Total Pageviews

Friday, November 23, 2018

තේ දලු නෙලන්නත් බුරුමයෙන් කම්කරුවන් ගෙන්වන්න වෙයි ද?


 තේ දලු නෙලන්නත් බුරුමයෙන් 
කම්කරුවන් ගෙන්වන්න වෙයි ද?

ශ‍්‍රම හිඟය ඔස්සේ මධ්‍යම කඳුකරයෙන් මතුවන ගිනි කන්ද!




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
තේ දළු නෙලීම සඳහා කම්කරුවන් හිඟවීම, දැන් බරපතල ප‍්‍රශ්නයකි. එහි බරපතලකම කොතෙක් ද යත්, වර්තමානයෙහි තේ වගාවන් පවත්වාගෙන යාම පවා ගැටලූවක් බවට පත්වී තිබේ. ආරංචියේ හැටියට, ලංකාවේ ප‍්‍රකට තේ වගාකරුවන්ගේ සංගමයක් මියැන්මාර් රාජ්‍යයෙන්’ (පැරණි බුරුම රට) කම්කරුවන් ගෙන්වා ගන්නට අවසර දෙන්නැයි ද රජයෙන් ඉල්ලා ඇත!

ලංකාවේ තේ වගාව දැන් වසර 151ක් පමණ පැරණි ය. එය මුලින් ම ලංකාවට හඳුන්වා දුන්නෝ, එකල ලංකාව යටත්කර ගෙන සිටි ආක‍්‍රමණික බි‍්‍රතාන්‍යයෝ ය. ලංකාවේ පළමු       වන වාණිජ තේ වැවිල්ල, 1867 වර්ෂයේ මහනුවර, හුන්නස්ගිරියේ ලූල්කඳුර වත්තෙන් ඇරඹිණි. එකල ලංකාවාසී ජනී ජනයෝ සුද්දන්ගේ තේ වතුවල කුලී වැඩට නො ගියහ. ඉන් පසුව තේ වතුවල වැඩට දකුණු ඉන්දීය කම්කරුවන් ගෙන්වා ගන්නට බි‍්‍රතාන්‍යයන්ට සිදු විය. නො රටින් කම්කරුවන් ගෙන්වීම නිසා එකල විවිධ ගැටලූ ද මතු විය.  එහෙත් ඉන්දියානු වතු කම්කරුවෝ පසුකාලීනව ලංකාවේ ජන ජීවිතයට බද්ධ වූහ. අද රටේ මධ්‍යම කඳුකරයෙහි වෙසෙන දමිළ ජාතික වතු කම්කරු ප‍්‍රජාව, වැවිලි කර්මාන්තය ඔස්සේ ලංකාවේ  විදෙස් ආදායම තර කරන්නට උර දෙමින් සිටිති. 

කෙසේ වෙතත්, වසර එකසිය පණහකට පසුව  දැන් අපේ තේ වගා ක්ෂේත‍්‍රය යළිත් උග‍්‍ර කම්කරු හිඟයකින් පෙළෙනු දිස්වෙයි.  එය පිරිමසා ගැනීම සඳහා නො රටින් කම්කරුවන් ගෙන්වා දෙන්නැයි ඉල්ලීම් කරන තැනට ද වැඩ සිදු වෙමින් තිබේ! කම්කරු හිඟය එ තරම් ම බරපතල ය!
තේ වගාකරුවන්ට  වැඩියෙන් දැනුණ ද, කම්කරු හිඟය දැන් කලක පටන් ම වාණිජ වැවිලි ක්ෂේත‍්‍රයේ දක්නට ලැබෙන පොදු ගැටලූවකි. එය රබර් සහ පොල් යන වාණිජ වැවිලිවලට පවා  බලපා තිබේ. කතිකාවන් කොතෙක් සිදු වුව ද, ගැටලූව විසෙඳන බවක් ද දක්නට නැත. කෙසේ වෙතත්, තේ වගා ක්ෂේත‍්‍රය සඳහා මියැන්මාර් රටෙන් කම්කරුවන් ගෙන්වා ගැනීමේ යෝජනාවට තවම ශ‍්‍රී ලංකා රජයේ අවසරයක් ලැබුණු බවක් දැන ගන්නට නැත.

