Total Pageviews

Saturday, April 28, 2018

ගොවි බිම්වලින් නැගුණු අලූත් අවුරුදු අඳෝනාව


ගොවි බිම්වලින් නැගුණු



අලූත් අවුරුදු අඳෝනාව

නරක පෙර නිමිත්තක් ද?

 

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
 ගෙවී ගිය අලූත් අවුරුදු දවස් ටික, ‘මාර මාර දේවල්සිදු වුණු වකවානුවකි. එය මාර මාරඑකක් වූයේ, කනකර බඩු උගස්කර මිට මොළවා ගත් මුදලින් බැරිමරගාතේ අවුරුදු කෑ නිසා ම නොවේ. මෑතක පටන් මුළු රට ම වෙළා ගෙන ඇති ආර්ථික අර්බුදය තව තවත් උත්සන්න වෙමින් තිබෙන බව පෙන්නුම් කෙරෙන සිදුවීම් කිහිපයක් ම අලූත් අවුරුදු සමයේ දී එළි දුටු බැවිනි!

ජන මාධ්‍ය ඔස්සේ දිග හැරුණු, ඉන් ප‍්‍රබල ම සිද්ධීන් වාර්තාවී තිබුණේ, රටට ආහාර සපයන කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයෙනි. වඩාත් විස්තර සහිතව කියනවා නම් එළවළු වගා ක්ෂේත‍්‍රයෙනි. අලූත් අවුරුද්ද ආසන්න වෙත් ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙනා මෑ කරල්, වම්බටු, කැකිරි, පිපිඤ්ඤා, වට්ටක්කා සහ තක්කාලි ආදී එළවළු කිලෝවක්, රුපියල් විසිපහේ තොග මිලටවත් විකුණා ගන්නට බැරි වුණු බව ඉන් එක් ප‍්‍රවෘත්තියකි. මාධ්‍ය ඔස්සේ දිග හැරුණු, අතිශයින් ම කණගාටුදායක අනෙක් ප‍්‍රවෘත්තිය වාර්තා වූයේ හඟුරන්කෙත, අඹලියැද්ද ප‍්‍රදේශයෙනි. තක්කාලි වගාවෙන් පැරදුණු ගොවියෙක් සියදිවි නසා ගන්නට තැත් කිරීම, ඒ ප‍්‍රවෘත්තියයි.

ගොවීන්ට සිය අස්වැන්න සාධාරණ මිලකට අලෙවිකර ගන්නට බැරිකමක් උද්ගත වීම සහ එයින් පැන නැගෙන පීඩනය හමුවේ සියදිවි නසා ගන්නට පෙළඹීම මහත් අවාසනාවන්ත තත්ත්වයකි. ලියුම්කරුගේ අවබෝධයේ හැටියට, අපේ රටේ ගොවි දිවි නසා ගැනීමක්අසන්නට ලැබෙන්නේ වසර විසි හතරකට පමණ පසුව ය. එනම් 1994 වසරේ අගෝස්තුවෙන් පසුව ය.

අප‍්‍රියෙල් 12 වැනි දා මාධ්‍ය වාර්තාවල කියැවුණු ආකාරයට, තක්කාලි ගොවියාට අස්වනු නෙලීම සහා රුපියල් 3000ක කුලියක් වැයවී තිබේ. ඔහුගේ අස්වනු ප‍්‍රමාණය තක්කාලි පෙට්ටි 30කි. ඒවා කරින් ලොරියට ගෙන යාම සහා තවත් රුපියල් 3000ක කුලියක් ද, කොළඹට ලොරි කුලිය රුපියල් 3750ක් ද වැයවී තිබේ. සමස්ත වියදම රුපියල් 9750කි. එහෙත් කොළඹ තක්කාලි මිල පහත බැසීම නිසා, ඔහුට ලැබී ඇති අලෙවි ආදායම රුපියල් 1100කි! එයින් ලොරි කුලිය පියවන්නට ද බැරි ය!

