Total Pageviews

Thursday, December 11, 2014

පිළිකා මාරයා සමග සටන් කළ වඳුරඹ දියණිය

                       දින 26ක් පිළිකා මාරයා සමග සටන් කළ
                                 වඳුරඹ සිසුවියගේ කතාව
 


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡුායාරූප-සුපුන්  රන්ජන)
ගිලිහී ගිය සුසිනිඳු කුරුළු පිහාටුව, ‘කොකාවල ගම’ වටකරින් ඇති කඳු වළල්ලේ කොතැනක හෝ නවතිනු ඇතැයි අම්මා දැඩිව විශ්වාස කළා ය. ‘කෙල්ලට මොනව හරි වුනොත් මම නම් ආයෙ ගෙදර යන්නෙ නෑ’ යයි, ඇය වරෙක පැවසුවේ  ඒ නිසා විය යුතු ය. එහෙත් සුසිනිඳු කුරුළු පිහාටුව, යළි අම්මාගේ සෙනෙහෙබර තුරුල්ලට පාවී ආවේ නැත. කොකාවල ගමට පාවී ආවේ ද නැත. එය ඉකුත් සෙනසුරාදා (2014/11/15) සවස අම්මාට පෙනි පෙනී, මහරගම පිළිකා රෝහල් පියසින් ද ගිලිහී, යළිත් නො එන්නටම කොහේදෝ අනන්තයකට පාවී, සැඟව ගොස් තිබුණේ ය!
 

‘අනේ මගෙ දුවේ!’, අම්මා යටිගිරියෙන් කෑගසමින් වැලපුණා ය. කොකාවල ගම, එක් හෝරාවකින් එකම කඳුළක්, එකම මළ ගෙයක්, බවට පත් විණි. ගම වටකර පිහිටි කඳු වළල්ල ද, හැන්දෑ වැහි බීරුමෙන් මුසපත්ව, නිසොල්මන්ව බලා සිටියේ සිදුවූ කිසිවක් අදහා ගනු බැරි පරිද්දෙනි. තාත්තා රංජිත්, හුසුම හිරවන තරම් හූල්ලමින් ඉකි බින්දේ ය.
 



 භද්‍ර යෞවනයට පිවිසෙමින් සිටිය දී සදහටම ජීවිතය හැරගිය 16 හැවිරිදි  දියණිය, නමින් ‘නිෂාදි නවෝද්‍යා සමරසිංහ’ ය. පවුලේ අය කියන විදිහට, නිෂාදි බොහොම කෙළිලොල් දැරිවියකි. පාඩම් වැඩ නැති වේලාවන්ට ඇය නිතරම, වෙලෙන් එහා ඇති අත්තම්මාගේ නිවසට දුවන්නී ය. ඇය, අම්මාගේත්, තාත්තාගේත්, අයියලාගේත් පමණක් නොවේ. මුළු පවුලේම සෙනෙහස දිනූ සුරතලියයි! කොටින්ම ඈ, සුසිනිඳු කුරුළු පිහාටුවක් බඳු ය. පවුලේ කාටත් ඇය ‘චූටි’ ය. මාරයා සිය සීතල දෑත් වනමින් බොහොම කලක පටන්ම ඇගේ ජීවිතය ලූහුබඳිමින් සිටින බව, කිසිවෙක් දැන සිටියේ නැත.
 

‘චූටිගේ’ නිවස පිහිටියේ, ගාල්ලේ, වඳුරඹ නගරයට නුදුරු කොකාවල, ‘වැලිදෙණිය’ ගමේ ය. ඇගේ තාත්තා, ඩබ්ලිව්. ඞී. රංජිත් ය. අම්මා, එච්. කේ. රෝහිණී ධර්මජයන්ති ය. ඇගේ ලොකු අයියා, මනෝජ් දිල්ෂාන් සමරසිංහ ය. පොඩි අයියා, ඉනෝජ් උදාර සමරසිංහ ය. නිෂාධි පවුලේ බාලයා ය. තාත්තා සිය වඩු කාර්මික රැකියාවෙන් උපයන මුදලින් ජීවිතය ගැට ගසා ගත් නිෂාදිලාට මහ ලොකු ප‍්‍රාර්ථනා තිබුණේ නැත. ලොකු අයියා, කොරියාවේ රැකියාවක ය. ඇගේ අම්මා නිතරම වීරිය කෙරුවේ, නිෂාදිට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට ය. ඇගේ දිවිපෙවෙත ඉහළ තැනකට ඔසවා තබන්නට ය. නුදුරින් පිහිටි ‘වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසැල)’, නිෂාදි අකුරට ගිය තක්සලාවයි. ඇය එහි 11වැනි වසරේ සිසුවියකි.
‘චූටි  ගුරුවරුන්ට හරි ආදරෙයි. උදේ ඉස්කෝලේ යන කොට එයාගෙ මොන්ටිසෝරි ටීචර් මුණ ගැහුණොත් වැඳලා තමයි යන්නේ’, තාත්තා-රංජිත් කියන්නේ ළයෙහි නැගෙන ශෝකය වැරෙන් සඟවා ගනිමිනි.
 

සවස පන්ති පැවැත්වෙන බොහොමයක් දිනවලට, ‘චූටිගේ’ අම්මා බත් මුලක් ද බැඳ ගෙන දහවල් මද්දහන් කණිසමේ පාසැලට දුවන්නී ය. පාසැල ඇරුණු පසුව දියණියට බත් කවා, ඉස්කෝලයට පෙනෙන දුරින් ඇති වඳුරඹ බස් නැවතුම්පොළට පිය මනින්නී ය. ඉනික්බිති, සවස පන්තිය නිමවන තුරු සිමෙන්ති බංකුවක හිඳ ගෙන, දියණියට තනි රකින්නී ය. දෙසැම්බරයේ එන අ. පො. සා. පෙළ විභාගයට බොහොම වෙහෙස වියයුතු බව, ඇය දැන සිටියා ය. අම්මා දුරින් හිඳ තනි රැක්ක දියණිය අද, මුළු ගමකටම කඳුළු පුරවමින් මෙලොව හැර ගොසිනි! ඉකුත් ඉරිදා අප එහි යන විට ද, ඇගේ නෑයන්, අසල්වැසියන් මෙන්ම එකට අකුරට ගිය පාසැල් දරු-දැරියන් ද, එක පොදියේ හඬමින් උන්හ.
 

පාසැලේ දී ඇය සන්සුන් සිසුවියකි. පන්ති භාර ගුරුවරිය වන චමිලා තිළිණි මෙනවිය, විදුහල්පති, සුගත් රත්නායක මහතා ඇතුළු ගුරුවරුන්ගේ ආදරය දිනා ගත් දැරිවියකි. පන්තියේ මිතුරු මිතුරියන් අතර, එක බත් පත බෙදා ගෙන කන, එකට සෙල්ලම් කරන සහෝදරියකි. ගෙදර දී පමණක් නො වේ. පාසැලේ දී ද ඇගේ හැසිරීම්වල වෙනසක් නො පෙනුණි. කාහටත් පෙනුණේ ඇය හොඳ සෞඛ්‍යයෙන් පසුවන බවයි. ලබන දෙසැම්බරයේ අ. පො. සා. පෙළ විභාගයට මුහුණ දීමට ඇය සූදානම් වෙමින් සිටියා ය.
නිෂාදි ලෙඩින් වැටුණේ කිසිවෙක් නො සිතන ආකාරයකට ය! ඇයට යළි පාසැල් යන්නට ද ඉඩ නො තබමිනි.
 

‘දැනට සති කිහිපයකට උඩ දී චූටිට ‘දෙයියන්ගෙ ලෙඩ’ (පැපොල) හැදුණා. ඒත් පිටට බිබිලි ඒ තරම් ආවේ නෑ. පස්සේ එක සනීප වෙලා දුව නෑවා. ඊට පස්සෙන්දා එයා කකුල් පණ නැතුව ඇද වැටුණා. එයාව ගෙට ගෙනාවේ ඔසවා ගෙනයි. පපුව දැවිල්ලයි, කොන්ද රිදෙනවයි කියලත් කිව්වා. අපි එවේලේම ළමයා කරාපිටිය රෝහලට අරන් ගියා’, එසේ කියන්නේ නිෂාදිගේ පුංචි අම්මා කෙනෙකු වන ඩබ්ලිව්. ඞී. පද්මලතා මෙනවියයි.
 

අම්මාගේ සුසිනිඳු කුරුළු පිහාටුව, මාරයා එවූ මහා සැඩ සුළඟකට හසු වන්නට වැඩි දවසක් ගියේ නැත. ඔවුන් නිිෂාදි කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළේ ඔක්තෝබර් 21වැනි දා සවස ය. ඒ වන විට ඇගේ ඉඟටියෙන් පහළ කොටස අප‍්‍රාණිකව යමින් පැවතුණි. සිරුර සොලවන්නටත් නො හැකිවූ නිෂාදි, නිසොල්මනේම, රෝහල් ඇඳ මත උඩුකුරුව වැතිර සිටියා ය. පවුලේ අය පමණක් නොව, පන්තියේ සිසු-සිසුවියන් ද, ගුරුවරු ද ඇගේ සුවදුක් බලන්නට පැමිණියහ. ඒ අතර පන්ති භාර ගුරුවරිය වන චමිලා තිළිණි මෙනවිය ද විය. ‘මං රෝද පුටුවෙන් හරි විභාගේ කරන්න එනවා මිස්’යයි, නිෂාදි එවේලේ පවසා තිබිණි. කරාපිටියට ඇතුළුකර දින කීපයකට පසුව, ඇය වැඩිදුර ප‍්‍රතිකාර පතා කොළඹ ජාතික රෝහලට මාරු කෙරිණි. එහි දී  කළ පරීක්ෂණවලින් හෙළි වූයේ, නිෂාදි සුසුම්නාවේ පහළ කොටසේ හට ගත් පිළිකා රෝගයකින් පෙළෙන බවයි! අර සැඩ සුළඟ, හෙණයක් පරිද්දෙන් දැරියගේ ජිවිතය ඉල්ලා ලූහුබඳින බව කාහටත් දැනුණි. එසේ වුව ද, වෛද්‍යවරුන්ගේ පිළිසරණ මිස කළ හැකි අන් දෙයක් ද නොවී ය.
 

‘කොළඹ දී නංගිට ඔපරේෂන් එකකුත් කළා. වෛද්‍යවරු බොහොම මහන්සි වුණා. ඊට පස්සේ එයාව මහරගම පිළිකා රෝහලට යැව්වා’, එය, ගිලන්ව වැටුණු මොහොතේ පටන්, නිෂාදිගේ සාත්තුවට ළඟ සිටි ඥාති සොහොයුරියක වන මුතුලක්ෂ්මි නිලන්ති මෙනවියගේ කඳුළු පිරි මතකයයි.
 

කරාපිටිය ශික්ෂණ රෝහලේ ද, කොළඹ ජාතික රෝහලේ ද, මහරගම ජාතික පිළිකා විද්‍යායතනයේ ද, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්්‍ය මණ්ඩල ද නිෂාදිගේ දිවි ගලවා ගන්නට නො ගත් වෙහෙසක් නැති තරම් ය. මව් පියන් ද, පවුලේ අය ද එක්ව ‘චූටි’ වෙනුවෙන් බෝධි පූජා පැවැත් වූහ. දෙවියන්ට බාර-හාර වූහ. තව නොයෙක් පින්කම් කළහ. එහෙත් ඇගේ ශාරීරික තත්ත්වය කෙමෙන් පිරිහෙමින් පැවතුණි. මහරගම දී ඇය කා සමගවත් කතා කිරීමට ද මැළි වූවා ය. ‘අම්මේ මගේ තුනටියෙන් පහළ මොකවත් දැනෙන්නේ නෑ’, වරෙක අම්මාට ද කෙඳිරුවා ය. මහරගම ජාතික පිළිකා විද්‍යායතනයේ, දමයන්ති පීරිස් සහ ඩෙහාන් ගුණසේකර යන විශේෂඥ වෛද්‍යවරුන් ඇගේ දිවි ගලවා ගැනීමට බොහෝ උත්සාහ කළහ. විවිධ ප‍්‍රතිකාර දුන්හ. අනෙකුත් වෛද්‍යවරුන් ද, හෙද-හෙදියන් ද, කාර්යමණ්ඩලය ද ඇය ගලවා ගැනීමට උදව් කළහ. නිෂාදිගේ දෙපා යළිි පණ ගස්වා ගැනීම, ඔවුන්ගේ වෑයම විය.
 

 ඒ සියල්ල ව්‍යවර්ථ කරමින් නොවැම්බර් 14වැනි දා (සිකුරාදා) මැදියම් රැයේ ‘චූටිට’ අසාධ්‍ය විණි. එබැවින් ඇය දැඩි සත්කාර ඒකකයට යැවිණි. ‘අනේ මට තනියම නම් යන්න බෑ. අම්මත් එන්ඩ’ එවේලේ ඇය අම්මාට ඇවිටිලි කළා ය. දහවල් වන විට ‘චූටිගේ’ තත්ත්වය තවදුරටත් අසාධ්‍ය වෙමින් පැවතුණි. සුසුම්නාවේ පිළිකා තත්ත්වයට අමතරව ඇයට ‘ලියුකීමියා’  තත්ත්වයක් ද හට ගෙන ඇතැයි වෛද්‍යවරු පැවසූහ. යන්ත‍්‍රයකට සවි කෙරුණු පණ නළ ද සමගින් දැඩි සත්කාර ඒකකයෙහි, ඇය උඩුකුරුව වැතිර සිටියේ අසරණ විලාශයෙනි. අම්මාට ද, තාත්තාට ද, ඥාති සොයුරිය වන මුතුලක්ෂ්මි නිලන්තිට ද, දැනුණේ තම පවුලම මහා සැඩ සුළඟකට හසුව ගසා ගෙන යන්නාක් මෙනි. මේ ශෝකය දරා ගත හැකි ද?
 

‘මට පිරිත් කියන්ඩ’ පසුව දා (සෙනසුරාදා) සවස් භාගයේ  ඕ අයැද සිටියා ය.
 

කොළඹ ඉසිපතන විහාරාධිපති කීඹියේ විජිත නාහිමියෝ, ඔවුන්ගේ පවුලේ ඥාතිවරයෙකි. එවේලේ උන් වහන්සේ ද ඇගේ සුව දුක් බලන්නට දැඩි සත්කාර ඒකකයට  පැමිණ සිටියහ. නාහිමියෝ, රෝහල අසල පන්සලෙන් තවත් භික්ෂූන් වහන්සේ නමක් ද කැඳවා ගෙන, සෙත් පිරිත් සජ්ජායනය ඇරඹූහ. ඒ අතර, වටාපත පහත දමා, පිරිත් කියන්නැයි ද ඇය අතින් සංඥා කරනු පෙනුණි. නාහිමියෝ ඇගේ ඉල්ලීම කාරුණිකව ඉවසූහ.
 

ඊළඟ මොහොතේ ඇය පිරිත් අසමින්ම මෙලොව හැර ගොස් තිබිණි!
අම්මාට යටිගිරියෙන් කෑගැසුණි.
 

සියල්ලටම ගතවී තිබුණේ දින 26ක් පමණි. අම්මාගේ සුසිනිදු කුරුළු පිහාටුව, සොවින් වැලපෙන කොකාවල කඳු වළල්ල පැන, යළිත් නො එන්නටම කොහේදෝ පාවී, සැඟව ගොස් තිබුණේ ය!
 

ඉරුදින-2014/11/23.







