Total Pageviews

Friday, August 19, 2016


මෑත ලංකාවේ කෙරුණු 

විශාලතම ජල අරගලය-ලූණුගම්වෙහෙර
 

(ඡායාරූපය අන්තර්ජාලයෙනි)
(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
කැන්ටර් ලොරි කෑල්ලක බැඳ තිබූ ‘ලවුඩ්ස්පීකරය’ උස් හඬින් නින්නාද විය.
 

‘සුළු මොහොතකට හැම දෙනාම නිශ්ශබ්ද වෙන්න’ ඉන් හඬ නැගිණි. එය ග‍්‍රාම නිලධාරී පී. මුතුමාල මහතාගේ කටහඬ ය!
 

මැණික් ගං ඉවුරේ පැරණි ‘අලි කාණුව’ අසලට රැස්ව සිටි හාර දහසකට අධික ගොවීන් පමණක් නොව, යාල මහ වනය පවා සැණෙකින් නිහඬ වූවා වැන්න.
 

‘අපි දැන් ඇළ කැපීමේ ශ‍්‍රමදානය ආරම්භ කරන්නයි යන්නේ. අපි මෙතැනින් වැඩ පටන් ගන්නවා. අලි කාණුව දිගේ ගියාම, එක් එක් ගොවි සංවිධානවලට වෙන් කරලා තියෙන කොටස් පෙනේවි. දැන් වැඩ ආරම්භ කළාට පස්සේ දහවල් කෑම කාලා, ඒ තැන්වලට ගිහින් වැඩකර ගෙන යන ලෙස ඉල්ලා සිටිනවා. අවශ්‍ය මගපෙන්වීම් කැලේ ඇතුළෙදි ලැබේවි. දැන් අපි මෙතැන සිටින සියලූම දෙනා අතරින්, ලූණුගම්වෙහෙර ව්‍යාපාරේ පැරණිම ගොවියාට මෙතැනට ආරාධනා කරනවා, මුලින්ම පස් පිඩැල්ලක් කපලා මැණික් ගඟ ලූණුගම්වෙහෙරට හැරවීමේ කටයුත්ත ආරම්භ කරන ලෙස’, මුතුමාල මහතාගේ හඬ වනය පුරා ගිගුම් දුන්නේ ය.
 

එන්ඩ, එන්ඩ, මහ ගොවියා එන්ඩ’ රන්ජිත් කුමාරසිංහ මහතා ගං ඉවුරේ සිට අඬ ගැසුවේ කඩිනමිනි.
 

‘මහ ගොවියා’ අනිකෙකු නොව, ‘තිස්සවැවේ කලූ මහත්තයා’ ය. වඩාත් නිවැරදිව කියනවා නම්, පී. ඒ. ධර්මදාස (71) ගොවි මහතා ය.
 

ගං ඉවුරේ සිටි ගොවීන් පිරිසක් ගෙදරින් ගෙනා ගොක් අත්තක් වියා, පහන් පැලක් සකස්කර තිබිණි. ඔවුහු මහත් බැතියෙන් එය දැල්වූහ. ගඟ හැරවීම සාර්ථක වේවා යයි ප‍්‍රාර්ථනා කළහ. තිස්සමහාරාම, ඇල්ලගල, ක්ෂේත‍්‍රාරාම විහාරාධිපති, දෙනගම ඥණරතන හිමියන් ප‍්‍රමුඛ වනයට මැඩමකර සිටි මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනයක් ඇරඹූහ.
 

පී. ඒ. ධර්මදාස මහ ගොවියා, ඒ වන විට හැත්තෑ එක් හැවිරිදියෙකි. ඔහු තිස්සවැව ගොවි ජනපදයට පැමිණ ඇත්තේ 1949 වර්ෂයේ දී ය. ඔහු ගං ඉවුරෙන් බැස්සේ කුමාරසිංහ මහතාගේ අතේ එල්ලී ගෙන ය. හෙතෙම මුලින්ම සාර මහ පොළොවටත් දෙවනුව, මැණික් ගඟේ රන් දියවරටත් වැඳ නමස්කාර කළේ ය. ඊළඟට උදැල්ලක් ගෙන ඇළ කැපීම ආරම්භ කරමින්, පස් පිඩැල්ලක් කපා දැම්මේ ය!
 

රැස්ව සිටි හාර දහසක් පමණ ගොවීහු එකෙණෙහි සාදුකාර දුන්හ. ඊළඟට මහ වනය ගිගුම් දෙන පරිද්දෙන් අත්පොලසන් දුන්හ! ප‍්‍රීති ඝෝෂා කළහ. ඒ වන විට වේලාව දහවල් 1.15 පමණ වී තිබිණි.
 

‘මාත් ආවෙ ශ‍්‍රමදානෙට. මං මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ’, මැණික් ගඟ හැරවීමේ කටයුත්ත ඇරඹීමෙන් පසුව ගං ඉවුරට ගොඩවූ කලූ මහත්තයා පැවසුවේ කඳුළු සලමිනි!
 

මෙය ප‍්‍රබන්ධ කතාවක් නොවේ. ලියුම්කරු මෙම අත්දැකීම ලැබුවේ, 2002 වසරේ සැප්තැම්බර් මස 14 වැනි දා යාල මහ වනයේ, ගෝනගං ආරට නුදුරු මැණික් ගඟ ඉවුරේ දී ය. එනම්, කිරිඳි ඔය ව්‍යාපාරයේ ගොවීන් හාර දහසකට අධික පිරිසක් එක්ව බලහත්කාරයෙන් මැණික් ගඟ හරවන්නට ගිය දවසේ ය.
 

