දේශීය පාරම්පරික මැණික් පතල්
කර්මාන්තය දෙස
ඉංජිනේරුමය ඇසකින්
බැලිය යුතු කාලය එළඹ තිබේ!
(ක්රිෂ්ණ විජේබණ්ඩාර)
(පින්තූර-රන්ජිත්
ඉලේපෙරුම සහ බුද්ධික වීරසිංහ)
කළු ගඟ ඉහළ නිම්නයේ පාරම්පරික මැණික් පතල් කර්මාන්තයේ ඇතැම් වැදගත් හැඩතලවල පදනම, භෞතික විද්යාවේ එන ‘ඝනත්වය’ නමැති සංකල්පය බව පෙනී යයි. ගංගා සහ ඇළ-දොළවල කෙරෙන දේශීය පාරම්පරික මාදිලියේ ‘ඇදුම් පතල් කර්මාන්තය’ සහ මැණික් ඉල්ලම් ගැරීමේ දී (සේදීමේ දී) භාවිත වන සම්ප්‍රදායික ‘මැණික් ගැරුම් වට්ටිය’ මෙන් ම, එයින් මැණික් ගරන ක්‍රමවේදය ඒ අතර ඉහළින් ම කැපී පෙනෙයි.
වැලි, ගල්, බොරළු, මැටි, පස් ආදී වශයෙන් මහ පොළොවේ දී හමුවන බොහොමයක් දේවල්, ජලය සමග හැසිරෙන්නේ ‘ඝනත්වය’ පදනම්කර ගනිමිනි. ඒවා යම් ජල බඳුනක දමා, භ්රමණයකර, සීරුවට නතර කළා යයි සිතමු. එවිට බඳුන පත්ලේ ම තැන්පත් වන්නේ බරින් මෙන් ම ඝනත්වයෙන් ද වැඩි දේවල් ය. බඳුන පත්ලේ සිට මතුපිට ට එන විට, ඝනත්වයෙන් අඩු පාෂාණ ද්රව්යය තැන්පත් වනු පෙනෙයි. සම්ප්‍රදායික මැණික් ගැරුම් වට්ටිය ද එබඳු ය. එය ජලයේ බහා, නිසි ලෙස කරකවා සීරුවට නතර කළ විට, වට්ටිය පත්ලෙහි තැන්පත් වන්නේ ඝනත්වයෙන් මෙන්ම බරින් ද වැඩි ‘මැණික්’ ය. එහි මතුපිට ස්ථරයෙහි, බරින් මෙන් ම ඝනත්වයෙන් ද අඩු තිරිවානා ගල්, නිකම්ම වැලි බොරළු ආදිය තැන්පත්ව තිබෙනු නිරීක්ෂණය කළ හැකි වනු ඇත.
බොකුටු කවාකාර හැඩයකට ‘බට පොතුවලින්’ වියා නිම කළ සම්ප්‍රදායික මැණිික් ගැරුම් වට්ටිය, කළු ගඟ ඉහළ නිම්නයට ම ආවේණික ජන නිපැයුමකි. අතිශයින් ම සරල උපකරණයකි. එමෙන්ම එය දේශීය පාරම්පරික මැණික් පතල් හා කර්මාන්ත ලෝකයේ අද්වීතීය නිපැයුමකි. එය ජලයෙහි බහා, නිවැරදිව කැරකවූ විට, අනවශ්‍ය පස්, වැලි සහ ගල් බොරළු සේදී ඉවතට ගලා යයි. එහෙත් කිසිදු මැණික් ගලක් ඉන් පිටතට විසිවී යන්නේ නැත. අවසන වටිනා මැණික් ගල් වට්ටිය පත්ලෙහි ඉතිරි වේ. ඒවා අතර පිහිටන රතු, නිල්, පසිංගල්, ආර්නූල් ආදී ‘ජාති මැණික්’ ද, කිරිංචි, තෝර, රබස්, දලං ආදී ‘ජාති නො වන’ මැණික් ද එහි තැන්පත් වන්නේ බර හා ඝනත්ව ප්‍රමාණයේ අනු පිළිවෙලට ය!
‘සාස්තරය’ ඇත්තේ වට්ටිය කැරක වීමේ විලාශයේ ය. එය ඝනත්වයෙන් වැඩි දේවල් වට්ටියෙහි ඉතිරි වන්නට සලස්වා, ඝනත්වයෙන් අඩු දේවල් සියල්ල වට්ටියෙන් පිටමං කිරීමට සමත් රිද්මයකි. එයට ‘ඉඳි කටුවක්’ දැමුවේ යයි සිතමු. ගැරීම අවසන එය, එහි බර අනුව නියමිත ස්ථානයේ රැඳී තිබෙනු ඇත!