Wednesday, December 10, 2014

මධ්‍යම කඳුකරය අනතුරේ

මකුළු දැලක් බඳු භූ පැලූම් මාරයෙක්

මධ්‍යම කඳුකරය අනතුරේ



(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
කොස්ලන්ද මීරියබැද්ද නාය යාම් සිද්ධියේ උණුසුම පහව ගොස් නැත්තේය. වැසි සහිත තත්ත්වය හමාර නොවීමත්, කඳුකරයේ සමහර ස්ථාන තවමත් නාය යාමේ ලක්‍ෂණ පෙන්නුම් කිරීමත්, ඊට හේතුවය. නාය යාමේ තර්ජන නිසා, රත්නපුර, බදුල්ල, නුවරඑළිය යන දිස්ත‍්‍රික්කවල සමහර පවුල් ඉවත් කරන්නට යෙදුණු බවද ජනමාධ්‍ය වාර්තාකර තිබිණි. අඟහරුවාදා (04) පුවත්පත් වාර්තාකර තිබුණේ මීරියබැද්ද වත්තේ සිද්ධියෙන් හමුවූ මළසිරුරු සංඛ්‍යාව 11ක් බවයි. අතුරුදන් වූ පුද්ගල සංඛ්‍යාව 40කට අඩු බවද පුවත්පත් වාර්තාවල සඳහන් විය. ඒ අලූත්ම තත්ත්වයයි.

මියගිය හෝ වැලලූණු ජනසංඛ්‍යාව පිළිබඳ ඉලක්කම් කෙසේ වෙතත්, කොස්ලන්දේ හටගත් නායයාම පිටුපස ඇති කරුණ මහත් බිහිසුණුය. ඒ, මීරියබැද්ද වත්තේ නායයාම හුදෙකලා සිදුවීමක් නොවන බැවිනි. නාය යාම් සහ භූ චලන ගැන පර්යේෂණ පවත්වන විද්වතුන් පළකරන මති මතාන්තර අනුව ගත් විට, කොස්ලන්දේ සිද්ධිය යනු, රටේ සමස්ත මධ්‍ය කඳුකරයට දැන් කලක් තිස්සේ මුහුණ දෙමින් සිටින, මරණීය සංසිද්ධියක ‘ඉතා සුළු කෙළවරක්’ හෙළිදරව් වීමකි.

මීරියබැද්ද නායයාම සම්බන්ධයෙන් ‘ඉරුදින’ කළ විමසුමට මහනුවර, හන්තාන, මූලික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය සී.බී. දිසානායක මහතා පවසා තිබුණේ, ලංකාවේ උස් බිම්වලින් සියයට 20-25ත් අතර ප‍්‍රමාණයක් නාය යාමේ අවදානමට මුහුණපා සිටින බවයි. එසේම, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නාය යාම් පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා ප‍්‍රකාශකර තිබුණේ, ලංකාවේ දිස්ත‍්‍රික්ක දහයක පිහිටි වර්ග කිලෝමීටර් 20,000ක පමණ භූමියකට, නාය යාමේ අවධානම බලපාන බවයි. අවධානම බලපාන, කළුතර, ගාල්ල, හම්බන්තොට, මාතර, බදුල්ල, රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත‍්‍රික්කවල නාය යාම් ප‍්‍රදේශ දැක්වෙන සිතියම් පවා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් සකස් කොට ඇත. ඒ ඉහත කී දිස්ත‍්‍රික්ක එතරම්ම අවධානම් නිසාය.

අවධානම් දිස්ත‍්‍රික්කවල භූ ලක්‍ෂණ
නාය යාමේ අවධානම කොතෙක් බරපතලදැයි තේරුම් ගැනීම සඳහා, අවධානම් දිස්ත‍්‍රික්ක දහයේ භූ ලක්‍ෂණ හඳුනා ගැනීම වැදගත්ය.
පොදුවේ ගත් කල, නාය යාමේ අවධානමට මුහුණ දී සිටින දිස්ත‍්‍රික්ක දහයම භූ ලක්‍ෂණ අතින් කඳුකර ස්වභාවයක් ගනියි. ඉන් බොහොමයක්ම, රටේ මධ්‍ය කඳුකරය හෙවත්, මුහුදු මට්ටමේ සිට වැඩි උසකින් පිහිටි දිස්ත‍්‍රික්කය.

 මේ වගුව බලන්න.
මධ්‍යම කඳුකරයට අයත් දිස්ත‍්‍රික්ක සහ මුහුදු මට්ටමේ සිට ඒවායෙහි උස

දිස්ත‍්‍රික්කයේ නම සහ එහි පිහිටි ස්ථාන        උස - මීටර්

මහනුවර                                     500
වලපනේ                                  1280
හුන්නස්ගිරිය                            1514
මාතලේ                                    1889
රත්තොට - පිටවලපතන              300
නුවරඑළිය                                1868
පිදුරුතලාගල                            2527
කොත්මලේ ජලාශ බැම්ම          595
රත්නපුර                                   130
පලාවෙල                                  186
බලංගොඩ                                592
වැද්දාගල (කලවාන)                427

නාය යාමේ අවධානමට මුහුණදී ඇති අනෙකුත් දිස්ත‍්‍රික්ක පිහිටා තිබෙන්නේ මධ්‍යම කඳුකරයට පරිවාරවය. 
ඒවායෙහි උස මේ වගුවෙන් දැක්වේ.

දිස්ත‍්‍රික්කය සහ එහි ස්ථාන        උස - මීටර්
බදුල්ල                          680
හපුතලේ                     1431
කොස්ලන්ද                   700
රාවණා ඇල්ල             1370
නමුණුකුල                   2016
ගාල්ල - තවලම - හෝකොක්        660
හිනිදුම                                           660
මාතර - දෙනියාය                           459
හම්බන්තොට - වලස්මුල්ල            151
කෑගල්ල - අරනායක                     300

නොබෝදා (2014/10/30) බිහිසුණු නාය යාමට හසුවූ කොස්ලන්ද ප‍්‍රදේශයද අයත් වන්නේ මධ්‍යම කඳුකරයට පරිවාරව, රටේ දකුණු දිසාවෙන් පිහිටි කඳුවැටියටය. ඉදින් රටේ මධ්‍යම කඳුකරය පමණක් නොවේ. ඊට පරිවාර උස් කඳුකර පෙදෙස් පවා නාය යාමේ අවදානමෙන් පෙළෙන බව, පැහැදිලිකර ගැනීමට පුළුවන. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නම් කළ අවධානම් දිස්ත‍්‍රික්ක හැම එකක්ම පාහේ, දැන් දශක කිහිපයක පටන්ම වරින් වර නාය යාම්වලට ගොදුරුවූ බව, පැරණි වාර්තා සඳහන් කරයි. එය විශේෂ ලක්‍ෂණයකි.

නාය යාමක් යනු කුමක්ද?
ඊට බලපාන හේතු මොනවාද?
ඉහළ මට්ටම්වල පිහිටි හෝ උස්බිම්වල පිහිටි අස්ථාවර පස් තට්ටු හෝ පාෂාණ සුන්බුන්, හදිසියේම බෑවුම් දිගේ පහළ ස්ථානකරා ගලා යාමේ හෝ රූටා යාමේ සංසිද්ධිය, නාය යාමක් ලෙස හැඳින්වේ. අධික වර්ෂාපතනය නිසා පස් ස්ථර බුරුල්වීම, භූචලන හෝ කම්පන ඇති වීම, සංවර්ධන කටයුතු සඳහා භූමිය වෙනස් කිරීම, භූගත පිපිරවීම් ආදී මිනිස් ක‍්‍රියාකාරකම් ඇතුළු හේතු රාශියක් නිසා ඒවා හට ගනී. එපමණක්ද නොවේ. කඳු මුදුන් සහ කඳු බෑවුම්වල වනාන්තර වැස්ම ඉවත් කිරීම සහ මිනිස් ක‍්‍රියාකාරකම් නිසා ජලවහන රටා අක‍්‍රමවත් වීමද නාය යාම් ඇතිවීමට බලපාන බව විද්වත් මතයයි. මහා ජලාශවල ජල මට්ටම උස් පහත් වීමේ තත්ත්වයන් අනුවද නාය යාම් ඇති විය හැකිය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් හඳුනාගෙන ඇති අවධානම් දිස්ත‍්‍රික්ක දහයම, නාය යාම්වලට තුඩු දෙන සියලූ ගති ලක්‍ෂණවලින් පොහොසත් ය.
කඳුකරයේ භූමි පරිහරණය සහ නාය යාම්
කඳුකරයේ භූමි පරිහරණය කොතෙක් සාහසික ලෙස සිදුවී ඇත්දැයි කිවහොත්, එය නාය යාම්වලට අතවනන මාරක උගුල් සමූහයක් වැන්න. ඉතා කෙටියෙන් කිවහොත්, අප මෙතෙක් රටේ කඳුකරය භාවිත කොට ඇත්තේ, නාය යාම් ගැන ඇබින්දක්වත් සිතා බලා නොවේ. එබැවින් කඳුකර භූමිය පරිහරණය කෙරී ඇති ආකාරය අධ්‍යනය කිරීම වැදගත්ය.

ලංකාවේ මධ්‍යම කඳුකරය සහ පරිවාර කඳුකරයෙහි වර්තමාන ස්වභාවය මෙබඳුය.

 * එම පෙදෙස්වල අධික ජනගහණය වාසය කිරීම.

* මහවැලි, කැලණි, කළු, වලවේ ඇතුළු ප‍්‍රධාන ගංගා 103ක් කඳුකරයෙන් උපත ලබා ගලා බැසීම.

* කොත්මලේ (ඝන මීටර් මිලියන 172.9), පොල්ගොල්ල (ඝ.මී.මි. 4.1), වික්ටෝරියා (ඝ.මී.මි. 721.2), රන්දෙණිගල (ඝ.මී.මි 861.4), රන්ටැඹේ (ඝ.මී.මි. 22), බෝවතැන්න (ඝ.මී.මි. 52), කාසල්රී (ඝ.මී.මි. 48.3), මාඋස්සාකැලේ (ඝ.මී.මි. 123.6) සහ සමනළවැව (ඝ.මී.මි. 278.0) යන මහා ජලාශ මධ්‍යම කඳුකරය ආශ‍්‍රිතව පිහිටා තිබීම. (මෙම ජලාශවල සාමාන්‍යයෙන්, ජලය ඝනමීටර් මිලියන 2283.5ක් පමණ රඳවා ගනියි.)

* කඳුකර මහා ජලාශ ආශ‍්‍රිතව මහාවේලි, ඇලමාර්ග, ජලය ගෙන යන උමං මාර්ග සහ විදුලිබලාගාර පිහිටා තිබීම.

* ලංකාවේ ප‍්‍රධාන මහාමාර්ග ජාලයට අයත්, කොළඹ, හපුතලේ හරහා බදුල්ල පාර, කොළඹ, බෙරගල, කොස්ලන්ද හරහා අම්පාර පාර, කොළඹ, ගම්පොළ හරහා නුවරඑළිය - වැලිමඩ පාර, අවිස්සාවේල්ල, හැටන් හරහා නුවරඑළිය පාර, කොළඹ, මහනුවර පාර, දඹුල්ල, නාඋල හරහා මාතලේ පාර, රත්තොට, ඉලූක්කුඹුර හරහා ලග්ගල පාර, ඇල්ල-වැල්ලවාය පාර, රත්නපුර කලවාන හරහා වැද්දාගල පාර, රත්නපුර, රක්වාන, සූරියකන්ද හරහා දෙනියාය පාර, රත්නපුර වේවැල්වත්ත හරහා බලංගොඩ පාර, මහනුවර - බදුල්ල රජමාවත ආදී මහා මාර්ග රාශියක්ම කඳුකරය ඔස්සේ විහිදී තිබීම.

* කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගය ද මධ්‍යම කඳුකරය ඔස්සේ විහිදී තිබීම.
ප‍්‍රධාන වශයෙන්ම ලංකාවට වර්ෂාව ලැබෙන්නේ, නිරිතදිග මෝසම (මැයි-සැප්තැම්බර්) සහ ඊසාන දිග මෝසම (දෙසැම්බර්-පෙබරවාරි) යන මෝසම් දෙක ඔස්සේය. මින් නිරිතදිග මෝසමේදී, මිලි මීටර් 100 සිට 3000ක් දක්වා වර්ෂාපතනයක් රටට ලැබේ. ඊසාන දිග මෝසමේ දී මිලිමීටර් 750 සිට 1200ක් දක්වා වර්ෂාපතනයක් රටට ලැබේ. ඉට අමතරව අන්තර් මෝසම් වකවානු දෙකකින් ද වැසි ලැබේ. ලැබෙන වැසිවලින් වැඩිහරියක්ම පතිතවන්නේ මධ්‍යම කඳුකරයේ නිරිත දිග සහ ඊසාන දිග බෑවුම්වලටය. මින් බොහොමයක් අධික වැසිය. ඒවා නායයාම්වලට තුඩුදෙයි. පැයක් ඇතුළත මි.මී. 75කට වැඩි වර්ෂාවක් ලැබුණහොත් නායයාම් ඇතිවන බව ප‍්‍රකටය. ලංකාවේ වරින්වර හටගත් ප‍්‍රබල නායයාම්, වර්ෂාපතන රටාව හා ගැලැපූ විට මේ කාරණය තහවුරු වේ.

මේ සටහන ලියැවෙන (2014/11/06 වැනි) බ‍්‍රහස්පතින්දාව (06) වන විටත් මධ්‍යම කඳුකරයට වැසි ඇදහැලෙයි. ඒ සමගම හටගත් නායයාම් බිය නිසා කඳුකරයේ තැනින් තැන මිනිසුන් ඉවත් කෙරුණු බව, පුවත්පත් වාර්තා මගින් කියැවේ. ඇල්ල - වැල්ලවාය පාරද පස් හා ගල් ඇදවැටීමේ අවදානමින් පෙළෙයි. මහනුවර සිට මහියංගනයට දිවෙන දහඅට වංගු පාර ද පසුගිය දිනවල නාය ගියේය. බදුලූ දුම්රිය පාරේ සමහර තැන්ද නාය ගොස් තිබිණි. මින් පෙනෙන්නේ දැන් මුළු කඳුකරයම නාය යාමේ භීතියෙන් අනාරක්‍ෂිතවී ඇති බවය.

නායයාම් සහ භූමි කම්පා

‘නාය යාම්’ සහ ‘භූමිකම්පා’ යනු එකම කාසියක දෙපැත්ත වැනි සංසිද්ධියකි. යම් භූමිකම්පාවකදී පොළොවේ ඇතිවන වෙව්ලීම් නිසාද උස් භූමි ප‍්‍රදේශ නාය යෑමට තුඩු දෙයි. 2003 වසරේ මැයි මාසයේ, රටේ නිරිත දිග ප‍්‍රදේශවල හටගත් බිහිසුණු නාය යාම් සමූහය සහ ගංවතුර තත්ත්වය මුළු රටටම මහත් කම්පනයක් ඇති කළ අවස්ථාවක් විය. ඉන් පුද්ගලන් 504ක් මියගියහ. එතරම් නාය යාම් සංඛ්‍යාවක් සිදුවූයේ, යම් භූචලනයක බලපෑම නිසා යයි සැකයක්ද එකල කතාබහට ලක්වී තිබිණි.
භූමි කම්පාවක් සම්බන්ධයෙන් ලංකාවේ පැරණිම වාර්තාව හමුවන්නේ වර්ෂ 1615 පෘතුගීසි පාලන සමයේය. 1615 වසරේ හටගත් භූමිකම්පාවකදී කොළඹ කොටුවේ විසූ පුද්ගලයන් 2000ක් මරුමුවට පත්වූහ. නිවාස හා ගොඩනැගිලි 200කට හානි විය. එවක් පටන් අද දක්වා ශ‍්‍රී ලංකාවට දැනී ගිය භූ කම්පන සංඛ්‍යාව 63ක් බව කියැවේ.

