Total Pageviews

Wednesday, December 23, 2020

ගාලු කොටුවේ විසූ පෘතුගීසීන් මිනිසුන් මරා කෑ බව හෙළි වෙයි

 

ගාලු කොටුවේ විසූ පෘතුගීසීන්

මිනිසුන් මරා කෑ බවට පුරාවිද්‍යාත්මක 

සාක්ෂි හෙළි වෙයි

(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)

එකල පෘතුගීසි නැව්වල ‘ඌරු කොටු’ පැවති බවත්, ගාලු කොටුවේ ඉදි කළ ඔවුන්ගේ ජනාවාසයට ‘ගං ඌරන්’ (චීන ඌරන්) එයින් රැගෙන එන්නට ඇති බවත් අනුමාන කෙරේ. පෘතුගීසීන් මස් පිණිස ‘ගං ඌරන්’ මරාගෙන ඇත්තේ වෙඩි තැබීමෙන් නො වේ. උූෟරු හිසට ‘පොරොවෙන්’ කෙටීමෙනි!අතීතයේ ගාලු යුද බලකොටුවේ විසූ ‘පෘතුගීසීන්ගේ’ ආහාර රටාව බොහොම කුතුහලය දනවන තරම් ය. ඔවුන් සිය ආහාර වේලට එළු, කුකුළු, බැටළු, ගං ඌරු ආදී ගොඩබිම වෙසෙන ගෘහාශ්‍රිත සතුන් ද, මුහුදු මාළු ද එක්කර ගෙන තිබේ. ගාල්ලේ ‘පෘතුගීසි කොටුව’ තුළ ඔවුන් කුකුළු කොටු, බැටළු කොටු සහ ගං ඌරු කොටු ආදිය පවත්වා ගෙන ගිය බව පෙනී යයි!


නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය මගින් මේ දිනවල ගාලු කොටුවේ සංරක්ෂණ ව්‍යාපෘතියක් ආරම්භකර තිබේ. මෙම තොරතුරු හෙළිව ඇත්තේ එයින් කෙරෙන පුරාවිද්‍යා කැණීම් ඔස්සේ ය.
වර්තමානයේ අක්කර අනූහයක පමණ භූමියක පැතිර ඇති ‘ගාලු කොටුව’, ඉදිකර ඇත්තේ ‘ගාල්ල සමුද්‍ර තුඩුව’ මුල්කර ගනිමිනි. එය, දකුණු ආසියාවේ විශාලත ම පුරාවිද්‍යා ස්මාරක අතරට ගැනෙන  ‘යුද බලකොටු නගරයකි’.

 ගාලු ‘සමුද්‍ර බොක්ක’ අතීතයේ දී උඩරට සිංහල රජවරුන්ගේ ජාත්‍යන්තර වෙළෙඳ වරායක් විය. කොහු නිෂ්පාදන, මැණික්, කුළුබඩු, අලි ඇතුන් සහ ඇත් දළ, කැටයම් භාණ්ඩ ආදිය ගාලු වරාය ඔස්සේ නැව් මගින් අපනයනය කෙරිණි. එකල එහි ආනයන-අපනයන වෙළෙඳාම සියතට ගෙන සිටියෝ ආරාබියානු නාවික වෙළෙන්දන් ය. ඔවුහු ආනයනික මිදි යුෂ, චීන සේද රෙදි, පෝසිලේන් භාණ්ඩ ආදී වෙළෙඳ බඩු  ගාල්ලෙන් ගොඩ බා අලෙවි කළහ.
 

පෘතුගීසි නාවික සෙන්පතිවරයෙකු වූ ප්‍රැන්සිස්කෝ ද අල්මේදාගේ පුත්, ‘ලොරෙන්සෝ ද අල්මේදා’ නමැති නාවිකයා වර්ෂ 1505 දී අහම්බෙන් ගාල්ලට ගොඩ බැස්සේ ය. ඉන් පසුව වර්ෂ 1518 දී අරාබි වෙළෙන්දන් පලවා හරිමින් ලොරෙන්සෝ ද අල්මේදා ගාල්ල ආක්‍රමණය කළේ ය. ඒ වන විට ගාල්ල වරායේ පාලනය පැවතියේ සීතාවක පළවැනි රාජසිංහ රජු (ක්‍රි. ව. 1581-1593) යටතේ ය. රජුගේ හමුදා පැරදිණි. පෘතුගීසීහු ගාල්ල අල්ලා ගත්හ.
 

පෘතුගීසීහු වර්ෂ 1589 දී පමණ ගාලු සමුද්‍ර තුඩුව කෙළවරේ යුද බලකොටුවක් ඉදි කරන්නට පටන් ගත්හ. පැරණි තොරතුරුවල දැක්වෙන අන්දමට, එය සිදු වූයේ ‘පෙරදිග රටවල් පිළිබඳ පෘතුගීසි ප්‍රධානි, මතියස් අල්බර්කර්ක්ගේ නියෝගයෙනි. ඔවුන් මුලින් ම ඉදි කළ කොටුව, වර්තමානයේ හැඳින්වෙන්නේ ‘කළු කොටුව’ යනුවෙනි. මැටි, කොරල් ගල් යොදා ගෙන තැනූ එහි ආයුධ තැනීමේ ‘කම්හලක්’ ද පවත්වා ගෙන ගියෝ ය. පසුව ඔවුහු ‘ස්ටාර්’ (තරු), ‘චන්ද්‍ර’ (සඳු) සහ ‘සූර්ය’ (හිරු) යන ‘මුර අට්ටාල’ තුන ද සහිතව, බැම්මක් බඳිමින් යුද බලකොටුව පුළුල් කළහ. මුර අට්ටාල තුන ඇතුළත් කොටස පෘතුගීසි බසින් ‘පෝටලේසා’ විය.  

‘පෝටලේසාවේ’ බැමි ඉදි කිරීමේ දී ද මැටි සහ කොරල් ගල් ඇතුළත් ‘සක්ක බැම්මක්’ භාවිත කෙරිණි. ‘පෝටලේසාව’ ආශ්‍රිතව එකල පෘතුගීසි පවුල් 275ක් පදිංචිව සිටියහ. එහි ක්‍රිස්තියානි දේවස්ථාන, වෙළෙඳ බඩු ගබඩා, උසස් හමුදා නිලධාරීන්ගේ නිල නිවාස, හමුදා භටයන්ගේ බැරැක්ක සහ රෝහල් පහසුකම් ද සකසා ගෙන තිබිණි.
 


පසුව වර්ෂ 1640 දී පෘතුගීසීන් පලවා හැර  ‘ලන්දේසීන්’ (ඕලන්ද) ගාල්ල අල්ලා ගත්හ. ඔවුහු ගාලු වරායේ වෙළෙඳාම් පාලනය ද සියතට ගත්හ.   පෘතුගීසීන් හැදූ යුද බලකොටුව තවදුරටත් විශාල කළහ. දියුණු කළහ. වර්ෂ 1796 දී ඉංග්‍රීසීන් (බි්‍රතාන්‍යයන්) මුහුදින් පැමිණ ලන්දේසීන් පලවා හැර, ගාලු යුද බලකොටුව සහ වරාය අල්ලා ගත්හ. ඔවුන් ද ගාලු කොටුව තවදුරටත්    පුළුල් කළහ. නවාංග එකතුකර වැඩි දියුණු කළහ. 

