Total Pageviews

Wednesday, April 11, 2018

සීගිරි ඉතිහාසයේ මෑත කතාව-01


සීගිරි ඉතිහාසයේ මෑත කතාව-01

සීගිරියේ පුරාවිද්‍ය කැනීම් සහ සංරක්‍ෂණ කටයුතු ආරම්භකර අප‍්‍රියෙල් 15 දිනට වසර 124 කි. මේ ලිපි පෙළ ඒ නිමිත්තෙනි.
අලුතෙන් හමුවූ සිංහ රුව ඔස්සේ දිග හැරෙන
 සිහිගිරි පුවත



බෙල් මහතා සිය දියණිය සහ පුතා සමඟ සීගිරි චිත‍්‍ර ගුහාව තුළ.


(විශ‍්‍රාමික පුරාවිද්‍යා නිලධාරි, සීගිරියේ - ජයන්ත විජේරත්න හේරත්)


(ඡායාරූප-ජයන්ත විජේරත්න හේරත් සහ අන්තර් ජාලයෙනි)
සීගිරියේ තිබෙන්නේ සිංහයෙකුගේ පාද නියපොතු නොවේ, ගුරුළෙකුගේ පා නිය සටහන් යයි විද්වත් කථිකාවක් මේ වනවිට ආරම්භ වී තිබේ. එම කතිකාවන දෝලනය වෙමින් තිබිය දී  හෙවත් මේ වසරේ (2018) මාර්තු මස මුල සතියේ දී සීගිරියෙන් අසන්නට ලැබුණේ අපූරු පුවත කි. එය හෙළිදරව් වූයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතා කළ මාධ්‍ය සාකච්ඡාවකිනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව සීගිරියේ උතුරු දිය අගලේ සිදුකරන කැනීම්වල දී පුරාවස්තු කිහිපයක් හමුවුන අතරඑහි දී මැටියෙන් නිර්මිත (ටෙරාකොටා) පාද සහිත සිංහ මූර්තියක් ද හමු විය. එය මහත්කුතුහලය දනවන පුරාවස්තුවක් විය.
මාධ්‍ය සාකච්ඡාවේ දී මහාචාර්යවරයා මෙසේ ද පැවසී ය.
සීගිරියේ උතුරු කොටසට අයත් දිය අගලේ කැනීම්වල දී ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක සාධක රැසක් සොයා ගෙන තිබෙනවා. මෙහි දී හමු වූ පුරාවස්තූන් අතර, සිංහ රුවක් ද තිබෙනවා. සීගිරියේ න්‍යෂ්ටිය ලෙස සැලකෙන්නේ සිංහ පාදය සහිත සිංහ රුව යි. දැනට සංචාරකයන්ට දැක බලා ගත හැකිවන්නේ සිංහ පාද කොටස පමණ යි.

පුරාවිද්‍යාඥයන් පසුගිය සියවස් ගණනාව තුළ සිංහ රුව පිළිබඳව විවිධ අනුමාන, අදහස් ඉදිරිපත් කළා. සීගිරිය දිය අගලෙන් සිංහ රුව සොයා ගැනීමත් සමග සිංහ පාදයට ඉහලින් තිබූ සිංහ රුව කෙබඳු ස්වරූපයකින් තිබුණේ ද යන්න පිළිබඳව හා එහි වාස්තු විද්‍යාත්මකව, ගෘහ නිර්මාණ ශිල්පය කුමන ආකාරයකින් ගොඩ නැගී තිබුණේ ද යන්න පිළිබඳව පැහැදිලි අනුමාන කරන්න පුළුවන් හැකියාව ලැබි තියෙනවා......

ඉහත සඳහන් සංක්‍ෂිප්ත වාර්තාව ඉදිරිපත් කළේ, සීගිරියේ පුරාවිද්‍ය කැනීම් සහ සංරක්‍ෂණ කටයුතු ආරම්භකර අප‍්‍රියෙල් 15 දිනට වසර 124 ක් සපිරීම නිමිත්තෙන් ලියනු ලබන එදා මෙදා තුර කතාවක පූර්විකාවක් වශයෙන් ය.


