Total Pageviews

Wednesday, April 11, 2018

සීගිරි ඉතිහාසයේ මෑත කතාව-02


සීගිරි ඉතිහාසයේ මෑත කතාව-02

සීගිරියේ පුරාවිද්‍ය කැනීම් සහ සංරක්‍ෂණ කටයුතු ආරම්භකර අප‍්‍රියෙල් 15 දිනට වසර 124 කි. මේ ලිපි පෙළ ඒ නිමිත්තෙනි.
බෙල් මහත්තයාගේ සීගිරි ගමන
 

ආචාර්ය රාජා ද සිල්වා මහතා චිත්‍ර පිරිසිදු කරමින්

(සටහන සහ ඡායාරූප, විශ‍්‍රාමික පුරාවිද්‍යා නිලධාරි, සීගිරියේ - ජයන්ත විජේරත්න හේරත්)
සිංහල රජ සමයෙන් පසු, සීගිරිය වල් බිහි වූයේ විවිධ හේතූන් නිසා ය. එසේ වල් බිහිවුණු සීගිරිය අද පවතින තත්ත්වයට ගෙන ඒමට මුල් වූයේ බි්‍රතාන්‍ය පාලකයන් බව ද අප අමතක නො කළ යුතු ය. අදින් වසර 124කට පමණ පෙර හෙවත්, වන වැදුණු සීගිරිය ගල මුදුනට ගියේ හෙන්රි චාල්ස් පර්විස් බෙල් මහතාගේ මූලිකත්වයෙන් යුත් පිරිසක් ය. 1894.04.15 දින ය. බෙල් මහතා සිය සේවක කණ්ඩායමත් සමග සීගිරි ගල මුදුනට යාමට පැමිණියත්, ඔහු සමග සිටි පිරිස ගලට නැගීමට අකමැති වූහ. ඒ අවස්ථාවේ එතැන සිටි සීගිරියේ එඩිතර තරුණයකු ගල මුදුනට යාමට ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වූ බව ප‍්‍රකට රහස කි.

සීගිරිය එළිපෙහෙළි කිරීමේ කටයුතු ආරම්භ වුයේ ඉනුත් වසර දෙකකට පමණ පසු බව පැරණි වාර්තාවල සඳහන් වේ. 1894 වසරේ දී සීගිරියේ පුරාවිද්‍යා සංවර්ධන කාර්යයන් ආරම්භ වුවත්, ගල මුදුනටම නො වුෙණත් ඉන් අඩක් හෝ නැගීමේ මුල්ම ගෞරවය හිමිවන්නේ ඉංග‍්‍රීසි ජාතික මේජර් ජොනතන් ෆෝබ්ස් මහතාට ය. ඔහු 1831 සහ 1833 වසරවල දී සීගිරි ගලෙන් අඩක් තරණය කළ බව ඔහු විසින් ලියන ලද 11 years in Ceylon    ( ලංකාවේ එකොළොස් වසක් ) නම් ග‍්‍රන්‍ථයේ සඳහන් වේ1860 වසරේ දී එංගලන්තයෙ දී, කාණ්ඩ 02 කින් යුක්තව එම ග‍්‍රන්‍ථයපළ කෙරිණි. එහි දී ඔහු සඳහන් කරන්නේ, තමන් දෙවතාවක්ම සීගිරියට නැගුණත්, නිසි සූදානමකින් නො ගිය නිසා පර්වතය තරණය කිරීමට නො හැකි වූ අතර, කණ්ඩායමේ සමහරුන්ට කලන්තය, වමනේ දැමීම, බයවීම ආදිය සිදු වූ නිසා එම කර්තව්‍යය අතරමග නවතා දැමීමට සිදු වුණු බවත් ය. එසේ වුවත් තමන් දෙවතාවේදී ම චිත‍්‍ර සහිත ලෙනට ගොඩ වැදුණ බව ඔහු සඳහන්කර ඇත. ඔහුටත් පෙර 1831 වසරේ දී මාතලේ උප දිසාපති වශයෙන් සේවය කළ ජෝන් බේලි සහ තවත් සිවිල් සේවකයකු වූ ඒ.වයි. ඇඩම්ස් යන දෙදෙනා සීගිරි ගල පාමුලට ගියත්, ගල තරණය කළ බවක් දැන ගන්නට නැත.

වන වැදුණ සීගිරිය තමන් විසින් සොයා ගත් බවට විදේශිකයන් පම්පෝරි ගැසුවත්  සීගිරිය කිසිවකු විසින් සොයා ගැනීමක් කර නැත. ඔවුන්ගේ  වාර්තාවල කෙසේ සඳහන් වුවත් අපේ මුතුන් මිත්තෝ ඔවුන්ට පෙර අනන්තවත් සීගිරි ගල මුදුන තරණය කළෝය. එහෙත් ඔවුන් සීගිරිය නැග ගත් බවට ලිඛිත සාධක නොමැති නිසා අපේ මී මුත්තන්ට ලැබිය යුතු ගෞරවය හිමිකර ගත්තේ එදා සිටි ඉංග‍්‍රීසි ජාතික සිවිල් සහ හමුදා නිලධාරීන් ය. අපේ මුතුන් මිත්තන් පවසන්නේ ෆෝබ්ස්ට පෙර ඔවුන්ගේ අත්තලා මුත්තලා මී වද කඩන්නට, බඹර වද කපන්නට, බිං කොහොඹ ගලවන්නට සීගිරි ගලට නැගි බව ය. කාශ්‍යපයන්ගේ ආලකමන්දා රාජධනිය වන වැදී ගියත් කිසි දා අපේ සිංහලයාට සීගිරිය අමතක වූයේ නැත. එයට එක් නිදසුනක් නම් 17 වැනි 18 වැනි සියවස්වල ලියැවුණ මන්දාරම් පුවත සහ නම් පොත වැනි කෘතීන්වල සීගිරිය ගැන ලියැවී තිබීම යි

