම තැපැල් කන්තෝරුව අසල ස්ථානයකයි. සුමේධ සමග මම නිතර එහේ යනවා. ඔය කියන්නේ 1985-1986 කාලය ගැනයි. ඒ වෙන කොට අපි පාසැල් අධ්‍යාපනය හමාර කරලයි හිටියේ. තාත්තා වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් නිසා, සුමේධට පාසැල් කාලේ පටන්ම ඡායාරූප ශිල්පය ගැන යම් අත හුරුවක් තිබුණා. මටත් ඒ ගැන පෙළඹවීමක් ආවේ ඔහු ගෙනුයි. ඒ කාලේ ‘සෙනිත්’ වර්ගයේ රෂියන් කැමරාවකුත් සුමේධට තිබුණා. ඒකට සවිකරලා තිබුණේ, මිලිමීටර් 200 හෝ 300 ලෙන්ස් එකක්. ඉතින් අපි සමහර දාට ඒ කැමරාවත් අරන් එයාලගේ වත්ත පහළ වෙලට යනවා. ඒ කාලේ ‘රීල් කැමරා’ නේ. අපි ඉතින් අංකල්ගේ (ඩී. බී. ලියනගේ මහතාගේ) ‘කළු-සුදු’ ෆිල්ම් රෝලකුත් අරන් තමයි යන්නෙ. වෙලට ගිහින් ඔය කොක්කු, කොරවක්කෝ එහෙම පින්තූර ගන්නවා. කැමරාවක් පිළිබඳ මගේ මුල්ම අත්දැකීම ලබන්නේ එහෙමයි. හැබැයි අංකල් කවදාවත් අපිට කියා දුන්නේ නෑ. අපිට එපා කියලා කිව්වෙත් නෑ. එයා අපි ගත්තු සමහර පින්තූරවලට හිනහත් වෙනවා. අපේ වැඩට බාධා කළෙත් නෑ. අංකල් මටත් සුමේධටත් හෙමින් වර්ධනය වෙන්න ඇරියා’
 
කීර්ති කුමාර කලහේ

අද ඒ ගැන මොක ද හිතෙන්නෙ? 
ඩී. බී. අංකල් හරි හොඳ කෙනෙක්. එයා අපිට ස්වාධීනව ඉගෙන ගන්න ඉඩ හැරියා. ඔහුගේ කැමරා බඩු පාවිච්චි කරන්නත් ඉඩ දීලයි තිබුණේ. එයින් අපි විශාල අත්දැකීමක් ලැබුවා’
 
ස්ටුඩියෝ වැඩ ඉගෙන ගත්තෙ කෙහොම ද?
‘ඒ කාලේ තිබුණේ ‘රීල් කැමරා’ නේ. ඉතින් ඒ ෆිල්ම් රෝල් මුලින්ම සුද්ධ කරන්න  ඕනෑ. ඊළඟට ‘ප‍්‍රින්ට්’ කරන්න  ඕනෑ. ඔය හෝමාගම සුපර් මාකට් එක උඩ තට්ටුවේ ‘මාලි පොටෝ’ කියලා ස්ටුඩියෝ එකක් තිබුණා. ඒක අයිති ප‍්‍රවීණ ලේඛක කීර්ති කුමාර කලහේ මහත්තයාගෙ පුතාට. ඔහුගේ පුතා   කුමාර කලහේම තමයි ස්ටුඩියෝ එක ‘රන් කළේ’. එයා අපේ මිතුරෙක්. අපි ඉතින් ‘කළු-සුදු’ ෆිල්ම් රෝල් සුද්ධකර ගන්න මාලි පොටෝ එකට යනවා. එතැන කුමාර කලහේට වැඩ වැඩියි. ඉතින් ටික දවසක් යනකොට එයා කියනවා, ‘මට උඹලගෙ වැඩකර කර ඉන්න වෙලාවක් නෑ. මම කියලා දෙන්නම්. උඹලාම උඹලාගේ පොටෝ සුද්ධකර ගනිල්ලා කියලා’. ඊට පස්සේ ඔහු අපට ‘ඩිවෙලොපර්’ (සේයා පටල සෝදන රසායනික දියරය) හදා ගන්න හැටි, ඩිවෙලොප් කරන හැටි, ‘එන්ලාජරයෙන්’ පින්තූර ප‍්‍රින්ට් කරන හැටි කියලා දෙනවා. ‘ඩාක් රූම් වැඩ’ කියන්නේ හරිම සංකීර්ණ විෂයක්. අපි ඉගෙන ගත්තා. ඔය අතරේ කුමාර කලහේ අපට අඩුපාඩුත් කියල දෙනවා. ඒ අතරේ අපි එයාගේ වැඩවලටත් උදව් කරනවා. අපි ඉතින් ආධුනික අයනේ. අපි ගත්තු සමහර පින්තූර අවුල්. ඉතින් මිතුරා කියනවා, ‘මචංලා, මෙතැන ‘අන්ඩර්’ ගිහින්. මෙතැන ‘ ඕවර් එක්ස්ෆෝස් වෙලා’ ගිහින්. මේකේ පේ‍්‍රම් එක හරි නෑ. ලයිට් බැහැලා’, ඔය වගේ අපේ අඩුපාඩු කියලා දෙනවා. ඒක අපට හොඳ අත්දැකීමක් වුණා. හොඳ පින්තූරයක් ගන්නේ කොහොම ද? කියන එක ගැන තාක්ෂණික පැත්තේ අවබෝධයකුත් ලැබුණා. ඡායාරූප ශිල්පියෙක් වුණාම, කැමරාව හැසිර වීම පමණක් නොවෙයි, ගන්නා පින්තූරයේ කාර්මික-තාක්ෂණික නිමාව ගැනත් දැන සිටිය යුතුයි කියලා අපි ඉගෙන ගන්නේ ඔහු ගෙන්’. පින්තූරයක කාර්මික-තාක්ෂණික නිමාව උසස් තත්ත්වයක තිබීම, එහි කලාත්මක ගුණයට බලපානවා. ඒ කාලේ අද වගේ දියුණු උපකරණ තිබුණෙත් නෑ. ඒත් අපි ඉගෙන ගත්තා. පින්තූර ප‍්‍රින්ට් කරන කොට අඩුපාඩු හදා ගන්න හැටිත් පුහුණු වුණා. ආලෝකයට, අඳුරට අනුරූපව ‘ෂටර් ස්පීඩ්’ හදා ගන්න හැටිත් ඉගෙන ගත්තා’
 
සුමේධ ලියනගේ
ඒ කාලේ කැමරා උපකරණ?
ඔය කාලේ වෙන කොට මම සුමේධත් එක්ක එයාගේ තාත්තාගේ (ඞී. බී. ලියනගේ මහතාගේ) ‘වෙඩින්  ඕඩර්’ එහෙම කවර් කරන්න යනවා. ඒ අතරේ කුමාර කලහේගේ  ඕඩර්වලටත් පින්තූර ගන්න යනවා. එක කාලයක් අපි ඉස්කෝලවල ‘අයිඩෙන්ටිකාඩ්’ පින්තූර ගන්නත් ගියා. ඒ කාලේ තිබුණේ පරණ තාලේ රෂියන් කැමරා. මාලි පොටෝ එකේ දි අපට විවිධ වර්ගවල කැමරා අතපත ගාන්න ලැබෙනවා. ඒ කාලේ තිබුණේ කපා, පිරවූ කළු-සුදු ‘රිෆීල් ෆිල්ම් රෝල්’. ඒවා ‘ඒ. එස්. ඒ. 55’ කීවොත්, ඇතුළේ තියෙන්නේ ‘ඒ. එස්. ඒ. 80’ රෝලක්! පින්තූර ගැනීමත් අසීරුයි’. ‘ඒ. එස්. ඒ.’ කියන්නේ, දළ සේයා පටලයේ වේගයටයි’
 
මාධ්‍යයට එකතු වෙන්නෙ?
‘වරක් සුමේධගේ ඉල්ලීමක් අනුව, මාධ්‍යවේදීන් පිරිසක් සමග සූරියවැව යන්න වෙනවා. වැව් වගයක් හදන්න ගිය කොරියන් කොම්පැණියකට මැරයෝ ගහලා. ඒ ගමනේ ඡායාරූප ශිල්පියා මම. මගේ පින්තූර තමයි ලේක්හවුස්, දිවයින වගේ පත්තරවල ගියේ. ඒත් මගේ නමින් නොවෙයි. ඒක තමයි මාධ්‍යයට ප‍්‍රථම එළඹුම’.
 
ඔය වෙනකොට තමන්ටම කියලා කැමරාවක් තිබුණ ද?
‘ඔව්, 1986 විතර වෙන කොට මට  ‘සෙනිත්’ වර්ගයේ රෂියන් කැමරාවක් තිබුණා. ඒක ගත්තේ රුපියල් 3000කට. ‘මැනුවල්’ කැමරාවක්. සල්ලි දුන්නේ මගේ අම්මා.  ඕක තමයි ඉතින් මහා සම්පත’
 
ඊට පස්සේ ?
‘දවසක් සුමේධ ‘ලංකාදීපයට’ ගිය වේලාවක මාව ‘පියල් උදය සමරවීර’ සහ ‘දයා රාජපක්ෂ’ යන මහත්වරුන්ට හඳුන්වා දුන්නා. ඔය 1988 දි විතර. ‘විජය’ ආයතනයෙන් පළ කළ ‘සුරතලා’ ළමා පත‍්‍රයට පින්තූර ගැනීම මට පැවරුණා. එයින් පසුව ‘කීර්ති කුමාර කලහේ’ මහත්තයාගේ (කුමාර කලහේගේ පියාණන්) මග පෙන්වීම පරිදි, 1998 දි විතර ‘ක‍්‍රිකට් ලොව’ ක‍්‍රීඩා සඟරාවට සම්බන්ධ වුණා. මම මුලින්ම වැඩ කළේ ඒ ආයතනයෙන් පළ කළ සතිපතා ළමා පත්තරයටයි. ඊට පස්සේ ‘ක‍්‍රිකට් ලොව’ සඟරාවේ වැඩ කළා. මට පැවරුණේ ‘ක‍්‍රිකට් මැච්’ කවර් කිරීමයි. පස්සේ 2000 අවුරුද්දෙදි  විතර ‘සුමති සමාගමෙන්’ ‘ලක්බිම දිනපතා’ පත්තරය පටන් ගන්නවා. එහි ඡායාරූප කර්තෘ ශ‍්‍රී ලාල් අයියාගේ (ප‍්‍රවීණ ඡායාරූප ශිල්පී, ශ‍්‍රී ලාල් ගෝමස්) ඇරයුම පරිදි මම ‘ලක්බිමට’ ආවා’
 
ඇයි ක‍්‍රිකට් මැච් ජීවිතේ සුන්දර නැද්ද?
‘නෑ එහෙම නෙවෙයි. මට ප‍්‍රවෘත්ති පැත්තට යන්න  ඕනෑකමකුත් තිබුණා. ඒ කාලේ ‘මැච් කවර් කිරීම’ අද වගේ නෙවෙයි, අමුතුම අත්දැකීමක්! එක අතකට හෙන ‘කට්ටක්’
 

ඒ ඇයි?
‘පින්තූර ගැනීම ගැන දැනුමක් තිබුණත්, ‘ක‍්‍රිකට් ලොවට’ යන තුරුම මට ‘මැච්’ කවර් කිරීම ගැන ලොකු අත්දැකීමක් තිබුණේ නෑ. හැබැයි හැදාමත් මම මට පැවරෙන විෂය අධ්‍යනය කරනවා. ඒ අනුව පින්තූර ගැනීමේ සැලසුම් සකස්කර ගන්නවා. ඒත් මේක අමුතු වැඩක්. මට එහි දී ‘රොයිටර්’ පුවත් සේවයේ, අනුරුද්ධ ලොකුහපුආරච්චි, ‘ඇෂෝෂියේටඞ් ප්‍රෙස්’ ආයතනයේ, ගැමුණු අමරසිංහ, ‘ප‍්‍රංශ පුවත් සේවයේ’, සේන විදානගම සහ ‘දිවයින’ පත්තරේ ශ‍්‍රී ලාල් ගෝමස් යන ප‍්‍රවීණ ඡායාරූප ශිල්පීන් මුණ ගැසෙනවා. ඒ ප‍්‍රවීණයන් තමයි මට ‘මැච් කවර් කරන හැටි’ කියා දෙන්නෙ. විශේෂයෙන්ම, අනුරුද්ධ ලොකුහපුආරච්චි සහ ගැමුණු අමරසිංහ යන ශිල්පීන් ‘ග‍්‍රවුන්ඞ් එකේදි’ මට වැඩ ඉගැන්නුවා. කියා දුන්නා’
 
