Total Pageviews

Wednesday, April 11, 2018

සීගිරි ඉතිහාසයේ මෑත කතාව-04





000000000000000000000000000
වලස්පති අඩවියේ පාඨක සැමට 
සුභ අලුත් අවුරුද්දක් වේවා!
0000000000000000000000000000



සීගිරි ඉතිහාසයේ මෑත කතාව-04

සීගිරියේ පුරාවිද්‍ය කැනීම් සහ සංරක්‍ෂණ කටයුතු ආරම්භකර අප‍්‍රියෙල් 15 දිනට වසර 124 කි. මේ ලිපි පෙළ ඒ නිමිත්තෙනි.

 අනවශ්‍ය ඉදි කිරීම් 
සීගිරි චිත්‍රවල වර්ණ වෙනස් වීමට හේතුවක් ද?





(සටහන - විශ‍්‍රාමික පුරාවිද්‍යා නිලධාරි, සීගිරියේ - ජයන්ත විජේරත්න හේරත්)

(ඡායාරූප-ජයන්ත විජේරත්න හේරත් සහ අන්තර් ජාලයෙනි)
සීගිරිය උඩු යටිකුරු කළේ 1980 දශකයේ මුල් භාගයේ සංස්නෘතික ත‍්‍රිකෝණ ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමග ය. සංස්කෘතික ත‍්‍රිකෝණය ආරම්භකර කෙටි කලක් යත්දීම එහි ක‍්‍රියාකාරකම් සම්බන්‍ධයෙන් විවිධ විවේචනයන් එල්ල වූ අතර, අද ද එහි වෙනසක් නොමැති බව පෙනේ.

එමෙන්ම 1990 ජනවාරි 26 දිනැති අංක 594/12 දිනැති ගැසට් නිවේදනය මඟින්, හෙක්ටයාර් 5099.049ක භූමි ප‍්‍රමාණයක් සීගිරිය අභය භූමිය නමින් ප‍්‍රකාශයට පත්කර ඇති අතර, මේ නිසා ඉනාමළුව කෝරළේ පවුල් 20,000කට ආසන්න ප‍්‍රමාණයකට මහත් වූ ගැටලූ රාශියකට මුහුණ දීමට සිදුව ඇත.

සීගිරි චිත‍්‍රවල වර්ණ වෙනස් වීම්, වරින් වර අසන්නට ලැබෙන ප‍්‍රවෘත්තිය කි. එමෙන්ම විවිධ ඉදිකිරීම් ද සිදු කරති. වර්ණ වෙනස් වීම්වලට අනවශ්‍ය ඉදිකිරීම් ද යම් හේතුවක් බව ඇතැම් බලධාරීන් පවසති. වර්ණ වෙනස් වීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන හේතූන් කොතෙක් දුරට සත්‍යදැයි දන්නේ ඔවුන් පමණ ය.

සීගිරි චිත‍්‍ර අවපැහැ ගැනවීමට හේතුව, මෙයට වසර 78කට පමණ පෙර ඒවායෙහි ආරක්‍ෂාවට ආලේපනය කරන ලද P.B.A.  නැමති රසායන ද්‍රව්‍යයක් බව කලකට පෙර ප‍්‍රකාශ කළේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ය. 1940 දී පමණ ඛාන් බහාර් මොහොමඞ් නතාවුල්ලා නැමති ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන විද්‍යාඥයා විසින් රසායනය ආලේප කර ඇති අතර, එහිදී සිදු වූ යම් වරදක් නිසා අද මෙම චිත‍්‍ර අවපැහැ ගැනීමට හේතුවී ඇති  බව ඒ මහතාගේ ප‍්‍රකාශයේ වැඩිදුරටත් දැක්වේහිටපු අමාත්‍ය විමල් වීරවංශ අනුගමනය කරමින් මම නම් ප‍්‍රකාශ කරන්නේ, සීගිරියට මෙම අපරාධ සිදු වන්නේ, විජාතික කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙසින් ය!

ලූසියානෝ මරන්සි සීගිරි චිත‍්‍ර පිරිසිදු කරන අවස්ථාව.

දඹදිව් වාසි විජය නැමති කල්ලතෝනියා ( ක‍්‍රි:පූර්ව 483 - 445 )  ලංකාවට පැමිණ, කුවේණිය අඹුව වශයෙන් තබා ගෙන දරු දෙදෙනෙකුත් හදා දී, කුවේණිය ද ජීවහත්ථ සහ දිසාලා නම් වූ සිය දරු දෙදෙනා ද මාළිගාවෙන් එළවා දමා මධුරා පුරයෙන් කුමරියක් කැන්දා ගෙන ආවේ ද, එවකට ලංකාවට එරෙහිව තිබූ විජාතික කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙසින්ය. (කථාව දික් වන නිසා තව දුරටත් විජය පුවත දිග නො හරිමි. )

අපි අමතක නො කළ යුතු කරුණක් නම්, මේ විදේශීය කුමන්ත‍්‍රණවල ප‍්‍රතිඵල අත් දකින්නට ලැබෙන්නේ කලක් ගෙවී ගිය පසුව වීම යතිස් වසරක යුද්ධය ද එහි ප‍්‍රථිඵලය කි. මෙයට වසර 78කට පෙර මොහොමඞ් නතාවුල්ලා සීගිරි චිත‍්‍රවල ආලේප කළ රසායන ද්‍රව්‍යයවල ප‍්‍රතිඵල ද ලැබෙන්නේ දැන් ය!