මැණික් ගැරුම් වට්ටි පෙනුමින් නම් එක සමාන ය. එහෙත් ඒවායෙහි බොහොම සියුම් වෙනස්කම් දක්කනට ඇති බව පතල්කරුවන්ගේ අවබෝධයයි ‘වෛරෝඩි’ මැණික් බහුල ඉල්ලමක් ගරන වට්ටිය, නිල් හෝ රතු මැණික් බහුල ඉල්ලමක් ගරන්නට සුදුසු නැත. ගැරුම් වට්ටියක, ‘බොකුට්ටේ හැඩය’ සහ ‘ගැඹුර’ එකට එකක් වෙනස් ය. පතල්කරුවන් ගැරුම් වට්ටි තෝරා ගන්නේ, තමන් ගොඩ දැමූ ඉල්ලමේ හෝ ඒවායෙහි ඇතැයි අනුමාන කරන මැණික් වර්ගවල ස්වභාවය අනුව ය. කුමන වට්ටියක් වුව ද, ඉල්ලම් සමග ජලයේ කැරකවීම නම් සුවිශේෂ නිපුණතාවයකින් කළ යුතුව ඇති දෙයකි.
බොහොමයක් මැණික් පතල්වල අලූත් කොල්ලන්ට ගැරුම් වට්ටිය තහංචි ය. ඔවුන්ට මුලින් ම දෙන්නේ, ‘නාඹු තුනක්’ බැලූ වට්ටිය (වට්ටියේ තිබුණු සියලූම මැණික් අහුලා ගත් පසුව ඉතිරිවන වැලි සහිත කොටස) කරකවා තවදුරටන් ‘හීන් කිරීම’ ය. එයින් ඔවුන්ට මැණික් ගැරීම ගැන පුහුණුවක් ලැබෙයි.
ගංගා ඇළ දොළවල කෙරෙන සම්ප්‍රදායික ඇදුම් පතල් කර්මාන්තය ද ‘ඝනත්වය’ පිළිබඳ සංකල්පය අපූරුවට ක්‍රියාත්මක වන අවස්ථාවකි. එහි පතලය හෑරීම මෙන්ම මැණික් මතුකර ගැනීම ද කෙරෙන්නේ ‘ඝනත්වය’ පිළිබඳ සංකල්පයේ පිහිටෙනි.
(ඇදුම් පතල් -පින්තූරය-අන්තර්
ජාලයෙනි)
|
ගොඩබිම පතල් කැනීම් කරන ආකාරයට, ගංගා, ඇළ දොළවල මැණික් ගැරීමට පුළුවන්කමක් නැත. ගොඩබිම මෙන් ඒවායෙහි ‘පතල් වලවල්’ හෑරීම කළ නො හැකි ය. එබැවින් අනාදිමත් කාලයක් මුළුල්ලේ කළු ගඟ ඉහළ නිම්න වාසීහු, ‘ඇදුම් පතල්’ නම් ක්‍රමයක් මගින් ගංගා, ඇළ දොළවල මැණික් ගැරීමට පුරුදුව සිටිති. ගලා යන ජල දහරක්, මැදින් හෝ යම් නිශ්චිත ස්ථානයකින් හිඩැසක් ඉතිරිවන සේ හරස්කර, එයින් (හිඩැසින්) ගලා බස්නා ජල දහරේ වේගය වැඩි කිරීමත්, ගඟ පත්ලේ සිට ඇද ගන්නා ඉල්ලම් එයින් සේදී යන්නට සැලැස් වීමත් ඇදුම් පතලයක ක්‍රියාවලියයි.
ඇදුම් පතලක් වූ කලී එක් අතකට ගඟක්, ඇළක් හෝ දොළක් මධ්යයේ, ජලය තිබියදී ම කනින පතලයකි. එය කනින්නේ ජලතලය අයිනේ හෝ මැද හරියේ විය හැකි ය. කැනීම කෙරෙන්නේ දිගු රිටක ඇමිණූ උදැල්ලකින් වැලි-පස් ආදිය උඩට ඇදීමෙනි. එයින් දිය මැද වලක් හෑරෙයි. උදැල්ලෙන් ඇද ගන්නා වැලි-පස් ආදිය හලන්නේ, ‘අතු වැටි’ බැඳීමෙන් සකසා ගන්නා හිඩැස ඔස්සේ ජල දහර වේගවත්කර ඇති ස්ථානයට ය. එවිට ඒවා සේදී, පහළට ගසා ගෙන යයි. ඇද ගන්නා ඉල්ලම් හලන්නේ ද එතැනට ය. එය හඳුන්වන්නේ ‘හිටුඅඩිය’ හෝ ‘හිටිඅඩිය’ යනුවෙනි. ඇදුම්කරුවන් උදලූ ඇදීම පිණිස පය ගසා ගෙන සිටින්නේ ද ජල දහර වේගයෙන් ගලා බස්නා හිඩැස මධ්යයේ ය. එනම් ‘හිටුඅඩියේ’ ය. ‘හිටුඅඩියට’ වැටෙන ඝනත්වයෙන් වැඩි, මැණික් කැට ආදිය ඉතිරිවී, අනෙක් සියල්ල පහළට ගසා ගෙන යයි! එවිට ඇදුම්කරුවන් විසින් මැණික් කැට අහුලා ගනු ලැබේ! මෙහිදී ද භාවිත කෙරෙන්නේ ඝනත්වය පිළිබඳ සංකල්පයයි.
