Total Pageviews

Monday, April 2, 2018

මැණික් මතුවන අඩවියේ අපූරු විත්ති-06




පතල් වාඩි මැස්සක පස්ස නො තියපු,
මැණික් ගැරුම් වට්ටියක් කරකවපු නැති එකෙක්
මෙහේ ඉන්නව ද?
සබරගමු පළාත් සභාවේ සහ 
පාර්ලිමේන්තුවේ මැණිික්කාරයෝ






(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡායාරූප-බුද්ධික වීරසිංහ සහ රංජිත් ඉලේපෙරුම)

ලියුම්කරු, ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති වාර්තාකරුවෙකු වශයෙන් කටයුතු කළ 1990 දශකයේ මුල් භාගය බොහොම විචිත‍්‍රවත් එකකි. සබරගමුව පළාත් සභාවේ මාසික රැුස්වීම ආවරණය කරන්නට යාම ද, එකල ලියුම්කරුට පැවරී තිබුණු කටයුත්තකි. පළාත් සභාවපැවතියේ රත්නපුර නව නගරයේ ය. එය රැස්වන දවසට, රත්නපුර දිස්ත‍්‍රික්කයේ මාධ්‍යවේදීන් වැඩි දෙනෙක් එහි පැමිණති. සබරගමු පළාතේ දේශපාලනය මෙන්ම සංවර්ධන කටයුතු ගැන ද, තීන්දු බොහොමයක් ගැනෙන්නේ එතැනිනි. කතිකාවන් ඇති වන්නේ ද එතැනිනි. එබැවින් මාධ්‍යවේදීන් බොහොම දෙනෙක් නො වැරදීම පළාත් සභා රැස්වීම වාර්තා කරන්නට එති.
දිනක් පළාත් සභා රැස්වීමක, යම්කිසි කාරණයක් පිළිබඳ අතිශයින් ම උණුසුම් විවාදයක් පැවැත්වෙමින් තිබුණේ ය. එහෙත් සභාවේ පසු පෙළෙහි සිටි මන්ත‍්‍රීවරුන් තුන් හතර දෙනෙකු කෙරෙන් පළ වූයේ වෙනස් හැසිරීමකි. විවාදයේ උණුසුම ගැන වගේ වගක් නැතිව, ඔවුහු හිස් මේසය යටට හරවා ගෙන, වහන් වෙමින්, එකිනෙකා වෙත නැඹුරුව,  යම් කටයුත්තක නියැලෙනු පෙනුණි.

එකල එහි සභාපති ධුරයදැරුවේ පළාත් සභාවට පත්ව සිටි කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ආයුර්වේද වෛද්‍යවරයෙකි. ටික වේලාවකින් ඔහුට මෙය ඇස ගැසිණි. විවාදය යන අතරේ ඔහු වහාම සිය කටහඬ අවදි කළේ ය.
මන්ත‍්‍රීවරු කරුණාකරලා සභාවට ඇහුම්කන් දෙන්න. කරුණාකරලා සභාවට ඇහුම්කන් දෙන්න. මං මේ කියන්නේ ඔය පසු පෙළේ ඉන්න අයටයි’, සභාපතිවරයා පැවසුවේ මදක් කෝප සහගත ස්වරයෙනි!

එකෙණෙහිම පසු පෙළෙහි සිටි මන්ත‍්‍රීවරු, ‘යම් වැරැද්දක්කර විදුහල්පතිවරයාට හසුවුණු සිසුන් පිරිසක් මෙන්හිස් කෙලින්කර ගත්හ.  විනීත සිසුන් පිරිසක් පරිද්දෙන් සභාවට ඇහුම්කන් දෙන්නට වූහ!

මාධ්‍ය ගැලරියේ සිටි ලියුම්කරු ඇතුළු පිරිසට නම්, ඔවුන් වහන් වෙමින් කළේ කුමක් ද කියා අපූරුවට පෙනුණි.