වර්තමානයේ අප දකින්නේ මේ ආකාරයට ආක්‍රමණික යුරෝපීය  ජාතීන් තුනක් විසින් වරින්වර නිර්මාණය කළ යුද බලකොටුවකි. දැන් එහි ‘කොටු බැම්ම’ කිලෝ මීටර් දෙකහමාරක් පමණ  දිගින් යුක්ත ය. බැම්මේ පළල අඩි පණහකි. උස, ඇතැම් තැනක අඩි පණහක් පමණ ද, ඇතැම් තැනක අඩි හැත්තෑවක් පමණ ද වන්නේ ය. එහි මුර අට්ටාල ද දාහතරක් දැකිය හැකි ය.
ගාලු කොටු බැම්ම දැන් අවුරුදු 431ක් පමණ පැරණි ය. පිටතින් ඉතා ශක්තිමත් යයි පෙනුණ ද, එහි ඇතැම් කොටස්  කාලයේ ප්‍රහාරයන් හමුවේ ගරා වැටෙමින් තිබේ.    නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය ගාලු කොටුව පිළිසකර කොට, සංරක්ෂණය කරන්නට මුල පුරන්නේ එවන් පසුබිමක ය. සංරක්ෂණ කටයුත්ත  සිදු වන්නේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ‘උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය’ ඔස්සේ ය. ඔවුන් එයට ‘ගාලු කොටු පවුර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය’ යයි හඳුන්වති.
 

එහි ප්‍රධාන උපදේශක, වරලත් වාස්තු විද්‍යාඥ ආචාර්ය නිලාන් කුරේ පවසන අන්දමට, මේ යටතේ ප්‍රධාන කටයුතු දෙකක් සිදු කෙරෙයි. ඉන් එකක් වන්නේ, ගාලු කොටු පවුර පිළිසකර කොට මතු පරපුරට දායාද පිණිස සංරක්ෂණය කිරීමයි. අනෙක, මං පෙත්, භූ දර්ශන, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යුගවලට අයත් කාල තුවක්කු සහ අනෙකුත් අවි ආයුධ සහ වෙනත් නිර්මාණ ‘අනුරූ’ මගින් මහජන ප්‍රදර්ශනයට සැකසීමයි. ආචාර්ය කුරේ පවසන අන්දමට, මෙම වැඩ පිළිවෙල සංවිධානයකර ඇත්තේ ‘සංචාරක ආකර්ෂණය’ අරමුණුකර ගනිමිනි.
 

‘අපි මේක පටන් ගත්තේ 2017 වර්ෂයේ දි. මේ වෙනුවෙන් වැය කරන මුදල රුපියල් මිලියන 600ක්. අපේ ව්‍යාපෘතියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය ලැබෙනවා. මෙයින් පුරාවිද්‍යා පර්යේෂණත් කෙරෙනවා. ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් තමයි ඒවා කෙරෙන්නේ. මේ වෙන කොට අපේ සංරක්ෂණ වැඩවලින් සියයට හැටක් විතර හමාරයි’, ඔහු කියන්නේ ය. පුරාවිද්‍යා කැණීම් භාරව සිටින ආචාර්ය නිමල් පෙරේරා, ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්යවරයෙකි.
 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයකර විශ්‍රාම ගිය ‘ජූඞ් පෙරේරා’ අපේ රටේ සුප්‍රකට ‘අස්ථි අවශේෂ’ විශ්ලේෂකවරයෙකි. පුරාවිද්‍යා කැණීම්වල දී හමුවන ඕනෑම ‘ඇටකටුවක්’, කුමන සතෙකුගේ ද, එය උගේ කවර අස්ථියක කොටසක් ද, නැතිනම් එය මානව අස්ථියක් ද යන්න විග්‍රහකොට හඳුනා ගැනීම ඔහුගේ කාරියයි. ඒ විෂය සම්බන්ධයෙන් ඔහුගේ අත්දැකීම් වසර තිහ ද ඉක්මවයි. මේ දිනවල ඔහු අස්ථි විශ්ලේෂණය කරමින් ගාලු කොටුවේ පුරාවිද්‍යා කැණීම්වලට එක්ව සිටින්නේ ය.
 

ආචාර්ය නිමල් පෙරේරා ඇතුළු කණ්ඩායම පෘතුගීසීන් විසින් මුලින් ම ඉදි කළ ‘ස්ටාර්’, ‘චන්ද්‍ර’ සහ ‘සූර්ය’ යන මුර අට්ටාල තුන ආශ්‍රිත භූමියෙහි ද, ආරුක්කු පිවිසුම් භූමියෙහි ද කැණීම්කර තිබේ. මෙයින් ‘ස්ටාර්’ සහ ‘චන්ද්‍ර’ පිහිටියේ පැරණි ඔර්ලෝසු කණුව අවට එනම්, වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ සමනල පාලමට මුහුණලා ගෙන ය. බාලදක්ෂ මාවත ඔස්සේ ගාලු කොටු දොරකඩ දෙසට එන විට, හමුවන මහාචාර්ය සෙනරත් පරණවිතාන පිළිරුවට සමීපයෙන් ‘සූර්ය මුර අට්ටාලය’ දැකගත හැකි ය. එය ඉදිකර ඇත්තේ කොටු දොරකඩ සහ ගාලු වරායේ (පැරණි වරායේ) ආරක්ෂාව ඉලක්කකර ගනිමිනි. සූර්ය මුර අට්ටාලය, ගාලු කොටුවට ගොඩබිම දෙසින් පැවති ප්‍රධාන මුර කඳවුරයි. එහි කාලතුවක්කු පහළොවක් සවිකර තිබුණු බව පැරණි ලේඛනවල එයි.
 

පෘතුගීසීන් මුර අට්ටාල ඉදිකර ඇත්තේ ‘කාලතුවක්කු’ සවි කිරීම අරමුණුකර ගනිමිනි. අට්ටාලවල වහලය ආරුක්කුවක හැඩයට, ගඩොලින් නිමකර ඇත. ආචාර්ය නිමල් පෙරේරා පවසන අන්දමට, එයින් සමහර ගඩොල් කැට ලංකාවේ නිෂ්පාදනය කෙරුණු ඒවා නො වේ. එම ගඩොල් කැට ගෙන්වා ගෙන ඇත්තේ ඕලන්දයෙනි. කැණීම්වලින්  ගාලු කොටුව සම්බන්ධයෙන් මෙබඳු අලුත් තොරතුරු රැසක්  හෙළිකර ගෙන තිබේ.
 

පෘතුගීසි සමයේ ‘ආහාර අපද්‍රව්‍ය අවශේෂ’ සහිත පස් ස්තරය එයින් සුවිශේෂ ය. පොරෝ පහරින් ඝාතනය කෙරුණු ‘ගං ඌරන්ගේ’ හිස් කබල්වල කොටස් එහි දී ජූඞ් පෙරේරාට හමුවී තිබේ. ඒවායෙහි ඇති පොරෝතල වැදුණු සලකුණු ද ඔහු විසින් නිරීක්ෂණයකර ඇත. ඒ සමගම, එළු, කුකුළු, බැටළු ආදී ගෘහාශ්‍රිත සතුන්ගේ ඇටකටු ද, මුහුදු මාළු කටු ද ‘ආහාර අපද්‍රව්‍ය‘ සහිත පස් ස්තරවලින් නිරීක්ෂණය විය.
 

‘සාමාන්‍යයෙන් ගාලු කොටු බැම්ම දිහා පිටතින් බලන කොට අපට පේන්නේ ඒක තනි කළු ගලෙන් බැන්දා වගේ. ඒත් ඒක ඇත්තක් ම නෙවෙයි. ඔය තනි බැම්ම ඇතුළේ තව පැති බැමි තුනක් තියෙනවා. ඒවා හදලා තියෙන්නේ මැටි සහ කොරල් ගල්වලින් ‘සක්ක බැම්මක්’ බැඳීමෙන්. ඒකට භාවිතා කෙරුණු තාක්ෂණයට දේශීය සහ විදේශීය කාරණා මිශ්‍ර වෙලා තියෙනවා. බැමි මැදට ‘පස්’ පුරවලා තියෙනවා. පස් ගෙනත් තියෙන්නේ පිටස්තරයෙන් පිහිටි ජනාවාස ප්‍රදේශයකින්. ගාලු කොටුව බඳින්න පස් කියුබ් මිලියන ගාණක් ගේන්න ඇති. ශ්‍රමිකයන් දහස් ගණනක් වැඩ කරන්න ඇති. ඒ අයගේ ලේ, කඳුළු-දහඩිය තමයි කොටු බැම්මෙන් පේන්නේ’, ආචාර්ය නිමල් පෙරේරා කියන්නේ ය.
 

