Total Pageviews

Thursday, June 11, 2015

අලූත් බෝතලේ පරණ වයින් හා 
ආණ්ඩුව හොරු ඇල්ලීම

(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
අලූත් ආණ්ඩුව මගින් කරන ‘‘හොරු ඇල්ලීමේ’’ මෙහෙයුම් නිසා දැන් පරණ ආණ්ඩුවේ විශාල පිරිසක් ‘‘රිමාන්ඞ්’’ සිර ගෙවල්වල ය. තවත් සෑහෙන පිරිසක් දිනපතාම පාහේ විමර්ශන අංශවල ප‍්‍රශ්න කිරීම්වලට ලක්වෙමින් සිටිති. ඔවුන් වැඩිපුරම විමර්ශනය කරමින් සිටින්නේ, මූල්‍ය වංචා හෝ දූෂණ අක‍්‍රමිකතා ආදියයි. එහෙත් ඊට අමතරව දේශපාලනික පසුබිමක් ඇති කාරණා ගැනද විමර්ශන පැවැත්වෙයි. පරණ ආණ්ඩුව හෙවත් පැරදී ගෙදර ගිය ආණ්ඩුවේ නායකයාව සිටියේ එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය. එකල පැවතියේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවකි. ඉකුත් ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පැරදුණු අතර, විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා බවට පත්විය. ඔහුගේ කණ්ඩායමේ රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය තනතුරට පත් කෙරිණි.

පොදු අපේක්‍ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයේ, පැවති ලොකුම පොරොන්දුවක් වූයේ, පැවති රජයේ සිටි ‘‘හොරුන්’’ හෙවත් මහජන මුදල් ගසා කෑ අයටත් රාජ්‍ය මුදල් අවභාවිත කළ අයටත්, දේශපාලන බලය අයුතු ලෙස භාවිත කළ අයටත්, එරෙහිව උපරිමයෙන් කටයුතු කරන බවයි. ඔවුන් නීතිය හමුවට ගෙනවිත් උපරිම දඬුවම් දෙන බවයි. මේ සඳහා පැවති අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය විමර්ශන ආයතනවලට අමතරව, ‘‘රජ්‍ය මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය’’ නමැති විශේෂ පොලිස් ඒකකයක්ද පිහිට වනු ලැබීය. විමර්ශන සඳහා විදේශ සහාය ගැනීමටද අලූත් ආණ්ඩුව අපේක්‍ෂා කරයි.

අලූත් ආණ්ඩුව බලයට ඒමෙන් පසුව, පරණ ආණ්ඩුවේ පාලකයන්ට එරෙහිව කෙරුණු මුල්ම පැමිණිල්ල වූයේ, ජනාධිපතිවරණ ප‍්‍රතිඵල නිකුත් වෙද්දී බලය ඩැහැ ගැනීමේ කුමන්ත‍්‍රණයක් සිදුවූවාය යන්නයි. අලූත් ආණ්ඩුවේ විදේශ ඇමති මංගල සමරවීර මහතා ඒ ගැන පැමිණිලි කළේ, සී. අයි. ඞී. ය හෙවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ය. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසා ඇති අන්දමට දැනට ඒ ගැන හත් දෙනෙකුගෙන් ප‍්‍රශ්න කොට ඇත. මෙම පැමිණිල්ල පිළිබඳ බොහෝ කතිකාවන්ද හට ගත්තේය. ඒ පිළිබඳ තවමත් පරීක්‍ෂණ පැවැත්වෙමින් තිබේ.

පැවති ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ නිවිතිගල පේ‍්‍රමලාල් ජයසේකර මහතාට ඉකුත් 2015 ජනවාරි 05 වැනිදා එ.ජා.ප. පාක්‍ෂිකයෙකු ඝාතනය කළේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද, හිටපු නියෝජ්‍ය ඇමති ගාල්ලේ නිශාන්ත මුතු හෙට්ටිගම මහතාට වඳුරඹදී පොදු අපේක්‍ෂක වේදිකාවක් ගිනි තැබී යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද චෝදනා ලබා රක්‍ෂිත බන්ධනාගාර ගතවන්නට සිදු විය. මුතුහෙට්ටිගම මහතාට නම් ඇප ලැබිණි. එහෙත් පේ‍්‍රමලාල් ජයසේකර මහතා තවම ඇතුළේ ය. ඒ සිදුවීම පිළිබඳ පරීක්‍ෂණ තවමත් පැවැත් වෙමින් තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සොහොයුරෙකු වන බැසිල් රාජපක්‍ෂ මහතා, පැවති ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකි. ඔහු එහි ආර්ථික සංවර්ධන ඇමතිවරයා විය. තම සොහොයුරා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ වහාම ඔහු ඇමරිකාවට ගියේය. ඉන් පසුව යළිත් මව්බිමට පැමිණි ඒ මහතා, 2015 අප්‍රිෙයල්  22 වැනිදා කොළඹ කොල්ලූපිටියේ, විශේෂ මුල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගැනුණි. ඉන් පසුව ඔහු එදිනම කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහි මහේස්ත‍්‍රාත් සහ දිසා විනිසුරු ධම්මික හේමපාල ඒකනායක මහතා ඔහු රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වූ ‘‘දිවිනැගුම’’ ව්‍යාපෘතියේ මුදල් වංචා කළේය යන්න, බැසිල් රාජපක්‍ෂ මහතාට එරෙහිව නැගී ඇති චෝදනාවයි. ඔහු යම් රෝගී තත්ත්වයන් ගෙන් පෙළෙන බැවින් පසුව රෝහල්ගත කෙරිණි. ඔහු මැයි 27 තෙක් යළි රිමාන්ඞ්කර තිබේ. බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමතිවරයා පමණක් නොවේ. ඔහුගේ අමාත්‍යංශයේ, හිටපු ලේකම් නිහාල් ජයතිලක, දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ආර්. ඒ. කේ. රණවක, දිවිනැගුම බැංකුවේ හිටපු සභාපති පී. බී. තිලකසිරි යන ඉහළ නිලධාරීන්ට ද දිවි නැගුම මූල්‍ය වංචා චෝදනා එල්ලවී තිබේ. ඔවුන්ද රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අලූත් ආණ්ඩුව පත්වූ ගමන් හිටපු ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට ද චෝදනාවක් එල්ල විය. ඒ ඉකුත් ජනාධිපතිවරණ සමයේ ජාතික රූපවාහිනී සංස්ථාවට පාඩු සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි. ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, මැයි 21 වැනිදා කෙහෙලිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයාට ද, ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරුන්ටද එරෙහිව නඩු පැවරීය. හිටපු ඇමතිවරයෙකු වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවති රජයේ ප‍්‍රබලයෙක් මෙන්ම කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රකට දේශපාලනඥයෙකි. පැවති රජයේ ඉතා ප‍්‍රබල භූමිකාවක රැඳුණු කෙනෙකි. අලූත් ආණ්ඩුව පැමිණීමෙන් පසුව ඔහුට ද චෝදනා එල්ල විය. මුලින්ම එල්ල වූයේ ඔහුගේ යයි කියන මත්පැන් නිෂ්පාදන සමාගමක්, රජයට අයවිය යුතු සුරා බදු මුදල් නිසි පරිදි ගෙවා නැතැයි කියන චෝදනාවකි. එහිදී කොළඹ දෙමටගොඩ පිහිටි මත්පැන් ගබඩාවකට ද මුද්‍රා තැබිණි. ඉන් පසුව ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හිටපු ඇමතිවරයා ද රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ සුරා බදු නො ගෙවී යයි කියන චෝදනාවට නොවේ. ස.තො.ස. සමග කළ කිසියම් ණය ගනුදෙනුවක් සම්බන්ධ චෝදනාවකටය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන සජිත් වාස් ගුණවර්ධන මහතාද පසුගිය ආණ්ඩුවේ ප‍්‍රබල චරිතයකි. අලූත් ආණ්ඩුව බලයට පත්වූ දා සිටම ඔහුට චෝදනා එල්ල විය. මේ දිනවල ඔහුද පසුවන්නේ රක්‍ෂිත බන්ධනාගාරයේ ය. පරණ ආණ්ඩුව පැවති සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 23ක් අයථා ලෙස පරිහරණය කළේය යන්න, ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවති රජයේ සිටි ප‍්‍රබල ඇමතිවරයෙකි. අලූත් ආණ්ඩුව යටතේ ඔහුගේ නමද ඉහළින්ම ආන්දෝලනයට පත් විය. ඒ ඔහුගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මිය, විදේශ ගමන් බලපත‍්‍ර දෙකක් භාවිත කරතියි කියන සිද්ධියක් සම්බන්ධයෙනි. මේ සම්බන්ධයෙන් පොලීසිය විමල් වීරවංශ මහතාගෙන්ද ප‍්‍රශ්න කොට තිබිණි. ශෂි වීරවංශ මහත්මිය ඉකුත් පෙබරවාරි 21 දින රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි. පසුව ඇයට ඇප ලැබිණි. සිද්ධිය සම්බන්ධ පොලිස් පරීක්‍ෂණ තවමත් පැවැත්වෙමින් තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල සොහොයුරෙකුවන, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද අලූත් ආණ්ඩුවෙන් විවිධ චෝදනා ලබා සිටින්නෙකි. ගාල්ලේ පාවෙන අවි ගබඩාව පිළිබඳ සිද්ධිය, ලංකා හොස්පිටල් සමාගමේ ගැටලූ සහ 2006 වසරේදී ‘‘මිග් යානා’’ මිලට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා නැගී ඇතැයි මාධ්‍ය වාර්තා පළවිය. එසේම අලූත් ආණ්ඩුවේ විමර්ශන අංශ කිහිප වරක්ම ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ප‍්‍රශ්න කළේය.

මේ අතර, තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් තිබේ යයි කියමින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. එය විභාගයට පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මැයි 13 වැනිදා  පවසා තිබුණේ, පෙත්සම් විභාගය හමාර වනතුරු ඔහු අත්අඩංගුවට ගනු නොහැකි බවයි.

