Total Pageviews

Wednesday, April 11, 2018

සීගිරි ඉතිහාසයේ මෑත කතාව-03


සීගිරි ඉතිහාසයේ මෑත කතාව-03


සීගිරියේ පුරාවිද්‍ය කැනීම් සහ සංරක්‍ෂණ කටයුතු ආරම්භකර අප‍්‍රියෙල් 15 දිනට වසර 124 කි. මේ ලිපි පෙළ ඒ නිමිත්තෙනි.
ප්‍රංශයෙන් සීගිරි ගලේ මුද්දරයක්



(සටහන - විශ‍්‍රාමික පුරාවිද්‍යා නිලධාරි, සීගිරියේ - ජයන්ත විජේරත්න හේරත්)

(ඡායාරූප-ජයන්ත විජේරත්න හේරත් සහ අන්තර් ජාලයෙනි)
 
මගේ මතකයට අනුව සීගිරියේ අප්සරා සිතුවම් 21 කි. එහෙත් දැන් ඇත්තේ 19 කි. ඒ කතාව පසුවට තබා, සීගිරි චිත‍්‍ර ගැන පැන නැගුණ මතවාද කිහිපයක් ද කතා කරමු.

චිත්‍ර ඇද ඇත්තේ, සීගිරි ගලේ බටහිර පැත්තේ ගුහාවක් වැනි ඇතුළට නෙරා ගිය කොටසක ය. බෙල් මහතා චිත‍්‍ර සොයා ගන්නා අවස්ථාවේ එහි චිත්‍ර 22ක් තිබූ බව සඳහන් වේ. අතීතයේ මෙයට වඩා චිත‍්‍ර  සංඛ්‍යාවක් තිබෙන්නට ඇති බව විද්වත් මතය යි. එය ගණනින් 500ක් පමණ වන්නට ඇති බව යි. ඔවුන් එසේ සඳහන් කරන්නේ 08 වැනි සහ 10 වැනි සියවස්වල සීගිරි කැටපත් පවුරේ ලියවුණු කවි පාදක කර ගෙන ය. එදා සීගිරිය නැරඹූ රසිකයන්ට දක්නට ලැබුණ සිතුවම් අද දක්නට නො ලැබේ. 1907 වසරේ දී සීගිරිය නැරඹීමට පැමිණි ජෝන් ස්ටීල් සඳහන් කරන්නේ, මුළු සීගිරි ගල වටේ ම සිතුවම් තිබෙන්නට ඇති බවත්, එය සමහරවිට මුළු ලෝකයේ ම එදා තිබුන විශාලතම චිත‍්‍ර ශාලාව වන්නට ඇති බවත් ය. ජෝන් ස්ටීල් එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයා ය.

සීගිරි ගල නැරඹීමට පැමිණි නූතන විද්වතුන් සීගිරි විත‍්‍ර ගැන විවිධ අර්ථ කථන දක්වති. බෙල් මහතා මෙම චිත‍්‍ර සම්බන්‍ධයෙන් මුල් ම මතය ඉදිරිපත් කරමින් කියා සිටියේ, සීගිරියට උතුරු දෙසින් පිහිටි පිදුරංගල විහාරය වැඳ වන්දනාමාන කිරීමට යන කාශ්‍යප රජතුමාගේ බිසොවුන්, දියණියන් සහ පරිවාර කාන්තාවන් ඉන් පිළිබිඹු වන බවයි. . බී. හැවල් මහතා සඳහන් කරන්නේ, කාශ්‍යප රජතුමාගේ බිසොවුන් සහ සේවිකාවන්, තුසිත දෙව් ලොව පිහිටි විහාරයක් වැඳීමට යන වගයි. මෙම සිතුවම්වලින් අදහස් කරන්නේ මේඝ ලතා සහ විජ්ජුලතාවන් (වැස්ස සහ විදුලිය ) බවට තර්ක කළේ මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් ය. වියත් ලේඛක මාර්ටින් වික‍්‍රමසිංහ සූරීන්, චිත්‍රවල දැක්වෙන්නේ ජල කි‍්‍ර‍්‍රඩා කිරීමට යන කාන්තාවන් පිරිසක් බවට මතයක් පළ කරත් දී, ආනන්ද කුමාරස්වාමි කියන්නේ මේවා අප්සරාවන්ගේ සිතුවම් බව යි. මහාචාර්ය අභය ආර්යසිංහ මහතාගේ මතය වූයේ, සිතුවම්වලින්  කාශ්‍යප රජතුමාගේ දියණියන් වූ බෝධි සහ උත්පලවන්නා පෙන්නුම් කරන බව ය. ආචාර්ය රාජා ද සිල්වා මහතා, මෙම චිත‍්‍රවලින් ප‍්‍රකටවන්නේ අවලෝකිතේශ්වර බෝධිසත්ත්‍වයාණන්ගේ ප‍්‍රියම්භිකාව වූ තාරා දේවියගේ බවට මතයක් පළ කරත් දී, ආචාර්ය නන්දදේව විජේසේකරයන් සඳහන් කරන්නේ, කාශ්‍යප රජතුමාගේ මරණයෙන් තැවෙන රජතුමාගේ බිසවුන්, මේ ආකාරයෙන් සිතුවම් කරන්නට ඇති බවයි.