කළු ගඟ ඉහළ නිම්න දේශීය මැණික් කර්මාන්ත තාක්ෂණයේ, මැණික් ගල්වල අගය වැඩි කිරීමේ කටයුත්ත සඳහා ‘තාපය’ ද භාවිත කෙරේ. එය කෙරෙන්නේ මැණික් ගල්වල වර්ණය වැඩිකර ගැනීම පිණිස ය.
මැණික් ගලකට වර්ණ ලැබෙන්නේ, වසර මිලියන ගණනක් මුළුල්ලේ පොළෝ කුහරය තුළ ඒවාට ලැබුණු අධික උෂ්ණත්වයේ ප්‍රතිපලයක් වශයෙනි. ඇතැම් මැණික් ගලක අඩු වර්ණයක් පිහිටන අවස්ථාවක, එය පිළිස්සීමෙන් වර්ණය වැඩිකර ගත හැකි බව පැරැන්නෝ දැන සිටියහ. එය කරන්නේ මැණික් ගල මත පොල්කටු අඟුරු දල්වා, බටයකට කටින් පිඹ, ගින්නේ උෂ්ණත්වය වැඩි කිරීමේ ක්‍රමයකට ය!
ඒ සම්බන්ධයෙන් පාරම්පරික දැනුමේ දිග-පළල කොතෙක් ද යත්, රත්නපුර දෙමුවාත පාර කෙළවරේ සිටින ‘මැණික් ගල් පුච්චන්නන්’, මැණික් ගලක් අතට ගත් සැණින් එහි වර්ණය වැඩි කළ හැකි ද?, නැද්ද? කියා ප්‍රකාශ කරන්නට තරම් හපන්නු ය! යම් මැණිකක් පිළිස්සීම හානිදායක නම්, ඒ බව ද ඔවුහු කල් ඇතිව ම කියති. ගලේ වර්ණය කොතරම් වැඩි කළ හැකි ද? යන්න සහ එයට කොපමණ වේලාවක් ගතවේ ද? යන්න පවා කලින් ම කියති!
අරුමය වන්නේ එය පමණක් ම නොවේ. ඔවුන් මැණික් ගල් පිළිස්සීමේ කටයුත්ත කරන්නේ, මාර්ගය කෙළවරේ, කළු ගං ඉවුරේ ඇති බිත්ති බැම්මකට මුවා වෙමින් අටවා ගන්නා ලද ආවරණයක් ‘දුවනගිරි උදුන් ගෙයක්’ බවට හරවා ගනිමිනි! අවදානම් බැමි කෑලි අතරින් බැස එතැනට පිවිසීම පවා බියජනක ය. පය පැකිලූණ හොත් ලිස්සා ගං ඉවුරේ පහළ කොටසට ඇද වැටීමට ද පුළුවන! එහෙත් දිනපතාම පාහේ සැලකියයුතු පිරිසක් තම මැණික් ගල්වල අගය වැඩිකර ගැනීම සඳහා ඔවුන් සොයා එති.
මැණික් පතල් හා කර්මාන්ත කලාවේ සම්ප්‍රදායික දේශීය තාක්ෂණය අපූරු දෙයකි. එය අපේ රටට ජනිත කළෝ, අද මෙන් උසස් අධ්යාපනයක් ලැබූ ඉංජිනේරුවන් නො වෙති. ඔවුන් නිසැකව ම ගමේ ගොඩේ විසූ සාමාන්‍ය මිනිසුන් ය. ඔවුන්ගේ තාක්ෂණය දෙස ඉංජිනේරුමය ඇසකින් බැලීමේ සහ ඒවා සංරක්ෂණය කිරීමේ ක්‍රමයක් නැතිකම මහත් අවාසනාවකි!
2018/04/18
මේ ලිපි පෙළ මම උවමනාවෙන් කියෙව්වා. ඉතාම රසවත් වගේම වැදගත් තොරතුරු ගොන්නක්. අපේ රටේ පර්යේෂකයෝ ගවේෂකයෝ නැති කාලෙක ඔබ කරන කාර්යය අගය කරමි.
ReplyDeleteඔබේ කොමෙන්ටුවට ස්තුතියි. මා එය අගය කරනවා.
Deleteමෙිකේ කොටස් 8 තියෙන්නේ....මමත් ආසාවෙන් කියවුවා
ReplyDelete