Total Pageviews

Saturday, January 26, 2019

සේනා වසංගතයක් බවට පත් වීම-රසායනික ගොවිතැන දෙවැනි වරටත් පරාදයි!


මාස පහක් තුළ නවීන රසායනික ගොවිතැන දෙවැනි වරටත් පරාදයි!
සේනා වසංගතයක් බවට පත් වීම
රසායනික ගොවිතැන ඔස්සේ
ගොවි බිමට හිතකර සත්ව ප‍්‍රජාව 
විනාශවී යාමේ ප‍්‍රතිඵලයක්




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
කියන කියන මැහි තෙල් ජාති ගෙනල්ලා මාරු කරමින් ගැහුවා. ඒත් මේක මර්දනය වෙන්නේ නෑ. මිනිස්සු මේවා කළේ බඩ ඉරිඟු කැපුවා ම සල්ලි පියවන පොරොන්දුව පිට බැංකුවලට, ගමේ කඩවලට ණය වෙලයි. දැන් අපට කරකියා ගන්න දෙයක් නෑ. සේරම විනාශයි’, මොණරාගල දිස්ත‍්‍රික්කයට අයත් සියඹලාණ්ඩුවේ, කොටාගොඩ, සද්ධාතිස්ස ගොවි සංවිධානයේ සභාපති එම්. ලලිත් සල්ගාදු මහතා පැවසුවේ මහත් කලකිරීමෙනි!

ඔහු මෙසේ පැවසුවේ, ‘සේනා දළඹු වසංගතයසම්බන්ධයෙන් අලූත් තොරතුරු විමසීම පිණිස, ඉකුත් 20 වැනි දා ලියුම්කරු කළ දුරකතන  විමසුමට පිළිතුරු දෙමිනි.

මේ දැනුත් කීප දෙනෙක් මගේ කඬේ ළඟට ඇවිල්ලා ණයවලින් සහන ඉල්ලලා ලියුම් ලියනවා’, ඔහු කීවේ ය.

දැනට මාස හතරක පමණ කාලයක සිට රටපුරා පැතිර යමින් තිබෙන සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ විසඳුම වූයේ රසායනික මැහි තෙල් සාත්තුවකි’. ඒ සඳහා කාණ්ඩ තුනක් යටතේ කෘති‍්‍රිම රසායනික කෘමිනාශක වර්ග 12ක් නිර්දේශකර තිබුණි. දළඹුවාගේ ගහණයේ හැටියට දින හතෙන් හතට ඒවා යෙදිය යුතු ය. එහෙත් රසායනික මැහි තෙල් සාත්තුවෙන් තම බඩ ඉරිඟු වගාවන්ට එල්ල වුණු සේනා දළඹු ප‍්‍රහාරය නවත්වා ගන්නට නො හැකිවූ බව, ඉකුත් සති අන්තයේ ද උතුරු මැද වයඹ සහ පහළ ඌව ආදී පෙදෙස්වල ගොවීහු මැසිවිලි නැගූහ. රසායනික මැහි තෙල් සාත්තුව ඔස්සේ දළඹුවා මර්දනය වෙනවා යයි විශ්වාස කෙරුණ ද, ඇත්තට ම සිදුව තිබුණේ උන් තවදුරටත් ව්‍යාප්තවී උක්, කුරක්කන්, එළවළු සහ වී වගාවන් පවා ආක‍්‍රමණයකර තිබීමයි!


සේනා දළඹු මර්දනය පිණිස කෘෂිකර්ම බලධාරීන් ඉදිරිපත් කළ රසායනික මැහි තෙල් සාත්තුව අසාර්ථක වූවා යයන්න, ‘යටි පෙළ අරුත්දනවන පුවතකි. එහි තේරුම, රසායනික ගොවිතැන හිස් මුදුනින් තබා ගත් නවීන කෘෂි තාක්ෂණය මාස පහක් වැනි කෙටි කාලයක් තුළ දෙවැනි වරටත් පරාජය වූවා ය යන්නයි!

මෑත භාගයේ නවීන රසායනික ගොවිතැන මුල්වරට පරාජය වූයේ ඉකුත් යල කන්නයේ ය. එනම්, 2018 වසරේ අගෝස්තු-සැප්තැම්බර් මාසවල පොළොන්නරුව දිස්ත‍්‍රික්කයට එළඹි මහා දුඹුරු පැල කීඩෑ වසංගතයේ දී ය. එහි දී කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් නිර්දේශ කළ රසායනික මැහි තෙල් සංයෝග එකක්වත් වැඩ කළේ නැත. ගොවීන් පොට බේරා ගත්තේ කොහොඹ කොල සාරය. එළ ගව මුත‍්‍රා සහ භූමිතෙල්  ආදී තම තමන් දන්නා දේශීය උපක‍්‍රම භාවිතා කිරීමෙනි. දැනුදු සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා සාර්ථකවී තිබෙනුයේ, පරිසරවේදී තිලක් කන්දේගම මහතා රටට ඉදිරිපත් කළ දහයියා අළු යෙදීමේ උපක‍්‍රමය පමණකි. එයින් උන්ගේ බිත්තර විනාශ වන බව ගොවීහු කියති.

ලංකාවට මෙන්ම ලෝකයට ද නවීන රසායනික කෘෂිකර්මාන්තය පතිත කෙරුණේ, 1960 වසරේ පටන් ක‍්‍රියාත්මක කෙරුණු හරිත විප්ලව ක‍්‍රියාදාමයඔස්සේ ය. හරිත විප්ලවයට දැන් වසර පනස් නමයකි. යම් පළිබෝධක කෘමි ගහණයක් වසංගත තත්ත්වයට පත් වූ විට, නවීන රසායනික ගොවිතැනෙහි එන විධික‍්‍රම මගින් එය මර්දනය කළ නො හැකි බව, වසර පනස් නමයකට පසුව වුව, දැන් ඔප්පු වෙමින් තිබේ. සේනා දළඹුවා, රසායනික මැහි තෙල් සාත්තුවලින් මර්දනය කරන්නට බැරි ගොවි බිම්වලින් මතු කෙරෙන සත්‍යය එයයි!