එකල පෘතුගීසීහු ‘වහල් වෙළෙඳාමෙහි’ ද නියැලුණහ. ඔවුන් දකුණු අප්‍රිකානුවන් අල්ලා ගෙන ‘වහලුන්’ සේ ගාල්ලට ගෙන වුත්  කොටු බැම්ම බැඳීම සඳහා යොදවා ගෙන තිබේ.
 

පෘතුගීසි සමයේ දී, කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල රජු (ක්‍රි. ව. 1551-1597) වෙනුවෙන් ගාලු වරාය භාරව සිටියේ රණ ශූරයෙකු සේ සැලකෙන ‘මාතර සමරකෝන් මුදලි’ ය. ධර්මපාල රජු විසුවේ පෘතුගීසීන්ගේ තුරුලේ ය. ‘සමරකෝන් මුදලි’ ද කටයුතු කළේ පෘතුගීසීන්ට පක්ෂපාතව ය. සීතාවක පළවැනි රාජසිංහ රජුගේ හමුදාවන්ට සහ සිංහල ජනයාට එරෙහිව ය. පැරණි තොරතුරුවල එන හැටියට, කොටු බැම්ම බැඳීම පිණිස පෘතුගීසීන්ට ‘සමරකෝන් මුදලිගේ’ උදව් ලැබී තිබේ!
 

කැණීම්වල දී හමුවූ පස් ස්තරවලින් විවිධ මාදිලියේ මැටි බඳුන් කැබලි සහ පෝසිලේන් බඳුන් කැබලි ආදිය  සොයා ගැනුණි. බැමි පිරවීම පිණිස රැගෙන ආ පස්, ජනාවාස ප්‍රදේශයකින් ලබා ගත් බවට එයින් සාක්ෂි සැපයිණි. අනෙක, ගාල්ල අවට එකල ‘වත් පොහොසත්කම් සහිත’ ප්‍රජාවක් වාසය කළ බවට ඉඟියක් ද එයින් ලැබේ. හමු වුණු පුරාවස්තු අතර, ආනයනික පෝසිලේන් බඳුන් කොටස් ද තිබීමෙන් ඒ බව ගම්‍ය වේ. එයින් ඇතැම් බඳුන් කොටස් ආනයනික සුඛෝපභෝගී ‘චීන පෝසිලේන්‘ ය!
 


කැණීම්වලින් මතු කෙරෙන පස් ස්තර විශ්ලේෂණය කරන ජූඞ් පෙරේරාට, පැරණි  ‘මිනිස් අස්ථි කොටස්’ ද හමුවී තිබේ. මිනිසුන් හතර පස් දෙනෙකුගේ අස්ථි ඒ අතර වේ. ඒවා සුවිශේෂ ය. ඊට හේතුව වන්නේ මේ ඇටකටු පෘතුගීසීන්ගේ ‘ආහාර අපද්‍රව්‍ය‘ සහිත පස් ස්තරවලින් හමුවී තිබීමයි!
 

යටත් විජිත පාලන සමයෙහි ගාලු කොටුව ඇතුළේ සුසාන භූමි කිහිපයක් ද පැවතුණි. ඒවායෙහි භූමිදානය කළ මළ සිරුරුවල ඇටකටු, මීට ඉහත ද පුරාවිද්‍යා කැණීම් සහ යම්යම් ඉදි කිරීම් පිණිස පොළොව කැණීමේ දී හමුවී තිබේ. ඒවා යම් ආගමික පිළිවෙත් අනුව භූමිදානය කළ අවස්ථාවන් ය. එහෙත් ජූඞ් පෙරේරාට නිරීක්ෂණයවී ඇති මිනිස් ඇටකටු භූමිදානය කරන ලද ඒවා නොවේ. ඒවා තිබී ඇත්තේ ‘ආහාර අපද්‍රව්‍ය‘ සහිත පස් ස්තරවල ය. එය මහත් කුතුහලයක් දනවයි!
 

‘මේ මිනිස් ඇටකටු අතර ‘කලවා අස්ථි’ සහ අනෙකුත් අස්ථිත් තියෙනවා. ඒවායේ ‘කැපුම් සලකුණුත්’ තියෙනවා. විශේෂයෙන් කලවා අස්ථිවල කැපුම් සලකුණු පේන්න තියනවා. හරියට කඩුවක් වගේ තියුණුවට කැපෙන ආයුධයකින් කළා වගේ. ඒවා දකිද්දී හිතෙන්නේ, ‘මස් කෑම පිණිස’ මනුස්සයෙක් කැපුවා වත් ද කියලයි’, ජූඞ් පෙරේරා කියන්නේ ය.
 

පෘතුගීසීන් එන විට ගාල්ල පැවතියේ සීතාවක සහ කෝට්ටේ රාජධානි යටතේ ය. ඔවුන්ගේ හමුදා පෘතුගීසීන්ට එරෙහිව දිගින් දිගට ම සටන් කළහ. සටන් කොතරම් දැඩි ද යන්න, ගාලු කොටුවේ ‘සූර්ය’ මුර අට්ටාලයේ සවිකළ පෘතුගීසි කාලතුවක්කු පහළොවක් ඔවුන් ගොඩ බිම දෙසට මානා තිබීමෙන් ම පැහැදිලි වේ!
 

‘මේක සටන් භූමියක්. ඒ කාලේ බොහොම දරුණු සටන් පැවතිලා තියෙනවා. සටන්වල දී මිනිස්සු සිය ගණන් මැරෙන්න ඇති. සමහර දෙනෙක් සිරකරුවන් හැටියට අල්ලා ගන්නත් ඇති. ඒ අය අතිශයින් ම ක්‍රෑර වධ බන්ධනවලට ලක් වෙන්නත් ඇති. කැපුම් සලකුණු සහිත මිනිස් ඇටකටු ඒ වගේ අවස්ථාවක් පෙන්නුම් කරනවා ද කියා සොයා බැලිය යුතුයි’, ආචාර්ය නිමල් පෙරේරා කියන්නේ ය.
 

ජනප්‍රවාද කතාවල එන හැටියට, සීතාවක පළවැනි රාජසිංහ රජ්ජුරුවන්ගේ සේනා කොළඹ පෘතුගීසි යුද බලකොටුව වටලා දුන් පීඩනය නිසා එහි මහත් ආහාර අහේනියක් ඇති විය. දිවි රැක ගැනීම සඳහා එහි ඉතිරිව සිටි පෘතුගීසි සොල්දාදුවන්ට ‘බළල් මස්’ පවා කන්නට සිදු වුණු බව කියැවේ. ගාලු කොටුවේ ද එවැනි ආහාර අහේනියක් හට ගෙන, දිවි රැක ගැනීම පිණිස පෘතුගීසි සෙබළුන් යුද සිරකරුවන් හෝ තමන් එකිනෙකා මරා ගෙන ආහාරයට ගත්තා ද? යන්න, පැහැදිලි නැත!
 

(ගාලු කොටුවේ ඉතිහාසය සහ මුර අට්ටාල සම්බන්ධයෙන් මෙහි එන ඇතැම් තොරතුරු ලබා ගත්තේ  ‘ගාලු උරුමය පදනමෙනි’.)
 

