Total Pageviews

Sunday, January 8, 2017

සහල් යන්ත‍්‍රාගාරධාරී මහත්වරුනි, ඔය ලාභ යා දෙනවා ද?

වී-හාල් රාජ්‍යයේ බලය හිනි පෙත්තට නැගීම-02
සහල් යන්ත‍්‍රාගාරධාරී මහත්වරුනි, 
ඔය ලාභ යා දෙනවා ද?
 


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘වලස්පති අඩවියට’ කලින් ලියූ ලිපිය මගින් අපේ රට ‘වී-හාල් රාජ්‍යයක් ලෙස හඳුන්වා දීමට උත්සාහ කළෙමි. ඊට හේතුව වූයේ ලංකාවේ මහජනතාව හෙවත් ‘බත් කන මිනිසුන්’ සහ ‘බත් හදන මිනිසුන්’, දැනට වසර ගණනාවක් මුළුල්ලේම මහා පරිමාණ වී සහ සහල් මෝල් හිමි ව්‍යාපාරිකයන් සමූහයකගේ ගල ග‍්‍රහණයට හසුවී සිටීමයි!
 
මේ සටහන ලියන්නේ 2017 ජනවාරි 07 වැනි දා ය. 2016 වසරේ දෙසැම්බර් මාසයේ ඉහළ යන්නට පටන් ගත් සහල් කිලෝවේ මිල තවමත් පහත වැටී නැත. 2017 ජනවාරි 06 වැනි දිනයේ එක්තරා ප‍්‍රකටතම සුපිරි වෙළෙඳසැල් ජාලයක රතු සහ සුදු කැකුළු සහල් කිලෝව අලෙවි වුයේ රුපියල් 110.00ක මිලට ය. රටේ බොහොමයක් තැන්වල සහල් කිලෝවේ මිල රුපියල් සියය ඉක්මවා යමින් තිබේ. මෙය මෑත ඉතිහාසයේ සහල්  කිලෝවක් සඳහා පැනවුණු ඉහළම මිලයි! මීට ඉහත අන් කවර කලෙක හෝ සහල් මිල මේ තරම්  ඉහළ ගියේ නැත. මෙම තත්ත්වය වූ කලී, ‘වී-හාල් රාජ්‍යයේ’ බලය කූට ප‍්‍රාප්තියට ළඟා වීමක් ය යන්න. ලියුම්කරුගේ අදහසයි.
 
පොදුවේ කවුරුත් දන්නා පරිදි, කොළඹ ‘මහා ආණ්ඩුව’ සහ ‘සියඹලාණ්ඩුව’ හැරෙන්නට, මේ රටේ වෙනත් ආණ්ඩු තිබුණේ නැත. එසේ වුව ද දැන් බොහොම කලක් තිස්සේ අපේ රටේ ‘තවත් ආණ්ඩුවක්’ ක‍්‍රියාත්මක වන බව පෙනී යයි. එය බොහොම බල සම්පන්න එකකි. රට වැසියන්ගේ ප‍්‍රධාන ආහාරය වූ ‘බත’ පාලනය කරමින් එයට මිල නියම කරන්නේ, ඔවුන් විසිනි!
 
එක් වරම ඇසට නො පෙනෙන ඒ ආණ්ඩුවේ අය, ලංකාව වී-හාල් රාජ්‍යයක් බවට පත්කර ගෙන, රට වැස්සන් ගල ග‍්‍රහණයට හසුකර ඇති බව, සහල් කිලෝවේ මිල අහස උසට නැගීමෙන්ම පෙනී යයි! කොළඹ සිට රාජ්‍ය විචාරන ආණ්ඩුව ද එය පාලනයකර රටට සහනයක් දීමට සාධනීය පියවරක් තබන බවක් නො පෙනෙයි. වී ගොවියෙක් රාජ්‍ය පාලකයාව සිටින වකවානුවක මෙවන් තත්ත්වයක් හට ගැනීම ද සුවිශේෂ ය.
 
2016 වසර අවසානයේ රටට සහල් හිඟයක් ඇති වීමට කොහෙත්ම ඉඩක් නැති බව, කලින් ලිපියෙහි ද සඳහන් කළෙමි. ඉකුත් වසර දෙක තුනෙහි රටට ලැබුණ අස්වැන්නට පින් සිදු වන්නට, රටට ඇති තරම් වී තොග තිබේ. ගැටලූවක්ව තිබෙන්නේ, ඒවා සහල් බවට පත්ව වෙළෙඳපොළට නො ඒම ය. වී තොග අත්පත්කර ගෙන සිටින මහා පරිමාණ වී මෝල් ව්‍යාපාරිකයන් ඒවා සහල් වෙළෙඳපොළට එවන්නේ, ඉතා සීමිතව ය. එනම්, රට පුරා කෘත‍්‍රිම සහල් හිඟයක් මවා පාමිනි. එවිට සහල් කිලෝවේ මිල, නිරන්තරයෙන්ම ඉහළ තලයක පවතින්නේ ය. එය ඔවුන්ට අධික ලාභ ලැබෙන කාරණයකි. ඔවුන් අත වැඩිපුරම ඇත්තේ කිලෝව රුපියල් 26ත් 36ත් අතර පරාසයකට මිල දී ගත් වී තොග බව නො රහසකි!
 
සහල් හිඟය සහ ආණ්ඩුවේ භීතිය
මහා පරිමාණ වී මෝල් ව්‍යාපාරිකයන්ගේ ක‍්‍රියාවලිය, වෙළෙඳපොළ සහල් ඉල්ලූම නො තකා හරිමින් වී තොග සඟවා ගෙන සිටීමකි. කෘත‍්‍රිම සහල් හිඟයක් ඇතිකර, සැපයුම සීමාකර, මිල ඉහළ යන්නට සැලැස්වීමකි. එය අධික ලාභ තීරුවක් වෙනුවෙන් පුරන දුෂ්ට, පිළිකුල් සහගත ප‍්‍රාර්ථනයක් බව පැහැදිලි ය!
 
වත්මන් ආණ්ඩුව මෙන්ම ඊට පෙර බලයේ සිටි ආණ්ඩු ද මහා පරිමාණ වී මෝල්  ව්‍යාපාරිකයන්ගේ පිළිිකුල් සහගත ක‍්‍රියාදාමය පාලනය කළේ නැත. වර්තමාන ආණ්ඩුව ද එවැන්නක් කරන බවක් පෙනෙන්නට නැත. ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා ඔවුන් තෝරා ගෙන ඇති විකල්ප විසඳුම වන්නේ, සහල් ආනයනය කිරීමයි. ඒ අතර සහල්වලට පාලන මිලක් පැනවීම ගැන කතා කරනු ද ඇසෙයි. ජනවාරි මාසයේ මුල් සතිය අවසානයේ සහල් ආනයන බදු පවා අඩු කළ බව ජනමාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය විය.
 