සේනා දළඹුවාමුලින් ම වාර්තා වූයේ ඉකුත් 2018 වසරේ අගෝස්තු මාසයේ අම්පාර දිස්ත‍්‍රික්කයෙනි. ඉන් පසුව උන්, බඩ ඉරිඟු ඇතුළු ආහාර භෝග වගාවන්ට මහත් හානිදායක වසංගතයක් ලෙස අතිශයින් ම ආක‍්‍රමණශීලී ලෙස වේගයෙන් පැතිර යන්නේ ය. දැන් මුළු රට ම පාහේ එයින් නො සන්සුන්ව සිටිනු පෙනෙයි!

ලියුම්කරුට වැටහෙන ආකාරයට, මෙය උන්හිටි ගමන් හටගත් විනාශයක් නොවේ. ලංකාවේ කෘෂිකාර්මික භූමි භාග, දීර්ඝ කාලයක් තිස්සේ වස විස සහිත නවීන  රසායනික ගොවිතැනට නිරාවරණය වීම නිසා  නිර්මාණය වුණු තත්ත්වයකි. සේනා දළඹුවා මෙතෙක් කල් ලංකාවේ සිටි එකෙක් නොවේ. උන් විදේශයකින් පැමිණි බව සහතික ය. මෙහි දී පැන නගින ලොකුම ගැටලූව වන්නේ, අපේ ගොවි පරිසරයට ද, රසායනික මැහි තෙල් සාත්තුවලට ද උන් පාලනයකර ගත නො හැකි වුයේ මන් ද? යන කාරණයයි!


අපි කෘෂිකර්ම නිලධාරීන් කියාපු කෘමිනාශක සේරම ගැහුවා. ඒත් කිසි ම ප‍්‍රතිඵලයක් අත් වූයේ නෑ. ලොකු දළඹුවාට බේත් ගැහුවාම, ඌ ටිකක් වෙලා නිසොල්මන්ව ඉන්නවා. ඊට පස්සේ ඇඟට උරාපු බේත්ටික කටින් වමාරනවා. ඒක කළාම ඌ ආයෙමත් පියවි තත්ත්වෙට පත් වෙනවා. උන් මැරෙන්නේ නෑ’, තමන් ලැබූ අත්දැකීම් ගැන මෙසේ කියන්නේ, බදුල්ල දිස්ත‍්‍රික්කයේ, බිබිල, ඇකිරියන්කුඹුර, අරාව පදිංචි ආර්. බී. තුසිත නාමල් සංජීව (රිදීමාලියැද්ද ජන අයිතීන් සුරැුකීමේ සංවිධානය) මහතා ය.
දළඹුවන්, පණුවන්, සලබයන් සහ මැසි වර්ග යනු අපේ ගොවිබිම්වල හමුවන සුලභ පළිබෝධකයන් ය. හරිත විප්ලවය එන්නට පෙර  උන් මර්දනය කිරීම පිණිස දේශීය උපක‍්‍රම භාවිතා කෙරිණි. එහෙත් දැන් උන් මර්දනය කරන්නේ කෘත‍්‍රිම කෘෂි රසායනවලිනි.

වැඩි දෙනෙකු ගණන් නො ගත්ත ද, එවන් පළිබෝධකයන් මර්දනය කිරීම සඳහා ගොවි බිම් ආශ‍්‍රිත පරිසරයෙන් ද ලැබෙන්නේ මහත් සහායකි. එහි දී බව භෝගවලට හිතකර සත්ව විශේෂඅතිශයින් ම වැදගත් ය. බොහොමයක් දෙනා සිතන්නේ පළිබෝධකයන් මර්දනය, තමන් වගාවට යෙදූ පාරම්පරික හෝ රසායනික හෝ විධික‍්‍රමයකින්  පමණක් සිදු වන්නට ඇති බවයි. එහෙත් එය සම්පූර්ණ සත්‍යයක්  නොවේ. උන් මර්දනය සඳහා ගොවි බිම ආශ‍්‍රිත පරිසරයේ සිටින විලෝපික සත්ව ප‍්‍රජාව’ (පළිබෝධක සතුන්ගේ ස්වාභාවික සතුරන්) ද සැලකිය යුතු දායකත්වයක් දරා තිබීම, ඊට හේතුවයි. එය බැලූ බැල්මට ම, පිටතට නො පෙනෙන ක‍්‍රියාවලියකි. කෘති‍්‍රම රසායනික කෘමිනාශක ආදියට ප‍්‍රතිරෝධීහෙවත් ඔරොත්තු දෙන ස්වභාවයක් ඇතිකර ගන්නා පළිබෝධකයන් ද විලෝපික සතුන්ට ගොදුරු වන්නෝ ය. මේ දිනවල සේනා දළඹුවා සමග ඔට්ටු වෙමින් හෙම්බත්ව සිටින ගොවි ජනතාව, දැන් අත් විඳින්නේ කලකට ඉහත අපේ කෘෂිකාර්මික පරිසරයේ සිටි ගොවිතැනට හිතකරවිලෝපික සත්ව ප‍්‍රජාව වඳවී  යාමේ ප‍්‍රති විපාකයයි!


හැඩරුවින් සේනා දළඹුවාට මදක් සමාන පළිබෝධකයෙක් කලින් කලට  අපේ ගොවි බිම්වලින් මතුවනු අසන්නට ලැබේ. උගේ නම ගොඩවෙල්ලාය. පණු විශේෂයක් වන හරිත පැහැයෙන් තිබෙන සෑම දෙයක් ම කා දැමීම, ගොඩවෙල්ලන්ගේ සිරිතයි. එබැවින් ආහාර භෝග වගාවන් සම්බන්ධයෙන්  උන් ඉතාමත් හානිකර ය. අතීත ගොවීහු උන් මර්දනය කිරීම සඳහා අපූරු උපක‍්‍රමයක් භාවිතා කළහ. එය කෙම් ක‍්‍රමයකි’. ඔවුන් මුලින් ම කරන්නේ ගොඩවෙල්ලන් බහුල වගා බිමෙහි කෝටු සහ හිස පැත්ත ඉහළට සිටින සේ පොල්පිති කැබලි සිටුවා ගැනීමයි. ඉන් පසුව හිමිදිරියේ ම කිරිබත් උයා, ගෙන ගොස් කුඹුරට වීසි කරයි. ඒ අතර කෝටුවල රැඳවූ ගොටු කිහිපයක ද කිරිබත් බහා තබයි. මේවා කරන්නේ කතා නො කරමිනි.