දේශපාලනඥයන්ට පමණක් නොවේ. පැවති රජයේ උසස් නිලධාරීන් බොහොම දෙනෙකුට ද විවිධ චෝදනා එල්ලවී තිබේ. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානි ගාමිණි සෙනරත් යන මහත්වරුන්ද ඒ අතර වෙති. විමර්ශන අංශ කිහිපවරක්ම ඔවුන් ගෙන් ප‍්‍රශ්න කොට තිබේ.

අලූත් ආණ්ඩුව කරන විමර්ශනයන් සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත්, ශී‍්‍ර. ල. නි. ප. යේ අයත් එතරම් කැමැත්තක් නැත. ඔවුන් කියන්නේ ඒ සියල්ල දේශපාලන පළිගැනීම් බවය. ශී‍්‍ර. ල. නි. ප. ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා ඉකුත් සතියේ මාධ්‍ය මගින් පවසා තිබුණේ, එළඹෙන මහා මැතිවරණයේදී දැනට සිටින ශී‍්‍ර. ල. නි. ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සියලූ දෙනාටම නාම යෝජනා දෙන බවයි. චෝදනාවට ලක්වී සිටින කිසිවෙකු තවම වරදකරුවන් බවට පත්වී නැති බැවින්, නාම යෝජනා දීමේදී ගැටලූවක් මතු නොවන බව ඔහු පවසා තිබිණි.

මේ අතර, දැනට විපක්‍ෂයට වැටී සිටින ශී‍්‍ර. ල. නි. ප යේ මන්ත‍්‍රීවරුද අලූත් ආණ්ඩුවේ අයට එරෙහිව පැමිණිලි කරන්නට පටන් ගෙන තිබේ. රංජිත් සොයිසා, මනුෂ නානායක්කාර, උදිත ලොකු බණ්ඩාර සහ ජාතක චක්කුඹුර යන ශී‍්‍ර. ල. නි. ප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ඉකුත් අප‍්‍රියෙල් 01 වැනිදා අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරියට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ජගත් කුමාර මහතා අලූත් ආණ්ඩුවේ නිවාස හා සමෘද්ධි ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට එරෙහිව පසුගියදා අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කළහ. පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල මහතා මැයි 13 වැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කළේය. වාසුදේව නානායක්කාර සහ විමල්වීරවංශ යන මන්ත‍්‍රීවරයා, හිටපු ජනාධිපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  මහත්මියට එරෙහිව වසර හතකට ඉහත අල්ලස් සහ දූෂණ කොමිසමට කළ පැමිණිල්ලක් යළි සිහි කැඳවීය.

පැමිණිලි කිරීම මෙන්ම රිමාන්ඞ් කිරීම ද තවම අවසන් නැත. ප‍්‍රශ්න කිරීම්ද අවසන් නැත. කවුරුන් හොරුද? කවුරුන් නොහොරුද? යන්න තවම පැහැදිලිවීත් නැත. එබැවින් අලූත් ආණ්ඩුවේ හොරු ඇල්ලීම කොහෙන් කෙළවරවේ දැයි තවම කියන්නට පුළුවන්කමක් නැත
ඉරුදින-2015/05/24

ග්ලයිපොසේට් නාඩගම

ජනාධිපතිටත් වඩා බලසම්පන්න
ග්ලයිපොසේට්

 

 (ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)

මාරාන්තික විෂ සහිත ‘ග්ලයිපොසේට්’ නමැති වල් නාශකය අඩංගු කන්ටේනර් 15ක් රේගුවෙන් මුදා හැරීමේ සිද්ධිය දැන් රට කළඹන මාතෘකාවක් වී තිබේ. එය අතිශයින්ම ආරවුල් සහගත සිද්ධි මාලාවක් බව, ඉකුත් සතිය පුරාවට මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබිණි.

කොළඹ පැවති උත්සවයකදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ‘ග්ලයිපොසේට්’ මෙ රටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව ප‍්‍රකාශ කිරීම, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් පී. විජේවීර මහතා ඉතා හදිසියේ සිය තනතුරින් ඉල්ලා අස්වීම, ඒ සම්බන්ධයෙන් හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල සහ මහත්වරු, එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී කතා කිරීම ආදී කාරණා දක්වාම එය දුරදිග ගොස් ඇති බවක් පෙනෙයි. ආරවුල් සහගත සිද්ධිමාලාවට, කරුංකා ආනයන ජාවාරමක් සහ ආනයන අපනයන භාණ්ඩ පරීක්‍ෂා කරන සමාගමක් ගැන තොරතුරුද ඈදී තිබේ. ඒවා සමග ආණ්ඩුවේ ඉතා ප‍්‍රබල ඇමතිවරයෙකු සහ ලෝක ප‍්‍රකට ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුගේ සොහොයුරෙකුගේද නම් කියැවෙයි.


 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
 ග්ලයිපොසේට් පැටිකිරිය
ග්ලයිපොසේට් යනු ලංකාවේද ඉතාමත් බහුලව භාවිත කරන වල් නාශකයකි. පළල් පත‍්‍ර සහිත වල් පැලෑටි සමූලඝාතනය කරන එය, ප‍්‍රධාන වශයෙන් ලංකාවේ වී වගාවටද, තේ ඇතුළු වාණිජ වැවිලි බෝග වගාවටද භාවිත කෙරේ. පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙන අන්දමට, ග්ලයිපොසේට් අඩංගු වල් නාශක අපේ රටට ප‍්‍රචලිත කෙරුණු 1979 වර්ෂයෙන් පසුවය.


ග්ලයිපොසේට්, මෑතකාලීනව ජන අවධානයට ලක්වන්නේ, රජ රටින් ඇරඹුණු මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය සම්බන්ධයෙන් කෙරුණු පර්යේෂණ ඔස්සේය. එහිදී රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිසට, ‘ග්ලයිපොසේට් මාරකය’ හමුවී තිබිණි. ඒ අනුව, මාරාන්තික වකුගඩු රෝගයට හේතුව වන ‘ආසනික්’ ඇතුළු විෂ සහිත බැර ලෝහ, මිනිස් ශරීරය ඇතුළතට ගමන් කරවන වාහකයා, ‘ග්ලයිපොසේට්’ බව 2014 වසරේදී ඔවුහු හෙළිකර ගත්හ. ඊට පසුව ඊට එරෙහිව අතිවිශාල ජන විරෝධයක් ගොඩ නැගුණි. බහුතර ජනමතය වූයේ ‘ග්ලයිපොසේට්’ භාවිතය සහ ඒවා මෙරටට ආනයනය කිරීමද තහනම් කළ යුතු බවයි.

මේ ගැන විස්තර සහිත ලිපියක් මැයි මස 17 වැනි දා ‘ඉරුදිනෙහි’ පළ විය.

කෙසේ වෙතත් එවකට සිටි කෘෂිකර්ම බලධාරීන් පැවසුවේ, තේ වගාවේ වල් මර්ධනයට ‘ග්ලයිපොසේට්’ බහුලව යොදා ගන්නා බැවින් එය තහනම් කළ නොහැකි බවයි. ඒ වෙනුවට ඔවුහු, 2014.12.22 වැනිදා ‘ග්ලයිපොසේට්’ ඇතුළු කෘෂි රසායන වර්ග පහක් මාරාන්තික වකුගඩු රෝගය පැතිර යන රජරටද ඇතුළු සීමිත ප‍්‍රදේශයක භාවිතය අලෙවිය සහ ප‍්‍රවාහණය පමණක් තහනම් කළහ. කොතෙක් කරුණු කීවත් ආනයනය තහනම් කෙරුණේ නැත.

මේ අතර 2015 මැයි 11 වැනි දින ‘ග්ලයිපොසේට්’ යළිත් කරලියට ආවේය. ඒ ‘ග්ලයිපොසේට් මෙටි‍්‍රක් ටොන් 278.94ක් අඩංගු කන්ටේනර් බහලූම් 15ක් ආනයනය කිරීමේ සිද්ධියක් සමගිනි. පෞද්ගලික සමාග මක් මගින් ගෙන්වනු ලැබූ ග්ලයිපොසේට් තොගය අකමැත්තෙන් නමුත් මුදාහරින්නට රේගුවට සිදු විය. ග්ලයිපොසේට් ලංකාවට ගෙන්වන්නට තහනමක් නොවීම, ඊට හේතුව ලෙස දැක්විණි. සිද්ධියට අති විශාල ජනමාධ්‍ය අවධානයක් ලැබිණි. එබැවින් යම් ආන්දෝලනයක් ඇති විය. ගෙන්වූ ග්ලයිපොසේට් තොගය ලංකාවට දස වසරකට ප‍්‍රමාණවත් බව පසුව හෙළිවිය.



 ඇත්තටම, ලංකාවේ කෘෂි රසායන ආනයන තහනමක් අවසන් වරට පැන වූයේ මහින්ද රාජපක්‍ෂ රජය සමයේ, එනම් 2013.04.07 වැනිදාය. එය මාරාන්තික වකුග ඩු රෝගය සම්බන්ධයෙන් ගත් පියවරක් විය. එයින් ක්ලෝරෝෆයිරිෆෝස්, ප්‍රොපනිල් සහ කාබරිල් යන කෘෂි රසායන වර්ග තුන ආනයනය තහනම්කර තිබිණි. කොතෙක් ජන විරෝධතා පැමිණියද ඉන් පසුව කිසිදු විෂ සහිත කෘෂි රසායනයක් රටට ගෙන්වීම තහනම් කෙරුණේ නැත. වකුග ඩු රෝගීන්ට සුව සහන සැලසීමේ යම් යම් ක‍්‍රියාමාර්ග ගත්තද, හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාත්, එවකට කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන මහතාත්, මාරක ග්ලයිපොසේට් රටට ආනයනය කිරීම තහනම් කරන්නට ගියේ නැත.