එය මෑත ඉතිහාසයේ ලංකාවේ කෙරුණු විශාලතම, ප‍්‍රබලතම ගොවි ශ‍්‍රමදානයයි. ප‍්‍රබලතම ගොවි සටනයි. සටනට මුල පිරුණේ වසර ගණනක් මුළුල්ලේ ලූණුගම්වෙහෙර ගොවීන් මුහුණ දුන් වාරි ජල ගැටළුවයි. ඔවුහු එදා යාල වනයට වැදුණේ, ‘වතුර අරන් මිසක් මැරුණත් ආපහු නම් එන්නෙ නෑ’ යයි තිර හඬින් පවසමිනි.
 

අවසන, රටේ පාලකයන්ට ඇස්-කන් පියා ගෙන සිටීමට නො හැකි විය!
මේ කෙටි සටහන, ඔවුන්ගේ සටන පිළිබඳවයි.
 

000000000000000000000000000000000000
කිරිඳි ඔය හරස් කරමින් වර්ෂ 1985 දී ඉදි කෙරුණු ලූණුගම්වෙහෙර ජලාශය, අක්කර අඩි 1,83,795ක ජල ධාරිතාවකින් සමන්විත වූවකි. එය පිහිටියේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ය. ජලාශයෙන් දියවර සැපයෙන සමස්ත භූමිය අක්කර 25,000කි.
 

ඒ අනුව, එහි ‘නව ප‍්‍රදේශයෙහි’ (වම් ඉවුර) වූ ගොවි බිම් ප‍්‍රමාණය අක්කර 15,000ක් විය. දකුණු ඉවුර හෙවත් පැරණි ප‍්‍රදේශයෙහි (තිස්ස වැව, දෙබරවැව, වීරවිල වැව, පන්නෙගමුව වැව සහ යෝධ වැව යන පැරණි පංච මහා වැව් යටතේ ඇති වගා භූමිය) පිහිටි ගොවි බිම් ප‍්‍රමාණය අක්කර 10,000ක් විය. මේ සියල්ල ‘කිරිඳි ඔය ව්‍යාපාරය’ හෙවත් ‘ලූණුගම්වෙහෙර ව්‍යාපාරය’ යනුවෙන් හැඳින්විණි.
 

සුභවාදී අපේක්ෂාවන් කොතෙක් පැවතිය ද, ජලාශය විවෘත වූ දා පටන්ම එහි වැසි ගොවීන්ට උග‍්‍ර ජල හිඟයකට මුහුණ දීමට සිදු විය. එබැවින් අක්කර 25,000ක සමස්ත වගා භූමිය එකවර වගා කිරීමට තරම් ජල සම්පතක් ඔවුන්ට නො ලැබුණේ ය. ලූණුගම්වෙහෙර ජලාශයට අපේක්ෂා කළ තරම් ජලය නො ලැබීම, ඊට හේතුව විය.
 

මේ හේතුව නිසා, වාරිමාර්ග බලධාරීන්ගේ උපදෙස් පරිදි ‘තට්ටු මාරු’ හෙවත් ‘රෝස්ටර් ක‍්‍රමයකට’ සිය වගා කටයුතු මෙහෙයවා ගන්නට ගොවීන්ට සිදු විය. ඒ අනුව බොහොමයක් වගා බිම්වලට වාරි ජලය සැපයුණේ, වගා කන්න හතරකට හෝ හයකට වරක් පමණි!
 

එබැවින් ලූණුගම්වෙහෙර ව්‍යාපාරය පුරා උග‍්‍ර ආහාර හිඟයක් මෙන්ම දරිද්‍රතාවයක් ද පැතිර යන්නට විය. වාරි ජලය ඉල්ලා කෙරෙන ජල සටන් ද රාශියක් ඇති විණි. ජලය අරභයා ‘නව’ සහ ‘පැරණි’ ප‍්‍රදේශ අතර ද නො හොඳ නෝක්කාඩු හට ගත්තේ ය. ගොවීන් සහ වාරිමාර්ග බලධාරීන් අතර ද ගැටුම් ඇති විය. ගොවීන් දිගින් දිගටම ඉල්ලා සිටියේ, නුදුරින් ගලා බස්නා ‘මැණික් ගඟ’ හැරවීමෙන් හෝ ලූණුගම්වෙහෙරට අතිරේක ජල දහරාවක් ලබා දී, තම කුසගිනි නිවන ලෙසයි. ඔවුහු වසර 17ක් තිස්සේ වාරි ජලය සඳහා සටන් කළහ. එහෙත් රටේ පාලකකාරකාදීන් ඔවුන්ගේ ජල ප‍්‍රශ්නයට විසඳුමක් දීමට අපොහොසත් වූහ.
 

ලූණුගම්වෙහෙර ව්‍යාපාරයේ ඇති විශාලතම ගොවි සංවිධානය වූයේ, ‘කිරිඳි ඔය ව්‍යාපාර ඒකාබද්ධ ගොවි සමිති සංගමයයි’. එසේම ‘ගිරුවාපත්තුව ඒකාබද්ධ ගොවි සංවිධානය’ ද පැවතිණි. ඔවුන් කොතෙක් හඬ නැගුව ද, ලූණුගම්වෙහෙර ජලාශයේ ජල හිඟය දුරුකර දීමට රටේ පාලකයන් කටයුතු නො කළහ. 2002 වර්ෂය වන විට, මෙසේ උග‍්‍ර ජල හිඟයට මුහුණ දී සිටින ගොවි පවුල් සංඛ්‍යාව 15,000ක් ලෙස හඳුනා ගෙන තිබිණි. ඔවුන්ගේ පීඩනය දිනෙන් දින මෝරා යමින් පැවතිණි.
 