උග‍්‍ර ශ‍්‍රම හිඟයකට ගොදුරුව තිබුණ ද, ලංකාවේ තේ වගාව අද බොහොම දියුණු තත්ත්වයෙහි පවතින ආර්ථික වැවිලි භෝගයකි. තේ නිෂ්පාදනය, ලංකාවේ දෙවැනි විදේශ විනිමය ආදායමයි. 2017 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වන අන්දමට, ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් සියයට 23.6ක් ලැබෙන්නේ වැවිලි කර්මාන්ත ක්ෂේත‍්‍රයෙනි. එයින් සියයට 13.5ක් ලැබෙන්නේ තේ අපනයනයෙනි. 2017 වර්ෂයේ ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනය කිලෝග‍්‍රෑම් මිලියන 307කි. එයින් වැඩි හරිය අපනයනය කෙරුණු අතර, අපට ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1529කි. රටට අපනයන ආදායම් ලැබීම අතින් එය දෙවැනි වන්නේ ඇඟළුම් කර්මාන්තයට පමණි. අනෙක පුද්ගලයන් ලක්ෂ ගණනක් තේ වගා සහ නිෂ්පාදන ක්ෂේත‍්‍රයෙහි සෘජු සහ වක‍්‍ර රැකියාවල යෙදී සිටිති. එබැවින් තේ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත‍්‍රය මුහුණ පා ඇති ගැටලූ නො තකා හරින්නට කොහෙත්ම හැකියාවක් නැත. ඒ අනුව,  තේ වගා ක්ෂේත‍්‍රය මුහුණ දෙන ශ‍්‍රම හිඟය පිළිබඳ ගැටලූව ලෙහෙසියෙන් බැහැර කළ නො හැකි ය. ශ‍්‍රම හිඟය සහ තවත් හේතු ගණනාවක් නිසා  දැන් තේ වගා සහ නිෂ්පාදන ක්ෂේත‍්‍රයට නරක කලදසාවක් එළඹෙමින් යනු පෙනෙයි!

2017 වසර වෙනුවෙන් නිකුත් කෙරුණු ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව, වර්තමානයේ ලංකාවේ සමස්ත තේ වගා ඉඩම් ප‍්‍රමාණය හෙක්ටයාර් 2,03,000ක් පමණ වෙයි. ඒවා නුවරඑළිය, මාතලේ, මහනුවර, කෑගල්ල, රත්නපුරය, බදුල්ල, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත‍්‍රික්කවල පැතිර තිබේ. එයින් වැඩි හරිය (සියයට 75.4ක් ම) කුඩා තේ ඉඩම් ය. එනම් සුළු පරිමාණ වගාකරුවන්ගේ තේ ඉඩම් ය. ඉතිරි බිම් ප‍්‍රමාණය මහා පරිමාණ වතු වැවිලි සමාගම්වලට අයත් වේ. තේ දළු නෙලීමටත්, අනෙකුත් වැඩවලටත් කම්කරුවන් හි`ගවීම, දැන් මේ දෙ පාර්ශවයට ම පොදු ගැටලූවක් බවට පත්වී හමාර ය.

කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේජාතික සංවිධායක ලාල් පේ‍්‍රමනාත් මහතා ඉකුත් දිනයක මාධ්‍ය හමුවේ පවසා තිබුණු අන්දමට, අමු තේ දළු හි`ගවීම නිසා පසුගිය කාලයේ ලංකාවේ ලියාපදිංචි තේ කම්හල් 761ක් අතුරින්  281ක් ම වැසී ගොස් තිබේ. ඔහු පවසන අන්දමට. ඉතිරි කම්හල් ද ක‍්‍රියාත්මක වන්නේ  පූර්ණ ධාරිතාවයෙන් නොව, සියයට 70ක පමණ ධාරිතාවයෙනි. රටක් හැටියට මෙය අතිශයින් ම නරක තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

තේ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත‍්‍රයට ශ‍්‍රම හිඟයක් ඇති වීමට බලපෑ හේතු ද ගණනාවකි. වතු වැවිලි ක්ෂේත‍්‍රයේ කම්කරුවන්ට බොහොම අඩු වැටුපක් ලැබීම එයින් ප‍්‍රධාන ය. වර්තමානයේ වතු කම්කරුවෙකුට ගෙවන දෛනික වැටුප (මූලික වැටුප), රුපියල් 500කි. ඊට යම් යම් දීමනා ද එකතු වේ. ඒ සියල්ල ද සහිතව, වතු කම්කරුවෙකුට ලැබෙන සම්පූර්ණ දෛනික වැටුප රුපියල් 730කි. එහෙත් යම් යම් හේතූන් නිසා, සම්පූර්ණ වැටුප ම ලැබෙන්නේ සියයට 40ක පමණ පිරිසකට පමණි!
කුඩා තේ වතු ක්ෂේත‍්‍රයේ තත්ත්වය ද ඊට දෙවැනි නැත. ඒවායෙහි දළු නෙලන කම්කරුවෙකුට වුව ලැබෙන්නේ, දිනකට රුපියල් 600-750ක් තරම් වැටුපකි. කුලියකි. කුඩා තේ වගා ක්ෂේත‍්‍රයේ කම්කරු වැටුප් ගැන සම්මතයක් ද නැත. එය කොපමණ දැයි තීරණය වන්නේ ඉඩම් හිමියාගේ අභිමතය අනුව ය.