සහල් ආනයනය කරන්නට තීරණය කිරීමෙන්ම, ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව දරන මතය පැහැදිලිව පෙනේ. ඔවුන් සිතා සිටින්නේ, රට තුළ වී-සහල් හිඟයක් හට ගෙන ඇති බවයි. එබැවින් සහල් මිල ඉහළ ගිය බවයි! සහල් ආනයනයකර වෙළෙඳපොළට දැමීමෙන් හිඟය මගහැරී, මිල පහත බසිනු ඇතැයි යන්න, ඔවුන්ගේ කල්පනාව බව පෙනේ. නැතිනම් සහල් මිල ඉස්සූ මහා පරිමාණ වී මෝල් හිමියන්ට ‘පාඩමක් උගන්වනු පිණිස’ සහල් ආනයනය කරන්නට සිතනවා ද විය හැකි ය!
 
කෙසේ වෙතත්, මෙය මහත් විකාර සිතිවිල්ලකි. රට තුළ වී හිඟයක් නැති වීම, ඊට හේතුවයි. ආණ්ඩුව සහල් තොග ආනයනය කරන්නට යන්නේ, පෞද්ගලික අංශය සතුව පවතින වී තොග පිළිබඳ නිසි තක්සේරුවක් නැතිව ය. ඔවුන් සතුව අති විශාල වී තොග තිබෙන බව නො රහසකි!
 
අනෙක රට තුළ වී හිඟයක් නැති බවට, ශ‍්‍රී ලංකා මහ බැංකුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතන ද පවසා සිටිති. ඔවුන් වාර්ෂිකව රටට ඉදිරිපත් කරන දත්ත වාර්තා මගින් ඒ බව පැහැදිලිව පෙනේ. රට තුළ වී හිඟයක් ඇති බව සත්‍යයක් නම්, එක්කෝ ඔවුන්ගේ දත්ත වාර්තා ‘පට්ට කෙප්ප’ ය. එසේම රටට වී හිඟයක් ඇත්තේ නැති නම්, ආණ්ඩුව දරණ මතය ද ‘පට්ට කෙප්පයකි’. ඒ අනුව, පිටරටින් සහල් ගෙන් වීම ද, ‘පට්ට කෙප්පයක්’ මත පිහිටා ගනු ලැබූ තීන්දුවකි!
 
ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා ආණ්ඩුවට ගත හැකි හොඳම විසඳුම විය යුතුව තිබුණේ, සහල් ආනයනය කරන්නට යාම නොවේ. පෞද්ගලික අංශය සතුව පවත්නා වී තොග, සහල් බවට පත්කර එළියට ඇද දමන වැඩ පිළිවෙලකට තල්ලූවී යාමයි. 1980 දශකයේ පටන් පැවති ආණ්ඩු මෙන්ම වර්තමාන ආණ්ඩුව ද එබඳු පියවරක් තැබුවේ නැත! ඒ වෙනුවට, ‘සහල් ආනයනය’ හොඳම විකල්පය වශයෙන් තෝරා ගත්හ. එසේ වූයේ ඇයි?
 
ආහාර වූ කලී, සකලවිධ ජීව ප‍්‍රාණීන්ගේ පැවැත්ම තීන්දු කරන මහා සාධකයයි. ‘බත’ ලංකා වාසීන්ගේ ජීවිතයයි. රට බත බුලතින් සරු කිරීම, ඉපැරණි රජුන් දවස පටන්ම රාජ්‍ය පාලකයන්ගේ ප‍්‍රමුඛතම කටයුත්ත විය. ‘බත’ සරිකර රට වැසියන්ගේ කුස ගිනි නිවීම, උත්තම කටයුත්තක් ලෙස සැලකිණි. රටට බත සැලසීම, රාජ්‍ය පාලකයන්ගේ ප‍්‍රමුඛතම රාජකාරිය, වැඩ පිළිවෙල මෙන්ම වගකීම ද විය. ‘බත’ පිළිබඳ සකලවිධ පාලන බලය ද පාලකයාට හිමි විය. අතීත රට වැසියෝ කුසගින්නේ නො සිටියහ. ‘බත’ පිළිබ`ද වර්තමාන සංකල්පය එසේ නො වන බව, ජනතාවට දරාගත නො හෙන තරමට සහල් මිල ඉහළ යාමෙන්ම පෙනේ!
 
එහි තේරුම වන්නේ ‘බත’ අරභයා වෙනම වෙනම ‘පාලන තන්ත‍්‍රයක්’ අදෘෂ්‍යමානව ක‍්‍රියාත්මක වන බවයි! එය ‘වී-හාල් රාජ්‍යයකි’. මහජනතාවගේ ‘බත’ තීන්දු කරන්නේ එයිනි.
 
මින් හැඟී යන්නේ කුමක් ද?, 1980 දශකයේ පටන් පැවති ආණ්ඩු මෙන්ම වර්තමාන ආණ්ඩුව ද, අදෘෂ්‍යමාන ‘වී-හාල් රාජ්‍යයේ’ පාලක කාරකාදීනට ‘භය පක්ෂපාතව’ හැසිරෙන බවයි. නැතිනම් ඔවුන් ගෙන් ලැබෙන අප‍්‍රසිද්ධ වාසි, වරදාන, හෝ වෙන යම් ඵල ප‍්‍රයෝජන නිසා, ඔවුන්ගේ ක‍්‍රියාවලියට අත නො තබන බවයි! ‘වී-හාල් රාජ්‍යයේ’ වැඩවලට අත තබා, ‘සල්ලං වෙනවාට’ වඩා, පිට රටින් සහල් ගෙන් වීම යහපත් බව, ඇතැම් විට ආණ්ඩුවේ කල්පනාව වන්නට ද පුළුවන!
 
කොයිහැටි වෙතත්, 1980 දශකයේ පටන්ම වී-හාල් ක්ෂේත‍්‍රයෙහි හට ගත් සිදුවීම් ආන්දෝලනයට තුඩු දුන්නේ ය. එකල පටන්ම වී අස්වැන්නට සාධාරණ මිලක් නො ලැබිණි. වී අලෙවි මණ්ඩලයේ ක‍්‍රියාවලිය කෙරෙහි බරපතල විවේචන එල්ල විය. එහි ගබඩා වසා දමා ඇඟළුම් කම්හල් විවෘත කෙරිණි. වී අස්වනු නෙලන කාලයට සහල් තොග පිටින් ආනයනය කෙරිණි. ගොවීන්ගේ ණය බර අධික විය. වී තොග නිසි මිලකට විකුණා ගන්නට හැකියාවක් නො වීය. වී මෝල් හිමි පෞද්ගලික වෙළෙන්දෝ කුණු කොල්ලයට වී මිල දී ගන්නට පෙළඹුණහ. බැරිම තැන වී ගොවීහු අධික ණය බරින් මිරිකී, සියදිවි නසා ගන්නට වූහ! වර්ෂ 1994 අගෝස්තුවේ බලයට පැමිණි ‘චන්ද්‍රිකා ආණ්ඩුව’ ගොවීන්ගේ ණය කන්ද කපා හැරිය බව ඇත්ත ය. එහෙත් වී කිලෝව සාධාරණ මිලකට විකුණා ගැනීමේ විධිමත් යාන්ත‍්‍රණයක් බිහි කෙරුණේ නැත. ඉක්බිති ‘වී-හාල් රාජ්‍යයේ’ බලය ටිකෙන් ටික ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ ය. පාලකයන් කිසිවෙකු එයට අත තැබුවේ නැත.
 