2002 වසරේ සැප්තැම්බර් මස 14 වැනි දා, ලූණුගම්වෙහෙර ගොවීන්ගේ වසර 17ක ජල පීඩනය පුපුරා ගියේ මුළු රටම මහත් ආන්දෝලනයට පත් කරමිනි. එය, ලූණුගම්වෙහෙර ගොවීන් 4000කට අධික පිරිසක් එක්ව යාල මහ වනයට පිවිස, බලහත්කාරයෙන්ම මැණික් ගඟ හරවන්නට වේගවත් උත්සාහයක යෙදීමේ සිද්ධියයි. එය ඔවුන් වසර 17ක් තිස්සේ ඉවසලා, ඉවසලා, බැරිම තැන ගත් තීන්දුවක් ලෙස හැඳින්විණි.
 

එහි දී ගොවීන් ක‍්‍රියාත්මක කරන්නට ගිය සැලසුම කෙටියෙන් මෙසේ ය.
යාල ජාතික වනෝද්‍යානයේ, ගෝණගං ආර  ප‍්‍රදේශයට නුදුරු ‘දෙමෝදර’ නම් ස්ථානයකින් තාවකාලික ‘වැලි කොට්ට’ බැම්මක් තනා මැණික් ගඟ හිර කිරීම, සැලසුමෙහි මුල් අදියරයි. එතැනින් ලැබෙන ජල කඳ, අලූතින් කණින ඇළ මාර්ගයක් ඔස්සේ ‘හංගුණේ ආර’ නම් ජල මාර්ගයකට ගෙන එයි. ‘හංගුණේ ආර’, කිරිඳි ඔයට වැටෙන කුඩා අතු ගංගාවකි. හැරවෙන ජලය එයින් ලූණුගම්වෙහෙර ජලාශයට ලැබේ. ජලය ගෙන යාමේ කටයුත්ත සඳහා මිනින්දෝරු සැලසුමක් ද සකස්කර තිබිණි. මේ ආකාරයට තාවකාලික වැලි කොට්ට බැම්මක් මගින් හරවා ගැනෙන්නේ, වර්ෂා සමයේ දී මැණික් ගඟට එකතු වන අතිරික්ත ජලය පමණි.  ඇළවල් කැණීම් ආදී සියළු කටයුතු කෙරෙන්නේ ගොවීන්ගේ දායකත්වයෙනි. ශ‍්‍රමදාන පදනමිනි.
 

මැණික් ගඟේ එන අතිරික්ත ජලය ලූණුගම්වෙහෙරට හැරවීම පිළිබඳ ගොවීන්ගේ සැලසුම, ‘නිකම්ම පිළිසිඳුණු එකක්’ ද නො වූයේ ය. ඒ සඳහා පදනම්කර ගෙන තිබුණේ, 1999 වසරේ ජනවාරි මස 21 වැනි දා ‘කිරිඳි ඔය ව්‍යාපාර කමිටුවට’ ඉදිරිපත් වුණු යෝජනාවකි. එය ඉදිරිපත්කර ඇත්තේ, කිරිඳි ඔය වම් ඉවුරේ ගොවි නායකයෙකු වූ ඬේව්ඩ් දිසානායක මහතා (බෙරලිහෙල හින්නි මහත්තයා) විසිනි. ගව පට්ටි හිමියෙකු වූ හෙතෙම, යාල වනයේ මැණික් ගඟ ඉසව්වේ බොහෝ සැරිසැරූ කෙනෙකි. එසේම ලූණුගම්වෙහෙර ජල හි`ගය නිසා පීඩා විඳිමින් සිටි ගොවියෙකි. වනයේ සැරිසැරූ ඔහුට, මැණික් ගඟ  දෙමෝදරින් හරස් කළ හොත්, හංගුණේ ආර සහ ඌවගල් ආර ඔස්සේ ලූණුගම්වෙහෙරට ජලය ගෙනා හැකි බව ප‍්‍රත්‍යක්ෂ විය. ඉක්බිති ඔහු එය යෝජනාවක් වශයෙන් කිරිඳිි ඔය ව්‍යාපාර කමිටුවට ඉදිරිපත්කර තිබිණි. ‘මැණික් ගඟ හැරවිමේ ජනතා ව්‍යාපාරය’ සිය සැලසුම සකස්කර ගත්තේ, ඩේව්ඩ් දිසානායක මහතාගේ යෝජනාව තවදුරටත් වැඩි දියුණු කිරිමෙනි.
 

මැණික් ගඟ හරවා ගැනීමේ ප‍්‍රයත්නය, කිසිදු දේශපාලන හෝ වෙනයම් කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද්දක් නො වීය. එහි සංවිධායකයන් සහ සහභාගිවූ ගොවි සමූහයා අතර, ලංකාවේ බහුතරයක් දේශපාලන පක්ෂ නියෝජනය කරන පිරිස් සිටි බව ඇත්ත ය. එහෙත් එහි කිසිදු දේශපාලන අරමුණක් හෝ මෙහෙයවීමක් නො තිබිණි. අනෙක, බලහත්කාරයෙන් මැණික් ගඟ හැරවීමේ කටයුත්ත සඳහා එකල රටේ පාලක පක්ෂයේ හෝ විපක්ෂයේ කිසිදු දේශපාලනඥයෙක් සහභාගි නො වීම ද කැපී පෙනුණි.
 