ඇවිළුන ගින්දර නිමි නිමී යන බවක් පෙනේ. එහෙත් තවමත් අළු යට ගිනි අඟුරු තිබෙන බවක් ද දැනේ. සීගිරිය අද ඊයේ පමණක් නොව ආරම්භයේ පටන්ම පුවත් මවන්නන්ගේ තෝතැන්න කි. මෑත භාගයේ දී ආන්දෝලනාත්මක වාර්තාවක් වූයේලෝක ප‍්‍රසිද්ධ සීගිරියේ, අප්සරා බිතු සිතුවම් කිහිපයක් අව පැහැ ගැන්වී ඇති බව යි. එවකට ජාතික උරුමයන් සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමතිනී නීතිඥ පවිත‍්‍රා වන්නිආරච්චි මැතිනියට සිදු වූයේ තම සියලූම කටයුතු අතර මඟ දමා සීගිරිය ගල බලා කරුණා කිරීමට ය. (හිටපු) පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ හිස ගිනි ඇවිළුනේය. අවසානයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ද සීගිරි අප්සරාවන් දැක බලා ගන්නට සීගිරිය තරණය කළේ කවුරුත් නොසිතුව මොහොතක ය.
මගේ මතකයට අනුව එවකට රාජ්‍ය නායකයාව සිටි අගමැති ඩඞ්ලි සේනානායක මැතිතුමා ගෙන් පසු සීගිරි අප්සරාවන් දැක බලා ගැනීමට ගිය මෙරට රාජ්‍ය නායකයා  මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමා ය. එපමණක් ද නොව සීගිරිය නැරඹීමට ගිය ප‍්‍රථම ජනාධිපති තුමා ද එතුමා ය. එහෙත් එතුමන් හෝ ඩඞ්ලි සේනායක අගමැති තුමා කැටපත් පවුරේ ගී ලියන්නට ගියේ නැත. ඒ කෙසේ වුව ද සීගිරි චිත‍්‍ර අව පැහැ ගැනීමට හේතුව අනාවරණය නොවුනත්, විවිධ කටකතා නම් පැතිර ගියේය.


එලෙස සීගිරි අප්සරාවන්ට වින කටින්නට පෙර වාර්තා වූයේ, සීගිරියේ බඹරුන්ව එළවා දැමීමට  කවුදෝ අළුගුත්තේරුවන් පිරිසක් බඹර වදවලට ගිනි තබා විනාශ කළ පුවත යි. ඊට පෙර වැහිළිහිණි වසුරු වලින් කැටපත් පවුර විණාශ වී යන බවට චෝදනා එල්ල වුන අතර, ඉන් පසු කියැවුනේ, කුඹළුන් සීගිරි චිත‍්‍ර ගුහාවේ ගෙවල් හදන බව ය. කුඹළුන් සීගිරියේ ගෙවල් හැදුවේත්, බඹරුන් සීගිරි ගලේ වද බැන්දේත්, වැහිළිහිණියන් සීගිරි ගලේ කූඩු බැන්දේත් අද ඊයෙක නම් නොවේ. කාශ්‍යප රජතුමා සීගිරිය ආලක මන්දාවක් කිරීමට පෙර සිටම වැහිළිහිණියන්, බඹරුන් සහ කුඹළුන් සිටි බව මේ ගහලයන් නොදැන සිටීම පුදුමය කි

ඉන් පසු සිංහ පාදයේ අවන් හලක් සහ වැසිකිළි පද්ධතියක්  සෑදීමට ජයිකා සංවිධානයේ මුදලින් සංස්කෘතික ත‍්‍රිකෝණ ව්‍යාපෘතිය කටයුතු කරන බවට ඉතාමත් උණුසුම් ප‍්‍රවෘත්තියක් පළවුන අතර, එයට මාධ්‍ය ඇතුලූ බහු ජන සංවිධාන ගණනාවක්ම විරෝධතාවයන් එල්ල කළේය. එහි ප‍්‍රතිඵලය වූයේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා විසින් එම ඉදිකිරීම් අත්හිටුවීම ය. විරෝධතා උත්සන්න වෙත් දී අනාවරණය වූ තවත් කරුණක් වූයේ මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය කරනු ලබන සීගිරි ව්‍යාපෘතියේ එවකට සිටි ව්‍යාපෘති කළමනාකරු ජයිකා ආයතනයෙන් ලද ශිෂ්‍යත්වයක් මඟින් ජපානයේ සංචාරයකට ගිය බව ය. එහෙත් මේවායේ පුදුමය වනුයේ සීගිරියේ සිදුවන බොහෝ අකටයුතු දේවල් අදාල බලධාරීන්ට වාර්තා වනුයේ හෝ දැන ගන්නට ලැබෙන්නේ ජනමාධ්‍යයෙන් කෙරෙන හෙළිදරව්වලින් වීම ය.
  
ඉන් පසු සීගිරියේ ඇහැළගල ගමේ පදිංචි සංස්කෘතික ත‍්‍රිකෝණයේම සේවකයකු වූ විජේ අය්යාත්, නුවර පළාතේ බඹරුන් සමඟ වැඩකිඩ දාන ඞීමන් අය්යාත් තවත් අයෙකුත් සීගිරි ගල මුදුනේ උපවාසයක් ආරම්භ කළේ, විවිධ පුද්ගලයන් සහ සංවිධාන, සංස්කෘතික ත‍්‍රිකෝණය හා එක්ව සීගිරිය විනාශ කිරීමට කටයුතු කරන බව සඳහන් කරමින් ය. මේ සියලූ ක‍්‍රියාකාරකම් හමුවේ අදාල සියලූ පාර්ශවවලට අයත් බලධාරීන් නිදි වැදී සිටින බව සඳහන් කළ ඔවුන්, සීගිරියේ සියලූ සංවර්ධන කටයුතු පුරාවිද්‍යා දෙපාර්මේන්තුවට පවරා ගන්නා මෙන් බල කළහඑම උපවාසය ද සීගිරි ඉතිහාසයට එක්වනුයේ, සීගිරි ගල උඩ කරන ලද පළමු උපවාසය ලෙසින් ය.