මේවා දෙස බලන විට පෙනී යන්නේ, අදෘෂ්‍යමානව පැවතුණ ද ‘වී-හාල් රාජ්‍යය’ ඉතාමත් බල සම්පන්න එකක් බවයි. වී මිල දී ගැනීම, මිල නියම කිරීම, සහල් නිපදවීම සහ අලෙවිය අරභයා ඔවුන් එක් කතිකාවකට අනුව හැසිරෙන බව ද පැහැදිලි ය.
අදෘෂ්‍යමාන බලය
එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගමයේ සභාපති, මුදිත පෙරේරා මහතා 2016.12.14 දින ‘රිවිර’ පුවත්පතට පවසා තිබුණු ආකාරයට, දැනට රට තුළ ක‍්‍රියාත්මකව පවතින පෞද්ගලික වී මෝල් සංඛ්‍යාව 200කි. වසර 2000 දී එය වී මෝල් 2000ක් වූ බව ද ඔහු පවසා තිබිණි. පසුගිය කාලයේ සුළු පරිමාණ වී මෝල්  විශාල සංඛ්‍යාවක් වැසී ගිය බව ද නො රහසකි.
 
වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්. බී. දිසානායක මහතා උපුටා දක්වමින් 2016.12.25 දින ආණ්ඩුවේ ‘සිළුමිණ’ පුවත්පත සඳහන්කර තිබුණේ, රට තුළ ඇති සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් සංඛ්‍යාව 307ක් බවයි. 
 
ගණනින් 307ක් හෝ වේවා, 200ක් හෝ වේවා, මේ කියන පෞද්ගලික වී මෝල්, ගොවීන්ගේ වී කෑල්ල දෙක කුලියට කොටා දෙන මෝල් නො වන බව තේරුම් ගැනීම වැදගත් ය. මේවා, වී තොග සකසා, සහල් කොටා, ඇසුරුම්කර, වෙළෙඳපොළට දමන ව්‍යාපාරික ස්ථාන ලෙස සැලකිය යුත්තේ ය!
 
තතු දන්නා අය කියන හැටියට, රට තුළ තිබෙන මහා පරිමාණයෙන් සහල් නිපදවන පෞද්ගලික වී මෝල් සංඛ්‍යාව 50ක් පමණ වේ. එයින් ද විශාලතම ධාරිතාවක් සහිත වී මෝල් සංඛ්‍යාව, අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ය! මේවා ඉතාමත් නවීන තාක්ෂණයෙන් පිරිපුන් වී මෝල් ය. ‘වී මෝල්’ යයි කීවාට, ඒවා ඉතාමත් නවීන  ‘සහල් නිෂ්පාදන යන්ත‍්‍රාගාර’ යනුවෙන් හැඳින්වීමෙහි වරදක් නැත. ඒවායෙහි ඇතැම් හිමිකරුවන් දේශපාලන ක්ෂේත‍්‍රයේ ඉහළ තැන්වලට සම්බන්ධ බව ද, ප‍්‍රකට කාරණයකි. එබඳු තැන්වල රුපියල් කෝටි ගණන් වටිනා වී තොග රඳවා ඇතැයි කියැවේ.
 
ලංකාවේ ප‍්‍රධාන වී වගා දිස්ත‍්‍රික්ක වන, වවුනියාව, අනුරාධපුරය, කුරුණෑගල, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට යන සෑම ප‍්‍රදේශයකම පාහේ මහා පරිමාණ පෞද්ගලික වී මෝල් හිමියන් විශාල පිරිසක් සිටිති. ඔවුන් රුපියල් කෝටි ගණන්වල වී තොග රඳවා ගෙන සිටිතැයි, එම ප‍්‍රදේශවල දී අසන්නට ලැබේ. එළඹෙනු ඇතැයි සිතන ‘නියං සාය’ නිසා, කිසිවෙක් තම වී තොග හොලවන්නේ නැති බව ද කියති.
 
කෙසේ වෙතත්, තමන් සතු වී තොග කොපමණ ද? යන්න, පෞද්ගලික වී මෝල් හිමියන් හෙළිදරව් නො කරති. එසේම ඔවුන් සතු වී හෝ සහල් තොග කොපමණ දැයි හෙළිකර ගැනීමේ නීතිමය ක‍්‍රමවේදයක් ද ආණ්ඩුවට නැත. 1980 දශකයේ පටන් ගෙවී ගිය කාලය පුරාවට කිසිදු ආණ්ඩුවක්, එවන් නීතියක් ගෙන එන්නට උත්සාහ කළේ ද නැත. ඉතින් බලයට එන ආණ්ඩුවලට සිදුව ඇත්තේ, ‘අනුමාන ඉලක්කම්’ මත පදනම් වෙමින් රට තුළ ඇති වී තොග ගණන් බලන්නට ය!
මාස 10කට ඇති තරම් සහල්
සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය, සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය සහ වී තොග රැස් කරන්නන්ගේ සංවිධානය එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවක වාර්තාවක්, 2106.12.20 වැනි දා ‘ඒෂියන් මිිරර්’ වෙබ් අඩවියෙහි පළකර තිබිණි. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, නාමල් කරුණාරත්න මහතා ද ඊට එක්වූ බව එහි දැක්විණි. එහි දී හෙළිදරව්කර තිබුණේ, මහා පරිමාණ වී මෝල් හිමි අතලොස්සක කණ්ඩායමක් සඟවා ගෙන සිටින වී තොගය, මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 15ක් පමණ වන බවයි. මෙය, රටේ සහල් අවශ්‍යතාවයෙන් මාස දහයකට ප‍්‍රමාණවත් වන තරම් වී තොගයකි!
අයුක්ති සහගත ලාභ!
සහල් මිල ඉහළ යන්නට සලස්වා, බත් කන මිනිසුන්ගේ ගෙල මිරිකා දමන ක‍්‍රියාදාමය කොහෙත්ම ශෝභා සම්පන්න එකක් නොවේ! එබැවින් මහා පරිමාණ සහල් යන්ත‍්‍රාගාරධාරී අතලොස්සක ගෙන් විමසිය යුතු ප‍්‍රශ්නයක් තිබේ.
 