මැණික් ගඟ හැරවීමේ ප‍්‍රයත්නය සඳහා පුරෝගාමී වූයේ, ද ඊට අදාළ ගවේෂණ පවත්වා මූලික සැලසුම් සකස් කළේ ද, තිස්සමහාරාමයේ, නීතිඥ පියරත්න බණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් යුත් ‘මැණික් ගඟ හැරවීමේ ජනතා ව්‍යාපාරය’ නම් සංවිධානයයි. ග‍්‍රාම නිලධාරියෙකු වූ පී. මුතුමාල මහතා එහි ලේකම්වරයා විය. ගොවි නියෝජිතයන් වන එම්. ඞී. දයානන්ද, චාලි ජයසේකර, ජයරත්න මුතුකුමාරණ, එම්. කේ. ආරියදාස,  ජයවර්ධන, යන මහත්වරුද, වරලත් ඉංජිනේරු රුවන් කාසිවත්ත, ග‍්‍රාම නිලධාරී එම්. පී. එල්. උදය කුමාර, ඒ. වික‍්‍රමසූරිය (තැපැල් මහත්තයා) ඇතුළු පිරිසක් ද එහි ප‍්‍රධාන ක‍්‍රියාකාරිකයන් අතර වූහ.
 

ඔවුන්ගේ ඇරයුම පරිදි, කිරිඳි ඔය ව්‍යාපාරයේ විශාලතම ගොවි සංවිධානය වන ‘කිරිඳි ඔය ව්‍යාපාර ඒකාබද්ධ ගොවි සමිති සංගමය’ ද මැණික් ගඟ හැරවීමේ ප‍්‍රයත්නයට එක් විය. එහි සභාපති සිරිපාල ජයවීර සහ ලේකම් රංජිත් කුමාරසිංහ යන මහත්වරු ප‍්‍රමුඛ ගොවි ක‍්‍රියාකාරිකයෝ ද ‘මැණික් ගඟ හැරවීමේ ජනතා ව්‍යාපාරය’ සමග අත්වැල් බැඳ ගත්හ. සරත් චන්ද්‍රසේකර යාපා මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ‘ගිරුවාපත්තුව ඒකාබද්ධ ගොවි සංවිධානය’ ද මැණික් ගඟ හැරවිමේ ව්‍යාපාරයට එක් විය.
 

මැණික් ගඟ හැරවීම සඳහා ලැබුණු සියලූ සහභාගිත්වයන්, අවසානයේ මහා ජන සේනාවක් බවට පත් විණි. ඔවුහු 2002 වසරේ සැප්තැම්බර් 14 වැනි දා දහවල් මහ පෙරහරින් යාල වනයට පිවිසුණහ. ඒ ජන සන්නිපාතය සංඛ්‍යාවෙන් නම් 4000කට අධික ය. එය, රජවරුන්ගේ යුගයෙන් පසුව මෑත ලංකාවේ කෙරුණු විශාලතම ගොවි ශ‍්‍රමදාන ව්‍යාපාරය බව පැවසිණි. දෙමෝදර සිට නව ඇළ මාර්ගය කැපීම ඇරඹිණි.
 

වාරි ජල හිඟයෙන් පීඩිත ගොවීන් 4000කට අධික පිරිසක්, යාල මහ වනය මැද කඳවුරු බැඳ ගෙන මහා ශ‍්‍රමදානයක් පැවැත්වීම, රටට අමුතුම සිද්ධියක් විය. එයට ජනමාධ්‍ය මගින් ද ඉහළම ප‍්‍රචාරයක් ලැබිණි. කිසිදු දේශපාලන නායකත්වයකින් තොරව එවැන්නක් සිදු වීම, මහත් කුතුහලය දනවන්නක් ද විය. එහෙත් රටේ පාලකයෝ ඒ සම්බන්ධයෙන් පළ කළේ  ඉතා නිහඬ පිළිවෙතකි. ශ‍්‍රමදානය බලන්නට යාල වනයට ගියේ, එවකට දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාවූ එච්. ජී. සිරිසේන මහතා පමණකි. ඔහු එහි ගොසින් ගොවීන් මුණ ගැසුණා පමණක් නොව, දකුණු පළාත් වාරිමාර්ග බලධාරීන් ගොවීන්ගේ සැලසුම අනුමත කරන්නේ නම්, ඊට පළාත් සභාවේ සහාය දෙන බව ද ප‍්‍රකාශ කළේ ය. වෙනත් කිසිදු  දේශපාලනඥයෙක් එහි පැමිණියේ නැත.
 

ගඟ හැරවීමේ ශ‍්‍රමදාන ව්‍යාපාරය ඇරඹියේ සැප්තැම්බර් 14 වැනි දා ය. ඉන් පසුව ඔක්තෝබර් මස 01 වැනි දා, බුත්තල පොලීසියේ නිලධාරීන් පිරිසක් මැණික් ගඟේ දෙමෝදරට පැමිණියහ. රජයේ නියෝගය පරිදි, ඇළ කැපීමේ ශ‍්‍රමදාන ව්‍යාපාරය තහනම් කළහ. තහනම පනවා තිබුණේ, එවකට වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය ධුරය දැරූ, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතාගේ නියෝගයකට අනුව ය. ගොවි ශ‍්‍රමදානය ඔස්සේ ඒ වන විටත්, යෝජිත ඇළේ කිලෝමීටර් දෙකකට වැඩි කොටසක් සහමුලින්ම කපා හමාරකර තිබිණි. සාකච්ඡා වට කිහිපයක් පැවතිය ද, පොලිස් තහනම ලිහිල් නො වීය. ගොවීන්ට ආපසු ගම්බිමි බලා යන්නට සිදු විය.
 