එයින් කලකිරීමට පත් ඔහු යම් වස වර්ගයක් පානය කරන්නට උත්සාහ කරද්දී, බිරි එය දැක ඔහු රෝහල් ගතකර තිබේ. ඇය එය දුටු නිසා ද, වස සුළු ප‍්‍රමාණයක් පෙවී ඇති නිසා ද, ඟුරන්කෙත තක්කාලි ගොවියාගේ ජීවිතය ගැලවිණි. සිද්ධිය පුවත්පත් සහ අන්තර්ජාල මාධ්‍යවල සහන්ව තිබුණේ අප‍්‍රියෙල් 12 වැනි දා ය. එනම් අලූත් අවුරුදු ඔන්න මෙන්න කියා තිබියදී ය.

දඹුල්ලේ සහ කොළඹ තොග මිල අසාමාන්‍ය ලෙස පල්ලම් බැස්ස ද, එළවළු වගා නො කෙරෙන ( එළවළු හිඟ) පිට පළාත්වල නම් එළවළු මිල පහත වැටුණේ ම නැත. ලියුම්කරු ජීවත් වන ගාල්ල ප‍්‍රදේශයේ (කරාපිටිය, තලගහ සහ නරාවල හන්දිය) අප‍්‍රියෙල් 13 වැනි දා වම්බටු ග‍්‍රෑම් පන්සීය විකිණුනේ  රුපියල් 125ට ය. අමු මිරිස් ග‍්‍රෑම් සියය රුපියල් 35ට ය. එළවළු වර්ග බොහොමයක ම මිල ග‍්‍රෑම් 250ක් රුපියල් 40ක් හෝ 50-60ක් විය.

මෙහි තේරුම වන්නේ, පාරිභෝගිකයා ගෙවන ඉහළ මිලෙන් සොච්චමක් හෝ ගොවියා අතට නො යන බවයි. ඔහුගේ සල්ලිය අතරමැදියන් විසින් දරුණු ලෙස ගසා කන බව යි.

ඟුරන්කෙත තක්කාලි ගොවියා නො මළ බව ඇත්ත ය. එහෙත් යළිත් මේ රටේ ගොවීන්ට වස බී සියදිවි නසා ගන්නට තරම් ආර්ථික පීඩනයක් නිර්මාණයවී ඇති බව අකමැත්තෙන් වුවත් පිළිගැනීමට සිදු වේ. වී, එළවළු, ගම්මිරිස් ආදී බෝග වවන ගොවීන් බොහොම දෙනෙකුට සිය නිෂ්පාදන සහා සාධාරණ මිලක් නො ලැබෙන බව රහසක් නොවේ. අලූත් අවුරුද්ද ආසන්නයේ පොළොන්නරුවේ නාඩු වීමිල පැවතියේ රුපියල් 30ක් තරම් නරක තත්ත්වයක ය. යම් මිලක් වැටෙමින් තිබුණේ සම්බා වීවලට. වී වගාව නො කෙරෙන ප‍්‍රදේශවල, අලූත් අවුරුදු සමයේ කන්නට පුළුවන් තත්ත්වයේසහල් කිලෝවක් රුපියල් 80ක් හෝ ඊට එහා මිල ගණන්වලට අලෙවි විය. පසුගිය කාලයේ නියං සායට ගොදුරු වෙමින් ද, කලට වේලාවට පොහොර ටික නො ලබමින් ද දුකසේ වී වගා කළ ගොවීන්ට දැන් කුමක් සිතෙනවා ඇද්ද?

