Total Pageviews

Friday, January 29, 2016

ජාතික ජන මාධ්‍ය සහ නව මාධ්‍යයෙහි අභියෝගය-02-ප්‍රවෘත්ති වාර්තා වීම හෝ නො වීම


ජාතික ජන මාධ්‍ය සහ නව මාධ්‍යයෙහි අභියෝගය-02


 ප‍්‍රවෘත්ති වාර්තා වීම හෝ නො වීම

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ප‍්‍රවෘත්ති වාර්තා වීම හෝ නො වීම කෙරෙහි බලපාන කරුණු කිහිපයකි. ඒවා මෙසේ තේරුම් ගනිමු.

මාධ්‍ය ආයතන සියල්ල පොදුවේ ගත් විට, ඉන් බහුතරයක් පෞද්ගලික අංශයට අයත් ය. ඊට වඩා අඩු සංඛ්‍යාවක් රජයට අයත් ය. තවත් අතලොස්සක් දේශපාලන පක්ෂ හෝ වෘත්තීය සමිති ව්‍යාපාර ඔස්සේ ක‍්‍රියාත්මක වේ. මින් රජයේ මාධ්‍ය ආයතන නිතරම කටයුතු කරන්නේ පවතින ආණ්ඩුවට පක්ෂපාතී ස්වරයක සිටිමින්, ඔවුන්ගේ ප‍්‍රතිපත්ති හා වැඩ ක‍්‍රියාවලිය මෙන්ම ඔවුන්ගේ දේශපාලනය ද සිය න්‍යාය පත‍්‍රය බවට පත්කර ගනිමිනි. එහෙත් පෞද්ගලික මාධ්‍ය ආයතන එසේ නොවේ. ඔවුන් සිය ප‍්‍රවෘත්ති මෙහෙයුම් කරන්නේ, තම හාම්පුතුන්ගේ ප‍්‍රතිපත්ති සහ දේශපාලනය මත පදනම් වෙමින්, යම් වාණිජ අරමුණක් ද ඉදිරියට ගනිමිනි. ඔවුන්ගේ ඇසින් බලන කල, ප‍්‍රවෘත්ති යනු වෙළෙඳ භාණ්ඩයකි. එබැවින් තම පිටු ඉඩකඩෙන් සෑම වර්ග සෙන්ටිමීටරයක්ම, ගුවන් කාලයෙන් සෑම තත්ත්පරයක්ම, මුදල් බවට පත් කරන්නට ඔවුන් කටයුතු කරනු දැකිය හැකි ය. පෞද්ගලික මාධ්‍ය ආයතන ප‍්‍රවෘත්ති මුදා හරින්නේ, සිය හාම්පුතුන්ගේ ප‍්‍රතිපත්ති හා දේශපාලනය මෙන්ම, ඔවුන් අනුදත්  වාණිජ අරමුණුවලට ද යටත්ව ය. ඒ අර්ථයෙන් ගත් කල, කිසියම් ප‍්‍රවෘත්තිමය සංසිද්ධියක් ‘මහජනයා ඉල්ලන තරම්’ වාර්තා නො වීමට ද ඉඩ තිබේ! අනෙක ඇතැම් සංසිද්ධියක් මහත් අභිරුචියෙන් වාර්තා කරනු ද විය හැකි ය. පෙද්ගලික මාධ්‍ය ආයතන තම හාම්පුතුන්ගේ ප‍්‍රතිපත්ති සහ දේශපාලනය බල නො පාන ප‍්‍රවෘත්තිමය සංසිද්ධීන් ද වාර්තා කිරීමට තෝරා ගන්නේ, යම් කොන්දේසියක් සහිතව ය. එනම් එය ප‍්‍රවෘත්ති වෙළෙඳපොළේ අලෙවි කළ හැකි ද? යන කාරණය සලකා බැලීමෙනි. හාම්පුතුන්ගේ ප‍්‍රතිපත්ති සහ දේශපාලනය මෙන්ම තම වාණිජ අරමුණට පිටිවහලක් නො වන සමහර ප‍්‍රවෘත්තිමය සංසිද්ධීන් වුව, වාර්තා නො කෙරෙන්නේ ඒ හේතුව නිසා ය.

කෙසේ වෙතත්, යම් සිද්ධියක වෙළෙඳපොළ පිළිබඳ කාරණය බරපතල නම්, හාම්පුතුන්ගේ ප‍්‍රතිපත්ති සහ දේශපාලනයට විරුද්ධ දෙයක් වුව, කිසියම් පමණකට වාර්තා කිරීම පෞද්ගලික මාධ්‍ය ආයතනවල සිරිතයි. එසේ නො කළ හොත්, ප‍්‍රවෘත්ති වෙළෙඳපොළෙහි තම අලෙවි කෝටාව කඩා වැටෙන බව ඔවුහු දනිති.

ප‍්‍රවෘත්ති වාර්තා වීම හෝ නො වීම සම්බන්ධයෙන් බලපාන ඊළඟ කාරණය වන්නේ, ජනප‍්‍රිය ව්‍යවහාරයේ දී ‘ඇඩ්වටයිසින්’ යනුවෙන් ප‍්‍රකට වෙළෙඳ දැන්වීම් ක‍්‍රියාවලියයි. රජයේ හෝ පෞද්ගලික හෝ වේවා, ජාතික ධාරාවේ මාධ්‍ය ආයතනවලට වෙළෙඳ දැන්වීම් නැතිව ජීවත් විය නො හැකි ය. මින් විද්‍යුත් මාධ්‍ය එහැමපිටින්ම යැපෙන්නේ, අනුග‍්‍රාහක දැන්වීම්වල පිහිටෙනි. එසේම මුද්‍රිත මාධ්‍ය (පුවත්පත්/සඟරා ආදී) ද යැපෙන්නේ අනුග‍්‍රාහක දැන්වීම් සහ අලෙවි ආදායමෙනි. ඔවුන්ට ඒවා නැතිව පවතින්නට නුපුළුවන.




නව මාධ්‍ය යයි හඳුන්වන ‍පේස් බුක් ඇතුළු අන්තර්ජාලය මුල්කර ගත් මාධ්‍ය, බොහෝවිට ‘පුද්ගල කේන්ද්‍රීය’ (තනි පුද්ගලයෙක් විසින් මෙහෙයවන) ව්‍යාපෘති වේ. එබඳු බොහොමයක් මාධ්‍යට ආයතනික ව්‍යුහයක් නැත. කාර්ය මණ්ඩලයක් ද නැති තරම් ය. ඔවුන් සිය ප‍්‍රවෘත්ති වාර්තා සඳහා තොරතුරු ළඟාකර ගන්නේ, එක්කෝ සිය මාධ්‍ය හිතවතුන් මාර්ගයෙනි. නැතිනම් මාධ්‍ය වෘත්තිකයන්ට යම් මුදලක් ගෙවීමෙනි. තවත් සමහර අය තමන්ට පෞද්ගලිකව ලැබෙන තොරතුරු භාවිත කරයි.  වෙබ් අඩවි හැටියට ලියාපදිංචි මාධ්‍ය තම ‘සර්වර්’ සඳහා, අන්තර්ජාල සැපයුම්කාර ආයතනවලට යම් වාර්ෂික මුදලක් ගාස්තු වශයෙන් ගෙවිය යුතු ය. ඊට අමතරව දේශීයව ගෙවිය යුතු වාර්ෂික ලියාපදිංචි ගාස්තු ද තිබේ. වෙබ් අඩවියේ තාක්ෂණික ක‍්‍රියාකරුවන්ට ද මුදල් ගෙවිය යුතු ය. වෙබ් අඩවිකරුවන් මෙම වියදම් සම්පාදනයකර ගන්නේ, එක්කෝ අනුග‍්‍රාහක දැන්වීම් මගිනි. නැතිනම් පාඨක පරිත්‍යාග මගිනි. බ්ලොග් සහ සමාජ මාධ්‍ය ජාල සඳහා නම් එබඳු වැය බරක් නැත. (නව මාධ්‍ය ධාරාව පරිශීලනය කරන මහජනයා ද මුදල් ගෙවන්නේ නැත.) එබැවින් නව මාධ්‍ය සඳහා ඇත්තේ අවම වැය බරකි. අවම වියදමකි. කොටින්ම අන්තර්ජාලය මුල්කර ගත් මාධ්‍ය සඳහා දරන්නට වන වියදම, ජාතික ධාරාවේ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයක් සඳහා දරන්නට වන වියදමට සාපේක්ෂව බොහොම සොච්චමකි.