එය, සබරගමු පළාත් සභාවේ විවාදයට කොහෙත්ම සම්බන්ධයක් නැති මැණික් ගනුදෙණුවකි’! වඩාත් විස්තර සහිතව කියනවා නම්, රත්නපුර ඔර්ලෝසු කණුව අසල විවෘත මැණික් පොළෙන් උදෑසන මිලයට ගත් මැණික් පිළිබඳ රහසේ කෙරුණු ලාභ-පාඩු කතාබහකි! කතාබහ අතරතුර එතැනින් සිහින් ටෝච් එළි දැල්වෙන ආකාරය ද මාධ්‍ය ගැලරියට දිස්විය!

විවාදයේ උණුසුම ගැන වාගේ වගක් නැතිව, පසු පෙළෙහි වාඩි ගෙන, මැණික් ගල් පිළිබද කතාබහක යෙදී සිටි පළාත් සභා මන්ත‍්‍රීවරුන් කිහිප දෙනා ම මැණික්කාරයන්ය! පළාත් සභාවට තේරී පත්ව සිටි මැණික් මුදලාලිලා ය! පළාත් සභා රැස්වීම පැවැත්වෙන දිනයට වුව, ඔවුන් දවස ආරම්භ කරන්නේ රත්නපුර ඔර්ලෝසු කණුව අසල විවෘත මැණිික් පොළෙනි. එයින් පසුව පෙරවරු 10.30ට පමණ ඔවුහු පළාත් සභාවට පැමිණෙති. ඒ  වන විට පළාත් සභා රැස්වීම ආරම්භවී ඇති අතර, ඔවුන් හීන්සීරුවේ අසුන් ගන්නේ ද පසු පේලියක ය. ඉක්බිති සභාවේ කෙරෙන කටයුතුවලට ඇහුම්කන් දෙන බවක් පෙන්වුව ද, ඔවුන්ගේ ඔළුවැඩ කරන්නේ මැණික් ගනුදෙණු ගැන ය! ඒ අතර පහතට නැඹුරුවී රහසින් සාකච්ඡා කිරීම ද සාමාන්‍ය දෙයකි. මැණික් ගනුදෙණුවල දී ඔවුන් අතර පක්ෂ භේදයක් ද නැත!

එදා එසේ හැසිරුණු පළාත් සභා මන්ත‍්‍රීවරුන් අතුරෙන් එක් අයෙකු අද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකි. ඔහු දැන් මැණික් බිස්නස්නො කරයි. දෙදෙනෙක් දැනුදු සබරගමු පළාත් සභාවේ  මන්ත‍්‍රීවරුන් ය. තව එක් අයෙකු දැන් දේශපාලනයේ ද නැති බංකොලොත්කාරයෙකි!

රත්නපුරේ මැණික් සංස්කෘතිය ගැන ලියැවෙන ලිපිපෙළට, මෙම අත්දැකීම සටහන් කළේ විශේෂ කාරණයක් සඳහන් කිරීම පිණිස ය. එනම් මැණික් මතුවන අඩවියේ වෙසෙන මහජනයා ගෙන් බහුතරය, මැණික් කර්මාන්ත ක්ෂේත‍්‍රයේ කුමක් හෝ කොටසකට දායක වූවන් ය. එබැවින් සබරගමුව පළාත් සභාවට වුව ද, පාර්ලිමේන්තුවට වුව ද, ‘මැණික්කාරයන්පත් වීම අරුමයක් නොවේ. දැනුදු සබරගමු පළාත් සභාවේ ද, අපේ පාර්ලිමේන්තුවේ  මැණික්කාරයන්කිහිප දෙනෙක් ම සිටිති! ඉන් එක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් හොරෙන් පතල් කැප්පවීමසඳහා චිර ප‍්‍රසිද්ධියක් ලැබූවෙකි!