සිය නිෂ්පාදනවලට සාධාරණ මිලක් නො ලැබීම නිසා ගොවීන් දිවි නසා ගැනීමේ ප‍්‍රවණතාවයක් උද්ගත වූයේ 1990 දශකයේ මුල භාගයේ සිට ය. වී අස්වනු කිලෝවේ මිල ඔරොත්තු නො දෙන තරමට පහත වැටීම නිසා මුලින් ම සිය දිවි නසා ගත්තේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවීන් ය. එකල වී අලෙවිය මහා ප‍්‍රශ්නයකි. සාධාරණ මිලක් කොහෙත්ම නො ලැබේ. ඉතින් ආදායම සොච්චමකි. ඒ මදිවාට වගාවට ලබා ගත් ණය වහාම ගෙවන්නැයි බැංකුවලින් ද රතු ලියුම් එයි. පොහොර ටික ද කෘෂි රසායන ටික ද ගත්තේ ණයට ය. අස්වනු නෙලීමෙන් පසුව ගෙවන පොරොන්දුව පිට ය. දැන් ඒ වෙළෙන්දන් ද දත් විළිස්සා ගෙනගොවීන් ණය ගෙවන්නට එනතුරු බලා සිටිති. වී ටික වුකුණා ගන්නට ක‍්‍රමයක් හෝ මිලක් නැති බැවින් ණය ගෙවන්නට සල්ලි කොයින් ද?

ආණ්ඩුවේ වී මිල දී ගැනුම් යාන්ත‍්‍රණය වූ වී අලෙවි මණ්ඩලයටඑකල ප‍්‍රමාණවත් තරම් ගබඩා නො විණි. මුදල් ද නො විණි. ඔවුන්ට වී මිල ස්ථාවර මට්ටමක රවා ගන්නට නො හැකි විණි. මහ කන්නයේ වී අස්වැන්න එන්නේ සිංහල හා දෙමළ අවුරුද්ද කිට්ටු කාලයේ ය. ගොවීන් අවුරුද්ද කන්නට, ගෙදර දොර යුතුකම් ඉටු කරන්නට යොදා ගන්නේ වී ටික විකුණා ලබා ගන්නා අහිංසක සල්ලියයි. වී විකුණා ගන්නට බැරිවූ විට ඒ සියලූ අවුරුදු සිරිය කඳුළුවලට හැරෙයි. ඒ කාලයට වී වෙළෙන්දන් ද ගොවීන්ගේ වී ටික තුට්ටු දෙකට කිරා ගන්නට පෙළඹෙති.

එය 1994 වසරේ මුල් භාගයයි. පොළොන්නරුවේ ඕනෑගමවිසූ බී. ජී. ගුණපාල (42) නම් වී ගොවියා ණය බර දරාගත නො හැකිව වස බී දිවිනසා ගත්තේ ය. ඒ පිළිබව පැවති හදිසි මරණ පරීක්ෂණයේ දී, මියගිය ගුණපාල ගොවි මහතාගේ මෑණියන් ද සාක්ෂි දුන්නේ ය. ඇගේ සාක්ෂියෙන් හෙළිදරව්වූයේ අතිශයින් ම අනුවේදනීය පුවතකි. ණය බර දරා ගැනීමට නො හැකි වීම සහ වී අස්වනු සාධාරණ මිලකට විකුණා ගන්නට නො හැකි වීම නිසු කලකිරුණු තම සැමියා (ගුණපාලගේ පියා) ද ටික කලකට ඉහත කුඹුරේ දී ම සිය දිවි නසාගත් බවයි. ඔහු නමින් බී. ජී. හවඩියා (71) . බොහෝ දෙනෙකු පවසන්නේ පොළොන්නරුවේ ගොවි දිවිනසා ගැනීම් රැල්ල ඔහුගෙන් ඇරඹුණු බව ය! එයින් පසුව පොළොන්නරුවේ පමණක් වී ගොවීන් 21 දෙනෙක් පමණ සිය දිවිනසා ගත්හ. රටේ අනෙකුත් වී වගා ප‍්‍රදේශවල ද දිවිනසා ගැනීම් සිදු විය.

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එකල පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ විපක්ෂ (ශ‍්‍රී..නි..) පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකි. ඔහු අතිශය තීරණාත්මක ලෙස ගොවීන්ගේ අයිතිවාසිකම් පැත්තෙන් පෙනී සිටියේ ය. ගොවීන්ට සාධාරණයක් ඉටුකරවා ගැනීමේ සටනෙහි පුරෝගාමියා විය. එවකට බලයේ සිටි එ.ජා.. ආණ්ඩුවේ පොළොන්නරු ප‍්‍රධානියෙක් පැවසුවේ ගොවීන් ජොලියට වස බොන බවයි! 