සම්ම්ත ධාරාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සඳහා එසේ නොවේ. ඒ සියල්ලම ආයතනික ව්‍යුහයන් වෙති. ඒවා ‘වාණිජ මාධ්‍ය කර්මාන්ත’ ලෙස ද ගිනිය හැකි ය. විද්‍යුත් මාධ්‍ය ආයතනවලට කැමරා ඇතුළු විවිධ උපකරණ, රථ වාහන, ගොඩනැගිලි ආදී යෙදවුම් මෙන්ම සේවකයන් විශාල සංඛ්‍යාවක් ද අවශ්‍ය වේ. රජයට ගෙවිය යුතු බදු මුදල් මෙන්ම වාර්ෂික විකාශන බලපත‍්‍ර ගාස්තු ද ඔවුන්ගේ වැය බරට ඇතුළත් ය. මුද්‍රිත මාධ්‍ය ආයතනවලට නම් වෙබ් මොඩලයේ සමතල මුද්‍රණ යන්ත‍්‍ර, තීන්ත, කඩදාසි, පරිගණක යන්ත‍්‍ර ආදිය මෙන්ම ගොඩනැගිලි, රථ වාහන සහ සේවකයන් විශාල සංඛ්‍යාවක් ද අවශ්‍ය වේ. ඔවුන් ද රජයට බදු මුදල් ගෙවිය යුතු ය. ඒ අනුව ගත් කල, ලංකාවේ පමණක් නොව ලොව  ඕනෑම රටක විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන යනු මහා පරිමාණ ආයෝජනයකි. වෙළෙඳ දැන්වීම් ගැනීමෙන් තොරව ඒවායෙහි වැය බර පියවා ගෙන, පවත්වා ගෙන යාමට නුපුළුවන. එසේම ඒවායෙහි හිමිකරුවන් ලාභ තීරු ද අපේක්ෂා කරති.

තමන් ප‍්‍රසිද්ධියට පත් කරන ප‍්‍රවෘත්ති සහ වැඩසටහන් සම්බන්ධයෙන්,  ඕනෑම විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ආයතනයකට සිය වෙළෙඳ දැන්වීම් අනුග‍්‍රාහකයන්ගේ බලපෑම්වලට මුහුණ දීමට සිදු වෙයි. එබැවින් ජාතික ධාරාවේ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය, සෑම විටම සිය දැන්වීම් අනුග‍්‍රාහක ආයතන සමග යම් අවබෝධයකින් කටයුතු කරනු දැකිය හැකි ය. රජයේ මාධ්‍ය ආයතනවලට පවා මේ බලපෑම් එල්ල වනු පෙනෙයි.

මේ කාරණය ජාතික පුවත්පත්වලට ද වලංගු ය. සම්මත පුවත්පත් කලා රීතීන්ට අනුව, යම් පුවත්පතක සමස්ත ඉඩකඩෙන් සියයට 60ක් වෙන් වන්නේ කර්තෘ මණ්ඩලය මගින් කරන පළ කිරීම් සඳහා ය. එනම් ප‍්‍රවෘත්ති හෝ විශේෂාංග පිණිස ය. ඉතිරි සියයට 40ක ඉඩකඩ වෙළෙඳ දැන්වීම් පිණිස වෙන් වෙයි. සම්මතය එසේ වුව ද, වර්තමාන පුවත්පත්වල කියවීමට පළ කෙරෙන ලියැවිලිවල ඉඩ ප‍්‍රමාණය තීන්දු කරන්නේ ඒවායෙහි කර්තෘවරු නොවේ. වෙළෙඳ දැන්වීම් ගැනීම බාරව සිටින ප‍්‍රධානීන් ය! පුවත්පත්වල මුල් පිටුව පවා වෙළෙඳ සමාගම්වලට විකිණෙන්නේ ද, කිරිපිටි සහ සුවඳ විලවුන් කර්මාන්ත, සකස් කළ ආහාර හෝ බෝතල් කළ ඇතැම් පාන වර්ග, පිළිබඳ විවේචන ඒවායෙහි පළ නො වන්නේ ද, නිකම්ම නොවේ. මහා පරිමාණ වෙළෙඳ සමාගම්වල ‘සුහදතාවය’ නිසා ය. ඇතැම් වෙළෙඳ සමාගම්වල කෙරුවාව ගැන ප‍්‍රචාරක මාදිලියේ විස්තර පළ වන්නේ ද ඒ නිසා ය. දැනට වසර කිහිපයකට ඉහත හට ගත් ‘ආසනික්’ පිළිබඳ අරගලය මීට හොඳ නිදසුනකි. එකල  ඇතැම් කෘෂි රසායන සමාගම්කරුවෝ, ආසනික් විරෝධී පුවත්පත්වලට සිය වෙළෙඳ දැන්වීම් දීමෙන් වැළකී සිටියහ! ප‍්‍රචාරක කටයුතු විෂයෙහි වෙළෙඳ සමාගම්වල අධිපතිවාදී ක‍්‍රියාකාරිත්වය නිසා, පාඨකයන්ගේ අයිතීන් උල්ලංඝණය වන බව සහ ඔවුන්ගේ තොරතුරු අවස්ථා සීමා වන බව දැන් ඉතාමත් පැහැදිලි ය. තොරතුරු වාර්තාකරණය සම්බන්ධයෙන් එය ගැටළුවකි.

එයින්  පත්තර කතුවරුන්ට පමණක් නොව, පාඨක මහජනතාවට ද අගතියක් වන බව ඇත්ත ය. එහෙත් ජාතික තලයේ මාධ්‍ය කර්මාන්තය ‘නිරුපද්‍රිතව’ පවත්වා ගෙන යාමට මුදල් ද අවශ්‍ය බැවින් සියල්ල ඉවසා සිටීමට කර්තෘවරුන්ට සිදු වේ!

ලියුම්කරු වරක්, ලංකාවේ ළමා මන්දපෝෂණයෙහි නරක තත්ත්වය ගැන ඔහු එවකට සේවය කළ පුවත්පතට ලිපියක් ලිව්වේ ය. ඔහු ලිපිය ආරම්භ කළේ, කලක පටන්ම රූපවාහිනී නාලිකා ඔස්සේ පට්ටා ගැසෙන එක්තරා කිරිපිටි දැන්වීමක ඇති වචන දෙක තුනක් ද ඈඳා ගනිමිනි. ලියුම්කරු පැවසුවේ රූප පෙට්ටියේ කිරිපිටි දැන්වීම්වලින් පෙන්වන, සුන්දර පුෂ්ඨිමත් ළමා ලෝකය රටේ සැබෑ ළමයින් තුළ නැති බවයි! ලිපිය ප‍්‍රතික්ෂේප විය. ‘මචං, උඹ දන්නවානේ කිරිපිටි ගැන  ඕවා දාන්න බෑ කියලා’ යයි එහි බලවතෙක් ඊට හේතු දැක් වූයේ ය. වරක් එක්තරා ඉරිදා පුවත්පතක් මුල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටියේ ය. එය කොතෙක් උග‍්‍ර වී ද යත්, අප‍්‍රියෙල් මාසයේ එළඹි අලූත් අවුරුද්දට සිය සේවකයන්ට අත්තිකාරමක්වත් දෙන්නට නුපුළුවන් විය. ඉතින් ආයතන බලධාරීහු එක්තරා ආහාර වෙළෙඳ සමාගමක් සමග ‘දැන්වීම් ගිවිසුමක්’ අත්සන් කළෝ ය. ඉන් පසුව පිටු ගණන් දැන්වීම් පළ විය. අලූත් අවුරුද්දට ගෙදර යන සේවකයන්ට, වෙළෙඳ සමාගමේ නිෂ්පාදන ඇතුළත් ලොකු ‘බඩු මල්ල’ බැගින් තිළිණ කෙරිණි! ලියුම්කරුටත් ඉන් මල්ලක් ලැබිණි. මේ නිදසුන් දෙක සඳහන් කළේ, මාධ්‍ය ආයතන සහ වෙළෙඳ සමාගම් අතර පැවතිය හැකි ‘සුහදතාවය’ ගැන කියනු පිණිස ය.

ප‍්‍රවෘත්ති ‘පළ වීම’ හෝ ‘නො වීම’ කෙරෙහි බලපාන ප‍්‍රධාන කරුණු තුන, දැන් මෙසේ ගොනුකර ගත හැකි ය.

0 -    මාධ්‍ය ආයතන හාම්පුතුන්ගේ ප‍්‍රතිපත්ති හා දේශපාලනය,
0 -    ඔවුන්ගේ වාණිජ අරමුණු සහ
0 -    වෙළෙඳ දැන්වීම් ක‍්‍රියාවලියෙහි ආධිපත්‍යය යනු ඒවායි.

මේවාට අමතරව, කර්තෘවරුන්ගේ සිතුම් පැතුම්, වාර්තාකරණ ක‍්‍රියාවලියෙහි දෝෂ ආදිය ද, ප‍්‍රවෘත්ති වාර්තා වීම හෝ නො වීම කෙරෙහි බලපායි. ඒවා සංඛ්‍යාත්මකව ඉතා සුළු සිද්ධීන් වේ.