ප‍්‍රථම වරට සීගිරි ගලෙහි රුව මුද්දරයකට නැගුණේ 1938 වසරේ දී, එනම් යටත්විජිත පාලන සමයේ ය. මුද්දරයේ එක් පසෙක දැක්වෙන්නේ එවකට එංගලන්තයේ හයවන ජෝර්ජ් රජුගේ රුව වන අතර, එහි වටිනාකම ශත 10 කි. මෙම මුද්දරය නිල්පාටින් යුක්ත ය. ඉන්පසු අවස්ථා කිහිපයකදී ම සීගිරි බිතු සිතුවම් ද මුද්දරවලට නැගුණ අවස්ථා ඇත. ශී‍්‍ර ලංකාවට අමතරව, තවත් රටවල් කිහිපයක් ම සීගිරි ගල සහ සිතුවම් සහිත මුද්දර නිකුත්කර ඇත. ප‍්‍රංශය එළි දක්වා ඇති සීගිරි ගලේ රුව සහිත මුද්දරය යූරෝ ශත 95 කි. නිකුත්කර ඇති මුද්දර ප‍්‍රමාණය ලක්‍ෂ 06ක් බව කියති.

සීගිරියේ බිතු සිතුවම් දැකගන්නට ඇත්තේ මෙම චිත්‍ර ගුහාවේ පමණක් නොෙව්. තවත් ගුහා බොහෝමයක සිතුවම්වල ශේෂයන් දැක ගන්නට ඇත. නයිපෙණ ගුහාව, දැරණියගල ගුහාව, පොකුණුගල ආදි ගල් ලෙන්වල ශේෂ වූ සිතුවම් අදටත් දැක ගැනීමට පුළුවන.

සීගිරිය ලෝක පුදුමය නැරඹීමට ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය නායකයන් ඉකුත් වසරවල පැමිණි බව මතකයට නැ‍ෙඟ්. 1954 වසරේ දී දෙවැනි එළිසබෙත් මහ රැජින ද පැමිණියේය. පැමිණි කාල වකවානු මතකයේ නැතත්, අයුබ්ඛාන්, මාර්ෂල් ටීටෝ, බුරුමයේ සංඝරාජ හිමි සහ තවත් රාජ්‍ය නායකයන් බොහෝමයක් ද, ප‍්‍රථම වරට සඳ තරණය කළ නීල් ආම්ස්ට්‍රෝන් ප‍්‍රමුඛ සඳ තරණය කළ ගගනගාමීන් තිදෙනා ද සීගිරිය නැරඹීමට පැමිණියහ. ඔවුන් දැක බලා ගැනීමේ භාග්‍යය මට ද හිමි විය. මම එවකට පාසැල් සිසුවෙකි

සීගිරි චිත‍්‍ර ගැන නොයෙක් මත පළවෙත් දී, ඒවා ගැන දුක්මුසුම පුවත අසන්නට ලැබෙන්නේ මෙයට වසර 51කට පෙර ය. එනම් 1967 ඔක්තෝබර් 14 වැනි දින ය. කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් සීගිරි චිත‍්‍ර මත කොළ පාට තීන්ත වර්ගයක් ආලේප කර තිබූ අතර, තවත් චිත‍්‍ර 02ක් තියුණු ආයුධයකින් ඇන විනාශ කර තිබීම, එම පුවත යි. සීගිරි චිත‍්‍රවලට හානි කළ උන් තවමත් අභිරහස කි. සිදු කරන ලද අපරාධය ගැන පරික්‍ෂා කිරීමට එකල කොමිෂමක් ද පත් කළ බව මතකයට නැෙග්. එහෙත් මේ ගැන විවිධ කතා අසන්නට ලැබුණේ ඒ දවස්වල ම ය. ඒවා කට කතා පමණක්ම නො වුණත්,  සියල්ල සිදුවී හමාර ය. ඒ වකවානුවේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූයේ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා වූ අතර, අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු භාර ඇමතිවරයා වූයේ, අයි.ඇම්.ආර්.. ඊරියගොල්ල මහතා ය. චිත‍්‍ර විනාශය සම්බන්‍ධයෙන් අමාත්‍ය ඊරියගොල්ල මහතා ගොඩකුඹුර මහතාට සුද්ද සිංහලෙන් ඇමතූ බවට ප‍්‍රවෘත්තිය, එවකට ප‍්‍රසිද්ධ රහසක් විය.