ඔය කාලේ පාවිච්චි කරපු කැමරාව මොකක් ද?
‘රීල් කැමරා’ තමයි ඒ කාලේ තිබුණේ. මට ‘ස්පොටමැටික් පෙන්ටෙක්ස්-02’ වර්ගයේ කැමරාවක් තිබුණා. ඒක ‘මැනුවල්’ කැමරාවක්. ඒකට මිලිමීටර් 500 ‘සෙනිත්’ ලෙන්ස් එකක් දාලා තමයි ක‍්‍රිකට් මැච් පින්තූර ගත්තේ. පින්තූර කළේ වර්ණයෙන්. මොක ද, ‘කළු-සුදු’ ‘හයි ස්පීඞ්’ ෆිල්ම් රෝල් නෑ. ඉතින්  ‘ඒ. එස්. ඒ. 400-800’ වගේ ‘කලර් ෆිල්ම්’ පාවිච්චි කරනවා. ‘ඩේ ඇන්ඩ් නයිට්’ තරගවල දී  ‘ඒ. එස්. ඒ. 1600’ වගේ ‘කලර් ෆිල්ම්’ ගන්නවා. ඒවා නැතිව ක‍්‍රීඩකයන්ගේ  ‘ක්ෂණික ක‍්‍රීඩා ඉරියව්’ හසුකර ගන්න බෑ. අපි නම් පත්තර හෝ ක‍්‍රීඩා සඟරාවල වැඩ කරන අය. අපි නම් මැච් ඉවර වෙලා සවසට ‘සලාකා’ ගිහින් පින්තූර ‘ප‍්‍රින්ට්කර’ ගන්නවා. ඒත් ‘සේන අයියා’, ‘අනුරුද්ධ’, ‘ගැමුණු’ ඇතුළු විදේශ ප‍්‍රවෘත්ති සේවාවල අයට එහෙම බෑ. එයාලා හැමදාම ‘ලන්ච් අවර් එකට’ පින්තූර ‘ෆයිල් කරන්න’ (යවන්න)  ඕනෑ. ඔවුන් මහා වෙහෙසක් දරලා ‘ප්‍රෙස් බොක්ස්’ එකේ දිම වර්ණ පින්තූර ‘ඩිවෙලොප්කර’ ගන්නවා. අද නම් ඒක පුදුමත් හිතෙනවා’
 
ඒ මොක ද?
‘ඇයි ඔය කාලේ ‘ලැප්ටොප්’ කොම්පියුටර්, ‘ජංගම දුරකතන’ නෑ. අද වගේ ‘ඩිජිටලූත්’ නෑ. ඉතින් හැම විදේශ ප‍්‍රවෘත්ති ඡායාරූප ශිල්පියෙක්ම ‘ඩාක් රූම්’ උපකරණ කට්ටලයක් කාර් එකේ පටවා ගෙන එනවා. ඒක හරියට ‘ජංගම ඩාක් රූම් එකක්’ වාගෙ. ඒ කාලේ තිබුණේ, තඩි ‘ඩෙක්ස්ටොප් කොම්පියුටර්’. අද වගේ ‘එල්. සී. ඞී. මොනිටරුත්’ නෑ. ඉතින් ඒ අය කොම්පියුටර් කට්ටලයක්, ‘ඩිවෙලොපින් කිට්’ එකක්, ‘ඩිවෙලොපින් ටෑන්ක් එකක්’, ‘චේන්ජින් බෑග් එකක්’, ‘වතුර හීටරයක්’, බේසම්, බාල්දි, ‘ඩිවෙලොපින් රසායනික ද්‍රව්‍ය’ සහ වීදුරු බෝතල් ආදිය කාරෙකේ ඩිකියේ පටවා ගෙන එනවා. පළවැනි යුද්දෙ පටන් ගන්නේ ‘ලන්ච් ටයිම්’ එකේ දියි. මේ අය ‘ප්‍රෙස් බොක්ස්’ එකට ඇවිල්ලා, බේසම්, බාල්දි සූදානම්කර ගෙන හීටරේ ගහලා වතුර උණුකර ගන්නවා. ඊට පස්සේ ‘ඩිවෙලොපර්’ හදලා වීදුරු බෝතල්වලට දමා ගන්නවා. ඊළඟට ‘චේන්ජින් බෑග් එකේ’ දාලා අර ෆිල්ම් කපලා, ‘ඩිවෙලොපර් ටෑන්ක් එකට’ දාලා, ඒවා අතින්ම ‘ඩිවෙලොප්කර’ (දළ සේයාපටල සේදීම) ගන්නවා. දැන් මේ ෆිල්ම් කෑලි වේලා ගන්න  ඕනෑ. වැඬේ හදිසියි නේ. ඉතින් ක්ලිප් ගහලා ප්‍රෙස් බොක්ස් එකේම එල්ලලා, ‘හෙයාර් ඩ‍්‍රයර්’ එකෙන් වේලනවා! එයාල ‘හෙයාර් ඩ‍්‍රයර්’ එකත් ගෙදරින්ම අරන් එනවා. ඒ හැම දෙනෙක් ළඟම ‘නෙගටිව් ස්කෑනර්’ තියෙනවා. වේලා ගත්තු ෆිල්ම් කෑලි ඒකේ ආධාරයෙන් ‘ඩෙක්ස්ටොප්’ කොම්පියුටරයට දාලා, අවශ්‍ය පින්තූර (පේ‍්‍රම්) තෝරලා හදා ගන්නවා. ඒ කාලේත් හැම ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයකම ‘ඉන්ටර්නෙට්’ තිබුණා. ඉතින් තෝරා ගත් පින්තූර, එයින් ක්ෂණිකවම ඒ ඒ ප‍්‍රවෘත්ති මූලස්ථානවලට යවනවා. මැච් එක හවසට නවත්තපුවාම, ආයෙමත් මේ යුද්ධය සිද්ධ වෙනවා. මට ඒ විදිහට ‘කලර් ෆිල්ම්’ ‘ඩිවෙලොප්’ කරන්න කියා දුන්නේ, ගැමුණු අමරසිංහ සහ අනුරුද්ධ ලොකුහපුආරච්චි යන දෙදෙනායි. අපි ඒ අයට උදව් කළා. මිනිස්සු ‘රොයිටර්’ ආදී විදෙස් ප‍්‍රවෘත්ති සේවාවන් ඔස්සේ එන ක‍්‍රිකට් පින්තූර බලලා හරියට සතුටු වෙනවා. ඒත් ඒ කාලේ ඒවා පිටුපස්සේ තිබුණු ශිල්පීය වෙහෙස ගැන කවුරුවත් දන්නේ නෑ. දැන් නම් ඉතින් සේරම ‘ඩිජිටල්’ නේ. පින්තූර ගත්තා, ‘ලැප් එකෙන්’ හරි ‘ටැබ් එකෙන්’ හරි ක්ෂණිකවම ඇරියා!’
 
(පින්තූරය-විමුක්ති)

දැන් ඩිජිටල් හින්දා පහසුයි ද?
‘නිව්ස් කවරේජ්’ වැඩවලට නම් ඩිජිටල් ඉතා පහසුයි. මොක ද, ‘නෙගටිව්’ නෑ. ‘කලර් ලැබ්වල’ රස්තියාදුව නෑ. ‘ෆිල්ම් රෝල්’ සහ ‘ප‍්‍රින්ටින් වියදම්’ නෑ.  ඕන රෑක වුණත් පින්තූර දෙන්න පුළුවන්. කැමරාත් ඩිජිටල්. ඉතින් ‘පොටෝෂෝප්’ (ඡායාරූප සකස් කිරීමේ හා සංස්කරණය කිරීමේ මෘදුකාංගයක්) දාලා සකස් කරලා, ලෝකේ  ඕනෑම තැනට ඊමේල් කරන්නත් පුළුවන්. ජංගම දුරකතනයකින් වුණත් යවන්න පුළුවන්. ජංගම දුරකතනවලත් කැමරා තියෙන නිසා  ඕනෑම මොහොතක පින්තූරයක් ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. අද තාක්ෂණය ඉතා දියුණුයි. මේ සියල්ල හොඳයි. ඒක ඇත්ත. ඒත් මිනිස්සු තාක්ෂණය හරි විදිහට පාවිච්චි කරනවා ද? කියන ප‍්‍රශ්නය මට තියෙනවා.  හුඟක් අය ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරන්නේ වැරදි විදිහටයි. එතැන ඡායාරූපයක තිබිය යුතු ‘කලාත්මක ජීව ගුණය’ තියෙනවා ද? කියන එක ප‍්‍රශ්නයක්. ‘ඡායාරූපමය ගුණය’ තියෙනවා ද? කියන එක ප‍්‍රශ්නයක්. මට නම් හිතෙන්නෙ, ඡායාරූප ශිල්පයට ඩිජිටල් තාක්ෂණය පැමිණීම, හරියට ‘වඳුරාට දැලි පිහිය දුන්නා වාගේ’ කාරණයක්’
 
ඇයි එහෙම කියන්නෙ?
දැන් විවිධ පරාසයේ, ධාරිතාවේ කැමරා වර්ග  ඕනෑ තරම් තියෙනවා. කුඩා ප‍්‍රමාණයේ ඩිජිටල් ‘බට්ටො කැමරාවල’ පටන් රුපියල් ලක්ෂ ගණන්වලට විකිණෙන කැමරා තියෙනවා. ඊට අමතරව, ජංගම දුරකතන සහ ‘ටැබ්වලටත්’ කැමරා ඇවිත්. මේ තත්ත්වය නිසා අද ජන සමාජයේ හැමෝම ඩිජිටල් ‘ඡායාරූප ශිල්පීන්’ බවට පත් වෙලා. හැබැයි ඒ අය ඒක හරියට භාවිත කරනවා ද? අද ඡායාරූප ශිල්පය සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිත කරන ආකාරය එහැමපිටින්ම විකෘතියක්. පින්තූර ගහලා, කොම්පියුටරයට දාලා, ‘පොටෝෂෝප්වලින්’ මොනව හරි හදනවා. ඒක පින්තූරවලට කරන හානියක්. පින්තූරයක් කියන්නේ, ඒක කැමරාවට හසුකර ගන්න අවස්ථාවේ ඇහැට පෙනුණු දේ. ඒක පින්තූරයට ගත්තාම, අපට ඒක විකෘති කරන්න අයිතියක් නෑ. අවශ්‍ය නම් පින්තූරයේ පෙනෙන අරමුණ යම් උද්දීපනය කිරීමක් කළ හැකියි. හැබැයි විකෘති කරන්න බෑ. දැන් ඩිජිටල් තාක්ෂණයෙන් පින්තූර විශාල ලෙස විකෘති කරනවා. හරි නම් තියෙන්න  ඕනේ, ඒ අවස්ථාවේ තිබිච්ච දේ. ‘වෙඩින් ඇල්බම්වල’ දෙන්නෙම විකෘති පින්තූර. සමහර ‘වෙඩින් කපල්වල’ පින්තූරවලට, දාලා තියෙන්නේ එංගලන්තයේ ‘බෑක් ග‍්‍රවුන්ඞ්’! ප‍්‍රශ්නය තියෙන්නේ මේ විකෘතියට සමහර අය කැමතියි!’
 
ඔබ කියන්නේ ‘ඩිජිටල්කරණය’ හොඳ නැහැයි කියලා ද?
‘එය හොඳයි. හැබැයි ඒක භාවිත කරන විදිහේ අවුලක් තියෙනවා. ඩිජිටල්කරණය නිසා ඡායාරූප ශිල්පීන්ට ලොකු පහසුවක් ලැබුණා. ඒත් එක්කම, ඡායාරූපයක තිබුණු ස්වාභාවිකත්වය ගිලිහී ගියා’
 
ඔබ ‘කට්ට කන්න’ කැමති මාධ්‍ය ඡායාරූප ශිල්පියෙක් හැටියට ප‍්‍රසිද්ධයි!
‘පොටෝග‍්‍රැපි’ ඇවිල්ලා ‘කට්ටක්’ තමයි. විශේෂයෙන්ම ‘නිවුස් පොටෝග‍්‍රපර් කෙනෙක්’ කියන්නේ ‘කට්ට කන්නම’ වෙන් වුණු කෙනෙක්. එහෙම නැතිව හොඳ පින්තූර ලැබෙන්නේ නෑ.’
 