දහවල් වන විට කිරිබත් සුවඳ සොයා, ඒ අවට සිටින පක්ෂීහු (කුරුල්ලෝ) කුඹුරට  එති. උන් මුලින් ම කන්නට උත්සාහ කරන්නේ  ගොටුවල තැබූ කිරිබත් ය. එවිට ඒවා ගොට්ටෙන් ගිලිහී බිමට (ලියැද්දට) ඇද වැටේ. පක්ෂීහු ද වැටුණු කිරිබත් ටික කන්නට බිමට බසිති. එවිට, උන්ගේ  ප‍්‍රණීත ආහාරයක් වන ගොඩවෙල්ලන්මුණ ගැසේ! ඉන් පසුව ඉතින් පක්ෂීන්ට රජ මගුල් ය. කුඹුරේ සිටවූ කෝටු මත වසන උන්, වරින්වර බිමට බැස ගොඩවෙල්ලන් අහුලති. ඉතින් දවසෙන් දෙකෙන් ගොඩවෙල්ලන්ගේ කෙරුම් අහවර වෙයි. මේ ආකාරයට, පැරණි ගොවීහු සිය ගොවිතැනේ පළිබෝධකයන් පාලනයට විලෝපික සතුන් යොදා ගැනීමට පුරුදුව සිටියහ!

ගොවි බිම්වල සිටින දඹුුවන්, පණුවන්, සලබයන් සහ ගොයම් මැස්සන් ඇතුළු පළිබෝධකයින් ආහාරයට ගන්නා කුරුල්ලන් බොහොමයකි. මයිනා, කහ කුරුල්ලා, කපුටා, කවුඩු විශේෂ, දෙමළිච්චා, හම්බු කුරුල්ලා, බට්ටිච්චා, කොණ්ඩ කුරුල්ලා, ගේ කුරුල්ලා සහ පොල්කිච්චා ආදීහු උන් අතර කැපී පෙනෙති. කොක්කු සහ කොරවක්කන් ද ගොවි බිම්වල ජලචර ස්තරයෙහි හැසිරෙමින් පළිබෝධකයන් දඩයම් කරති. වී කුරුල්ලා සහ වඩු කුරුල්ලා යන පක්ෂීන් මාංශ භක්ෂකයන් නො වෙති. එහෙත් උන් සිය පැටවුන්ට ආහාර පිණිස ගොවි බිම්වල සිටින පළිබෝධක පණුවන් රැගෙන යති. රාත‍්‍රී කාලයට කලඑළි බසින බිම් බස්සන්සහ කුඩා වවුල් විශේෂ සලබයන් ආහාරයට ගැනීමෙහි රුසියෝ ය. කුඹුරු ලියැදිවල සිටින කුඩා මත්ස්‍ය විශේෂ ද ජලචර කෘමීන් ආහාරයට ගැනීමට පුරුදුව සිටිති. වි වගාවේ දී හමුවන විලෝපිකයන් වන බත් කූරා, ඉබි කුරුමිණියා, බිම් කුරුමිණියා, මකුළු වර්ග සහ තණකොල පෙත්තන් ආදී සතුන් ද කීඩෑවුන්, පණුවන්, සලබයන් සහ දළඹුවන් ආදී පළිබෝධකයන් මර්දනය කිරීමේ රුසියන් ය.

අද මින් බොහොමයක් විලෝපික සතුන්, ගොවිබිම්වල හෝ ගෙවතු ආශ‍්‍රිත පරිසරයේ පවා දක්නට නැත්තේ ය. දැන් සෙනසුරු අපලෙට කපුටු දානයක් දෙන්නත් කපුටො නෑ’, විලෝපික සතුන් යොදා ගෙන පළිබෝධකයන් මර්දනය ගැන කතාකරන විට එක් ගොවියෙක් පැවසුවේ ය.


වර්තමානයේ ගොවිබිම් ආශ‍්‍රිතව පක්ෂීන් හිඟයි. උන්ට ලැගුම් සැපයුණු කුඩා කැලෑ කුට්ටි (ලැහැබ් ආදිය) දැන් දකින්නවත් නෑ. ඉතින් උන්ට  වාසස්ථාන නැතිව ගිහින්. අනෙක, දිගින් දිගම ට කෘෂි රසායන භාවිතාව නිසා ද කෘෂිකාර්මික පරිසරයේ සමතුලිතතාවය බිඳී ගිහින්. සමහර සත්තු වඳවෙලා. උන්ට වාසස්ථාන නෑ. ආහාර නෑ. මේ තත්ත්වය නිසා කෘෂිකාර්මික පරිසරයේ ජෛව විවිධත්වය බිඳ වැටිලා. ඉතින් මේ වාගේ වසංගතයක් ආවාම, ඒක පාලනයකර ගන්න බෑ. මොකද, විලෝපික සතුන් ගෙන් කෙරුණු වැඩ කොටස කෙරෙන්නේ නෑ. දැන් කාටහරි තමන්ගේ වගා බිම්වලට පක්ෂීන් ගෙන්වා ගන්න  ඕනෑ වුණත් ඒක කරගන්න පක්ෂීන් හිඟයි’, සේනා දළඹු වසංගතය පාලනයකර ගන්නට නො හැකිවීම ගැන එසේ කියන්නේ පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා ඇති අන්දමට, සේනා සලබයාට උඩු සුළඟේ ආධාරයෙන් දිනකට කිලෝමීටර් සියයක් පමණ පියාසැරිය හැකි ය. දේශීය බීජ හා කෘෂි සම්පත් සුුරැෙකීමේ ව්‍යාපාරයේ හේමන්ත අබේවර්ධන මහතා කියන්නේ, දැන් කුරුල්ලන් හිඟ නිසා සේනා සලබයන්ට එසේ පියාසැරිය හැකි බවයි. කුරුල්ලන් සිටියා නම් උන්ට එසේ පියාඹා යන්නට නො දෙන බවත්, සලබයන් බඩ ඉරිඟු වගා බිම්වල ව්‍යාප්ත වීම පවා පාලනය වියහැකිව තිබුණු බවත් අබේවර්ධන මහතා සඳහන් කළේ ය.