2004 වසරේ දෙසැම්බරයේදී ඉන්දුනීසියාව ආශ‍්‍රිත මුහුදේ හටගත් රිච්ටර් මාපකයේ 9.6ක සුනාමි භූමිකම්පාව මෑත භාගයේ ලංකාවට දැනුණු ප‍්‍රබලම භූ කම්පනයයි. ඉන් පසුව 2007 වසරේ ජූලි 09, 20, 22 යන දිනවල තිස්සමහාරාමයේ බෙරලිගෙල ප‍්‍රදේශයට රිච්ටර් 3.0-3.5 ප‍්‍රමාණයේ භූමිකම්පන දැනුණි. ඊට පසුව 2009 වසරේ අප‍්‍රියෙල් 15 වැනිදා මහනුවර කුණ්ඩසාලේ ප‍්‍රදේශයට ද භූමිකම්පාවක් දැනුණි. වසර කීපයකට පෙර අම්පාර ප‍්‍රදේශය ආශ‍්‍රිතව ද භූකම්පන වාර්තා විය. මේවා සුළු භූමි කම්පන බව ඇත්තය. එහෙත් ශ‍්‍රී ලංකාව පවතින්නේ ඒවායින් වුවද හානිවන තත්ත්වයකය. අපේ රට අයත් භූමිය, භූ ගර්භ අභ්‍යන්තරයෙන් විශාල ලෙස පැලූම්වලට ලක්ව තිබීම, ඊට හේතුවය. භූ කම්පනයකදී ඉහළ ස්ථරවල ඇති පස් හෝ පාෂාණ තට්ටු, භූ පැලූම් ඔස්සේ බිහිසුණු ලෙස නාය යෑමට පුළුවන.

භූ විද්‍යාඥයෝ ශ‍්‍රී ලංකාවේ භූමිය කොටස්  තුනකට බෙදා දක්වති. ඒ, වන්නි සංකීර්ණය , උස් බිම් සංකීර්ණය  සහ විජයානු සංකීර්ණය වශයෙනි. මේ සමස්ත භූමියෙහි ස්වාභාවික පැලූම් 80,000ක් පමණ ඇති බවත්, ඉන් 09ක් ප‍්‍රධාන පැලූම් බවත්, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයකු වන මහාචාර්ය පී.ඩබ්ලිව්. විතානගේ මහතා 1965 වසරේදී සොයා ගත්තේය. ‘ඉන්දියානු ප්ලේටයෙන්’ වෙන්වී ගිය ලංකා භූමිය, වසර මිලියන 126ක් මුළුල්ලේ වයඹ සිට ගිනිකොණ දෙසට (යාල-කිරින්ද දෙසට) පාවී යන බවත්, එයින් හට ගන්නා භූ විපර්යාස නිසා රටේ මධ්‍ය කඳුකර භූමිය ඉහළට එසවෙමින්  යන බවත් ඔහු හෙළි කළේය. ඔහු කියන හැටියට, වසරකට මිලිමීටර් 01-02 පමණ ප‍්‍රමාණයකින් ලංකා භූමිය ගිනිකොණ දෙසට පාවී යමින් තිබේ.
ලංකාවේ විශාලතම භූ පැලූම, ත‍්‍රිකුණාමලය වරාය ප‍්‍රදේශයෙන් පටන් ගෙන, මහවැලි ගඟ, මහියංගණය සහ මොණරාගල ඔස්සේ විහිදී ගොස්, හපුතලේ, වලවේ ගඟ සහ හම්බන්තොට දෙසින් මුහුද දෙසට දිවෙයි. මාතලේ, උකුවෙල, වත්තේගම, තෙල්දෙණිය, දිගන, අධිකාරිගම, කිඹුලන්තොට සහ නිල්දණ්ඩාහින්න දෙසට තවත් පැලූමක් විහිදෙයි. ලංකාවේ වයඹත් ගිනිකොණත් අතර කඳුකරය මැදින් වැටී ඇති පැලූම් ගණන 11කි. මේවා මහාචාර්ය පී.ඩබ්ලිව්. විතානගේ මහතාගේ වාර්තාවල සඳහන් පැලූම් අතරින් කිහිපයක් පමණි.

‘ඉරුදින’ කළ විමසීමකදී සුප‍්‍රකට භූ විද්‍යාඥයෙකු වන, මහනුවර හන්තාන මූලික අධ්‍යන ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය සී.බී. දිසානායක මහතා මෙසේ පැහැදිලි කළේය.

‘මහාචාර්ය විතානගේ මහත්තයාගේ සොයා ගැනීම ඉතා වටිනා එකක්. මේ භූ පැලූම් රටේ මධ්‍යම කඳුකරය පුරා හරියට මකුළු දැලක් වගේ පැතිර පවතිනවා. දවස් 3-4ක් වැස්සොත් බෑවුම් සහිත භූමියක නාය යාම් ඇතිවෙන්න පුළුවන්. ඒක සුලභ සිද්ධියක්. ඒත් භූ චලනයක් බඳු බාහිර ක‍්‍රියාවලියක් මගින් ‘තල්ලූවක්’ ඇතිකරනවා නම්, ස්ථාවර පස් හෝ පාෂාණ තට්ටු පවා භූ පැලූම් දිගේ නාය යන්නට පුළුවන්. භූ පැලූම් සහිත කඳු කරයේ අපි මහා ජලාශ රාශියක් ඉදිකරලා තියෙනවා. ලංකාවට බලපාන යම් භූමි කම්පාවකදී භූ පැලූම් ඔස්සේ එන පීඩනය නිසා ඔය ජලාශ පවා නාය යාමට ඉඩ තිබෙනවා. එහෙම දෙයක් වුණොත් ඇති විය හැකි විනාශය හිතාගන්නත් බෑ. ඒක හින්දා අපි සෑම කඳුකර ජලාශයකම භූ කම්පන මාන සවිකරලා, ඇතිවන සුළු භූ කම්පන පවා අධ්‍යනය කළ යුතුයි. අපි මේක හැමදාමත් කියනවා. ඒත් කෙරෙන්නේ නෑ’.
නාය යාම් අවධානමෙන් පෙළෙන ලංකාවේ කඳුකරය, මානව ජනාවාස, මහා ජලාශ, වතු වගා බිම්, මහා මාර්ග හා දුම්රිය මාර්ග, නගර ආදියෙන් සජ්ජිතය. ඊට අමතරව ඒ භූමිය, මකුළු දැලක් බඳු භූ පැලූම් ජාලයකින්ද සමන්විතය. භූ පැලූම් වූ කලී, නාය යාමේ අනතුර තවතවත් වැඩි කරන ප‍්‍රපංචයකි. රටේ මුළු කඳුකරයම සීතල මරණයකරා කැඳවා ගෙන යන මර උගුලකි.

වර්ෂා රටාව සහ නාය යාම්
පළමු අන්තර් මෝසම් සමය (මාර්තු/අපේ‍්‍රල්) තුළ සිදුවූ නාය යාම්
* 2002.04.29 - හාලි ඇල දෙමෝදර ගල්වලේ නාය යාම - මරණ - 05යි.
නිරිත දිග මෝසම් සමය (මැයි - සැප්තැම්බර් දක්වා) තුළ සිදුවූ නාය යාම්.
* 1982.06.08 - රත්නපුර, පතුල්පාන නායයාම - මරණ - 09යි.
* 1985.06.03 - බුලත්කොහුපිටිය, බඹරගල නාය යාම - මරණ - 22.
* 1992.06.03 - ගලබඩ, වටවලදී බදුලූ දුම්රිය මාර්ගය නාය යාම.
* 1995.06.17 - කොටගල ඉඟුරුඔය දී බදුලූ දුම්රිය එහි එන්ජිමද සමග නාය ගියේය.
* 2003 මැයි මාසයේ රටේ නිරිතදිග ප‍්‍රදේශවල හටගත් නාය යාම් සහ වැසි විපත් - මරණ 504යි.
* 2004 අගෝස්තු - හල්දුම්මුල්ල නගරය අවධානමට ලක්වීම.
දෙවන අන්තර් මෝසම් සමය (ඔක්තෝබර්/ නොවැම්බර්) තුළ සිදුවූ නාය යාම්
* 1997.10.22 ගම්පොළ සිංහාපිටියේ නාය යාම - මරණ 26යි.
* 1997 නොවැම්බර් මාසයේ, කොස්ලන්දේ නාකැටිය නාය යාම.
* 2006 ඔක්තෝබර් නොවැම්බර් යන මාසවල පේරාදෙණියේ හට ගත් නාය යාම්.
* 2002.10.07 බෙලිහුල්ඔය පුවක් ගහවෙල නායයාම - මරණ - 05යි.
ඊසාන දිග මෝසම් සමය (දෙසැම්බර් - පෙබරවාරි) තුළ හට ගත් නාය යාම්
* 1986.01.06 - මතුරට කැටයාපතන නායයාම - මරණ සංඛ්‍යාව - 13යි.
* 1982.12.09 - මාතලේ, පිටකන්ද නායයාම - මරණ සංඛ්‍යාව - 13යි.
* 2007.01.12 - හඟුරන්කෙත, පදියපැලැල්ල නාය යාම.
* 2007.01.02 - නුවරඑළිය මහවැව නාය යාම - නිවාස 65කට හානි විය.

ඉරුදින-2014/11/09

මැතිවරණ වාර්තාකරණයේ රස කතා-01


මැතිවරණ වාර්තාකරණයේ රස කතා

ප‍්‍රවෘත්ති පැකට් පිටකොටුව බස් නැවතුම් පොළේ කඩයකින් මතුවෙයි

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
හෙලිකොප්ටර් යානයක්, උන් හිටි ගමන් අනුරාධපුරයේ, කහටගස්දිගිලිය වැව් පිටියට ඉහළ අහසේ කැරකෙන්නට විය. ‘ඔන්න චන්ද්‍රිකා මැතිනි එනෝ’ යයි මිනිස්සු කෑ ගැසූහ. හෙලිකොප්ටරය වැව් පිටියේ ඈත කෙළවරකට ගොඩ බැස් විණි. රැුස්වීම් වේදිකාව අබියස හුන් ජනකාය, හදිසියේම වැව් බැම්මක් බිඳී ගියාක් පරිද්දෙන් එදෙසට දිව යන්නට වූහ. වේදිකාව අසල දෙතුන් සීයක්වත් ඉතිරි වූයේ නැත. රැස්වීම අමතමින් සිටියේ එවකට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, ධර්මසිරි සේනානායක මහතා ය. සිදුවූ දෙයින් විමතියට පත් සේනානායක මහතා මෙසේ කීවේ ය.

‘ඔය බලන්න. හැමෝම ගියා. දැන් මං විතරයි. හැමෝම එයා බලන්න දිව්වා. එයාට තමයි හැමෝම කැමති. හැබැයි මේ මං තාම බැඳලත් නෑ. ඒත් මාව දාලා හැමෝම ගියා’, ඔහු පැවසුවේ රැස්ව සිටියවුන් හිනස්වමිනි!
ධර්මසිරි, හදිසියේ මිය යනතුරුම අවිවාහකව සිටි ජනප‍්‍රිය දේශපාලනඥයෙකි. මැතිවරණ සමයට සිය පාක්ෂිකයන් කුල්මත් කිරීම පිණිස ඔහු එය යොදා ගත් සැටි!
හෙලිකොප්ටරයෙන් පැමිණියේ, එවකට පොදු ජන එක්සත් පෙරමුණේ නායිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (හිටපු ජනාධිපතිනි ) මහත්මියයි. රැළිය පැවතියේ, 1994 වසරේ අගෝස්තු මහා මැතිවරණය වෙනුවෙනි.

මැතිවරණ රැුස්වීම් පැවැත්වෙන කාලයට, මාධ්‍යවේදීන්ට මෙබඳු රසවත් අත්දැකීම් රැසක් අත් විඳින්නට ඉඩ ලැබේ. එය මැතිවරණ වාර්තාකරණයේ එන සුවිශේෂී කාරණයකි.
මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉකුත් සඳුදා (08) නාම යෝජනා භාර දෙනු ලැබී ය. ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂයේ පොදු අපේක්ෂක, හිටපු අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු අපේක්ෂකයන් 19 දෙනෙක් ඉදිරි පත්වී සිටින බව දැන් මුළු රටම දනිති. එළඹ ඇත්තේ, ඡන්ද ප‍්‍රචාරක කටයුතු සිදු වන වකවානුවයි.

ජනාධිපතිවරණය පමණක් නොවේ. මුළු රටටම පවත්වන  ඕනෑම මැතිවරණයක් ජන මාධ්‍යයට ද ඉතාම වැදගත් ය. මැතිවරණ සමය තුළ ප‍්‍රචාරක රැළි, ප‍්‍රචණ්ඩ ක‍්‍රියා, නීති-රීති බිඳීම්, සහ විවිධ දේශපාලනික ප‍්‍රවණතා ආදිය දිනපතාම වාර්තා කරන්නට සිදු වීම, ඊට හේතුවයි. මැතිවරණ සමයක මාධ්‍යවේදියෙකු වශයෙන් සේවය කරන්නට ලැබීම, තරමක් අවදානම් සහගත, මහත් කටුක, එහෙත් බොහොම විචිත‍්‍රවත් අත්දැකීමකි. එහි දී ඔහුට රට පුරා සංචාරය කරන්නට ද සිදු වේ. කොතෙක් ගැටළු තිබුණ ද, මැතිවරණ වාර්තාකරණය යනු ඉතාමත් වගකීම් සහගත කටයුත්තකි. මැතිවරණ වාර්තාකරණයේ, ‘තිරය පිටුපස’ ඇති කතා පුවත් ද අතිශයින්ම සංකීර්ණ ය.

මැතිවරණ සමයක, ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවල ‘නායකයන්’ ඉතා විශිෂ්ඨ පුවත් මවන්නන් බවට පත් වෙති. එනිසා  ඕනෑම මාධ්‍ය ආයතනයක ප‍්‍රමුඛතම කටයුත්ත වන්නේ, ඔවුන් ආවරණය කිරීමයි. එබැවින් පක්ෂ නායකයන් අමතන හෝ පෙනී සිටින ඡුන්ද රැුස්වීම් (රැළි), ප‍්‍රවෘත්ති සාකච්ඡුා, අමුත්තන් හමු වීම්, සම්මුඛ සාකච්ඡුා, පෞද්ගලික මාධ්‍ය හමු, සහ ප‍්‍රචාරක චාරිකා ආදියට සහභාගිවී වාර්තා කිරීම, ඊට අයත් වේ. පක්ෂ නායකයන්ගේ මාධ්‍ය නිලධාරීන් විසින් එවනු ලබන මැතිවරණ වැඩ සටහන් විස්තර ඔස්සේ, මාධ්‍ය ආයතන තම ආවරණ වැඩ පිළිවෙල සාදා ගනිති. ඉන් සමස්ත මැතිවරණ වකවානුවම ආවරණය වේ.

ඉක්බිති මාධ්‍ය ආයතන ප‍්‍රධානීහු, එක් එක් නායකයන් ආවරණය කිරිම පිණිස වාර්තාකරුවන් සහ ඡුායාරුප ශිල්පීන් පත් කරති. විද්‍යුත් මාධ්‍යවල නම් නිෂ්පාදන කණ්ඩායමක් පත් කරති. සාමාන්‍යයෙන්  ඕනෑම මාධ්‍ය ආයතනයක ප‍්‍රවෘත්ති අංශයෙහි, ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සහ නායකයන් ආවරණය කිරීමට පැවරුණු පිරිසක් වෙති. ‘දේශපාලන වාර්තාකරුවන්’ වශයෙන් හැ`දින්වෙන ඔවුහු, තමන් ආවරණය කරන පක්ෂ ගැන බොහෝ තොරතුරු දන්නා, එහි නායකකාරකාදීන් සමග ප‍්‍රබල සම්බන්ධකම් සහිත, උදවිය වෙති. සාමාන්‍යයෙන් මැතිවරණ සමයේ පක්ෂ නායකයන් ආවරණය කිරීම පැවරෙන්නේ ද ඔවුන්ටම ය. ඇතැම් පක්ෂ, තම නායකයා ආවරණය කරන්නට එන මාධ්‍යවේදීන් සඳහා ප‍්‍රවාහන, ඉඳුම්-හිටුම් ආදී සියලූම පහසුකම් සපයති. සමහර පක්ෂ එසේ නො කරයි. එවිට මාධ්‍ය ආයතනයට, පෞද්ගලිකවම එම පහසුකම් සපයා ගැනීමට සිදු වේ. මැතිවරණ සමයට පක්ෂ නායකයන් සමග රට පුරා සැරිසරන්නට සිදු වීම, අනිවාර්්‍ය කාරණයකි.