කරුණු කාරණා එසේවෙත් දී, 1967 දී සීගිරි චිත‍්‍ර මත තැවරූ තීන්ත සහ එම තීන්ත ඉවත් කිරීමට යොදා ගත් රසායන ද්‍රව්‍යයන් නිසා සීගිරි චිත‍්‍ර අව පැහැ ගැන්වෙන බවට ද ප‍්‍රකාශ නිකුත් වුවහොත්  එය ද පුදුමයට කරුණක් නොවේනමුත් එවැනි ප‍්‍රකාශයක් තවත් කලකට නිකුත් නොවන බව නම් සහතික ය. ඒ ඇයිද යත්, එම සිතුවම් රසායන සංරක්‍ෂණය සිදු කළ හිටපු පුරාවිදු කොමසාරිස් ආචාර්ය රාජා ද සිල්වා මහතා ප‍්‍රමුඛ එයට සහභාගි වූ තවත් කීහිප දෙනෙක්ම ජීවත්ව සිටින නිසා ය.

බලධාරින් දෙන පිළිතුරු ඔවුන්ගේ හදවතට එකඟ නම්, ගැටලූවක් නැත. තමන් ආරක්‍ෂා වීමට හෝ අනුන් ආරක්‍ෂා කිරීමට හෝ තමන්ගේ ගැලවීම උදෙසා හෝ අනුන් පාවා දෙමින් දෙනු ලබන පිළිතුරු සාවද්‍ය නම් ඔවුන්ගේ අනාගතය දෙවියන් බලාගනු ඇත. වසර අවුරුදු 1500 කට වඩා වැඩි ඉතිහාසයක් ඇති ඓතිහාසික සීගිරිය, වර්තමාන කාලිංග මාඝලා ගෙන් ආරක්‍ෂාකර ගැනීම ලෝක ප‍්‍රජාවගේම වගකීමක් වනුයේ, මෙය ජාතික උරුමයක් පමණක් නොව ලෝක උරුමයක් ද වන නිසාය.

කෙසේ වුවද ජනතාව දැන් සංස්කෘතියට අරක්ගත් බලධාරින්ගේ කියුම් කෙරුම් දෙස විමසිල්ලෙන් බලා සිටිතිපුරාවිද්‍යා බලධාරීන්ට වඩා මාධ්‍යවේදීන් අද ඉදිරියෙන් සිටින බව බලධාරීන්ගේ හැසිරීමෙන්ම පසක් වෙති. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ බලධාරීන්ට, පුරාවස්තු විනාශ කරන බහිරවයන්ට හෝ කාලිංග මාඝලාට වඩා හතුරන් සේ පෙනෙන්නේ ජනමාධ්‍යවේදීන් ය. එම නිසාම මාධ්‍යවේදීන්ට (විශේෂයෙන්ම දඹුල්ලේ කංචන ආරියදාසට) සීගිරිය තහනම් කලාපයක් කිරීමට බලධාරීන් දත කමින් සිටින බව ප‍්‍රසිද්ධ රහසක් බවට ඇත.

අපේ වගකීම වනුයේ ජනතාවට සත්‍ය හෙළි කිරීම මිස කිසිවකුගේ රැකියාවට හානියක් සිදු කිරීම නොවන බව ද අවධාරණය කළ යුතු ය. සමස්තයක් වශයෙන් ගත් කල, මේ ලිපිය අවසන් කරන්නේ සීගිරිය ගැන පමණක් නොව සමස්ත ශී‍්‍ර ලංකාව තුළම තිබෙන පෞරාණික ස්ථාන ගැන අවධානය යොමු කරමින් ය

සීගිරියට ආදරය කරන අය දැන්, අධ්‍යාපන සහ ජාතික උරුමයන් පිළිබඳ කටයුතු භාර අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් මහතා දෙස ද විමසිල්ලෙන් බලා සිටිති. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් පී.බී. මණ්ඩාවල මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් ප‍්‍රිශාන්ත ගුණවර්ධන යන උගත් මහාචාර්යවරුන් දෙදෙනා දෙස ද විමසිල්ලෙන් බලා සිටිති. මා ඔවුන්ට යෝජනා කරන්නේ, සීගිරිය සංවර්ධනයට යයි කියා, සමහර පුද්ගලයන් මෙන් ම ආයතනත්, දෑත් අපිරිසිදු දේශපාලඥයනුත්  ගෙන එනු ලබන යෝජනා ගැන බුද්ධිමත්ව සිතා බලා තීරණ ගන්නා ලෙස ය. ඔබ දෙදෙනාගේ දෑත් කළු සල්ලිවලින් අපිරිසිදු නැති බව බොහෝ දෙනෙකු කියනවා මා අසා ඇත.

මා ඉපදුන, මා හැදුන වැඩුන, මා අධ්‍යාපනය ලැබූ සීගිරි රාජධානියේ ම මිය ගොස් ඒ පොළොවට ම පස් වන්නට ඇත්නම් එය මගේ භාග්‍යයකි. මේ ලිපිය ද ලියන්නේ එවන් හ්‍රැගීමකින් මිස, කිසිවකුටත් සිදුකරන අපහාසයක් වශයෙන් නොවන බව ද සඳහන්කළ යුතුම ය!
(සමාප්තයි)

2018.04.11

No comments:

Post a Comment