කොයි හැටි වෙතත් සේනා දළඹු වසංගතය ඔස්සේ එන පණිවිඩය, ලංකාවේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අතිශයින් ම තීරණාත්මක ය. අප තවදුරටත් නවීන රසායනික ගොවිතැනෙහි එල්ලී සිටිමින් පරිසරයේ ඇති සියල්ල අහිමිකර ගනිමින් ජීවත් වෙනවා ද? නැතිනම්, සියලූ ආහාර භෝග වගාවන් වස විසෙන් තොර දේශීය-පාරම්පරික වගා විධි ක‍්‍රමයකට මුසුකර ගන්නවා ද? යන්න, මෙතැනින් ඔබ්බට නැගෙන ප‍්‍රශ්නයයි!

0000000000000000000000000000000

මේක ගර්කින්, මෙලන්, බේබිකෝන් 
වවන්න කළ කුමන්ත‍්‍රණයක්
ගාල්ල, හිරිඹුර පදිංචි නිමල් සිල්වා මහතා (බෙදා හදා ගැනිමේ සාමූහිකය)
ගාල්ල, හිරිඹුර පදිංචි නිමල් සිල්වා මහතා (බෙදා හදා ගැනිමේ සාමූහිකය) පාරිසරික ගොවිතැන සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් ඇති ගොවි ක‍්‍රියාකාරිකයෙකි. ඔහු කියන්නේ, සේනා දළඹු වසංගතය, ලංකාවේ ගොවිබිම්වලට ගර්කින්, මෙලන්, බේබිකෝන් ආදී අපනයනය කළ හැකි අතිරේක භෝග හඳුන්වා දීමේ අරමුණින් හිතාමතා කළ කුමන්ත‍්‍රණයක් බවයි. අතිරේක භෝග වවන්නට අරඅඳින බහුඅජාතික සමාගම් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමහර පිරිස් මේ ක‍්‍රියාවලිය පිටුපස සිටින බව තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේ ය. අපනයනය කළ හැකි අතිරේක භෝග වවන්න නම් ගොවි බිම්වලින් බඩ ඉරිඟු     ඉවත් වෙන්න  ඕනෑ. මේ කරන්නේ ඒක තමයි’, නිමල් සිල්වා මහතා කීවේ ය.

ආහාර භෝග වගා කීරීම 
මහා කෘෂි සමාගම් අතට පත් වීමේ අනතුරක්
කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්ස මහතා (පොළොන්නරුවේ ගොවිජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය)

ලංකාවේ කෘෂිකාර්මික භූමියෙන් දැනට තිබෙන වී ආදී වගාවන් ඉවත්කරලා, අපනයනය කළ හැකි කෘෂි භෝග වැවීමේ සැලසුමක් ඇති බව අපට දැනෙනවා. සේනා දළඹු වසංගතයත් එහි යම් අදියරක් කියලයි අපට සිතෙන්නේ. මේකෙන් වෙන්නේ අපේ ගොවීන් හිඟමනට වැටිලා, භෝග වගාවන් මහා කෘෂි සමාගම් අතටපත් වන්නට අවස්ථාවක් ලැබීමයි. දැන් පොළොවේ සහ අවට පරිසරයේ ස්වාභාවික තත්ත්වයන් නෑ. ඒවා කෘෂි රසායන භාවිතාව ඔස්සේ සෑහෙන්න විනාශ වෙලා. ඉතින් මේ වගේ වංසංගත පැතිරිම වැඩියි. ඒවා පලනයකර ගන්න අමාරුයි
(පින්තූර-අන්තර්ජාලයෙනි)






Saturday, January 19, 2019

අලූත් සමනල්ලූ කොළඹ ආක‍්‍රමණය කරති!



සේනා දළඹුවා ජෛව කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ද?
අලූත් සමනල්ලූ කොළඹ ආක‍්‍රමණය කරති!




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
මනුෂ්‍යයන් අතර පමණක් නොවේ, සෙසු ජීවීන් අතර ද පරසතුරු ආක‍්‍රමණඑමට ය. ඒවායෙහි කිරුළු දරා සිටින්නෝ ආක‍්‍රමණිකහෝ ආගන්තුක  ජීවීන් ය. පරිසර සහ ජෛව සම්පත් සංරක්ෂණ ක්ෂේත‍්‍රයේ දී ආක‍්‍රමණික  හෝ ආගන්තුක ජීවීන්’ (Invasive Alien Species) යයි හඳුන්වන්නේ අනෙකුත් ජීවී විශේෂයක පැවැත්මකෙරෙහි තර්ජනාත්මකව හැසිරෙන ශාක සහ සත්ත්ව විශේෂයෝය. දැනට හඳුනා ගෙන ඇති ආකාරයට, ලෝකය පුරා සිටින දරුණු ගණයේ ආක‍්‍රමණික ජීවි විශේෂ (ශාක සහ සත්ත්ව විශේෂ)සංඛ්‍යාව සියයකට අධික ය.  ඉන් විශේෂ 32ක් පමණ ශ‍්‍රී ලංකාවෙන් ද හමු වේ. මේ දිනවල රට පුරා මහත් ආන්දෝලනයක් ඇතිකර තිබෙන සේනානම් විනාශකාරී දළඹුවා (Fall Army Worm/Spodoptera frugipeda) ද, අපේ රටට හොර රහසේ කඩා වැදුණු එවන් ආක‍්‍රමණික සහ ආගන්තුකජීවියෙකි!