සීගිරිය සුරැකීමේ සංවිධානය චෝදනා කරන්නේ, මෑත කාලයක සිට සීගිරියේ පෞරාණිකත්ත්‍වයට හානිකර සිදුවීම් රැසක් ම සිදුව ඇති බවයි. මේ සියලූ ක‍්‍රියාකාරම් පිටුපස විදේශීය ඩොලර් පිණුම් ගසන බවට චෝදනා කරන එම සංවිධානය තවදුරටත් සඳහන් කරන්නේ, සීගිරිය පමණක් නොව අපේ රටේ ම සංස්කෘතිය විනාශ කිරීමේ කුමන්ත‍්‍රණයක් පවතින බවත්, එයට දැනුවත්ව හෝ නො දැනුවත්ව හෝ වක‍්‍රාකාරව හෝ යම් යම් රාජ්‍යායතන ද සම්මාදම්වී තිබෙන බවත් ය. මෑත භාගයේ සිගිරියේ සිදු වූ ඉදිකිරීම් සහ අනෙකුත් ක‍්‍රියාකාරකම් දෙස මැඳිහත් සිතින් යුතුව විමර්ශනය කිරීමේ දී එය පැහැදිලිවන බව එම සංවිධානය සඳහන් කරයි

සීගිරිය ජගත් ලෝක උරුමයක් ලෙස, යුනේස්කෝ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කළේ, 1982 වසරේ දී ය. ලෝක උරුමයක් වූ සීගිරියේ සංවර්ධනය මුවාවෙන් සිදුකරනු ලබන සියලූ අනවශ්‍ය ඉදිකිරීම් වහාම නවතන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නියෝග කළේ,  2010.08.23 වන දින සීගිරි අප්සරා චිත‍්‍රවලට සිදුකර ඇතැයි කියන වින්නැහිය පරික්‍ෂා කිරීමෙන් අනතුරුව ය. එම නියෝගය කොතරම් කළක් මේ සංස්කෘතික බලධාරීන් ආරක්‍ෂා කළා ද යනු පසු විමසුමක් කිරීම මෙය කියවන, සීගිරිය නරඹන්නට යන ඔබගේ ද වගකීම කි!

ඓතිහාසික සීගිරියේ නිර්මාතෘවරයා වශයෙන් සලකන්නේ වසර 18ක වැනි කාලයක් හෙවත් ක‍්‍රි‍්‍ර:: 477 - 495 දක්වා කාලයක් ලංකාවේ අග රජු වශයෙන් කටයුතු කළ 1 වැනි කාශ්‍යප රජතුමා යඉතිහාසයේ එතුමා ගැන සඳහන්වන්නේ පීතෘඝාතක රජකු වශයෙන් ය. ඔහු සීගිරි ගල මස්තකයේ ඉතාමත් අලංකාර මන්දිරයක් ඉදිකර, මිහිබට කුවේරයා මෙන් එහි ජීවත් වූ බව ඓතිහාසික තොරතුරුවලින් අනාවරණය වේ. පුරාවිද්‍යාත්මක සාක්ෂි නැතත්, කුවේරයා ජීවත්වන්නේ ආලකමන්දාව නමින් හඳුන්වන ඉතාමත් අලංකාර සුඛෝපභෝගි මාළිගාවක ය. එම කතාව සත්‍යයක් බව මෙහි ඇති නටඹුන්වලින් මනාව ප‍්‍රත්‍යක්‍ෂ වේ. ඓතිහාසික තොරතුරු අනුව සීගිරි කාශ්‍යපයන් මිය යන්නේ ද සියතින්ම ගෙල කපා ගෙන ය. ඒ තමන්ගේ ආත්ම ගෞරවය සහ ආත්මාභිමානය රැක ගැනීම සඳහා ය. රාවණා රජතුමා ද සීගිරියේ රජ කළ බවට විශ්වාසයක් පවතී.

සමස්තයක් වශයෙන් ගත් කල සීගිරිය අපේ පැරණි සිංහලයාගේ අනේක විධ දක්‍ෂතාවයන් ලෝකය හමුවේ තබන ජාත්‍යාන්තර කේන්ද්‍රස්ථානය කි. එය, වාස්තු විද්‍යාව, ජල උද්‍යානකරණය, ජල තාක්ෂණය, නගර නිර්මාණය, ගෘහ නිර්මාණය, මූර්ති සහ චිත‍්‍ර කලාව, කාව්‍යකරණය ආදි වශයෙන් විවිධ විෂයයන් ගෙන් පරිපූර්ණ ය. එසේ පරිපූර්ණ වූ සීගිරිය, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක උරුමයක් වශයෙන් නම් කළේ මෙයට වසර කිහිපයකට පෙර ය. සීගිරිය අද ලෝකයේ අට වැනි පුදුමය වශයෙන් සලකති.
(මතු සම්බන්ධයි)

2018.04.11

No comments:

Post a Comment