වගකීම පිළිබඳ සංකල්පය
මීට එක් කළ යුතු තවත් අතුරු කාරණයක් ද තිබේ. එනම් පළ කෙරෙන ප‍්‍රවෘත්ති පිළිබඳ ‘වගකීම’ නමැති ප‍්‍රශ්නයයි.

ලංකාවේ පවතින නීති රීති අනුව, ප‍්‍රවෘත්ති පළ කිරීම යනු රටේ පොදු නීතියට යටත් ක‍්‍රියාවලියකි. ඊට අමතරව පුද්ගල අපහාස නීතිය, බුද්ධිමය දේපල පනත ඇතුළු තවත් අණ පනත් කීපයක් ද ඒ හා ගැට ගැසී තිබේ. එබැවින්  ඕනෑම මාධ්‍ය ආයතනයක් (විද්‍යුත් හෝ මුද්‍රිත) ප‍්‍රවෘත්ති පළ කළ යුත්තේ, එම නීති රීති උල්ලංඝණය නො වන පරිද්දෙනි. මේ කාරණයේ දී ජාතික ධාරාවේ සෑම මාධ්‍ය ආයතනයක්ම, සිය ප‍්‍රවෘත්ති සම්බන්ධයෙන් නෛතික වගකීමකට බැඳී සිටිති. පුවත්පතක නම්, යම් ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන් වගකිව යුත්තේ එහි ප‍්‍රධාන කර්තෘවරයා, ප‍්‍රකාශකයා සහ මුද්‍රණකරුවා යන තිදෙනා ය. ඔවුන් සිය පාඨක රට වැසියන්ගේ ගෞරවය මෙන්ම ඔවුන්ගේ කීර්තිනාමය  පිළිබඳ ගෞරවය ද සුරැකිය යුත්තේ ය. ඔවුන් ප‍්‍රවෘත්ති පළ කරන්නේ එම වගකීම් ද සිතෙහි තබා ගනිමිනි. මෙම තත්ත්වය ද, නිදහස් මාධ්‍ය වාර්තාකරණයකට එරෙහිව ඇති සීමාවක් හෝ වාරණයක් ලෙස යමෙකුට  අර්ථ නිරූපනය කිරීමට පුුළුවන!


කරුණු මෙසේ හෙයින් සම්මත ජාතික ධාරාවේ ජනමාධ්‍ය ආයතන, ‘තොරතුරු සඟවනවා’ කියා හෝ ‘ප‍්‍රමාණවත් තරම් හෙළිදරව් නො කරනවා’ කියා හෝ චෝදනා එල්ල වීම අසාධාරණ ද නොවේ! ‘පත්තරවල බොරු පළ වෙනවා ය’ යන අදහසක්, ජන සමාජය තුළ රෝපණය වන්නට ඇත්තේ ද එබැවිනැයි ලියුම්කරුට සිතේ. ඇත්තටම මාධ්‍ය ලෝකයෙන් පිටස්තර ජනයා, මෙබඳු අභ්‍යන්තර කාරණා ගැන සහ සුද්දෙන් නො දනිති. ඔවුන් දන්නේ පත්තරවල ‘ඇත්ත’ පළ නො වන  බව පමණකි. ඒ අතර ‘නව මාධ්‍ය’ විසින් සියල්ල හෙළි කරනු ලැබේ. එවිට ජාතික ධාරාවේ මාධ්‍ය ‘ඇත්ත’ නො කී බව පිළි ගැනීමට සිදු වේ. මෙම තත්ත්වය නිසා පාඨකයා සහ මාධ්‍ය ආයතනය අතර පැවති විශ්වාසය පළුදු වේ. ඉන් පාඨකයන් බුරුතු පිටින් ගිලීහී යයි!

සියල්ල සහ සුද්දෙන්ම දැන ගත යුතු ද?
අන්තර්ජාලය මුල්කර ගත් නව මාධ්‍ය ධාරාව ප‍්‍රචලිත වීමත් සමගම, ‘මහජනතාව විසින් සියල්ලම, එනම් සියලූම තොරතුරු සහ සුද්දෙන්ම දැන ගත යුතුය’ වැනි අදහසක් නව තාක්ෂණික සමාජයෙහි රෝපණය වී තිබේ. ජනමධ්‍ය ඔස්සේ කෙරෙන ‘ප‍්‍රවෘත්ති වාර්තාකරණය’ යයි කියන්නේ එයට නම්, සම්මත ජාතික ධාරාවේ මාධ්‍යට, නව අන්තර්ජාල මාධ්‍ය සමග හැරෙන්නටවත් බැරි ය! ඒ ඔවුන්ට ලැබෙන සෑම තොරතුරක්ම ක්ෂණිකව සිය මාධ්‍යට මුදා හැරිය හැකි බැවිනි. ඔවුන්ගේ තොරතුරු සමාජයට, රටේ පොදු නීති හෝ මාධ්‍ය ආචාරධර්ම ආදිය බලපාන බවක් ද පෙනෙන්නට නැත. තොරතුරු පෙළගැස්වීමක් නො කෙරෙන බැවින් මාධ්‍ය ගැන දැනුවත් භාවයක් ද අවශ්‍ය නැත. එබැවින් ඔවුන්ට සීමා රහිතව තොරතුරු මුදා හැරීමට පුළුවන.

නව මාධ්‍ය ගැන අභිරුචියෙන් කතා කරන අය පවසන්නේ, එය අති විශාල නිර්භීතකමක් හෝ, අති විශාල සමාජ මෙහෙවරක් හෝ, අති විශාල සමාජ කාර්යභාරයක් හැටියට ය. එය තාක්ෂණික සමාජයෙහි අලූත් ප‍්‍රවණතාවයකි.

අන්තර්ජාලය මුල්කර ගෙන නව මාධ්‍ය ඉස්මතු වීම තුළ, ඉතා වැදගත් කාරණා දෙකක් පැන නැගෙයි.

0 -    ඉන් පළමු වැන්න වන්නේ, නව මාධ්‍ය ඉස්මතු වීම නිසා සම්මත ධාරාවේ ජාතික මාධ්‍යවලට (මුද්‍රිත මාධ්‍ය ද ඇතුළුව) හෙට දවසේ දී කුමන ඉරණමක් අත්වේ ද? යන්නයි.

0 -    දෙවැන්න, ඉස්මත්තට පැමිණි නව මාධ්‍යවල වගකීම සහ සදාචාර සම්පන්න භාවය කොතෙක් දුරට සමාජ ගෝචරවේ ද? යන්නයි.

කාරණා දෙකම අතිශයින්ම සංකීර්ණ ය. සංවේදී ය.

(මතු සම්බන්ධයි)
2016/01/28.


ජාතික ජන මාධ්‍ය සහ නව මාධ්‍යයෙහි අභියෝගය-01-ඊ පරම්පරාවේ සන්නිවේදන පෙරළිය

ජාතික ජන මාධ්‍ය සහ
නව මාධ්‍යයෙහි අභියෝගය-01
‘ඊ පරම්පරාවේ’ සන්නිවේදන පෙරළිය

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘තොරතුරු හෝ ප‍්‍රවෘත්ති තවදුරටත් සැගවිය නො හැකි දෙයක් බව’ වර්තමානයේ ප‍්‍රචලිතව ඇති ‘නව මාධ්‍යවලට’ කැමැත්තක් දක්වන බොහෝ දෙනෙකුගේ අදහසයි. මෙහි දී නව මාධ්‍ය යනුවෙන් අදහස් කරන්නේ, ප‍්‍රවෘත්ති වෙබ් අඩවි, බ්ලොග් අඩවි සහ ෆේස් බුක් ජාල ඇතුළු ‘සමාජ මාධ්‍ය’ ඔස්සේ ක‍්‍රියාත්මක වන, අන්තර්ජාලය මත පදනම් වූ මාධ්‍ය ධාරාවයි. මේවායින් සමහරක් ‘පුරවැසි මාධ්‍ය’ ලෙස ද හඳුන්වනු පෙනේ. ලංකාවේ සම්මත ධාරාවේ මුද්‍රිත මාධ්‍ය මගින් ඇතැම් තොරතුරු හෝ ප‍්‍රවෘත්ති සඟවන බවත්, නව මාධ්‍ය ඒවා නො පැකිලව නිරාවරණය කරන බවත්, ඒවාට රුචි කරන අය පවසති. එහි දී මුද්‍රිත මාධ්‍ය ජනතාව ගෙන්  ප‍්‍රතික්ෂේප වන බව ද ඔවුහු අදහති. එබැවින් තව වැඩි කලක් නො ගොස් ලංකාවේ මුද්‍රිත මාධ්‍ය සහමුලින්ම අවසන් ගමන් යනු ඇති බවත්, එවිට ඔවුන්ගේ ආස්ථානය නව මාධ්‍ය විසින් අත්පත්කර ගනු ඇති බවත්, ඔවුන්ගේ අලූත්ම  මතවාදයයි.