රජය මැණික් ගඟ හැරවීමේ කටයුත්ත තහනම් කිරීම, දහස් ගණන් ගොවීන්ගේ කෝපයට හේතු විය. එහෙත් ඔවුහු ගැටුම් ඇතිකර ගන්නට නො ගියහ.
 

කෙසේ වෙතත් රජයේ පාර්ශවයෙන් කියැවුණේ, ලූණුගම්වෙහෙර ගොවීන්ට රජය මගින්ම නව ජලාශයක් බඳවා, මැණික් ගඟේ ජලය ලබා දෙන බවයි. අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා එකල ගොවීන් සමග සාකච්ඡා කරමින් එය අවධාරණය කළේ ය. එතැනින් නො නැවතුණු ඔහු, නව ජලාශ ව්‍යාපෘතියේ මූලික සැලසුම් කටයුතු  ප‍්‍රවීණ වාරි ඉංජිනේරුවරයෙකු වන කේ. ඞී. එස්. ගුණවර්ධන මහතාට පැවරුවේ ය.
ඒ අනුව, මැණික් ගඟේ
‘වෙහෙරගල‘ නමින් නව ජලාශයක් ඉදි කිරීමටත්, ඇළ මාර්ගයක් ඔස්සේ එහි ජලය ලූණුගම්වෙහෙර ජලාශයට ගෙන යන්නටත් සැලසුම් සකස් කෙරිණි. එහි දී ද භාවිත වන්නේ, ගොවීන්ගේ ප‍්‍රයත්නයේ දී සැලසුම් කළ ඇළ මාර්ග රේඛාවයි. එසේම ‘හංගුණේ ආර’ යි. ඉදි කිරීම් ලහි ලහියේ ක‍්‍රියාත්මක කෙරිණි. නව ‘වෙහෙරගල ජලාශය‘ 2005 වර්ෂයේ දී විවෘත විය.


ලියුම්කරු, වර්ෂ 1997 පටන්ම ලූණුගම්වෙහෙර ගොවීන්ගේ ජල අරගලය සමීපයෙන් සිටි මාධ්‍යවේදියෙකි. 2002 වසරේ ඔක්තෝබර් 01 වැනි දා, ගඟ හැරවීමේ ශ‍්‍රමදානය තහනම් කරන අවස්ථාව වන විට ද ඔහු සිටියේ එහි ගොවීන් සමග ය. ඔහු මේ සම්බන්ධයෙන් ලියූ විශේෂාංග ලිපි රාශියක් එකල ‘ලක්බිම ඉරිදා සංග‍්‍රහයෙහි’ පළ විය.
 

වෙහෙරගල ජලාශය ගැන කතා කරන, එය නරඹන බොහෝ දෙනා වර්තමානයෙහි මහත් සතුටට පත් වෙති. එහි සුන්දරත්වයෙන් වශී වෙති. එසේ වුව ද, මේ ජලාශය නිකම්ම පහළ වූවක් නොවේ. එය වසර 17ක් මුළුල්ලේ ලූණුගම්වෙහෙර ගොවීන් මහත්  සමගියෙන් ගෙන ගිය දැවැන්ත ජල අරගලයෙහි නිසැක ප‍්‍රතිඵලයයි. ඇත්තටම එය පිරී ඇත්තේ, ඔවුන්ගේ දුක් කඳුළුවලිනි!
 

වෙහෙරගල ජලාශය ඔස්සේ මැණික් ගඟේ ජලය ලැබීම නිසා, අද (2016) ලූණුගම්වෙහෙර ගොවීන්ට වාරි ජල ප‍්‍රශ්න නැත. වී වගාවට ‘තට්ටු මාරු’ හෝ ‘රෝස්ටර් ක‍්‍රම’ නැත. ඔවුහු අද යල-මහ දෙකන්නය පමණක් නොව, අතරමැදි කන්නයක්  ඔස්සේ ‘මුං ඇට’ පවා වගා කරමින් සිටිති.
2016.07.25.






Thursday, August 11, 2016

ලංකාවේ නව ගොවි ජනපද සංස්කෘතිය කැමරාවෙන් සටහන් කළ ශ‍්‍රීලාල් ගෝමස්

ලංකාවේ නව ගොවි ජනපද සංස්කෘතිය
කැමරාවෙන් සටහන් කළ
ශ‍්‍රීලාල් ගෝමස්






(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
එය ඉකුත් (2016) අප‍්‍රියෙල් මාසයේ මුල් භාගයේ දවසකි. දුරකතනය එහා පැත්තේ සිටියේ, අප හිත මිත‍්‍ර ඡායාරූප ශිල්පී ශ‍්‍රී ලාල් ගෝමස් ය.
 

‘මචං, අර පොතේ අත් පිටපත මං උඹට එවනවා. ඒක උඹට හොඳයි කියලා හිතෙන විදිහට එඩිට් කරලා දීපන්. මං අසනීපෙන් ඉන්නේ. ඒත් කොයි වෙලාවක හරි උඹව බලන්න එනවා. මට ඔය වැඩේ කරලා දීපන් මචං’ ඔහු කියා ගෙන ගියේ ය.
 