අවසන, එනම් 1994 වසරේ අගෝස්තුවේ දී මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ‍්‍රී..නි.. ක‍්‍රියාකාරිකයන් පොළොන්නරුවෙන් උඩින් ම පාර්ලිමේන්තු යවමින්, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය (පොදුජන එක්සත් පෙරමුණ) බලයට පත් විය. එතෙක්  බලයේ සිටි එ.ජා.. ආණ්ඩුවට ගොවීන්ගේ පීඩනය වෙනුවෙන් ප‍්‍රමාණවත් යමක් කරන්නට බැරි වීම නිසා පැරදී ගෙදර යන්නට සිදු විය. බලයට පැමිණි වහා ම, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ගොවීන්ට සැනසුම ගෙන එමින්, ඔවුන්ගේ බැංකු ණය කන්ද කපා දැමුවා ය!

1992 වසරේ දී ලියුම්කරු මුලින් ම පොළොන්නරුවට ගියේ, වී ගොවීන් සියදිවි නසා ගැනීමේ ප‍්‍රශ්නය ගැන සොයා බලන්නට ය. සොයා බලා, එකල ඔහු සේවය කළ  ලංකාදීපපත්තරයට වාර්තා කිරීම සහා ය.  යාරූප ශිල්පීන් වන නලීන් දිල්රුක්ෂ සහ ඇන්ටන් ජෝ මෙන්ම සහෝදර මාධ්‍යවේදී මනෝප‍්‍රිය ගුණසේකර පොළොන්නරු ගමන්වල ගමන් සගයන්වූහ. පොළොන්නරුවේ දී රාජ් වීරසිංහ සහ ඉන්ද්‍රාණි කේ. ආරච්චිගේ යන ප‍්‍රාදේශීය මාධ්‍යවේදීහු සහාය වූහ.

ගොවි අර්බුදයට බලපෑ කාරණා අතර, වී අස්වනු නෙලන සමයට ඒවායෙහි මිල බෙහෙවින් පහත වැටීම, මිලදී ගැනීමේ රාජ්‍ය යාන්ත‍්‍රණය අවුල් සහගත වීම, ප‍්‍රමාණවත් තරම් ගබඩා පහසුකම් නැතිකම සහ මහා පරිමාණ වී වෙළෙන්දන් විසින් මිල ඒකාධිකාරයක් පවත්වා ගෙන යාම මෙන්ම කුඩා පරිමාණ වී වෙළෙන්දන්ට කලට වේලාවට බැංකු ණය පහසුකම් නො ලැබීම යන පීඩාකාරී කාරණා එකල ඉස්මත්තේ ම තිබිණි. පසුකාලීනව හෝ ඒවාට ප‍්‍රමාණවත් තරම් විසඳුම් ලැබුණේ නැත.

පොළොන්නරුව පමණක් නොවේ. ලංකාවේ ප‍්‍රධාන වී නිපැයුම් දිස්ත‍්‍රික්කවල අදත් එම ගැටලූ ඇති බව දක්නට ලැබේ. හැමදාමත් ගොවියාට ලැබෙන්නේ අඩු මිලකි. පාරිභෝගිකයාට අධික මිලකි.  

ලියුම්කරු 1992 වර්ෂයේ පටන් ම මේ පරස්පරය අත් විඳින්නේ ය! 1992 වසරේ  පටන් බලයට පැමිණි  කිසිදු ආණ්ඩුවක්, ගොවීන් සහ සහල් පාරිභෝගිකයන් පෙළන මේ ගැටලූව හරිහැටි විසඳුවේ නැත. (දැන් ඒවා ගැන ලිවීමත් එපා වෙමින් තිබේ!) පාලකකාරකාදීන්ගේ දැක්ම කොතෙක් පිරිපුන්ද යත්, අද පවා පෞද්ගලික අංශය සතු වී හෝ සහල් තොග කොපමණ ද? යන්න ආණ්ඩුව දන්නේ නැත. ආණ්ඩුවට ඇත්තේ අනුමාන ගණන් හිලව් ය!