මෑතක මේ කාරණය පිළිබඳ පෙරළිකාර සටහනක් පළ වූයේ, ‘ලංකා ඊ නිවුස්’ ප‍්‍රවෘත්ති වෙබ් අඩවියේ ය.  2015 නොවැම්බර් 06 වැනි දා පළ වූ සටහන ලියා තිබුණේ, තුෂල් විතානගේ සහෘදයා විසිනි. සම්මත ධාරාවට අයත් සිංහල මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජනතාවට අවශ්‍ය ඇතැම් තොරතුරු සඟවන බැවින්, මහජනයා ඉන් ඉවත්වී ‘නව මාධ්‍ය’ වෙත නැඹුරු වෙමින්  සිටින බව ඔහුගේ ලියැවිල්ලෙහි සඳහන් විය. එසේම එහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ, ලංකාවේ චිත‍්‍රකතා  පත්තර අභාවයට ගියාක් මෙන් මුද්‍රිත මාධ්‍ය ද අවසන් ගමන් යාම විය හැකි යයි ද ඔහු පවසා තිබිණි. ‘පුරවැසි වාර්තාකරණය හමුවේ බිඳ වැටෙන ජාතික ජනමාධ්‍යවල අභිමානය’ යන්න ලිපියෙහි සිරස්තලය විය.

ලියුම්කරු, තුෂල් විතානගේ සහෘදයා ගෙන හැර පෑ ඇතැම් කාරණාවලට එකඟ නැත. එසේ වුව ද තුෂල් සිය ලියැවිල්ලෙන් මතු කරන ප‍්‍රධාන කාරණයට ලියුම්කරු ද එකඟ ය. ‘නව මාධ්‍ය විසින්, ඉතා වේගයෙන් මුද්‍රිත මාධ්‍ය අභිබවනය කරමින් සිටින්නේ ය’ යන්න, එම ප‍්‍රධාන කාරණයයි. එය වර්තමාන මාධ්‍ය ලෝකයේ කිසිවෙකුට බැහැර කළ හෝ ප‍්‍රතික්ෂේප කළ නො හැකි තත්ත්වයකි. එබැවින් තුෂල් මතු කළ සංවාදය තවත් අදියරකින් ඉදිරියට ගෙන යාම මෙම සටහනෙහි අරමුණයි. ලියුම්කරු එහි දී සම්මත ධාරාවේ මුද්‍රිත මාධ්‍ය පමණක් නොව, විද්‍යුත් මාධ්‍ය ද (සම්මත ධාරාවේ ජාතික මාධ්‍ය) සිය ලියැවිල්ලට හසුකර ගනියි. සම්මත ධාරාවේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවලට ප‍්‍රවෘත්ති හෝ තොරතුරු ‘සැඟවීමට’ (සැඟවීමක් යයි කියන) සිදුව ඇත්තේ මන්ද? යන්න සහ වර්තමාන ජන සමාජය කෙරෙහි නව මධ්‍ය ධාරාවේ බලපෑම කොතෙක් ද? යන කාරණා එයින් සාකච්ඡුා කෙරේ.

නව මාධ්‍යයෙහි පැතිරීම
 කරුණු කාරණා විස්තර කරන්නට මත්තෙන්, අන්තර්ජාලය මුල්කර ගත් සමාජ මාධ්‍ය අද කොතෙක් දුරට ව්‍යාප්තව තිබේ ද? යන්න ගැන දළ අවබෝධයක් ගත යුතුවේ.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ 2014 වාර්ෂික වාර්තාවට අනුව, එම වසරේ ලංකාවේ සිටි අන්තර්ජාල ග‍්‍රාහකයන් සංඛ්‍යාව 33,83,458කි. වර්ෂයේ ජනගහණය සමග ගැලැප්පූ විට, රටේ සෑම හය දෙනෙකු ගෙන් එක් අයෙක් අන්තර්ජාල ග‍්‍රාහකයෙකි! ඊට අමතරව 2014 වසර වන විට ලංකාවේ භාවිත  වන ෆේස් බුක් ගිණුම් සංඛ්‍යාව ලක්ෂ 23ක් පමණ වන බව අසන්නට ලැබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2015.12. 10 වැනි දින නිකුත් කළ ලංකාවේ පරිගණක සාක්ෂරතාවය පිළිබඳ තොරතුරු අනුව, රටේ ජනගහණයෙන් සියයට 24.6ක්ම ‘ඩෙක්ස්ටොප්’ හෝ ‘ලැප්ටොප්’ මාදිලියේ පරිගණක භාවිත කරති. ලංකාවේ සමස්ත පරිගණක සාක්ෂරතාව සියයට 26.8කි. පරිගණක සාක්ෂරතාවය වැඩිම බස්නාහිර පළාතේ ය. එය සියයට 38.3කි. වයස් අනුව ගත් විට පරිගණක සාක්ෂරතාවය වැඩිම අගයක් ගන්නේ, අවුරුදු 15-19 අතර කාණ්ඩයේ ය. ඔවුන් ගෙන් සියයට 27.6ක් අන්තර්ජාලය ද, සියයට 21.2ක් ඊමේල් ද භාවිත කරති. අවුරුදු 15-29 අතර වයස් කාණ්ඩයේ අය අතර අන්තර්ජාල භාවිතය ඉහළ අගයක් ගනියි. වර්ෂ 2010-2014 කාලය තුළ, පරිගණක සතු ජනගහණය සියයට 66.9ක් විය.



සංඛ්‍යාලේඛනවලින් අපට කියන්නේ කුමක් ද? දැන් රටේ ජනගහණයෙන් හතරෙන් එකකට වැඩි පිරිසක් පරිගණක මෙන්ම අන්තර්ජාලය ද භාවිත කරන බව ය. ඔවුන් විනෝදාස්වාදය, රැකියා කටයුතු, තොරතුරු සොයා ගැනීම, සහ මිතුරු ඇසුර ආදී විවිධ කාරණා සඳහා ඒවා භාවිත කරන බව ඉතා පැහැදිලි ය. මේ භාවිතාවන් ඉතා වේගයෙන් වර්ධනය වෙමින් යන බව ද පෙනේ. දැන් දැන් බොහෝ දෙනෙක් තොරතුරු ලබා ගැනීම සඳහා අන්තර්ජාලයේ පිහිට පතනු පෙනෙයි. ජංගම දුරකතන ඔස්සේ එන කෙටි පණිවුඩ මෙන්ම, අන්තර්ජාල පහසුකම ද දැන් තොරතුරු හුවමාරුකර ගැනීමේ මෙවලමක්වී තිබේ. එය නව භාවිතයකි.

තොරතුරු හෝ ප‍්‍රවෘත්ති ලබා ගැනීම සඳහා මිනිසුන් මාධ්‍ය භාවිත කරන්නේ කෙසේ ද? එහි පරිමාව කුමක් ද? යන්න, බරපතල කාරණයකි. ඒ ගැන හෙළිදරව් කෙරෙන සමීක්ෂණ වාර්තාවක්, 2016 ජනවාරි 27 වැනි දා කොළඹ දී එළි දුටුවේ ය. සමීක්ෂණය පවත්වා තිබුණේ, ‘විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය’ යි. මහජනතාවගේ සමාජ මාධ්‍ය භාවිතය සහ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය භාවිතය ගැන කරුණු සෙවීම, සමීක්ෂණයේ අරමුණ විය. එය බස්නාහිර පළාත මුල්කර ගනිමින් පැවති අතර, පුද්ගලයන් 1743ක නියැදියක් සහභාගිකර ගැනුණි.

o -    සමීක්ෂණයට එක්වූ පිරිමින් ගෙන් සියයට 55.8ක් ද, කාන්තාවන් ගෙන් සියයට 42.2ක් ද, ප‍්‍රවෘත්ති හෝ එදිනෙදා තොරතුරු ලබා ගන්නා ප‍්‍රධානම මූලාශ‍්‍රය වූයේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවන් ය. ෆේස් බුක් ජාල සහ අන්තර්ජාල වෙබ් අඩවි, ඔවුන්ගේ දෙවැනි මූලාශ‍්‍රයයි.

o -    සමීක්ෂණයට සහභාගිවූ පිරිසෙන් අවුරුදු 18-24 වයස් කාණ්ඩයේ අය, ප‍්‍රවෘත්ති හෝ එදිනෙදා සිදු වීම් ගැන තොරතුරු ලබා ගන්නා ප‍්‍රධානම මූලාශ‍්‍රය ෆේස් බුක් ගිණුම් ය. දෙවනුව පෞද්ගලික රූපවාහිනී නාලිකාවන් ය. තුන්වනුව අන්තර්ජාල වෙබ් අඩවි මගිනි.