පුරා 35 වසරක තම මාධ්‍ය ජීවිතයේ ලැබූ විවිධ අත්දැකීම් අළලා පොතක් ලියමින් සිටින බව, ශ‍්‍රී ලාල් මීට ඉහත ද මට කියා තිබිණි. එහි පෙරවදන ලියා දෙන ලෙස ද ඔහු ඉල්ලූවේ ය. එබැවින් ශ‍්‍රී ලාල් සිය කෘතියේ වැඩ අවසන්කර තිබීම මට අලූත් ආරංචියක් නො වීය. එය ඔහුගේ කුළුඳුල්  ග‍්‍රන්ථයයි! මම ඔහුට සුභ පැතුවෙමි.
 

පසු දින එක්තරා කූරියර් සේවාවක් ඔස්සේ ඔහු සිය අත් පිටපත ගාල්ලේ පිහිටි මගේ නිවසට එවා තිබිණි. එහි කතා පුවත් 63ක් විය. ඒ සියල්ල එක හුස්මට කියවා ගෙන යා හැකි, මහත් කුතුහලය දනවන අපූර්ව කතා පුවත් ය. ශ‍්‍රී ලාල්ගේම ජීවන අත්දැකීම් ය.
 

අත් පිටපත ද සමග අතිශයින්ම සංවේදී කෙටි ලිපියක් ද විය.
‘මා කියූ අර පොත මේ සමග එවමි. ලැබුණු බව දන්වන්න. සුදුසු ආකාරයේ වෙනස්කම් කොට පොත හොඳින් සකසා දෙන්න. ඔබගේ පෙරවදන මේ සමග ලියා එවන්න. මේ අතර වාරයේ මට යම්කිසි කරදරයක් වුවහොත් කරුණාකර පොත සකසා රත්නපුරේ සුනිල්ට භාර දෙන්න’ යයි එහි ලියා තිබිණි.
 

ඔහු තදබල ලෙස අසනීපයෙන් පසුවන බව දැන සිටියෙමි. එහෙත් ඉක්මණින් අප හැර යතියි මොහොතකට වත් නො සිතිණි. ඒ අතර රත්නපුරයේ සුනිල් අයියාට ද (සුනිල් ලීලානන්ද පෙරේරා) දුරකතනයෙන් අමතුවෙමි. අත් පිටපත සමග ලැබුණු අමුතු ලිපිය ගැන ද කියා සිටියෙමි. ‘මම පෙරෙයිදාත් එයා බලන්න ගිහිල්ලයි ආවේ’, සුනිල් අයියා දුක්මුසුව කීය.
 

කෙසේ වුව ද, කෘතියට යොදා තිබුණු ‘නම’ නම් මගේ සිත් නො ගත්තේ ය.
 

‘ආයුබෝවන් කැමරාව’ නව ග‍්‍රන්ථයේ නාමයයි!
එහි අරුත, ඔහු ඡායාරූප ක්ෂේත‍්‍රයෙන් සමුගන්නවා බඳු හැඟීමක් උපදවයි. එසේ විය හැකි ද?
 

‘මචං, මේ නම නම් හරියන්නෙ නෑ. ඒක වෙනස් කරපන්’, මම ශ‍්‍රී ලාල් අමතා පැවසුවෙමි.
 

‘හරි, උඹ නමක් යෝජනා කරපන්’ යයි ඔහු එය මට පැවරීය.
එහෙත් සුදුසු නමක් මගේ සිතට ආවේ නැත. එබැවින් අත් පිටපත සංස්කරණයකර යැව්වෙමි. තම කෘතිය ‘ෆාස්ට් ඇඞ්’ සහ ‘සුරස ප‍්‍රකාශන’ අධිපති පේ‍්‍රම් දිසානායක මහතා විසින් මුද්‍රණය කරන බව ද ශ‍්‍රී ලාල් මා සමග පැවසී ය.
 

ඉකුත් ජූලි මාසයේ අග හරියේ දිනක ඔහු යළිත් මට කතාකර, පොත මුද්‍රණයකර අවසන් බව කියා සිටියේ ය. එය ‘තිත්ත රස’ යනුවෙන් නම්කර තිබිණි. ඒ නම අලංකාර ය!
 

‘මචං, පොතේ උත්සවේ දි උඹ කතාවක් කරපන්’ යයි ද ඔහු ඉල්ලී ය. මම ‘හා’ කීවෙමි.
 

‘උත්සවේ මෙහෙයවන්න කැලූම් ශ‍්‍රීමාල්ට දෙනවා’, ශ‍්‍රී ලාල් සිය පොතේ දොරට වැඩුමේ උත්සවය ගැන සිතැඟි හෙළි කළේ මහත් සතුටිනි! ‘තිත්ත රස’ කෘතිය අතිශයින්ම ශෝභමානව මුද්‍රණය කෙරී තිබිණි.
 

කාලය ඉගිල යන්නේ අපට  ඕනෑ හැටියට නොවේ! මේ සටහන ලියන අද අගෝස්තුවේ 11 වැනි දා ය. අද උදේ පාන්දරින්ම අපේ මාධ්‍ය සගයෙකු වන ප‍්‍රෑන්ක් ද සොයිසා මා ඇමතී ය.
 

‘අයියේ, අද පාන්දර ශ‍්‍රී ලාල් අයියා නැති වෙලා!’ ඔහු කියා සිිටියේ ය.
 

‘අපේ ශ‍්‍රී ලාල් ?’
 

මම තුෂ්නිම්භූත වූයෙමි.
 

මා මෙන්ම මගේ බිරින්දෑ  ද අසනීපයෙනි. එබැවින් ශ‍්‍රී ලාල්ගේ සුව දුක් බැලීමට යන්නට ද අපට නො හැකි විය. එහෙත් ඔහු මියගියේ යයි කෙලෙසක සිතන්න ද? 27 වසරැුති මගේ මාධ්‍ය ජීවිතයේ ඔහු පිළිබඳ මතක සටහන් ඊයේ-පෙරේදා වාගේ ය! ඒවා ඇතුළේ සිටින ශ‍්‍රී ලාල් ගෝමස් තවමත් ජීවමාන ය!
 

මියයන විට වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා වශයෙන් සේවය කළ ශ‍්‍රී ලාල්, මෑත ලංකාවේ විසූ කීර්තිමත් මාධ්‍ය ඡායාරූප ශිල්පියෙකි. ප‍්‍රවෘත්ති ඡායාරූප කලාවේ ප‍්‍රවීණයෙකි. 2000 වසරේ ඇරඹුණු ‘ලක්බිම’ දිනපතා පුවත්පතේ ආරම්භක ඡායාරූප කර්තෘවරයා වූයේ ඔහු ය. අපි දස වසරකට වැඩි කාලයක් එහි එකට වැඩ කළෙමු. හැමවිටම ඔහු හොඳ සහෘදයෙක් වූයේ ය.
 

රූපකායෙන් නො දුටුව ද, මට ඔහු මුලින්ම හඳුනා ගන්නට ලැබෙන්නේ 1980 දශකයේ මුල් භාගයේ දී ය. ඒ, එවකට මහවැලි සංවර්ධන අමාත්‍යංශය මගින් පළ කෙරුණු ‘ඉසුර’ සඟරාවෙනි. එකල මම උසස් පෙළ හදාරමින් සිටියෙමි. ඒ අතර ‘ඉසුර’ පාඨකයෙක් වීමි. එහි පළ වූ ශ‍්‍රීලාල්ගේ ඡායාරූප මගේ සිත් ගත්තේ ය.
 

ඊට පසුව ඔහු හමු වූයේ 1990 වසරේ දිනක ය. එවකට මම ප‍්‍රාදේශීය වාර්තාකරුවෙකු වශයෙන් ‘දිනමිණ’ පුවත්පතට වැඩ කරමින් සිටියෙමි. ඔහු ‘දිවයින’ පුවත්පතේ සේවය කරමින් සිටියේ ය. දිනක් ඔහු අපේ ගම වන කිරිඇල්ලට ආවේ, එකල සබරගමු පළාත් සභාවේ ප‍්‍රවෘත්ති නිලධාරියා වූ සුනිල් ලීලානන්ද පෙරේරා මහතා ද සමගිනි. ඔවුන් සමග ‘දිවයිනේ’ චන්ද්‍රසිරි දොඩන්ගොඩයන් ද විය. අපි එදා දුම්බර මිනිරන් පතල් පැවති ප‍්‍රදේශයේ චාරිකා කළෙමු. චන්ද්‍රසිරි දොඩන්ගොඩයන් ඒ ගැන ‘ඉරිදා දිවයිනට’ ලියූ විශේෂාංගය, ශ‍්‍රීලාල්ගේ පින්තූරවලින් හැඩවී තිබිණි. එයින් පසුව ඔහු යළි මට හමු වූයේ ‘දිවයිනෙන්’ නික්ම, ‘දිනපතා ලක්බිමට’ පැමිණි පසුව ය. ලක්බිමේ වැඩ කළ සමයේ මගේ විශේෂාංග ගමන් ගණනාවකටම ඔහුගේ අනගි සහාය ලැබිණි.
 

පත්තර කන්තෝරු ජීවිතයේ දී ශ‍්‍රීලාල් සම්බන්ධයෙන් මට ඇති මතක සටහන් බොහෝ ය. අප මිතුරන් බව ඇත්ත ය. එහෙත් වෘත්තීය ජීවිතයේ දී අප අතර විශිෂ්ඨ සාම්‍යයක් පැවතුණා යයි කියන්නට පුළුවන්කමක් නැත. වඩා හොඳ ප‍්‍රවෘත්තියක්, වඩා හොඳ විශේෂාංගයක් හෝ වඩා හොඳ ඡායාරූපයක් වෙනුවෙන් අප අතර ‘වෘත්තීය ගැටුම්’ පැවතුණි. ඔහු සුහද විවේචකයෙකු වූයේ ය. හැමවිටම සිය ඡුායාරූප ශිල්පී සගයින් වෙනුවෙන් මෙන්ම, වඩා හොඳ ඡායාරූපයක් වෙනුවෙන් ද පෙනී සිටියේ ය.
 

මා අසා ඇති ආකාරයට, ශ‍්‍රී ලාල් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කරන්නේ මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයෙනි. එහි දී ඔහුට එවකට එහි අමාත්‍යවරයා වූ (දිවංගත) ගාමිණී දිසානායක මහතාගේ මගපෙන් වීම් ලැබේ. මාධ්‍ය ඒකකයේ ප‍්‍රධානියා වූයේ ශිවපාල බණ්ඩාර මහතා ය. ඔහු මාධ්‍ය ලෝකයේ දැවැන්තයෙකි. එකල ලංකාවේ ප‍්‍රබලතම මාධ්‍ය ඒකකය පැවතියේ ‘මහවැලියේ’ ය. කලාකරුවන්, මාධ්‍යවේදීන්, සිනමාකරුවන්, ඡායාරූප ශිල්පීන්, ලේඛකයන් සහ වෘත්තීයවේදීන් විශාල පිරිසක් එහි සේවය කළහ. ශ‍්‍රී ලාල් ගෝමස් ද, සුනිල් ලීලානන්ද පෙරේරා ද එහි සාමාජිකයන් ය. ගාමිණී දිසානායක ඇමතිවරයා, ඔවුන් හඳුන්වා ඇත්තේ ‘ඒන්ජල්ස්ලා දෙන්නා’ යනුවෙන් ලූ!
 