තීන්ත තවරනු ලැබූ සිතුවම්වල තීන්ත ඉවත් කිරීමට ඇමරිකාවේ ස්මිත් සෝනියන් කෞතුකාගාරය ද විශාල සහයෝගයක් දැක්වී . බිතු සිතුවම් සංරක්‍ෂණය කිරීමට හැකියාවක් ඇති හොඳම විශේෂඥයාගේ සේවය ලබා දෙන ලෙසට අමාත්‍ය ඊරියගොල්ල මහතා එම ආයතනයට කේබල් පණිවිඩයක් යොමු කළේ . ඒ අනුව රෝමයේ පිහිටුවා ඇති සංස්කෘතික වස්තූන් හැදෑරීමේ හා සංරක්‍ෂණය කිරීමේ අන්තර් ජාතික මධ්‍යාස්ථානය (ICCROM) විසින්, තහවුරු කිරීම් පිළිබඳ විශේෂඥයකු වූ ඉතාලි ජාතික ලූසියානෝ මරන්සි මහතා සීගිරි චිත‍්‍ර සංරක්‍ෂණය තෝරා ගත් අතර, ඔහු 1967.10.22 දින ලංකාවට පැමිණියේ . (පුරාවිද්‍යා කොමසාරිස්ගේ 1967 / 68 වර්ෂය සඳහා වූ පාලන වාර්තාවේ  23 - 26 පිටුවල මේ සම්බන්‍ධ වාර්තාව ඇත.)

ලූසියානෝ මරන්සි මහතා ලංකාවට පැමිණෙන අවස්ථාව වන විටත්, විනාශ කළ බිතු සිතුවම්වලින් අඩක් පමණ පිරිසිදු කිරීමට ආචාර්ය රාජා ද සිල්වා මහතා සමත් වියරාජා ද සිල්වා මහතා එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනාගාර අංශය භාර සහකාර කොමසාරිස්වරයා ය. සීගිරි ඛේදවාචකයෙන් අනතුරුව චාල්ස් ගොඩකුඹර මහතා විශ‍්‍රාම ගිය අතර නව පුරාවිද්‍යා කොමසාරිස් වශයෙන් පත් වූයේ ආචාර්ය රාජා ද සිල්වා සූරීන් ය. ඔහු දක්‍ෂ රසායන විද්‍යාඥයෙකි. එපමණක් නොව, පුරාවිද්‍යා කොමසාරිස්වරයෙක් වශයෙන් ඉතාමත් දක්‍ෂ පරිපාලකයෙක් ද විය. ආචාර්ය ලූසියානෝ මරන්සි මහතා මෙයට වසර කිහිපයකට පෙර මිය ගිය බව අසන්නට ලැබිණි.

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා

1899 වසරේ දී මරේ මහතා විසින් සිදු කළ ටිෂූ කඩදාසි මත චිත‍්‍ර පිටපත් කිරීමේ දී, සමහර චිත‍්‍රවල කොටස් ගැලවී ගිය නිසා, බෙල් විසින් එම ගැලවුණු කොටස් නැවත වර්ණ ගල්වා ඇත. ආචාර්ය ලූසියානෝ මරන්සි සහ ආචාර්ය රාජා ද සිල්වා යන මහත්වරුන් විසින් කරන ලද සීගිරි චිත‍්‍ර රැුක ගැනීමේ මෙහෙයුමේ දී, බෙල් විසින් ආලේප කරන ලද වර්ණයන් ද ඉවත් වීම නිසා පෙර තිබුණාටත් වඩා පැහැදිලි චිත‍්‍ර සමූහයක් මතුකර ගැනීමට හැකි විය!

සීගිරි චිත‍්‍රවලට සිදු කළ හානිය කන වැකූ මහාචාර්ය පරණවිතාන සූරීන් හඬා වැලපුණු බවත්, මියෙන තුරා නැවත සීගිරියට නො යන බවට ප‍්‍රකාශ කළ බවත් ඒ දිනවල අසන්නට ලැබුණු තවත් කණගාටුදායක පුවතක් විය. එතුමා මියෙන තුරු සීගිරියට නැවත පැමිණියේ ද නැත. සීගිරිය එතුමාගේ ජීවිතය හා සම විය. සීගිරි චිත‍්‍ර විනාශය සම්බන්‍ධයෙන් ඒ දිනවල බොහෝ දෙනෙකු ගෙන් ප‍්‍රශ්ණ කළ අතර, වැඩි දෙනෙකු පොලිසියෙන් ගුටි කෑ බව ද අසන්නට ලැබුණි. මගේ මතකය අනුව, මා දැනුවත්ව මිනිසකුගේ අතුරුදහන්වීමක් අසන්නට ලැබුණේ සීගිරි ඛේදවාචකයත් සමගිනි. , එවකට සීගිරියේ පුරාවිද්‍යා වැඩ බිමෙහි සේවය කළ මුරුගන් නැමති ද්‍රවිඩ ජාතික සේවකයා අතුරුදහන් වීම යි. ඔහුට සිදු වූයේ කුමක් දැයි අදටත් අභිරහස කි. සීගිරි සිද්ධිය සම්බන්‍ධයෙන් ඔහු යමක් දැනුවත්ව සිටින්නට ඇතැයි ඒ දිනවල ප‍්‍රදේශයේ පැතිර ගිය ප‍්‍රසිද්ධ රහස කි.