මහා පරිමාණ වැවිලි සමාගම් ක්ෂේත‍්‍රය වේවා, කුඩා තේ ඉඩම් හිමියන්ගේ ක්ෂේත‍්‍රය හෝ වේවා, වතු කම්කරුවන්ගේ වැටුප වර්තමානයේ රටේ තිබෙන ජීවන වියදමට කොහෙත් ම නො ගැලපෙන්නකි.  එයින් කා බී ජීවත් වන්නට නුපුළුවන. මෙම තත්ත්වය නිසා වතු කම්කරුවන් වැඩි වැටුප් සහ ආකර්ෂණීය බවක් ලැබෙන වෙනත් රැකියාවලට යොමුවී සිටිති. වතු ක්ෂේත‍්‍රයෙහි තරුණ පරපුර නම් කම්කරු වැඩට එන්නේ ම නැත. කොතෙක් ඉල්ලීම් කළ ද වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකර ගැනීම, ‘ඉඳිකටු මලෙන් අලියෙක් ඇදීමක්හා සමාන ය.

ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ මහතා පවසන අන්දමට, වර්ෂ 1993 දී රජයේ වතු පෞද්ගලිකකරණය කරන විට වතු කම්කරුවන් 5,00,000ක් (පන් ලක්ෂයක්) පමණ සිටියහ. දැන් රටේ වතු කම්කරුවන් සංඛ්‍යාව 150000කට (එක් ලක්ෂ පණස් දහසකට) පමණ පහත වැටී තිබේ. හැබෑ ප‍්‍රශ්නය තියෙන්නේ මෙන්න මෙතැනයි. ඒත් උත්තරයක් හොයන්නේ නැත්තෙත් ඒ ප‍්‍රශ්නයට මයි’, චතුර සමරසිංහ මහතා කියන්නේ ය.

 වැටුප් ප‍්‍රශ්නය කොතෙක් බැරෑරුම් ද යත්, ඉකුත් මාස දෙන-තුනක පමණ කාලය තුළ වතු කම්කරුවෝ හැටන්, කොටගල ආදී ප‍්‍රදේශවල ද, කොළඹ දී ද, උද්ඝෝෂණ පවා පැවැත්වූහ. ඔවුන්ගේ ඉල්ලීම වූයේ දිනක වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකර දෙන ලෙසයි!

වර්තමාන කාලයේ හැටියට, දිනකට රුපියල් දහසක් යනු මහ ලොකු මුදලක් නොවේ. යාන්තම් ලෙවකාලාරැය පහන් කළ හැකි තරමේ සොච්චමකි. එහෙත් වතු හාම්පුතුන්ට නම්, දිනකට රුපියල් 730ක කම්කරු වැටුප ප‍්‍රමාණවත් ද? නැද්ද? යන්න අදාළ ම නැත! ඔවුන් කියන්නේ තේ ඇතුළු වතු වැවිලිවලින් ලැබෙන ආදායම් අඩු බැවින්, දිනකට රුපියල් 730ක වැටුපක් ගෙවන්නට හැකියාවක් නැති බවයි. වතු හාම්පුතුන් පවසන අන්දමට, වතු කෙරුවාව බෙහෙවින් පාඩුදායක ය!

ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වන ආකාරයට, 2017 වර්ෂයේ අපනයනය කළ තේ තොග වෙනුවෙන් කිලෝවකට රුපියල් 807.44ක මිලක් ලැබී තිබේ. එය පෙර වසරට වඩා සියයට 31.1කින් ඉහළ යාමකි. 2017 දී අපේ රටට ලැබුණු තේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1529කි.

කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන්න ඉල්ලූවා ම, මේ ගොල්ලෝ වතු පාඩුයි කියලා කියනවා. ඔවුන්ට ප‍්‍රශ්න තියෙන බවත් අපි දන්නවා. ඒත් තේ ඇතුළු වැවිලි කර්මාන්ත ක්ෂේත‍්‍රයෙන් රටට ලැබෙන ඩොලර් ආදායම යන්නේ කොහේට ද? අපි කියන්නේ වතු වැවිලි ක්ෂේත‍්‍රයේ ආදායම, එයට සම්බන්ධ පාර්ශව අතර සාධාරණව, යුක්ති සහගතව බෙදී යා යුතු ය, කියලයි. ඒත් අද ඒක වෙන්නේ නෑ. වතු පාඩුයි කියලා කිව්වාට, වතු සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට රුපියල් මිලියන ගණනින් වැටුප් ගෙවන බව අපි දන්නවා. එතකොට වතු පාඩු නෑ. හැබැයි වතු කම්කරුවන් දිනකට රුපියල් දහසක වැටුපක් ඉල්ලූවා ම, වතු පාඩුයි කියලා මගහරිනවා. මොකක් ද මේ දෙබිඩි පිළිවෙත? වතු සමාගම් කියන දත්ත අපට නම් සැකයි’, එසේ විිමසන්නේ චතුර සමරසිංහ මහතා ය.

කාලාන්තරයක් මුළුල්ලේ රජය යටතේ පැවතුණු වතු, 1993 වසරේ දී පෞද්ගලිකකරණයට කෙරිණි. ඒවා පෞද්ගලික අංශයේ වතු සමාගම් 22ක පාලනයට නතු වූයේ එයින් පසුව ය. එයින් අපේක්ෂා කෙරුණේ වතු ක්ෂේත‍්‍රයේ දියුණුව ය. වතු පෞද්ගලීකකරණයකර දැන් විසි පස් වසරක් ද ගෙවී ගොසිනි. ගෙවී ගිය කාලය තුළ, එදා අපේක්ෂා කළ අරමුණු ඉටුකර ගන්නට හැකි වූයේ ද? යන්න ගැටලූවකි!

වර්තමානයේ තේ ඇතුළු වතු වැවිලි ක්ෂේත‍්‍රය උග‍්‍ර ශ‍්‍රම හිඟයෙන් පෙළෙයි. ඔවුන් යහපත් වැටුප් මට්ටමක රඳවා, කම්කරු හිඟය පියවා ගන්නට කටයුතු කෙරෙන බවක් ද දක්නට නැත. වතු හාම්පුතුන් බොහොම දෙනෙක්, ඵලදාව නෙලා ගන්නවා විනා, තේ ඇතුළු වතු වගාවන් කෘෂිකාර්මික නිර්දේශ අනුව  නඩත්තු කරන්නේ නැත. කඳුකර පස සංරක්ෂණ ක‍්‍රමවේ ද පවා හරිහැටි නො කෙරෙන තරම් ය. වතුවල තිබුණු ඇතැම් දේපල අන්තර්ධානවී ඇතැයි ද චෝදනා නැගෙයි. වතු ක‍්‍රියාවලියට දියුණු තාක්ෂණය හඳුන්වා දුන් බවක් ද දක්නට නැත. ගෙවුණු වසර විසි පහක කාලය තුළ කෙරී ඇත්තේ, සොච්චම් කුලියක් ගෙවමින් ඵලදාව නෙලා, විකුණා ගැනීම පමණි!

තේ දළු නෙලන්නට ශ‍්‍රමිකයන් හිඟ වීමට පිළියමක් වශයෙන්, විවිධ දළු නෙලන යන්ත‍්‍රහඳුන්වාදීම් පසුගිය කාලයේ සිදු විය. ඒවායින් වැඬේ හරියට කෙරෙන්නේ නැති බවතේ වගා ක්ෂේත‍්‍රයට සම්බන්ධ අයගේ අදහසයි. ඒවා තේ වගා බිම් අතර ව්‍යාප්ත වූයේ ද නැත. තේ අපනයනයේ දී අය කෙරෙන සෙස් බද්ද දැන් කලක සිට බැර වන්නේ මහා භාණ්ඩාගාරයට ය. එයින් තේ නිෂ්පාදන කර්මාන්තයේ අභිවෘද්ධියට වැඩ කෙරෙන්නේ ද නැත. කුඩා තේ ඉඩම් හිමියන්ගේ ක්ෂේත‍්‍රයෙහි දළු නෙලන්නන්ගේ හිඟය උග‍්‍ර ය. වගාවන් පවත්වා ගෙන යාමට බැරිම තැන, දැන් ඇතැම්හු තේ වගාවන් ඉවත්කර කුරුඳු වවන්නට ද පටන් ගෙන තිබේ!

රටේ මධ්‍යම කඳුකරය ද ඇතුළුව ලංකාවේ තේ වගා ප‍්‍රදේශ පිහිටා ඇත්තේ කඳුකර භූමිවල ය. ඒවා රටේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශ ද වේ. මහා ගංගාවන් ගණනාවක් ද ඒවායින්  උපත ලබා ගලා බසියි. කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල ආදී මහා ජලාශ ඉදිකර ඇත්තේ ද ඒවා ආශ‍්‍රිතව ය. ශ‍්‍රම හිඟය සහ අනෙකුත් අර්බුද නිසා යම් හෙයකින් තේ වගාව ඉවතට වීසිවී, කඳුකර ඉඩම් වෙනත් භෝගයකට නතු වන තැනට කරුණු යෙදුණ හොත්, මේ ජලාධාර ප‍්‍රදේශවල පාංශු ආරක්ෂාවට කුමක් සිදු වේ ද? යන්න සිතා ගන්නට ද නො හැකි තරම් ය. එසේම, තේ වගා සහ නිෂ්පාදන කර්මාන්තයෙන් යැපුණු  ලක්ෂ සංඛ්‍යාත පිරිසකට යන එන මං නැතිවීම සහ රටට ලැබෙන විදේශ විනිමය ආදායම අහිමිවීම  දරා ගන්නේ කෙසේ ද? යන්න ද මහත් බරපතල ගැටලූවකි. ඉන් රටට ඇතිවන ආර්ථික පාඩුව පියවා ගන්නේ කෙසේ ද? යන්න ප‍්‍රශ්නයකි. එසේම කඳුකර භූමිය වෙනත් භෝගයකට මාරු වීමෙන් සිදුවිය හැකි පාරිසරික හානිය පියවා ගන්නේ කෙසේ ද? යන කාරණා ද අතිශය බැ?රුම් ය. මෙය හරියට රටේ මධ්‍යම කඳුකරය පසාරුකර ගෙන මතු වෙමින් එන ගිනි කන්දක් බඳු ය!

(පින්තූර-අන්තර්ජාලයෙනි)

(මෙම ලිපිය 2018/11/25 ඉරිදා රිවිර පුවත්පතේ පළවිය)
----------------------------------







Saturday, November 17, 2018

කාන්තාරකරණයට අත වනන කටුපොල්

කාන්තාරකරණයට අත වනන කටුපොල්

අපේ රටේත් මහා ගැටලුවක්




 (ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
කටුපොල්ගස්වල ගෙඩි ඉදී, රතට රතේ පාට වැටෙන දවස්වලට ගමේ බල්ලන්ට නම් රජ මගුල් ය. ඒ කාලයට උන් නිතර දෙවේලේ කටුපොල් හේන්වල ඇවිදින්නට යති. ඉදී ගස් යට වැටුණු කටුපොල් ගෙඩි උන්ට නම් රජ කෑමකි!

ලංකාවේ දී කටුපොල්යයි කීවාට ඒවා ඉංගිරිසි බසින් හැඳින්වෙන්නේ Palm oil’, ‘African oil palm  සහ Macaw Fatයන නම්වලිනි. එහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Elaeis guineensis. ඇංගෝලාවේ සිට ගැම්බියාව දක්වා පැතිර පවතින බටහිර හා නිරිතදිග අප‍්‍රිකානු රටවල්, කටුපොල් ශාකයේ නිජබිම් ලෙස සැලකෙයි.

කටුපොල්, අප නිතර දකින පොල් ගසක හැඩහුරුවට ටිකක් සමාන, සාමාන්‍යයෙන් මීටර් 10-12ක් පමණ උසකට වැවෙන ශාකයකි. පොල් අතුවලට සමාන කටුපොල් අතු, කටු සහිත ය. කටුපොල් ගෙඩිය, පුවක් ගෙඩියක් තරම් කුඩා එකකි. ඒවා හැදෙන්නේ කටුපොල් ගසේ අතුපතර සහිත ඉහළ කොටසේ ය. එය හරියට පුවක් ගස්වල පුවක් වලූහැදෙන්නාක් මෙනි. එක් කටුපොල් වල්ලක ගෙඩි සිය ගණනක් තිබේ.

රතට රතේ ඉදුණු කටුපොල් ගෙඩිවල ලෙල්ල, අපට පුවක් ගෙඩියක ලෙල්ල සිහි ගන්වයි. එය එහැමපිටින් ම තෙල්සහිත ය. ගස් යට ඇවිද කටුපොල් ගෙඩි කන බල්ලන්, දවසක් දෙකක් යන විට කොහ්-කොහ්හඬින් කහින්නට පටන් ගනියි. ගමේ උදවිය එය හඳුන්වන්නේ බල්ලන්ගේ කටුපොල් කැස්සයනුවෙනි. කටුපොල් ගෙඩියේ ඇති තෙල්, පදාස පිටින් උන්ගේ උගුරේ බැඳීම නිසා කැස්ස හට ගන්නා බව ප‍්‍රකට ය.

කොයි හැටි වෙතත්, කටුපොල් ගෙඩි කෑම සතුන්ට නම් මහත් අබග්ගයකි. කටුපොල් ගෙඩි ගිල දැමූ කපුටන්ගේ පිහාටු ක‍්‍රමයෙන් සුදු පැහැයට හැරෙයි. ඇතැම් විට පිහාටු හැලී යයි. මයිනන්ට සිදු වන්නේ ද ඒ ආනිසංසයම ය. කටුපොල් කෑ කපුටන්, මයිනන් වැනි පක්ෂීන්, ටික දිනක් යන විට ඊට්ස්මන් වර්ණගන්නා බැවින් පහසුවෙන් හඳුනා ගැනීමට පුළුවන! කොහ්-කොහ්හඬින් කහිමින් සිටින බල්ලන්ගේ ද ලොම් හැලී යනු දක්නට ලැබෙයි!