දිනකට තුන් වේල නොව, දෙවේලක්වත් බත් කන්නට වත්කමක් නැති මිනිසුන්ගේ කුස ගින්දර ද පරදුවට තබා, ඔබ ඔය උපයන ලාභ යා දෙනවා ද?, එසේම සදාචාර සම්පන්න ද? යන්න, එම ප‍්‍රශ්නයයි.
ඇත්තටම ඔවුන්ගේ ක‍්‍රියාවලියෙහි කුමන හෝ සදාචාර සම්පන්න භාවයක් ඇත්තේ නැත. ඊට හේතු රාශියකි.
 
x-ලංකාවේ වී ගොවීන්ට පොහොර සහනාධාර ලබා දෙන්නේ, 2005 වසරේ සිට ය. සහල් යන්ත‍්‍රාගාරධාරී අතලොස්සක පිරිස අප‍්‍රසිද්ධියේ රඳවා ගෙන සිටින වී තොග බොහොමයක්, පොහොර සහනාධාරය ද ලබමින් නිපදවුණු ඒවා ය. පොහොර සහනාධාර යනු ජනතාවගේ මුදල් ය.
 
x-ගොවීන්ගේ අස්වනු නෙලන සමයට, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීමෙන්, වී මිලදී ගැනීම පිණිස මහා පරිමාණ මෝල් හිමියන්ට ණය මුදල් ලැබෙන්නේ සියයට දෙකේ වාර්ෂික පොලියට ය. අද රුපියල් සීයේ මිලට විකිණෙන සහල් ටික නිපදවා ගන්නට වී තොග මිලට ගන්නට ඇත්තේ, එම සහන  ණය අරමුදල්වලිනි.
 
x-එසේම වාරි ජලය, වගා උපදෙස් සහ විවිධ යටිතල පහසුකම් ආදිය සපයමින් ආණ්ඩුව ද ජාතික වී නිෂ්පාදනයට දායකවී තිබේ.
 
x-ඉහත සඳහන් කළ සියල්ල (සහන) සපයන්නට, රටේ සමස්ත මහජනතාව ද දායකවී ඇත. ඒ, රජයට විවිධ බදු මුදල් ගෙවමිනි.
 
කරුණු මෙසේ හෙයින්, සාධාරණ මිලකට සහල් කිලෝවක් ලබා ගැනීමේ යුක්ති සහගත අයිතියක්  මහජනයාට ද ඇත. අද ඒ අයිතිය උල්ලංඝනයවී ගොසිනි. ආණ්ඩුව ද සැබෑ ප‍්‍රශ්නයට අත නො ගසමින්, අඳුරේ අතපොවමින් සිටින්නේ ය. ඒ හැසිරීම ද යුක්ති සහගත නොවේ.
 
වී අලෙවි මණ්ඩලයේ වී තොග, වී මෝල් පවා නැති අතරමැදියන්ට විකිණීම මෙන්ම සහල් ආනයනයේ දී කොමිස් ගසන්නට අවස්ථාව ලැබීම වැනි චෝදනා ද, මේ දිනවල ආණ්ඩුවට එරෙහිව කරළියට නැගී ඇති බව පෙනෙයි. ඒවා ද බරපතල කාරණා බව සැබෑවකි!
 
එහෙත් සැබෑ ප‍්‍රශ්නය වන්නේ, එය නොවේ. ජාතික වී නිෂ්පාදනයෙන් සියයට 90කටත් වඩා ඩැහැ ගන්නා නවීන සහල් යන්ත‍්‍රාගාරධාරී පෙද්ගලික ව්‍යාපාරිකයන් අතලොස්සක් විසින්, රට වැසි හුදී ජනයින්ගේ ‘බත් පත’ සමග පිළිකුල් සහගත සෙල්ලමක යෙදී සිටීමයි!
2017/01/08.

Monday, January 2, 2017

වී-හාල් රාජ්‍යයේ බලය හිනි පෙත්තට නැගීම!

වී-හාල් රාජ්‍යයේ බලය හිනි පෙත්තට නැගීම!
 





ඡායාරූපය-ශ්‍රීලාල් ගෝමස්

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
නිරිත දිග මෝසම් වැස්ස, 2016 අවුරුද්දේ ද හරිහැටි වැටුණේ නැත. අද 2017 වසරේ ජනවාරි 01 වැනි දා ය. මෙවර ඊසාන දිග මෝසම් වැසි ද තවමත් අහලකවත් නැත්තේ ය! රටට බත හදන්නට දියවර බෙදන වැව් තලාවෝ ද, පුරන්ව ඉරි තැලී ගිය කුඹුරු ද වැසි පතා උඩ බලා ගෙන හූල්ලමින් සිටිති. වැසි ඉල්ලමින් කෙරෙන ආගමික පුද පූජා ගැන ද මාධ්‍ය වාර්තා පළවෙයි. ඉදිරි කාලයේ එන දිගු නියං සමයක් ගැන ද නිතර නිතර කියැවෙයි. මේ අතර, බත් කන මිනිසුන්ගේ සහල් කිලෝවේ මිල රුපියල් 100.00ට ඉහළ නැගලා ය! එය මෑත ඉතිහාසයේ වාර්තා වූ වැඩිම සහල් මිල බවට මහජනයා මැසිවිලි කියති. ඇතැම්හු, ‘මුන් හාල් මිලත් නැග්ගුවා’ යයි ආණ්ඩුවට බණිති! සාප කරති!
 

සමස්තයක් වශයෙන් ගත් කල, ගෙවී ගිය 2016 වසරේ, රටට ඇති තරම් වැසි නො ලැබිණි. ඉතින් මෙවර, එනම් 2016/2017 මාස් කන්නයේ, වී වගා කිරීම් බිඳ වැටී හමාර ය. යාන්තම් වපුරා ගත් කුඹුරුවල ද, අස්වැන්න නෙලා ගැනීම සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නැත.
 

සාමාන්‍යයෙන් යහපත් වර්ෂාවෙන් පෝෂිත ‘මහ කන්නය’ (මාස් කන්නය) වූ කලී, ලංකාවේ වැඩිපුරම වී අස්වනු නිපදවන වගා කන්නයයි. ඉකුත් 2014/2015 මහ කන්නයේ ලංකාවේ වී වගා කෙරුණු සමස්ත භූමිය, හෙක්ටයාර් 7,72,626කි. ඉන් රටට ලැබුණු වී අස්වනු ප‍්‍රමාණය, මෙටි‍්‍රක්ටොන් 28,76,987කි. සාමාන්‍යයෙන් සෑම මාස් කන්නයකින්ම එන වී අස්වැන්න රටට ලැබෙන්නේ මාර්තු මාසයේ සිට ය. මුළු රටම සිංහල හා හින්දු අලූත් අවුරුද්ද කන්නේ ඉන් නිපැයෙන සහලෙනි. 2016 වසරේ නිසි කලට වැසි නො වැටීම නිසා, මෙවර මාස් කන්නය අඩාල විය. ඉතින් ලබන මාර්තුවේ පටන් රටට එබඳු වී අස්වැන්නක් නො ලැබෙනු ඇත්තේ ය! මාස් කන්නයක වී වගාව අඩාල වීම, මහත් අර්බුදයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.
 

