Total Pageviews

Sunday, April 23, 2017

මුුළු රටම ලෙඩින්!


මුුළු රටම ලෙඩින්!



(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘සයිටම් ප‍්‍රශ්නය’ නිසා මේ දිනවල ලංකාවේ වෛද්‍ය ක්ෂේත‍්‍රය කැළඹීමකට ලක්ව ඇති බව බොහොම ප‍්‍රසිද්ධ කාරණයකි. ‘සයිටමය’ (මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය) ගැන එල්ල වන විරෝධතා සහ විවේචන එක් නිමේෂයකට අමතක කළහොත්, අපට ඒ යටින් දිවෙන වෙනත් කාරණයක් ද දැකගත හැකි වන්නේ ය!
 
එනම්, වෛද්‍ය ක්ෂේත‍්‍රයට එක් වීම සඳහා ඇති-හැකි තලයේ මහජනතාව කෙරෙන් පළවෙන ඉමහත් කැමැත්තයි! සයිටමයට පක්ෂව සිටින උදවිය ඒ සඳහා සටන් වැද සිටින්නේ, තමන්ගේ දූ-දරුවන් හෝ ඥාතීන් මුදල් ගෙවා හෝ, (කෙසේ හෝ) වෛද්‍යවරුන් බවට පත්කරවා ගැනීමේ පරම අභිලාශයෙන් බව ද පෙනෙන්නට තිබේ!
 
‘සයිටමය’ සම්බන්ධයෙන් පමණක් නොවේ. ලංකාවේ බහුතරයක් මහජනයා ද, හැකි නම් තම දූ දරුවන් වෛද්‍යවරුන් කිරීමට කිසිසේත්ම නො පැකිලෙන්නෝ ය! එය ඉහළ මට්ටමේ රැකියා සිහිනයක් බව නො දන්නා කෙනෙක් නැත.
 
‘සයිටමය’ හරි ද? වැරදි ද? යන කාරණය හෝ ඒ ගැන කෙරෙන විවේචන සලකා බැලීම ලියුම්කරුගේ අරමුණ නොවේ. ඔහු මෙම ලිපිය ලියන්නේ, ‘සයිටමයන්’ හෝ ආණ්ඩුවේ වෛද්‍ය විද්‍යාල කොපමණ සංඛ්‍යාවක් පහළ වුව ද, ලංකාවේ ‘ලෙඩ ප‍්‍රශ්න’ නම් මේ කපේ දී වත් නො විසෙඳන්නට ඉඩ ඇති බව කියන්නට ය! එසේම ‘වෛද්‍යවරුන්ගේ සේවය’ සම්බන්ධයෙන් ඇති ‘මහජන ඉල්ලූම’ ද කිසිදාකත් පිරිමැසිය නො හැකිවේ යයි සිතෙන බව කියන්නට ය!
 
ලියුම්කරුට එවන් සිතිවිල්ලක් පහළ වූයේ, ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් වාර්ෂිකව  පළ කරන, zANNUAL HEALTH BULLETINZ නම් නිල තොරතුරු සංග‍්‍රහයේ 2014 වර්ෂයට අදාළ වාර්තාව (අලූත්ම වාර්තාව) කියැවීමේ දී ය.
 
එහි දැක්වෙන අන්දමට, 1995 වර්ෂයේ රජයේ රෝහල්වලට ඇතුළුවූ නේවාසික රෝගීන් සංඛ්‍යාව මිලියන 2.9කි. එය එම වසරේ ජනගහනය සමග ගැලපූ විට, පුද්ගලයන් දහසකට රෝගීන් 179.3කි. 2014 වර්ෂය වන විට මෙය ඉතා සීග‍්‍රයෙන් ඉහළ ගොස් තිබේ. එනම් 2014 වසරේ දී රජයේ රෝහල්වලට ඇතුළු කෙරුණු නේවාසික රෝගීන් සංඛ්‍යාව මිලියන 6.1කි. එම වසරේ ජනගහනය සමග ගැලපූ විට, එය පුද්ගලයන් දහසකට රෝගීන් 294.6කි. රජයේ රෝහල්වලින් ප‍්‍රතිකාර ලැබූ ‘බාහිර රෝගීන් සංඛ්‍යාව’ ද ඊට හපන් ය. 2014 වසරේ දී එය, ජනගහනයෙන් පුද්ගලයන් දහසකට රෝගීන් 2653.0කි! සමස්ත රෝගීන් සංඛ්‍යාව මිලියන 55 ද ඉක්මවයි.
 