ග්ලයිපොසේට් මෙටි‍්‍රක් ටොන් 278.94ක් රටට ආනයනය කිරීමේ උණුසුම පහව යන්නටත් පෙර, එනම් 2015 මැයි 22 වැනිදා අලූත් ආණ්ඩුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහත් පෙරළිකාර ප‍්‍රකාශයක් කළේය. එහිදී ඔහු පැවසුවේ, ලංකාවට ග්ලයිපොසේට් ආනයනය කිරීම තමන් විසින් සම්පූර්ණයෙන්ම තහනම් කරන බවයි. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති හෝටල් ක්ෂේත‍්‍රයේ උත්සව සභාවක් අමතමිනි. වකුගඩු රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම තම අරමුණු වන බැවින්, විෂ සහිත ග්ලයිපොසේට් රට ගෙන්වීම තහනම් කරන බව හෙතෙම පවසා තිබිණි. මෙතෙක් ගෙන්වූ ග්ලයිපොසේට් තොග හෝ අලෙවි කරන්නට ඉඩ දෙන ලෙස, සමහර කෘෂි රසායන සමාගම් තමාගෙන් ඉල්ලීම් කළ බවත් තමන් ඒවා ද ප‍්‍රතික්ෂේප කළ බවත්, සිය කතාවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශකර තිබිණි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ මෙම ප‍්‍රකාශය, රටේ බොහෝ දෙනෙකුගේ අමන්දානන්දයට හේතු විය. අන්තර්ජාල වාසී සමාජජාලකරුවන් පවා ජනාධිපතිවරයාට ස්තූතිකර තිබෙනු දක්නට ලැබිණි. එය ඇත්තටම බොහොම පෙරළිකාර ප‍්‍රකාශයක් විය.

ජනාධිපතිවරයා ග්ලයිපොසේට් තහනම් කරන බවට ප‍්‍රකාශ කළේ 2015  මැයි 22 වැනිදාය. හරියටම ඊට දින තුනකට පසුව, එනම් මැයි 25 වැනිදා රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් පී. විජේවීර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් විය. ඒ වන විට කන්ටේනර් 15ක ‘ග්ලයිපොසේට්’ රසායන තොගය රේගුවෙන් මුදාහැර තිබිණි. පසුවදා (2015 මැයි 26) පුවත්පත්, රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ඉල්ලා අස්වීමත්, ‘ග්ලයිපොසේට්’ තොගය මුදා හරින්නට සිදුවීමත්, එකම පත‍්‍රයේ වෙන වෙනම ප‍්‍රවෘත්ති ලෙස පළකර තිබිණි.

ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මාධ්‍යයට පැවසුවේ තමන් මුහුණ දෙමින් සිටින සෞඛ්‍ය හේතූන් නිසා එවන් තීරණයක් ගත් බවයි. ඒ හැර, දේශපාලනික හෝ වෙනයම් කාරණයක් ඉල්ලා අස්වීම කෙරෙහි බලනොපෑ බව ද ඔහු කියා තිබිණි. ඔහු ඉල්ලා අස්වී තිබුණේ කිසියම් නිල විදේශ සංචාරයක්ද සූදානම්ව තිබියදීය.

රේගුව, පාලනය වන්නේ මුදල් අමාත්‍යංශය යටතේය. එය ලංකාවට අති විශාල මුදල් කන්දරාවක් රැුස්කර දෙන, එමෙන්ම ආනයන සහ අපනයන සම්බන්ධයෙන් රේගු නීති ක‍්‍රියාත්මක කරන ඉතා බලවත් රාජ්‍යායතනයකි. එබඳු ආයතනයක ප‍්‍රධානියා හදිසියේ ඉල්ලා අස්වීම, රටට මහත් කුතුහලයක් සහ යම් ආන්දෝලනයක් ජනිත කළේය. මේ ගැන විවිධ කතාබහ ඇති විය.

සෞඛ්‍ය හේතුන් මතයයි කීවද, සිය ප‍්‍රධානියා හදිසියේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් රේගුවේ වෙනත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ වෙනස් කතාවකි. වෙනස් උපකල්පනයකි. ඒ අනුව ජගත් පී. විජේවීර මහතාගේ ඉල්ලා අස්වීම කෙරෙහි කරුණු තුනක් බලපා ඇතැයි කියති. ඉන් පළමුවැන්න ආනයන - අපනයන භාණ්ඩ පරීක්‍ෂාව පැවරී ඇති එක්තරා පෞද්ගලික ආයතනයක් සම්බන්ධ කාරණයකි. ඒ ආයතනයට සම්බන්ධතා ඇති බව කියන ප‍්‍රබල ඇමතිවරයෙකු ඔහුට දෝෂාරෝපණය කළ නිසා හටගත් කලකිරීමෙන් ඉල්ලා අස්වීම සිදුවූ බව එයින් කියැවෙයි. දෙවැන්න, ‘ග්ලයිපොසේට්’ කන්ටේනර් 15ක් මුදාහරින්නට සිදුවීමේ කාරණයයි. තුන්වැන්න, නීති විරෝධී ලෙස කරුංකා පුවක් තොගයක් ඉන්දියාවට ප‍්‍රති අපනයනය කරන්නට උත්සාහ කිරීමේ සිද්ධියයි. එය පිටුපස ආණ්ඩුවේ ප‍්‍රබල දේශපාලනඥයෙක්ද ලෝක ප‍්‍රකට ලාංකික ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුගේ සොහොයුරෙක්ද සිටින බව කියති. තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජගත් පී. විජේවීර මහතා සිටින්නේ මාධ්‍ය වෙත අදහස් පළ නොකිරීමේ පිළිවෙතකය. එබැවින් ඔහු මුලින් පැවසූ දේවල් හැරෙන්නට වෙනත් කිසිවක් දන්නා කෙනෙක් නැත. මෙම තත්ත්වය නිසා රේගු අභ්‍යන්තරයේ මුලින් කී උපකල්පන තුන කතිකාවට ලක්වෙමින් තිබේ. ඒවා ඇත්තද? නැත්තද? යන්න, තහවුරු කරන කෙනෙක්ද නැත.

කෙසේ හෝ වේවා ජගත් පී. විජේවීර මහතා හදිසියේ ඉල්ලා අස්වූයේ එළිපිට නො කියන යම් බරපතල හේතුවක් නිසා බව පැහැදිලිය. ඇත්තටම, රටක රේගුවේ ප‍්‍රධානියාට ඉල්ලා අස්වී යන්නට තරම් හේතු ඇතිවීම හොඳ දෙයක් නොවේ. ඉන් පිළිබිඹු වන්නේ රටේ ඉහළ පාලන ව්‍යුහයේ ඇති ව්‍යාකූල භාවයයි.
කාරණය සඳහන් කරමින් 27 වැනිදා පැවති එ.ජ.නි.ස. ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී තිලංග සුමතිපාල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා පවසා තිබුණේ, ඔහු ඉල්ලා අස්වූ හේතුව පැහැදිලි කරන ලෙස තමන් මුදල් ඇමති රවී කරුණානායක මහතාට දන්වා සිටින බවයි. එහිදී කරුණු දැක්වූ හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන මහතා විමසා සිටියේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ‘ග්ලයිපොසේට්’ ආනයනය තහනම් කරන බව කියද්දීත්, රේගුවෙන් ඒවා මුදා හැරියේ කෙසේද? යන්නයි.

‘ග්ලයිපොසේට්’ ආනයනය තහනම් කරන බව ජනාධිපතිවරයා පැවසුවද, මේ සටහන ලියන බ‍්‍රහස්පතින්දා (28) වන තුරුද එවන් නිල තහනමක් පැනවී නොතිබිණි.

‘ග්ලයිපොසේට්’ ආනයනය තහනම් කරනවා නම්, ගැසට් නිවේදනයක් පළකරමින් එය ‘නීතියක්’ බවට පත් කළ යුත්තේ, කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ සිටින පළිබෝධනාශක රෙජිෂ්ට‍්‍රාර්වරයා විසිනි. ඉන් පසුව ඔහු ඒ නීතිමය ලියැවිලි රටේ ආනයන පාලකවරයාට යැවිය යුතුවේ. එහෙත් බ‍්‍රහස්පතින්දා (28) සවස් වන තුරුම එබඳු ගැසට් නිවේදනයක් නිකුත් කළ බවක් අසන්නටවත් නොවීය.

‘ඉරුදින’ මේ ගැන විමසීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආචාර්ය විජේරත්න මහතා ඇමතීය. ඔහු පැවසුවේ, පළිබෝධනාශක රෙජිෂ්ට‍්‍රාර් ආචාර්ය අනුර විජේසේකර මහතාගෙන් ඒ ගැන අසා දැන ගන්නා ලෙසයි. එහෙත් බදාදා (27) සවසත්, බ‍්‍රහස්පතින්දා (28) පෙරවරුවේත් කොතෙක් උත්සාහ කළද, ආචාර්ය අනුර විජේසේකර මහතා දුරකතනයට සම්බන්ධකර ගැනීමට හැකි වූයේ නැත.

‘ග්ලයිපොසේට්’ ආනයනය තහනම් කරන බව පැවසුවේ රටේ ජනාධිපතිවරයායි. එය නීතියක් බවට පත්කළ යුත්තේ නිලධාරීන් විසිනි. ඒ වැඩ කොටස කෙරී නැත. එබැවින් ‘ග්ලයිපොසේට්’ තහනම ‘හුදු බොරු සංදර්ශනයක්ද යන සැකයක් මතුවේ.

මේ අතර, තවත් ආරංචියකින් පැවසෙන්නේ, රජයට අයත් සිපෙට්කෝ ‘ආයතනයට, ‘ග්ලයිපොසේට්’ ආනයන අවසරය දෙන්නැයි ඉල්ලා, වකුගඩු රෝගය බහුල ප‍්‍රදේශයේ ඇමතිවරයෙක් රජයට යෝජනාවක් දිරිපත් කර ඇති බවයි. ඔහු එය ඉල්ලා ඇතැයි කියන්නේ තේ වගාවේ උන්නතිය වෙනුවෙනි. ‘ඉරුදින’ කළ විමසුමකට පිළිතුරු දෙමින් ශ‍්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසුවේ, තේ වගාවේ වල් මර්ධනයට මාරක ‘ග්ලයිපොසේට්’ ඉල්ලා සිටීම, හාස්‍යජනක කාරණයක් බවයි.


‘තේ වගාව යම් විද්‍යානුකූල ක‍්‍රියාවලියක්. ඒ අනුව තේ පඳුර නිවැරදිව සකස් කළාම පොළොවට හිරු එළිය වැටෙන්නේ නෑ. ඉතින් වල් පැල වැවෙන්නේ නෑ. වැවෙන වල්පැල ශ‍්‍රමිකයන් යොදවා උදුරා දමන්න පුළුවන්. එතකොට තේ වගාවේ පරිසරයත් රැකෙනවා. ‘ග්ලයිපොසේට්’  ඕනෑ නෑ’, ඔහු පැවසුවේ ය.