o -    පොදුවේ ගත් කල, අවුරුදු 18-44 අතර වයස්වල පිරිසගේ අංක එකේ ප‍්‍රවෘත්ති මූලාශ‍්‍රය, පෞද්ගලික රූපවාහිනී නාලිකාවන් ය. ඊළඟට ෆේස් බුක් ජාල හෝ අන්තර්ජාලයයි.

o -    වයස අවුරුදු 45න් ඉහළ අයගේ ද අංක එකේ ප‍්‍රවෘත්ති මූලාශ‍්‍රය, පෞද්ගලික රූපවාහිනී නාලිකාවන් ය. දෙවනුව, අන්තර්ජාලයයි. තුන්වනුව, පෞද්ගලික පුවත්පත්  මාධ්‍යයි.

o -    සමීක්ෂණයට හසුවූ පිරිසෙන් සියයට 57.5ක්ම ෆේස් බුක් (ගිණුම්) ජාල පරිහරණය කරන්නේ මිතුරු ඇසුරට ය. තවත් සියයට 29.15ක් නවතම තොරතුරු සහ ප‍්‍රවෘත්ති දැන ගැනීම පිණිස ය.

o -    අන්තර්ජාලය භාවිත කරන අයගෙන් සියයට 55.9ක්ම තමන්ට ලැබෙන ප‍්‍රවෘත්ති ඊමේල් පණිවිඩ, අන්‍යයන් සමග බෙදා ගන්නට කැමති ය. තවත් සියයට 23.6ක් ඒවා සමාජ මාධ්‍ය ජාලා සමග බෙදා ගන්නට කැමති ය. ජංගම දුරකතනවලට එන එස්. එම්. එස්. පණිවිඩ සම්බන්ධයෙන් ගත් කල සියයට 24.2ක්, තමන්ට ලැබෙන ප‍්‍රවෘත්ති පණිවිඩ අන්‍යයන් සමග බෙදා ගනිති. තවත් සියයට 16.6ක් ඒවා සමාජ මාධ්‍ය ජාල සමග බෙදා ගනිති. තවත් සියයට 16.2ක් ඉහත ක‍්‍රම දෙකම අනුගනය කරති. ප‍්‍රවෘත්තිමය එස්. එම්. එස්. පණිවිඩ බෙදා හදා ගන්නට කැමැත්තක් නැති පිරිස සියයට 22කි.

o -    නියැදියෙන් සියයට 63.1ක පිරිසට, විශ්වාස කළ හැකි ප‍්‍රවෘත්ති මාධ්‍යය එකකට වඩා තිබේ. තවත් සියයට 25.3කට සියලූම මාධ්‍ය  සමාන ය. සියයට 10ක් දෙනා කිසිදු මාධ්‍යක් විශ්වාස නො කරති. යම් පුවතක් මුලින්ම දකින්නේ මිතුරන්ගේ ඊමේල් හෝ සමාජ වෙබ් අඩවි ඔස්සේ නම්, සියයට 37.2ක පිරිසක් එය විශ්වාස කරති.

o -    මැතිවරණ සමයට බහුතරයක් (සියයට 40.3ක්) විශ්වාස කරන්නේ, පෞද්ගලික රූපවාහිනී නාලිකාවන් ය. තවත් සියයට 34ක් පමණ අන්තර්ජාලය සහ ෆේස් බුක් ජාලවල එන තොරතුරු විශ්වාස කරති. පුවත්පත් සහ අන්තර්ජාලය සම්බන්ධයෙන් ගත් කල, පුවත් ලියන ලේඛකයා ද වැදගත් යයි සිතන්නේ සියයට 63.2ක් පමණකි.

සමීක්ෂණ තොරතුරුවලින් මතුවන චිත‍්‍රය ඉතාමත් පැහැදිලි ය. ඉන් කියැවෙන්නේ, ‘ඊ පරම්පරාවේ’ තරුණ පිරිස් (වයස අවුරුදු 18-24), ප‍්‍රවෘත්ති හෝ එදිනෙදා තොරතුරු ලබා ගැනීමේ දී, අංක එකට ෆේස් බුක් ජාල භාවිත කරන බවයි. දෙවනුව හා තෙවනුව පෞද්ගලික රූපවාහිනී නාලිකා මෙන්ම අන්තර්ජාල වෙබ් අඩවි තෝරා ගෙන ඇති බවයි. ඒ අය සිය ප‍්‍රධාන සන්නිවේදන මෙවලම ලෙස ෆේස් බුක් ජාල සහ අන්තර්ජාලය භාවිත කරන බවත්, ඔවුන් ඒ ඔස්සේ සන්නිවේදකයන් වශයෙන් ක‍්‍රියා කරන බවත් මින් පෙනී යයි.

ඉන් ඔබ්බට වයස අවුරුදු 25-44 අතර පිරිසෙහි අංක එකේ තොරතුරු හෝ ප‍්‍රවෘත්ති මූලාශ‍්‍රය වන්නේ, පෞද්ගලක රූපවාහිනී නාලිකාවන් ය. එතැන දී ෆේස් බුක් හෝ අන්තර්ජාල වෙබ් අඩවි දෙවැනි තැනට වැටී ඇති බව පෙනී යයි. වයස අවුරුදු 45න් එහා අයගේ ද අංක එකේ ප‍්‍රවෘත්ති හෝ තොරතුරු මූලාශ‍්‍රය, පෞද්ගලික රූපවාහිනී නාලිකාවන් වේ. දෙවැන්න අන්තර්ජාල වෙබ් අඩවි වන අතර, තුන් වැන්න පෞද්ගලික පුවත්පත් ය. වයස අවුරුදු 25-45 අතර පිරිස මෙන්ම, ඉන් එහා වයස් කාණ්ඩවල අය ද ෆේස් බුක් හෝ අන්තර්ජාල වෙබ් අඩවි එතරම් ප‍්‍රිය නො කරන බව මින් පැහැදිලි වේ. ඇතැම්විට එය ‘විශ්වාසය’ පිළිබඳ ප‍්‍රශ්නයක් විය හැකි ය. නැතිනම් පරිගණක හෝ අන්තර්ජාල සාක්ෂරතාවය පිළිබඳ ප‍්‍රශ්නයක් ද විය හැකි ය. සාමාන්‍යයෙන් වයස අවුරුදු 25න් එහා (එනම් ‘ඊ පරම්පරාවට’ අයත් නොවන) පිරිස් ප‍්‍රවෘත්ති හෝ තොරතුරු මූලාශ‍්‍රයක් වශයෙන්, තවමත් ෆේස් බුක් හෝ අන්තර්ජාල වෙබ් අඩවිවලින් දුරස්ථව සිටින බවක් ද එයින් පෙන්නුම් කරයි. ඔවුන් තවමත් පුවත්පත් ප‍්‍රිය කරන්නෝ ය.

මින් පෙනී යන අනෙක් කාරණය වන්නේ, ලංකාවේ වර්තමාන ප‍්‍රවෘත්ති වෙළෙඳපොළෙන් බහුතර කොටසක් පෞද්ගලික රූපවාහිනී නාලිකා විසින් ඩැහැ ගෙන තිබෙන බවයි. ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය හා අන්තර්ජාල මාධ්‍ය, ඒවාට විශාල අභියෝගයක් එල්ල කරමින් සිටින බව ද ඉන් ගම්‍ය වේ. එසේම වයස අවුරුදු 18-24 කාණ්ඩයේ තරුණ පරපුර (එනම් ‘ඊ පරම්පරාවට’ අයත් පිරිස්), ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය හා අන්තර්ජාල මාධ්‍ය කෙරෙහි වැඩි විශ්වාසයක් දරා සිටින බව, සමීක්ෂණ තොරතුරුවලින් පෙනීයන අනෙක් වැදගත් කාරණයයි.

සමීක්ෂණ ප‍්‍රතිඵල අනුව, නරකම තැනට තල්ලූවී සිටිනුයේ පුවත්පත් හෙවත් මුද්‍රිත මාධ්‍ය ධාරාවයි. තරුණ පරම්පරාවේ (වයස අවුරුදු 18-44) කිසිවෙකු දැන් පුවත්පත විශ්වාස නො කරති! මැදි වයස් අය (වයස අවුරුදු 45-55) පවා පුවත්පත් එතරම් විශ්වාස නො කරති! ඔවුන් පුවත්පත්වලට හිමිකර දී ඇත්තේ, තුන් වැනි තැනයි. එය ද පෞද්ගලික පුවත්පත් වේ.



සමීක්ෂණයෙන් හෙළි වන අනෙක් බරපතලම කාරණය වන්නේ, රජයේ මාධ්‍ය ගැන තිබෙන ජනතා විශ්වාසය නැත්තටම නැතිවී තිබීමයි! කිසිවෙකු දැන් ඒවා විශ්වාස කරන්නේ නැත.