සීගිරි චිත‍්‍ර විනාශ කිරීම ද සීගිරියේ මෑත ඉතිහාසයට එකතුවන සිද්ධියකි. විනාශ කළ සීගිරි චිත‍්‍ර රසායන යොදා සංරක්‍ෂණයකර නැවත මහජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා පවත්වන ලද උත්සවය ද ඉතිහාස ගත වේ. 1967.05.09 වන දින සීගිරි ගල පාමුල පිහිටි පැරණි රාජ සභා මණ්ඩපයේ දී (ආසන ගල) මහජනතාව වෙනුවෙන් රාජකීය උත්සවයක් පැවැත් වූ අතර, සීගිරි චිත‍්‍ර ගුහාව යළි විවෘත කළේ අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු භාර ඇමති අයි.ඇම්.ආර්.. ඊරියගොල්ල මහතා ය. දකුණු දොරටුවේ සිට රාජ සභා මණ්ඩපයට ආරාධිත වූ විශේෂ අමුත්තන් කැඳවා ගෙන ආවේ පංච තූර්ය නාදයෙන්  සහ උඩරට පහත රට නැටුමෙන් සමලංකෘත වූ, අලංකාර දර්ශනීය පෙරහැරකින් ය. සීගිරි කාශ්‍යප රජ දවසින් පසු, රාජකීය සභා මණ්ඩපයේ පවත්වනු ලැබූ ප‍්‍රථම රාජකීය උත්සවය මෙය නිසා එය ද සීගිරියේ මෑත ඉතිහාසයට එක් වේ.


සීගිරියේ පැවති තවත් රාජකීය උත්සවයක් සහ එදින පස්වරුවේ පැවති රසවත් කවි මඬුවක් පැවැති ගැන ද මතකයට නැෙග්. සීගිරියට පමණක් නොව ශී‍්‍ර ලංකාවේ පුරාවිද්‍යා ක්‍ෂෙත‍්‍රයටම අනුපමේය මෙහෙවරක් සිදු කළේ ලංකාවේ ප‍්‍රථම සිංහල පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් බව අවිවාදිත ය. එතුමා විසින් කරන ලද සේවයට උපහාරයක් වශයෙන් එතුමාගේ පිළිරුවක් සීගිරිය පුරාවිද්‍යා කෞතුකාගාර භූමියේ ඉදි කරන ලද්දේ පරණවිතාන ගුණානුස්මරණ කමිටුව යි.

එතුමාගේ භෂ්මාවශේෂ වසර ගණනාවක් ම දමා තිබුණේ කොළඹ මල් ශාලාවක ය. ෙකමිටුවේ මැඳිහත්වීමෙන් සීගිරිය පුරාවිද්‍යා කෞතුකාගාර භූමියේ එතුමාගේ ප‍්‍රතිමාවක් ඉදිකර, එතුමාගේ භෂ්මාවශේෂ රිය පෙරහැරකින් සීගිරියට ගෙනවිත් ප්‍රතිමාවේ විශේෂ කුටියක තැන්පත් කළේ, එතුමා මිය ගොස් වසර හයක් සපිරුණ දින  හෙවත් 1978.12.26 වැනිදා යඑවකට සංස්කෘතික කටයුතු ඇමති ඊ. එල්. බී. හුරුල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති රාජකීය උත්සවය අවසානයේ එවකට විසූ කොළඹ යුගයේ කවීන්ගේ කවි සැඳෑවක් ද පැවැත් වූ බව මතකයට නැගේ. එහි දී  යූ. . ඇස්. පෙරේරා, සද්ධාමංගල කරුණාරත්න, විමලසිරි පෙරේරා, එච්. එම්. කුඩලිගම පී. බී. ල්විස් පෙරේරා ආදි කවීන් රැසක් කවි සැඳෑව කවියෙන් රසවත් කළහ. මෙය ද සීගිරි ඉතිහාසයේ මෑත යුගයේ නො මැකෙන දිනය කි.
(මතු සම්බන්ධයි)

2018.04.11

1 comment: