‘කැටලිනාවුන්ගේ’ කොග්ගල-02
කොග්ගලින් ගුවන්ගත වෙමින්
ලංකාව බේරා ගත් කැනේඩියානුවා
තවමත් පියාසර තත්ත්වයේ පවතින කැටලිනාවක් |
000000000000000000
මේ, වලස්පති අඩවියේ 206 වැනි ලිපියයි.
0000000000000000000000000000
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡායාරූප-‘Qantas Empire Airways’ ගුවන් සමාගමේ සහ කැටලිනා පේ‍්‍රමීන්ගේ වෙබ් අඩවලිනි)
‘කැටලිනාව’ බොහොම අපූරු ගුවන් යානයකි. එන්ජින් දෙකක බලය සහිතව, එය විශේෂයෙන් ම සකසා තිබුණේ, සමුද්‍ර කලාපවල ඔත්තු බැලීමට සහ සතුරු ඉලක්කවලට බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීමට ය. ඇමරිකානු නිෂ්පාදනයක් වූ ‘කැටලිනාවුන්’ මුලින්ම භාවිතයට පැමිණියේ වර්ෂ 1935 දී ය.
කරච්චියේ සිට කොග්ගලට පැමිණ විවේකයක් ගන්නට ද ඉඩක් නො ලැබුණු බව ඇත්ත ය. එහෙත් බල ඝන නායක ලෙනාර්ඞ් බර්චෝල් රාජකාරියට නො පැකිලූණේ ය. ගුවන් නිරීක්ෂණ චාරිකාවේ කණ්ඩායම, ඔහු ද ඇතුළුව නම දෙනෙකි. කැටලිනාව පැදෙව්වේ බර්චෝල් ය. ඔවුහු අහසට නැගුණහ. ඉක්බිති කිලෝමීටර් 640ක පමණ දුරක් ගිනිකොණ දෙසට පියාසර කළහ. ගුවනින් මැලේසියාව ආසන්නයට ගමන් කළහ.
යානය පදවන අතර, බර්චෝල් එක්වර ම මුහුදේ බොහෝ දුරින් වෙනස් යමක් දුටුවේ ය. එය කුඩා තිත් බඳු යම් දෙයකි. කැටලිනාව එ දෙසට පියාසර කළේ ය. එය නැව් සමූහයකි. ඒවා ජපන් රාජකීය හමුදාවට අයත් යුද නැව් කණ්ඩායමක් බවත්, ඔවුන් ලංකාව දෙසට ගමන් ගනිමින් සිටින බවත්, ඔහුගේ නිරීක්ෂණය විය. නෞකා කණ්ඩායමේ ප‍්‍රහාරක ගුවන් යානා ප‍්‍රවාහනය කරන නැව් ද තිබිණි. වහාම කොග්ගල කඳවුරට රේඩියෝ පණිවුඩයක් දුන් බර්චෝල්, තමන් දුටු දර්ශනය ගැන පවසා, එය හැකි ඉක්මණින් කොළඹට දන්වන්නැයි ද කීවේ ය.
බර්චෝල් මහතා ලංකාවට පැමිණි අවස්ථාවක, ඡුායාරූප ශිල්පී ඩොමිනික් සන්සෝනි මහතා ගත් ඡුායාරූපයක් (අන්තර්ජාලයෙනි) |
එහෙත් ඊළඟ මොහොතේ ජපන් නැව්වලින් කැටලිනාවට ප‍්‍රහාර එල්ල වන්නට විය. ඔහු මහත් ආයාසයෙන් යානය මුහුදට බැස්ස වූයේ ය. දිගින් දිගට ම ප‍්‍රහාර එල්ල වෙද්දීත් එය දිය මත රඳවා ගත්තේ ය. සැණෙකින් ජපන් යුද භටයෝ එහි කඩා වැදුණහ. ඔවුන් කැටලිනාවේ සිටි ගුවන් භටයන් තිදෙනෙක් මරා දැමූහ. බර්චෝල් ඇතුළු හය දෙනෙක් සිර භාරයට ගත්හ!
පසුව දැනගත් පරිදි, 1942 අප‍්‍රියෙල් 04 වැනි දා බර්චෝල් විසින් නිරීක්ෂණයකර තිබුණේ, ජපාන රාජකීය ගුවන් හමුදාවේ සෙන්පතිවරයෙකු වන ‘වයිචි නගුමෝගේ’ ප‍්‍රහාරක නැව් කණ්ඩායමයි. ඒවා ශ‍්‍රී ලංකාව දෙසට එමින් සිටියේ ය.