ඟුරන්කෙත තක්කාලි ගොවියාගේ සිද්ධිය, ලියුම්කරුට නම් බය හිතෙන කාරණයකි. එළවළු ගොවීන්ට දැන් සිදු වන්නට යන්නේ ද, එදා වී ගොවීන්ට සිදුවූ හදිය ම ද?, යන සිතිවිල්ල නිසා ඒ  බය හට ගනියි!
මිල පහත වැටීම නිසා එළවළු අස්වනු තොග පිටින් ඉවත දමන්නට සිදු වීම, මෑත භාගයේ සිට වරින්වර අසන්නට ලැබෙන ප‍්‍රශ්නයකි. එයට විසඳුමක් තවමත් ඉදිරිපත්ව නැත. මහා ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති ධුරය හොබවන්නේ ප‍්‍රබල ඇමතිවරයෙකි. ඔහුට අමතරව, පළාත් සභා සියල්ලේ ම ද කෘෂිකර්ම ඇමතිවරු සිටිති. මේ අයට එකතුවී එළවළු පිළිබ ප‍්‍රශ්නය විසඳා ගන්නට නො හැකි විණි ද?

මින් මතුවටත් තත්ත්වය වෙනස් වන්නේ නැතිනම්, රටේ ග‍්‍රාමීය තලයේ කැකෑරීම් නතර කළ නො හැකි වනු ඇත්තේ ය!

(මෙය 2018/04/29 ඉරිදා රිවිරෙහි පළවිය)
(පින්තූරය-අන්තර්ජාලයෙනි)



‘කැටලිනාවුන්ගේ’ කොග්ගල-02



‘කැටලිනාවුන්ගේ’ කොග්ගල-02
            කොග්ගලින් ගුවන්ගත වෙමින්
         ලංකාව බේරා ගත් කැනේඩියානුවා


 
තවමත් පියාසර තත්ත්වයේ පවතින කැටලිනාවක්


000000000000000000

මේ, වලස්පති අඩවියේ 206 වැනි ලිපියයි.

0000000000000000000000000000


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡායාරූප-‘Qantas  Empire Airways’ ගුවන් සමාගමේ සහ කැටලිනා පේ‍්‍රමීන්ගේ වෙබ් අඩවලිනි)

‘කැටලිනාව’ බොහොම අපූරු ගුවන් යානයකි. එන්ජින් දෙකක බලය සහිතව, එය විශේෂයෙන් ම සකසා තිබුණේ, සමුද්‍ර කලාපවල ඔත්තු බැලීමට සහ සතුරු ඉලක්කවලට බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීමට ය. ඇමරිකානු නිෂ්පාදනයක් වූ ‘කැටලිනාවුන්’ මුලින්ම භාවිතයට පැමිණියේ වර්ෂ 1935 දී ය.

කරච්චියේ සිට කොග්ගලට පැමිණ විවේකයක් ගන්නට ද ඉඩක් නො ලැබුණු බව ඇත්ත ය. එහෙත් බල ඝන නායක ලෙනාර්ඞ් බර්චෝල් රාජකාරියට නො පැකිලූණේ ය. ගුවන් නිරීක්ෂණ චාරිකාවේ කණ්ඩායම, ඔහු ද ඇතුළුව නම දෙනෙකි. කැටලිනාව පැදෙව්වේ බර්චෝල් ය. ඔවුහු අහසට නැගුණහ. ඉක්බිති කිලෝමීටර් 640ක පමණ දුරක් ගිනිකොණ දෙසට පියාසර කළහ. ගුවනින් මැලේසියාව ආසන්නයට ගමන් කළහ.
යානය පදවන අතර, බර්චෝල් එක්වර ම මුහුදේ බොහෝ දුරින් වෙනස් යමක් දුටුවේ ය. එය කුඩා තිත් බඳු යම් දෙයකි. කැටලිනාව එ දෙසට පියාසර කළේ ය. එය නැව් සමූහයකි. ඒවා ජපන් රාජකීය හමුදාවට අයත් යුද නැව් කණ්ඩායමක් බවත්, ඔවුන් ලංකාව දෙසට ගමන් ගනිමින් සිටින බවත්, ඔහුගේ නිරීක්ෂණය විය. නෞකා කණ්ඩායමේ ප‍්‍රහාරක ගුවන් යානා ප‍්‍රවාහනය කරන නැව් ද තිබිණි. වහාම කොග්ගල කඳවුරට රේඩියෝ පණිවුඩයක් දුන් බර්චෝල්, තමන් දුටු දර්ශනය ගැන පවසා, එය හැකි ඉක්මණින් කොළඹට දන්වන්නැයි ද කීවේ ය.
 