ජන සන්නිවේදනයේ දී රූපවාහිනී මාධ්‍යට හිමි වන්නේ ප‍්‍රබල තැනකි. මාධ්‍යක් වශයෙන් ඊට ආවේණිකවූ ගති ලක්ෂණ නිසා ඒ ප‍්‍රබලතාවය හට ගෙන තිබේ. ලංකාවේ පෞද්ගලික රූපවාහිනී නාලිකා, ප‍්‍රවෘත්ති සැපයීම අතින් හොඳ ජනතා විශ්වාසයක් ගොඩ නගා ගෙන ඇති බව, සමීක්ෂණයෙන් පැහැදිලි වේ. පුවත්පත් හෙවත් මුද්‍රිත මාධ්‍ය ‘තුන් වැනි ගැලරියට’ තල්ලූ වූයේ, රූපවාහිනී සහ ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය හා අන්තර්ජාල මාධ්‍යවල ක‍්‍රියාකාරිත්වයෙන් ඇතිවූ බලපෑම හේතුවෙනි. ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය හා අන්තර්ජාල මාධ්‍ය දැන් ඒ ආකාරයටම, පෞද්ගලික රූපවාහිනී මාධ්‍යවලට ද ප‍්‍රබල අභියෝගයක් එල්ල කරමින් සිටින බව, සමීක්ෂණ වාර්තාව අපට කියයි.

එහි සඳහන් ආකාරයට, මැතිවරණ සමයට සියයට 40ක් දෙනා විශ්වාසය තබන්නේ පෞද්ගලික රූපවාහිනී නාලිකා කෙරෙහි ය. සියයට 34ක පමණ පිරිසක්, ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය හා අන්තර්ජාල මාධ්‍ය කෙරෙහි විශ්වාසය තබා ගෙන සිටියි.

ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය හා අන්තර්ජාල මාධ්‍ය ඉතා වේගයෙන් පැතිරුණු බව ඇත්ත ය. දැන් මහජනතාව සිය සම්ප‍්‍රදායික මාධ්‍ය අත්හරිමින්, වේගයෙන් ඒවාට නැඹුරු වෙමින් සිටිති. අත්හැරීම, ‘විශ්වාසය’ පිළිබඳ ප‍්‍රශ්නයක් බව ලියුම්කරුගේ අදහසයි.

පොදු විවේචනයක්
ලංකාවේ වර්තමාන ජාතික ජන මාධ්‍ය ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් නැගෙන ප‍්‍රබල පොදු විවේචනයක් තිබේ. එනම්, සම්මත ධාරාවේ ජාතික ජන මාධ්‍ය මගින්, ප‍්‍රවෘත්තිමය සංසිද්ධීන් පිළිබඳ සත්‍ය තොරතුරු ප‍්‍රමාණවත් තරම් හෙළිදරව් නො කරන බවයි. බොහොමයක් මාධ්‍ය ආයතන, කුමක් හෝ දේශපාලනික ධාරාවකට පක්ෂපාතී බවත්, දේශපාලන හෝ වෙන යම් හේතූන් මත පදනම් වෙමින් ඔවුන් ජනතාවට ‘ඇත්ත’ නො කියන බවත් එයින් විස්තර කෙරේ. චෝදනාව වැඩිපුරම එල්ල වන්නේ සිංහල පුවත්පත්වලට එරෙහිව ය. එක් අතකින් ඇත්ත හෙළි නො කරන අතරතුර, මහජනතාව මිථ්‍යා විශ්වාස සහ කුණු රසය ආදී තත්ත්වයන්ට තල්ලූ කරවන බවත් ඉන් කියැවේ. චෝදනාව බොරුවක් නොවේ. එහි යම් ඇත්තක් ඇති බව ඉතාමත් පැහැදිලි ය. එබැවින් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය, යම් යම් ප‍්‍රවෘත්ති හෙළිදරව් නො කරන්නේ හෝ, සැර බාලකර හෝ, වෙනස් කෝණවලින් ඉදිරිපත් කරන්නේ මන්ද යන්න විමසා බැලිය යුතු වේ.

වත්මන් ලංකාවේ අන්තර්ජාලය මුල්කර ගත් නව මාධ්‍ය හැරුණු විට, සම්මත ධාරාවේ මාධ්‍ය ආයතන ද ගණනාවකි. ඒ අනුව සිංහල පුවත්පත්  ගණන 15කි. ඉංග‍්‍රීසි පුවත්පත් ගණන 12කි. දෙමළ බසින් පළ කෙරෙන පුවත්පත් සංඛ්‍යාව 05කි. ඒවාට අමතරව ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා 41ක් පමණ ලංකාවේ ක‍්‍රියාත්මක වෙයි. 

මෙය ඉතා පුළුල් තත්ත්වයකි.

(මතු සම්බන්ධයි)
2016/01/27.



Thursday, January 28, 2016

සිරිලක මිණිවරුණ දොරට වැඩුම



සිරිලක මිණිවරුණ සඟරාව දොරට වැඩිය දා
 

 
සඟරාවේ සංස්කාරක රංජිත් ඉලේපෙරුම සහ ප්‍රකාශක කපිල අතුරලියගම යන මහත්වරු
ප්‍රථම පිටපත නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාට පිළිගන්වමින්


(සටහන සහ ඡායාරූප-ජයන්ත විජේරත්න හේරත්)
‘සිරිලක මිණිවරුණ’ නව ත්‍රෙයිමාසික සඟරාවේ මංගල කලාපය, 2016 ජනවාරි 23 වැනි සෙනසුරාදා පෙරවරුවේ රත්නපුරයේ දී දොරට වැඩියේ ය. දොරට වැඩීමේ චාම් උත්සව සභාව පැවතියේ, ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප‍්‍රධානත්වයෙනි. උත්සවය පැවැතියේ රත්නපුර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පරිශ‍්‍රයේ පිහිටි, ‘මිණිපුර මිණි මියුසියම්’ මැණික් කෞතුකාගාරයේ දී ය.
 
කරුණාරත්න පරණවිතාන, රංජිත් බණ්ඩාර සහ ඒ. ඒ. විජේතුංග යන මැති ඇමතිවරු


රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. ඒ. විජේතුංග, සබරගමුව පළාත් සභාවේ අමාත්‍ය රංජිත් බණ්ඩාර, රත්නපුර මහ නගර සභාවේ විපක්ෂනායක ලක්ෂ්මන් මුණසිංහ, ජාත්‍යන්තර මැණික් වෙළෙඳ ව්‍යාපාරික යූ. ජී. චන්ද්‍රසේන, මැණික් විද්‍යාඥ ආචාර්ය දුනිල් පාලිත ගුණසේකර, ප‍්‍රවීණ ලේඛක ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් ඊට සහභාගි වූහ. ඒ සමගම මැණික් ව්‍යාපාරිකයන්, මැණික් පතල්කරුවන්, කැපුම් ශිල්පීන්, මාධ්‍යවේදීන් ඇතුළු ප‍්‍රදේශවාසීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 

සැවොම එහි පැමිණ සිටියේ ‘සිරිලක මිණිවරුණ’ නව ත්‍රෙයිමාසික සඟරාවේ සංස්කාරක, ප‍්‍රවීණ මාධ්‍යවේදී රංජිත් ඉලේපෙරුම සහ සඟරාවේ ප‍්‍රකාශක, ‘මිණිපුර මිණි මියුසියම්’ මැණික් කෞතුකාගාරයේ කළමනාකරණ අධ්‍යක්ෂ, සාමවිනිසුරු කපිල චම්පක අතුරලියගම යන මහත්වරුන්ගේ ආරාධනයෙනි.
 




 ‘සිරිලක මිණිවරුණ’, ලංකාවේ මැණික් කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත‍්‍රය තේමාකර ගත් ප‍්‍රකාශනයකි. එහි ප‍්‍රථම පිටපත ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාට පිළිගන්වනු ලැබිණි. ලොව කපා ඔප දැමූ සිව් වැනි විශාලතම නිල් මැණික සේ ගිණිය හැකි ‘වැල්ලවායේ නිල් කුමාරයා’ නමැති කැරට් 830ක් බර නිල් මැණික් ගල ද, එහි හිමිකරු වන කපිල චම්පක අතුරලියගම මහතා විසින් ආරාධිත අමුත්තන් ඇතුළු පිරිසට ප‍්‍රදර්ශනය කළේ ය.
 

මේ සමග පළ වන්නේ, ‘සිරිලක මිණිවරුණ’ දොරට වැඩුමේ ඡායාරූප වාර්තාවයි.
2016/01/27.