(මෙම ලිපිය 2020/12/20 සතිඅග අරුණ පුවත්පතේ පළ විය.)
 

 

 

 

 



                                                    



Monday, November 30, 2020

වසූරිය රෝගීන් රූමස්සලට ගෙන ගොස් දැමූ බි්‍රතාන්‍ය පාලන කාලේ

 
වසූරිය රෝගීන් 

රූමස්සලට ගෙන ගොස් දැමූ 

එංගලන්ත පාලන කාලේ

ගාල්ල (පින්තූරය-අන්තර්ජාලයෙනි)

 


(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
එඞ්වඞ් ජෙනර් නම් බි්‍රතාන්‍ය ජාතික වෛද්‍යවරයා ‘වසූරිය’ (Small Fox) රෝගය මර්දනය කිරීම පිණිස ‘එන්නතක්’ සොයා ගත්තේ වර්ෂ 1798 දී ය. ලොව පුරා වේගයෙන් පැතිර යමින් තිබුණු ‘වසූරිය වසංගත රෝගය’ මර්දනය කරන්නට එයින් ඉමහත් ශක්තියක් ලැබිණි.
 

මහාචාර්ය කේ. ඩී. පරණවිතානයෝ සිය ‘ගාලු පුරාණය’ කෘතියෙහි කදිම පුවතක් අනාවරණය කරති. එනම් ලන්දේසි පාලන සමයේ ගාලු රෝහලේ සිටි වෛද්‍යවරු, වර්ෂ 1796 දී ‘වසූරිය රෝගය’ පාලනය කිරීම සඳහා ‘ප්‍රතිශක්තිකරණ ක්‍රමයක්’ සාර්ථකව අත්හදා බැලූ බවයි. එය සිදුකර ඇත්තේ එකල එහි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයා වශයෙන් කටයුතු  කළ ආබ්‍රහම් ස්ට්‍රාස්බර්ග් මහතා විසිනි.  අපුර්වත්වය වන්නේ, එය බි්‍රතාන්‍ය ජාතික වෛද්‍යවරයෙකු වන එඞ්වඞ් ජෙනර් මහතා විසින් ‘වසූරිය මර්දන එන්නත’ ලෝකයට දායාද කරන්නට දෙ වසරකට පමණ පෙර කළ අත්හදා බැලීමක් වීමයි. එය ‘එන්නත් ක්‍රමයක්’ ද යන්න අපැහැදිලි ය. එසේ වුව ද එයින් ‘වසූරිය’ රෝගය පාලනය කළ හැකි විය.
 

වසංගත රෝග සම්බන්ධයෙන් මෙබඳු වාර්තා බොහොමයක් ‘ගාල්ලට’ තිබේ. ගාල්ල, අතීතයේ පටන් ම ‘වරාය නගරයකි’. පෙරදිග-අපරදිග වෙළෙඳ නැව් මාර්ග ඔස්සේ පැමිණි ඉසුරුමත් නාවික වෙළෙන්දන් එකට මුණ ගැසුණේ ගාල්ල වරායේ දී ය. එය උඩරට සිංහල රජවරුන්ගේ වරායකි. පහළොස් වන ශත වර්ෂය වන විට, ගාල්ල වරායේ වෙළෙඳ බලය ඩැහැගෙන තිබුණේ, රජවරුන්ගේ අනුග්‍රහයෙන්  කුළුබඩු වෙළෙඳාමෙහි නිරතව සිටි අරාබියානු මුස්ලිම් වෙළෙන්දන් ය. ඔවුන් ඉන්දියාව, ලංකාව සහ ඉන්දුනීසියාව ආදී රටවල් වෙත නෞකා මෙහෙයවමින් කුළුබඩු වෙළෙඳාම ජයට ම කර ගෙන ගියහ.
 

ලංකාවට සේන්දු වූ ප්‍රථම යුරෝපීය ජාතිය, ‘පෘතුගීසීන්’ ය. වර්ෂ 1505 දී ඔවුන් ගොඩ බැස්සේ ද ගාල්ලට ය. ඔවුන් ගාල්ලට එන විට, එහි වෙළෙඳ බලය පැවතියේ අරාබියානු වෙළෙන්දන් අතේ ය. ඇත් දළ, කැටයම් භාණ්ඩ, අලි ඇතුන්, මුතු-මැණික්, රේන්ද, කුරුඳු, ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග, එකල ගාල්ලෙන් නැව්ගත කෙරිණි.  ඒ වෙනුවට පෝසිලේන් භාණ්ඩ, මිදි යුෂ, සේද රෙදි සහ විවිධ ආහාර ද්‍රව්‍ය ආදිය හුවමාරු කෙරිණි. පෘතුගීසීන් ලංකාවට ගොඩ බැස්සේ ද කුළුබඩු මිල දී ගනු පිණිස ය. පසුව ඔවුහු අරාබීන්ගේ සාගරීය ‘වෙළඳාම’ කොල්ල කා, තමන් වෙත නතුකර ගත්හ.
 

‘ලන්දේසීන්’ හෙවත් ඕලන්ද නාවිකයන් ද,  මේ අතර කුළුබඩු සොයා ගෙන පෙරදිගට යාත්‍රා කළහ. ඉන්දියන් සාගරයට පිළිපන් ඔවුහු,  වර්ෂ 1658 දී ලංකාවෙන් පෘතුගීසීන් පලවා හැරියහ. ඉක්බිති ගාල්ල වරායේ වෙළෙඳාම අල්ලා ගත්හ. බි්‍රතාන්‍යයන් 1796 දී ගාල්ලට පැමිණියහ. ලන්දේසීන් පලවා හැර වෙළහෙළඳාම් ඇතුළු  ගාල්ලේ පාලන බලය තහවුරුකර ගත්හ. මේ සෑම විදෙස් ආක්‍රමණයකට ම හේතුව වූයේ ලංකා භූමියේ ‘උපක්‍රමික පිහිටීමයි’. අපේ රට පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරයේ මැද හරියට වන්නට ය.
 

ගාලු වරාය ඔස්සේ රට තුළට ගැලූ ආර්ථික සමෘද්ධිය සුවිශේෂ ය. එහෙත් ඒ සමගම, නොයෙකුත් වසංගත රෝග ද වරින්වර ගාල්ලට පැමිණුනි. ඒවාට මුහුණ දීමට ගත් ක්‍රියාමාර්ග නිසා පැරණි ගාල්ල, ‘නිරෝධායන වරාය නගරයක්’ වශයෙන් නාමකරණය කෙරිණි. ගාල්ලේ වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් දියුණු වීමට ද මේ කාරණය බලපෑවේ ය.
 

‘කොවිඞ්-19’ (කොරෝනා) වසංගතය වර්තමානයේ ගාල්ලට ද බලපා තිබේ. ඒ සමගම, කරාපිටිය ශික්ෂණ රෝහලේ ‘පී. සී. ආර්.’ පරීක්ෂණ ධාරිතාව වැඩි කෙරිණි. ගාල්ලට නුදුරු බූස්ස සහ හබරාදූව යන ප්‍රදේශවල ‘නිරෝධායන මධ්‍යස්ථාන’ ස්ථාපිත කෙරිණි. එහෙත් යුරෝපීය ආක්‍රමණිකයන්ගේ පාලන සමයේ ‘නිරෝධායනය’ යනු බොහොම සාමාන්‍ය කාරණයක් විය. එකල, වසංගත රෝගවලට ගොදුරු වූවන් නිරෝධායනය කෙරුණේ ගාලු වරායට නුදුරු  උණවටුන සහ රූමස්සල ආශ්‍රිත ප්‍රදේශවල ය.
 