කෙසේ හෝ වේවා, ‘ග්ලයිපොසේට්’ ප‍්‍රශ්නය රේගු නිලධෘරීන්ගේ සිත් කළඹවන, රටේ ජනාධිපතිවරයාගේ තීන්දු පවා බලාත්මක නොකරන ඉතා බලවත් එකක් බව, රටට පැහැදිලිවෙමින් තිබේ.
2015/05/31-ඉරුදින

Wednesday, June 10, 2015

නේපාල භූමිකම්පාවෙන් උගත හැකි පාඩම්

නේපාල භූමිකම්පාවෙන් අපට උගත හැකි පාඩම්



(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
 නේපාල රාජ්‍යයට 2015 අප‍්‍රියෙල් 25 වැනි සෙනසුරාදා දහවලේ හටගත් කම්පනය සහ ශෝකය තවම පහව ගොස් නැත. මියගියවුන්ගේ සිරුරු මෙන්ම සුන්බුන් අතර සිරවී පණපිටින් සිටින උදවියද තවමත් හමු වෙමින් තිබේ. කොටින්ම අද මුළු නේපාලයම සොහොන්බිමක් වැන්න. සෙනසුරාදා හටගත් රිච්ටර් 7.9 ක භූමි කම්පාව එරට ජන ජීවිතය එහැමපිටින්ම සමතලාකර තිබේ. ප‍්‍රධාන භූමි කම්පාවෙන් පසුව හට ගත් පසු කම්පන සංඛ්‍යාව ද 60 කි. ඉකුත් බ‍්‍රහස්පතින්දා වන විට ඒජන්සි වාර්තා සඳහන් කළේ මියගිය ජන සංඛ්‍යාව දැන් පන්දහස ඉක්මවා යාමට ඉඩ ඇති බවයි. තුවාල ලැබූ පිරිස දස දහස ද ඉක්මවන්නේ ය. භූ කම්පනය නිසා හිමාල අඩවියේ හිම සුනාමි බඳු තත්ත්වයන්ද හටගත් අතර, ඉන් විදේශික සංචාරකයන් රැසක්ද මරු වැළඳ ගත්හ. නේපාලය වූ කල්හි බුදුන් උපත් දේශයයි. එබැවින් ලාංකික බෞද්ධයන්ට ද නේපාල භූ කම්පනය තදින්ම දැනෙන්නකි.

මේ සටහන ලියන්ගේ නේපාල භූමි කම්පාවෙහි හැඩතල ගැන හෙළි කරන්නට නොවේ. ඉන් අපේ රටට යම් බලපෑමක් තිබේද? යන්න ගැන කතිකාවකට මුලපුරණු පිණිස ය. මෑත ඉතිහාසයෙහි මහා භූමි කම්පාවකට ගොදුරු නොවුවද, ශී‍්‍ර ලංකාව ද වරින්වර භූ කම්පන දැනෙන රටකි. එබැවින් නේපාල භූමි කම්පාව ඔස්සේ අපේ කලාපයට දැනෙන කාරණා ගැන කතිකා කිරීම කාලෝචිත වෙයි.

නේපාලය පිහිටා ඇත්තේ, ලංකාවට සැතපුම් දහස් ගණනක් දුරින්, උතුරු ඉන්දියාවේ හිමාල කඳු පන්ති ආශ‍්‍රිතව ය. කඳුකර රටක් වූ එය, මුහුදු මට්ටමේ සිට උපරිම වශයෙන් මීටර් 6500 කටත් වඩා උසින් පිහිටියේ ය. එය දුර බැහැරින්, ලංකාවට සැතපුම් දහස් ගණනක් වන බව ඇත්තය. එසේ වුවත් නේපාලය, ඉන්දියාව මෙන්ම ලංකාවද, ඒවාට සමීප රටවල් ද භූ විද්‍යාත්මකව පිහිටා ඇත්තේ එකම භූ තලයක හෙවත් එකම ‘‘ප්ලේටයක’’ ය. එබැවින් නේපාල භූමි කම්පාව ඔස්සේ මතුවන භූ විද්‍යාත්මක ආරවුල් ලංකාවේ අපට ද බැහැර කළ නො හැකි ය. ඒජන්සි වාර්තාවල සඳහන් වූ ආකාරයට, ඉන්දීය භූ තලය සහ යුරෝ ඒෂියා භූ තලය එකට ගැටීම නිසා නේපාල භූ කම්පනය හට ගෙන තිබේ.



 ශී‍්‍ර ලංකාවටද භූමි කම්පාවක් පිළිබඳ ඉතා පැරණි වාර්තාවක් තිබේ. පත පොතෙහි එන තොරතුරු අනුව, එය හට ගෙන ඇත්තේ වාර්ෂ 1615 දී, පෘතුගීසීන් ලංකාවේ මුහුදු බඩ ප‍්‍රදේශ පාලනය කරමින් සිටි සමයේ ය. එහිදී, පෘතුගීසීන්ගේ පාලන මධ්‍යස්ථානය වූ කොළඹ කොටුවෙහි සහ ඒ ආශී‍්‍රතව පිහිටි නිවාස හා ගොඩනැගිලි 200 කට අධික සංඛ්‍යාවකට හානි සිදු විය. කොටුවෙහි විසූ පුද්ගලයන් 2000 ක පමණ පිරිසක් මරු වැළඳ ගත්හ. එය එකල මහත් කම්පනීය සිද්ධියක් වූහයි, පසුකාලීන වාර්තා ලියූ ලේඛකයන් සඳහන්කර ඇත. ඉන් පසුව, භූ කම්පනයක් පිළිබඳ ලංකාවට තියුණුව දැණුනු කාරණය 2004 වසරේ දෙසැම්බරයේ එළැඹි සුනාමි තත්ත්වයයි. එයට මුල්වූ සාගර භූමි කම්පාව හට ගෙන තිබුණේ ලංකාවට සැතපුම් 6000ක් පමණ ඔබ්බෙන් ඉන්දුනීසියාව ආශී‍්‍රත මුහුදේ ය. ඉන් ලංකාවේ 60,000 ක පමණ පිරිසක් මියගිය අතර, හට ගත් කම්පනය අදත් දෝංකාර දෙයි.

වර්ෂ 1615 භූ කම්පනයේ පටන් මේ දක්වා, ලංකාවේ ජනතාවට දැනී ගිය භුමි කම්පා (භූ චලන) සංඛ්‍යාව 63ක් බව, ඒවා ගැන උනන්දුවක් දක්වන අය පවසති. 2007 වසරේ ජූලි මාසයේ දින තුනක්ම තිස්සමහාරාමයේ බෙරලිහෙළ ප‍්‍රදේශයට පොළොව සෙලවෙනු දැනුණි. 2009 වසරේ මහනුවර, කුණ්ඩසාලේ ප‍්‍රදේශයටද, ඊට පසුව අම්පාර ප‍්‍රදේශයටද සුළු සුළු භූ චලන දැනුණි. ඒවා ඉතා ප‍්‍රබල අනතුරු ඇඟවීම් බව, ඇතැමුන්ගේ අදහසයි.



 භූ විද්‍යාඥයන් පවසන අන්දමට, ලංකාවට වැඩිපුරම බලපෑම් ඇතිවන භූමි කම්පා හට ගන්නේ, අපට නැගෙ නහිර හෝ ගිනිකොණ දෙසින් පිහිටි ඉන්දුනීසියාව, ජාවා සහ සුමාත‍්‍රා යන රටවල් ආශී‍්‍රතව ය. ඊට හේතුව වන්නේ, ලංකාවට කිලෝමීටර් 500- 600 ක් පමණ ඈතින් ‘‘නව භූ තල මායිමක්’’ බිහිවෙමින් යාමය. භූ විද්‍යා විශේෂඥයෙකු වන මහාචාර්ය සී. බී. දිසානායක මහතා පෙන්වා දෙන අන්දමට, බොහෝ කලකට ඉහත ඉන්දියාව, ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව යන රටවල් අයත් භූමිය පිහිටා තිබුණේ එකම භූ තලයක (ප්ලේට් එකක) ය. පසුව එය පැලී ගොස් නව භූ තලයක් (නව භූ තල මායිමක්) බිහි වන්නට පටන් ගත්තේ ය. එය නිර්මාණයවීම දැනුදු සිදු වෙමින් පවතී. මහාචාර්යවරයා පවසන අන්දමට, නව භූ තලය සම්පූර්ණයෙන්ම බිහිවීම ස`දහා තව වසර මිලියන ගණනක් ගත වෙනු ඇත.

නව භූ තලය බිහිවීමේ ක‍්‍රියාවලිය නිසා දැන්  ඕස්ටේ‍්‍රලියානු භූමිය, ඉන්දීය ප්ලේටයෙන් වෙන්වී ගොසිනි. එසේ වුවද ඉන්දියා සහ ලංකා භූමියද, භූමි කම්පාවට ගොදුරුවූ නේපාලයද, ඉන්දියාව අවට රටවල්ද තවමත් පිහිටා ඇත්තේ එකම ප්ලේටයකය. ලංකාවට නැගෙනහිරින් මෙන්ම ගිනිකොණ දිගින් ද, ඉන්දුනීසියාව, ජාවා සහ සුමාත‍්‍රා යන රටවල් ආශී‍්‍රතවද වරින් වර නොයෙක් පරිමාණයේ භු කම්පන හට ගත්තේ, මෙම භූ තල ඝට්ටන හේතුවෙනි. ඒ ඇතැම් භූමි කම්පා, වරින් වර ලංකාවටද දැනී ඇත්තේ ය. 2004 දෙසැම්බරයේ සුනාමි භූමි කම්පාව අවස්ථාවේ, තණමල්විල සහ වැල්ලවාය අතර ප‍්‍රධාන මාර්ගයේ පිහිටි භූගත උල්පතෙහි ජල දහරාව වෙනස් විය. මාතලේ මඩවල උල්පතෙන් බොර වතුර ගැලූ බව වාර්තා විය. දිඹුලාගල ප‍්‍රදේශයේ උණුදිය උල්පතක ජල ගලනය ද වෙනස් වූ බව මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි. සුනාමියට හේතු වූ සාගර භූමි කම්පාවෙන් හටගත් කම්පනය, ලංකා භූමියේ ඇති ඉතා ගැඹුරු ස්වභාවික පැලූම් ඔස්සේ විලම්බනයවීම නිසා එම සිදුවීම් හටගත් බව විද්වතුන්ගේ අදහස විය. ඈතින් හෝ වේවා, ලංකාව අවට කොතැනක හෝ හට ගන්නා භූ කම්පනයක් රට ඇතුළට ‘‘දැනෙන බව’’ ඉන් පැහැදිලි වේ.