සේනා දළඹුවාමුලින් ම ලෝකයට වාර්තාවී තිබුණේ, 2016 වර්ෂයේ දී ය. ඒ, අප‍්‍රිකානු රටක් වන නයිජීරියාවෙනි. ඉන් පසුව උන් ඉකුත් 2018 වර්ෂයේ මැයි මාසයේ දී ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයෙන් කලඑළි බැස්සාහ. ඊළඟ අගෝස්තු මාසයේ දී,  උන් ලංකාවේ අම්පාර දමනප‍්‍රදේශය් බඩඉරිඟු වගා බිම්වලින් මතු වන්නට වූහ! සේනා දළඹුවන් මේ වන විට, ලංකාවේ නැගෙනහිර පළාත, පහළ ඌව, උතුරු මැද සහ වයඹ යන පළාත්වල ද, දකුණු පළාතේ සමහර පෙදෙස්වල ද බඩ ඉරිඟු වගාවන් වනසමින් වේගයෙන් ව්‍යාප්තව ගොසිනි. උන්ගේ හානිය වී, උක්, තේ සහ එළවළු ආදී වගාවන්වලට ද ව්‍යාප්ත විය හැකි බවට අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා තිබේ. ආහාරමය භෝග සියයකට පමණ උන්ගේ හානි බලපාන්නට ඉඩ ඇති  බව කෘෂි විද්‍යාඥයන්ගේ පුරෝකතනයයි.

සේනා දළඹුවා ඉතා වේගයෙන් බෝ වෙයි. එසේම, ඉතා වේගයෙන්-විශාල ලෙස ආහාර ගනියි. බඩ ඉරිඟු ගසේ පත‍්‍ර සහ කඳ මෙන් ම, කිරි වැදී ගෙන එන කරල් ද උන්ගේ ප‍්‍රියතම ආහාරයයි. සේනා දළඹුවන්ට එක රැයින් බඩ ඉරිඟු අක්කර සිය ගණන් හපකර දමන්නට පුළුවන. උන්ට ඇත්තේ නො සන්සිඳෙන කුසගින්නකි! එසේම, වෙළෙඳපොළේ තිබෙන කිසිදු රසායනික කෘමිනාශකයකට තවම උන් මර්දනය කරන්නට ද නො හැකිව තිබේ!

ආක‍්‍රමණික හෝ ආගන්තුක ජීවීන් හොර රහසේ ම ලංකාවට ඇතුළුවී, අපේ පරිසරය, බව භෝග ඇතුළු ජෛව සම්පත්වලට හානි කිරීමේ අවස්ථා මීට ඉහත ද වාර්තාවී තිබේ. එහෙත් සේනා දළඹුවාකරන තරම් බිහිසුණු විනාශයක්  හට ගත් අවස්ථාවක් මින් පෙර අසන්නට වත් ලැබී නැත්තේ ය.

සේනා දළඹුවාගේව්‍යාප්තිය සහ එයින් හට ගන්නා විනාශය සම්බන්ධයෙන් දැඩි මහජන විවේචනයට ලක්ව ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි. දළඹුවා 2016 වසරේ දී, නයිජීරියාවෙන් මුලින් ම ලෝකයට වාර්තා වූ බවත්, ඉන් පසුව 2018 වර්ෂයේ මැයි මාසයේ දී උන් ඉන්දියාවේ අපට යාබද තමිල්නාඩුවෙන් හමුවූ බවත් පවසන විවේචකයෝ, ලංකාවේ බලධාරීන් උන්ගේ ආක‍්‍රමණයෙන් මිදීම පිණිස ප‍්‍රමාණවත් පියවරක් නො ගත් බව පෙන්වා දෙති! ඇත්තට ම ලංකාවේ කෘෂිකර්ම බලධාරීන් සේනා දළඹුවා සම්බන්ධයෙන් කටයුතු කරන්නට පටන් ගත්තේ ඉකුත් නොවැම්බරය අග භාගයේ සිට ය. එබැවින් ඔවුන්ගේ විවේචනය ද බැහැර කළ නො හැකි ය.

කෙසේ වෙතත්. සේනා දළඹු ආක‍්‍රමණය සම්බන්ධයෙන් වෙනස් මතයක් ද සමාජයේ වෙයි. එනම්, මෙය ජාත්‍යන්තර ජෛව කුමන්ත‍්‍රණයකප‍්‍රතිඵලයක් විය හැකි බවයි! සේනා දළඹුවායනු මීට ඉහත ශ‍්‍රී ලංකාවෙන් හමුවී තිබුණු ජීවියෙකු නොවේ. එසේ නම් උන් 2018 අගෝස්තු මාසයේ දී, එක් වර ම අම්පාර දිස්ත‍්‍රික්කයට අයත් දමන ප‍්‍රදේශයේ බඩ ඉරි`ගු යායකින් මතු වූයේ  කෙසේ ද? යන්න, ජෛව කුමන්ත‍්‍රණයක අදහස දරන අය විමසන ලොකුම ප‍්‍රශ්නයයි.

සේනා දළඹුවාගේ ආරම්භය, උන්ගේ සමනලයින් දමන බිත්තරය. ඉක්බිතිව එයින් (කීටයන්) දළඹුවන්ඇති වෙයි. උන් කෙමෙන් රූපාන්තරණයවී, ‘සලබයින්හෙවත් සමනලයන්බවට පත්වෙයි. උන් ද බිත්තර දමයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසන අන්දමට, සේනා සලබයෙකුට (සමනලයෙකුට) සුළං ධාරා ඔස්සේ දිනකට කිලෝමීටර් සියයක් පමණ පියාසර කළ හැකි ය. උන් ඇතැම් විට තමිල්නාඩුවේ සිට  උඩු සුළඟේ පියාඹා ආවා විය හැකි ය. නැතිනම්, පිටරටින් ගෙනෙන බඩ ඉරිඟු බීජසමග තිබුණු උන්ගේ බිත්තරමගින් ලංකාවට බෝවුණා ද විය හැකි ය. එසේත් නැතිනම්, අනිසි අරමුණක් පෙරදැරිව, යමෙක් හිතාමතා ම උන් මෙහි බෝ කළා ද විය හැකි ය. එවැන්නක් සිදුව තිබේ නම්, එය ජෛව කුමන්ත‍්‍රණයක්බව කිව යුතුව තිබේ!