ඉපැරණි ලංකාවේ සෞඛ්‍ය සේවා සහ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු ක්‍රියාත්මක වූයේ, ආයුර්වේදය සහ අනෙකුත් දේශීය වෛද්‍යක්‍රම මත පදනම් වෙමිනි. ඒ සඳහා ගම් මට්ටමින් ‘වෙද මහත්තුරු’ බිහිවී  සිටියහ. බෞද්ධ විහාරස්ථානවල වැඩ සිටි ඇතැම් භික්ෂූන් වහන්සේලා ද දේශීය වෛද්‍යවරුන් වශයෙන්  (වෙද හාමුදුරුවරුන්) රෝගී ජනයාගේ සුවසෙත පිණිස කටයුතු කළහ. එකල සිංහල රජුන්ට සේවය කිරීම පිණිස ‘රාජකීය වෛද්‍යවරුන්’ පත්කර ගෙන සිටියහ. ඈත අතීතයේ පටන් ගාල්ලේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු ද, ඒ ආකාරයට සංවිධානය වී තිබිණි.
 

කෙසේ වෙතත්, අරාබියානු නාවික වෙළන්දන් ගාලු වරාය පරිහරණය කරන්නට වීමත් සමගම, ඔවුන්ගේ ‘යුනානි’ වෛද්‍ය ක්‍රමය ද ගාල්ලේ ක්‍රියාත්මක විණි. රටේ මුහුදුබඩ පළාත් යුරෝපීය ආක්‍රමණිකයන් විසින් අණසකට නතුකර ගැනීමත් සමගම තත්ත්වය වෙනස් විය. ක්‍රමයෙන් ‘බටහිර වෛද්‍ය ක්‍රමය’ ස්ථාපිත වන්නට පටන් ගත්තේ ය.
 

ගාල්ලේ ප්‍රථම ‘රෝහල’ ඉදි කරන්නේ පෘතුගීසීන් ය. වර්ෂ 1505 දී මුලින් ම ගාල්ලට පැමිණි ඔවුහු එහි සමුද්‍ර තුඩුව ආශ්‍රිතව යුද බලකොටුවක් (ගාලු කොටුව) ඉදිකර ගත්හ. එකල  පෘතුගීසි පවුල් 262ක් එහි පදිංචිව සිටි බව කියැවේ. ඔවුන් නිසැකව ම, පෘතුගීසි යුද හමුදාවේ උසස් නිලධාරීන්, නාවිකයන් සහ ඔවුන්ගේ වෙළෙඳ අංශවලට අයත් යුරෝපීයයන්  වන්නට ඇත. රෝහල, බල කොටුව ඇතුළේ  ම ඉදි කරන්නට ඇතැයි සිතිය හැකි ය.
කොටුවේ පදිංචිව සිටින පෘතුගීසි පවුල්වල සාමාජිකයන්ගේ ලෙඩට-දුකට ප්‍රතිකාර කිරීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය කටයුතු පවත්වා ගෙන යාම, රෝහලේ කාර්යභාරය විය. නැව් මගින් එන විදේශිකයන්ට ප්‍රතිකාර කිරීම ද පෘතුගීසි රෝහලෙන් සිදු විණි. එකල නැව් මගින් එන මගීන් බොහොම දෙනෙකු, ‘උණ’ සහ ‘නිව්මෝනියාවෙන්’ පෙළුණු බව පැරණි තොරතුරුවල සඳහන් වේ. පෘතුගීසීන් ගාලු කොටුවේ තැනූ රෝහල, ‘බටහිර ක්‍රමයේ වෛද්‍ය ප්‍රතිකාර’ සඳහා ලංකාවේ බිහිවුණු ප්‍රථම රෝහලයි. කෙසේ වෙතත්, එයින් ස්වදේශික ගාලු වැසියන්ට ප්‍රතිකාර කෙරුණු බවක් අසන්නට නැත.
 

ඉන් පසුව වර්ෂ 1640 දී ආක්‍රමණික ලන්දේසීන් ගාල්ල අල්ලා ගත්හ. ඔවුන් ද සිය ප්‍රයෝජනය පිණිස ගාලු කොටුව ඇතුළේ රෝහලක් තැනූහ. එය ද හමුදා සේනාංකවල සහ නාවික අංශවල ප්‍රයෝජනය මුල්කර ගෙන ඉදිවුණු රෝහලකි. එහි ප්‍රතිකාර කටයුතු පවත්වා ගෙන යන ලද්දේ ලන්දේසි ජාතික ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ මෙහෙයවීමෙනි.
 

ඔවුන්ගේ යුද හමුදා නිලධාරීන්, යුද භටයන් සහ ලන්දේසීන්ගේ වෙළෙඳ අංශවල අයට ද, නැව් මගින් පැමිණෙන යුරෝපීය ජාතිකයන්ට ද එයින් ප්‍රතිකාර කෙරිණි. එය පිහිටා තිබුණේ, ගාලු කොටුවේ වර්තමාන අධිකරණ සංකීර්ණය ඉදිරිපිටින් දිවෙන ‘රෝහල් වීදියේ’ ය. එනම් වර්තමානයේ ‘හාබර් මාස්ටර්  නිල නිවාසය’ පවත්වා ගෙන යන භූමියේ ය. 

ලන්දේසීන්ගේ රෝහල විශාල එකකි. එය ‘ඩච් හොස්පිට්ල්’ වශයෙන් ව්‍යවහාරයට ආවේ ය. ඔවුන් එහි රෝපණය කළ ‘රට දෙල් ගස්’ කීපයක් අදත් දක්නට ලැබේ. රට දෙල්, පෝෂණ ගුණයෙන් පිරිපුන් ආහාරයකි.
ගාලු උරුමය පදනමේ තරංග ලියනාරච්චි මහතා පවසන අන්දමට,  සැබෑ ‘ඩච් හොස්පිට්ල්’ යනු වර්තමානයේ වෙළෙඳ සංකීර්ණයක් බවට පත්කර ඇති  ‘දෙමහල් බි්‍රිතාන්‍ය රෝහල් ගොඩනැගිල්ල’ නොවේ. අත්තිවාරම් අනුව බලන කල, ලන්දේසීන් හැදූ රෝහල, බි්‍රතාන්‍යයන් තැනූ දෙමහල් රෝහල් ගොඩනැගිල්ල මෙන් තුන් ගුණයක්වත් විශාල තනි මහලේ ගොඩනැගිල්ලකි! අද එය දක්නට නැත.
 

ලන්දේසි පාලන සමයේ දී ගාල්ල ආශ්‍රිතව වරින්වර ‘වසූරිය’ (Small pox) නමැති වසංගත වෛරස් රෝගය විශාල ලෙස පැතිරී ගොස් තිබේ. වර්ෂ 1786 දී එයින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 800ක් පමණවූ බව පැරණි තොරතුරුවල  එයි. ගාලු කොටුවේ පවත්වා ගෙන ගිය ‘ලන්දේසි රෝහලේ’ දී ඔවුන්ට ප්‍රතිකාර කෙරුණු බව සඳහන් ය.
 