කළු ගඟ ඉහළ නිම්නයේ ජන වහරෙහි පවා මැණික් කර්මාන්තකරුවන්ගේස්වභාවය අපූරුවට සටහන්ව තිබේ. එය පෙන්නුම් කෙරෙන්නේ, ‘මේ රත්නපුරේ ඉතින් පතල් වාඩි මැස්සක පස්ස නො තියපු, මැණික් ගැරුම් වට්ටියක් කරකවපු නැති එකෙක් ඉන්නව ද?’ යනුවෙනි! මේ ඉසව්වේ සිටින බහුතරයක් ජනයින් කවුරුන් ද?, ඔවුන් ඇත්තට ම සිය ජීවිතයේ මොන යම් හෝ අවස්ථාවක, මැණික් පතල් කර්මාන්තයේ හෝ මැණික් වෙළෙඳාමේ යෙදුණු අයයි.  එය විශේෂ කාරණයකි. සම්ප‍්‍රදායික මැණික් කර්මාන්තයේ තාක්ෂණ පිළිවෙත් පවා ගොඩ නැගී ඇත්තේ එවන් දැවැන්ත ජන භාවිතාවක් ඔස්සේ ය.

මැණික් පතලයක ගණන් මිමි සඳහන් කරන විට රියන්මගින් කියන්නේ ඒවායෙහි දිග ප‍්‍රමාණයයි. එතැන පතලයෙහි පළල ගැන කතාවක් නැත. ඊට හේතුව මැණික් සමාජයෙහිඑන සම්මතයකි. ඒ අනුව මැණික් පතලයක පළල, සෑම විට ම රියන් හතරකි’. මැණික් මතුවන අඩවියෙහි කොයි කවුරුත් පිපාසයට වතුර මෙන්  ගැන ටක්කෙට ම දනිති. කවුරුත් දන්නා දෙයක් වන බැවින් කිසිවෙක් ඒ ගැන කතා නො කරති! හතර රියන ගැනඑළිපිට කතා කරන අවස්ථාවන් යෙදෙන්නේ මිනී වලක්හෑරීමේ දී පමණකි.

පොළොවේ කනින ඇතැම් පතලයක් රියන්’ 20ක් තරම් ගැඹුරට ද යා හැකි ය. එබැවින් පතල් වලේ බිත්ති කඩා වැටීම වළකා ගනිමින් කැනීම කළ යුතුව තිබේ. සිරස් බිත්ති හරි කෙලින්’ (සෘජුව-අංශක 90ට) සකස් කිරීම සහ ගැඹුරට විහිදෙන සෑම රියනක් රියනක් පාසා ම තට්ටු ගැසීම’, පතල්කරුවන් ඒ සඳහා භාවිත කරන උපක‍්‍රමයයි. තට්ටුවක්යනු රබර් කොටමුක්කු හතරක් හෝ හයක් යොදා ගෙන පතල් බිත්තියෙහි තිරස් අතට සවිකර ගන්නා ව්‍යුහයකි. තට්ටුවේ මුක්කුවලට පිටතින්, එනම් මුක්කු ලීයත් පතල් බිත්තියත් අතර කොටස පුවක් ලී පටිසහ කැකිල්ල අතු යොදා සම්පූර්ණයෙන් ම ආස්තරණය කරනු ලැබේ. තට්ටුව සවි කරන්නේ බිත්තිවලට තෙරපී යන තරම් තදිනි. එයින් පතල් බිත්ති, වල ඇතුළට නෙරා ඒම හෝ කඩා වැටීම වැළකෙයි.

දේශීය පාරම්පරික මැණික් පතල් කර්මාන්තය සම්බන්ධයෙන් වඩා වැදගත් කාරණා කිහිපයක් ම තිබේ. පතලක තට්ටු ගැසීමේ දී යකඩ ඇණගැසීමක් හෝ ලණු-කඹවලින්නො බැඳීම, ඉන් එක් කාරණයකි. අනෙක පතලයේ සිරස් බිත්ති හරි කෙලින් අංශක අනූවට සකස් කිරීමයි. පතල්කරුවන් ඒ සඳහා මේසන්වරුන්මෙන් ලඹ කැටහෝ වෙන යම් උපකරණයක් භාවිතා නො කරති. ඔවුන් පතල් බිත්ති සකස් කරන්නේ ඇස් මට්ටමේහුරුවට ය. එවිට වල මුදුනෙන් ම සවිකරන කට තට්ටුවේපටන් ගැඹුරුම තට්ටුව දක්වා ම, තට්ටු සියල්ල ද හරි කෙලින් (ලඹ කළාක් මෙන්) තිබිය යුතු ය. ඇතැම් විට එය නිරීක්ෂණය කරන්නේ බුලත් කෙල පිඩක්හෙලමින් ලඹ කැටයකසේවාව ලබා ගනිමිනි!
පතල් තට්ටුවක මුක්කු (ලී කඳන්) සවිකර ගන්නේ, ඒවායෙහි දෙ කෙළවර කප්පිලි කපාඑකිනෙකට තදින් වද්දා ගැනීමේක‍්‍රමයට ය. එහි දී ඇණ ගැසීමක් හෝ ලණු ගැට ගැසීමක්අවශ්‍ය නොවේ. පතලයක් තට්ටු ගසා සවි කිරීම රත්නපුරයට ම අනන්‍යවූ දේශීය තාක්ෂණික ශිල්පයකි.


පාරම්පරික ක‍්‍රමයට පතල් කැපීමේ දී, සමස්ත ශ‍්‍රම කණ්ඩායම හය දෙනෙක් හෝ හත් දෙනෙකි. ඔවුන් හඳුන්වන්නේ පතල්කරුවන් කියා ය. ඔවුන් අතර සිටින බාස් උන්නැහේපතල්කරුවන්ගේ නායකයා ය. නැතිනම් ප‍්‍රධාන තාක්ෂණ ශිල්පියාය.  පතලක් හෑරීමේ දී මහ ලොකු උපකරණ භාවිතාවක් ද නැත. ඉල්ලම් කූර’, ‘උදැල්ලසහ වේවැල්වලින් කුඩාවට සකස් කළ කූඩයඑහි ප‍්‍රධාන උපකරණ වේ. පතල එතරම් නො ගැඹුරු නම් වතුර ඉසින්නේ ද බාල්දිහෝ ටින්යයි හඳුන්වන බාල්දි වැනි බ`දුන් මගිනි. වතුර සැර නම්පමණක් භූමි තෙලෙන් දුවන යාන්ත‍්‍රික මෝටරයක් භාවිත කරති. ගැඹුරු පතලක නම් හෑරෙන පස් ඉවත් කිරීම පිණිස, ‘දබරයනම් අතින් කරකවන සරල උපකරණයක් භාවිත කරති.

සම්ප‍්‍රදායික නො ගැඹුරු  පතල් කර්මාන්තයේ දී හෑරෙන පස් ඉවත් කරන්නේ ද මිනිස් ශ‍්‍රමයෙනි. එනම්, ‘කූඩා අතින් අත විසිකරනක‍්‍රමයකට ය. පතල ගැඹුරෙහි සිටින කනින්නා වල හාරන්නේ මිට කොටඋදැල්ලකින් පස් කැපීමෙනි. ඔහු කපන කපන පස් පිඩ කෙලින්ම පතිත කරන්නේ අසල සිටින අනෙක් පතල්කරුවා අත තිබෙන කූඩයට ය. ඉක්බිති ඔහු එය සමබරව තමන්ට ඉහළ තට්ටුවේ සිටින තුන් වැනි  පතල්කරුවා වෙත විසි කරයි. එවිට ඔහු තමන් අතේ ඇති හිස් කූඩය, පහළ සිටින පතල්කරුවාට විසිකරන ගමන් පහළින් එන පස් කූඩය අල්ලා ගනියි. අල්ලා ගත් කූඩය යළි ඒ ආකාරයට ම, තමන්ට ඉහළ සිටින අනෙක් පතල් කරුවාට විසි කරයි. පතලයක හෑරෙන පස් හෝ ඉල්ලම් පිටතට, එනම් පොළොව මතුපිටට  ගෙන එන්නේ මෙම ක‍්‍රමයෙනි. අතිශයින් සමබරව, වේගවත්ව කූඩ හුවමාරු කිරීමට ඔවුන් හපන්නු ය. මෙය රත්නපුරයට පමණක් අනන්‍යවූ ඉතා වේගවත් ක‍්‍රමයකි. මැණික් පතල් ව්‍යවහාරයේ එය හඳුන්වන්නේ කූඩ පෝලිමයනුවෙනි.
(මතු සම්බන්ධයි)

(මෙම ලිපිය 2018/04/01 වැනිදා රිවිර පුවත්පතේ පළ විය.)



No comments:

Post a Comment