ලියුම්කරු මැතිවරණ වාර්තාකරණයට එක් වූයේ 1990 දශකයේ සිට ය. ඒ, දිනපතා සහ ඉරිදා ලංකාදීප පුවත්පත් වෙනුවෙනි. එකල අද මෙන් ඊමේල්, ඩිජිටල් කැමරා, ජංගම දුරකතන, ආදිය නො තිබුණි. ෆැක්ස් පහසුකම් තිබුණේ ද කලාතුරකින් තැනක ය. සියලූම ඡුායාරූප ගැනීම්, ‘දල සේයා පට’ (ෆිල්ම් රෝල්) මගින් කෙරුණි. කොළඹින් පිට පළාත්වල බොහොමයක් ඡුායාරූප ශාලා, කළු-සුදු දල සේයා පට නම් සෝදා මුද්‍රණයකර දුන්නේ ය. වර්ණ දල සේයා පට මුද්‍රණයකර ගැනීම බෙහෙවින් දුෂ්කර කටයුත්තක් විය. එබඳු පහසුකම් පැවතියේ, කොළඹින් පිටත ප‍්‍රධාන නගරවල පමණි. එබැවින් බොහෝ අවස්ථාවල, ‘දල සේයා පට’ එහැමපිටින්ම කාර්යාලයට එවීමට සිදු විය. මෙබඳු ප‍්‍රායෝගික තත්ත්වයන් නිසා, මැතිවරණ රැස්වීම් ආවරණය කිරීම එකල දුෂ්කර කටයුත්තක් විය. බරපතලම ප‍්‍රශ්නය වූයේ, ප‍්‍රවෘත්ති සහ ඡුායාරූප කලට-වේලාවට කොළඹ එවන්නේ කෙසේ ද? යන්නයි.

දිනපතා පුවත්පත් සම්බන්ධයෙන් නම්, එකල ද පැවතියේ ‘අද සිදුවූ දේ, හෙට පත‍්‍රයේ පළ විය යුතුය’ යන තේමාවයි. ඒ අනුව වැඩ කිරීමේ දී, ප‍්‍රවෘත්ති සහ ඡුායාරූප නියමිත වේලාවන්ට (ඩෙඞ් ලයින්) පෙර, ප‍්‍රවෘත්ති අංශයට යැවිය යුතු ය. එය ඉතා දුෂ්කර දෙයක් වුව ද, මාධ්‍යවේදීහු එයට ගැලැප්පී සිටියහ. ලංකාවේ කොහේ සිටිය ද, පසුවදා පත‍්‍රයේ කොළඹ මුද්‍රණයට ප‍්‍රවෘත්ති එවීමේ අතහුරු ක‍්‍රම ඔවුහු දැන උන්හ. ඒවා තම වෘත්තීය ජීවිතය බවට පත්ව තිබුණු බැවින් දෝ, මැසිවිලි කියන කෙනෙක් ද නො විණි.

හදිසි ප‍්‍රවෘත්ති යැවීම සඳහා එකල පැවති ජනප‍්‍රියම ක‍්‍රමය වූයේ, ‘දුරකතන මගින් ලියා ගැනීමේ’ විධි ක‍්‍රමයයි. පක්ෂ නායකයන් ඡන්ද රැුස්වීමක දී කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් හෝ එහි දී හට ගත් යම් සිද්ධියක් ඇසුරෙන් සැකසුණු ප‍්‍රවෘත්ති දුරකතන ඔස්සේ යැවිණි. පිට පළාතේ සිටින වාර්තාකාර සගයා දෙන දුරකතන අංකයකට ඇමතුමක් ගන්නා ප‍්‍රවෘත්ති අංශයේ වෘත්තීය සගයෙක්, ටෙලිපෝනයක් කණේ ගසා ගෙන වාර්තාව ලියා ගැනීම මෙහි ක‍්‍රියාදාමයයි. ඇතැම් විට මුළු රැස්වීම් වාර්තාවම ටෙලිපෝනයෙන් ලියා ගැනීමට සිදු වේ. හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන්, වරක් නිට්ටඹුවේ පැවති ජන රැුළියක වාර්තාව දුරකතනයෙන් ලියා ගැනීමේ කටයුත්ත ලියුම්කරුට පැවරිණි. රැුළිය වාර්තා කරන්නට නිට්ටඹුවට ගොස් සිටි චූලවංශ සිරිලාල් සහ රංජිත් පද්මසිරි යන ප‍්‍රවීණ පත‍්‍රකලාවේදීන් දෙපල මාරුවෙන් මාරුවට කොපිය කියවූහ. රාත‍්‍රී 9.30 පමණ වන විටත් රැුළිය හමාර නො වීය. ඒ වන විට වාර්තා කොපිය පිටු 100ද ඉක්මවී ය! රැුළියේ වාර්තාව පසුවදා ලංකාදීපයේ කොළඹ මුද්‍රණයේ පළ විය.

තවත් ජනප‍්‍රිය ක‍්‍රමයක් වූයේ, රැළි පැවැත්වෙන නගරවල සිට කොළඹ බලා එන මගී බස් රථ මගින් දල සේයා පට සහ ප‍්‍රවෘත්ති පාර්සල් එවීමයි. බස් රියදුරන් සමග සුහද කතාබහක යෙදෙන මාධ්‍යවේදීහු, තම ප‍්‍රවෘත්ති පාර්සල් සහ වීඩියෝ කැසට් කොළඹට ගෙන ගොස් දීමට එකඟ කරවා ගනිති. ඇතැම් විට මේ සඳහා සුළු මුදලක් ගෙවීමට ද සිදු වේ. බසය කොළඹට එන වේලාව අල්ලා පිටකොටුවට පැමිණෙන මාධ්‍ය ආයතනයේ පණිවුඩකරුවෙක්, ඒවා රැගෙන යයි. බොහෝ කලකට ඉහත, පිට පළාත්වල සිට එන ප‍්‍රවෘත්ති පාර්සල් වැඩිපුරම ලැබුණේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ පිහිටි, එක්තරා සිසිල් බීම අලෙවි සැලකට ය. සෑම දිනකම පෙරවරුවේ, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවල පණිවුඩකරුවන් ප‍්‍රවෘත්ති පැකට් ඉල්ලමින් එහි පැමිණීම සුලභ දසුනක් විය. 1993 වසරේ, ආන්දෝලනාත්මක දකුණු පළාත් සභා මැතිවරණය පැවති දා ඇඳිරි නීතිය පවා පැනවිණි. ලියුම්කරු එදා ප‍්‍රවෘත්ති පැකට් එව්වේ මාතර සිට කොළඹ දිවූ පෞද්ගලික බස් රථයකිනි. ඔවුන් ඒවා ඉතා සුරක්ෂිතව, පිටකොටුව ‘පීපල්ස් පාක්’ බස් නැවතුම් පොළේ, ස්ටැන්ලි ප‍්‍රනාන්දු (ස්ටැන්ලි අයියා) නම් බස් සංගම් නායකයාගේ හෝටලයක රඳවා තිබිණි. මෙබඳු පිරිස්, ජන මාධ්‍යයේ පැවැත්ම පිණිස වක‍්‍ර ලෙස සහාය දක්වන්නන් වෙති. තමන් ප‍්‍රවාහනය කරන්නේ, ඇතැම් විට මුළු රටම ගිනි ගන්නා තරම් ආන්දෝලනාත්මක ප‍්‍රවෘත්ති වාර්තා, ඡුායාරූප හෝ වීඩියෝ දර්ශන බව ඔවුහු නො දනිති!

අතීතයේ දී මැතිවරණ වැඩ පිණිස පිට පළාත්වලට යන දේශපාලන වාර්තාකරුවන්, මුලින්ම සොයන්නේ, රැුස්වීම් භූමියට සමීපයෙන්ම දුරකතනයක් ඇත්තේ කොහි ද? කියා ය. ඉන් දුරකතන ඇමතුම් ගන්නට අවසර ලැබේ ද? කියා ය. ජංගම දුරකතන නො තිබුණු ඒ කාලයේ, මාධ්‍යවේදීන්ට පිහිට වූයේ අතරමගදී මුණ ගැසෙන ආගන්තුක කාරුණික මිනිසුන්ගේ නිවෙස්වල ඇති දුරකතනයි. දිනකට වරක් හෝ දෙවරක්, කොහේ හෝ සිට  සිය ප‍්‍රවෘත්ති කර්තෘවරයා හෝ ප‍්‍රධාන කර්තෘවරයා දුරකතනයෙන් ඇමතීම, මාධ්‍ය සම්ප‍්‍රදායයි. එහි දී අලූත් උපදෙස් ද ලැබේ. පිට පළාත්වල නව දේශපාලන ප‍්‍රවණතාවයන් ගැන අදහස් ද හුවමාරු වේ. හදිසි ප‍්‍රවෘත්ති යැවීමට මෙන්ම එබ`දු කතාබහට ද ආගන්තුකයන්ගේ දුරකතන පිහිට වන්නේ ය.
(මතු සම්බන්ධයි)

ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර
2014/12/10.









අවුරුද්දට සුව්‍ඳැල් බතක්

අවුරුදු කිරි බතට සෞභාග්‍යවත් සුවඳැල්

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
අද දෙසැම්බර් මාසයේ 28 වැනි දා ය. එය ගෙවී යන වසරේ අවසන් ඉරිදාවයි. අනිද්දා එනම් බදාදා, 2015 නව වර්ෂය ඇරඹෙයි. මේ දිනවල රටේ ඇතැමෙක්, ‘සුවඳැල් සහල්’ සොයා ඇවිදිමින් සිටිති. වස-විසෙන් තොරව වගා කළ, පෝෂ්‍ය ගුණයෙන් අනූන, ඉදෙන විට සුවඳ හමන, පාරම්පරික දේශීය සහලකින් ජනවාරි 01 වැනිදා අලූත් අවුරුදු කිරිබත පිස ගැනීම, ඔවුන්ගේ අභිප‍්‍රායයි. ඒ සඳහා දැන් වැඩි දෙනෙකුගේ තෝරා ගැනීම, ‘සුවඳැල් සහල්’ ය. දකුණේ නම්, ‘මා වී සහල්’ ය. ‘සුවඳැල් සහලේ බත’, වැඩි පෝෂණ ගුණයක් මෙන්ම, රුධිරයේ සීනි පාලනය කිරීිමේ ගුණයෙන් ද පිරිපුන් බව හෙළිදරව් වීම, මෙබඳු ඉල්ලූමක් ඇති වීමට හේතුව ය. කොයි හැටි වෙතත්, අවුරුදු කිරිබතක් කන්නට වස-විසෙන් තොර, දේශීය, පාරම්පරික සහලක් සොයා ඇවිදීම, වර්තමානයෙහි අතිශයින්ම සෞභාග්‍යවත් සිතිවිල්ලකි.

දේශීය පාරම්පරික වී වර්ග කාබනික ක‍්‍රමයට වවන සුළුතරයක් ගොවීහු, මෙවර ද සිය ගොවි සංවිධාන ඔස්සේ ‘සුවඳැල් සහල්’ සැපයීමට ඉදිරිපත්ව සිටිති.

පැරණි භාවිතාවේ හැටියට, ‘සුවඳැල්’ යනු ‘හැල්’ (සංස්කෘත බසින් ‘ශාලිං’) හෙවත් ‘ඇල්’ වී වර්ගයකි. ඒ අනුව, ‘සුවඳ හමන ඇල්, සුවඳැල්’ වන්නේ ය. (නැතිනම්, ‘සුවඳ හමන හැල්, සුවඳැල්’) දේශීය සුවඳැල් වර්ග දෙකකි. ඉන් එකක්, ‘සුදු සුවඳැල්’ ය. අනෙක, ‘රත් සුවඳැල්’ ය. ඒවා වපුරා මාස තුනකින් පැසෙන, ‘බාල වී’ ගණයට අයත් ය.

බාල වී යයි කියන්නේ, ඉක්මණින් පැසෙන වී වර්ග වලට ය. ඒ සමගම රොබට් නොක්ස් ද සිහිපත් වෙයි. රොබට් නොක්ස්, බි‍්‍රතාන්‍ය ජාතික නාවිකයෙකි. ඔහු ක‍්‍රිස්තු වර්ෂ 16 වැනි සියවසේ දී, අහම්බෙන් ලංකාවට ගොඩ බසින්නට සිදු වෙයි. එහි දී, ශ‍්‍රී ලංකාවේ මහ රජ්ජුරුවන් වූ, දෙවැනි රාජසිංහයන්ගේ සිරකරුවෙකු බවට පත් වන ඔහුට, විසි වසරක්ම ලංකාවේ ගත කරන්නට සිදු වෙයි. ඉන් පසුව යළිත් බි‍්‍රතාන්‍යයට ගිය රොබට් නොක්ස්, ලංකාවේ ගත කළ ජීවිතය අළලා ලියූ ග‍්‍රන්ථය,'ඇන්ඩ් හිස්ටොරිකල් රිලේෂන් ඔප් ද අයිලන්ඩ් ඔප් සිලෝන්' නමින් 1681 වසරේ දී පළ විය. පසුව ‘එදා හෙළදිව’ නමින් සිංහලයට නැගුණු එහි, අපේ රටේ පැරණි වී ගොවිතැන පිළිබඳව කරුණු ගණනාවක්ම සඳහන් වේ. කෘතියෙහි පැවසෙන අන්දමට, ‘ඉක්මණින් පැසෙන වී වර්ග (බාල වී) රසයෙන් ඉමිහිරි ය. එකල විසූ වී ගොවීහු, තම කුඹුරුවලට පොහොර නො දමති. ඒ වෙනුවට සී සෑමෙන් සහ මඩ කලල් කිරීමෙන් පසෙහි සාරවත් භාවය උපදවා ගනිති!’ සුවඳැල් ද අයත් වන්නේ, ඉක්මණින් පැසෙන වී ගණයට ය. එබැවින් රොබට් නොක්ස්ගේ නිරීක්ෂණය වැදගත් වේ.

බුද්ධදාස මහ රජතුමන් විසින් රචනා කළ ‘වෛද්‍යක සාරාර්ථ සංග‍්‍රහය’ කෘතියෙහි, සඳහන් වන්නේ ‘හැල් ජාතීහු මිහිරි වෙති’ යනුවෙනි. හැල් වී වර්ගවලින් උපදින බත, මිහිරි රසයෙන් ද, සෞම්‍යවූ ඖෂධීය ගුණයෙන් ද පිරිපුන් බව එහි අරුතයි.

සාරාර්ථ සංග‍්‍රහය, චරක සංහිතාව ඇතුළු පැරණි ආයුර්වේද ග‍්‍රන්ථවල එන හැටියට, සුවඳැල් සහලේ බත, මධුර රසයෙන් සහ සුවඳින් යුක්ත ය. එය කසට රසයෙන් යුක්ත වන හෙයින් ශරීරය මනාව වර්ධනය කරයි. කටහඬ මිහිරි සහ පැහැදිලි කරයි. මුත‍්‍ර මෙන්ම, ශුක‍්‍ර ධාතුව ද වර්ධනය කරයි. සුවඳැල් බත ඉදිමුම් රෝගවලට ද ගුණ දායක ය. සුවඳැල් සහල් පරණ වූ විට, එහි බත මධුමේහය හෙවත් දියවැඩියා රෝගයට ගුණදායක ය.

2011 වසරේ දී කාර්මික තාක්ෂණ ආයතනය, කාබනික ක‍්‍රමයට වගා කළ, දේශීය පාරම්පරික සහල් වර්ග 25 ක පෝෂණ සංඝටක සොයා බැලීම පිණිස පර්යේෂණයක් පැවැත්වූයේ ය.  ඒ අනුව, ‘රත් සුවඳැල්’ සහලේ ඉහළම ප්‍රෝටීන සංයුතියක් (සියයට 12.9 ක්) තිබිණි. එහි යකඩ සියයට 2.4 ක් ද, සින්ක් සියයට 3.1 ක් ද විය. එය නව දෙමුහුන් වී වර්ගවල සහල්වලට ද, අනෙකුත් දේශීය පාරම්පරික වී වර්ගවල සහල්වලට ද වඩා ඉහළ තත්ත්වයක් පෙන්නුම් කළේ ය. පෝෂණ සංඝටක සම්බන්ධයෙන් ගත් කල, මෙය ඉහළම තත්ත්වයකි. කාර්මික තාක්ෂණ ආයතනයේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර මහතාගේ මෙහෙයවීමෙන් එකල කෙරුණු පර්යේෂණවල දී, ‘මසුරන්’, ‘සුදු හීනැටි’, ‘දික් වී’ සහ ‘ගොඩ හීනැටි’ යන පාරම්පරික සහල්වල බත, දියවැඩියාව, හෘද රෝග, පෙනහළු සහ ගර්භාෂ පිළිකා මෙන්ම ඉදිමුම් රෝග මර්දනය සම්බන්ධයෙන් ගුණදායක බව හෙළි විණි.