එබැවින් 2017 වර්ෂයේ මුල් කාර්තුවේ රටට වී අස්වැන්නක් ලැබේ යයි සිතන්නට ද බැරි ය! වැසි නම්, ලබන මාර්තුව වන තුරු ද නො ලැබෙතියි, දිගු නියං සමයක් ගැන පවසන උදවිය බිය පළ කරති. එය ඇත්තක් වුව හොත්, ඊළඟ යල් කන්නයේ (2017 යල කන්නයේ) ද වී වගා කරන්නට නො හැකි වනු ඇත්තේ ය. එසේ වුව හොත්, 2017 වසරේ රටට ප‍්‍රමාණවත් තරම් වී අස්වැන්නක් නො ලැබෙනු ඇත!
මේ තොරතුරුවල යටි පෙළ අරුත කුමක් ද?, 2017 වසරේ දී රටට ‘අස්වැන්න අර්බුදයක්’ මතුවිය හැකි බව ය. ඉන් රටට උග‍්‍ර සහල් හිඟයකට, උග‍්‍ර කුසගින්නකට මුහුණ දීමට සිදුවන බව ය! නැතහොත් එසේ වන්නට හො`දටෝම ඉඩ ඇති බව ය! එය අවදානමකි.
 

රට තුළ සහල් කිලෝවේ මිල දැනටමත් රුපියල් සියය ඉක්මවමින් තිබේ. එබැවින් ලබන මාර්තුවේ වී අස්වනු ද නො ලැබී යන තත්ත්වයක් තුළ, මහජනයාගේ බත් පතට කුමක් වේ දැයි සිතා ගැනීම පවා අසීරු ය!
 

මෙහි නො පෙනෙන පැත්තක් ද තිබේ. එනම්, 2016 වසරේ රටට ඇති තරම් වැසි නො ලැබුණු බවත් ඇත්ත ය. ලබන (2017* මාර්තු වන තුරු නියං සමයක් එතැයි කීම ද ඇත්තක් වන්නට පුළුවන. එහෙත් මේ දිනවල පවත්නා සහල් මිල ඉහළ යාමේ ප‍්‍රශ්නය වෙනත් කාරණයකි. එය ඉහත විස්තර කළ අනාගත ‘අස්වැන්න අර්බුදයට’ සම්බන්ධයක් ඇති බවක් පෙනෙන්නට නැත! එසේ නම් සහල් මිල මේ තරම් ඉහළ ගියේ ඇයි?
 

එය අතිශයින්ම සාහසික ලෙස ‘බොර දියේ මාළු බෑමකි’! ‘බොර දියේ මාළු (ලාභ?) බෑමෙහි ප‍්‍රතිඵලයකි!
 

වී අලෙවි ප‍්‍රශ්නය සහ
සහල් මෝල් මුදලාලිලාගේ ඒකාධිකාරය

‘සහල් මිල’ යනු අතිශයින්ම සංවේදී කාරණයකි. එය රටේ ප‍්‍රධාන ආහාරය වූ ‘බත’ සමග බැඳී පැවතීම, ඊට හේතුවයි. සහලෙහි මිල, බත් කන මිනිසුන්ගේ පැත්තෙන් ඉතාමත්ම වැදගත් ය. ‘බත’, මුළු රටේම කුසගිනි නිවන මහා සාධකයයි. එසේම, ‘වී කිලෝවට’ ලැබෙන මිල මෙන්ම, සාධාරණ මිලකට වී අස්වනු අලෙවිකර ගැනීමේ ප‍්‍රශ්නය ද ඉතා සංවේදී එකකි. එය වී ගොවියාගේ ආදායමයි. එසේම, වර්ෂාව, ඉඩෝරය, ගංවතුර, මහ පොළොවේ කර්කශ බව, කෘෂි රසායන සමාගම්වල බලපෑම්, නිලධාරීවාදය සහ ගොවි කලාපවල දේශපාලනය ආදී බහුවිධ සාධක සමග හැපී-ගැටී, පොර බදා  ලබා ගන්නා ජීවිතයයි. හය මාසයක් ඇවෑමෙන් එන, ඊළඟ වගා කන්නයේ ආදායම ලැබෙන තෙක් සිය ජීවිත කුටුම්බය ගෙනයාමට ලැබෙන ආර්ථික සම්පතයි. කොටින්ම, එය වී ගොවියාගේ ජීවිතයයි.
එබැවින් ‘වී කිලෝවේ මිල’, ඉන් නිපැයෙන ‘සහල’ (බත) ඔස්සේ මුළු රටටම බලපාන්නේ ය. 


කොයි හැටි වෙතත්, බොහොමයක් කාල වකවානුවල ගොවියාගේ ‘වී කිලෝවට’ සාධාරණ මිලක් ලැබුණේ යයි කියන්නට පුළුවන්කමක් නැත. එසේම, බොහොමයක් අවස්ථාවල  බත් කන මිනිසුන්ගේ ‘සහල් කිලෝවට’ ද කිසියම් සාධාරණ මිලක් ලැබුණේ යයි කියන්නට පුළුවන්කමක් නැත. ‘වී කිලෝව’ මෙන්ම ‘සහල් කිලෝව’ ද කවදත් ‘සාධාරණ ලාභ’ නොව, කූට ලෙස තීන්දු කරන ‘අධික ලාභ’ සහිත වෙළෙඳ බලවේගවලට නතුව තිබුණේ ය.
 

සහල් කිලෝවේ මිල, මේ දිනවල රුපියල් සීය ඉක්මවමින් ඇත්තේ ය.  ඒවා සකසන්නට යෙදුණු ‘වී කිලෝවේ මිල’ කෙසේ වන්නට ඇති ද? අද රුපියල් සීය ඉක්මවා යමින් තිබෙනුයේ, ඉකුත් කන්නවල කිලෝව රුපියල් 28ට, රුපියල් 30ට, 35ට, 36ට මිල දී ගත් වී තොගවලින් නිපැයූ සහල් ය! සාමාන්‍යයෙන්, සහල් කිලෝවක් නිපදවීම සඳහා වී කිලෝ එකහමාරක් අවශ්‍ය වේ. ඒ අනුව බලන විට, වර්තමානයේ වී මෝල් හිමි ව්‍යාපාරිකයන් කොතරම් ලාභ තීරුවකට හිමිකම් කියන්නේ ද? යන්න, අමුතුවෙන් කිව යුතු නොවේ!
 