මොනවාද, පහුගිය කාලේ කාපු ඒ වගේ කටු?
‘ගොඩක් තියෙනවා. 2002 දී ප‍්‍රවීණ මාධ්‍යවේදී නුවන් ගන්කන්ද එක්ක, දෙසතියක් විතර මහවැලි ගඟ දිගේ ගියා. අපි ඒ ගමන ගියේ ‘ඉරිදා ලක්බිමට’. මහියංගණෙන් පටන් අරන්, ඩිංගි බෝට්ටුවක නැගලා, ත‍්‍රිකුණාමලයේ ගං මෝය දක්වාම අපි යාත‍්‍රා කළා. ඒ කාලේ යුද්ධය පැවතුණා. අපට ආරක්ෂක හමුදා සමග මෙන්ම ‘කොටි ත‍්‍රස්තවාදීන්’ සමග ද කතාබහ කරන්න වුණා. දවසක් අපි මනම්පිටියට නුදුරින් මහවැලි ගඟේ දූපතක නිදා ගත්තා. අපට ආරක්ෂක අංශවල දැඩි ප‍්‍රශ්න කිරීම්වලට මුහුණ දෙන්න වුණා. කන්තලේ සිත්තාරු පාලමේ දී අපි හමුදා අත්අඩංගුවට පත් වුණා. පස්සේ මුදා හැරියා. එතැනින් පහළට තිබුණේ ‘කොටි කඳවුරු’ ප‍්‍රදේශ. ඔවුනුත් අපෙන් ප‍්‍රශ්න කළා. සෝමාවතිය හරියේ දී අපි වල් අලින්ට කොටු වෙලා, බේරුණේ හරිම අමාරුවෙන්. ජැක්සන් ඇන්තනි මහත්තයා ‘ගඟ දිගේ’ රූපවාහිනී වැඩ සටහන් මාලාව කළේත්, නුවන් පත්තරේට ලියූ කතා පෙළින් පස්සෙයි. ඊට පස්සේ ආයෙමත් නුවන් එක්ක ‘කතරගම පාද යාත‍්‍රාවේ’ ගියා. අපි ද්‍රවිඩ බැතිමතුන් සමග පොතුවිල් ඉඳලා, පානම, ඔකඳ, කුඹුක්කන් ඔය ඔස්සේ යාල කැලේ මැදින් පයින්ම කතරගමට ආවා. ඒකට දින ගණනක් ගියා. ඇයි අයියේ ඔයත් එක්ක ‘සේතු සමුද්‍රම්’ සොයන්න තලේ මන්නාරමේ වැලි පර දූපත්වලට ගිය ගමන, ඒ වගේම ලාහුගල නීලගිරි සෑයේ කැණීම් බලන්න ගිය ගමන, පාහියන්ගල කැණීම් බලන්න ගිය ගමන. ඒවා බොහොම දුෂ්කර ගමන්. මම යුද්ධයත් කවර්කරලා තියෙනවා. වවුනියාවේ සනත් ප‍්‍රියන්තත් එක්ක උතුරේ ඇවිදලා තියෙනවා. නුවන් එක්කත් උතුරේ ‘ඩෙල්ෆ්ට්’ සහ ‘කච්චතිව්’ යන දූපත්වල සංචාරය කරලා තියෙනවා. යුද්ධයේ අවසන් සමයේ යුද්ධයත් කවර් කරන්න වුණා. මේ වගේ අත්දැකීම් නම් බොහොමයි. කටු කන්නේ නැතිව මාධ්‍යවේදියෙකුට අත්දැකීම් ලැබෙන්නේ නෑ’
 
දුෂ්කර ගමන්වල දී හොඳ පින්තූර ලැබෙන්න ඇති?
‘මෙහෙමයි, ඔය වාගේ ගමනක දී ආකාර කීපයකට පින්තූර ගන්න වෙනවා. එකක් ‘නිවුස් පින්තූර’. ඊළඟට ලියැවෙන්නට යන විශේෂාංගයට අවශ්‍ය ‘විශේෂාංග පින්තූර’. අනෙක, පසු අවස්ථාවල දී පාවිච්චි කරන්න පුළුවන් ‘ලයිබ‍්‍රරි පින්තූර’. මම නම් ඔය කොයිකත් අත්හරින්නේ නෑ’
 
මේ වාගේ වැඩවලට පෙර සූදානමක් තියෙනව ද?
 
‘තියෙනවා. ගමන සංවිධානය වෙද්දී මම නම් ලේඛකයා ගෙන්, තොරතුරු විමසනවා. ඔහු හා සාකච්ඡා කරනවා. ගමනේ අරමුණ ගැන විමසනවා. ගත යුත්තේ කුමන ආකාරයේ පිනතූර දැයි විමසා දැන ගන්නවා. මොකද, විශේෂාංගය රචනා කිරීමේ සැලසුම තියෙන්නේ ඔහු අතේ. මට පැවරී තිබෙන්නේ, එය උසස් ගණයේ පින්තූරවලින් අලංකාරකර දීමේ රාජකාරියයි. මම ඒ සඳහා උපරිමයෙන් කැප වෙනවා. එහෙම අවබෝධයක් නැතිව ගියොත්, අන්තිමට වැඩේට අවශ්‍ය පින්තූර නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බොහොමයක් ප‍්‍රවෘත්ති ලේඛකයෝ, තම අරමුණු ගැන ඡායාරූප ශිල්පියා දැනුවත් කරනවා. ඒත් සියල්ල සහසුද්දෙන්ම අසා ගැනීම, අපේ රාජකාරියේ කොටසක්. තවත් දෙයක් තියෙනවා. සෑම ඡායාරූප ශිල්පියෙක්ම, තමන් ආවරණය කරන විෂයන් ගැන ප‍්‍රාමාණික දැනුමක් ඇතිව සිටිය යුතුයි. යුද ගැටුම් කාලයේ නම් ඔහු යුද්ධය ගැන ද, පරිසර පින්තූර ගන්නේ නම්, වන සතුන්, ගහ කොල, ආදිය ගැන ද, දේශපාලනය වාර්තා කරන්නෙක් නම්, දේශපාලන ප‍්‍රවණතා ගැන ද දැන සිටිය යුතුයි. මේක ඉතා පුළුල් කාරණයක්. එය ‘වෙඩින්වලටත්’ පොදුයි. එහෙම අවබෝධයක් නැතිව වැඩ කරන්න බෑ. ක‍්‍රීඩා පින්තූර ගන්න යන කෙනා, ඒ ක‍්‍රීඩාවේ හැඩතල ගැන දැන සිටිය යුතුයි. ඒ වාගේම, මාධ්‍ය ඡායාරූප ශිල්පියෙක් වුණාම, තමන් ගන්නා පින්තූරවලට ‘කැප්ෂන්’ (පින්තූර විස්තරය) ලියන්නත් දැන සිටිය යුතුයි. එය මාධ්‍ය ඡායාරූපකරණයේම කොටසක්. දැන් ඩිජිටල් සහ පොටෝෂෝප් සංස්කෘතියේ ගිලී ඉන්න බොහොමයක් දෙනාට මේ වගේ අවබෝධයක් තියෙනවා ද? කියන එක ඇත්තටම ප‍්‍රශ්නයක්’
2015/09/21.












Friday, September 11, 2015

‘කොරන්ඩම් පවුලේ කුමාරයා’ ළඟදීම එළිදකී
 


(රංජිත් ඉලේපෙරුම-රත්නපුර)
ශ‍්‍රී ලංකාවෙන් ලැබෙන ලොව ඉස්තරම් තත්ත්වයේ නිල් මැණික් සහ මැණික් පැළඳීමේ භාවිතාව ඇතුළු තවත් තොරතුරු අළලා නව ග‍්‍රන්ථයක් පළ කිරීමට, රත්නපුර, ‘මිණිපුර මිණි මියුසියම්’ අධිපති, කපිල චම්පක අතුරලියගම මහතා කටයුතුකර ගෙන යයි.
එය සම්පාදනය කරන්නේ, ප‍්‍රවීණ ලේඛකයෙකු වන ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර මහතා විසිනි.
 

වර්ණ ඡායාරූප ද සහිත එහි ‘නිල් මැණික්’ පිළිබඳ විද්‍යාත්මක තොරතුරු රාශියක් ද ඇතුළත් ය. නව කෘතිය නම්කර ඇත්තේ ‘කොරන්ඩම් පවුලේ කුමාරයා’ යනුවෙනි. එය තව නොබෝ දිනකින් එළි දක්වන්නට නියමිත බව, අතුරලියගම මහතා පැවසී ය.



‘මිණිපුර මිණි මියුසියම්’ ආයතනය, 2008 වසරේ දී ‘මැණික් පුරේ-මැණික් කතා’ නමින් මැණික් පිළිබ්‍ඳ සිය මුල්ම ග්‍රන්ථය එළි දැක් වීය. එය සංස්කරණය කළේ ද ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර මහතා විසිනි.
 



 ලේඛකයා සිය කෘතියෙහි අත් පිටපත, අතුරලියගම මහතාගේ නිවසෙහි දී ඔහුට භාර දුන් අයුරු ඡායාරූපයෙහි දැක්වේ. වමේ සිට, රත්නපුර මහ නගර සභාවේ හිටපු විපක්ෂනායකවරයා, දේශීය බීජ සුරැකීමේ ජාතික සම්මේලනයේ හේමන්ත අබේවර්ධන, කපිල අතුරලියගම, ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර, මාධ්‍යවේදී රංජිත් ඉලේපෙරුම සහ මොහාම් හරීම් (දේවාලේගාව සනා) යන හිතවතුන් ඡායාරූපයෙහි වෙති.
(ඡායාරූපය-ඉමාෂා අතුරලියගම)
2015/09/12.

හතළිස් වසරකට පසුව වහලයෙන් හමුවූ රත්තරන් කොඩිවිනය


හතළිස් වසරකට පසුව 
වහලයෙන් හමුවූ රත්තරන් කොඩිවිනය
සත්‍ය කතාවක් ඇසුරිණි
 




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘හියාරේ’, ගාල්ලට නුදුරු පැරණි ගමකි. ගාලූ නගරයට ජලය සම්පාදනය කරන ජලාශය  ද එහි පිහිටා තීබීම නිසා, එය බොහොම ප‍්‍රසිද්ධ ය. ජලාශයට යාබද කුඩා වන රොද පවා එය නරඹනු පිණිස එහි යන එන අයගේ සිත් බඳියි. ගෘහ භාණ්ඩ තැනීම මෙන්ම, නිවෙස්වල වහලවල් ඉදි කිරීම සම්බන්ධයන් ද කොළඹ රටේ පවා ප‍්‍රසිද්ධව සිටින ‘හිච්චි බාස් උන්නැහේ’ නමැති ‘වඩු මහත්තයා’ නිවසන්නේ ද හියාරේ ය. ‘එගොඩ යන’ වයසේ පසුවන ඔහු, දක්ෂ වඩුවෙකු සේම අතිශයින්ම නිහඬ පුද්ගලයෙකි. ගමේ කොයි කාගේත් ගෞරවය දිනූවෙකි.

‘සසංක’ ද හියාරේ වැසි තරුණයෙකි. මෑතක දී ලංකා වදුලි බල මණ්ඩලයට එක් වුණු ඔහුගේ රැකියාව ගෙයින් ගෙට ගොස් ‘ලයිට් බිල්’ ලිවීම ය. දිනක් ඔහු ලයිට් බිල ලිවීම පිණිස හිච්චි බාස් උන්නැහේගේ නිවසට ගිය අතර, හා වැස්සක් කඩා වැටීමෙන් ආපසු එන්නට ප‍්‍රමාද විය. හිච්චි බාස් උන්නැහේ සසංක මෙන්ම ඔහුගේ මව්පියන් ද හොඳින් හඳුනයි. ඒ ඔවුන් ද ගමේ අසල් වැසියන් නිසා ය. වැස්ස පායන තුරු වල්පල් දොඩමින් සිටින අතරතුර හිච්චි බාස් උන්නැහේ,

 

‘මහත්තයලට හරිම කරදර නේ ද? හැමදාම එක එක ප‍්‍රශ්න නේ ද? දැන් මහම්මාට සනීප ද? ඔයාලගේ අම්මත් නිතර අසනීපෙන් නේ ද?’ යයි සසංකගෙන් අමුතු ප‍්‍රශ්නයක් ඇසී ය.
 ඒ ප‍්‍රශ්නයෙන් සසංක මදක් කලබල විය. හිච්චි බාස් උන්නැහේ ගමේ අසල්වැසියෙක් වූවාට, සසංකලා ළඟින් ආශ‍්‍රය කරන කෙනෙක් ද නො වේ. එසේ නම් ඔහු තම පවුලේ ප‍්‍රශ්න ගැන දන්නේ කෙසේ ද? යන්න ඔහුට ගැටළුවක් විය.