සඟරාව ඒ. ඒ. විජේතුංග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පිළිගන්වමින්












සඟරාව රංජිත් බණ්ඩාර පළාත් සභා අමාත්‍යවරයාට පිළිගන්වමින්










සඟරාව කියවමින්
ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මහතා සභාව අමතමින් 














ආචාර්ය දුනිල් පාලිත ගුණසේකර මහතා වැල්ලවායේ නිල් කුමාරයා මැණික ගැන විස්තර කරමින් (මැණික ද අතැතිව)












කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යවරයා වැල්ලවායේ නිල් කුමාරයා මැණික පිරික්සූ අයුරු




අම්මේ මේ අපේ සඟරාවයි

Wednesday, January 27, 2016

එහේ උසාවිය සහ මෙහේ උසාවිය


එහේ උසාවිය සහ මෙහේ උසාවිය
නඩු අහන හැටි

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ගාලූ මද්දහන උන් හිටි ගමන් පලා ගිය සෙයකි. රූමස්සල කන්ද පැත්තෙන් හැමූ සුළං රැළි, ගාලූ මුහුදු බොක්කෙහි මුහුණ අතුල්ලා ගෙන, නගරය කිතිකවමින් පැන දිවී ය. හමා එන සුළඟ, සීතලක හිරිවැටුමකින් සලිත වෙමින් තිබිණි.  ඉක්බිති මහා වර්ෂාවක් ගාලූ නගරයට ඇද හැලෙන්නට විය. ඉන් මැවුණු සීතලය, ඉල්ලා සිටියේ උණුසුම් මීවිතකි!
 

ලොකු කුඩයකින් වත් යන්නට නො හැකි වර්ෂාව, නගරයට පැමිණ සිටි මිනිසුන් කඩපිල්වලට, වීදි අගුවලට ගාල් කළේ ය. නගරය මැද පිහිටි කුඩා මාවත්වල පිරුණු වැහි වතුර, පහත් තැන් සොයමින් ගලා යනු පෙනුණි. පටු වීදියක තිබුණු අවන්හලේ ආලින්දය මෙන්ම පිවිසුම් දොරටුව ද, වැහි සීතලට ගැහෙමින් සිටි ජනයා ගෙන් පිරී ගොස් තිබිණි.
 

එය නිකම්ම අවන්හලක් නොවේ. ගාලූ උසාවියේ නඩු කතා කරන කලූ කබාධාරීන් දහවලට, සවස් වරුවට ගොඩ වදින තැනකි. තමන්ගේ නඩු කටයුතු අහවර වීමෙන් පසුව හෝ, සවස් වරුවේ නඩු නොමැති වීම නිසා හෝ, කල් මරන්නට කැමති නීතිවේදීන් බොහොම දනෙක් එහි ඒමට පුරුදුව සිටියහ. තවත් සමහරු එහි පැමිණීමට පුරුදුව සිටියෝ, සිය සේවා දායකයන්ද සමගිනි. ඒ අවන්හලේ මධුවිත නැත. එබැවින් එහි එන අයට අසල ඇති වයින් ස්ටෝර්සයකින් ඒවා ගෙන්වා ගැනීමට සිදු වේ. සාමාන්‍යයෙන් දහවල් දෙක පසු වන විට, මුළු අවන්හලම කලූ කබාධාරීන් ගෙන් පිරී යයි.
 

අනෝරා වැසි හැලෙන අඳුරු මොහොතේ, එක් කලූ කබා මිතුරෙක් අප එහි කැඳවී ය. උණුුසුම් මිතුරු සල්ලාපයක් පිණිස, අපි (මාත් මගේ මිතුරාත්) වැස්සේම එහි ගියෙමු. ඒ වන විටත්  අපේ මිතුරාත්, ඔහුගේ නීතිඥ සගයනුත් පිළිසඳර කතාවෙහි යෙදී උන්හ. එයට මාතෘකාව වී තිබුණේ එදින උසාවියේ දිග හැරුණු විවිධ සිද්ධීන් ය.
 

‘අද අර රත්ගම මර්ඩර් කේස් එකේ ජජ්මන්ට් එක දුන්නා නේ’, 
එක් කලූ කබාධාරියෙක් කීය.
 

‘වැඩේ කරපු කෙනා නිදහස් වුණාලූ නේ ද?’, තවෙකෙකු ඇසී ය.
 

‘මං හිතන්නෙ මචං, පොලිස් ඉන්ක්වයරිවල අවුල් තියෙන්න ඇති!’, මුලින් කතා කළ නීතිඥවරයා කීවේ ය.
 

ඔවුන් මේ කතා කරන්නේ, ගාල්ලට නුදුරු රත්ගම ප‍්‍රදේශයේ හට ගත් මිනීමැරුම් සිද්ධියක නඩු විභාගය ගැන ය. සිද්ධියේ විත්තිකරු එදින නඩුවෙන් නිදහස්වී තිබේ.
 

ඒ වුණාට ඉතිං වැඩක් නෑ නේ’,  මුලින් කතා කළ නීතිඥවරයා කීය. 
ඇයි ඒ ?’, මිතුරෝ ඇසූහ.
 

ඇයි කියන්නේ, ඊයේ ඒ පැත්තෙදි ඇක්සිඩන්ට් එකක් වෙලා ඇකියුස් එතැනම මැරිලා!’ ඔහු පිළිතුරු දුන්නේ ය.
 

මීවිතෙහි ගිලෙමින් සිටි නීති සගයෝ මවිත වූ බවක් පෙනුණි. එහෙත් එක්තරා ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්, සිය දබරඟිල්ලෙන් අහස පෙන්නුම් කරන අභිනයක් ද පාමින් මෙසේ කීවේ එහි සිටියවුන් තුෂ්ණිම්භූත කරවමිනි!
 

‘මචං, මෙහේ උසාවියේ කොහොම වුණත්, එහේ උසාවියේ (අහස පෙන්නුම් කරමින්) නම් හරියට නඩු අහන බව පේනවා. නැද්ද?’
 

(සත්‍ය සිද්ධියකි)
 

2016/01/05.



          

Monday, January 25, 2016

රත්නපුරයෙන් හමු වූයේ ලොව ලොකුම ඒකනයිට් මැණික ද?


රත්නපුරයෙන් හෙළිදරව් වූයේ 

ලොව ලොකුම ඒකනයිට් මැණික ද?
 



කැරට් 498.10ක ඒකනයිට් මැණික/Star Ekanite of Munasinghe Gemstone-498.10 kt.
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ලොව ඉතාමත් දුර්ලභ යයි සැලකෙන, දැඩි විකිරණශීලී මැණික් වර්ගයක් වන ‘ඒකනයිට්’ (
Ekanite) වර්ගයට අයත් විශාල මැණික් ගලක්, 2016 ජනවාරි 23 වැනි දා සවස රත්නපුරයේ දී මාධ්‍යට අනාවරණය කරනු ලැබී ය. කපා, ඔප දමා ඇති එහි බර කැරට් 498.10කි.
 

එය ලොව ලොකුම ‘ඒකනයිට්’ මැණික යයි සැලකෙන මැණික් ගල මෙන්, තුන් ගුණයකටත් වඩා විශාල මැණිකක් වීම, මෙහි විශේෂත්වයයි.
 

ලක්ෂ්මන් මුණසිංහ මහතා ඒකනයිට් රළු මැණික අතැතිව
ලොව කපා ඔප දැමූ විශාලතම ඒකනයිට් මැණිකෙහි බර කැරට් 161කි. එහි ප‍්‍රමාණය මිලි මීටර් 33X25X20 යයි දැක්වේ. වර්ෂ 1985 දී එය හමුව ඇත්තේ, ශ‍්‍රී ලංකාවේ රත්නපුර දිස්ත‍්‍රික්කයට අයත් ඇහැලියගොඩ ප‍්‍රදේශයෙනි. මේ සම්බන්ධ පර්යේෂණ ලිපියක්, ‘Gems and Gemology (GIA/USA)’ නමැති ජාත්‍යන්තර සඟරාවේ, ‘Vol-xxxv/winter issue-1999’ කලාපයෙහි 211 සහ 212 යන පිටුවල පළවී  තිබේ. එම මැණිකෙහි ‘නූල්’ හෙවත් රේඛා 08ක් ද ඇතුළත් ය. එය Star Ekanite’  වර්ගයේ මැණිකකි.
 


 ජනවාරි 23 වැනි දා රත්නපුරයේ දී මාධ්‍යට අනාවරණය කළ මැණික, බදුල්ල දිස්ත‍්‍රික්කයට අයත් වැලිමඩ ප‍්‍රදේශයේ කළු ගල් කොරියකින් හමුවී තිබිණි. මැණික තිබී ඇත්තේ කළු ගල් සමග පිහිටමිනි. මැණික විශාල රළු ගලකි. පසුව එය, රත්නපුරයේ මැණික් වෙළෙඳ ව්‍යාපාරිකයෙකු වන ලක්ෂ්මන් මුණසිංහ මහතා (රත්නපුර මහ නගර සභාවේ විපක්ෂ නායක-එ. ජා. ප.) විසින් මිලට ගෙන ඇත. ඔහු එය කැබලි 07කට වෙන්කර, ඉන් ‍දෙකක් කපා, ඔප දමා තිබේ. ඉන් විශාලතම මැණික් කැටය දැන්, කැරට් 498.10ක් බර මැණික් ගලකි.
 