ලියුම්කරු  1992 වර්ෂයේ පටන්ම, ලංකාවේ වී ගොවීන්ගේ ගැටළු සම්බන්ධයෙන් මාධ්‍යකරණයෙහි යෙදෙන පුද්ගලයෙකි. එකල ද වී ගොවීන්ගේ අස්වනු සාධාරණව අලෙවිකර ගැනීමට හැකි වූයේ නැත. දැනුදු එය එසේම ය. අස්වනු නෙලන සමයට, වී මිල හැමදාමත් පහත වැටෙයි. එහෙත් ඊට සාපේක්ෂව සහල් මිල නම් පල්ලම් බසින්නේ නැත. වී ගොවීහු දිළින්දෝ ය. ඔවුන්ගේ වී ටික තුට්ටුවට දෙකට කිරා ගෙන ගිය හාල් මෝල් මුදලාලිලා නම්, මොන්ටෙරෝධාරීව, මහා මන්දිරධාරීව, සහ සුපිරි ජීවිතධාරීව යෙහෙන් වැජඹෙති. වී ගොවියාට මෙන්ම සහල් පාරිභෝගිකයාට ද කිසි කලෙකත් සාධාරණය ඉටු වුයේ නැත. බලයට එන ආණ්ඩු මෙන්ම බැංකු ආයතන ද මිලියන ගණන් ණය දෙමින් වැඩියෙන් සලකන්නේ ගොවීන්ට නොව, මහා පරිමාණ වී-සහල් මෝල් ව්‍යාපාරිකයන්ට ය.
 

ලියුම්කරු දන්නා කියන කාලයේ පටන්ම, ගොවීන්ගේ වී අලෙවි ගැටළුවට නිසි විස`දුමක් තිබුණේ නැත. බලයේ පැවති ආණ්ඩු වී මිල ස්ථාවර මට්ටමක තබා ගැනීම පිණිස භාවිත කළේ, ‘සහතික මිල’ ක‍්‍රමයයි. එනම් වී කිලෝවක් සඳහා යම් සහතික මිලක් පනවා, ආණ්ඩුවේ පාර්ශවය (වී අලෙවි මණ්ඩලය සහ සමුපකාර සමිති) මගින් සහතික මිලට වී ගන්නට සැලැස් වීම, එහි ක‍්‍රමවේදයයි. එහි දී ආණ්ඩුවේ පාර්ශවය මිල දී ගන්නේ, වෙළෙඳපොළට එන සමස්ත වී අස්වැන්නෙන් සියයට 10ක් තරම් සුළු ප‍්‍රමාණයකි.
 

ආණ්ඩුව මෙසේ කරන විට, ගොවීන් කිසිවෙක් සහතික මිලට වඩා අඩුවෙන් වී අලෙවි කරන්නේ නැත. එබැවින් පෞද්ගලික අංශයට ද සහතික මිල හෝ ඊට වඩා වැඩියෙන් ගෙවා, වී මිල දී ගන්නට සිදු වේ. ඉන් යම් තර`ගකාරිත්වයක් ඇති වන නිසා, වී මිල යම් ස්ථාවර මට්ටමක පැවතුණි. සංකල්පයක් හෝ න්‍යායක් හැටියට එය නරක නැත. එහෙත් ක‍්‍රියාත්මක වීමේ දී හට ගත් විවිධ ගැටළු නිසා, ආණ්ඩුවේ වී මිලයට ගැනීමේ යාන්ත‍්‍රණය හැමදාමත් දුර්වල තත්ත්වයක පැවතිණි. එය හැමදාමත් දැඩි විවේචනයට ලක් විය. කෙසේ වෙතත් එහි වාසිය ලැබුණේ පෞද්ගලික අංශයට ය. ඔවුහු අස්වනු නෙලීම ආරම්භයේ පටන්ම කුණු කොල්ලයට වී මිල දී ගන්නට පෙළඹුණහ. වෙළෙඳපොළට එන සමස්ත වී අස්වැන්නෙන් සියයට 90ක්ම හෝ ඊටත් වඩා මිලයට ගන්නේ, පෞද්ගලික අංශයයි. එනම් පෞද්ගලික වී මෝල් ව්‍යාපාර හිමි, විවිධ පරිමාණයේ ව්‍යාපාරිකයන් ය.
 

2014/2015 මහ කන්නයෙන් නිපැයුණු ලංකාවේ සමස්ත වී අස්වනු ප‍්‍රමාණය, මෙටි‍්‍රක් ටොන් 28,76,987කි. එසේ වුවත් වී අලෙවි මණ්ඩලය මිලයට ගෙන තිබුණේ, ඉන් මෙටි‍්‍රක් ටොන් 1,53,996ක් පමණි! 2015 යල කන්නයේ නියැයුණු ලංකාවේ සමස්ත වී අස්වැන්න මෙටි‍්‍රක් ටොන් 19,42,408කි. ඉන් වී අලෙවි මණ්ඩලය මිලට ගෙන තිබුණේ, මෙටි‍්‍රක් ටොන්  1,75,270ක් පමණි. 2016 යල කන්නයේ රටේ වී නිපැයුම මෙටි‍්‍රක් ටොන් 13,00,000ක් විය. වී අලෙවි මණ්ඩලය ඉන් මිලට ගෙන තිබුණේ වී මෙටි‍්‍රක් ටොන් 18,618ක් පමණි! ‘සහතික මිල’ යාන්ත‍්‍රණය හොඳ සංකල්පයක් වුවත්, එහි ක‍්‍රියාවලිය අතිශයින්ම දිළිඳු බව ඉන් පෙනී යයි! ඉතිරි වී තොග සියල්ල මිලට ගෙන තිබුණේ පෞද්ගලික අංශයයි. එයින් ඔවුන්ට වී සහ සහල් වෙළෙඳපොළ හැසිර වීමේ ඒකාධිකාරී බලය ද හිමි විය.
 

බහුතරයක් වී ගොවීන් යහපත් ආර්ථික මට්ටමක සිටින්නන් නොවේ. ඔවුන් වී වගා කරන්නේ ද ණය-තුරුස් වෙමිනි. ඉතින් වී මිල යහපත් වනතුරු කල් බලා සිටින්නට පුළුවන්කමක් නැත. එබැවින් අඩු මිලට හෝ තම වී ටික විකුණා දමන්නට පෙළඹෙති. මේ වාසිය ඩැහැ ගන්නේ පෞද්ගලික අංශයයි. ඔවුහු වී කිලෝවේ ගැනුම් මිල තීන්දු කරති. අඩු මිලට වී කිරමින් තොග රැුස් කරති. ඉක්බිති ‘වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇති වන පරිද්දෙන්’ සීමිතව සහල් නිපදවා වෙළෙඳපොළට එවති. ඉන් ඔවුන්ට වාසිදායක ලෙස සහල් මිල පාලනය වේ. එබැවින් මේ කපේ දී වත් සහල් කිලෝවේ මිල පහත බසින්නේ නම් නැත. රාජ්‍ය අංශය ක‍්‍රියාත්මක වෙනවා යයි කීව ද, ලංකාවේ වී සහ සහල් වෙළෙඳාම අද පෞද්ගලික අංශයේ මහා පරිමාණ වී මෝල් වෙළෙන්දන් අතලොස්සකගේ අණසකට, ඒකාධිකාරයට නතුව තිබේ. ඔවුන් සතු වී තොග සංචිතය කොතෙක් දැයි දන්නා කෙනෙක් ද නැත.
 