 වර්ෂ 1796 දී ලන්දේසීන් පැරදවූ බි්‍රතාන්‍යයෝ ගාල්ල අල්ලා ගත්හ. ගාල්ල වරාය ද ඔවුන්ගේ පාලනයට නතුකර ගත්හ. ඉන් පසුව ගාලු කොටුව සිය යුද හමුදා සහ පාලන මධ්‍යස්ථානය බවට පත්කර ගත්හ. ඉක්බිති අලුතින් දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ‘රෝහලක්’ තැනූහ.  එය ඉදි කෙරුණේ, ඔවුන්ට පෙර එහි සිටි ලන්දේසීන් හැදු රෝහලට සමීපයෙනි. අලුත් රෝහල ඔවුන්ගේ හමුදා නිලධාරීන්, යුද භටයන් සහ කොටුව තුළ පදිංචි යුරෝපීයයන් වෙනුවෙන් පවත්වා ගෙන ගිය එකකි. වසංගත රෝග ආදී අවස්ථාවල එයින් සිංහල ජනයා ට ද ප්‍රතිකාර කරනු ලැබී ය. ඒ සඳහා ඔවුන් ‘Friend-in-need society’ නම් වැඩ පිළිවෙලක් පවත්වා ගෙන ගිය බව ‘Galle medical journal’ සඟරාවෙහි දැක්වේ.
ගාලු කොටුවේ ‘බි්‍රතාන්‍ය රෝහල’ (දෙමහල් ගොඩනැගිල්ල) වර්ෂ 1850 දී හමුදා බැරැක්කයක් වශයෙන් භාවිත කෙරිණි. පසුව වර්ෂ 1915 පමණ සිට එහි ‘ගාල්ල කච්චේරිය’ පවත්වා ගෙන යනු ලැබිණි. කච්චේරිය එතැනින් ඉවත් කිරිමත් සමග, දෙමහල් ‘බි්‍රතාන්‍ය රෝහල් ගොඩනැගිල්ල’, වෙළෙඳ සංකීර්ණයක් වශයෙන් නවීකරණය කෙරිණි. එය 2014 වසරේ දී විවෘත විය.
 

ලන්දේසි සහ බි්‍රතාන්‍ය පාලන කාලවල, ගාල්ල සහ ඒ අවට ප්‍රදේශයේ ‘නිරෝධායන රෝහල්’ පහක් පමණ තිබෙන්නට  ඇතැයි යන්න, ‘ගාලු උරුමය පදනමේ’ විශ්වාසයයි.  වර්තමානයේ ගාල්ල ‘බන්ධනාගාරය’ පවත්වා ගෙන යන භූමියේ ද එකල රෝහලක් තිබිණි. වසූරිය සහ අනෙකුත් වසංගත රෝග සඳහා ප්‍රතිකාර කිරීමට රූමස්සල කන්දේ වන පියස ද භාවිත කෙරිණි. එහි කුඩා රෝහල් තිබුණු බව කියැවේ. එම කටයුතු මෙහෙයවා ඇත්තේ කතෝලික පූජකවරුන් විසිනි. රූමස්සල කන්දේ පිහිටි දේවස්ථානය ද එකල ඉදි කෙරුණකි. නැව් මගින් ගාල්ලට පැමිණුනු විදේශික වසංගත රෝගීන්ට ද රූමස්සල දී ප්‍රතිකාර කෙරිණි.
 

බි්‍රතාන්‍ය පාලන සමයේ ගාලු කොටුවේ පැවති නාගරික පුස්තකාලයේ, පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කළ  ‘නෝරා රොබට්ස්’ ලේඛිකාව, ගාලු ඉතිහාසය සම්බන්ධයෙන්  ‘GALLE-AS QUIET AS ASLEEP’ නමින් ග්‍රන්ථයක් පළ කළා ය. එහි සඳහන් වන අන්දමට, බි්‍රතාන්‍ය පාලන සමයේ උණවටුන ප්‍රදේශයේ නිරෝධායන රෝහල් දෙකක් තිබිණි. ඉන් එකක් ‘කොලරාව’ වැළඳුණු රෝගීන් වෙනුවෙන් වෙන්කර තිබිණී. බොනවිස්ටා කඳු මුදුනේ පැවති අනෙක් රෝහල, ‘වසූරිය’ රෝගීන් වෙනුවෙන් පවත්වා ගෙන යනු ලැබිණි.
 

බි්‍රතාන්‍ය පාලකයෝ, 1869 දී ගාලු කොටුවට සමීප කළුවැල්ල ‘මහ මෝදර’ ප්‍රදේශයෙන් වෙරළාසන්න ඉඩමක් අත්පත්කර ගත්හ. එය, වතු වැවිලි කටයුතු සඳහා ඉන්දියාවෙන් කුලී කම්කරුවන් විශාල වශයෙන් ගෙන්වා ගත් කාලයයි. ගාලු වරාය ඔස්සේ ඉන්දියාවේ මලබාර් ප්‍රදේශයෙන් ගෙන්වා ගත් කුලීකරුවන් ‘නිරෝධායනය’ කෙරුණේ මහමෝදර භූමියේ දී ය. එහි දී වසූරිය රෝගය වැළැක්වීම පිණිස ප්‍රතිශක්තිකරණ ඔසු එන්නත් කරනු ලැබිණි. ඉන් පසු ඔවුන් වර්තමානයේ මාතර දිස්ත්‍රික්කයට අයත් මොරවක ප්‍රදේශයේ තේ වතුවලට පිටත්කර යැවිණි.
 

වර්ෂ 1889 දී බි්‍රතාන්‍යයෝ, මහ මෝදර භූමිය නව ගොඩනැගිලි ආදිය ඉදිකර ක්‍රමයෙන් වැඩි දියුණු කළහ. මේ අතර, 1895 වසරේ ‘මැලේරියා රෝගය’ ද වසංගතයක් වශයෙන් ගාල්ල ආශ්‍රිතව පැතීරී තිබේ. බි්‍රිතාන්‍යයන් ගාල්ල සහ මාතර අතර දුම්රිය මාර්ගය ඉදි කරද්දී, ජල වහන මාර්ග අවහිර වීමෙන් මදුරුවන් බෝවී, මැලේරියාව පැතිරෙන්නට මග පෑදුණු බව සඳහන් ය. මේ සියලු රෝග තත්ත්වයන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර සැපයුණේ ගාලු කොටුවේ පිහිටි රෝහලෙනි. ක්‍රමයෙන් එහි ඉඩකඩ හිඟ වන බව පෙනී ගියේ ය.
 

පසුව වර්ෂ 1914 දී මහ මෝදර භූමිය සම්පූර්ණ රෝහලක් බවට පත් කෙරිණි. වක්වැල්ලේ සිට ගිං ගඟෙන් එන ‘කැප්පු ඇල’,  ඊට නුදුරින් මුහුදට වැටෙන නිසා එයට ‘මහ මෝදර මහ රෝහල’ යයි නම් පටබැඳිණි. එකල එය දකුණු පළාතේ ප්‍රධාන මහ රෝහල විය. මහජනතාව එය ‘ගාල්ලේ මහ රෝහල’ යයි හැඳින්වූහ.
 

1922 සහ 1929 යන වර්ෂවල ද ගාල්ලට ‘මහාමාරිය’ රෝග අවදානමක් ඇති විය. එකල ඉන්දියාවේ ද මහාමාරිය රෝගය පැතිරෙමින් පැවතිණි. ඉන්දියාවේ සිට ගාලු වරායට සේන්දු වූ නැව්වල සිටි මීයන් ගෙන් මහාමාරිය බෝවුණු බව එකල ප්‍රකාශ විය. එබැවින් බි්‍රතාන්‍යයෝ, ගාල්ල වරාය ‘වසූරිය නිරෝධායන වරායක්’ වශයෙන් තෝරා ගත්හ.

0000000000000000
(ගාල්ලේ සෞඛ්‍ය සහ වෛද්‍ය ඉතිහාසය සම්බන්ධ කාරණා බොහොමයක් සඳහන් වන්නේ, ‘
Galle medical journal- Vol 11: No. 1, September 2006’ සඟරාවෙන් උපුටා ගෙන අන්තර්ජාලයෙහි පළකර ඇති ලිපියක ය. එය සකසා ගෙන ඇත්තේ රුහුණු වෛද්‍ය පීඨයේ මහාචාර්ය සරත් ලේකම්වසම් මහතා ‘ගාල්ල වෛද්‍ය සංගමයේ’ දී කළ දේශනයක් ඇසුරිනි.)