‘නෑ අංකල්, දැන් හුඟක් දේවල් හොඳයි. අම්මත් දැන් පැන්ෂන් නේ’ යයි සසංක කෙටි පිළිතුරක් දුන්නේ ය.

 



සසංකගේ අම්මා, හිටපු තැපැල් ස්ථානාධිපතිවරියකි. එබැවින් ගමේ අය ඇය හඳුන් වන්නේ ‘හියාරේ තැපැල් නෝනා’ යනුවෙනි. ඔහුගේ පියා ‘වීරවර්ධන මහත්තයා’ ය. හෙතෙම හිටපු ග‍්‍රාම නිලධාරියෙකි. තේ, කුරුඳු ඉඩම් හිමි වැවිලිකරුවෙකි. සසංක ඔවුන්ගේ එකම දරුවා ය. ඔවුන්ගේ පවුලත්, තැපැල් නෝනාගේ අම්මාත් (මහම්මා), වීරවර්ධන මහත්තයාගේ අවිවාහක සහෝදරයෙකුත් ජීවත් වන්නේ සසංකලාගේ නිවසේ ය. ඒ නිවසෙහි කවුරුත් නිරන්තරවම ලෙඩින් දුකින් පෙළෙන වුන් වෙති. වයස්ගත මහම්මා වැඩි හරියක් ගත කරන්නේ ගෙදර නොව, කරාපිටිය රෝහලේ ය. තැපැල් නෝනාට ද කලක පටන්ම එක එක අසනීප ය. තාත්තාට ද වරින්වර කුමක් හෝ අසනීපයක් වැළෙඳෙයි. මෑතක දී ඔහු ගල් වැටකින් ඇද වැටී, දිගු කලක් තුවාල ලබා හුන්නේ ය. ඒ මදිවාට ඔවුන් ඉඩම් නඩුවකට ද පැටලී සිටිති. පවුලට ලැබෙන ආදායමේ කිසි ඉතුරුවක් නැත්තේ ය. ණය බර ද අධික ය. එහෙත් සසංකලාගේ පවුලේ අය, මේ දුක් කරදර පිටතට අඟවන්නෝ නො වෙති. සියල්ල නිහඬව විඳ දරා ගෙන වසන්නෝ ය!

නිවසට කොඩිවිනයක් !
‘ඔය ගොල්ලන්ගෙ කරදර ගැන මම දන්නවා. ඔය ගැන සාස්තරයක්වත් අහලා බැලූවේ නැද්ද?’, සසංකගේ කෙටි පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ පරිද්දෙන්, හිච්චි බාස් උන්නැහේ විමසී ය.
 

‘අපේ අම්මලා ඔය මොනව ද බැලූවා. ඒත් පලක් වුණේ නෑ’, සසංක  පිළිතුරු දුන්නේ  ඕනෑවට එපාවට ය.
 

‘පලක්  වෙන්නෙ නෑ තමයි. මම ඒක දන්නවා. සසංක පුතාට මම පොඩි දෙයක් කියන්න ද?, මේක කියන්නෙ කොහොමද කියලයි මෙච්චර කල් හිටියේ. ඒත් දැන් බලන් හිටියා ඇති. කෙරිච්ච දේවල්වල හැටියට දැන් ඔතන ගෙයක් තියෙන්නත් බෑ. පුතාලා තාම ඔතන ඉන්නේ පෙර පිනකට වෙන්න ඇති!’, හිච්චි බාස් උන්නැහේ පැවසුවේ බැරෑරුම් විලාශයෙනි.
 

සසංකට ඇති වූයේ මහත් කුතුහලයකි. සමීපව ආශ‍්‍රය නො කරන කෙනෙක් වුව ද, හිච්චි බාස් උන්නැහේ තම පවුලේ විස්තර ද මැනවින් දනියි. ඊටත් වඩා ඔහුගේ සිත ව්‍යාකූල වූයේ, ‘කෙරිච්ච දේවල්වල හැටියට දැන් ඔතන ගෙයක් තියෙන්නත් බෑ’ යයි කියූ වදන් පෙළයි. දැනටමත් නිවසේ වහලය දිරා ගොස්, අඩක් බිඳ වැටී මුක්කු ගසා ඇති බවත් ඔහුට මතක් විය. එය අලූත්වැඩියා කිරීම පමා වන්නේ ද මුදල් නැතිකම නිසාවෙනි. එය ගාම්භීර පෙනුමක් සහිත, පැරණි පන්නයේ දැකුම්කළු නිවසකි. එය වසර 40ක් පමණ පැරණි ය. එවැන්නක් අලූත්වැඩියා කිරීම ද අද ලෙහෙසි වැඩක් නොවේ!

‘ඇයි අපේ ගෙට මොනවා වෙලාද අංකල්?’ සසංක විමතියෙන් ඇසී ය.

හිච්චි බාස් උන්නැහේ ඊට දුන් පිළිතුරින් ඔහු ගල් ගැසිණි!
 

‘පුතාලා දන්නෙ නෑ. ඔය ගේ හැදුවේ අපි. මම තමයි වහල ගැහුවේ. ‘සුමනපාල ඉස්කෝලේ මහත්තයා’  ඕක හැදුවේ ආයේ ගමෙන් පිට යන්නේ නෑ කියලයි. ඒත් එයාලට ඔය ගෙයි ඉන්න බැරි වුණා. මරණත් දෙකක් ද කොහෙද වුණා. බැරිම තැන ඒ ගොල්ලෝ  ඕක විකුණලා කළුතර පැත්තේ ඉඩමක් අරන් පදිංචියට ගියා. පවුල් නෑදෑකමුත් නැති වුණා. ඔය ගෙට ඒ කාලේ ‘කොඩිවිනයක්’ කරලා තියෙනවා. ඒක කරලා තියෙන්නේ ඉන්න අයට උන්හිටි තැන් නැතිවෙන්නයි. පුතාලාගෙ තාත්තා  ඕක සල්ලිවලට ගත්තේ ඊට පස්සෙයි. එයා ඔය ගැන කිසි දෙයක් දන්නේ නෑ. ඇයි ගමෙන් පිටනේ හිටියේ. තාත්තාට වෙලාවක මාව හම්බ වෙන්න කියන්න. මේක වෙන කාටවත් කියන්න හෙම එපා’, හිච්චි බාස් උන්නැහේ කීවේ ය.

 

මේ කතා ඇසූ සසංක, එදා වැඩ ඇරී ගෙදර ගියේ අවුල්වූ සිතිනි. තමන්ට නිරන්තරයෙන්ම වන කරදර නිසා, සංකලාගේ අම්මා (තැපැල් නෝනා) සාස්තර බැලූවේ වරක් දෙවරක් නො වේ. ඒ සෑම තැනක දීම කියැවුණේ, තම නිවසට බලගතු කොඩිවිනයක්කර ඇති බවයි. එය ඉවත් කිරීම පිණිස නොයෙකුත් ගුරුකම් කළ ද, ඒ සියල්ල අසාර්ථක විය. කිසිදු ‘යද්දෙහි මහත්තයෙකුට’, ඇදුරෙකුට, කොඩිවිනය හමු වූයේ ද නැත. පේන බැලීම්වලින් ගෙවත්ත හෑරුව ද, හමුවූ කොඩිවිනයක් නො වීය. වීරවර්ධන මහත්තයාත්, තැපැල් නෝනාත් මේවා කළේ ද හොර රහසිනි. ඒවායෙහි ආවතේවකම් කරන්නට පවා ගෙන්වා ගත්තේ ද වීරවර්ධන මහත්තයාගේ මුල් ගම වන හල්ගස්මුල්ලේ, මාබැවුල්කන්ද ගමේ විශ්වාසවන්ත උදවියයි. ගමේ අසල්වැසියන් ද මේවා ගැන දැන සිටියේ නැත. ඔවුන් සිතා සිටියේ, මහම්මා සනීපකර ගන්නට තොවිල් කරනවා යනුවෙනි. මේ සියල්ල නිසා, සසංකලාගේ පවුලේ හට ගෙන තිබුණේ මහත් පීඩාකාරී තත්ත්වයකි.

 

සසංකලාගේ නිවස තනා, එහි මුලින්ම පදිංචිව සිටියේ ‘ ‘සුමනපාල ඉස්කෝලේ මහත්තයා’ ය. ඔහු මහම්මාගේ (තැපැල් නෝනාගේ මව), ලොකු අක්කාගේ දෙටු පුත‍්‍රයා ය. ඔහු නිවස තනවා ඇත්තේ ගාල්ලෙන් පිට පළාත්වල ගුරු සේවයේ යෙදෙන අතරතුර ය. නිවස තැනූ ඉඩම සිය පවුලෙන් ඔහුට උරුමවූ බිම් කොටසයි. නිවස තැන වීමේ කටයුත්ත කෙරුණේ, ‘පිටදෙණියේ හාමිනේ’ හෙවත් තැපැල් නෝනාගේ අක්කාගේ මෙහෙය වීමෙනි. සුමනපාල ඉස්කෝලේ මහත්තයා මෙන්ම, වීරවර්ධන මහත්තයාත් රැකියා කටයුතු පිණිස ගමෙන් පිටවී සිටීම නිසා ඒ බර කරට පැවරුණේ ‘පිටදෙණියේ හාමිනේට’ ය. පවුලේ ඉඩකඩම් බෙදිල්ල ගැන යම් ආරෝවක් ඇයට තිබිණි. ඉන් තමන්ට අසාධාරණයක් වූවා යයි ද, සුමනපාල ඉස්කෝලේ මහත්තයා එයට වග කිව යුතු යයි ද ඇය ඇදහුවා ය. කෙසේ වෙතත්, ඥාති අයියණ්ඩිය වෙනුවෙන් නිවස ඉදි කරවා දීමට ඇය මැදිහත් වූවා ය. මේ කියන කාලයේ සසංක ඉපදීලාත් නැත. පිටදෙණියේ හාමිනේ සසංකලාගේ ලොකු අම්මා ය. මහප්පා ඇතුළු ඒ පවුලේ අය, ඔහුගේ පවුලේ ද සමීපයෝ ය. ඔහු සිය පවුලේ අතීතය ගැන දන්නේ, වැඩිහිටියන් පවසන තොරතුරු ඇසුරිණි. ‘පුතාලා දන්නෙ නෑ. ඔය ගේ හැදුවේ අපි. මම තමයි වහල ගැහුවේ’ යයි හිච්චි බාස් උන්නැහේ කී කාරණාව, ඔහුගේ සිතෙහි තදින්ම කා වැදුණේ එබැවිනි. එය මෙතෙක් නො දැන සිටි කරුණකි!

 

සසංකගේ කතාව ඇසූ වීරවර්ධන මහත්තයාත්, තැපැල් නෝනාත්, අන්දමන්ද වූහ. ‘හිච්චි බාස් උන්නැහේ මේ ගෙයි වහලේ ගහන්ඩ ආවා කියන කතාවක්, අක්කා කවදාවත් කියලා නෑ’ යයි, තැපැල් නෝනා සිහිපත් කළා ය. ‘ ඕක මොකක් ද දන්නෙ නෑ. මං කොයිකටත් ඔය මනුස්සයා හම්බ වෙන්නම්, එතකල්  නෝනේ  ඕක ගැන කාටවත් කියන්ඩ එපා’, වීරවර්ධන මහත්තයා සිය බිරියට උපදෙසක් ද දුන්නේ ය.

දින කිහිපයක් ගෙවී ගියේ ය. ඒ අතර, හිච්චි බාස් උන්නැහේ හමු වන්නට ගිය වීරවර්ධන මහත්තයා ගෙදර ආවේ නො සන්සුන්ව ය.
 

‘මොක ද වුණේ?’ තැපැල් නෝනා විමසුවා ය.
 