ජෛව කුමන්ත‍්‍රණයක්යනු බොහොම බරපතල අරුත් සහිත කාරණයකි.  යමෙක්, යම් රටක ඇති කිසියම් ජෛව සම්පතකට හානි කිරීම සඳහා, චේතනාන්විතව සතුන්, ක්ෂුද්‍ර ජීවීන්, දිලීර වර්ග, බැක්ටීරියා වර්ග හෝ වෛරස් ආදිය යොදා ගන්නේ නම්, එය ජෛව කුමන්ත‍්‍රණයක්  යයි හැඳින්විය හැකි ය. එබඳු කුමන්ත‍්‍රණ ලෝක කරලියට පැමිණියේ, 1960 වසරේ පටන් ක‍්‍රියාත්මක කෙරුණු හරිත විප්ලව ක‍්‍රියාවලියද සමගිනි. ඒ සඳහා වැඩි ප‍්‍රසිද්ධියක් ඉසිලූවේ, ලෝකයට ම ආහාර නිපදවා දෙන්නේ යයි කියන ඇමරිකාවේ මොන්සැන්ටෝ’, ජර්මනියේ බේයර්බඳු බහුජාතික සමාගම් ය.

ජෛව කුමන්ත‍්‍රණයක්සිදු නො වුණ ද, ආක‍්‍රමණික සහ ආගන්තුක ජීවීන්  වෙනත් ක‍්‍රම ඔස්සේ ද යම් යම් රටවලට පැමිණීමට පුළුවන. උද්භිද උද්‍යාන අතර බීජ හෝ පැලෑටි හුවමාරුව, විද්‍යාත්මක පර්යේෂණවලට ගෙන්වීම, ධාන්‍ය වර්ග, භෝගවල බීජ, ආනයනික පොහොර ආදිය, ආහාරමය හෝ විලෝපික වටිනාකමක් ඇති ජීවියෙකු ලෙස හඳුන්වා දීම, විසිතුරු මල්, විසිතුරු ශාක සහ විසිතුරු ජලජ ජීවීන් බෝ කිරීම යන කර්මාන්ත ක්ෂේත‍්‍රවල  දී හඳුන්වා දීම, තවත් රටක පාවිච්චි කළ කෘෂිකාර්මික යන්ත‍්‍ර හෝ බර වාහන ගෙන්වීම, ආනයනය කෙරෙන සතුන්ගේ සිරුරුවල ඇලී ඒම, විනෝදයට දඩයම් කිරීම පිණිස වෙනත් රටක සතුන් හඳුන්වා දීම සහ නිෂ්පාදන කර්මාන්ත සඳහා විදෙස් අමුද්‍රව්‍ය ගෙන්වන අවස්ථා ආදී ක‍්‍රම ගණනාවකින් ම ඔවුන් යම් රටකට ඇතුළු වීමට ඉඩ තිබේ. ඇතැම් ආක‍්‍රමණික ජීවියෙක්, විදේශයක සිට පැමිණෙන පුද්ගලයන් ඔස්සේ ද රටකට ඇතුළු වීමට පුළුවන!


ලෝක සංරක්ෂණ සංගමය’ (IUCN) ආක‍්‍රමණික හා ආගන්තුක ජීවීන් හඳුන්වන්නේ, ‘පිටරටකින් පැමිණ, ස්වාභාවික හෝ අර්ධ ස්වාභාවික පරිසර පද්ධතියක ස්ථාපිතවී, ස්වාභාවික වාසස්ථානවල වෙනස්කම් ඇතිකර, දේශීය ජෛව විවිධත්වයට තර්ජන ඇති කරන ජීවීන්යන නිර්වචනයෙනි. සේනා දළඹුවාද මේ වර්ගයට අයත් වෙයි.

පිටරටින් ලංකාවට ගෙන එන ශාකමය ද්‍රව්‍ය සහ සත්වමය ද්‍රව්‍ය රටට මුදා හරින්නේ, ඒවා නීත්‍යානුකූලව නිරෝධායනයට ලක් කිරීමෙන් පසුව ය. මින් ශාකමය ද්‍රව්‍ය නිරෝධායනය කෙරෙන්නේ, 1999 අංක-35 දරණ ශාක ආරක්ෂණ පනතෙහිඑන විධි විධාන අනුව ය. නිරෝධායනයට ලක් කෙරෙන ශාකමය ද්‍රව්‍යය, ආක‍්‍රමණික හෝ ආගන්තුක ජීවියෙක් ද?, ලෙඩ රෝගවලින් තොර වේ ද?, ඒවා සමග පළිබෝධකයන් සිටී ද? සහ ඒවා යම් විනාශකාරී ශාක වර්ගයක් ද? ආදී වශයෙන් පරීක්ෂා කරනු ලබයි. ඒවා කෙරෙන්නේ කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, කොළඹ වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ යන ස්ථානවල පිහිටුවා ඇති නිරෝධායන ආයතනවල දී ය. යම් ශාකමය හෝ සත්වමය ද්‍රව්‍යයක් රටට මුදා හැරෙන්නේ නිරෝධායන පරීක්ෂණවලින්සමත් වන්නේ නම් පමණකි. සත්වමය ද්‍රව්‍ය නිරෝධායනය සහා වෙන ම අණ පනත් ද තිබේ. මෙම කටයුතු කෙරෙන්නේ මුළු රටේ ම ජෛව සම්පත්වල ආරක්ෂාව වෙනුවෙනි.