 
යාරූපය-ශ්‍රී ලාල් ගෝමස්

මහවැලියේ ගත කළ සමයේ ශ‍්‍රී ලාල් අතින් ඉතා වටිනා සේවාවක් ඉටු විය. අලූත බිහිවන නව මහවැලි ගොවි ජනපද සංස්කෘතිය සහ එහි හදගැස්ම, කැමරාවෙන් සටහන් කිරීම ඒ අනගි සේවාවයි. මට වැටහෙන ආකාරයට, ලාංකේය නව ගොවි ජනපදකරණයේ ජන හදගැස්ම කැමරා කාචයට හසුකර ගත් ප‍්‍රමුඛතම ඡුායාරූප ශිල්පියා ඔහු ය! ඔහුගේ කාච සටහන් පිරික්සන විට ඒ සඳහා ඔහුට තිබුණු ශිල්පීය පරිචය අපූර්ව බව පෙනී යයි. දේශපාලන ඡායාරූප සම්බන්ධයෙන් ද ඔහුට තිබුණේ කදිම පරිචයකි. වරින්වර කොළඹ දී පැවැත්වූ ඡායාරූප ප‍්‍රදර්ශනවලින් ඔහු සතුව පැවති කුසලතාවය අපූරුවට හෙළිදරව් විය.

පසුකාලීනව ‘දිවයින’ සහ ‘ලක්බිම’ යන පුවත්පත්වලට ඔහුගේ සේවාව ලැබිණි. ප‍්‍රවෘත්ති ආවරණ කටයුතුවල දී අතිශය අවදානම් අවස්ථාවලට පවා මුහුණ දුන්නේ, කිසි දිනක මැසිවිලි නො කියමිනි. ඒ අතර, තරුණ ඡායාරූප ශිල්පීන් විශාල පිරිසකට ද මාධ්‍ය ක්ෂේත‍්‍රයට එන්නට ඔහු පාර කපා දුන්නේ ය. මියයන විට 61 හැවිරිදි වියෙහි පසුවූ ශ‍්‍රී ලාල්, තිදරු පියෙකි.
 

ශ‍්‍රී ලාල්ට  සිය කුළුඳුල් කෘතිය ඉතා ඉක්මණින් දොරට වඩවන්නට  ඕනෑකර තිබිණි. එහෙත් ඉක්මන් දිනයක් සඳහා කොළඹින් සුදුසු ශාලාවක් නො ලැබිණි. පසුව ඉක්මන් දිනයක් ලැබුණේ, අගෝස්තු 25 වැනි දාට ය. ඒ මහවැලි කේන්ද්‍ර ශ‍්‍රවණාගාරයෙනි. ‘මං ඒක බුක් කළා මචං, උඹ එදාට වරෙං’ ඔහු මට දුරකතනයෙන් කීවේ ය. ඔහුගේ ස්වරයෙහි මහත් සතුටක් ගැබ්වී තිබෙනු හැඳින්නෙමි.
 

ඉකුත් ජූලි 28 වැනි දා රත්නපුරයේ යන අතර, කොළඹ ගියෙමි. මරදානේ  ‘ෆාස්ට් පබ්ලිකේෂන්’ ආයතනයට ගොසින් පේ‍්‍රම් දිසානායක මහතා ද මුණ ගැසුණෙමි. ශ‍්‍රී ලාල්ගේ පොත් උත්සවයේ දී කතා කිරීම පිණිස, ‘තිත්ත රස’ කෘතිය අරභයා මතකය අලූත්කර ගත යුතු ය. එදින ශ‍්‍රී ලාල් ද එහි එන බව පැවසුව ද, යළිත් අසනීප වීම නිසා නො පැමිණෙන බව දුරකතනයෙන් කීවේ ය.
 

ඡායාරූපය-ශ්‍රී ලාල් ගෝමස්
‘ශ‍්‍රී ලාල්ගේ අසනීපෙ නිසා තමයි ඔය පොත ඉක්මණට මුද්‍රණය කළේ. ඒක එයාට තව ධෛර්්‍යයක් වෙනවා’ යයි ‘තිත්ත රස’ කෘතියේ පිටපතක් මා අතට පත් කරමින් පේ‍්‍රම් දිසානායක මහතා පැවසුවේ ය.
කෙසේ වෙතත්, මාරයා ශ‍්‍රී ලාල්ට ඉස්සර විය. මහවැලි කේන්ද්‍ර ශ‍්‍රවණාගාරයේ දී ‘තිත්ත රස’ දොරට වඩින්නට දින තබා, දැන් ඔහු සමුගෙන ගොසිනි!

 

නව ග‍්‍රන්ථයේ නිමාව අලංකාර ය. එහි කවරය සැරසෙන්නේ ද ශ‍්‍රී ලාල්ගේ කාච සටහනකිනි. හුදෙකලා දුම්රිය මගක ගමන් කරමින් සිටින මිනිසුන් දෙදෙනෙකු ඉන් නිරූපනය වෙයි. එය ද අමුතු පින්තූරයකැයි මට සිතේ. ඔවුන්ගේ ගමන බොහෝ දුර ය. හරියට ශ‍්‍රී ලාල් සමු ගෙන ගියාක් මෙනි!
(සමාප්තයි)
2016/08/11.