‘වෙන්ඩ තියෙන සේරම වෙලා ඉවරයි නෝනේ. කොඩිවිනේ කිව්වාට, ඒක මතුරලා, රත්තරන් ගාපු ඇණයක්ලූ. ගෙයි මුදුන් යටලීයටලූ හයිකරලා තියෙන්නේ. බාස් උන්නැහේ මගේ අත් දෙක අල්ලගෙන ඇඬුවා. ඒක හයි කළේත් එයාමලූ. ඒකට ඒ කාලේ සල්ලිත් ලැබුණලූ. මේකේ බරපතලකමක් දන්නෙ නැතිව, සල්ලි නිසා ඒක කලා කියලයි හිච්චි බාස් උන්නැහේ කිව්වෙ. මේක අපට කරපු දෙයක් නෙවෙයිලූ. මගෙන් සමාවත් ගත්තා. ඉතිං මං ඇහුවා මේක කළේ කාගේ  ඕනෑකමකට ද කියලා. කිව්වේ නෑ. මං කිව්වා, ළඟදි වහලේ ගලවන්නයි, රෙපයාර් කරන්නයි ඉන්නේ කියලා. එතකොට ඇවිත් ඒක පෙන්නන්නම් කීවා. පෙන්නලා, ඒක කළේ කවුද කියලත් කියන්නම්ය කිව්වා’, වීරවර්ධන මහත්තයා දීර්ඝ හෑල්ලක් කියා ගෙන ගියේ, තැපැල් නෝනාත්, සසංකත්, තුෂ්ණිම්භූත කරවමිනි!
 

ඔවුන්ට එදා රාත‍්‍රියේ නින්ද ගියේ ද නැත.
 



මරු කතිරයෙන් රත්තරන් ඇණය හමුවේ!
කොළඹ ප‍්‍රදේශයේ වහලවල් ගැසීම් ආදී කොන්ත‍්‍රාත් කරන ‘පොඩි තිලක්’ සසංකලාගේ ගමේ පදිංචි තරුණයෙකි. දක්ෂ වඩුවෙකු ලෙස ප‍්‍රසිද්ධියක් උසුලන්නෙකි. සසංකලාගේ නිවසේ අබලන් වහලය ගලවා, එය අලූත්වැඩියා කිරීම පැවරුණේ ද ‘පොඩි තිලක්ට’ ය. ඔහු සිය කණ්ඩායම ද සමග පැමිණ මුලින්ම වහලය මිණුම් කළෝ ය. ඊලඟට ඊට සරිලන සේ යට ලී, පරාල ආදී දැව දඬු සැකසුවෝ ය. එය වැසි රහිත සමයකි. එබැවින් නිවසෙහි වහල ගැල වීමට බාධාවක් නො වුණේ ය. නිවැසියෝ තාවකාලිකව, ගෘහය පිටුපස කොටසෙහි වාසයට ගියහ.

පොඩි තිලක්ගේ කණ්ඩායම, මුලින්ම වහලයේ ඇති උළු කැට ගලවා පරිස්සමින් බිමට බෑහ. අනතුරුව පරාල සහ යටලී ගැලවූහ. ඒවා බොහාමයක් දිරා ගොස් පැවතුණි. අසල්වැසි නෑයන් කිහිප දෙනෙක්ම  වැඩවල අත් උදව්වට පැමිණුනහ. එහෙත් පිටදෙණියේ හාමිනේ නම්, වාත අමැරුවකට බෙහෙත් ගන්නේ යයි කියමින් සසංකලාගේ නිවස පැත්තට වත් ආවේ නැත.

වහලය ගලවන දවසේ, හිච්චි බාස් උන්නැහේ පැමිණියේ සිය පුත‍්‍රයාගේ ත‍්‍රීවීලයෙනි.
‘මට දැන් වහලවල්වල නගින්න වාරු නෑ. අපි ‘මුදුන් යට ලීය’ බානකල් ඉම්මු. හැබැයි වීරවර්ධන මහත්තයා මෙතැන කලබල ඇතිකර ගන්න නම් එපා. මට මේක මෙච්චරකල් කියන්න හිත් නො දුන්නෙ, මහත්තයලා මේක කෙහොම බාර ගනීවි දැයි හිතා ගන්න බැරුවයි. ඒත් එදා සසංක පුතා හමු වුණාම  ඕන එකක් කියලා මේක කියන්ඩ හිතුවා’, ඔහු වීරවර්ධන මහත්තයාට පැවසුවේ රහසින් මෙනි.

මේ වන විට පොඩි තිලක් සිටියේ වහලය මත ය. වීරවර්ධන මහතා කොඩිවිනයේ කාරණය  ඔහුට පමණක් රහසින් පවසා තිබිණි. එබැවින් ඔහු වහලයේ වැඩ කළේ විමසිල්ලෙනි. එහෙත් මුදුන් යට ලීය පරීක්ෂා කළ ද, එබඳු යමක් ඇස නො ගැටිණි. එය තැනින් තැන දිරාපත්ව ඇති වග නම් පෙනෙන්නට තිබිණි. තිලක්ගේ ඉල්ලීම පරිදි මුදුන් යට ලීය, කඹ පොටක ආධාරයෙන් බිමට බා ගැනුණි. මුදුන් යට ලීයේ කොඩිවින කාරණය දන්නේ, සසංකගේ මව්පියන්, සසංක, පොඩි තිලක් සහ හිච්චි බාස් උන්නැහේ පමණි. එබැවින් එහි සිටි අනෙක් අයට ඒ ගැන නිනව්වක් නො වීය.

දැන් කාගේත් අවධානය, බිමට බා ගත් මුදුන් යට ලීයට ය. හිච්චි බාස් උන්නැහේ වහාම එහි එක් ස්ථානයක් සලකුණු කළේ ය. එය නිවස පිහිටි භූමියේ ද, වහලයේ ද, වාස්තු විද්‍යාත්මකව ‘මරු කතිරය’ යනුවෙන් හඳුන්වන ස්ථානයයි!

පොඩි තිලක්, හිච්චි බාස් උන්නැහේ සලකුණු කළ ස්ථානය නියනකින් හාරා දැමී ය. ඒ තුළ තඹ කොලයක එතූ අඟල් දෙකක පමණ රත්තරන් පාට ඇණයක් විය! ඇණය, මුදුන් යට ලීයේ හෑරූ සිදුරකට බස්සා, දැවමය ඇබයක් ගසා තිබිණි. එය රන් ආලේප කළ තඹ හෝ ලෝකඩ ඇණයකි. එය දෑතින්ම ගත් හිච්චි බාස් උන්නැහේ, ඇණය වීරවර්ධන මහත්තයා අතට දී, දණ ගසා වැන්දේ ය. හඬමින් සමාව ඉල්ලූවේ ය. මේ සිද්ධිය දැක වැඩෙහි යෙදී සිටි අනෙක් අය ද එතැනට ආවෝ ය. ‘රත්තරන් ඇණය’ දැක ගත්හ.

ඉක්බිතිව, වීරවර්ධන මහත්තයා එතැනින් ඉවතකට කැඳවා ගෙන ගිය හිච්චි බාස් උන්නැහේ, බොහෝ වේලාවක් මොන මොනවා දෝ රහසින් කතා කළහ. ඉන් පසුව ඔහු පුත‍්‍රයාගේ ත‍්‍රීවීලරයේ නැගී යන්නට ගියේ ය.

හතළිස් වසරකට පසුව, වීරවර්ධන මහත්තයාගේ වහලයෙන් කොඩිවිනයකට දැමූ රත්තරන් ඇණයක් හමුවූ බව, එදා සවස් වන විට මුළු ගම පුරා පැතිරිණි. ඇතැම්හු ‘රත්තරන් ඇණය’ දැක බලා ගන්නට ද පැමිණියහ.
 

මේ අතර, තැපැල් නෝනේ සිය අක්කණ්ඩිය හමු වන්නට ගියේ හඬමිනි. කලබලයෙනි. ඇය පිටදෙණියේ හාමිනේ ගෙන් ඇසුවේ එකම ප‍්‍රශ්නයකි. ඒ, ‘ඇයි අක්කේ මෙහෙම දෙයක් කළේ?, ඇයි අපිට මේක කිව්වෙ නැත්තේ?’ යනුවෙනි. දෑස් මහත් කොට සිය නැගණිය දෙස තුෂ්නිම්භූතව බලා සිටි පිටදෙණියේ හාමිනේ, නිහඬව සිටියා මිස එක වචනයකුදු නො කීවා ය!

 



දැන් ඒ පවුල් දෙක විරසක ය. කාගේ දෝ උපදෙසක් අනුව, යාබද ගමක පන්සලකට ගිය තැපැල් නෝනේ, රන් ආලේපිත කොඩිවින ඇණය එහි බෝ ගස මුලට විසිකර දැමුවා ය.


පසු සටහන
කතාවෙහි කියැවෙන ආකාරයට, වහලයට හෝ වෙනත් තැනකට කොඩිවින දැමීමෙන් යම් අනර්ථයක් වන්නේ ද? නැද්ද? යන්න, ලියුම්කරු නො දනියි. එහෙත් ඉඩම් තණ්හාව නිසා මුළු පවුලක්ම අඳුරට ගිය බවත්, එය පෙනෙන්නටම තිබුණු බවත්, ඒ ගමේ වැසියන් දනිති. සිද්ධියට සම්බන්ධ පිරිස, කොඩිවින ආදිය ගැන ගැන අසීමිත විශ්වාසයෙන් අන්ධව පසුවූ බව ද කතාවෙන් වැටහේ. මුදලට වහල්වී කොඩිවිනය සවි කළ වඩු මහත්තයා, වසර 40කට පසුව ඒ ගැන හෙළි කරන ආකාරය ද අධ්‍යනය කිරීම වටී.
 

(ගාලූ දිස්ත‍්‍රික්කයේ එක්තරා ගමක, 2015 වසරේ දී  හට ගත් සත්‍ය සිද්ධියක් ඇසුරිණි. මෙහි එන නම්, ගම් පමණක් මනංකල්පිත ය.)

ඡායාරූප-අන්තර්ජාලයෙනි.

2015/09/11.










Sunday, September 6, 2015

2015 දීත් වී ගොවීහු අන්ත පරාජයක් ලබති!


2015 දීත් වී ගොවීහු අන්ත පරාජයක් ලබති!
බත හදන මිනිසුන්ගේ ඛේදවාචකය

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
වී මුුදලාලිලා හිනා මුහුණු ද රැගෙන ගොවි බිම්වලට එති. කිසිම ගැටළුවක් නැත. දෙන තරමක් වී තොග මිල දී ගන්නට ඔවුන් සූදානම් ය. සල්ලිත් එවේලේම ලැබේ. එහෙත් ඔවුන් වී කිරන්නේ, ආණ්ඩුවේ සහතික මිලට නොවේ. නාඩු වී කිලෝව රුපියල් 29ට-30ට ය. සම්බා වී කිලෝව රුපියල් 40ට ය. මුදලාලිලාගේ මිලට වී විකිණීම හොඳටෝම පාඩු ය. ඒත් ගොවීන්ට වෙන කරන්නට දෙයක් ද නැත. රටේ ප‍්‍රධාන වී නිපැයුම් දිස්ත‍්‍රික්ක වන, අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව, හම්බන්තොට ඇතුළු ප‍්‍රදේශවල ගණනාවකම වී අස්වනු විකිණීම දැන් මහා ජංජාලයක් බවට පත්වී තිබේ. ‘වී ගන්නෙමැයි’ ‘කැට තියා’ කීව ද, ආණ්ඩුවේ සහතික මිලට වී විකිණීම අති දුෂ්කර කටයුත්තක්ව තිබීම ඊට හේතුවයි!

 



 ආණ්ඩුවේ ලොකුම වී ගැනුම්කරුවා වන ‘වී අලෙවි මණ්ඩලය’, මෙවර යල කන්නයේ වී අස්වනු මිලට ගැනීම් ආරම්භ කළේ 2015 ජූලි මස 29 වැනි දා ය. එසේ වුව ද, මේ සටහන ලියැවෙන සැප්තැම්බර් 05 වැනි දා වන විට ද ඔවුන් මිලට ගෙන තිබුණේ, මෙටි‍්‍රක්ටොන් 1,16,500ක් වූ සිය ඉලක්කයෙන් මෙටි‍්‍රක්ටොන් 51,037ක් (සියයට 43.81ක්) පමණි. ඒ බව ඔවුන්ගේ වෙබ් අඩවියෙහි පළකර තිබිණි.

 ඕනෑම වගා කන්නයක රටට එන වී අස්වැන්නෙන් වැඩි කොටස මිල දී ගන්නේ, පෞද්ගලික අංශයයි. සාමාන්‍යයෙන් එය සියයට 85ක්, 90ක් පමණ වේ. වී මිල දී ගැනීමේ රාජ්‍ය අංශය, වී අලෙවි මණ්ඩලය, සමුපකාර සමිති සහ ඇතැම් අවස්ථාවල සතොස යන ආයතනවලින් සමන්විත වෙයි. ඔවුන් මිල දී ගන්නේ වෙළෙඳපොළට එන සමස්ත වී අස්වැන්නෙන් සියයට 10ක් හෝ 15ක් පමණ කොටසකි. පෞද්ගලික අංශය සමග සැසඳීමේ දී එය ඉතා කුඩා ප‍්‍රමාණයක් බව ඇත්ත ය. එසේ වුවත්, වී මිල ආණ්ඩුවේ සහතික මිලෙන් පහළට යා නො දී පාලනයකර ගෙන සිටින්නේ, රාජ්‍ය අංශය කරන මැදිහත් වීම තුළිනි. රාජ්‍ය අංශයේ මිල දී ගැනීමේ යාන්ත‍්‍රණය බි වැටුණු සෑම අවස්ථාවකම, මිල ද දරුණු ලෙස පහළට වැටී, වී අස්වනු විකුණා ගැනීමේ අර්බුදය මතු වෙයි. මීට ඉහත කාලවල කෙරුණු පරිද්දෙන්ම, මෙවර ද සිදුව ඇත්තේ එයයි!
 

කරුණු කොයිහැටි වෙතත්, වී අස්වනු සාධාරණ මිලකට විකුණා ගන්නට නො හැකි වීමේ අර්බුදය, එක් අතකට ඉතාමත් හාස්‍යජනක ය. වී වගාව යනු රටේ විශාලතම වගා කටයුත්ත වන අතර, ඉන් නිපැයෙන සහල සමස්ත රට වැසියන්ගේම ප‍්‍රධාන ආහාරය වීම ඊට හේතුවයි. මුළු රටක්ම තුන් වේලටම කන්නේ බත් ය. ඒ බත නිපැයෙන වී අස්වැන්න, සාධාරණ මිලකට විකුණා ගන්නට බැරිවී තිබේ! රටේ ප‍්‍රධාන කෘෂිකාර්මික කටයුත්ත වන වී නිපැයුම සඳහා, ජාතික මට්ටමේ සැලසුමක් හෝ වැඩ පිළිවෙලක් නැතිකම, මෙබඳු තත්ත්වයක් උදා වීමට හේතුවයි. වෙනත්  ඕනෑම භාණ්ඩයක මිල තීරණය කරන්නේ එහි නිෂ්පාදකයා ය. එහෙත් වී අස්වනු සඳහා මිල තීරණය කරන්නේ ගොවියා නොව, වී මෝල් හිමි මුදලාලිලා ය! අලෙවිය පිළිබඳ කාරණයේ දී, වී ගොවීන් කොතරම් අසරණ ද යන්න, එයින්ම පෙනේ.
 

වී නිපැයුම් දත්ත
සාමාන්‍යයෙන් ලංකාවේ වැඩිම බිම් ප‍්‍රමාණයක වී වගා කෙරෙන්නේ ‘මහ’ කන්නයට ය. ඉකුත් 2014/2015 මහ කන්නයේ දී ද අපේ රටේ,  හෙක්ටයාර් 7,72,626ක පමණ වී වගා කෙරුණි. ඉන් මෙටි‍්‍රක්ටොන් 28,76,989ක වී අස්වැන්නක් ලැබිණි. එහෙත් වර්ෂාව අඩු යල කන්නයේ වී වගා කෙරෙන්නේ, අඩු බිම් ප‍්‍රමාණයක ය. 2014 යල කන්නයේ හෙක්ටයාර් 3,12,979ක පමණ වී වගාකර තිබිණි. ඉන් රටට ලැබුණු වී අස්වනු තොගය, මෙටි‍්‍රක්ටොන් 11,44,929ක් විය. මෙම සංඛ්‍යාලේඛන උපුටා ගන්නා ලද්දේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙනි.

රජයේ මාධ්‍ය සඳහන් කරන ආකාරයට, 2014/2015 මහ කන්නයේ වී අස්වැන්නෙන් රටට ලැබුණු සහල් ප‍්‍රමාණය මෙටි‍්‍රක්ටොන් මිලියන 1.67කි. මෙවර, එනම් 2015 යල කන්නයේ ද හෙක්ටයාර් 5,02,177ක පමණ වී වගාකර ඇතැයි සැලකේ. ඉන් අපේක්ෂිත වී අස්වනු ඉලක්කය, මෙටි‍්‍රක්ටොන් මිලියන 1.93කි. ඉන් ලැබෙතැයි සිතන සහල් ප‍්‍රමාණය මෙටි‍්‍රක්ටොන් මිලියන 1.18කි. ඒ අනුව, 2015 වර්ෂය තුළ දී රටට මෙටි‍්‍රක්ටොන් මිලියන 2.85ක සහල් සංචිතයක් ලැබෙතැයි අපේක්ෂිත ය. සාමාන්‍යයෙන් ලංකාවේ පාරිභෝජනයට වසරකට සහල් මෙටි‍්‍රක්ටොන් 2.27ක් පමණ අවශ්‍ය වේ. එබැවින් 2015 වසර තුළ දී රටට ලැබෙන සහල් තොගය ඊළඟ මාස 12ක කාලයක් සඳහා ප‍්‍රමාණවත් ය. සංඛ්‍යාලේඛන නිවැරදි නම්, දැන් රටට සහල් අතිරික්තයක් ලැබෙමින් පවතී! තත්ත්වය මෙබඳු වුව ද, මෙවර යල කන්නයෙහි වී අස්වනු අලෙවිය අර්බුදයට ගොස් තිබෙනු පෙනෙයි.
 

අර්බුදයේ සුල මුල
ගොවීන්ගේ වී අස්වැන්න සාධාරණ  මිලකට අලෙවිකර ගන්නට නො හැකි වීමේ ගැටළුවට, ඇත්තේ ශෝකී කතාන්දරවලින් පිරුණු දිගු ඉතිහාසයකි. එය ඇරඹෙන්නේ, 1980 දශකය අග භාගයේ දී ය. එනම්, පොළොන්නරුවේ,  ඕනෑගම, ට‍්‍රැක් දහසයේ පදිංචි ගොවියෙකු වූ බී. ජී. හවඩියා (71) මහතා, සිය කුඹුරේදීම සිය දිවි නසා ගැනීමේ සිද්ධියෙනි. ඔහු සිය දිවි නසා ගෙන තිබුණේ, 1988 වසරේ දී ය. ඒ, ගෙවා ගත නො හැකි ණය බර හේතුවෙනි. ණය ගෙවන්නට මුදල් නැතිව ගියේ, එකක් කුඹුර පාළු වීම ය. අනෙක, ලබා ගත් වී අස්වැන්න සොච්චම වුව සාධාරණ මුදලකට විකුණා ගන්නට නො හැකි වීම ය. තාත්තා ගෙන් පසුව කුඹුරේ උරුමකරු වූයේ ඔහුගේ පුත් බී. ජී. ගුණපාල ය. ඔහු ද දක්ෂ ගොවියෙකි. තාත්තාගේ ණය කන්ද උරුම වූයේ ඔහුට ය. වී වගාවෙන් ඔහු ද පැරදිණි. 1994 වසරේ පෙබරවාරි මාසයේ ඔහු ද වස බී සිය දිවි නසා ගත්තේ ය. තාත්තා මෙන්ම පුතා ද සිය දිවි නසා ගත් බව හෙළි වූයේ, ගුණපාල ගොවි මහතාගේ මරණය සම්බන්ධයෙන් පැවති හදිසි මරණ පරීක්ෂණයේ දී ඔහුගේ මෑණියන් (හවඩියා ගොවි මහතාගේ බිරිඳ) දුන් සාක්ෂියෙනි. ඉන් පසුව පොළොන්නරුව දිස්ත‍්‍රික්කය පුරා වී ගොවීන් සිය දිවි නසා ගැනීමේ රැල්ලක් ඇති විය. 1994 වසරේ අගෝස්තු පාර්ලිමේන්තු මහා මැතිවරණය එළඹෙන විට ගොවීන් 21 දෙනෙක් සිය දිවි නසා ගෙන තිබිණි. මෙම තත්ත්වය මැතිවරණයෙන් එ. ජා. ප. ආණ්ඩුව පැරදී, පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් ඇති වන්නට තරම් ප‍්‍රබල විය. වර්තමානයේ රටේ ජනපති පදවිය උසුලන මෛත‍්‍රීපාල සිරිසේන නමැති තරුණ පොළොන්නරු දේශපාලනඥයා, ඉතා ඉහළට එසවී යන්නේ ද ඒ ගොවි රැුල්ල හේතුවෙනි. එකල පීඩිත වී ගොවීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නො පැකිලව පෙනී සිටින්නේ ද ඔහු ය.

එකල ‘ලංකාදීප’ පුවත්පතේ සේවය කළ ලියුම්කරු, (1993 වසරේ පටන්) මේ දක්වාම සිය මාධ්‍ය ඔස්සේ වී ගොවීන්ගේ ගැටළු ගැන හෙළිදරව් කරමින් සිටින්නේ ය. ඔවුන්ගේ අලෙවි ගැටළුව, කවරදාකවත් සුව නො වන ‘හිඟන්නාගේ තුවාලයක්’ වැනි යයි දැන් ලියුම්කරුට සිතේ! 1994 වසරෙන් පසුව බලයට පැමිණි කිසිදු ආණ්ඩුවක් වී ගොවීන්ගේ ප‍්‍රශ්නයට සාධාරණ සහ ප‍්‍රමාණවත්, තිරසාර විසඳුමක් ඇති කළේ නැත. කෙසේ වෙතත් වී ගොවීන්ගේ ගැටළුව, කිසිදු ආණ්ඩුවකට නො සලකා හැරිය හැක්කක් ද නොවේ. ඒ මන්ද, ගැටළුවෙහි අනෙක් පාර්ශවය ‘සහල් පාරිභෝගිකයන්’ හෙවත් ‘බත් කන මිනිසුන්’ හා බැඳී පවතින බැවිනි. මුළු රටේම ප‍්‍රධාන ආහාරය බත් ය. එබැවින් ගොවීන්ගේ වී අලෙවි ගැටළුව, අනිවාර්යයෙන්ම බත් කන මිනිසුන්ගේ ද ගැටළුවක් බවට පත් වෙයි. එයට විසඳුමක් සෙවිය යුත්තේ දෙපාර්ශවයටම සාධාරණයක් ඉටු වන පරිද්දෙනි. එහෙත් දැන් සිදුව ඇත්තේ, වාර්ෂිකව රටට ලැබෙන වී අස්වැන්න හරි හැටි කළමනාකරණයකර ගන්නට ආණ්ඩුවේ පාර්ශව අසමත් වීමයි. අස්වනු නෙලන කන්නයක් කන්නයක් පාසා වී විකිණීමේ අර්බුද මතු වන්නේ ඒ නිසාවෙනි.

වර්තමානයෙහි ආණ්ඩුවේ සහතික මිල, සම්බා වී කිලෝවකට රුපියල් 50කි. නාඩු වී කිලෝවකට රුපියල් 45කි. මේ යාන්ත‍්‍රණය යහපත් ආකාරයට ක‍්‍රියාත්මක වන්නේ නම්, වී අලෙවි මණ්ඩලය ‘ගිනි කසයෙකු’ මෙන් සමස්ත අස්වැන්නෙන් සියයට 10ක් හෝ 15ක් මිලට ගත යුතු වෙයි. එය නිසි පරිදි කෙරෙන්නේ නම්, පෞද්ගලික අංශයට සහතික මිලට වඩා පහළින් වී මිල දී ගැනීමට නුපුළුවන. වී අලෙවි මණ්ඩලය සහතික මිලට වී ගනිද්දී, කිසිවෙක් ඊට වඩා අඩු මිලට වී විකුණන්නට නො යාම, ඊට හේතුව ය. ආණ්ඩුව මෙවර වී මිල දී ගැනීම් සඳහා රුපියල් කෝටි 600ක් වෙන්කර තිබේ. එහෙත් වී අලෙවි මණ්ඩලය, සැප්තැම්බර් 04 වැනි දා වන විටත් සිය ඉලක්කයෙන් සියයට 50ක් වත්  සපුරා ගැනීමෙහි අපොහොසත් විය. එහි ප‍්‍රතිඵලය වූයේ රටේ ප‍්‍රධාන වී වගා ප‍්‍රදේශ හැම එකකම පාහේ, වී විකුණා ගැනීමේ ඉතා දිගු පෝලිම් ඇති වීමයි. ඇතැම් ගොවීන් අඩුම තරමින් තුන් දිනක්වත් වී තොග ද රැුගෙන රස්තියාදු වූ බව මාධ්‍ය වාර්තාකර තිබිණි. පෞද්ගලික අංශයේ ඇසින් බලන කල, මෙය ‘හොද්ද බොර වීමක්’ වැනි ය. ඔවුහු ලහි ලහියේ කිලෝව රුපියල් 25ට, 27ට, වී මිල දී ගන්නට පටන් ගත්හ. වී අස්වනු විකුණා ණය-තුරුස් බේරන්නට, වැඩ කුලී ගෙවන්නට, ගෙදර දොරේ ප‍්‍රශ්න විසඳන්නට, බලා සිටි ගොවීන්ට ද වෙන කරන්නට දෙයක් තිබුණේ නැත. ඔවුහු තම වී තොග  පෞද්ගලික වෙළන්දන්ට විකුණා දැමූහ. ආණ්ඩුවේ සහතික මිල විහිළුවක් බවට පත් විය.
 