බර්චෝල් මහතා ලංකාවට පැමිණි අවස්ථාවක, ඡුායාරූප ශිල්පී  ඩොමිනික් සන්සෝනි මහතා ගත් ඡුායාරූපයක් (අන්තර්ජාලයෙනි)

එහෙත් ඊළඟ මොහොතේ ජපන් නැව්වලින් කැටලිනාවට ප‍්‍රහාර එල්ල වන්නට විය. ඔහු මහත් ආයාසයෙන් යානය මුහුදට බැස්ස වූයේ ය. දිගින් දිගට ම ප‍්‍රහාර එල්ල වෙද්දීත් එය දිය මත රඳවා ගත්තේ ය. සැණෙකින් ජපන් යුද භටයෝ එහි කඩා වැදුණහ.  ඔවුන් කැටලිනාවේ සිටි ගුවන් භටයන් තිදෙනෙක් මරා දැමූහ. බර්චෝල් ඇතුළු හය දෙනෙක් සිර භාරයට ගත්හ!

පසුව දැනගත් පරිදි, 1942 අප‍්‍රියෙල් 04 වැනි දා බර්චෝල් විසින් නිරීක්ෂණයකර තිබුණේ, ජපාන රාජකීය ගුවන් හමුදාවේ සෙන්පතිවරයෙකු වන ‘වයිචි නගුමෝගේ’ ප‍්‍රහාරක නැව් කණ්ඩායමයි. ඒවා ශ‍්‍රී ලංකාව දෙසට එමින් සිටියේ ය.

එකල හදිසි පණිවුඩ යැවුණේ ‘මෝස් සංඥා’ ක‍්‍රමයට ය. බර්චෝල් දුන් රේඩියෝ පණිවුඩය, කොග්ගලින් කොළඹ යුද ප‍්‍රධානීන් වෙත යැවුණි. කොළඹට ජපන් හමුදාවේ ප‍්‍රහාරයක් එල්ල වියහැකි බව අනුමානකර සිටිය ද, එය කවදාක සිදුවේ දැයි ලංකාවේ බි‍්‍රතාන්‍ය යුද මෙහෙයුම්කරුවන් දැන සිටියේ නැත. එබැවින් කොග්ගලින් පැමිණි බර්චෝල්ගේ පණිවුඩය, අතිශයින් ම වැදගත් විය.

ඒ අනුව, කොළඹ, සතුරු ප‍්‍රහාරයකට මුහුණ දීම සඳහා කිසියම් ආකාරයකට සූදානම් කෙරිණි. එකල කොළඹ පැවතියේ බි‍්‍රතාන්‍ය හමුදාව යටතේ ය. සර් ජෙෆ්රි ලේටන් ඔවුන්ගේ ප‍්‍රධාන අණ දෙන නිලධාරියා විය. ගුවන් හමුදා කටයුතු එයාර් වයිස් මාර්ෂල් ජෝන් ඞී. අල්බයික් යටතේ ද නාවික හමුදා කටයුතු අද්මිරාල් සර් ජේම්ස් සමර්විල් යටතේ ද පැවතිණි. ඔවුන්, කොළඹ ප‍්‍රධාන නාවික බල ඇණියෙන් වැඩි කොටස ආරක්ෂාව පිණිස මාලදිවයින් දෙසට යවා තිබිණි.