‘කොම්පාස්‘ නම් රාජ්‍ය නොවන සංවිධානයේ ඉල්ලීමක් පරිදි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන්, 2008/2009 වසරවල දේශීය පාරම්පරික සහල් වර්ග 05 ක් පිළිබඳව පර්යේෂණයක් පැවැත්විණි. එයින් හෙළිදරව් වූයේ, කාබනික ක‍්‍රමයට වගා කළ ‘සුදු සුවඳැල්’ සහලේ බතට, රුධිරයේ සීනි පාලනය කිරීමේ ඉහළම ගුණයක් ඇති බවයි.

මින් පෙනෙන්නේ කුමක් ද?, ආයුර්වේද සහ පාරම්පරික භාවිතාව ඔස්සේ හෙළිවී පැවති කාරණා, සත්‍යයක් යයි විද්‍යාත්මක පර්යේෂණ මගින් ද තහවුරු වන  බවයි.

ජන වහරේ එන හැටියට, සුවඳැල් පැසෙන විට කෙත සුවඳ ය. පිසෙන විට, බත ද සුවඳ ය. එහි ඇති වාෂ්පශීලී ස්වාභාවික ‘ඇරෝමැටික’ රසායන වර්ග නිසා සුවඳ හැමීම සිදු වෙයි.  පැරණි රජ දවස සුවඳැල් බත වැළඳුවේ, මහ සඟන,  රජවරුන්, ප‍්‍රභූවරුන් ඇතුළු සුවිශේෂ තැනැත්තන් ය. එය විශේෂ ආහාරයක් විය.

එබැවින් නව අවුරුදු කිරි බතට සුවඳැල් වැළඳීම, සෞඛ්‍ය සම්පන්න, සෞභාග්‍යමත් ආහාර චර්යාවක් බව කිව යුතු වෙයි.

2014/12/28.












Monday, November 17, 2014

මිණිහිරි අන්දර - 01

මිණිහිරි අන්දර - 01

මින්නේරි  භූමිය මහසෙන් රජුගේ ඇසට


(කි‍්‍රෂ්ණ විජේබණ්ඩාර)
එය, ක‍්‍රිස්තු වර්ෂ 03 වැනි සියවස අග භාගයේ එක්තරා දවසක එළඹි රාත‍්‍රියකි. එක් රැුකවලෙක් පමණක් කැටුව, රහසේම ‘ගමන් මාලිගාවෙන්’ නික්මුණු මහසෙන් (ක‍්‍රි.ව. 274 - 301) මහ රජ්ජුරුවෝ, කිරි ඔයෙන් ද එතෙරව එක්තරා ස්ථානයක් කරා ගමන් කළහ. එය, ඒ වනවිටත් රජු සමග අවි අමෝරා ගෙන සිටි, මින්නේරි වාසී යක්‍ෂ ගෝත‍්‍රික නායකයන්ගේ ලැඟුම් කඳවුර විය. රැකවලා පිටත රැඳවූ මහසෙන් රජු ඇතුළට පිවිසුණේ එහි  වූවෙකුගේ නමක්ද කියා අමතමිනි.

ඒ සමගම ආගන්තුක ඇමතුමෙන් පිබිදුණු කඳවුරු නායකයා, සැණෙකින් අමුත්තා ඉදිරියේ පෙනී සිටියේය.

‘මම මහසෙන්’

අමුත්තා ගාම්භීර හඬින් තමන් හඳුන්වා දුන්නේය. ඒ ඇසූ කඳවුරු නායකයා තිගැස්සිණි. එහෙත් ඔහු සෘජු කුසින් යුක්තව අමුත්තාට මුහුණ දුන්නේය.

‘මම ආවේ උඹලව හම්බවෙන්නයි. මට උඹලාව සේරම මරා දාලා ඔය වැව හදන්ඩ පුළුවන්. ඒත් වැවක් හදන්ඩ වුණත් මිනිස් ජීවිත නැති කර දමන්ඩ  ඕනෑ නෑ. මේ වැව හදන්නේ රටේ වැසියන්ගේ සුභ සිද්ධියටයි. අපිට බැරිද මිනීමරා ගන්නේ නැතිව මේක කරන්නඩ ?’ රජු විමසීය.

කඳවුරු නායකයා මදක් කල්පනා කළේය. අලූතින් තනවන්නට යන වැවට තම නිජ භූමිය පවරා ගැනීමට එරෙහිව ගිය තම නායකයා වූ ‘කළුවා’ ඒ වන විටත් මරු තුරුළට ගොසිනි. රජු හා ගැටුම තවත් දුරදිග ගියහොත් යක්‍ෂ ගෝත‍්‍රික සනුහරයේ ඉතිරි පිරිසද මැරුම් කනු ඇත.

‘හොඳමයි මහරජතුමනි. අපිට අපේ ගම්බිම් වෙනුවට වෙනත් භූමියක්  ඕනෑ. අපේ අයිතිවාසිකම්  ඕනෑ. එහෙම දෙනවා නම් අපි වැව හදන භූමියෙන් ඉවත්ව යන්නම්’ කඳවුරු නායකයා රජු හමුවේ පිළිවදන් දුන්නේය.

මහසෙන් රජ්ජුරුවෝ ඒ ඉල්ලීමට කැමැත්ත දුන්හ. ඉක්බිති, වැව ඉදිකිරීම ඇරඹිනි.
මේ කතා පුවත, ‘ඉතිහාස වාර්තාවක්’ නොවේ. මහාවංශය හෝ සමකාලීන වංශකතාවක සඳහන් වන පුවතක් ද නොවේ. ලියුම්කරු එය උපුටා ගත්තේ, පොළොන්නරුව සුප‍්‍රකට ‘මින්නේරි වැව’ නිර්මාණය වීම පිළිබඳව ගෙතී ඇති ජනප‍්‍රවාද ඇසුරිනි. එනම් ජනශ‍්‍රැති ගණනාවකින් තෝරා ගත් එක් කතා පුවතක් සජීවීකරණයකර ගැනීමෙනි.

මහාවංශයෙහි ද දැක්වෙන අන්දමට, සුප‍්‍රකට මින්නේරි වැව, ‘මහසෙන් රජු’ විසින් කරවූවකි. වංශකතාවල සඳහන් නොවූවද, වැව නිර්මාණය වීම අරභයා එන ජනශ‍්‍රැති රාශියකි. ඒවා ඉතාමත් රසවත් ය. එයින් හෙළිදරව් වන විශේෂ කාරණා දෙකක් තිබේ. එකක් නම් එකල විසූ පාලකයන් තම රට වැසියන් කෙරෙහි කෙතරම් කැපවීමෙන් වැඩ කළේද ? යන කාරණයයි. අනෙක අපේ පැරැුන්නන්ට වාරි කර්මාන්ත සම්බන්ධයෙන් ද කොතරම් විශිෂ්ට ඥාන සම්භාරයක් තිබුණේ ද යන්නයි.

මින්නේරි ජන ශ‍්‍රැතිවලට පදනම් වූ වැව්, සොරොව්, බිසෝ කොටු සහ ඇළ මාර්ග ආදී පැරණි නිර්මිතයන්, වර්තමානික බොහෝ දුක් ගැහැට මධ්‍යයේ අදටත් බොහොම සජීවී ක‍්‍රියාකාරීත්වයෙන් යුක්තව පවතින්නේය. එබැවින් පැරණි ජනශ‍්‍රැති හුදී ජනයන්ගේ සංස්කෘතියෙන් ඉවත ලිය නොහැක්කේම ය. මින්නේරි ජනශ‍්‍රැති ඔස්සේ දිග හැරෙන්නේ එසේ මෙසේ පුවත් නොවේ. මහසෙන් බඳු ශ්‍රේෂ්ඨ නරපතියෙකුගේ පාලන තන්ත‍්‍රයේ ඇතුළු කවයෙහි හටගත්, ඇසූ දුටුවන් ගල් ගැසෙන තරම් ප‍්‍රබල දේශපාලනික සිදුවීම් මාලාවක නින්නාදයයි.

ඝන මීටර් මිලියන 135.7ක ජල ධාරිතාවක් සහිත මින්නේරි වැව, අදත් එක එල්ලේම කෙත් බිම් හෙක්ටයාර් 8900කට පමණ දියවර සපයන්නේය. ඊට අමතරව එය, වාරි ජලය ගලා බස්නා දීර්ඝ මාර්ගයක රැුඳවුම් ජලාශයක් හැටියට ද අදත් භාවිත කෙරෙන්නේය. ඊට යාබදව පිහිටි ගිරිතලේ වැව, කවුඩුලූ වැව සහ මහා ජලාශයක් වූ පරාක‍්‍රම සමුද්‍රය ද ජනශ‍්‍රැති ඔස්සේ දින හැරෙන අතීත සිදුවීම්වල පාත‍්‍ර වර්ගයෝ වෙති. වත්මන් මින්නේරි වැව, පුරාණයේ දී හඳුන්වා ඇත්තේ ‘මිණිහිරි වාපි’ යනුවෙනි.

අනුරාධපුරයේ සිට රජකම් කළ ද, මහසෙන් මහ රජ්ජුරුවෝ, නිතරම පාහේ රටවැසියන් කෙරෙහි උපන් ළෙන්ගතුකමින්  යුතුව විවිධ ප‍්‍රදේශවල සංචාරයෙහි යෙදුණහ. එහි එක් අරමුණක් වූයේ, රජු විසින් කර වන සංවර්ධන ව්‍යාපෘතීන් අධීක්‍ෂණය කිරීමයි. සංචාර සඳහා තම ඇමතිවරුන්ද එක්කර ගැනීම රජුගේ සිරිත වී තිබිණි. සංචාරය කරන ප‍්‍රදේශයේ යම් ස්ථානයක ‘ගමන් මාලිගාවක්’ (තාවකාලික ලැගුම් ගෙයක්) තනවා ගන්නා රජු එහි රැුඳෙමින් තම කටයුතු නිමකර ගැනීම සිරිතයි. මින්නේරි වැව ඉදි කරන්නට බලපෑ හේතු කාරණාව ගොඩනැගෙන්නේ ද රජු මින්නේරි අඩවිය ඉහත්තාවේ සුදු කන්ද ප‍්‍රදේශයේ ලැඟුම් ගෙන සිටියදීය.

එහිදී රජුට වැටහී ගියේ, ඇතැම් දිනයක තමන්ගේ ජනයාට ගෙන එන එළකිරි ඉතා මිහිරි රසයෙන් යුක්ත වන බවයි. ඊට හේතුව කෙසේ දැයි විමසූ කල එක්තරා වැස්සියකගෙන් දොවන කිරි වෙනස් රසයක් ගෙන දෙන බව සොයා ගත හැකි විය. රජුගේ විමසීම්වලට පිළිතුරු දුන් ගොපල්ලන් ප‍්‍රකාශ කළේ වැස්සිය උලා කන තණකොළ වර්ගයක ස්වභාවය අනුව එය සිදු විය හැකි බවයි. එහෙත් වනගත වන වැස්සිය තණ උලා කන පෙදෙස ගැන තොරතුරක් හෝ නොවීය.

ඒ ගැන කල්පනා කළ රජුගේ පිරිස කදිම උපක‍්‍රමයක් යෙදූහ. ඒ අනුව වැස්සියගේ පිටේ තල පිර වූ ගෝනියක් බැඳ, එහි කුඩා සිදුරක් සකසා, පිටත්කර යැවිණි. දැන් වැස්සිය ගමන් කරන මාර්ගයේ තල ඉහිරී යයි. ඊළඟට වට වැස්ස නිසා තල ඇට පැළ වී පෙනෙන්නට විය. ඒ ඔස්සේ ගමන් කළ රජු ඇතුළු පිරිසට වැස්සිය තෘණ උලා කන ඉසව්ව හමු විය. එය කුඩා දිය පාරක් ද ගලා බස්නා, ඉතා සරුසාර වන ගොමුවෙන් පිරි සිහිල් තැනිතලා පෙදෙසකි. එය දෙපැත්තේම කඳු වැටිය. භූමිය නිරීක්‍ෂණය කළ මහසෙන් රජුට වැටහී ගියේ, කඳු වැටි දෙක බැම්මකින් යා කළ හොත්, එහි කදිම වැවක් තැනිය හැකි බවයි. රජුත් සමග ගමනට එක් වූ ‘කලූ දෑ කඩ රාළ’ නම් ඇමතිවරයා ද යෝජනාව හොඳ එකක් බව කීවේය. එතැන වැවක් තැනීමට ඉතා සුදුසු බිමක් බව ඔහුගේ ද මතය විය. රජු වැව තැනීමට තීරණය කළේය.

එසේ වුවද වැව තැනීම ලෙහෙසි කටයුත්තක් වූයේ නැත. තෝරා ගත් භූමිය, යක්‍ෂ ගෝත‍්‍රික නායකයන් පිරිසකගේ නිජබිමක් වීම ඊට හේතුවයි. නිජබිම අරා සිටියෝ ‘කළුවා’, ‘කට්ටන් පට්ටිය’ සහ ‘කයිල වන්නියා’ යන සහෝදරයෙන් තිදෙනාය. (තවත් ජනප‍්‍රවාදයක සඳහන් වන්නේ ‘පත්තා’, ‘රන්දුන්නා’ සහ ‘බොකුටි’ යන නමින් ඔවුන් හඳුන්වන බවය. තමන් නිවසන ගම්බිම්, වැවක් ඉදි කරන්නට දිය නොහැකි බව ඔවුහු රජුට සැලකළහ.

එතැනින් නොනැවතී ඔවුහු රජු සමග බහින් බස් වූහ. එහිදී ගැටුමක් හටගත් අතර, කළුවා රජුට පහර දෙන්නට පැනීමේදී ගලක ගැටී, වැටී මරුමුවට පත් විය.

රජ්ජුරුවෝ මැදියම් රැයක, තනිවම ඔවුන්ගේ කඳවුරට ඇතුළු වී වැව තැනීම පිළිබඳ කතාබහකට මුලපුරන්නේ ඒ සිද්ධියෙන් පසුවය.

(මතු සම්බන්ධයි)

මිණිහිරි අන්දර-02

මිණිහිරි අන්දර-02


වැව තැනීමට රාජකීය ලේ ඇති කුමාර බිල්ලක්


රටේ සංවර්ධන කටයුතු නිරීක්‍ෂණය සඳහා මින්නේරි ඉසව්වේ සුදුකන්ද ප‍්‍රදේශයේ චාරිකා කරන මහසෙන් රජ්ජුරුවන්ට තෙත්, සිහිල් පරිසරයකින් යුත් තැනිතලා බිමක් හමුවෙයි. එය වැවක් තැනීමට සුදුසු බව රජුගේ අදහසයි. එහෙත් ඒ බිමේ වසන යක්‍ෂ ගෝත‍්‍රික පිරිසක් ඊට එරෙහිව රජු සමග ගැටුමකට යයි. ගැටුමේදී යක්‍ෂ ගෝත‍්‍රික නායකයෙක් මරුමුවට පත්වන අතර, ඉන් පසුව රජු කරන පැහැදිලි කිරීම් හමුවේ ඔවුහු රජුට තම භූමිය දීමට එකඟ වෙති. ‘මිණිහිරි අන්දරය’ සටහන් පෙළ ලියැවෙන්නේ මින්නේරි අඩවියේ එන ජනශ‍්‍රැති පදනම්කර ගනිමිනි.