අනෙක්  ඕනෑම භාණ්ඩයක මිල නියම කරන්නේ එහි නිෂ්පාදකයා ය. එහෙත් ගොවීන් නිපදවන වියෙහි මිල තීන්දු කරන්නේ, මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයන් විසිනි. ඒ අය ගෙන් ඇතැමෙක් රටේ දේශපාලනයට ද සම්බන්ධ බව කවුරුත් දනිති. ලියුම්කරු හොඳින්ම දන්නා වර්ෂ 1992න් පසුව පැමිණි කිසිදු ආණ්ඩුවක්, ඔවුන් පාලනය කරන්නට ගියේ ද නැත. ඒ අය හිතූ පරිදි වී තොග රැස් කරති. වෙළෙඳපොළ පාලනය කරති.
 

මේ දිනවල සහල් තිලෝවේ මිල රුපියල් සීයේ කඩඉම ඉක්මවා යමින් තිබෙන්නේ ද, ඔවුන්ගේ ඒකාධිකාරි ක‍්‍රියාකාරිත්වයට බිලි වීමෙනි! වී සහ සහල් හෙවත් ‘රටේ ප‍්‍රධාන ආහාර වේල’ සම්බන්ධයෙන් රාජ්‍ය අංශයේ ක‍්‍රියාවලිය ද ඉතාමත් දිළිඳු තත්ත්වයක පවතින බැවින් ආණ්ඩුවට ද කරන්නට දෙයක් නැති තරම් ය! වී සහ සහල් සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ ඒකාධිකාරිත්වය,  දශක දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ ක‍්‍රමයෙන් වර්ධනය වූවකි. ‘වී සහ සහල් මෝල් මාෆියාව’ යනුවෙන් විරුදාවලී ද ලැබූවකි. රටේ දේශපාලනය දක්වාම අතු ඉති විහිදුණු එකකි. දැන් එය පාලනය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් ද නොවේ!
 

සහල් මිල නැගීමට සැබෑ හේතුව කුමක් ද? 
සාමාන්‍යයෙන් යම් භාණ්ඩයක මිල ඉහළ යන්නේ, එක්කෝ එයට ඇති ඉල්ලූම ඉහළ යාම නිසා ය. නැතිනම් එම භාණ්ඩ හිඟයක් ඇති වන නිසා ය. මේ අනුව  ගත හොත්, දැන් සහල් සඳහා අධික ඉල්ලූමක් හට ගෙන තිබිය යුතු ය. නැතිනම් වෙළෙඳ පොළේ සහල් හිඟයක් හට ගෙන තිබිය යුතු ය. නත්තල සහ ජනේරුව ආදී උත්සව සමය එළඹෙන නිසා, දෙසැම්බරයට සාමාන්‍යයෙන් ආහාර ද්‍රව්‍යවල මිල යම් තරමකට ඉහළ යන්නේ ය. ආහාර ද්‍රව්‍යවලට වැඩි ඉල්ලූමක් ඇති වීම නිසා ඒ තත්ත්වය හට ගනී. සහල් මිල ද වැඩි වේ. එසේ වුව ද මෙවර සහල් මිල ඉහළ නැංගේ අසාමාන්‍ය අයුරිනි. ඇතැමුන් කියන්නේ, රටේ සහල් හිඟයක් පැවතීම නිසා මිල ඉහළ ගිය බව ය. එහෙත් එය පට්ටපල් බොරුවකි. මේ වකවානුවේ රටට සහල් හිඟයක් ඇති වීමට කොහෙත්ම ඉඩක් නැත!
 

2015 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වන ආකාරයට, 2013, 2014 සහ 2015 යන වසර තුනෙහි ලංකාවේ සමස්ත වී නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් 1,28,21,000කි. වී කෙටීමේ දී ලැබෙන සහල් ප‍්‍රමාණය සියයට 60ක් ලෙස ගත හොත්, ඉන් නිපදවිය හැකි සහල් තොගය, මෙටි‍්‍රක් ටොන් 76,92,600කි. ඒ අනුව ගණන් බැලූව හොත්, වසරකට රටට හිමි වුණු සහල් තොගය, මෙටි‍්‍රක් ටොන් 25,64,200කි. මසකට ලැබෙන සහල් පංගුව මෙටි‍්‍රක් ටොන් 2.13,683කි.
 

වර්තමාන ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙටි‍්‍රක් ටොන් 22,00,000කි. ඒ අනුව, මසකට රටට අවශ්‍ය සහල් පංගුව, මෙටි‍්‍රක් ටොන් 1,83,000කි. ඉතින්, 2013, 2014 සහ 2015 යන වර්ෂවල අපට ඇති තරම් සහල් ලැබී තිබේ!
 

ග‍්‍රාමීය ආර්ථික කටයුතු ඇමති, පී. හැරිසන් මහතා පවසන අන්දමට (ශ‍්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය-2016/12/23), 2015/2016 මහ කන්නයේ අපට මෙටි‍්‍රක් ටොන් මිලියන 2.5ක වී අස්වැන්නක් ද, 2016 යල කන්නයේ  අපට මෙටි‍්‍රක් ටොන් මිලියන 1.3ක වී අස්වැන්නක් ද ලැබිණි. ඉතින් 2016 වසරේ රටට සහල් හිඟයක් ඇතිවන්නට ඉඩක් නැතැයි, ඇමතිවරයා ද කියයි.
 

එය ඇත්තකි. රටට සහල් හිඟ වීමට කිසිදු හේතුවක් නැත!
 

එසේ නම් රටට ලැබුණු වී තොගයට සිදු වූයේ කුමක් ද? ඒ ප‍්‍රශ්නයට පිළිතුර ඇත්තේ, රාජ්‍ය අංශය අත නොවේ. වෙළෙඳපොළට එන සමස්ත වී අස්වැන්නෙන්, සියයට 90ක් හෝ ඊටත් වඩා මිලදී ගන්නා පෞද්ගලික අංශය අතේ ය! ඔවුන් සතුව දැවැන්ත වී තොග පවතින බව පැහැදිලි ය. එය කොපමණ දැයි කිසිවෙක් දන්නේ ද නැත. ඔවුන් තම වී තොග පිළිබඳ තොරතුරු හෙළි කරන්නේ ද නැත. පෞද්ගලික වී මෝල් හිමියන් සතු වී තොග ප‍්‍රමාණය කොපමණ දැයි හෙළිදරව්කර ගැනීමට නීතිමය ක‍්‍රමවේදයක් ද රටට නැත. එබැවින් ආණ්ඩුව ද ඒ ගැන නො දනිති. ඔවුන් සහල් මිල පහත දැමීම පිණිස පිටරටින් සහල් ගෙන්වන්නට යෝජනා කරන්නේ, ඇත්තටම රටේ ඇති වී තොගය කොපමණ දැයි නිසි අවබෝධයක් නැතිව ය. ආණ්ඩුව හරියටම දන්නේ, වී අලෙවි මණ්ඩලය ඇතුළු රාජ්‍ය අංශය සතු වී තොග ප‍්‍රමාණය ගැන පමණි.
 