ඉන්දියාව මෙන්ම නේපාලයද පිහිටා ඇත්තේ ලංකාවට උතුරින් සහ වයඹ දෙසිනි. මීට ඉහත ඉන්දියාවේද භූමි කම්පා සිදුවී තිබේ. එසේම, නේපාලයද ප‍්‍රබල භූ කම්පනයකට මුහුණදී ඇත්තේ වසර 81 කට පසුවය. කෙසේ හෝ වේවා, ඉන්දුනීසියා අන්තයට සාපේක්‍ෂව, ලංකාවේ උතුරු සහ වයඹ දිගින් භූමි කම්පා සිදුව ඇත්තේ ඉතාමත් අඩුවෙනි. එසේ වුවද ලංකාවෙන් වයඹ හෝ උතුරු ප‍්‍රදේශය, භූමි කම්පාවලින් විනිර්මුක්ත වූ කලාපයක්ය යන්න, ඉන් අදහස් නොකෙරේ. ලංකාවේ බස්නාහිරින්, වයඹින් හෝ උතුරින් කිනම් මොහොතක හෝ භූ කම්පනයක් ඇති වන්නට ද පුළුවන. අපේ රටට ආසන්න මුහුදේ එබඳු විපතක් සිදුවුවහොත් ඉන් ඇතිවිය හැකි සුනාමිය කොතෙක් බිහිසුණුවේ දැයි සිතා ගැනීමටද නුපුළුවන.



භූමි කම්පා කොයි මොහොතේ සිදුවන්නේ දැයි කල් තියා දැන ගත හැකි විධි ක‍්‍රමයක් නැති බවට, පොදුවේ විද්‍යාඥයන් සැවොම එකඟ වෙති. එහෙත් වරින් වර සිදුවන ඉතා සුළු භූ කම්පන පවා නිරීක්‍ෂණය කළ හැකි නම් අනාගත තත්ත්වයන් ගැන යම් තක්සේරුවකට පැමිණිය හැකි බව ඔවුහු පිළිගනිති. එහෙත් 2004 වසරේ සුනාමි භූමි කම්පාව ගැන නම් අනාවැකි පළ නොවීය. කෙසේ වෙතත් නේපාල භූමි කම්පාව ගැන නම් පෙර දැනුම් දීම් පැවති බව පසුව පළවූ මාධ්‍ය වාර්තා මගින් හෙළිකර තිබිණි. 2013 වසරේ මැයි මාසයේදී ඉන්දීය භු විද්‍යාඥ විනෝද් හවුර් මහතා කළ අනතුරු ඇඟවීම ඉන් එකකි. භූමි කම්පාවට සතියකට ඉහත නේපාලයේ සංචාරය කළ බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා පර්යේෂණ අංශයේ ප‍්‍රධානි, මහාචාර්ය ජේම්ස් ජෑන්ස් මහතා ඇතුළු පිරිසක්, නේපාල භූමියට යම් භූ අනතුරක් ඇති බව සොයා ගෙන තිබිණි. ඔවුන් ඒ ගැන එරට රජයට දැනුම් දී තිබුණු බව, ඒජන්සි වාර්තාවල පළවිය. මෙබඳු අනතුරු ඇඟවීම් ගණන් නො ගැනීම කොතෙක් බිහිසුණුද යන්න, නේපාල ඛේදවාචකයෙන් පෙනේ.

‘‘ඉරුදින’’ කළ විමසුමකට පිළිතුරු දෙමින් මහාචාර්ය සී. බී. දිසානායක මහතා පැවසූයේ නේපාල භූමි කම්පා සිද්ධියෙන් ලංකාවට බලපෑමක් සිදු නොවන බවයි. ‘‘ඉන්දියාවයි අපියි එක ප්ලේට් එකේ ඉන්න බව ඇත්ත. ඒත් නේපාල භූමි කම්පාවෙන් ලංකාවට එතරම් බලපෑමක් නෑ. එයින් පොදුවේ මුළු ලොවටම, ඇමරිකාවට පවා ඉතා සුළු බලපෑමක් තියෙනවා. පොළොව අභ්‍යන්තරයේ තරංග ගමන් කිරීම ඔස්සේ ඒක සිදු වෙනවා. සමහරවිට මුහුදේ කැළඹීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉන්දියාවේ ජල චක‍්‍ර වෙනස් වෙන්න පුළුවන්. හිමාල භූමියේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ලංකාව පැත්තට, දකුණු ඉන්දියාවට බලපෑම් ඇතිවීම අවමයි, යයි ඔහු සඳහන් කළේය.

නේපාල සිද්ධිය ඇසූ සැණින්ම ලියුම්කරුට හැඟුණේ වෙනත් කාරණයකි. ඒ ලංකාවට එවන් තත්ත්වයක් ඇති වුවහොත්, එහි හානි අවමකර ගැනීම සඳහා අප සූදානම්ද? යන්නයි. භූමි කම්පාවකින් දිවි ගලවා ගැනීම සඳහා ලංකාවේ ජනයා දැනුම්වත්ද? යන ප‍්‍රශ්නය මෙහිදී පැන නැගේ. භූමි කම්පාවකදී ජනාකීර්ණ කොළඹ නගරය තවදුරටත් ආරක්‍ෂිතද? කඳුකර ජලාශවලට කුමක් වේද? යන ගැටලූද එහිදී ඉස්මතු වේ.

බලපෑමක් නො දැනුණද, සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටියද, නේපාල සිද්ධියෙන් පාඩමක් ඉගෙන ගැනීම, ලංකාවට බෙහෙවින් වැඩදායක වන බව කිව හැක්කේය. 
ඉරුදින-2015/05/03.

‘‘ග්ලයිපොසේට්’’ හෙවත් රටට මාරයා ගොඩ බෑම

‘‘ග්ලයිපොසේට්’’ ටොන් 278 ක් ගොඩ බෑම හෙවත් 
රටට මාරයා කැන්දා ගැනීම

  
(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)  

‘‘පය බරවායට පිටිකරට බෙහෙත් බඳිනවා’’ යනුවෙන් අපේ පැරණි කියමනක් තිබේ. පාදයේ හටගත් ‘‘බරවාය’’ හෙවත් රෝගාබාධය සුව කිරීම පිණිස, පිටිකර හෙවත් ගෙලෙන් පහළ පිට කොන්දට බෙහෙත් බ`දිනවාය යන්න එහි සරල අරුතයි. ජන වහරෙහි එන හැටියට මෙසේ කියන්නේ, කළයුතු කාරිය නොකර වෙනත් නිරර්ථක, ඵල රහිත වැඩ කරන පිරිස් උපහාසයට ලක් කරනු පිණිස ය. මහජනතාවගේ පැත්තෙන් කල්පනා කරන කල, ලංකාවේ මෑතකාලීන පාලකකාරකාදීහු ද පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමෙහි ගජ හපන්නු ය. ඒ බව ඔවුන් වැඩ කරන හැටියෙන්ම පෙනී යයි. ඊට ආසන්නම උදාහරණ සිද්ධිය, ඉකුත් සඳුදා (2015/05/11) හටගත් ‘‘ග්ලයිපොසේට් කන්ටේනර් 20ක් පිළිබඳ කාරණයයි.


සිද්ධිය මෙසේය.

ලංකාවේ එක්තරා කෘෂිරසායන අලෙවි සමාගමක්, ඉන්දුනීසියාවෙන් ‘‘ග්ලයිපොසේට්’’ නමැති වල්නාශක රසායන අඩංගු කන්ටේනර් 15ක් ලංකාවට ගෙන්වා තිබේ. ඒවායෙහි අඩංගු ග්ලයිපොසේට් රසායන තොගය කිලෝග‍්‍රෑම් 2,78,940 කි. ලීටර්වලින් නම් 2,36,000 කි. මෙටි‍්‍රක් ටොන්වලින් නම් 278.94 කි. කෘෂි රසායන අලෙවි සමාගම ඉකුත් සඳුදා (2015/05/11) සිය ග්ලයිපොසේට් තොගය රේගුවෙන් මුදාගෙන ගොස් තිබේ. ඒ, ග්ලයිපොසේට් රටට ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඔවුන්ට නිකුත්කර ඇති නිල අවසරපතක්ද ඉදිරිපත් කරමිනි.

ග්ලයිපොසේට් වූ කලී, උග‍්‍ර විෂ සහිත, සමූලඝාතක වල් නාශක වර්ගයකි. එය, ලංකාවේ කෘෂිකාර්මික ප‍්‍රදේශවල පැතිරයමින් තිබෙන මාරාන්තික වකුගඩු රෝගයට ද හේතුකාරක වන බව, පර්යේෂණ මගින් හෙළි විය. ග්ලයිපොසේට් පිළිකාකාරකයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ද පිළිගෙන තිබේ. ලංකාවේ සීමිත කෘෂිකාර්මික ප‍්‍රදේශ කිහිපයක ඒවා අලෙවිය සහ භාවිතය ද තහනම් කර ඇත. කරුණු මෙසේ වුවද රේගු බලධාරීන්ට ග්ලයිපොසේට් තොගය මුදා හරින්නට සිදු විය. ඒවා රටට ආනයනය කරන්නට තහනමක් නොවීම, ඊට හේතුවයි. මෙය

 එක් අතකට බලයේ සිටින ආණ්ඩු ‘පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නට’’ දක්වන කැමැත්තෙහි ප‍්‍රතිඵලයකි. ඊට පින්සිදු වන්නට 2015 යල කන්නෙහි සහ 2015/2016 මහ කන්නයෙහි ග්ලයිපොසේට් තොගය, ලංකාව පුරා කෘෂිකාර්මික පසට එක්වනු ඇත්තේය.