බර්චෝල්ගේ නිරික්ෂණය හරියට ම හරි ගියේ ය. පසුව දා, එනම් 1942 අප‍්‍රියෙල්  05 වැනි දා උදෑසන 7.30ට පමණ ජපන් ගුවන් හමුදා කොළඹ වරාය සහ අවට ස්ථාන කිහිපයකට  බෝම්බ දැමූහ. ප‍්‍රහාරය මෙහෙයවා තිබුණේ ජපාන සෙන්පති මිට්ෂුවෝ ප‍්‍රෂිඩා විසිනි. ඔවුන් කොලොන්නාවේ තෙල් ටැංකිවලට හෙලූ බෝම්බයක්, ඉලක්කය වැරදීමෙන් අංගොඩ මානසික රෝහලට ද වැටුණි. එයින් රෝගීන් ද මියගියහ. ප‍්‍රහාරය නිසා සිදුවුණු පුද්ගල මරණ සංඛ්‍යාව 85කි.

එහෙත් කොළඹ අවට මුහුදේ තත්ත්වය යහපත් නො වීය. ප‍්‍රහාරයට හසුව, කොළඹ වරායෙහි නැංගූරම් දමා තිබුණු ‘හෙක්ටර්’ (HMS Hector) නම් බි‍්‍රතාන්‍ය යුද නෞකාව විනාශ විය. වරායෙන් පිටත ඈත මුහුදේ තිබුණු තවත් බි‍්‍රතාන්‍ය යුද නැව් දෙකක් (HMS Cornwall සහ HMS Dorsetshire) ද විනාශ කෙරිණි. බි‍්‍රතාන්‍ය ප‍්‍රහාරක ගුවන් යානා 25ක් ද, ජපන් හමුදාවේ ප‍්‍රහාරක ගුවන් යානා 07ක් ද විනාශ විය. දෙවැනි ලෝක යුද්ධය ගැන තොරතුරු රාශියක් එක් රැස්කර ඇති ‘https://ww2db.com ’  වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට, ප‍්‍රහාරවලින් මියගිය යුද භටයන් සංඛ්‍යාව 424කි. දිවි ගලවා ගත් සංඛ්‍යාව 1122කි.

ඉන් පසුව අප‍්‍රියෙල් 09 වැනි දා ජපන් හමුදාවෝ යළිත් ලංකාවේ ගුවන ආක‍්‍රමණය කළහ. ත‍්‍රිකුණාමලය වරාය ආශ‍්‍රිත ප‍්‍රදේශයට ගුවනින් බෝම්බ දැමූහ. එයින් මඩකලපුවට නුදුරු මුහුදේ නැංගූරම් දමා තිබුණු, ‘එච්. එම්. එස්. හර්මීස්’ (HMS Hermes) නමැති ගුවන් යානා ප‍්‍රවාහනය කරන බි‍්‍රතාන්‍ය යුද නෞකාව විනාශ කෙරිණි. එයට අමතරව ත‍්‍රිකුණාමලයේ දී ‘සයිග‍්‍රැන්’, ‘හෝලිහොක්’ (HMS Hollyhock) සහ   ඕස්ටේ‍්‍රලියානු ‘එච්. එම්. ඒ. එස්. වැම්පයර්’ (HMAS Vampire) නම් යුද නෞකා ද විනාශ විය. (නටබුන්ව, ත‍්‍රිකුණාමලය වරාය මුහුදේ ගිලී තිබුණු ‘සයිග‍්‍රැන්’ නෞකාව, වසර 76කට පසුව, එනම් 2018 මාර්තු මස 23 වැනි දා ශ‍්‍රී ලංකා නාවික හමුදාව  කළ දීර්ඝ මෙහෙයුමක් මගින් නැවත ගොඩ ගනු ලැබී ය.) ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලට ද බරපතල හානි සිදු විය. ප‍්‍රහාරය සඳහා ජපන් හමුදාවේ කිමිදුම් බෝම්බකරුවන් ද එක්ව සිටියහ. ජපන් හමුදාව ත‍්‍රිකුණාමලයට එල්ල කළ ප‍්‍රහාරවලින්, නාවික යාත‍්‍රා ආශ‍්‍රිතව මියගිය යුද භටයන් සංඛ්‍යාව 364ක් පමණ වූයේ ය.
 