එහි වර්ණය ඉස්තරම් ‘පැණි’ පැහැයයි. මැණික ඇතුළත, දෝෂ පළුදු රහිත පැහැදිලි පෙනුමකි. මැණික ඇතුළත බෙහෙවින් වර්ණවත් ය. එහි ආර්නූල් මැණිකක මෙන් ‘රේඛා’ හෙවත් ‘නූල්’ 08ක් ද පැහැදිලිව දක්නට ලැබේ. මැණික කපා, ඔප දමා ඇත්තේ ‘කැබිෂන්’ මෝස්තරයෙනි. ප‍්‍රවීණ මැණික් විද්‍යාඥයෙකු වන ආචාර්ය දුනිල් පාලිත ගුණසේකර මහතා, 2016 ජනවාරි 23 වැනි දින මැණික පරීක්ෂාකර තත්ත්ව සහතිකයක් නිකුත්කර ඇත. එය ද ‘Star Ekanite’ වර්ගයේ මැණිකකි. මැණික හිමිකරු එය Star Ekanite of Munasinghe යනුවෙන් නම්කර ඇත. කපා ඔප දැමූ අ‍නෙක් ඒකනයිට් මිණි කැටය, කැරට් 195ක් බර මැණිකකි.

ඒ අනුව බලන විට,  රත්නපුර‍යේ දී මාධ්‍යට හඳුන්වා දුන් ඒකනයිට් මැණික් ගල් ‍‍දෙකම, ඇහැලිය‍ගොඩ ඒකනයිට් මැණිකට වඩා විශාල ය.
ඒකනයිට් මැණික කපා ඔප දමන්නට පෙර-කැරට් 1058යි

ඒකනයිට් මැණික් ගල්වලින් විකිරණ නිකුත් වන බැවින්, මනුෂ්‍ය භාවිතාවට නො ගැනේ. ඒවා තැන්පත්කර තබන්නේ ද, මිනිස් වාසයෙන් බැහැර, දැඩි ආරක්ෂක විධික‍්‍රම යටතේ ය.
 

ඒකනයිට් ඛනිජය ලොව මුලින්ම සොයා ගෙන ඇත්තේ වර්ෂ 1953 දී, ශ‍්‍රී ලංකාවෙනි.  ඉන් පසුව ශ‍්‍රී ලංකා රේගුවේ සේවය කළ මැණික් විද්‍යාඥයෙකු වන එෆ්. එල්. ඞී. ඒකනායක මහතා ඒ ගැන පර්යේෂණ කළේ ය. ඉන් හෙළි වූයේ එය ඉතා දුර්ලභ නව මැණික් විශේෂයක් බවයි. පසුව වර්ෂ 1961 දී නව මැණික් විශේෂය මුලින්ම සොයා ගත් එෆ්. එල්. ඞී. ඒකනායක මහතාගේ නම ද සම්බන්ධකර, එය ‘ඒකනයිට්’ යනුවෙන් නම් කෙරිණි. මේ සම්බන්ධ පර්යේෂණ ලිපියක්, zNatureZ නමැති ජාත්‍යන්තර සඟරාවේ, ‘190,997 (1961 June 10)’ කලාපයෙහි පළවී තිබේ.
 

දුර්ලභ මැණිකක් වන ඒකනයිට්, දැනට ශ‍්‍රී ලංකාව, රුසියාව, ඇමරිකාව සහ කැනඩාව යන රටවලින් හමුවී ඇත.
2015/01/26.

Sunday, January 17, 2016

තවත් විශාල නිල් මැණිකක් රත්නපුරයෙන්

තවත් විශාල නිල් මැණිකක් රත්නපුරයෙන්
 


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ඉස්තරම් වර්ණ සහිත තවත් විශාල ප‍්‍රමාණයේ නිල් මැණිකක්

(Blue Sapphire) පිළිබඳ තොරතුරු, මීට පැය දෙකකට පමණ පෙර (2016/01/17 දින ප. ව. 3.00ට පමණ) රත්නපුරයේ දී මාධ්‍ය නියෝජිතයන් හමුවේ හෙළිදරව් කෙරිණි.

තාපකරණයට ලක් කිරීමෙන් නිල් මැණිකක් බවට පත් කෙරුණු එය, කැරට් 830ක් බරැති කපා, ඔප දැමූ විශාල ප‍්‍රමාණයේ (කැබිෂන්) මැණිකකි. ‘කොරන්ඩම්’ ස්ඵටිකයක්වූ මැණික වැල්ලවායෙන් හමුවූ බවත්, එහි වටිනාකම තවම තක්සේරුකර නැති බවත්, එහි හිමිකරු වන රත්නපුරයේ, මිණි මියුසියම් මැණික් කෞතුකාගාරයේ අධිපති කපිල චම්පක අතුරලියගම මහතා පවසයි. ඔහු එය, ‘වැල්ලවායේ නිල් කුමාරයා 
(Blue Prince of wellawaya) යනුවෙන් නම්කර ඇත. මැණිකෙහි විෂ්කම්භය අඟල් දෙකහමාරකි.

‘වැල්ලවායේ නිල් කුමාරයා’, මෙම වසරේ (2016) ජනවාරියේ හෙළිදරව්වූ තුන් වැනි විශාලතම නිල් මැණික් ගලයි. පළමු වැන්න, ‘ආදම්ගේ තාරකාව’ නම් කැරට්-1404.49ක් බර නිල් ආර්නූල් මැණික වූ අතර, එය ජනවාරි 04 වැනි දා බි‍්‍රතාන්‍යයේ බී. බී. සී. ලෝක සේවය මගින් හෙළිදරව් කරන ලදී. දෙවැන්න වූ ‘ඇලහැර නිල් මැණික’, ජනවාරි 16 වැනි දා ලංකාවේ මාධ්‍ය මගින් හෙළි කළ අතර, එය කැරට් 2476.66ක් හෙවත් ග‍්‍රෑම් 482ක් බර, කපා ඔප දැමූ නිල් මැණිකක් විය. අද (17) පස් වරුවේ හෙළිදරව්වූ ‘වැල්ලවායේ නිල් කුමාරයා’ තුන් වැනි නිල් මැණික් ගලයි.
 

ලියුම්කරුට ලැබී ඇති තෙරතුරු අනුව, ‘වැල්ලවායේ නිල් කුමාරයා’ විශාලත්වය අතින් ලොව සිව් වැනි නිල් මැණික් ගලයි.


කපා ඔප දැමූ ලොව ලොකුම නිල් මැණික්

(Blue Sapphire/ Star  Sapphire)

01-ඇලහැර නිල් මැණික (කැරට්-2476.66/ග‍්‍රෑම්-482)/හමුවූ රට-ශ‍්‍රී ලංකාව
 

02-Pride of America /Carats-1905/(1986)/හමුවූ රට-ඇමරිකාව
 

03-ආදම්ගේ තාරකාව නිල් ආර්නූල් මැණික (Star of Adam)/(කැරට්-1404.49/ග‍්‍රෑම්- 281)/හමුවූ රට-ශ‍්‍රී ලංකාව
 

04-වැල්ලවායේ නිල් කුමාරයා (Blue Prince of wellawaya)/(කැරට්-830) තාපකරණයෙන් බිහිවූ නිල්    මැණික/හමුවූ රට-ශ‍්‍රී ලංකාව
 

05-Black Star of Queensland /Carats - 733 (1930 - Origen - Australia) හමුවූ රට- ඕස්ටේ‍්‍රලියාව
 

06-ඉන්දියාවේ තාරකාව නිල් ආර්නූල් මැණික (Star of India)/(කැරට්-563.4)/ හමුවූ රට-ශ‍්‍රී ලංකාව
 

07-මාරි රැජිනගේ නිල් මැණික (කැරට්-478.68) ^Qeen Marie of Romania  Sapphire) /හමුවූ රට-ශ‍්‍ර‍්‍රී ලංකාව
 

08-පෙරදිග නිල් යෝධයා නිල් මැණික (Blue Giant of  The Orient) (කැරට්-466)හමුවූ රට-ශ‍්‍රී ලංකාව

09-ලෝගන්ගේ නිල් මැණික (Logan Bule sapphire)/(කැරට්-423)/හමුවූ රට-ශ‍්‍රී ලංකාව 

10-ආසියාවේ නිල් මැණික (Blue Belle of Asia) /(කැරට්-400)/හමුවූ රට-ශ‍්‍රී ලංකාව


11-ලංකාවේ තාරකාව නිල් ආර්නූල් මැණික (Star of Lanka)/(කැරට්-392.92)/හමුවූ රට-ශ‍්‍රී ලංකාව


12-Star of Asia Sapphire /Carats 330 (Origen - Myanmar 15 - AD) හමුවූ රට- මියැන්මාර්
2016/01/17.