 
බෙල් මහතා

පුරාවිද්‍යා දෙපාර්මේන්තුව ආරම්භ කෙරු‍ෙණ් 1890 වර්ෂයේ දී ය. එච්.සී.පී.බෙල් හෙවත් හෙන්රි චාල්ස් ෆර්විස් බෙල් මහතා ලංකාවේ ප‍්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වශයෙන් පත් කරනවිට, ඔහු කෑගල්ලේ දිස්ත‍්‍රික්කයේ, දිස්ත‍්‍රික් විනිසුරු වරයා ය. සීගිරියේ අරුමය ලොවට හෙළි කළ බෙල් BELL නම් වූ ඒ පුරාවිද්‍යාඥයා නමේ සිංහල අරුත මෙන්ම පුරාවිද්‍යාවට ඝණ්ඨාරයක්ම විය. බෙල්ගේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අදත් සමහර වැඩිහිටියන් හඳුන්වන්නේ බැල් පාටිය නමින් .

බැල් පාටියේ කටයුතු ගැන හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වන දිවංගත මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරන්නේ ”....කොපමණ වධ වේදනා විඳිමින් සිය කටයුතු කළේදැයි අද වෙසෙන අයට හරි හැටි තේරුම් ගත නො හැකිය....යනුවෙනි. එය පරණවිතාන සමයට පමණක් නොව එය අදටත් වලංගුවන ප‍්‍රකාශය කි.

1895 දී පමණ සීගිරිය ගල මුදුනේ කැනීම් සහ එළිපෙහෙළි කටයුතු ආරම්භ කළ බෙල් මහතා, ගොඩනැගිලි නටබුන් පාදා ගනිමින් ඒවා යම් තරමකින් හෝ ආරක්‍ෂා කිරීම සඳහා සංරක්‍ෂණය කළේ . ගලට නැගීමට සැකසුණු මංපෙත්වල සමහර ස්ථාන කැඞී බිඳී ගොස් තිබුණ නිසා, ඒ තැන්වලට යකඩ වැටවල් සහ පාලම් තැනවී . එමෙන් ම සීගිරි චිත‍්‍ර පිටපත්කර ඒවා ද ආරක්‍ෂා කිරීමට පියවර ගත් බව පුරාවිද්‍යා වාර්ෂික පාලන වාර්තාවල සඳහන් වේ. එම වාර්ෂික පාලන වාර්තා අදත් හඳුන්වන්නේ බෙල් වාර්තා නමින් ය.

1894 වසරේ දී සීගිරි චිත‍්‍ර ප‍්‍රථම වරට පිටපත් කළේ බෙල් මහතාගේ උපදෙස් පරිදි, මුහන්දිරම් පෙරේරා නම් අයෙකි. දෙවන වර හෙවත් 1899 වසරේ දී එවකට ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෙකු වූ මරේ නම් මහතෙක් සීගිරි චිත‍්‍ර පිටපත්කර ඇත.

ගල මතට නැගීමට තිබුණු මං පෙත් කැඞී ගොස් තිබූ බැවින්, ඒවාට පිළියම් වශයෙන් තැන තැන යකඩ වැටවල් සහ පාලම් ඉදි කළ බව පෙර සඳහන් කළෙමි. සීගිරි ගලේ වයඹ පැත්තේ හෙවත් සිංහ පාදයත් කැටපත් පවුරත් අතර කොටසක මං පෙත කැඞී ගොස් ඇති නිසා, ඊට පිළියමක් වශයෙන් අඩි 68ක් දිග යකඩ පාලමක් ඉදි කළේ එය අද ද අපට දැක ගන්නට ඇත. පාලම ඉදි කළේ ලෙනදොර ගමගෙදර, සලමන් හාමි නම් කෙනෙකු බව බෙල් මහතා සඳහන් කරයි. සීගිරි චිත‍්‍ර නැරඹීමට යාම සඳහා සර්පිලාකාර සෝපනයක් සවි කරන ලද්දේ 1938 වසරේ දී යඒ සඳහා වැය වූ මුදල රුපියල් 5704ක් බව වාර්තා වන අතර, එය සකස්කර සවිකර ඇත්තේ, ඒ වකවානුවේ සුප‍්‍රසිද්ධ ඉදිකිරීම් ආයතනයක් වූ සීමාසහිත වෝකර්ස් සමාගම යි. මේ කාලවකවානුවේ පුරාවිද්‍යා කොමසාරිස් වශයෙන් කටෙයුතු කළේ ඒ.එච්.ලෝංගර්ස්ට් (1934-1939) මහතා ය.
(මතු සම්බන්ධයි)

2018.04.11

No comments:

Post a Comment