මාරාන්තික වකුගඩු රෝගය ආරම්භ වූවා යයි සැලකෙන්නේ, 1993 වර්ෂයේ සිටය. එහි ව්‍යාප්තිය අනුරාධපුරයෙන් පටන් ගත් අතර එකල එයට ‘‘රජරට මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය’’ යයි ව්‍යවහාර කෙරිණි. උන්හිටි ගමන් වකුගඩු නරක්වී අතිශය දුක්ඛිත මරණයක් ළඟාවීම රෝගයේ ස්වභාවයයි. සෞඛ්‍ය හා වෛද්‍ය අංශවල ව්‍යවහාරය අනුව 1993 වසරේ පටන් මේ දක්වා (2014) පුද්ගලයන් 25,000ක් පමණ රෝගයෙන් මියගොස් තිබේ.




මුල් කාලයේ වකුගඩු රෝගයට බලපාන හේතුකාරක මෙනවාදැයි සොයා ගැනීමට නො හැකිව තිබිණි. පසුව රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන සහ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප‍්‍රියානි පරණගම ඇතුළු විද්වත් පිරිසක් කළ පර්යේෂණයකින් කෘෂි රසායන ඔස්සේ පොළොවට එකතුවන ‘‘ආසනික්’’ සහ ‘‘කැඞ්මියම්’’ ආදී විෂ සහිත බැර ලෝහ නිසා රෝගය හට ගන්නා බව හෙළිදරව් කෙරිණි. මෙය ඉතාමත් ආන්දෝලනයකට තුඩු දුන් සොයා ගැනීමක් විය. ඔවුන්ගේ පර්යේෂණ වාර්තාව 2010 වසරේදී නිකුත් කෙරිණි. පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන්ද තවත් පර්යේෂණයක් කෙරිණි. රෝගයට හේතුව ‘‘ආසනික්’’ බව එයින් ද තහවුරු විය. එම වාර්තා 2011 සහ 2012 යන වර්ෂවල නිකුත් කෙරිණි.

මේවන විට, අනුරාධපුරය, පොළොන්නරුව සහ යාපනය යන දිස්ත‍්‍රික්ක වලද බදුල්ල දිස්ත‍්‍රික්කයේ ගිරා`දුරු කෝට්ටේ, රිදීමාලියැද්ද සහ කන්දකැටිය යන ප‍්‍රදේශවලද, මොණරාගල දිස්ත‍්‍රික්කයේ හම්බේගමුව, වැල්ලවාය, බුත්තල සහ තණමල්විල යන ප‍්‍රදේශවල ද කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ නිකවැරටිය, මහව, සහ යාපහුව යන ප‍්‍රදේශවලද මාතලේ දිස්ත‍්‍රික්කයේ විල්ගමුව සහ හෙට්ටිපොල යන ප‍්‍රදේශවලද හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තිස්සමහාරාම සහ ලූණුගම්වෙහෙර යන ප‍්‍රදේශවල ද මාරාන්තික වකුගඩු රෝගය ව්‍යාප්තවී ගොසිනි. මේ වන විට රෝගය වැළඳුණු ජන සංඛ්‍යාව 1,80,000 ක් විය හැකි බව, සෞඛ්‍ය හා වෛද්‍ය අංශවල මතයයි. මහාචාර්ය සුනිල් විමලරත්න මහතා කළ පර්යේෂණයකට අනුව, රෝගය නිසා මසකට 400 දෙනෙක් මියයති.

පසුකාලීනව වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිසක්, ඇමරිකාවේ කැලිපෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේදී කළ තවත් පර්යේෂණයකින් අනාවරණය වුයේ, ආසනික් ඇතුළු බැර ලෝහ වකුගඩුකරා ගෙන යාම සඳහා ‘‘ග්ලයිපොසේට්’’ නැමති විෂ රසායනිකය උපකාරීවන බවයි.

ආසනික්, කැඞ්මියම් ඇතුළු බැර ලෝහ සහ ග්ලයිපොසේට් පසට සහ ජලයට මුසු වන්නේ වී, තේ, රබර් ඇතුළු භව බෝග වගාවන් සඳහා යොදන රාසායනික පොහොර, රසායනික කෘමි නාශක, වල් හා දිලීර නාශක ආදී කෘෂි රසායන ඔස්සේ ය. සාමාන්‍යයෙන් ලංකාවේ සමස්ත වී වගා බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් 12,27,000 ක් පමණ වේ. තේ වගා බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් 2,22,000 කි. පොල් වගා බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් 3,95,000 කි. රබර් වගාව හෙක්ටයාර් 1,32,000 කි. මේවා ද ඇතුළුව ලංකාවේ සමස්ත බව බෝග වගා බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් 20,00,000 කට ආසන්න වේ. ඒ සියලූ භූමිය අස්වද්දන්නේ කෘතිම රසායනික පෙහොර සහ උග‍්‍ර විෂ සහිත කෘෂි රසායන වර්ග භාවිත කිරීමෙනි.

මාරාන්තික වකුගඩු රෝගය වේගයෙන් පැතිර යන විට, රටේ පාලකයෝ රෝගයට බිළිවූවන්ගේ සුව සෙත පිණිස යම් යම් ක‍්‍රියාමාර්ග ගත්හ. ප‍්‍රතිකාර පහසුකම් වර්ධනය කිරීම, පිරිසිදු ජලය සැපයීම, ආදිය ඒ අතර විය. ඒ සමඟම පාරම්පරික දේශීය වී වර්ග කාබනික ක‍්‍රමයට වගා කරවීමේ වැඩ පිළිවෙලක් ද දියත් කෙරිණි. එහෙත් මාරාන්තික වකුගඩු රෝගය ගැන පර්යේෂණ කරන, ඒ ගැන උනන්දුවක් දක්වන බහුතර මහජනයාගේ ඉල්ලීම වූයේ විෂ සහිත කෘෂි රසායන භාවිතය, ලංකාවෙන් සදහටම තුරන්කර දමන ලෙසයි. ඒවා රටට ගෙන්වීම වහාම තහනම් කරන ලෙසයි. එවකට පැවති මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ඒ ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නො කළේය. ආනයනික කෘතිම රසායනික පොහොරවල ප‍්‍රමිතිය ගැනද විධිමත් සොයා බැලීමක් නො කෙරිණි.

පසුව 2013.04.07 වැනිදා රජය විෂ සහිත කෘෂි රසායන වර්ග තුනක් ලංකාවට ගෙන්වීම තහනම් කළේය. ‘‘ක්ලෝරොෆයිරිෆෝස්’’, ‘‘ප්‍රොපනිල්’’ සහ ‘‘කාබරිල්’’ යන කෘෂි රසායන ඒ අතර විය. ඊට පසුව 2014.12.22 දින රජය, ‘‘ක්ලෝරොෆයිරිෆෝස්’’,‘ ‘ප්‍රොපනිල්’’,‘‘කාබරිල්’’,කාබොෆියුරාන්, සහ ‘‘ග්ලයිපොසේට්’’ යන කෘෂි රසායන වර්ග සීමිත කෘෂිකාර්මික ප‍්‍රදේශයක භාවිතය සහ අලෙවිය තහනම් කළේය. අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල සහ මොණරාගල යන දිස්ත‍්‍රික්ක ද, බදුල්ල දිස්ත‍්‍රික්කයේ මහියංගණය, රිදීමාලියැද්ද, සහ කන්දකැටිය යන ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස තහනමට ඇතුළත්කර තිබිණි.

ඒ සමගම, ගොවීන්, පරිසර සංවිධාන සහ රටවැසි බහුතරයක් දෙනා රජයෙන් ඉල්ලා සිටියේ, ‘‘ග්ලයිපොසේට්’’ ලංකාවට ගෙන්වීම තහනම් කරවන ලෙසයි. එවකට පැවති රජය ඉල්ලීම එක තඹයකට ගණන් ගත්තේ නැත. ඒ වෙනුවට රෝගයට බිළිවූවන්ගේ ප‍්‍රතිකාර පහසුකම් පුළුල් කළහ. නො එසේ නම් ‘‘පය බරවායට පිටිකරට බෙහෙත් බැන්දහ.

 ‘ග්ලයිපොසේට්’ ලංකාවට ගෙන්වීම නතර කරන ලෙස ඉල්ලූ අයට ඉකුත් රජයේ කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ලැබුණේ කදිම පිළිතුරකි. ලංකාවේ තේ වගා භූමිවල වල් මර්ධනය සඳහා ‘‘ග්ලයිපොසේට්’’ අඩංගු වල් නාශක වර්ග බහුලව භාවිත කරන බැවින් ඒවා ආනයනය තහනම් කළ නො හැකි බව ඔවුන් දුන් පිළිතුරෙහි සඳහන් විය. තේ වගා භූමිවල වල් මර්ධනය සඳහා ‘‘ග්ලයිපොසේට්’’ අඩංගු වල් නාශක බහුලව ඉසින බව ඇත්තකි. එයින් තේ වගාව කෙරෙන තෙත් කලාපීය භූමිවල, ජල මූලාශ‍්‍ර දූෂණය වන බවත්, එය අනාගතයේදී තවත් මාරාන්තික රෝග යකට අතවැනීමක් වන බවත් කිසිවෙකු කල්පනා නොකළහ.

මේ අතර ලංකාවේ ආහාරයට ගන්නා, නව වැඩිදියුණු වී වර්ගවල සහල්වල පවා මනුෂ්‍ය භාවිතයට අහිතකර මට්ටමින් ‘‘ආසනික්’’ ඇති බව 2015.01.30 වැනිදා අනාවරණය විය. ඒ, ‘International Journal of Food Contamination’’ නම් ජාත්‍යන්තර සඟරාවට, වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිසක් යොමුකළ පර්යේෂණ ලිපියකිනි. ලංකාවේ භාවිත වන සහල්වලින් සියයට 70 කම, මිනිස් සෞඛ්‍යට අහිතකර මට්ටමින් ආසනික් අඩංගු වන බව එහි දැක්විණි.