(ක‍්‍රිෂ්ණා විජේබණ්ඩාර)
මින්නේරි අඩවියේ ජනශ‍්‍රැතිවල සඳහන් වන අන්දමට රජුට පහර දෙන්නට යද්දී ගලක හැපී මිය යන ‘කළුවා’, ඒ බිමේ වාසය කරන යක්‍ෂ ගෝත‍්‍රික නායකයෙකි. රටේ පාලනය මහසෙන් රජු යටතේ පැවතියද, ඔහුගේ සනුහරය ප‍්‍රත්‍යන්ත මින්නේරි භූමියේ ස්වාධීනව ජීවත් වන්නට ඇත. මහසෙන් යනු රට කරවන මහ රජු බව දැන දැනම, ඔවුන් රජුගේ යෝජනාවට විරුද්ධවී, ගැටුමකට පවා එළඹුණේ ඒ නිසා විය හැකිය. අනෙක රජ්ජුවෝද මැදියම් රැුයේ හුදෙකලාවම ඔවුන්ගේ ලැඟුම් පොළට ගොස්, භූමිය ගැනීමේ කටයුත්ත සාමකාමීව විසඳා ගන්නට උත්සාහ කරන්නට ඇත්තේ නිකම්ම නොවේ. රජු ද ඔවුන්ගේ ස්වාධීන දිවි පෙවෙතට ගරු කළ නිසා විය යුතුය. එසේ නැතිනම්, රජුට සිය බල පරාක‍්‍රමය යොදවා යක්‍ෂ ගෝත‍්‍රිකයන් මරා දමා මින්නේරි භූමිය අත්පත් කර ගන්නට ඉඩ තිබිණි.

රජු, යක්‍ෂ ගෝත‍්‍රිකයන් එකඟ කර ගැනීමෙන් පසුව වැව ඉදි කරන්නට යුහුසුළු වෙයි. ඉදිකිරීම් කටයුත්ත පැවරුණේ ඔහුගේ දෙටු ඇමතිවරයෙකු වන ‘කළු දෑකඩ රාළට’ ය. ඔහු වැව් ඉදිකිරීම පිළිබඳව හසල දැනුමක් ඇති කෙනෙකි. ඒ අතර මහසෙන් රජු තම පෞද්ගලික ජීවිතයේ යම් යම් කාරණා ද වැව වෙනුවෙන් කැප කරන්නේය.

මින්නේරියේ එක ජනශ‍්‍රැති මාලාවක එන හැටියට, රජු සමග ගැටෙන යක්‍ෂ ගෝත‍්‍රික නායකයන් වන්නේ ‘පත්තා’, ‘රන්දුනා’, සහ ‘බොකුටි’ ය. ඒ අනුව රජුට පහර දෙන්නට යද්දී ගලක හැපී මිය යන්නේ ‘රන්දුනා’ ය. ඔවුන් ආදීවාසී (වැදි) පිරිසක් බවද කියැවේ. කතා පුවත්වල හැටියට මහසෙන් රජ්ජුරුවන්ට බාල සොහොයුරියන් දෙදෙනෙකි. ඉන් එක් නැගණියක් ‘ටිකිරි මැණිකා’ ය. අනෙකා ‘බිසෝ මැණිකා’ය. වැව ඉදි කර, එම ප‍්‍රදේශයේ ගොවි බිම් සරුසාර කරවන්නට නම් යක්‍ෂ ගෝත‍්‍රිකයන්ගේ සහාය සහ මිත‍්‍රත්වය අවශ්‍ය බව රජුට පසක් වෙයි. ඒ අනුව රජු තම ටිකිරි මැණිකා නැගණිය ‘පත්තා’ නමැති යක්‍ෂ ගෝත‍්‍රික නායකයාට සරණ පාවා දෙන්නේය. මෙය ඇත්තටම යක්‍ෂ ගෝත‍්‍රික නායකයන් ඉතා ඉහළින්ම සතුටට පත්වන කාරණයකි. ඉන් ඔවුන්ට රජු සමග ලෙන්ගතු නෑ කමක් ද හට ගන්නේය. එය තමන් කරන්නට යන ඉදිරි සංවර්ධන වැඩවලට පහසුවක් බව මහසෙන් රජුට වැටහෙන්නට ඇත. මේ සඳහා ඔහු තම පවුල් කේන්ද්‍රයේ විශාල කොටසක් පරදුවට තබන්නට පසුබට නොවූ බව එයින් පෙනී යයි.

මින්නේරි වාපිය, මහ වැවකි. එබඳු වැවක් තැනීම සුළු පටු කටයුත්තක් නොවේ. එදා මහසෙන් රජු දවස දහස් ගණන් මිනිසුන් එහි පැමිණ සිය ශිල්ප ඥානයත්, ශ‍්‍රමයත් කැප කරන්නට ඇත. අද පවා ‘මින්නේරි වැව’ නමින් අපට දිස්වන්නේ, ඔවුන්ගේ අභිමානවත් කැපකිරීම්වල සහ වැගිරූ ශ‍්‍රමයේ අග‍්‍ර ඵලයයි.
වැව් බැඳවීම සහ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අපේ රටට ඇත්තේ විශිෂ්ට ඉතිහාසයකි. පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යන ආයතනයේ මහාචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක මහතා කළ පර්යේෂණ අනුව, අදින් වසර 14000කට පමණ ඉහත හෝර්ටන්තැන්නේ විසූ ප‍්‍රාග් ඓතිහාසික මනුෂ්‍යයන් ‘බාර්ලි’ සහ‘  ඕට්ස්’ යන ධාන්‍ය වර්ග වගා කර තිබේ. ඉනික්බිතිව අදින් වසර 7000කට පමණ ඉහත ඔවුන් ‘වල් වී’ වර්ග වගා කළ බවට සාධක ලැබී තිබේ. මේ වගාවන් හේන් ගොවිතැන බඳු ක‍්‍රමයකට කරන්නට ඇතැයි, රත්නසිරි පේ‍්‍රමතිලක සුරීහු අදහස් කරති.

වී වගාව සම්බන්ධයෙන් ලංකාවේ මෙතෙක් සොයා ගන්නා ලද පැරණිම විධිමත් සාධක සමූහය වාර්තා වන්නේ, ආචාර්ය සිරාන් දැරණියගල මහතා, 1969, 1984 සහ 1988 යන වර්ෂවල අනුරාධපුරයේ ඇතුළු පුරයේ කළ කැණීම්වලිනි. ඒ අනුව ක‍්‍රිස්තු පූර්ව 09 වන සියවසේදී (අදින් වසර 2900කට ඉහත), අනුරාධපුර හෙක්ටයාර් 10ක් පමණ විශාල භූමියක් සහිත නගරයකි. එහි විසූවෝ වී සහ ධාන්‍ය ගොවිතැන, එළහරකුන් සහ අශ්වයන් ඇති කිරීම, යකඩ භාවිතය සහ මැටි බඳුන් භාවිතය යන දියුණු සමාජ  ලක්‍ෂණ සහිතව ජීවත් වූ බව පර්යේෂණයෙන් හෙළිවිණි. මේ කාලවකවානුව වන විට ලංකාවේ ‘ගල් යුගය’ අවසන්ව තිබුණු අතර ‘සර්ව ඓතිහාසික යකඩ යුගය’ එළඹී තිබිණි. එය ලංකාවට ගලා ආවේ ඉන්දියාවෙනි.

‘ඔය කාලය වෙන කොට වී ගොවිතැන කළා කියන්නේ, අනිවාර්්‍යයෙන්ම කිසියම් වාරි තාක්‍ෂණයක් තියෙන්න ඇති. මොකද ලංකාව ඊසාන දිග සහ නිරිත දිග මෝසම් දෙකින් වර්ෂාව ලැබෙන රටක්. අනෙකි වී වගා  කරන්න නම් වියළි කාලයට ජලය රඳවා ගන්න වෙනවා. ඒ නිසා කුඩා වැව් තියෙන්න ඇති. ඇළ මාර්ගත් කියෙන්න ඇති. අපට තිස්සමහාරාමයේ කළ කැණීමකදී ක‍්‍රිස්ත පූර්ව 04 වැනි සියවසට අයත්, වී පිරවූ මුට්ටියක් ලැබුණා. ඒ කියන්නේ රටේ ඉතා සරුසාර වී ගොවිතැන් කෙරුණු බවයි. ඇත්තටම, ගල් යුගය අවසන් වෙලා ලංකාව පූර්ව ඓතිහාසික යකඩ යුගයට එළඹීමත් එක්ක, වී ගොවිතැන සඳහා වාරි තාක්‍ෂණ ක‍්‍රමවේදයක් පැවති බව හිතන්න වෙනවා. එසේ කියන්නේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යන ආයතනයේ ආචාර්ය නිමල් පෙරේරා මහතාය.

මහා වංශය පවසන අන්දමට ලංකාවේ හැදූ මුල්ම වැව, අනුරාධපුරයේ දකුණු දෙසින් පිහිටි ‘බසවක්කුලම’ (අභය වැව) යි. ක‍්‍රි.පූ. 06 වැනි සියවසේදී විජය කුමාරයා සමග ලංකාවට පැමිණි ‘අනුරාධ’ නම් කුමාරයා අනුරාධපුර ජනාවාස බිහි කළ බවත් ඉන් පසුව පණ්ඩුකාභය රජු බසවක්කුලම වැව ඉදි කළ බවත්, මහාවංශයෙහි සඳහන් වේ. කෙසේ වෙතත්, විජය කුමාරයා මෙහි එන්නට පෙර අපේ රටේ පැවති වී වගා සමෘද්ධිය ගැන මහාවංශය කිසිත් නොකියයි. එහෙත් ඒ කාලයේ වී ගොවිතැන හා බැඳුණු වාරි ජල ශිෂ්ටාචාරයක් පැවති බවට, මෑත කාලයේ කෙරුණු පුරාවිද්‍යා පර්යේෂණ අපට ඉඟි කරයි. රට බතින් පෝෂණය කිරීමේ සංකල්පය එකළ ද තිබෙන්න ඇත.

ක‍්‍රි.පූ. 01 වැනි සියවස වන විට ලංකාවේ වාරි ශිෂ්ටාචාරයෙහි පොදු ලක්‍ෂණයක් විය. ඒ වී ගොවිතැන් කිරීම සඳහා ගමක් පාසා ‘කුඩා වැව්’ ඉදි කර තිබීමයි. ඒවා ජලය රඳවා ගැනීම පිණිස ගම් මට්ටමෙන් කළ කුඩා වැව්ය. ඉන් පසුව ක‍්‍රිස්තු වර්ෂ 02 වැනි සියවසේ දී රජ කළ වසභ (ක‍්‍රි.ව. 67 -111) රජ්ජුරුවෝ ඒ තත්ත්වය වෙනස් කළහ. ග‍්‍රාමීය වැව්, ‘මහා වැව්’ බවට පත් කිරීම ඔහු කළ කාර්යභාරයයි. ඒ සමගම මහා ඇළ මාර්ග ද ඉදිවිණි. කොටින්ම ලංකාවේ වාරි ඉතිහාසයෙහි විශාල වැව් තැනවීමේ වැඩපිළිවෙළ ඇරඹුණේ වසභ රජුගෙනි. මහාවංශය කියන හැටියට, මහවිලච්චිය වැව, මානම්පිටියේ නොච්චිපතාන වැව ඇතුළු විශාල වැව් 12ක් ද, ඇලහැර යෝධ ඇළ (අලිසාර ඇළ)ද ඉදිකර ඇත්තේ ඔහුගේ මෙහෙයවීමෙනි.

ඉන් පසුව රජ පැමිණි මහසෙන් රජ්ජුරුවෝ (ක‍්‍රි.ව. 274 - 301) සිය විස් පස් අවුරුදු රාජ්‍ය පාලන කාලය තුළ මහා වැව් 16ක්ද, අන්තර් දෝණි ඇළ මාර්ග රැුසක් ද තනවමින් මහා පෙරළියක් කළහ. ඔහු මින්නේරි වැව බිහි කරන්නේ ද එම පෙරළියෙහි එක් අවස්ථාවක ය.

මින්නේරි වැව ඉදිකිරීම, වසර ගණනක් තිස්සේ කෙරුණු කටයුත්තකි. රජුගේ නියමයෙන් වැව තැනවීම භාර ගත්තද, එය කළු දෑකඩ රාළට විශාල අභියෝගයක් විය. වැව් බැම්ම ඉදි කිරීම ඉතා අසීරු වූයේය. එය කොතෙක් සවිමත්ව ඉදි කළ ද, වර්ෂාවට හසුව කොතැනකින් හෝ බිඳී යාම, ඊට හේතුවයි. එය මහසෙන් රජ්ජුරුවන්ටද මහත් ගැටලූවක් විය.

එක් ජන ප‍්‍රවාදයකට අනුව, මේ ගැන කල්පාන කරමින් නින්දට යන රජුට,  යම් සිහිනයක් පෙනෙයි. ඒ, තමන් ඝාතනය කරන්නට පනිද්දී ගලක වැදී මිය ගිය ‘කළුවා’ නමැති යක්‍ෂ ගෝත‍්‍රික නායකයා. ‘වැව හදන්ඩ නම් රාජකීය ලේ ඇති කුමාර බිල්ලක්  ඕනෑ’, කළුවා රජුට සිහිනෙන් කියන්නේය. එයින්ම අවදිවන රජු මහත් කැළඹීමකට පත් වන්නේය.

තවත් ජනප‍්‍රවාදයකට අනුව, වැව් බැම්ම කොතෙක් හැදුවත් බිඳී යාම ගැන රජු, රාජකීය නක්ෂත‍්‍රකරුවන් විමසයි. එවිට ඔවුන් කියන්නේ, රජු හා ගැටුමේදී මියගිය යක්‍ෂ ගෝත‍්‍රික නායකයා අමනුෂ්‍ය යකෙකුවී, වැව් බැම්ම බැඳවීමට බාධා කරන බවය. ඉන් මිදීමට නම් රාජකීය ලේ සහිත කුමාර බිල්ලක් දිය යුතු බවද ඔවුහු රජු කීහ.

මේ කාරණයත් සමග රජු මෙන්ම කළුදෑකඩ රාළ ද ඇමතිවරුද, මහත් කලබලයට පත් වන්නට ඇත. රජ මාලිගය ද කීරි ගැසෙන්නට ඇත.

රජුගේ අදහස වූයේ රාජකීය බිල්ලක් පූදා හෝ මින්නේරි වැව තැනිය යුතු බවයි. රජුගේ තීන්දුවට එරෙහිව මුලින්ම අවි අමෝරා ගත්තේ අග බිසවය. ‘මගේ ළමයා බිළි දෙන්න බෑ’,  ඕ මහත් කෝපයෙන් දැවෙමින් රජුගේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළාය.

‘මගේ දරුවා දෙන්නත් බෑ’, ‘පත්තා’ සමග සරණ ගොස් ‘ගල්ලිඳ’ ප‍්‍රදේශයේ පදිංචිව සිටි රජුගේ නැගණි ටිකිරි මැණිකා ද තර්ජනාංගුලිය එසවූවාය. රජ කුමරෙක් බිළිදීමට එරෙහිව කෝපය පළ කළාය.

රජු බෙහෙවින් අසරණ විය.

ඊළඟට ඉතිරි වූයේ අනෙක් නැගණිය වූ බිසෝ මැණිකාය. ජන කතාවල එන හැටියට, ඇය තම එකම පුත් කුමරා වැවට බිළි දෙන්නට එකඟ වන්නීය.

රජ වාසල ශෝකයෙන්ද, කෝපයෙන්ද, භීතියෙන්ද තැති ගත්තාට සැක නැත.
(මතු සම්බන්ධයිි) 

Saturday, October 11, 2014

ඊයියා-ගෝනුස්සෝ!