කටුපොල්හෙවත් පාම් ඔයිල්වගාව ගැන මේ සටහන ලියන්නේ, එක්තරා කාරණයක් නිමිතිකර ගෙන ය. එනම්, මධ්‍යම පරිසර අධිකාරිය, ඉහළ පෙළේ විද්වත් කමිටුවක් මගින්  මගින් සකස් කළ කටුපොල් වගාවේ පාරිසරික හා සමාජමය බලපෑම් අධ්‍යයන වාර්තාව(A Study to Identify Environmental and Social Issues of Oil Palm Cultivation in Sri Lanka-Observations and Recommendations) නිකුත් වීම නිමිතිකර ගෙන ය. එය නිකුත් කෙරුණේ ඉකුත් මැයි මාසයේ ය. මින් ඉදිරියට, ශ‍්‍රී ලංකාවේ කටුපොල් වගාවන් අලූතින් ආරම්භ කිරීම, නැවත වගා කිරීම සහ දැනට පවතින වගාවන් තවදුරටත් පුළුල් කිරීම නො කළ යුතු යයි එම වාර්තාවෙන් නිර්දේශකර තිබේ. (RECOMMENDATIONS-1 Establishment of new plantations, expansion of existing plantations and re-plantation of oil palm should be discontinued in Sri Lanka.-Page-38) එය සුවිශේෂ කාරණයකි.


කටුපොල් වගාව සම්බන්ධයෙන් මෙබඳු වාර්තාවක් සකස් කරන්නට මුල පිරුණේ 2017 මාර්තු මාසයේ ය. එයට හේතුව වූයේ, කටුපොල් වගාව සම්බන්ධයෙන් ගාල්ල, මාතර, කෑගල්ල සහ කළුතර යන දිස්ත‍්‍රික්කවල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුඔස්සේ එල්ල වුණු විරෝධතාවන් ය. කටුපොල් වගාවන්ට එරෙහිව මතුවුණු මහජන විරෝධතා ද එයට බලපෑවේ ය. 2017 වර්ෂයේ මාර්තුවේ, කෑගල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී ද විරෝධතා පැන නැගිණි. එයින් පසුව එවකට වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා කළ යෝජනාවක් පරිදි, කටුපොල් වගාවෙන් පාරිසරික හානි සිදු වේ ද? යන්න අරභයා විමර්ශනයක් කිරීමට තීන්දු කෙරිණි. එය පැවරුණේ මධ්‍යම පරිසර අධිකාරියට ය. ඒ අනුව, වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, රබර් පර්යේෂණ ආයතනය, පොල් පර්යේෂණ ආයතනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය, මහවැලි සහ පරිසර අමාත්‍යංශය සහ ජාතික වතු කළමනාකරණ ආයතනය යන ආයතනවල සහභාගිත්වයෙන් විමර්ෂනයක් පැවැත් විණි. එය මෙහෙයවූයේ මධ්‍යම පරිසර අධිකාරියයි. කටුපොල් වගාව තවදුරටත් එපායයි නිර්දේශකර තිබෙන්නේ ඔවුන්ගේ වාර්තාවෙනි.

ලංකාවේ මෙතුවක් කල් කටුපොල් වගා කෙරුණේ, වැවිලි සමාගම්වල  තනි මතයට ය. එයට රාජ්‍ය අනුග‍්‍රහය ද ලැබිණි. එයින් වගාවන් ආශ‍්‍රිතව වෙසෙන මහජනයා විශාල පීඩාවක් විඳිමින් උන්හ. කටුපොල් වගාව නිසා ජල උල්පත් සිඳී ගම්බිම් වියැලී යන බවත්, දරුණු ගණයේ පාරිසරික හානි සිදු වන බවත් පෙන්වා දුන්න ද, වැවිලි සමාගම්වල උදවිය ඒවා ගණනකට නො ගත්හ. ඔවුන් නිරන්තරයෙන් ම පැවසුවේ, කටුපොල් වගාවෙන් එවන් හානි කිසිවක් සිදු නො වන බව ය. කිසිදු පර්යේෂණයකින් ජල උල්පත් සිඳීයාමක් ගැන හෙළිවී නැති බව ය. දැන් මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාව තුළින් (A Study to Identify Environmental and Social Issues of Oil Palm Cultivation in Sri Lanka-Observations and Recommendations) කටුපොල්කාර වැවිලි සමාගම්වලට හොඳ විද්‍යාත්මක අතුල් පහරක් ලැබී තිබේ!