ඉලක්කම් ඇතුළේ සඟවා තැබුව ද, zANNUAL HEALTH BULLETINZ  නම් නිල තොරතුරු සංග‍්‍රහය ‘නො කියා කියන’ කතාව කුමක් ද?, අද මුළු රටම ලෙඩ ඇඳට වැටී ඇති බව නොවේ ද? රටවැසියන් මේ ආකාරයට ලෙඩට දුකට වැටී සිටින්නේ, විවිධ තරාතිරමේ  රජයේ වෛද්‍ය නිලධාරීන් 17,615 දෙනෙක්, රජයේ රෝහල් 622ක වෙදකම් කරමින් සිටිය දී ය. රටේ පෞද්ගලික රෝහල්වල තොරතුරු මෙයට ඇතුළත් නැත. ඒවා ද එකතු වුවහොත් මේ ඉලක්කම් මීට වඩා බෙහෙවින් වැඩිවනු ඇත්තේ ය! වරින්වර බලයට එන ආණ්ඩු ද රටේ සෞඛ්‍ය වියදම වසරින් වසර වැඩි කරමින් යයි. රටම ලෙඩුන් බවට පත්ව ඇත්තේ එවන් තත්ත්වයක් ද පැවතිය දීය.

ලෙඩ රෝග පිළිබඳව  එන ඉලක්කම් අපට පෙන්වන්නේ අතිශයින්ම නරක චිත‍්‍රයකි. සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙක්, වසරකට කිහිපවරක්ම වෛද්‍ය ප‍්‍රතිකාර ගන්නට යන බව එයින් පෙනේ. 2014 වර්ෂයේ දී රජයේ රෝහල්වල විවිධ සායනවලට පැමිණි රෝගීන් පිරිස ද මිලියන 24කි!
 
2014 වසරේ රජයේ රෝහල්වලින් නේවාසික ප‍්‍රතිකාර ලැබූ පිරිස, ජනගහනයෙන් පුද්ගලයන් දහසකට 294.6කි. එය 2014 වසරේ වාර්තාවූ නේවාසික රෝගීන් සංඛ්‍යාව පිළිබඳ ජාතික මට්ටමේ දත්තයයි. එහෙත් රටේ දිස්ත‍්‍රික්ක පහළොවකම තත්ත්වය ඊට වඩා වැඩි ය. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙනි. එය ජනගහනයෙන් පුද්ගලයන් දහසකට 392කි.
 
මෙම සංඛ්‍යාව කොළඹ දිස්ත‍්‍රික්කයෙහි 387කි. මුලතිව් දිස්ත‍්‍රික්කයෙහි 373කි. කිලිනොච්චියෙහි 362කි. මහනුවර දිස්ත‍්‍රික්කයෙහි 355කි. යාපනයෙහි 348කි. අනුරාධපුරයෙහි 344කි. වවුනියාවේ 341කි. හම්බන්තොට 323කි. මඩකලපුවේ 322කි.  අම්පාරේ 320කි. බදුල්ලේ 314කි. මොණරාගල 306කි. සිවිල් යුද්ධයට මැදිව තිබුණු දිස්ත‍්‍රික්කවල සහ කෘෂිකාර්මික දිස්ත‍්‍රික්කවල ලෙඩට දුකට වැටුණු පිරිස ඉහළ සංඛ්‍යාවක් පෙන්වීම විශේෂ කාරණයකි!
 