ජාතික වැඩ පිළිවෙලක්
ගොවීන් ගෙන් බැණුම් ඇසුව ද, වී අලෙවි මණ්ඩලයට ද ගැටළු ගණනාවක් තිබිණි. ප‍්‍රමාණවත් තරම් ගබඩා නැතිකම, සේවක හිඟය, අනෙකුත් සම්පත් හිඟය ආදිය ඒ අතර ඇතැයි කියැවිණි. ඒ සියල්ල ඇත්ත වන්නට පුළුවන. එහෙත් එය විකාර කතාවකි. වී වූ කලී, රටේ ප‍්‍රධාන වගාව සහ ප‍්‍රධාන ආහාර නිෂ්පාදන කර්මාන්තයයි. ඉන් යැපෙන පවුල් ගණන 8,79,000ද ඉක්මවයි. එයට මෙසේ විය හැකි ද? මෙබඳු ගැටළු ඇති  විය හැකි ද? එය බරපතල ප‍්‍රශ්නයකි.

 



 වී වගා කිරීම, දියවර සැපයීම, අස්වනු අලෙවිය, සහල් නිෂ්පාදනය සහ සහල් අලෙවිය ආදී ප‍්‍රධාන කාරණා ද ඇතුළත්ව, සමස්ත වී ගොවිතැන සම්බන්ධයෙන් ජාතික වැඩ පිළිවෙලක් නොමැති වීම, මෙබඳු තත්ත්වයක් ඇති වීමට හේතුවයි. එය වී අලෙවි මණ්ඩලයට පමණක් කරන්නට හැකි දෙයක් නොවේ. රාජ්‍ය තන්ත‍්‍රයේ මැදිහත් වීමෙන් කළ යුතු දෙයකි. දැන් සිදුව ඇත්තේ සියල්ල වී අලෙවි මණ්ඩලය පිට පටවා අත පිසදා ගැනීමේ පිළිවෙතකි!

වී ගොවීන්ගේ සහ සහල් පාරිභෝගිකයන්ගේ යහපත වෙනුවෙන්, 1971 වසරේ පිහිටවුණු වී අලෙවි මණ්ඩලය මුල් කාලයේ දී ඉතා හොඳින් ක‍්‍රියාත්මක විය. පසුව 1977-1994 එ. ජා. ප. පාලන සමයේ එහි කටයුතු  බිඳ වැටී, ගොවීන්ගේ අප‍්‍රසාදයට ලක් විය. එකල ඔවුන් සතු වී ගබඩා ගණනාවකම ඇඟළුම් කම්හල් පිහිටු විණි. ඉනික්බිති 1994 අගෝස්තුවෙන් ඇරඹුණු පොදු පෙරමුණු පාලන සමයේ දී එය වසා දැමුණි. එයින් පසුව වී මිල දී ගැනීමේ කටයුත්ත ස. තො. ස.ට පැවරිණි. ඔවුන්ගේ ක‍්‍රියාවලිය අසාර්ථක වූ අතර, ආණ්ඩුව යළි වී අලෙවි මණ්ඩලයට  පණ දෙනු ලැබී ය. දැන් පණ ගසා සිටින්නේ එසේ දෙවැනි වරටත් උපත ලැබූ ‘වී අලෙවි මණ්ඩලයයි’.

වී ගොවිතැනේ ප‍්‍රසාරණය 

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව, 1993 වසරේ ලංකාවේ වී වගා කළ බිම් ප‍්‍රමණය හෙක්ටයාර් 8,20,000කි. 2013 වසර වන විට එය හෙක්ටයාර් 12,27,000ක් දක්වා, හෙක්ටයාර් 4,07,000කින් ඉහළ ගොස් තිබේ. 1993 වසරේ රටේ සමස්ත වී අස්වැන්න, මෙටි‍්‍රක්ටොන් 25,70,000කි. 2013 වසර වන විට එය මෙටි‍්‍රක්ටොන් 46,21,000ක් දක්වා, මෙටි‍්‍රක්ටොන් 20,51,000කින් ඉහළ ගොස් තිබේ. මෙහි තේරුම, ඉකුත් විසි වසර තුළ ලංකාවේ වී ගොවිතැන පුළුල් ප‍්‍රසාරණයකට ලක්වී ඇති බවයි. නව වාරිමාර්ග ව්‍යාපෘති යටතේ කුඹුරු ඉඩම් අලූතින් බිහි වීම, 2009 වසරේ සිවිල් යුද්ධය හමාර වීමත් සමගම, උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල වී වගාව යළි පුළුල් වීම, පොහොර සහනාධාරය ඇතුළු විවිධ සානුබල නිසා වී ගොවීන් දිරිමත් වීම, අස්වනු ඵලදායිතාවය ඉහළ යෑම සහ වාර්ෂික ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග‍්‍රෑම් 116ක් දක්වා ඉහළ යෑම ආදී කාරණා ගණනාවක් මේ වර්ධනයට බල පෑවේ ය. එසේම ගෙවී ගිය කාලය තුළ රටේ ජනගහණය ද, දෙකෝටිය ද ඉක්මවමින් ප‍්‍රසාරණය විය. වී ගොවිතැන අද, ඒ සියල්ලන්ගේම කුසගිනි නිවිය හැකි මට්ටමක් අත්කර ගෙන සිටින බව පැහැදිලි ය. අනෙක රට වැසියන්ද දැන් වෙනදාට වඩා බත් කෑමට නැඹුරුව සිටිනු පෙනෙයි. මෙය වී ගොවිතැන් ක්ෂේත‍්‍රය අතිශයින්ම පුළුල් ලෙස ප‍්‍රසාරණය වීමකි.

‘වී අස්වනු මිල දී ගැනීම  සහ සහල් නිපදවීම පිණිස ගොඩනැගුණු ආණ්ඩුවේ යාන්ත‍්‍රණය’ වන වී අලෙවි මණ්ඩලයට, ඉහත කී ‘ප‍්‍රසාරණය’ දරා ගන්නට හැකි වී ද?, එයට ඔරොත්තු දෙන්නට හැකි වී ද? යන්න, මෙහි දී මතුවන ගැටළුවයි. ඒ සඳහා වී ගබඩා පහසුකම් වැඩි කළේ ද?, සේවකයන්, වාහන, වී මෝල් ආදි යටිතල ව්‍යුහයන් පුළුල් කළේ ද?, වී මිල දී ගැනීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කළේ ද?, ප‍්‍රමාදයකින් තොරව මුදල් ගෙවීමේ යාන්ත‍්‍රණයක් බිහි කළේ ද? යන ගැටළු ගැන මෙහි දී විමසිය යුතු වේ. ඊළඟට සමුපකාර සමිති සහ ගොවි සංවිධාන යන රජයට සම්බන්ධ ආයතන වී මිල දී ගැනීම් සඳහා දිරිමත් කළේ ද? යන්න ද විමසිය යුතු ය. වී මිල දී ගැනීම් සඳහා මෙවර බොහොමයක් ප‍්‍රදේශවල සමුපකාර සමිති සම්බන්ධකර ගෙන නැත! ගෙවී ගිය විසි වසරටම ආණ්ඩුවේ පාර්ශවයෙන් කෙරුණේ, හිඟුරක්ගොඩ සහ පන්නෙගමුවේ මහා පරිමාණ වී මෝල් දෙක වැඩි දියුණු කිරීමත්, මේ නොබෝදා අතිශයින්ම සාහසික ලෙස මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීමේ ආර්ථික ඝාතක ක‍්‍රියාමාර්ගය ගැනීමත් පමණි!

ඇත්තටම විය යුතුව තිබුණේ, වී ගොවිතැන් ක්ෂේත‍්‍රය ප‍්‍රසාරණය වන විට, ඊට සාපේක්ෂව වී අලෙවි සහ සහල් නිපැයුම් ක්ෂේත‍්‍ර ද වර්ධනය කිරීම ය. එය ක‍්‍රමිකව කළ හැකිව තිබුණි. එහෙත් හැමදාමත් ආණ්ඩුවේ කැමැත්ත ලෙස පේනුම් කළේ, වී අලෙවි ප‍්‍රශ්නය පැන නැගුණු පසුව ‘පිටිය සොයා දිවීමේ’ පිළිවෙත ය!

ආණ්ඩුවේ වී මිල දී ගැනීම් අඩාල වීමට මෙවර බලපෑ තවත් කාරණාවක් වූයේ, බොහොමයක් ගබඩා හිස් නො වීමයි. ඒවා 2014/2015 මහ කන්නයේ ගත් වී තොගවලින් පිරි පැවතුණි. සෑම වසරකම පෙබරවාරි, මාර්තු සහ අප‍්‍රියෙල් යන මාසවල මහ කන්නයේ වී අස්වනු වෙළෙඳපොළට එන බවත්, සෑම වසරකම අගොස්තු සහ සැප්තැම්බර් මාසවල යල කන්නයේ වී අස්වැන්න වෙළෙඳපොළට එන බවත්, පාසැල් දරුවන් පවා දන්නා කාරණයකි. එබැවින් එය වී අලෙවි බලධාරීන්ට රහසක් විය නො හැකි ය. යල කන්නයේ වි අස්වනු එන තුරුත් ගබඩා හිස් නො වූයේ, ඔවුන්ට එය නිවැරදිව කළමනාකරණයකර ගැනීමට අපොහොසත් වීම නිසා ය. ආණ්ඩුව එය නියාමනය නො කළ නිසා ය. ‘වී අස්වනු මිල දී ගැනීම  සහ සහල් නිපදවීම පිණිස ගොඩනැගුණු ආණ්ඩුවේ යාන්ත‍්‍රණය’ අතිශයින්ම දුර්වල බව එයින්ම පෙනේ. එහි වෙළෙඳ වාසිය පෞද්ගලික අංශයට ය.
සහල් මාෆියාව
2014 වසරේ රටේ වී වගා ප‍්‍රදේශ බොහොමයක නියඟ තත්ත්වයක් ඇති විය. එබැවින් 2014 වසර තුළ රටේ වී නිපැයුම, මෙටි‍්‍රක්ටොන් මිලියන 3.8ක් දක්වා සියයට 27කින් පහත වැටුණි. එයින් සහල් මිල ඉහළ ගියේ ය. මිල පහත දැමීමේ අරමුණින් සහල් මෙටි‍්‍රක්ටොන් 6,00,000ක් ආනයනය කෙරිණි.

එකල සහල් මිල ඉහළ ගියේ ඇත්තටම රටේ සහල් හිඟ වීම නිසා ද? යන්න අදත් නො විසඳුණු ගැටළුවකි. එසේ නම් 2013 වසරේ රටට ලැබුණු මෙටි‍්‍රක්ටොන් 46,21,000ක වී අස්වැන්නට කුමක් වී ද? ඒවා පෞද්ගලික අංශයේ ගබඩාවල සිර වී ද? නැතිනම් ‘බියර්’ පෙරීම පිණිස විකිණී ගියේ ද? යන්න කිසිවෙකුත් නො දනිති. මෙහි නො පෙනෙන පැත්තක් ද තිබේ. එනම්, රටට ලැබෙන සමස්ත අස්වැන්නෙන් සියයට 85ක් හෝ 90ක් මිලයට ගන්නා පෞද්ගලික අංශය සතුව කොපමණ වී තොගයක් තිබේ ද? යන්න, කිසිවෙකුත් හරිහැටි නො දැන සිටීමයි. ආණ්ඩුව සහල් ආනයනය ගැන තීන්දු ගැනිමේ දී ද භාවිත කරන්නේ, උපකල්පනික තොරතුරු ය. අනෙක, තමන් සතු වී තොග කොපමණ දැයි හෙළිදරව් කිරීමේ නීතියක් ද ලංකාවේ නැත. මෙහි දී කෙරෙන්නේ, මහා පරිමාණයෙන් වී තොග රැස්කරන, මහා පරිමාණ සහල් යන්ත‍්‍රාගාර පවත්වන අතලොස්සක් ව්‍යාපාරිකයන් විසින්, ටිකෙන් ටික සහල් මුදා හරිමින් වී සහ සහල් වෙළෙඳපොළ පාලනය කිරීමයි. වී මිල මෙන්ම සහල් මිල ද, ඔවුන්ගේ වාසියට ස්ථාවරව පවත්වා ගෙන යාමයි. ඉකුත් විසි වසර තුළ බලයට පැමිණි කිසිදු ආණ්ඩුවක්, රටේ පෞද්ගලික වී මෝල් සහ සහල් නිිපැයුම්කරුවන් නියාමනය කරන්නට වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කළේ නැත.