කටුපොල් ලෝකයට ජනප‍්‍රියව ඇත්තේ එයින් නිස්සාරණයකර ගන්නා තෙල් (පාම් ඔයිල්), ඉවුම් පිහුම් සඳහා ද, ආහාර නිෂ්පාදනය සඳහා ද භාවිතා කරන නිසා ය. ඒ සඳහා පාම් ඔයිල්සැපයෙන්නේ, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවල ඇති මහා පරිමාණ කටුපොල් වතුවලිනි. ආහාර පිසීමේ දී ලංකාවේ ද පාම් ඔයිල්බහුලව භාවිත කෙරේ. , පොල් තෙල්වලට ආදේශකයක් වශයෙනි. ලංකාවේ පොල් නිෂ්පාදනය පහත වැටෙන වකවානුවල, සාමාන්‍යයෙන් වසරකට පාම් තෙල්මෙටි‍්‍රක් ටොන් 1,25,000ක් පමණ ආනයනය කරන්නට සිදු වේ. පාරිසරික හානි කොයි හැටි වෙතත්, වැවිලිකරුවන් අතර නම් කටුපොල් වගාව සැලකෙන්නේ ආර්ථික වශයෙන් අතිශයින් ම ලාභදායී වතු වගාවක් හැටියට ය.

කටුපොල්, ලංකාවට පැමිණියේ වර්ෂ 1968 දී ය. එයට පුරෝගාමී වූයේ Jerry Walesනම්  යුරෝපීයයෙකි. ඔහු මුලින් ම කටුපොල් වගා කළේ, ගාල්ලේ උඩුගමට නුදුරු නාකියාදෙණිය වතු යායේ ය. පසුව කටුපොල් තෙල් නිස්සාරණය කරන කම්හලක් ද නාකියාදෙණියේ ඉදි කෙරිණි. ඉක්බිති කටුපොල් වගාව ගාල්ල, කළුතර, රත්නපුර ඇතුළු දිස්ත‍්‍රික්ක කිහිපයක ව්‍යාප්ත විය. මේ වන විට ලංකාව පුරා හෙක්ටයාර් 20,000ක පමණ කටුපොල් වගාකර තිබේ. තෙල් නිස්සාරණ කම්හල් කිහිපයක් ද ආරම්භකර තිබේ. ලංකාවේ රබර් වගාව ක‍්‍රමයෙන් පාඩු ලැබීමත් සමග, රබර් වගා ඉඩම්වල ද බහුල වශයෙන් කටුපොල් වගා කිරීමේ ප‍්‍රවණතාවයක් පසුගිය කාලයේ දක්නට ලැබිණි.


ලියුම්කරු ද කටුපොල් වගාවකට මීටර් 300ක් පමණ දුරින් පදිංචිව සිටින්නෙකි. එය අයත් වන්නේ, ගාල්ල, බද්දේගම සිට්ට‍්‍රස් වතු යායට ය. කඳු බෑවුමක පිහිටි කීඹිය හේනනමැති මෙම කටුපොල් වගාව, දළ වශයෙන් හෙක්ටයාර් 150ක පමණ වැවිල්ලකි. වගාව ආරම්භවී ඇත්තේ 1980 දශකය මුල් භාගයේ ය. ගම්වාසීන් පවසන අන්දමට, එහි මුල් ම වගාව, රබර් ය. ඉන් පසුව තේ වගා කෙරිණි. සිට්ට‍්‍රස් වතු යායේ පාලකයන් එය කටුපොල් වැවිල්ලක් බවට පත්කර ඇත්තේ තේ වගාව ඉවත්කර දමමිනි.

ඔය ඉඩම්වල රබර් තියෙන කාලේ හොඳට වතුර උල්පත් තිබුණා. තේ වගාව කාලේත් එහෙම තිබුණා. ඒ කාලේ කිරි කපන්න, තේ දළු කඩන්න යන අය හදා ගත්තු චූටි චූටි ළිං තිබුණා. මී හරක් ලගින මඩ වලවල් තිබුණා. පුංචි පුංචි දොළපාරවල් තිබුණා. හැබැයි කටුපොල් දැම්මාට පස්සේ ඒ දිය සාවරේ නැතිව ගියා. දැන් දොළ පාරක් හරි දකින්නේ වැහි දවස්වලට විතරයි’,  කටුපොල් වගාව නිසා හටගත් නස්පැත්තිය ගැන ගම්වාසීන් පවසන්නේ එලෙසිනි. ලියුම්කරු ජීවත් වන ඉඩම් සාවියේ ජල උල්පත් හිඟ ය. වතුර උල්පතක් දකින්නට නම් මීටර් හතක් අටක් පොළොව කැනිය යුතු ය!