                                         පේ‍්‍රමණීය ගෝනුස්සෝ

 



(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)


‘ඊයියා!’ ඒ, ගැහැණු ළමයින් ‘ගෝනුස්සන්ට’ කියන තවත් නමකැයි මම ඔබට නො කියමි. එසේ වුව ද, ගෝනුස්සන් යයි කී පමණින්ම  ඕනෑම කෙනෙකුට, නිරායාසයෙන්ම මතුවන ‘භීතිය’ හා ‘පිළිකුල’ ද සමග ‘ඊයියා’ යන තිගැස්සුම් වචනය ද සිහියට නැගෙනු ඇත්තේ ය.

නම කී පමණින්ම මිනිසුන් භීතියට සහ පිළිකුලට පත් වුව ද, ලංකාවේ වෙසෙන ගෝනුස්සන් බොහොම අහිංසකයන් ය. උන් කෘමි භක්ෂක, විලෝපික සත්ත්ව කොට්ඨාශයක් බව ඇත්ත ය. තමන්ට හිංසාවක්  හට ගත හොත් මිස, උන් මනුෂ්‍යයන්ට හිතාමතා පහර නො දෙති. අනෙක, ගෘහ ජීවිතයේ දී උන් ඉතා පේ‍්‍රමණීය ආදරවන්තයන් ය. එනම්, තමන් තෝරා ගත් සහකාරිය සමග මෘදු ලෙස පේ‍්‍රමාලිංගනයෙහි වෙළෙමින් සිය වර්ගයා බෝ කිරීමේ කටයුත්තේ යෙදෙන්නන් ය.

ගෝනුස්සන් සිය ප‍්‍රජනන කටයුතුවල යෙදෙන්නේ වර්ෂා සමයට ය. ඒ කාලයට පරිණත වුණු පිරිමි ගෝනුස්සෝ (යව්වනයෝ), නොයෙක් රැඟුම්-නැටුම් ඉදිරිපත් කරමින් හැසිරෙති. අඬු-පඬු දිග හැර ගෙන, නොයෙක් විලාශ මවමින් නටති. උන් එසේ රඟන්නේ සහකාරියන් ආකර්ෂණයකර ගැනීම සඳහා ය. රැඟුම් සංදර්ශනය කෙළවර බොහොමයක් යොවුන් ගෝනුස්සන්ට සහකාරියන් ලැබේ. එහි දී ඉදිරි අඬුවලින් තම පෙම්වතියගේ සිරුර අල්ලා ගන්නා පිරිමි සත්තු, ඇය බොහොම ප‍්‍රවේශමෙන් සුදුසු පරිසරයක් සහිත ස්ථානයකට කැඳවා ගෙන යති’. මේ ආදර චාරිකාව ඇතැම් විට මීටර් 100ක් හෝ 1000ක් වුව දිගු විය හැකි ය. ඉනික්බිති උන් ලිංගිකව හැසිරෙති. සාමාන්‍යයෙන් ගෝනුස්සන්ගේ ප‍්‍රජනක අවයව පිහිටන්නේ, උන්ගේ පපු පෙදෙසෙහි ය. පිරිමි සතා විසින් මෝචනය කරන ශුක‍්‍රාණු, ගැහැණු සතා විසින් තම ලිංගේන්ද්‍රියෙහි තවරා ගැනීම, සංසර්ගීය කටයුත්තයි.

ගෝනුස්සන් පිළිබඳව මේ අපූර්ව තොරතුරු අසන්නට ලැබුණේ, පසුගිය දා අපට මුණගැසුණු තරුණ ගෝනුසු පර්යේෂකයෙකු සමග කළ කතාබහේ දී ය. පර්යේෂකයා නමින්, කිත්මිණි ඖචිත්‍ය වික‍්‍රමාරච්චි (24) මහතා ය. කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරමින් සිටින හෙතෙම, කුඩා කාලයේ පටන්ම සතුන් ගැන උනන්දු වූවෙකි. වර්තමානයේ ඔහුගේ පර්යේෂණ විෂය ක්ෂේත‍්‍රය ‘ගෝනුස්සන්’ ය.

‘මගේ පියා (ජයන්ත් ස්වර්ණසිරි වික‍්‍රමාරච්චි) රැකියාව කළේ මහවැලි ව්‍යාපාරයේ. තාත්තා සත්්ත්ව ලෝලියෙක්. අපි කුඩා කාලයේ ගෙදර සත්තු ඇති කළා. අපේ අම්මා ද ඒවාට දිරි දුන්නා. අපේ නිවස පිහිටලා තිබුණේ පැපිලියානේ, බෙල්ලන්විල පැත්තට සමීපවයි. ඒ හරියේ වෙල් යාය. කුඩා කාලයේ තාත්තත් එක්ක එතෙන්ට එන කුරුල්ලන් නරඹනවා. මම මුල් කාලේ උනන්දු වුණේ උරගයන් සහ උභය ජීවීන් සම්බන්ධවයි. පසුකාලීනව ගෝනුස්සන් ගැන අධ්‍යනය කරන්න පෙළඹුණා’, කිත්මිණි කියන්නේ ය.

කිත්මිණි අකුරු කළේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයෙනි. ඉන් පසුව නාවල විවෘත විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරන හෙතෙම, සතුන් පිළිබ`ද පර්යේෂණ කරන්නට උනන්දු වන්නේ ය. ඒ ස`දහා දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයට සම්බන්ධ ‘තරුණ සත්වවේදීන්ගේ සංගමයේ’ ගුරුහරුකම් ද ඔහුට ලැබේ. අනතුරුව ඔහු පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරීම පිණිස කොළඹ විශ්වවිද්‍යාලයට පිවිසෙයි.

සත්ත්ව විද්‍යාත්මකව ‘ඇනිමාලියා’  සත්ත්ව කාණ්ඩයට අයත් ගෝනුස්සන්, ‘ආත්‍රොපොඩා’ වංශිකයන්    හෙවත් ‘ඛණ්ඩිපාදිකයන්’ වෙති. සත්ත්ව විද්‍යාත්මකව උන් 'Scorpionidae’ යනුවෙන් නාමකරණය කොට තිබේ. සරලව ගත් විට, ගෝනුස්සන් වූකලී තම වර්ගයා පවා කා දමන විලෝපික සත්ත්ව කොට්ඨාශයකි. එදිනෙදා ජීවිතයේ දී කෘමි භක්ෂකයන් වන උන්, කසල ශෝධක සතුන් ලෙස ද ගණන් ගැනෙති. දැනට හඳුනා ගෙන ඇති ආකාරයට, ලොව පුරා ගෝනුසු විශේෂ 1750ක් පමණ සිටින බව ‘විකිපීඩියා’ අන්තර්ජාල විශ්ව කෝෂය සඳහන් කරයි. ශ‍්‍රී ලංකාවෙන් ද මේ වන විට ගෝනුසු විශේෂ 19ක් හඳුනා ගෙන තිබේ. අඟල් 07ක් පමණ දිගට වැඩෙන ‘කලූ ගෝනුස්සා’, නිල් පැහැයෙන් දිස්වන ‘කැලෑ ගෝනුස්සා’, මෙන්ම ‘කිරි ගෝනුස්සන්’ නමින් ප‍්‍රකට සුදු පැහැති ගෝනුස්සන් ද ඊට අයත් වෙති. රාත‍්‍රී කාලයට එළි බසින ගෝනුස්සන්, ජන සමාජය තුළ ප‍්‍රකටව සිටින්නේ විෂ සහිත කරදරකාරයන් වශයෙනි.

කොයි හැටි වෙතත්, ලංකාවේ වෙසෙන ගෝනුස්සන්ගේ දිවි පෙවෙත තවම මහත් අබිරහසකි. උන් පිළිබඳව අද වන තුරුත් ප‍්‍රමාණවත් තරම් පර්යේෂණකර නො තිබීම, ඊට හේතුවයි. කිත්මිණි ඒ කාරණය පැහැදිලි කරන්නේ මෙසේ ය.

‘බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ ඉන්දියාවේ පළවූ පොතක, ලංකාවේ ගෝනුස්සන් පිළිබ`දව යම් යම් තොරතුරු පළ වී තියෙනවා. එයින් පස්සේ කිසිදු ආයතනයකින් ලංකාවේ ගෝනුස්සන් පිළිබ`දව පර්යේෂණ කරලා නෑ. 1989 වසරේ ප‍්‍රංශ විද්‍යාඥයෙක් යම් අධ්‍යනයක් කරල තියෙනවා. එහි වාර්තාව පවා පළවූයේ ප‍්‍රංශ බසිනුයි. ඉන් පසුව, මහාචාර්ය කිත්සිරි බී. රණවන, ආචාර්ය නන්දන පී. දිනමිත‍්‍රා, වෛද්‍ය සිවපාලන් සිවන්සුදන්, ඉරෝනි අයි. නාගසේන, ප‍්‍රැන්ටිලෙක් කොවැරික්, සහ මහාචාර්ය සෑම් කුලරත්න යන විද්වත් පර්යේෂක පිරිසක් 2013 වසරෙදි මාරාන්තික ‘රතු ගෝනුස්සා’  මරණීය විෂ සහිත බව සොයා ගත්තා. ඌ ඉන්දියාවෙන් ලංකාවට ව්‍යාප්තවුණු බව සැලකෙනවා. උන් හමු වූයේ යාපනය ප‍්‍රදේශයෙන්. ඒ හැරෙන්නට අප දන්නා තරමින් වෙනත් පර්යේෂණ කෙරිලා නෑ. ඒක නිසා ගෝනුස්සන් ගැන තියෙන්නේ අල්ප අවබෝධයක්’, කිත්මිණි කියයි.

කිත්මිණිට සිය ගවේෂණ සඳහා, සුප‍්‍රකට සත්ත්ව පර්යේෂකයන් දෙපළකගේ මග පෙන්වීම් ලැබේ.  ඉන් එක් අයෙකු වන්නේ එල්. ජේ. මෙන්ඩිස් වික‍්‍රමසිංහ මහතා ය. ‘සත්ත්ව ලෝකයේ හැඩතල පිළිබඳව හැමෝම කරන දේවල් කරලා වැඩක් නෑ. මෙතෙක් කවුරුවත් අත නො ගහපු ක්ෂ්ත‍්‍රයකට උනන්දු වන්න’, ඔහු කිත්මිණට උපදෙස් දුන්නේ ය. ඒ සමගම, පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම් ද ඔහුට ලැබිණි. ‘තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය’ කිත්මිණිගේ දැනුම මුවහත් කළේ ය. ‘එතැනින් පස්සෙ තමයි මම 2010 වසරෙදි ගෝනුස්සන් ගැන හදාරන්න පෙළඹුණේ‘, කිත්මිණි තමන් පියමං කළ මාවත් අරභයා අතීතාවර්ජනයක යෙදෙන්නේ එලෙසිනි.

කිත්මිණිගේ ගවේෂණ අත්දැකීම් අනුව, ගෝනුස්සන්ගේ ජීවන චර්යාවන් බොහොම අපූරු ය. වර්ෂාව උන් අකමැති දෙයකි. ඒ තම ‘ගුල්’ (වාසස්ථාන) තෙමෙන නිසා ය. වැසි සමයට ගෘහස්ත පරිසරයෙහි සරන නොයෙක් ගෝනුස්සන් ඔබ ද දැක ඇතුවාට සැක නැත. උන් එසේ ඇවිදින්නේ තම ගුල් තෙමී ගිය බැවිනි. බොහොමයක් ගෝනුසු විශේෂ පසෙහිම සිය ලැගුම් ගුල් සාදා ගනිති. සත්ත්ව විද්‍යාවේ දී ඒවා ‘පාංශුමය ගුල්’ නමින් ව්‍යවහාර වේ. ගෝනුස්සන් කෘමි භක්ෂකයන් ය. එහෙත් ඇතැම් ගෝනුස්සන් ඉතා දිගු කාලයක් නිරාහාරව සිටීමේ සමතුන් වෙති. සමහරු මාසයක් තරම් නිරාහාරව සිටිති. ඒ කාලයට උන් ආහාරයට ගන්නේ, තම ගුල ඉදිරිපිටට හසුවන කෘමියෙක් පමණි. නිරාහාරව වුව අතිශයින්ම නිසොල්මනේ සිටීමට උන් බොහොම කැමති ය.

පොදුවේ ගත්කල, ජන සමාජය ගෝනුස්සන් පිළිබ`දව දක්වන්නේ පිළිකුල මුසු භීතියකි. උන්ගේ දෂ්ඨන විෂ සහිතවීම ඊට හේතුවයි. කිත්මිණි කියන හැටියට, 2013 දී යාපනයෙන් හමුවූ රතු ගෝනුස්සා හැරුණු විට, අනෙක් ගෝනුස්සන් මාරාන්තික විෂ සහිත වූවන් නොවේ. යමෙකුට දෂ්ඨ කළ හොත්, උන්ගේ විෂ මැකීමට ගමේ අත්බේත් වූව ප‍්‍රමාණවත් ය.

සිය වාසය පිණිස අ`දුරු ස්ථාන තෝරා ගන්නා ගෝනුස්සන්, වනගතව මෙන්ම ගෘහස්ථ පරිසරයේ ද කොතෙකුත් හමු වේ. නාගරික පරිසරයේ ද උන් අපූරුවට ජීවත් වෙති. ලොව ඇතැම් රටවල උන් සුරතල් සතුන් ලෙස හදා වඩා ගනු ලැබේ. ලංකාවේ තවම එවන් සුරතලයක් දකින්නට නැත.

ආහාර පිණිස ගොදුරු අල්ලා ගැනීමේ දී ගෝනුස්සන් මුලින්ම භාවිත කරන්නේ, ඉදිරිපස ඇති විශාල ‘ඩැහි අඬු’ යුගලයයි. ඒවා ඉතා ශක්තිමත් ය. අල්ලා ගත් ගොදුර අඩපණ කිරීම ස`දහා වලිගය කෙළවර ඇති විෂ පිරි විත (දළය) යොදා ගනියි. වල්ගය හිසට ඉහළින් මෙහෙයවා ගොදුරට දෂ්ඨ කිරීම උන්ගේ සිරිතයි.

ගෝනුසු අම්මලා පැටවුන් රකින්නේ, උන් සිය පිට මත රඳවා ගනිමිනි. එහි දී ශක්තිවන්ත පැටවුන්, දුබල පැටවුන් කා දමමින් වැඩෙති. අවසන ඉතිරි වන්නේ සවිමත් සිරුරු සහිත, පරිසරයට ඔරොත්තු දිය හැකි සතුන් කිහිප දෙනෙක් පමණි.

ගෝනුස්සන් අපේ රටේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ රැකවරණ ලබන්නෝ ය. එහෙත් මිනිසුන් විසින්ම බිය නිසා උන් තලා මරා දමති! කෙසේ වෙතත් ගෝනුස්සන් නම් කිසිදාක බියෙන් පලා යන්නේ නැත. යම් සතුරු කරදරයක දී උන් නො බියව ඊට මුහුණ දෙති. අනතුරක් දැනුණු විගසම උන්, ඉදිරි ඩැහි අඬු යුගල පුප්පා, වලග ඔසවා, හිටි තැනම නතර වෙයි. ඒ සතුරු ප‍්‍රහාරයට මුහුණ දීම සඳහා ය. පලා යාම උන්ගේ සිරිත නො වේ. හිටි තැනම නතරවී අඬු අමෝරා ගැනීම සතුරාට කරන අභියෝගයකි.

‘උන් හරි මෝඩයි. පාරවල්වල වාහන එන කොටත් උන් එහෙම හැසිරෙනවා. අන්තිමට මැරෙනවා’ කිත්මිණි තම නිරීක්ෂණ ඇසුරෙන් කියන්නේ ය.

(විශේෂ ස්තුතිය පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතාට)

2014/07/01.

Sunday, October 5, 2014

වෑල්ඩින් වෙදකම පිලිබඳව මාධ්‍යවේදියෙකුගේ සජීවී අත්දැකීම


              


                      වෑල්ඩින් වෙද මහත්තයා හමුවී
          අතේ මැණික් කටු සන්ධිය පාස්සවා ගතිමි !