මාරාන්තික වකුගඩු රෝගයට බලපාන විෂ සහිත කෘෂි රසායන පිළිබඳ ගැටලුව ඉකුත් ජනාධිපතිවරණ ඡන්ද රැස්වීම් වේදිකාවේදී ද දැඩි කතාබහට ලක් විය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ඒවා ආනයනය තහනම් නො කළැයි බරපතල ලෙස චෝදන එල්ල විය. චෝදනාව ඇත්තය. විද්වතුන් විසින් ‘‘ඇහැටම ඇඟිල්ලෙන් ඇන’’ පෙන්වාදී තිබිය දීත් පැවති ආණ්ඩුව විෂ සහිත කෘෂි රසායන රටට ගෙන්වීම තහනම් කළේ නැත. රට පියවරෙන් පියවර හෝ කාබනික කෘෂිකර්මයකට තල්ලූකර ගෙන ගියේ නැත. එක්කෝ කෘෂි රසායන සමාගම්වල බලය හමුවේ ඔවුන් බිය වූවාද විය හැකිය. නැතිනම් ඔවුන් ආණ්ඩුවට දුන් යම් යම් වරදාන හමුවේ නිශ්ශබ්දව සිටියා ද විය හැකි ය. කෙසේ වෙතත් අලූත පත් වූ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් වඩා යහපත් පියවරක් ගනු ඇතැයි මහජනයා බලාපොරොත්තු වූහ. ධුරයට පත්වූ අලූත ඔහු ජන හමුවක් අමතමින් අසා තිබුණේ තමන් කෘෂි රසායන සමාගම්වලට බිය නොවී කටයුතු කරන බවයි. ඒ අතරම අලූත් ආණ්ඩුව වකුගඩු රෝගීන් සඳහා මුදල් දීමනාවක් පිරිනැමීමේ වැඩ සටහනක් ද ඇරඹුවේය. චීන රජයේ ආධාර ඇතිව වකුගඩු රෝහලක් ඉදි කරන්නට ද සැලසුම්කර තිබේ. මේ සියල්ල අයහපත් දේවල් නොවේ. එසේ වුවද ඒවා රෝගයට බලපාන ‘‘හේතුකාරකය’’ මුලිනුපුටා දැමීමට නොව රෝගයෙන් ලැබෙන ‘‘ප‍්‍රතිඵලයට’’ කෙරෙන පිළියම්ය. ඒ හැර රෝගයට ‘‘ප‍්‍රධාන හේතුකාරකය’’ ලෙස හඳුනා ගෙන ඇති විෂ සහිත කෘෂි රසායන රටට ගෙන්වීම තහනම් කිරීමේ වැඩ පිළිවෙලක් නම් තවමත් ක‍්‍රියාවට නැගුණේ නැත. මැතිවරණ වේදිකාවේ මේ ගැන ‘‘ඇට්ටි හැලෙන්නට’’ කතා කළ නාමධාරී ගුණෝපේත දේශපාලනඥයන්ටද දැන් කාරණය අමතකවුණු සෙයකි.


‘‘ග්ලයිපොසේට්’’ ආනයන සිද්ධිය හෙළිදරව් වුණ ඉකුත් සඳුදා (2015/05/11) පරිසර සංවිධාන සහ ගොවි සංවිධාන ක්ෂේත‍්‍රයේ මහත් කැළඹීමක් ඇති විය. එදිනම මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ශී‍්‍ර ලංකා හරිත ව්‍යාපාරයේ වැඩ සටහන් කළමනාකාර බන්දුරංග කාරියවසම් මහතා අති විශාල ‘‘ග්ලයිපොසේට්’’ තොගයක් රටට ඇතුළුකර ගැනීමෙන් අත්වන මහා ව්‍යසනය ගැන අනතුරු ඇඟවීය. ඒවා හැකි ඉක්මණින් ආපසු ඉන්දුනීසියාවට යැවිය යුතු බවත්, ‘‘ග්ලයිපොසේට්’’ ආනයනය වහාම තහනම් කළ යුතු බවත් කියා සිටියේ ය.

‘‘ග්ලයිපොසේට්’’ මෙටි‍්‍රක්ටොන් 278.94ක තොගයක් රටට මුදා හරින්නට සිදුවීම කෙතෙක් බරපතල දැයි අමුතුවෙන් කිවයුතු නොවේ. ඉන් පෙනී යන්නේ පැරදී ගෙදර ගිය ආණ්ඩුව මෙන්ම අලූත පත්වූ ආණ්ඩුවද ‘‘පය බරවායට පිටිකරට බෙහෙත් බඳින්නට’’ දැඩි කැමැත්තක් දක්වන බවයි.
ඉරුදින-2015/05/17.

පොසොන් පුවතෙහි අප‍්‍රකට කතා

පොසොන් පුවතෙහි රැඳුණු
අප‍්‍රකට කතා




 (ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
 පොසොන් යයි කී පමණින්ම ලංකාවේ බෞද්ධ බැතිමතුන්ට සිහිපත් වන්නේ, අනුරාධපුරයේ මිහින්තලාවයි. එහෙත් අම්පාරේ ‘රාජගල කන්දට’ද, පොසොන් පොහොයේ යශෝකීර්තියෙන් යම් කොටසක් හිමිවන බව වැඩි දෙනෙක් නොදනිති.

අනුරාධපුරයට, මිහින්තලයට ගව් ගණනාවක් දුරින්, නැගෙනහිර පළාතේ අම්පාර නගරයට නුදුරින් පිහිටි ‘රජගලකන්ද’ ඉපැරණි නටබුන් රාශියක් සහිත පුරාවිද්‍යා රක්‍ෂිත භූමියකි. එහි ඇති කටාරම් කෙටූ ගල්ලෙන්, සෙල් ලිපි සහ තවත් විවිධ ශෛලමය නටබුන් අපට කියාපාන්නේ, අතීතයේ එහි බෞද්ධ ආරාමික සංකීර්ණයක් පැවති බවය. මිහින්තලා පුදබිම හා බැඳුණු බෞද්ධ උරුමයෙන් යම් කොටසක් රජගලට ද හිමිවන බව පැවසෙන්නේ එහි නටබුන් රාශියක් සහිත පුරාවිද්‍යා රක්‍ෂිත භූමියකි. එහි ඇති කටාරම් කෙටූ ගල්ලෙන්, සෙල්ලිපි සහ තවත් විවිධ ශෛලමය නටබුන් අපට කියාපාන්නේ, අතීතයේ එහි බෞද්ධ ආරාමික සංකීර්ණයක් පැවති බවය. මිහින්තලා පුද බිම හා බැඳුණු බෞද්ධ උරුමයෙන් යම් කොටසක් රජගලට ද හිමිවන බව පැවසෙන්නේ එහි ඇති එක්තරා සෙල් ලිපියක් නිසාය. ක‍්‍රි.පූර්ව පළමුවැනි සියවසෙහි අග භාගයේ හෝ ක‍්‍රි.පූර්ව දෙවැනි සියවසෙහි ලියැවුණු බව සඳහන් සෙල් ලිපියෙහි මෙලෙස සටහන්කර තිබේ.

‘යෙ ඉම දිප පඨමය ඉදිය අගතන, ඉඩික තෙරහ මහිද තෙරහ තුඹෙ’
‘මෙම දිවයිනට ප‍්‍රථමයෙන් සෘද්ධියෙන් වැඩම කළ ඉත්ථිය තෙරුන්ගේ සහ මහින්ද තෙරුන්ගේ ථූපයයි’ යන්න, එහි සිංහල තේරුමයි.

මිහිඳු මාහිමියන් අපේ රටට වැඩම කළ සිද්ධියත්, උන්වහන්සේ වෙනුවෙන් ස්ථූපයක් සෑද වූ බවත්, ඉන් පුරාවිද්‍යාත්මකව සනාථ වේ. එපමණක් ද නොවේ. මිහිඳු මාහිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කෙරුණු දාගැබක් ද එහි පැවති බව පුරාවිද්‍යාඥයන්ගේ විශ්වාසයයි.

මෙම ලිපිය ලියන්නේ අම්පාරේ රජගල කන්දේ නටබුන් ගැන ලියන්නට නොවේ. පොසොන් සමය හා බැඳුණු පුරාවිද්‍යාත්මක කාරණා කිහිපයක් ගැන අප පාඨකයන් වෙත ගෙන එන්නටය. එම තොරතුරු බෙහෙවින් විචිත‍්‍රවත් ය.


මිහිඳු මාහිමියන් සෘද්ධියෙන් ලංකාවට වැඩම කරන්නේ, දේවානම්පියතිස්ස රජු (ක‍්‍රි.පු. 307-267) දවසය. එය ඉන්දු - ලංකා රාජ්‍යතාන්ත‍්‍රික ක‍්‍රියාදාමයකි. එකල අසල්වැසි ඉන්දියාවේ රාජ්‍ය පාලකයා වූයේ, මෞර්්‍ය වංශිකයෙකු වූ අශෝක අධිරාජ්‍යයාය. මිහිඳු හිමියන් වූ කලී, ඔහුගේ පුත‍්‍රයා වූ අතර, උන්වහන්සේ ලංකාවට වැඩම කරන්නේද, අධිරාජ්‍යයාගේ ඉල්ලීම අනුවය. අශෝක අධිරාජ්‍යයා සහ ලංකාවේ දේවානම්පියතිස්ස හිතමිතුරන්වීම මේ කාරණයට බලපාන්නට ඇත. කොයි හැටි වෙතත් එක්තරා පොසොන් පොහෝ දිනයක සිය පිරිවර ද සමග ලංකාවට සෘද්ධියෙන් වැඩම කරන මිහිඳු මා හිමියෝ, මිහින්තලාවේ අඹ වනයකදී රජු මුණගැසී ලංකාවේ බුද්ධ ශාසනය පිහිටුවන්නේය. උන් වහන්සේ සමග වැඩම කළ ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල යන මහ තෙරවරුද, භණ්ඩුක උපාසකයන් ද ඒ කටයුත්තට එක්වන්නෝය. දීප වංශය සහ මහාවංශය ඇතුළු වංශකතා මගින් මේ පුවත් විස්තර කොට තිබේ.