2014 වර්ෂයේ තොරතුරු අනුව ගත් කල, රටේ සමස්ත රජයේ රෝහල් සංඛ්‍යාව 622කි. ඒවායෙහි ඇති ඇඳන් සංඛ්‍යාව 80,105කි. රටේ ජනගහනයෙන් පුද්ගලයන් දහසකට සිටින හෙදියන් සංඛ්‍යාව 185.2කි. වෛද්‍යවරුන් සංඛ්‍යාව 84.8කි.
 
කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනගහනයෙන් පුද්ගලයන් දහසකට සිටින වෛද්‍යවරුන් සංඛ්‍යාව 186කි. මහනුවර දිස්ත‍්‍රික්කයේ 118කි. නුවරඑළිිය දිස්ත‍්‍රික්කයේ 38කි. රත්නපුරයේ 57කි. වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ද රට පුරා සමසේ බෙදී ගොස්  නැති බව ඉන් පෙනී යයි.
 
2014 වසරේ පුද්ගලයන් රෝහල්ගත වීම් අනුව ගත් කල, වැඩිම පිරිසක් රජයේ රෝහල්වලට පැමිණ ඇත්තේ හදිසි අනතුරු ආදිය නිසා හට ගන්නා තුවාලවලට ගොදුරු වීමෙනි. ඊළඟට වැඩිම පිරිසක් රෝහල්ගතව ඇත්තේ, අසාමාන්‍ය රෝග ලක්ෂණ නිසා සායන සහ රසායනාගාර පරීක්ෂණවල දී හඳුනා ගන්නා විවිධ රෝග තත්ත්වයන් නිසාවෙනි. ශ්වසන පද්ධතියේ රෝග, රෝහල්ගත වීම කෙරෙහි බලපාන තුන් වැනි රෝග තත්ත්වයයි. ආමාශය ආශ‍්‍රිත රෝග  සහ ආන්ත‍්‍රික රෝග තත්ත්වයන් හතරවැනි තැන හිමිකර ගනියි.
 
රජයේ රෝහල්වල හට ගත් මරණ අනුව ගත් කල, ලොකුම මරණීය රෝගය වන්නේ හෘද්‍යාබාධ හෙවත් කිරීටක ධමනි අවහිර වීමේ තත්ත්වයයි. 2013 වසරේ එයින් මියගිය පිරිස, ජනගහනයෙන් පුද්ගලයන් දහසකට 29.2ක් විය. 2014 වර්ෂයේ එම සංඛ්‍යාව පුද්ගලයන් දහසකට 30.6ක් දක්වා වැඩිවිණි.
 
ඊළඟ මරණීය රෝගය වන්නේ, ‘අධි වර්ධනය වීම්’ හෙවත් පිළිකා තත්ත්වයන් ය. 2013 දී එයින් මියගිය පිරිස, ජනගහනයෙන් පුද්ගලයන් දහසකට 22.2කි. 2014 දී එය පුද්ගලයන් දහසකට 24.0ක් දක්වා ඉහළ ගියේ ය. .
 
විවිධ බැක්ටීරියා රෝග සහ පෙනහළු ආශ‍්‍රිත රෝග, 2014 වසරේ පිළිවෙලින්  තුන් වැනි සහ හතර වැනි මරණීය රෝග තත්ත්වයන් බවට පත්ව තිබේ.
 
සෞඛ්‍ය සංඛ්‍යාලේඛන අනුව පෙනී යන්නේ, රටේ ලෙඩ රෝග තත්ත්වයන් දිනෙන් දින වර්ධනය වෙමින් යන බවයි. සමාජය සංකීර්ණ වීමත් සමගම, මනුෂ්‍යයන්ගේ ආහාර සහ චර්යා රටාවේ හටගත් විවිධ වෙනස්කම් එයට බලපා ඇති බව විද්වත් මතයයි. එබැවින් අනාගතයේ දී ද වෛද්‍යවරුන් සඳහා වන මහජන ඉල්ලූම නම් තවදුරටත් ඉහළ යනු ඇත්තේ ය!
(පින්තූරය-අන්තර්ජාලයෙනි)

(මෙම ලිපිය 2017/04/23 ඉරිදා ලක්බිමෙහි පළවිය.)