එකල හදිසි පණිවුඩ යැවුණේ ‘මෝස් සංඥා’ ක‍්‍රමයට ය. බර්චෝල් දුන් රේඩියෝ පණිවුඩය, කොග්ගලින් කොළඹ යුද ප‍්‍රධානීන් වෙත යැවුණි. කොළඹට ජපන් හමුදාවේ ප‍්‍රහාරයක් එල්ල වියහැකි බව අනුමානකර සිටිය ද, එය කවදාක සිදුවේ දැයි ලංකාවේ බි‍්‍රතාන්‍ය යුද මෙහෙයුම්කරුවන් දැන සිටියේ නැත. එබැවින් කොග්ගලින් පැමිණි බර්චෝල්ගේ පණිවුඩය, අතිශයින් ම වැදගත් විය.
ඒ අනුව, කොළඹ, සතුරු ප‍්‍රහාරයකට මුහුණ දීම සඳහා කිසියම් ආකාරයකට සූදානම් කෙරිණි. එකල කොළඹ පැවතියේ බි‍්‍රතාන්‍ය හමුදාව යටතේ ය. සර් ජෙෆ්රි ලේටන් ඔවුන්ගේ ප‍්‍රධාන අණ දෙන නිලධාරියා විය. ගුවන් හමුදා කටයුතු එයාර් වයිස් මාර්ෂල් ජෝන් ඞී. අල්බයික් යටතේ ද නාවික හමුදා කටයුතු අද්මිරාල් සර් ජේම්ස් සමර්විල් යටතේ ද පැවතිණි. ඔවුන්, කොළඹ ප‍්‍රධාන නාවික බල ඇණියෙන් වැඩි කොටස ආරක්ෂාව පිණිස මාලදිවයින් දෙසට යවා තිබිණි.
බර්චෝල්ගේ නිරික්ෂණය හරියට ම හරි ගියේ ය. පසුව දා, එනම් 1942 අප‍්‍රියෙල් 05 වැනි දා උදෑසන 7.30ට පමණ ජපන් ගුවන් හමුදා කොළඹ වරාය සහ අවට ස්ථාන කිහිපයකට බෝම්බ දැමූහ. ප‍්‍රහාරය මෙහෙයවා තිබුණේ ජපාන සෙන්පති මිට්ෂුවෝ ප‍්‍රෂිඩා විසිනි. ඔවුන් කොලොන්නාවේ තෙල් ටැංකිවලට හෙලූ බෝම්බයක්, ඉලක්කය වැරදීමෙන් අංගොඩ මානසික රෝහලට ද වැටුණි. එයින් රෝගීන් ද මියගියහ. ප‍්‍රහාරය නිසා සිදුවුණු පුද්ගල මරණ සංඛ්‍යාව 85කි.
එහෙත් කොළඹ අවට මුහුදේ තත්ත්වය යහපත් නො වීය. ප‍්‍රහාරයට හසුව, කොළඹ වරායෙහි නැංගූරම් දමා තිබුණු ‘හෙක්ටර්’ (HMS Hector) නම් බි‍්‍රතාන්‍ය යුද නෞකාව විනාශ විය. වරායෙන් පිටත ඈත මුහුදේ තිබුණු තවත් බි‍්‍රතාන්‍ය යුද නැව් දෙකක් (HMS Cornwall සහ HMS Dorsetshire) ද විනාශ කෙරිණි. බි‍්‍රතාන්‍ය ප‍්‍රහාරක ගුවන් යානා 25ක් ද, ජපන් හමුදාවේ ප‍්‍රහාරක ගුවන් යානා 07ක් ද විනාශ විය. දෙවැනි ලෝක යුද්ධය ගැන තොරතුරු රාශියක් එක් රැස්කර ඇති ‘https://ww2db.com ’ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට, ප‍්‍රහාරවලින් මියගිය යුද භටයන් සංඛ්‍යාව 424කි. දිවි ගලවා ගත් සංඛ්‍යාව 1122කි.