ආක‍්‍රමණික හෝ ආගන්තුක යම් ජීවී විශේෂයක්, නිරෝධායනයට හසු නොවී රටකට ඇතුළු වුව හොත් ඇතිවිය හැකි ප‍්‍රතිඵල භායානක ය. ආගන්තුක ජීවි විශේෂය ඒ රටට අලූත් එකක් නිසා,  ස්වාභාවික පරිසරයේ දී එයට සතුරන්’ (විලෝපිකයන්) ඇති වීමට යම් කලක් ගත වෙයි. ආගන්තුක ජීවීන් කරන්නේ, එම කාලය ඇතුළත අලූත් පරිසරයට ඔරොත්තු දෙන ආකාරයට හැඩ ගැසීමයි. එහි දී උන් අලූත් පරිසර පද්ධති වේගයෙන් ආක‍්‍රමණය කරන්නට පෙළඹෙති. සේනා දළඹුවාගේක‍්‍රියාවලිය ද එබඳු එකකි! උන් නිරෝධායනයට හසු නො වූ බව ද දැන් පැහැදිලි ය!

මෙතැන පැලෑටි නිරෝධායන ක‍්‍රියාවලිය  සම්බන්ධයෙන් අපට ලොකු ගැටලූවක් මතු වෙනවා. මේ දළඹුවා රටට ඇතුළු වුණේ කොහොම ද? කියන ප‍්‍රශ්නය සහ උන් නිරෝධායනවලට හසු වුණේ නැති ද? කියන ප‍්‍රශ්නය අපට අහන්න වෙනවා. ශාක ආරක්ෂණ පනත යටතේ මේ සතා නිරෝධායන පළිබෝධකයෙක් විදිහට  නම් කරලා තියෙනවා ද? කියලා විමසන්න වෙනවා. සේනා දළඹුවා මුලින් ම වාර්තා වුණේ 2016 දි. ඊට පස්සේ එයා ඉන්දියාවෙන් මතු වෙනවා. අපි පෙර සුදානමක සිටියා නම් උන් ලංකාවට එන එක වළක්වා ගන්න තිබුණා’, එසේ කියන්නේ පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ය. සේනා දළඹුවාගේ ආගමනය, ජෛව කුමන්ත‍්‍රණයකට වඩා නිරෝධායන ක‍්‍රියාවලියේ ගැටලූවක් බව ද ඔහු පවසයි.

ජෛව කුමන්ත‍්‍රණයක් පිළිබඳ ලංකාවේ ප‍්‍රකටතම සිද්ධිය වාර්තා වන්නේ වර්ෂ 1930-1940 දශකවල ය.  Tristeza  නම් වෛරසයක් නිසා බිබිලේ පැණි දොඩම් වගාවඋන්හිටි ගමන්  විනාශවී යාම, එම  සිද්ධියයි. ලංකාවේ කෘෂිකර්ම විශේෂඥයන් පිරිසක් දොඩම් වගාව පිළිබඳ වැඩිදුර පුහුණුවකට ඇමරිකානු කැලිපෝනියාවට ගිය බවත්, එහි දී තෑගි ලැබුණුනව දොඩම් ප‍්‍රභේදයක් මොණරාගල දිස්ත‍්‍රික්කයේ වගා කිරීමෙන් පසුව වෛරස් රෝගය හට ගැනුණු බවත්, බිබිලේ පැණි දොඩම් වගාව විනාශවී යාම සම්බන්ධයෙන් එන කතා පුවත්වල කියැවේ. වෛරස් රෝගයේ බලපෑම කොතෙක් ද යත්, අද පවා බිබිල ඇතුළු පහළ ඌව ප‍්‍රදේශයේ  පැණි දොඩම් වගා කිරීම දුෂ්කර කටයුත්තක්ව තිබේ. ලොව ඉස්තරම් යයි කියැවුණු බිබිලේ පැණි දොඩම් නැතිවාට, අද  ඕස්ටේ‍්‍රලියානු හෝ ඊශ‍්‍රායෙල් කහ පැහැති ආනයනික දොඩම්  ඕනෑ තරම් තිබේ!

1999 වර්ෂයේ දෙසැම්බරයේ දී තවත් මෙවැනි ම සිද්ධියක් වාර්තා විය. නුවරඑළියේ පෞද්ගලික ස්ට්‍රෝබෙරි ගොවිපොළක් සඳහා බම්බල්වර්ගයේ සජීවී මී මැස්සන් තොගයක් හොරෙන් පිටරටින් ගෙන් වීම එම සිද්ධියයි. ශරීර ප‍්‍රමාණය අතින් ගත් විට, ‘බම්බල්වර්ගයේ මී මැස්සන් අපේ මී මැස්සන්ට වඩා විශාල ය. උන් ආහාර ගැනීමේ වේගය ද, ගන්නා ආහාර ප‍්‍රමාණය ද අපේ මී මැස්සන්ට වඩා ඉහළ ය. බම්බල් මී මැස්සන් නිසා අපේ දේශීය මී මැසි ප‍්‍රජාවේ පැවැත්ම පිළිබඳව ගැටලූවක් ද මතු වේ! අපේ රටේ බව භෝග පරාගනය කරන්නේ ද මීමැසි කුලයේ සතුන් ය. එබැවින් උන් රටට අවශ්‍යය සත්ව සම්පතකි.
නුවරඑළියේ පෞද්ගලික ස්ට්‍රෝබෙරි සමාගම, මුලින් ම කළේ බම්බල් මී මැසි වද කිහිපයක් ලංකාවට  ආනයනය කිරීම පිණිස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය ඉල්ලා සිටීමයි. එහෙත් එයින් වියහැකි හානිය සලකා බැලූ එවකට වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරාව සිටි ඒ. පී. ඒ. ගුණසේකර මහතා, බම්බල් මී මැස්සන් ගෙන්වීමට අවසර දුන්නේ නැත. ඉන් පසුව ඔවුන් කළේ සජීවී බම්බල් මී මැස්සන් තොගයක් හොර රහසින් ආනයනය කිරිමයි.