මේ අතර, වී අලෙවි මණ්ඩලය කියන්නේ තමන් සතුව මෙටි‍්‍රක් ටොන් 2,09,000ක වී තොගයක් (සංචිතයක්) ඇති බවයි. සහල් මිල පාලනය කිරීමේ පියවරක් වශයෙන් ඉන් මෙටි‍්‍රක් ටොන් 1,50,000ක් පෞද්ගලික අංශයට විකිණීමට ඔවුන් දැන් කටයුතු කරමින් සිටිති.
 

එය සිදුවෙද්දී, පසුගිය දෙසැම්බර් 27 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී මහා පරිමාණ වී මෝල් හිමියන් වී අලෙවි මණ්ඩලයට චෝදනා කළහ. ඒ, මණ්ඩලය සතු වී තොග කිසිදු වී මෝලක් නැති අතරමැදියන්ට ද නිකුත් කරන බව පවසමිනි. සහල් මිල අඩු කිරිමට නම්, මණ්ඩලය සතු වී තොග වෙළෙඳපොළට දැමිය යුතුය යන්න, ඔවුන්ගේ මතය විය. ප‍්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ වී මෝල් හිමියන් අතර, ඉහළම දේශපාලනඤයෙකුගේ සහෝදරයෙකු ද විය.
 

මහා පරිමාණ වී මෝල් හිමියන් කියන කාරණය, ගැඹුරින් කල්පනා කළ යුතු එකකි. ඔවුන් ඉල්ලා සිටින්නේ, වී අලෙවි මණ්ඩලය හෙවත් රාජ්‍ය අංශය සතු වී තොග කඩිනමින් වෙළෙඳපොළට මුදා හැරිය යුතු බව යි. එවිට සහල් මිල පාලනය වන බව ඔවුහු කියති. මෙය හරියට, ‘තමන්ගේ ඇහේ ඇති පොල් පරාලය නො දකිමින්, අනුන්ගේ ඇහේ ඇති පොල් කෙන්ද ගැන කතා කරනවා’ වැනි ය! ඔවුහු තමන් සතු වී තොග කොටා වෙළෙඳපොළට දැමීම ගැන කතා නොකරති. ඒ වෙනුවට රාජ්‍ය අංශයට ඇඟිල්ල දිගු කරති!
 

යම් හෙයකින් රාජ්‍ය අංශය සතු වී තොග සියල්ලම වෙළෙඳපොළට දැමුවා යයි සිතමු. එවිට හදිසියකට වත් රාජ්‍ය අංශයට වී තොග ඉතිිරි වන්නේ නැත. නියං තත්ත්වය නිසා මෙවර මහ කන්නයේ (2016/2017) වී අස්වැන්න ද ලැබෙතැයි කිසිදු විශ්වාසයක් නැත. ලබන මාර්තු වන තුරු වැසි නො ලැබුණ හොත් 2017 යල කන්නයේ වී වගාව ද නො කෙරෙනු ඇත. එවිට 2017 වර්ෂය තුළ රටට වී අස්වැන්නක් ලැබෙන්නේ නැත. 

යම් හෙයකින් එවැන්නක් සිදු වුව හොත්, ලංකාවේ වී තොග හිමි එකම පාර්ශවය වන්නේ පෞද්ගලික අංශය පමණ ය! එවිට මහේශාක්‍ය අන්දමින් සහල් මිල පාලනය කිරීමේ දුර්ලභ වරම ඔවුන්ට ලැබෙනු ඇත්තේ ය! 

දැනටත් සහල් කිලෝව රුපියල් සියය ඉක්මවමින් තිබේ. එබඳු තත්ත්වයක් ඇති වුව හොත්  සහල් කිලෝවේ මිල කොතැනින් නවතීවි දැයි දන්නේ දෙවියන් පමණි! එබඳු අවස්ථාවක ආණ්ඩුවට ගත හැකි එකම විසඳුම වනු ඇත්තේ, සහල් ආනයනය කිරීමයි.
 

වී ගොවීන්ගේ මෙන්ම සහල් පාරිභෝගිකයන්ගේ ගැටළුව විස`දීමට නම් කුමක් කළ යුතු ද? යන්න, දැන් වැඩි දෙනෙක් විමසන ප‍්‍රශ්නයකි. ඒ ස`දහා ක‍්‍රියාමාර්ග ගණනාවක්ම ගත හැකි ය.  
01-රාජ්‍ය අංශයේ වී මිල දී ගැනීමේ යාන්ත‍්‍රණය තවදුරටත් ශක්තිමත් කළ යුතු ය. පුළුල්කළ යුතු ය. එවිට මීට වඩා වැඩි වී ප‍්‍රමාණයක් කලට වේලාවට මිල දී ගැනීමට හැකි වේ. ඒවා සහල්කර විකිණීම පිණිස මීට වඩා පුළුල් යාන්ත‍්‍රණයක් ඇති කළ යුතු ය.

02-වී ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු ය. ඔහු ආර්ථික වශයෙන් ශක්තිමත් නම්, ගොයම් කපා  පෑගූ හැටියේම වී ටික කාට හෝ විකුණා මුදල් කිරීමේ උවමනාවක් ඇති නොවේ. මේ සඳහා ගොවි නිවෙස්වල හෝ ගම් මට්ටමින්, කුඩා පරිමාණයේ  ගබඩා පහසුකම් පුළුල් කළ යුතු වේ. 

03-වී ගොවියාගේ වියදම් බර හෑල්ලූ කරන්නට හැකි නම්, ඔහුගේ ආර්ථිකය ශක්තිමත් වනු ඇත. 

04-කුඩා පරිමාණ වී මෝල් හිමියන් ශක්තිමත් කළ යුතු වේ.

05-ඒ අතර, පෞද්ගලික අංශය සතු වී තොග ප‍්‍රමාණය කොතෙක් දැයි සොයා බැලීමේ ‘නීතිමය රාජ්‍ය යාන්ත‍්‍රණයක් ’ඇති කළ යුතු ය. එවිට කිසිවෙකුට සාහසික ලෙස සහල් වෙළෙඳ පොළෙහි ගෙල මිරිකීමට නො හැකි වනු ඇත්තේ ය.
2017/01/02.
 

මූලාශ‍්‍ර
01-ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව-2015.
02-ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව/වී පිළිිබඳ සංඛ්‍යාලේඛන.
03-ශ‍්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය-2016/12/23-අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප‍්‍රකාශය.
04-වී අලෙවි මණ්ඩලයේ නිල වෙබ් අඩවිය.