පරිසරවේදී සජීව චාමිකර මහතා පෙන්වා දෙන අන්දමට, ඉන්දුනීසියාව ඇතුළු ගිනිකොණ දිග ආසියාවේ රටවල් කිහිපයක් ම මහා පරිමාණ කටුපොල් වගාවන් නිසා පාරිසරික වශයෙන් මහත් ව්‍යසනයකට ඇද වැටී තිබේ. එය කොතෙක් ප‍්‍රබල කාරණයක් ද යත්,  ජාත්‍යන්තර ග‍්‍රීන්පීස් සංවිධානය’ (Green Peace International) ඒවා හඳුන්වන්නේ වැසි වනාන්තර පද්ධති සහ ජල උල්පත් විනාශයකරා ගෙන යන වැවිල්ලක් වශයෙනි.

මුල් කාලයේ ඇතැමෙක්, රාත‍්‍රී කාලයට ඉදුණු කටුපොල් ගෙඩි පන්දමක්වශයෙන් භාවිත කළහ. ළඟ පාත රාත‍්‍රී ගමන්වල දී, පොල් කට්ටක් තුළ තැබූ කටුපොල් ගෙඩියකට ගිනි දල්වා ගෙන ගමනේ යෙදීම, ඒ ක‍්‍රමයයි. එක් කටුපොල් ගෙඩියක් දල්වා ගෙන කිලෝමීටරයක පමණ දුරක් ගමන් කළ හැකි ය!

එහෙත් කටුපොල් එතරම් අහිංසක ශාකයක් නම් නොවේ. මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ, ‘A Study to Identify Environmental and Social Issues of Oil Palm Cultivation in Sri Lanka-Observations and Recommendationsවාර්තාවේ සඳහන් වන අන්දමට, වැඩුණු කටුපොල් ශාකයක් දිනකට ජලය ලීටර් 500-600ක් පමණ උරා ගෙන, වාෂ්පීකරණය (උත්ස්වේදන ක‍්‍රියාවලිය) කරයි. පොළොවෙහි ජල වහනය අඩු නියං කාලවලට ද දිනකට ජලය ලීටර් 400ක් පමණ වාෂ්පීකරණයට ලක් කරයි. මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාව මේ කාරණය සඳහන් කරන්නේ ජාත්‍යන්තර පර්යේෂණ වාර්තා පවා ගෙනහැර දක්වමිනි.

කටුපොල් යනු අධික ලෙස ජලය පරිභෝජනය කරන ශාකයක් බවත්, එයින් භූගත ජල ස්තරවලට විශාල බලපෑමක් ඇති කරන බවත් එයින් පැහැදිලි වේ. කටුපොල් වගා ඉඩම්වල පොළොවෙහි වෙනත් යටි වගාවන් දක්නට නැත. එයින් වර්ෂා කාලයට සොදා පාළුව ද හට ගනියි. එවිට වැසි ජලය පොළොවට කිඳා බැසීම අඩුවී, භූගත ජලධර සුපෝෂණයට බාධා ඇති කරයි. කටුපොල් වගා ආශ‍්‍රිතව ජල උල්පත් සි`දී යන බවට ගම්මුන් නගන චෝදනාව නිවැරදි බව ද එයින් පැහැදිලි වේ!

මධ්‍යම පරිසර අධිකාරිය මෙවන් වාර්තාවක් සකස් කළේ රටේ වාසනාවට ය. නැතිනම් කටුපොල්කාර වැවිලි සමාගම් එකතුවී, ලංකාවේ තෙත් කලාපය වියලි භූමියක් බවට පත් කරන්නට ද ඉඩ තිබිණි! රටේ ජල උල්පත් සංචිතය සදහට ම වනසා දමන්නට ද ඉඩ තිබිණි!

පසු සටහන
මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාව නිකුත් වීමෙන් පසුව, ‘අමුතු අමුතු මාධ්‍ය මෙහෙයුම්ද ක‍්‍රියාත්මක වන බව සැලයි! ඒවායෙහි පෙනී සිටින කටුපොල් වතු ආශ‍්‍රිත මහජනයා නම් පවසන්නේ කටුපොල්වලින් ඔය කියන තරම් ප‍්‍රශ්නයක් නැති බවයි. අමුතු අමුතු මාධ්‍ය මෙහෙයුම්පිටුපස, හෙළිදරව් නො කෙරෙන අත්වාසිතියෙනවා වන්නට ද පුළුවන!

(මෙම ලිපිය 2018/11/18 දින රිවිර පුවත්පතේ පළවිය)
(පින්තූර-අන්තර්ජාලයෙනි)