ඉන් පසුව අප‍්‍රියෙල් 09 වැනි දා ජපන් හමුදාවෝ යළිත් ලංකාවේ ගුවන ආක‍්‍රමණය කළහ. ත‍්‍රිකුණාමලය වරාය ආශ‍්‍රිත ප‍්‍රදේශයට ගුවනින් බෝම්බ දැමූහ. එයින් මඩකලපුවට නුදුරු මුහුදේ නැංගූරම් දමා තිබුණු, ‘එච්. එම්. එස්. හර්මීස්’ (HMS Hermes) නමැති ගුවන් යානා ප‍්‍රවාහනය කරන බි‍්‍රතාන්‍ය යුද නෞකාව විනාශ කෙරිණි. එයට අමතරව ත‍්‍රිකුණාමලයේ දී ‘සයිග‍්‍රැන්’, ‘හෝලිහොක්’ (HMS Hollyhock) සහ ඕස්ටේ‍්‍රලියානු ‘එච්. එම්. ඒ. එස්. වැම්පයර්’ (HMAS Vampire) නම් යුද නෞකා ද විනාශ විය. (නටබුන්ව, ත‍්‍රිකුණාමලය වරාය මුහුදේ ගිලී තිබුණු ‘සයිග‍්‍රැන්’ නෞකාව, වසර 76කට පසුව, එනම් 2018 මාර්තු මස 23 වැනි දා ශ‍්‍රී ලංකා නාවික හමුදාව කළ දීර්ඝ මෙහෙයුමක් මගින් නැවත ගොඩ ගනු ලැබී ය.) ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලට ද බරපතල හානි සිදු විය. ප‍්‍රහාරය සඳහා ජපන් හමුදාවේ කිමිදුම් බෝම්බකරුවන් ද එක්ව සිටියහ. ජපන් හමුදාව ත‍්‍රිකුණාමලයට එල්ල කළ ප‍්‍රහාරවලින්, නාවික යාත‍්‍රා ආශ‍්‍රිතව මියගිය යුද භටයන් සංඛ්‍යාව 364ක් පමණ වූයේ ය.
බර්චෝල් මහතාගේ පවුලේ අය කොග්ගල ගුවන් තොටුපොළේ ‘බර්චෝල් ස්මාරකය’ අසල (අන්තර්ජාලයෙනි) |
කොළඹට ප‍්‍රහාර එල්ල කරනු පිණිස ජපන් ගුවන් යානා ලංකාවට ඇතුළුවී තිබුණේ කොග්ගල ගුවන ඔස්සේ ය. එම අවස්ථාවේ කොග්ගලට ද යම් ප‍්‍රහාරයක් එල්ල විණි. එකල වැටුණු, එහෙත් පුපුරා නො ගිය බෝම්බ, තවමත් කොග්ගල ඔය පත්ලෙහි තිබෙන බව, ප‍්‍රදේශවාසීහු අදත් විශ්වාස කරති!
දෙවැනි ලෝක යුද්ධය සම්බන්ධයෙන් කරුණු විශ්ලේෂණය කරන බොහොම දෙනෙක්, ස්කොඞ්රන් ලීඩර් ලෙනාර්ඞ් බර්චෝල් ගැන කතා කරන්නේ මහත් ගෞරවයෙනි. එදා (1942 අප‍්‍රියෙල් 05) කොග්ගලින් ඔහු ගිය නිරීක්ෂණ ගුවන් ගමනේ දී, සතුරු නෞකා දුටු බවට දුන් තොරතුර නිසා ලංකාව දැඩි හානියකින් ගැලවුණු බව ඔවුන්ගේ අදහසයි. ඔහුගේ පණිවුඩය නිසා ලංකාවේ බි‍්‍රතාන්‍ය යුද මෙහෙයුම්කරුවන්ට, ප‍්‍රහාරයට මුහුණ දීම සඳහා යම් සූදානමක් ඇතිකර ගන්නට අවස්ථාව ලැබුණු බව ඔවුන්ගේ පිළිගැනීමයි.
කෙසේ වෙතත් ලංකාවේ ගිනිකොණ දිග මුහුදේ දී ජපන් හමුදාවන්ට හසුවුණු බර්චෝල්ට අත් වූයේ නරක ඉරණමකි. සිරකරුවෙකු වශයෙන් ජපානයට රැගෙන යනු ලැබූ ඔහු සිරගත කරනු ලැබී ය. පසුව 1945 වසරේ ඔහු නිදහස් කෙරිණි. ඉන් පසුව කැනඩාවට ගිය බර්චෝල් යළිත් හමුදා සේවයට එක් විය. ඔහු ගැන හැඳින්වෙන්නේ ‘ලංකාව බේරා ගත් ගුවන් කොමදෝරුවරයා’ යනුවෙනි.
වර්ෂ 1967 දී ඔහු ලංකාවේ සාචාරයකට පැමිණියේ ය. ඉන් පසුව යළිත් 1994 වසරේ දී ද හෙතෙම ලංකාවට පැමිණියේ ය. ඒ, 1994 අගෝස්තුවේ පැවති පාර්ලිමේන්තු මහා මැතිවරණයේ නිරීක්ෂකයෙකු වශයෙනි. ඔහු අභාවප‍්‍රාප්ක වූයේ 2004 වසරේ දී ය.
ලෙනාර්ඞ් බර්චෝල්ගේ යුද මෙහෙවර සැමරීමම පිණිස ඉදි කළ ස්මාරකයක් කොග්ගල ගුවන් හමුදා කඳවුරේ පිහිටා තිබේ.
(මතු සම්බන්ධයි)
2018/03/23.
(මෙම ලිපිය 2018/04/29 ඉරිදා රිවිර පුවත්පතේ
පළ විය.)
වැදගත් ලිපියක්!
ReplyDelete