0000000000000
(මෙම ලිපිය 2020/11/29 දින සති අග අරුණ පුවත්පතේ පළවිය.)



Sunday, October 18, 2020

මහවැලි ගඟ පහළ විල් සහ විල්ලු ගොවිතැන

 

මහවැලි ගඟ පහළ විල් සහ විල්ලු ගොවිතැන

 

 


                           

 හඳපාන්විල

 

 

(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)

(පින්තූර-සුපුන් රංජන)    

මහවැලි ගඟේ පහළ නිම්නයට වසන්තය එළඹෙන්නේ, ඊසාන දිග මෝසමේ වැසි ලැබෙන  නොවැම්බරය අග භාගයේ පටන් දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි ආරම්භය දක්වා වකවානුවට ය. ඒ කාලයට, මහවැලි ගඟ මහවැලි ගඟ ජලයෙන් පිරී ඉතිරී යන අතර, පහළ නිම්නයට ගංවතුර කඩා වදියි!

 මහවැලි ගඟේ ගංවතුර සමය යනු ගඟ පහළ විල් පද්ධතිවලට දියවර පිරෙන්නටත්, එයින් විල්ලුනිර්මාණය වන්නටත් මග පෑදෙන වකවානුවකි. ගඟ පහළ නිම්නයේ අනාදිමත් කාලයක් තිස්සේ කෙරෙන විල්සහ විල්ලුගොවිතැන, එම ප්‍රදේශවලට ම ආවේණික වූවකි.  සාරවත් විල්ලු පසේ හට ගන්නා එක් ගොයම් පඳුරක් හරකෙක් දිගේලි කරන්නට තරම් ශක්ති සම්පන්න බව, මහවැලි ගඟේ පහළ ම පෙදෙස්වල පැරණි කියමනකි!

 එක ගොයම් පඳුරක් උප්පිඩක්’, පොළොන්නරුවේ හිඟුරක්ගොඩ වෙසෙන ආරියරත්න සුබසිංහ (ආරි සර්) ගොවියා කියන්නේ ය. හෙතෙම විල් සහ විල්ලු ගොවිතැන අරභයා අත්දැකීම් ඇති, වස විසෙන් තොරව දේශීය වී වගා කරන්නට උනන්දුවක් දක්වන්නෙකි.

 මහවැලි ගඟේ පහළ නිම්නයට මහියංගණයෙන් පහළ දෙහිඅත්තකණ්ඩිය, අරලගංවිල, මනම්පිටිය, සෝමාවතිය, සුංගාවිල සහ කන්දකාඩුව සිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල දක්වා පෙදෙස් ඇතුළත්කර ගත හැකි ය. එම ප්‍රදේශවල ඔස්සේ ගලන, මහවැලි ගඟට සම්බන්ධ වන ලොකු කුඩා ජල මාර්ග, ගංවතුර දෙගොඩ තලා යන කාලයට මැකී ටික කලකට අතුරුදන් වෙයි. එයින් පසුව විල්සහ විල්ලුනිර්මාණය වන වකවානුව එළඹෙයි.  එය සිදු වන්නේ ගංවතුර ටිකෙන් ටික බැස යාමත් සමගිනි.

 මහවැලි ගඟ පහළ පැරණි විල් පද්ධතිය පටන් ගන්නේ දෙහිඅත්තකණ්ඩියෙනි. එහි සිට ත්‍රිකුණාමලයේ ගං මෝය දක්වා ස්වාභාවික විල් අටක් තිබේ.  දෙහිඅත්තකණ්ඩියට නුදුරින් හුංගමාලගම ප්‍රදේශයේ පිහිටි පොල්අත්තාවිල’, ‘හඳපාන්විල’, ‘අරලගංවිල’, ‘සොරිවිල’, ‘කටුවන්විල’, ‘පරකාසවිල්ලුවහෝ මීන්විල’ (සෝමාවතිය), ‘සුංගාවිලසහ සේරුවාවිලයනු එම විල් අටයි.

 දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ජන ප්‍රවාද කතා අනුව, ‘හුංගමාලගමයනු හුංගානම් ආදිවාසී නායකයෙකු අස්වැද්දූ ප්‍රදේශයයි.  එය හමු වන්නේ පොල්අත්තාවිලප්‍රදේශයේ ය. ඔහු ගොවිතැන්කර ඇත්තේ එහි දියවරිනි. මහවැලි ගඟේ ජල මට්ටම අඩු වුණු ඉඩෝර කාලයට, පොල්අත්තාවිලට බැසීම පිණිස පුරාණයේ ඉදි කළ පියගැට පෙළවල නටබුන් අදත් දකින්නට පුළුවන. මේ සෑම තැනක ම පුරාණ ගඩොල්, ගල් කණු කෑලි වාගේ නටබුන් තියෙනවා’, පොල්අත්තාවිලට නුදුරින් වෙසෙන ගොවියෙකු වන නන්දසිරි කේ. පතිරණ හෙවත් ගුරු අයියාකියයි. මේවාට අමතරව, මහවැලි ගඟ පහළ කොටස්වල විල්ලුයනුවෙන් හඳුන්වන ජලාශ රාශියක් වේ. ඒවායින්  බහුතරයක් පිහිටා ඇත්තේ වනගතව ය.

 

විල් සහ විල්ලුවල ජීවිතය

මහවැලි ගඟේ විල් පද්ධතියේ ජීවිතයරඳා පවතින්නේ ගංගාවේ දියවර ගලා යන රටාව අනුව ය. ගංගාව උතුරා ගංවතුර ගලන කාලයට, වැහි පිටාර වතුර ගඟ ඉවුරු පැන, විල්වලට එක් වෙයි. එයින් විල් පිරී යන්නේ ය. ගොවීහු ඒ දියවරින් ගොවිතැන් කරති. ඇතැම් විට, පිරී ගිය

විලක දියවර, වගා කන්න කිහිපයකට ම වී වගාකර ගැනීම සඳහා ප්‍රමාණවත් ය.

 විල්ලු නිර්මාණය වන්නේ ද මහවැලි ගඟේ ජලය ගැලීම පදනම්කර ගනිමිනි. ගංවතුර නිසා මහවැලි ජල ගැලුම් නිම්න ප්‍රදේශය ජලයෙන් පිරී යයි. වේගයෙන් ගැලුව ද, ඒවා බැස යන්නේ (සිඳී යන්නේ) සෙමිනි. එය සිදු වන්නේ ජලයෙහි දියවී ඇති රොන් මඩවිල්ලු භූමියෙහි තැන්පත් වන්නට ඉඩ සලසමිනි.

 ජලය ක්‍රමයෙන් සිඳී යන විට, ගංවතුර පැවති සමයේ මහවැලි අතු ගංගා ආදියෙහි සැරිසැරූ මත්ස්‍යයන් මේ කාලයට විල් සහ විල්ලු ප්‍රදේශවලට කොටු වේ. උන් දඩයම් කිරීම පිණිස කණ්ඩායම් වශයෙන් වනගත වීම, ගංවතුර බැස යන වකවානුවට ඇතැමුන්ගේ සිරිතයි. මෙය මහවැලි ගඟ පහළ නිම්න ජන වහරෙහි හැඳින් වෙන්නේ විල් රකින්න යනවායනුවෙනි.

විල්ලු යනු ඇත්තට ම, ගංවතුර බැස ගිය වනගත පහත් බිම්වල ඉතිරි වන දිය මංකඩවල් ය. ඒවා වැඩි වශයෙන් පිහිටන්නේ අන්තිම පහත් භූමිවල ය. ගංවතුරෙන් පසුව එළඹෙන වියලි සමයේ දී මේ දියමංකඩවල් තවදුරත්  සිඳී යන්නේ ය. එය විල් රකින්නට (දඩයමේ) යන අයට වාසියකි.