පසුව සජීවී බම්බල් මී මැස්සන් තොගය, එවකට ශ‍්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ ප‍්‍රධානියාව සිටි, රේගු අධිකාරි සමන්ත ගුණසේකර මහතා විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එහි දී කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉහළම නිලධාරියෙක් උන් මුදා හරින ලෙස කියමින් බලපෑම් ද කළේ ය.
මේ වගේ ජාවාරම් පිටුපස ලොකු සමාගම් ඉන්නවා. බම්බල් මී මැස්සන් සිද්ධියේ දී ඒ අය මට මරණ තර්ජන පවා එල්ල කළා. ඇතැම් අවස්ථාවල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පවා මේවා පිටුපස්සේ ඉන්නා බව පෙනී යනවායයි සමන්ත ගුණසේකර මහතා එකල මාධ්‍යයට කීවේ ය.

අපේ රටේ පොල් වගාවන්ට හානි කරන පොල් කුරුමිණියා’ (promeyotheca cumingi) මතු වූයේ 1970 දශකයේ ය. උන් මෙහි පැමිණ ඇත්තේ ඉන්දුනීසියාවෙනි. 2006 වර්ෂයේ අප‍්‍රියෙල් මාසයේ දී නුවරඑළිය අඹේවෙල ප‍්‍රදේශයේ සත්ව ගොවිපොළකට බ්‍රෝමුස් මොලිස්නම් ආක‍්‍රමණික විදේශීය තෘණ වර්ගයක් ගෙන්වීම නිසා මහත් ආන්දෝලනයක් ඇති විය. 2006 වර්ෂයේ සිට ලංකාවේ පොල් වගාවන් අතරින් වාර්තා වුණු මයිටා රෝගයද (Aceria (Eyophyes) guerreronis නම් මයිටාවා) ලොව මුල්වරට වාර්තාවී ඇත්තේ 1965 වසරේ මෙක්සිකෝවෙනි. 1980 දශකයේ දී දකුණු ඇමරිකානු පණුවන් වර්ගයක් (Globodera rostochienses) පැතිරීම නිසා අපේ අර්තාපල් වගාවන්ට හානි සිදු විය. 1997 වසරේ වාර්තා වුණු අර්තාපල් පත‍්‍ර කනින්නා’ (Ciriomyza buidobernsis) රෝගය ද විදේශයකින් පැමිණි එකකි. ලංකාවේ හමුවන පලතුරු මැසි විශේෂබොහොමයක් ද එතෙරින් පැමිණියවුන් ය.මෙබඳු කාරණා ගැන ගොවීන් පවසන්නේ, ‘ලෙඩේ ඉස්සෙල්ලා එනවා. ඊට පස්සේ ඒකට බෙහෙත එනවායනුවෙන් උපහාසයෙනි.

ජෛව කුමන්ත‍්‍රණයක් නිසා හෝ, නිරෝධායනයට හසු නො වීම නිසා හෝ, අපේ රටට කඩා වැදී සිටින තවත් ආක‍්‍රමණික ජීවීන් කිහිප දෙනෙක් ගැන ද මේ දිනවල අසන්නට ලැබේ.

ඉන් එකෙකු වන්නේ පැසිපික් සුදු ඉස්සා’ (Litopenaeus Vannamei) ය. ඉන්දියාවේ අත්දැකීමට අනුව, උන් එ රට දේශීය ඉස්සන්ට සහ කකුළුවන්ට හානිදායක සත්වයෙකි. එහෙත් රටේ අණ පනත් පවා උල්ලංඝණය කරමින් උන් ලංකාවට ගෙන්වා ඇති අතර, ලංකාවේ ජලජීවී වගා අධිකාරියේ අනුමැතියෙන් දැනට පුත්තලම ප‍්‍රදේශයේ බෝ කෙරෙමින් පවතියි. ජලජීවී වගා අධිකාරිය පවසන අන්දමට, ‘පැසිපික් සුදු ඉස්සන්ආක‍්‍රමණික සතුන් නො වෙති. උන් ගෙන් දේශීය ජෛව විවිධත්වයට හානි සිදු නො වන බව ඔවුන්ගේ මතයයි.

කෙසෙල් වගාවන් ආශ‍්‍රිතව බෝවී ඇති බනානා ස්කීපර්නමැති සමනල විශේෂය ද විදෙස් රටකින් පැමිණි ආක‍්‍රමණිකයෙකි. කෙසෙල් කොලය සුරුට්ටුවක් මෙන් ඔතා ගන්නා උන් කෙසෙල් වගාවන්ට හානි කරන්නේ වේගයෙනි. කෘෂි රසායන යෙදුව ද පාලනය කරන්නට අසීරුවීම, ‘බනානා ස්කීපර්ලාගේවිශේෂත්වයකි. මෙයා ලංකාවට ආපු නිසා ලංකාවේ සමනල ලයිස්තුව 248ක් දක්වා ඉහළ ගියා‘, ප‍්‍රකට සමනල පර්යේෂකයෙකු වන රාජික ගමගේ මහතා කියන්නේ ය!

පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙන අන්දමට, ‘ඔරේන්ජ් මයිග‍්‍රන්ට්’ (Orange Emigrant) නම් කහ පැහැති විදේශික සමනලයා ද දැන් කොළඹ ප‍්‍රදේශයේ දැකිය හැකි ය. උන් මෙරටට පැමිණ ඇත්තේ විදේශීය මල් ශාක ගෙන්වීම ඔස්සේ ය. ඔරේන්ජ් මයිග‍්‍රන්ට්ගිනිකොණ දිග ආසියාව නිජබිමකර ගත් සමනල විශේෂයක් බව ප‍්‍රකට ය.
ශ‍්‍රී ලංකාව, රටක් හැටියට ආක‍්‍රමණිික හා ආගන්තුක ජීවීන් සම්බන්ධයෙන් මීට වඩා අවධානයෙන් සිටිය යුතු බව, ‘සේනා දළඹුවාඅපට කියා දෙන ලොකුම පාඩමයි!

(මෙම ලිපිය 2019/01/20 අරුණ පුවත්පතේ පළවිය)
(ඡායාරූප-අන්තර්ජාලයෙනි)