අම්පාර රජගල කන්දේ සෙල්ලිපිය වැදගත් වන්නේ මෙතැනදීය. ඒ, මිහිඳුමාහිමියන්ගේ සම්ප‍්‍රාප්තිය ඉන් පුරාවිද්‍යාත්මකව සනාථ කරන නිසාය. ඊට අමතරව මහාදාඨික මහානාග රජ (ක‍්‍රි.ව. 07-19) සමයට අයත් ‘මිහින්තලා ගිරි ලිපියක්’ද මහින්දාගමනයට තවත් පුරාවිද්‍යා සාක්‍ෂියක් සපයයි. ඉන් කියැවෙන්නේ, මිහින්තලේ ප‍්‍රදේශයේ පැවති වැවකින් එන බදු ආදායම, මහින්ද, භද්දසාල ඉත්ථිය සහ උත්තිය යන තෙරවරුන්ගේ පිළිරූ නඩත්තුවට යෙදවූ බවය.

ආචාර්ය සිරාන් දැරණියගල මහතා ඇතුළු විද්වත් පුරාවිද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, ලංකා ශිෂ්ඨාචාරයේ පෞරාණිකභාවය සහ ඉතිහාසය සම්බන්ධයෙන් ගත්කල, ප‍්‍රධාන මානව ජනාවාස හතරක් හඳුනාගෙන තිබේ. ‘අනුරාධපුරය’ රුහුණේ ‘තිස්සමහාරාමය’, මන්නාරමේ ‘මහාතිත්ථය’ සහ යාපනයේ ‘කන්දරෝඬේ’ හෙවත් කදුරුගොඩ විහාරය පැවති භූමි භාගය යනු එම ජනාවාස හතරයි. ශිෂ්ඨාචාරය අතින් ගත්කල, ඒවා එකකට එකක් සම්බන්ධ මානව ජනාවාසයන් වෙති. එසේම බෞද්ධ උරුමය අතින්ද පෞරාණිකය.

අනුරාධපුරය
ශිෂ්ඨාචාරය සම්බන්ධයෙන් ගත් කල, අතීත ලංකාවේ පැවති ප‍්‍රබලතම ජනාවාසය අනුරාධපුරයයි. පුරාවිද්‍යා පර්යේෂණ මගින් හෙළිව ඇති ආකාරයට එහි පැවති පැරණිම මානව ජනාවාසය අදින් වසර 7000ක් පමණි පැරණිය. එය බලංගොඩ මානවයන් විසූ ලංකාවේ මධ්‍ය ශිලා යුගයට අයත් වේ. ඉක්බිති අදින් වසර 2900කට පමණ ඉහතදී (ක‍්‍රි.පූ. 08-09 සියවස්වල) අනුරාධපුරයට පූර්ව ඓතිහාසික යකඩ යුගය එළඹිණි. එහි විසූ මනුෂ්‍යයෝ, එකල සතුන් ඇති කිරීම, වී වගා කිරීම මැටි බඳුන්වල ආහාර පිසීම, අශ්වයන් ඇති කිරීම, යකඩ භාවිතය ආදිය දැන සිටියහ. ඔවුන්ට ඉන්දියාව සමග වෙළෙඳ සබඳතා ද විය. අනුරාධපුරය, අදින් වසර 2250 පමණ වන විට දකුණු ආසියාවේ විශාල නගරයක් බවට පත්ව තිබිණි. ආචාර්ය සිරාන් දැරණියගල මහතා 1969 වසරේ එහි ඇතුළුපුරයෙහි කළ කැණීම් මගින් මේ තොරතුරු හෙළිදරව් විය. පසුව එය ලංකාවේ ප‍්‍රථම රාජධානිය මෙන්ම ප‍්‍රථම අගනුවර බවට පත්වූයේය. අදින් වසර 2300කට පමණ ඉහත දේවානම්පියතිස්ස රජතුමාගේ අනුග‍්‍රහයෙන්, මිහිඳු මාහිමියන්ගේ සැපත් වීමෙන්, ලංකාවේ බුදු සසුන පිහිටුවීමට උපස්ථම්බක වන්නේද මේ ආකාරයට ක‍්‍රමිකව ගොඩනැගුණු අනුරාධපුරයයි.

ඇත්තටම මිහිඳු මාහිමියන්ගේ සහ දේවානම්පියතිස්ස රජුගේ මැදිහත් වීමෙන් සිදු වූයේ, ‘නිල වශයෙන්’ ලංකාවට බුදු දහම ස්ථාපිත වීමයි. එසේ වුවද ඊට පෙර පටන්ම ලංකාවේ බෞද්ධයන් සිටියහ. ඊට හොඳම සාක්‍ෂි සැපයුණේ පසුගිය කාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ පර්යේෂණ මගිනි. ආචාර්ය සිරාන් දැරණියගල සහ ආචාර්ය නිමල් පෙරේරා යන විද්වතුන් විසින් කළ පර්යේෂණවලදී, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ විසූ සමයේ මහා සංඝරත්නය භාවිත කළ සම්ප‍්‍රදායේ පාත‍්‍ර කොටස් සොයා ගැනීම, එම සාක්‍ෂියයි. ආචාර්ය සිරාන් දැරණියගල මහතා 1969 වසරේ අනුරධපුර ඇතුළු පුරයේ කළ කැණීම්වලින්ද, කාවා ව්‍යාපෘතිය යටතේ තිස්සමහාරාමයේ ඇතුළු පුරයේ කළ කැණීම්වලින්ද, ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් 2011 වසරේ යාපනයේ කන්දරෝඬේ (කදුරුගොඩ විහාර භූමිය) කළ කැණීමෙන්ද ඒවා හමු වී තිබිණි.

 පුරාවිද්‍යාඥයන් පවසන අන්දමට, බුදුරදුන් ජීවමානව වැඩ විසූ සමයේ භික්ෂූන් වහන්සේලා භාවිතකර ඇත්තේ මැටියෙන් සෑදූ පාත‍්‍රයන් ය. ඒවා, හැදින්වෙන්නේ, ‘උත්තර භාරතීය කාල උද්දීප්ත සම්ප‍්‍රදායට’ අයත් මැටි බඳුන් යනුවෙනි. උතුරු ඉන්දියාවේ ගංගා සහ යමුනා නදී නිම්නවල පිහිටි නගරවලින්ද, පාඨලී පුත‍්‍ර සහ හස්තිනාපූර් යන නගරවලින්ද ඉන්දීය පුරාවිද්‍යාඥයන්ට ඒවා හමුවී තිබේ. අනුරාධපුරය, තිස්සමහාරාමය සහ කන්දරෝඬේ යන ස්ථානවලින්ද හමුවී ඇත්තේ ඊට සමාන මැටි පාත‍්‍ර කොටස්ය. ඒවා ක‍්‍රිස්තු පූර්ව 06 වැනි සියවසට, එනම් බුදුන් ජීවමානව වැඩ විසූ සමයට අයත් වන බව, කාලනීර්ණ පරීක්‍ෂණ මගින් අනාවරණය වී ඇත. මින් පෙනී යන්නේ. බුදුරදුන් ජීවමානව වැඩසිටි සමයේ දී ලංකාවේ සැලකිය යුතු බෞද්ධ පුනරුදයක් පැවති බවය.

කන්දරෝඩේ සහ මහාතිත්ථ
 යාපනයේ චුනක්කම්හි පිහිටි ‘කන්දරෝඬේ’ හෙවත් කදුරුගොඩ විහාර පුදබිම, ඉතා පැරණි බෞද්ධ විහාර සංකීර්ණයකි. ඒ ආශ‍්‍රිතව ‘කදුරුගොඩ නමින් නගරයක්ද පැවතිණි. එය පිහිටා තිබී ඇත්තේ, දඹකොල පටුන’ පැරණි වරායේ සිට අනුරාධපුරය දක්වා වැටුණු ප‍්‍රධාන මාර්ගයේය. කන්දරෝඬේ යනු උතුරුකරයේ ඇති පැරණිම ජනාවාසයයි. එහි ඉතිහාසය කතා පුවතද බෙහෙවින් විචිත‍්‍රවත්ය.

‘ජම්බුකෝල පට්ඨන’ නමින් අතීතයේ හැඳින්වුණු දඹකොල පටුන පැරණි වරාය පිහිටා තිබුණේ, වර්තමාන කන්කසන්තුරේට නුදුරිනි. එය අනුරාධපුර රාජධානි යුගයේ පැවති ප‍්‍රධාන වරාය කිහිපයෙන් එකක් විය. මන්නාරමේ ‘මහාතිත්ථ’, ත‍්‍රිකුණාමලයේ ‘ගෝකර්ණතිත්ථ’, හම්බන්තොට ‘ගොඩවාය’ සහ කයිට්ස්හි ‘ඌරාතොට’ සෙසු වරායන් විය. එකල අනුරාධපුරයට බෞද්ධ පුනරුදයක් මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ වෙළෙඳ වසන්තයක්ද පැමිණියේ වරාය ක‍්‍රියාවලිය ඔස්සේය. සංඝමිත්තා තෙරණිය ජයශ‍්‍රී මහා බෝධි අංකුරය ද රැුගෙන ගොඩ බැසීමේ සිද්ධිය නිසා, දඹකොල පටුන වරාය අතීත බෞද්ධ පුනරුදයෙහි සුවිශේෂ පැතිකඩක් විය. ඉපැරණි කදුරුගොඩ නගරය ද එකල දඹකොල පටුන වරායේ සිට අනුරාධපුරයට දිවෙන ප‍්‍රධාන මාර්ගයේ පිහිටි වෙළෙඳ නගරයක් විය.

පොසොන් සමය යයි කී පමණින්ම, ලංකාවේ බොදුනුවන්ගේ සිහියට නැගෙන්නේ, අනුරාධපුරය සහ මිහින්තලාවයි. ඒ නගර ඉතා ඉහළ මට්ටමේ බෞද්ධ පුනරුදයකට එළඹෙන්නේ හුදෙකලාවම නොවේ. අනුරාධපුරය නමැති පරිපාලන, බෞද්ධාරාමික සහ වෙළෙඳ නගරයේ පෝෂණය සඳහා රටේ සතර දෙසින්ම ක‍්‍රියාත්මක වූ වරාය ක‍්‍රියාවලිය හේතුවෙනි.

ඉරුදින-2015/05/31.