 ගංවතුර බැස යන සමයට විල් රකින්නට  යන්නේ කණ්ඩායම් වශයෙන් එක් කණ්ඩායමකට මිනිසුන් දස දෙනෙකු වත් අයත් වෙති. ඔවුහු කිසියම් වනගත විලක්  හෝ විල්ලුවක් අසල ඉදි කරන වාඩියක මාසයක් පමණ දඩයමෙහි යෙදෙති. ආහාර ඇතු ළු  බඩු භාණ්ඩ ද පටවා ගෙන ඔවුන් වනයට ගමන් කරන්නේ මරං කරත්ත නමින් හඳුන්වන ගොන් කරත්තවලිනි. එක් කණ්ඩායමකට කරත්ත තුන හතරක් ඇතුළත් වෙයි.

 මරං කරත්තයනු මහවැලි ගඟේ පහළ නිම්නයට ම ආවේණික ගොන් කරත්ත විශේෂයකි. එහි රෝද බොහොම උස ය. එබැවින් මඩ වගුරු භූමිවල එරෙන්නේ නැත. කරත්තයේ තට්ටුව ද අසාමාන්‍ය ලෙස උස ය. එබැවින් මඩ වගුරු තරණය කරන විට පටවා ඇති බඩු භාණ්ඩ තෙමෙන්නේ නැත. විශේෂත්වය එය නොවේ. ගොනුන් ඉදිරි පසින් කරත්තය අදින විට, එය වතුර ඇළවල්, විල් හෝ විල්ලු වැනි ජලජ පරිසරයෙහි පාවීයයි! ගොනුන් පිහිනා යයි! රෝද උස නිසා කරත්තය වතුරින් නිරුපද්‍රිතව තල්ලුවී යයි. මේ කරත්ත නිපදවා ඇත්තේ මරංදැවයෙනි. මහවැලි ගඟ පහළ පිහිටි මීගස්වැව, පඹුරාණ, පල්ලියගොඩැල්ල ආදී පෙදෙස්වල මරං කරත්තතවමත්  ඉඳහිට භාවිතා කෙරේ.

 විල් දඩයමේ ක්‍රියාවලිය දෙයාකාර ය. විල්ලුවට කොටු වුණු මසුන් දඩයම් කිරීම එක් ආකාරයකි. රාත්‍රියට විල්ලුවෙන් දිය බීමට එන ගෝනුන්, මුවන්, වල් ඌරන් ආදී වන සතුන්ට වෙඩි තබා දඩයම් කිරීම, අනෙක් ආකාරයයි. මෙය ඉතා අනතුරුදායක ක්‍රියාලියකි. එබැවින් සතුන්ට මිනිස් ඉව නො දැනෙන ලෙස, දඩයම්කරුවන් දියමංකඩවල් රකින්නේ, විල්ලුවට යටිහුලස් දිශාවෙනි’.

දඩයම් කළ මසුන් හෝ වන සතුන්ගේ මාංශ තීරුවලට ඉරා, දුම් මැහිවල වේලනු ලැබේ. දර ලබා ගන්නේ වනයෙහි ඇද වැටුණු ගස්වලිනි.

 විල්ලු දඩයම්කරුවන්ගේ ව්‍යාවහාරයට අනුව, දඩමස් අතර රජුලෙස සැලකෙන්නේ ගෝනුන්ගේ මාංශයයි. ලුණු දමා, දුම් ගසා හෝ වියලා ගත් ගෝන මස් ගෝන කරවලය. මුව මස්, ‘මුව කරවලය. මසුන්, ‘විල්ලු කරවලහෝ වැව් කරවලය. මාසයකට අධික කාලයක් විල් පරිසරයෙහි ගතකොට විල් රකින්නට ගිය කණ්ඩායම් ආපසු ගමට එන්නේ කරත්ත පුරවා ගෙන ය. වියලා ගත් මස් මාංශ, මීපැණි, ගෝන අං සහ මුව අං තට්ටු, මුව, ගෝන ආදී සතුන්ගේ හම් සහ කපා මිටි බැඳගත් වේවැල් ද ඒවායෙහි තිබේ. මේ සියල්ල විශාල ආදායමකි.

 විල් රකින්නට යන අය ආදායම බෙදා ගන්නේ පංගුවටය. ඒ මිනිස් පංගුව’, ‘බඩු පංගුවසහ තුවක්කු පංගුවආදී වශයෙනි.  විල් රැකීමේ කටයුත්ත සංවිධානය කළ පුද්ගලයා එය ගෙවන්නේ එක්කෝ බඩුවලිනි. නැතිනම් මුදලිනි. කොයි හැටි වෙතත්, ගෙනා බඩු භාණ්ඩවලින් යම් කොටසක් දඩයමට සහභාගිවූ අයට තෑගි වශයෙන් ලැබේ.

 විල් රකින්නට ගිය කරත්තයක් දෙකක් ගමට පැමිණියා යනු, ඒ ගෙදර අයට මංගල්‍යයක් වැනි ය. විල් රැකිල්ලෙන් ගෙනා බඩු භාණ්ඩ මිල දී ගැනීමට සෙනග පැමිණීම, ඊට හේතුවයි. විල්ලු රකින්නට යාමේ දඩයම් කටයුත්ත වර්තමානයේ අභාවයට ගොසිනි.

 

විල් හෝ විල්ලුවේ වී ගොවිතැන

ගංවතුර  සමයට මහවැලි ගඟේ ඉහළ සිට ඇදී එන බොර පැහැති ජල කඳ, තැන්පත් වන්නේ පහළ නිම්නයේ විල් සහ විල්ලු ප්‍රදේශයේ ය. බොර පැහැති ජලයේ දියවී තිබෙන්නේ රොන් මඩ ය. ගංවතුර බැස යාමේ දී ඒවා විල්ලු භුමිවල තැන්පත් වෙයි. මේ රොන් මඩ අතිශයින් ම සාරවත් ය. ඉතින්  විල් සහ විල්ලු ප්‍රදේශවල රසායනික පොහොර නැතිව වී වගා කරන්නට පුළුවන. මහවැලි ගඟේ පහළ මැදිරිගිරිය ආශ්‍රිතව පිහිටි මීගස්වැව, පල්ලියගොඩැල්ල, පඹුරාන, වඩිගවැව සහ සුංගාවිල ආදී ප්‍රදේශවල අතරින් පතර වුව, විල්ලු වී වගාව සිදු වේ. විල්ලු වීගොවිතැන ඇරඹෙන්නේ ජනවාරියේ ය. ඒ ගංවතුර බැස ගිය පසුව ය. ඔවුන් කරන්නේ මැද කන්නයකි’.

 විල්ලු වී ගොවිතැනින් නෙලා ගන්නා වී අස්වැන්න, පෝෂණ ගුණයෙන් ඉහළ ය. ඒවායෙහි වියැට අමුතු රන්වන් පැහැයෙන් යුක්ත ය. බරින් ද වැඩි ය. විල්ලු ගොවිතැනේ වී අස්වැන්න මිලයට ගැනීමට, වී වෙළෙන්දන් බොහොම කැමති ය. මහවැලි ගඟේ විල්ලු පරිසරයෙන් සැලකිය යුතු භූමියක් අයත් වන්නේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එගොඩ පත්තුවටය. වර්තමානයේ එහි වැඩි කොටසක් මහවැලි එල් කලාපයට අයත් වේ. එගොඩ පත්තුවේ වී බරින් වැඩි බව, පොදු මතයයි. එහි රහස සෑම වසරක ම, මහවැලි ගඟේ ගංවතුර සමයට හොර රහසේ ගොවි බිම්වල තැන්පත් වන රොන් මඩ සාවරයයි!

000000000000000000000000000000000000000000000