දැන් සියල්ලම කෙරී ඇත්තේ ඔවුන්ගේ වාසියට ය. රට පුරා පැවති සුළු පරිමාණ වී මෝල් බහුතරයක්ම වැසී ගොසිනි. ගම්පහ දිස්ත‍්‍රික්කයේ, ‘මරඳගහමුල’ නගරය මුල්කර ගෙන පැවති පෞද්ගලික අංශයේ සහල් සැකසුම් කර්මාන්තය ද බිඳ වැටී ගොසිනි. වී අලෙවි මණ්ඩලයේ ක‍්‍රියාවලිය ද දිවෙන්නේ, ඉලක්ක සපුරාගත නො හැකි අඩපණ ස්වභාවයක ය. වාණිජ බැංකු පවා ඉක්මණින් ණය දෙන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන්ට ය. ඒ සියල්ලෙහි වාසිය ගන්නා අතලොස්සක්වූ මහා පරිමාණ වී මෝල් සහ සහල් නිපැයුම්කරුවන්, රුපියල් 25ට, 27ට වී කිරමින් සිය ගබඩා තරකරමින් සිටිති. එය ඊළඟ වකවානුවේ සහල් මිල පාලනය, තමන් අතට ගැනීමේ මුල් පියවරයි.

සහලට ගෙවන මිල
ආණ්ඩුවේ සහතික මිල සම්බා වී කිලෝවකට රුපියල් 50ක් බවත්, නාඩු වී කිලෝවකට රුපියල් 45ක් බවත්, මීට පෙර ද සඳහන් කළෙමු. වී මිල  එවන් තත්ත්වයක පවතී නම්, සහල් කිලෝව අඩු මිලට දෙන්නට කොහෙත්ම පුළුවන්කමක් නැත. සහල් කිලෝවක් නිපදවීම සඳහා වී කිලෝ එකහමාරක් අවශ්‍ය වේ. ඊට අමතරව එයට ශ‍්‍රම කුලී, ගබඩා, ප‍්‍රවාහන, කෙටීමේ සහ ඇසිරුම් ආදී ගාස්තු ද එකතු වේ. ඉතින් සහල් පාරිභෝගික රට වැසියන් ඉල්ලන තරම් අඩු මිලකට සහල් විකිණිය හැකි ද? යන්න ගැටළුවකි. පෞද්ගලික අංශය මේ ප‍්‍රශ්නයට මුහුණ දෙන්නේ, අස්වනු නෙලන සමයට වී කුණු කොල්ලයට ගැනිමෙනි.

ලියුම්කරුට සිතෙන හැටියට වඩා වැදගත් වන්නේ, වී කිලෝවේ මිල ඉහළ දැමීම නොවේ. වී ගොවීන්ගේ වියදම් බර අඩු කිරීමේ ක‍්‍රමවේදයක් සැකසීමයි. එයින් සහල් මිල පහළට ගෙන ඒම පිණිස නව මං සෙවීමයි. වී වගාවේ යෙදවුම්වල මිල අඩු කිරීම, ට‍්‍රැක්ටර්, සුනාමි, මහසෝනා ආදී කෘෂි උපකරණවලට බදු සහන සලසා ඒවායෙහි මිල අඩු කිරීම වැනි යෝජනා ඒ සඳහා සලකා බැලිය හැකි වේ. එයින් වී ගොවීන්ගේ වියදම අඩුවී, යම් මුදලක් අත ඉතිරි වීමට මග පෑදෙනු ඇත.

වී නිපැයුම සහ සහල් අලෙවිය අරභයා ජාතික මට්ටමේ වැඩ පිළිවෙලක් ගොඩ නැගෙන තුරු, බත නිපයන වී හදන ගොවීන්ට හිඟමන උරුම වනු ඇත. මහා පරිමාණ වී මෝල් සහ සහල් සැකසුම්කාර ව්‍යාපාරිකයන්, ඔවුන්ට අත වනමින් පැජරෝ, මොන්ටෙරෝවල නැගී යනු ඇත.

(පින්තූර-අද ‍දෙරණ සහ සිංහ fm ‍වෙබ් අඩවිවලිනි)
2015/09/07.

Thursday, September 3, 2015

ගෙයි මුල්ලට ගිය පළිඟු මැණිකේ



රත්නපුරයේ දුලබ මැණික් ගල්-02 

ගෙයි මුල්ලට ගිය පළිඟු මැණිකේ සහ තවත් කතා


 නිල් කොට්ටරය
පින්තූරයේ දැක්වෙන මැණික, රත්නපුරයේ මැණික් භාෂාවෙන් නම් ‘නිල් කොට්ටරයකි’. එහි තේරුම, එය ‘අඩක් මියගිය නිල් මැණිකක් ය’ යන්නයි. රත්නපුරේ ජනයා ඒවාට ‘මලූක්කම්’ කියා ද වහරති. එබඳු මැණික් ගල්වලට හොඳ මිලක් නැත. මැණික හමු වූයේ රත්නපුර නගරය ආශ‍්‍රිත ගැරුම් පොළකිනි. එය කේ. විජේනායක නම් තරුණ මහතෙකුට අයත් වූවකි. මැණික් ගල්වල බර මනින්නේ ‘කැරට්වලිනි’. ඒ අනුව, කිලෝග‍්‍රෑම් එකකට, කැරට් 5000කි. ඔබ දකින අඩක් මියගිය නිල් මැණික, කැරට් 1097ක් බරැති ගලක් බව දැන ගන්නට ලැබිණි.
 




අනෙක් පින්තූරයෙන් දැක්වෙන්නේ, නොබෝදා රත්නපුරයෙන් හමුවූ වටිනා මැණික් ගල් කීපයකි. එහි මුලින් කී ‘නිල් කොට්ටරය’ ද දක්නට ලැබේ.

 





ගෙයි මුල්ලට ගිය පළිඟු මැණිකේ
 



 ඔබ දකින මැණික, බරින් කිලෝග‍්‍රෑම් 250කට අධික ය. එය තනි පුද්ගලයෙකුට ආම්බාන් කරන්නට බැරි තරම් ය. මැණික හමු වූයේ රත්නපුර, කලවාන ප‍්‍රදේශයට අයත් ගමක පතලකිනි. එය ‘පළිඟු’ වර්ගයට අයත් ය. 





 පළිඟු යනු, නිල් කැට, රතු කැට තරම් විශාල මිලක් ලැබෙන මැණික් වර්ගයක් නොවේ. එබැවින් නිසි මිලක් ලැබෙන තුරු එය ගෙයි මුල්ලේ තැන්පත්කර තිබේ. මැණිකෙහි වංහුං මීට වඩා හෙළි කරන්නට එහි හිමිකරුවන් ගෙන් අවසර නැත.

 


මුක්කරු නෑඹිලියේ වරුණ
 



මැණික් මතුවන අඩවියේ දී ‘මුක්කරු’ නමින් හැඳින් වෙන්නේ, අදින් වසර 600-700කට පමණ ඉහත මැණික් ගැරීම පිණිස ලංකාවට පැමිණි විදේශික ජන වර්ගයකි. ජන ප‍්‍රවාදවල එන හැටියට නම්, ඔවුන් අරාබි ජාතික මැණික් වෙළෙන්දන් වෙති. ඔවුන් රත්නපුරය පමණක් නොව, ලංකාවේ මැණික් ලැබෙන සෑම ප‍්‍රදේශයකම පැතිර මැණික් ගරා ඇත.
 



‘මුක්කුවාර්’ නමින් හඳුන්වන විදේශීය ජන වර්ගයකින් පැවත එන පිරිසක්, අදත් පුත්තලම දිස්ත‍්‍රික්කයේ මුහුදු බඩ පෙදෙස්වල අදත් ජීවත්වෙති. ඒ සම්බන්ධ තොරතුරු රැසක්, මාධ්‍යවේදී නුවන් ගන්කන්ද මහතා 2007 වසරේ ලියා පළ කළ ‘අප නොදන්න ලාංකිකයෝ’නම් මාහැඟි ග‍්‍රන්ථයේ එයි. ඇතැම් තැනක, ඔවුන් ද ‘මුක්කරු’ යනුවෙන් හඳුන්වති. එහෙත් මැණික් කර්මාන්තය සමග කියැවෙන ‘මුක්කරු ජනයාත්’, පුත්තලම දිස්ත‍්‍රික්කයේ මුහුදු බඩ පෙදෙස්වල ‘මුක්කුවාර්’ ජනයාත්, එකම පිරිසක් ද?, නැද්ද? යන්න, ශාස්ත‍්‍රීයව පැහැදිලි කෙරී නැත. නුවන් ගන්කන්ද මහතා සිය කෘතියෙන් කියන්නේ, පුත්තලමේ ‘මුක්කුවාර්වරු’ ඉන්දියාවෙන් පැමිණි පිරිසක් බවයි. මැණික් කර්මාන්තයට සම්බන්ධ ‘මුක්කරු’ ජනයා ද ඉන්දීය සම්භවයක් සහිත පිරිසක් බව සමහරුන්ගේ මතයයි.
 


‘මුක්කරු’ ගැන කියැවෙන එකම ඓතිහාසික සාක්ෂිය, ‘මුක්කරු හටන’ නම් පුස්කොල කවි පොත යි. එය දැනට බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත්කර ඇතැයි සඳහන් වේ. ඔවුන්  ‘පුණ්ණල දේශයෙන්’ පැමිණි බව එහි සඳහන් වන බව කියන හිටපු පුරාවිද්‍යා නිලධාරී, ප‍්‍රවීණ ලේඛක ජයන්ත විජේරත්න හේරත් මහතා,  එය දකුණු ඉන්දියාවේ යම් ප‍්‍රදේශයක් විය හැකි යයි අනුමාන කරයි.
කෙසේ වෙතත්, මැණික් ගරන්නට පැමිණි මුක්කරු ජනයාගේ කියුම්-කෙරුම් ගැන කතාන්දර රාශියක්, රත්නපුරය ඇතුළු මැණික් මතුවන අඩවියේ දී අසන්නට පුළුවන. එකල ඔවුන් මැණික් ගරා ඇත්තේ අද මෙන් ‘ගැරුම් වට්ටියෙන්’ නොවේ. ඒ සඳහා සකසා ගත් ‘මැටි නෑඹිලිවලිනි’. ඒවායෙහි කැබලි රත්නපුරය සහ මැණික් ලැබෙන සෙසු ප‍්‍රදේශවලින්  හමු වීම සුලභ කාරණයකි. 


එබඳු ස්ථාන, මැණික් ගරන්නන් අතර ‘මුක්කරු ගොඩැලි’ යනුවෙන් ප‍්‍රසිද්ධ ය. ‘මුක්කරු ගොඩැල්ලක්’ යනු මැණික් ඉල්ලම් ද සමග පැරණි මැටි වළං කැබලි හමු වන ස්ථාන වේ. එබඳු තැනක් පාදා ගත හොත් වාසි ගොඩකි. එයින් වෛරෝඩි හෝ ආර්නූල් මැණික් හමු වීමට ඉඩ තිබීම, ඊට හේතුවයි. ජන වහරේ කියැවෙන හැටියට, එකල මුක්කරු ජනයා එබඳු මැණික් ‘පණුවන් ගැසූ ගල්’ යයි කියා ඉවත දමා ඇත!
 

මුක්කරුන් මැණික් ගැරූ ‘නෑඹිලිවල’ කොටස් හමු වීම සුලභ වුව ද, එවැන්නක් සමුපූර්ණයෙන්ම හමු වීම දුර්ලභ සිද්ධියකි. ඔබ මේ සමග දකින්නේ, ‘මුක්කරු නෑඹිලි’ දෙකකි. ඒවා හමුවී තිබුණේ රත්නපුර, හංගමු ගඟේ ඇදුම් පතලකිනි. ඒ ගැන වැඩි විස්තර කියන්නට අවසර නැත!

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(පින්තූර-රංජිත් ඉලේපෙරුම සහ ඩිල්ෂාන් හාරීම්)
 

2015/09/03.