බර්චෝල් මහතාගේ පවුලේ අය කොග්ගල ගුවන් තොටුපොළේ ‘බර්චෝල් ස්මාරකය’ අසල (අන්තර්ජාලයෙනි)

කොළඹට ප‍්‍රහාර එල්ල කරනු පිණිස ජපන් ගුවන් යානා ලංකාවට ඇතුළුවී තිබුණේ කොග්ගල ගුවන ඔස්සේ ය. එම අවස්ථාවේ කොග්ගලට ද යම් ප‍්‍රහාරයක් එල්ල විණි. එකල වැටුණු, එහෙත් පුපුරා නො ගිය බෝම්බ, තවමත්  කොග්ගල ඔය පත්ලෙහි තිබෙන බව, ප‍්‍රදේශවාසීහු අදත් විශ්වාස කරති!

දෙවැනි ලෝක යුද්ධය සම්බන්ධයෙන් කරුණු විශ්ලේෂණය කරන බොහොම දෙනෙක්, ස්කොඞ්රන් ලීඩර් ලෙනාර්ඞ් බර්චෝල් ගැන කතා කරන්නේ මහත් ගෞරවයෙනි. එදා (1942 අප‍්‍රියෙල් 05) කොග්ගලින් ඔහු ගිය නිරීක්ෂණ ගුවන් ගමනේ දී, සතුරු නෞකා දුටු බවට දුන් තොරතුර නිසා ලංකාව දැඩි හානියකින් ගැලවුණු බව ඔවුන්ගේ අදහසයි. ඔහුගේ පණිවුඩය නිසා ලංකාවේ බි‍්‍රතාන්‍ය යුද මෙහෙයුම්කරුවන්ට, ප‍්‍රහාරයට මුහුණ දීම සඳහා යම් සූදානමක් ඇතිකර ගන්නට අවස්ථාව ලැබුණු බව ඔවුන්ගේ පිළිගැනීමයි.

කෙසේ වෙතත් ලංකාවේ ගිනිකොණ දිග මුහුදේ දී ජපන් හමුදාවන්ට හසුවුණු බර්චෝල්ට අත් වූයේ නරක ඉරණමකි. සිරකරුවෙකු වශයෙන් ජපානයට රැගෙන යනු ලැබූ ඔහු සිරගත කරනු ලැබී ය. පසුව 1945 වසරේ ඔහු නිදහස් කෙරිණි. ඉන් පසුව  කැනඩාවට ගිය බර්චෝල් යළිත් හමුදා සේවයට එක් විය. ඔහු ගැන හැඳින්වෙන්නේ ‘ලංකාව බේරා ගත් ගුවන් කොමදෝරුවරයා’ යනුවෙනි.

වර්ෂ 1967 දී ඔහු ලංකාවේ සාචාරයකට පැමිණියේ ය. ඉන් පසුව යළිත් 1994 වසරේ දී ද හෙතෙම ලංකාවට පැමිණියේ ය. ඒ, 1994 අගෝස්තුවේ පැවති පාර්ලිමේන්තු මහා මැතිවරණයේ නිරීක්ෂකයෙකු වශයෙනි. ඔහු අභාවප‍්‍රාප්ක වූයේ 2004 වසරේ දී ය.

ලෙනාර්ඞ් බර්චෝල්ගේ යුද මෙහෙවර සැමරීමම පිණිස ඉදි කළ ස්මාරකයක් කොග්ගල ගුවන් හමුදා කඳවුරේ පිහිටා තිබේ.
(මතු සම්බන්ධයි)
2018/03/23.



(මෙම ලිපිය 2018/04/29 ඉරිදා රිවිර පුවත්පතේ පළ විය.)