(කි‍්‍රෂ්ණ විජේබණ්ඩාර) 


වියළි සුළඟින් සපිරි රාත‍්‍රිය, සොරෙකු මෙන් එහි පශ්චිම යාමයට එළඹෙයි. වේලාව අලූයම 2.30 කණිසමට එබිකම් කරන බව, අත්බැඳි ඔරලෝසුවල හෝ මහේශාක්‍ය ජංගම දුරකථනවල සටහන් වෙමින් තිබේ. මරදන්කඩවලට නුදුරු දම්පැලැස්ස ගම, ‘‘වෑල්ඩින් වෙදගෙදර’’ ආශ‍්‍රිත පරිසරය කෙමෙන් නිදිගැට හැර පියා අවදි වෙන්නට පටන් ගනී.
 

මරදන්කඩවල නගරය දෙසින් එක පිම්මේ පැමිණි වෑන්රියකින් බැසගත් දෙතුන් දෙනෙක්, වෙදගෙදර ඉදිරිපිට, පාරෙන් අනෙක් පැත්තේ ඇති කඩ මැස්ස වෙත දිව එති.
‘‘ඔය ගොල්ලොද එකට ආවේ ? ඔය කට්ටිය එන කොට තව කවුරුවත් හිටියෙ නැද්ද ?’’ ඔවුහු කඩ මැස්ස මත ගුලිවී නිදාසිටින කිහිප දෙනා ගෙන් විමසති !
 

‘‘අපි එන කොට ? 12.00යි. එතකොට මෙතන හිටියේ මේ අක්කලා දෙන්නා විතරයි’’, අවදිවූවෙක් කියයි. ඔවුන් බද්දේගම හල්පාතොට සිට පැමිණි පිරිසකි.
 

‘‘අපි එනකොටත් කට්ටියක් ඇවිත්. ඒ අය මේ ඉස්සරහා ගෙදර කාමරේක නවාතැන් අරගෙන ඉන්නවා. ඒ ගොල්ලෝ එක. අපි දෙක. මේ මහත්තයලා තුන’’, නිදාගෙන සිටි අක්කලා ගෙන් කෙනෙක් පැහැදිලි කරයි.
‘‘එහෙනම් අපි හතර’’, වෑන් රථයෙහි පැමිණි අය මහත් පී‍්‍රතියෙන් තෙපළති !
 

‘‘මචං, මීට කලින් ආපු දෙවතාවේදීම හම්බවුණේ විස්සෙනුත් එහා නොම්මර. මෙදා පාර පාන්දරින්ම ආපු හින්දා හතර හම්බවුණා’’, වෑන් රථයේ පැමිණි අයෙක් ඔවුන්ගේ සගයෙකුට පැහැදිලි කළේය.
 

ඒ සමගම තී‍්‍ර රෝද රථ දෙකක්ම පැමිණියහ. ‘‘දැන් මෙතන හතර ගොල්ලක් ඉන්නවා. ඔය කට්ටිය පහ හය. පාන්දර තුන වෙන විට නම් ලියා ගන්න කෙනෙක් එනවා. එතකොට අපි ඔය පිළිවෙළට ලියන්ඩ  ඕනෑ’’, වෑන් රියේ තරුණයා අලූතෙන් පැමිණි අයට කීවේය. ඔහු පැමිණ ඇත්තේ හලාවත සිටය.
 

අලූයම ගලා එත්ම වෙද ගෙදර අසල ක‍්‍රමයෙන් මහත් කලබලකාරි ගතියකට හැරෙයි. වෑන් රථ, තී‍්‍රරෝද රථ, මෝටර් රථ සහ යතුරුපැදි විශාල සංඛ්‍යාවක් එහි පැමිණ හමාරය. පැමිණෙන අය, කිසිදු තරාතිරම් භේදයකින් තොරව, පැමිණි පැමිණි පිළිවෙළට නොම්මර ලියවා ගනිති.
 

අලූයම තුනහමාර වන විට ෆයිල් කවරයක් අතින් ගත් තැනැත්තෙක් ගෙවල් මණ්ඩිය අතරින් මතුවෙයි. හෙතෙම වෙදගෙදර නියෝජිතයෙකි. රාත‍්‍රියේ සිට පැමිණි පිළිවෙළට, රෝගීන්ගේ නම් අංක එකේ සිට සටහන් කර ගැනීම ඔහුට පැවරී ඇති කාරියයි.
‘‘කවුද ඉස්සෙල්ලාම මෙතෙන්ට ආවේ ?’’, ඒ ඔහු පිරිසෙන් ඇසූ පළමු ප‍්‍රශ්නයයි.
‘‘අපි තමයි ? 12.00ට විතර ආවේ. ඒ එන කොට මේ කට්ටිය ඇවිත් අර ගෙදර නැවතිලා හිටියා !. ඒ ගොල්ලෝ එක. අපි දෙක. මේ මහත්තයලා තුන. ඊටත් පස්සේ අර වෑන් එකේ අය ආවේ ?, කඩමැස්සේ හිඳගෙන සිටි කාන්තාවක් කියා ගෙන ගියාය.
 

‘‘නෑ, නෑ, අපි තමයි ඉස්සෙල්ලාම ආවේ. අපි ආවේ හවස. අපි අර එහා ගෙදර නැවතිලා හිටියේ. දැන් තමයි මෙතෙන්ට ආවේ, තවත් කාන්තාවන් දෙදෙනෙක් කෑ ගැසූහ.
‘‘ගෙවල්වල හිටියට කවුරුත් දන්නේ නෑනේ. එක්කෙනෙක් හරි මෙතෙන්ට ඇවිල්ලා පෝළිමේ ඉන්න තිබුණනේ ’’, කඩ මැස්සේ සිටි කාන්තාවෝ පිළිතුරු දුන්හ.
 

කෙසේ හෝ තර්ක විතර්ක මධ්‍යයේ, ඉස්සරහ ගෙදර නැවතී සිටි රෝගින්ට අංක එකත්, කඩ මැස්සේ සිටි අයට දෙක සහ තුනත්, වෑන් රියේ පැමිණි අයට අංක හතරත්, සවස පැමිණ අසල නිවසක සිටි කාන්තාවන්ට අංක පහත්, සෙසු අයට පැමිණි පිළිවෙළ අනුවත් නොම්මර ලැබිණි. වෙදගෙදර නියෝජිතයා රෝගීන්ගේ නම් සටහන් කරන්නට පෙර, රෝගියා කවුරුදැයි විමසා බැලීමටද අමතක නොකළේය. ඒ වන විටත්, රෝගීන් තිස් ගණනකගේ නම් ලියැවී තිබිණි. ‘සමහරු මෙතන ඇවිත් මුල් නොම්මර අරන්, උදේට රුපියල් 1000ට විකුණනවා. මේ තරම් හොයලා බලලා ලියන්නේ ඒකයි, වෙදගෙදර නියෝජිතයා සමඟ පැමිණ සිටියෙක් පැවසීය.
 

පැමිණෙන පිරිස ටිකෙන් ටික ඉහළ යයි. ඒ සමඟම වෙද ගෙදර ඉදිරිපිට ගාලගෝට්ටියද වැඩිවේ.
‘මේ ඔය කට්ටිය ඔතන කෑ ගහන්ඩ එපා. වෙද මහත්තයාට ඇහැරුණොත් සේරමලා එළවලා දමයි’’, නම් ලියමින් සිටි නියෝජිතයා උස් හඬින් කීය. ඉන් පිරිස මදක් සිය ඝෝෂාව අඩු කළෝය.
 

‘මේ ළඟදී දවසක් ඔතන කට්ටියක් කෑගහලා, වෙද මහත්තයාගෙන් බැණුම් ඇහුවා. එළවලා දැම්මා. ඇයි අපි කොළඹ. අපිව එළවන්නේ කොහොමද කියලා ඒ අය තර්ක කළා. ඒ අයට නොම්මර දුන්නේ නෑ. පස්සේ දවල්වෙලා තමයි බේත් දුන්නේ ?, වෙදගෙදර ඉදිරිපිට කඩයක් අරිමින් සිටි කෙනෙක් කීවේය.
 

මේ මහා ගාලගෝට්ටිය, මහා සූදානම වෙනකකට නොව, ආයුර්වේද කැඩුම් බිඳුම් වෛද්‍යාචාර්ය විශේෂඥ ‘‘වෑල්ඩින් වෙදමහත්තයා’’ ගෙන් ප‍්‍රතිකාර ගනු පිණිසය. තවම අලූයම පහේ කණිසම හෝ එළඹ නැත. එහෙත් ඔහුගේ නිවස (වෙද ගෙදර) ඉදිරිපිටට, මැදියම් රැයේ පටන්ම ලංකාවේ විවිධ පළාත්වලින් පැමිණි රෝගීහු පිරෙති. මුල නොම්මරයක් ගන්නට දහිරිය දමති.
 

වෑල්ඩින් වෙද මහත්තයාගේ නිවස පිහිටා තිබෙන්නේ, අනුරාධපුරයට නුදුරු, මරදන්කඩවල ‘‘දම්පැලැස්සාගම’’ය. එය රාතී‍්‍ර කාලයට වන අලි පවා ගැවසෙන ගමකි. මරදන්කඩවල සිට දම්පැලැස්සාගම හරහා වැටී ඇති අතුරුපාරේ කිලෝමීටර් දෙකහමාරක් තුනක් පමණ ගමන් කළ විට, දම්පැලැස්සාගම දී වෙද ගෙදර හමුවේ. එහිදී කෙරෙන්නේ, ශරීරයේ බිඳුණු හෝ පිිපිරුණු අස්ථි හෝ සන්ධි නිසා රෝගීවූ අයට ප‍්‍රතිකාර කිරීමයි. අස්ථි බිඳීම්, පැනීම් සහ පිපිරීම් බොහොමයක් එක් දිනකින් හෝ ඉතා කෙටි කාලයකින් සුව කරන බැවින් දම්පැලැස්සාගම වෙදකම රට පුරා ප‍්‍රකටව තිබෙනුයේ ‘‘වෑල්ඩින් වෙදකම’’ නමිනි. එහි වෙදැදුරන් ප‍්‍රචලිතව සිටින්නේද ‘‘වෑල්ඩින් වෙදුන්’’ නමිනි. වත්මනෙහි වෑල්ඩින් වෙද මහතා නමින් ප‍්‍රකටව සිටින්නේ, ආයුර්වේද කැඩුම් බිඳුම් වෛද්‍යාචාර්ය, විශේෂඥ සීම්බුරාළගේ මුදලිහාමි මුතුබණ්ඩා (82) වෙදැදුරාණන්ය.
 

 
සිම්බුරාළගේ මුදලිහාමි මුතුබණ්ඩා මහතා
දම්පැලැස්සාගම වෑල්ඩින් වෙදකම පාරම්පාරික ආයුර්වේද වෛද්‍ය කි‍්‍රයාවලියකි. හෙළිදරව්වී ඇති තොරතුරු අනුව එහි මෑත භාගයේ පුරෝගාමියා ඞී. එම්. සීම්බුරාළගේ මුදලිහාමි වෙදමහතාය. හෙතෙම, වත්මන් ‘‘ලොකු වෙද මහත්තයා’’ වන සිම්බුරාළගේ මුදලිහාමි මුතුබණ්ඩා මහතාගේ පියාණන්ය. මුතුබණ්ඩා මහතාට වෙදකම පැවරී ඇත්තේ සිය පියාගෙනි. වෙද ගෙදර උදවිය කියන හැටියට, ලොකු වෙද මහත්තයා සිය ජීවිත කාලය තුලදී සුවපත් කළ කැඩුම් බිඳුම් රෝගීන් ගණන හැට - හැත්තෑ දහසකට අධිකය.
 

මුතු බණ්ඩා ලොකු වෙද මහත්තයා දැන් වයස්ගතය. එබැවින් වෛද්‍ය ප‍්‍රතිකාර කටයුතු සඳහා සහභාගි වන්නේ ඉඳහිටය. ඒ වෙනුවට ඔහුගේ පුතුන් දෙදෙනා රෝගීන්ට ප‍්‍රතිකාර කරති. දෙටු පුත්, දේශමාන්‍ය එම්. රංජිත් දිසානායක වෙදැදුරුවරයා වත්මනෙහි ප‍්‍රතිකාර කටයුතු මෙහෙයවන්නේය. ඔහු ‘‘පොඩි වෙදමහත්තයා’’ නමින් ප‍්‍රකටව සිටියි. ලොකු වෙද මහත්තයාගේ පුතුන් මෙන්ම ඔහුගේ බෑණාවරුද ප‍්‍රතිකාර කටයුතු සඳහා සහය වෙති. දිගු කලක් මුළුල්ලේ සිය පියාණන්ට සහාය වීමෙන් ඔවුහු මනා පළපුරුද්දක් ලබා සිටිති.
 

මුතු බණ්ඩා වෙද මහතා තමන් වෙත එන කැඩුම් - බිඳුම් රෝගීන් සුවපත් කළේ, ඔවුන්ගේ පරපුරට ආවේණික අමුතුම මාදිලියේ ප‍්‍රතිකාර ක‍්‍රමයකිනි. වෙද ගෙදරදී බඳින එක්තරා ‘‘සුවිශේෂ බෙහෙතක්’’ මගින් බිඳුණු හෝ පිපිරුණු අස්ථි මෙලෙක් කර පෑස්සීම, ඒ ප‍්‍රතිකාර විධි ක‍්‍රමයයි. ප‍්‍රතිකාර අත්දැකීම ලැබූ අය එය හඳුන්වා තිබුණේ, ‘‘ඇටකටු උණුකරවා, වෑල්ඩින් කළාක් මෙන් පෑස්සීමක්’’ යනුවෙනි. එය ‘‘වෑල්ඩින් වෙදකමක්’’ වශයෙන් ප‍්‍රචලිත වන්නට ඇත්තේද ඒ කාරණය නිසාය. බෙහෙත බැඳ ටික වේලාවකින් උහුලා ගන්නට බැරි තරම් වේදනාවක් හට ගන්නා බැවින්, රෝගීන් එය ‘‘වෑල්ඩින් වීමක්’’ ලෙස සිතන්නට ඇත. කිහිලිකරුවලින් පැමිණි අය ආපසු යන විට දෙපයින් ඇවිද යාමත්, කොඳු ඇට පෙළෙහි ගැටලූ ඇති අය ප‍්‍රතිකාරවලින් පසුව හොඳින් ඇවිද යාමත්, වෙද ගෙදර ආශ‍්‍රිතව දැකිය හැකි සුලභ දර්ශන බවට පත්විය.
 

දම්පැලැස්සාගම වෑල්ඩින් වෙද ගෙදරින් ප‍්‍රතිකාර ගැනීමේ අවස්ථාව, ඉකුත් සැප්තැම්බර් 09 වැනි අඟහරුවාදා ලියුම්කරුටද ලැබිණි. අගෝස්තු මස 15 වැනිදා අම්බලන්තොට ප‍්‍රදේශයේදී පය ලිස්සා වැටීමෙන් වම් අතේ මැණික්කටුව සන්ධිය රෝගී වීම ඊට හේතුවයි. ඒ සඳහා මුලින් කළ ආයුර්වේද ප‍්‍රතිකාරවලින් සුව නොවූ තැන, ලබාගත් එක්ස් රේ ඡායාරූප, මගින් කියැවුණේ, මැණික් කටුව සන්ධියෙහි අස්ථි කොටසක් බිඳී, ඊළඟ අස්ථියක ගැටී ඇති බවයි.එක්ස් රේ ඡුායාරූප, පිරික්සු ගාල්ලේ බටහිර වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූයේ, බිඳුණු අතට ශල්‍යකර්මයක් කර, ‘‘ඇණ සහ ප්ලේට් දමා’’ යළි සකස් කළ යුතු බවයි. ඊට වඩා දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර හොඳයැයි බොහෝ දෙනෙක් කීහ. ඒ අනුව සැප්තැම්බර් 08 වැනි සඳුදා ගාල්ලෙන් පිටත් වී මරදන්කඩවල ගියෙමු. ගමන ගියේ මරදන්කඩවල වෙද ගෙදරට රෝගීන් විසි ගණනක් රැුගෙන ගොස් පළපුරුද්දක් තිබුණු, ගාල්ලේ, ගනේගොඩ, හෙට්ටිආරච්චි විජේදාස මහතාගේ තී‍්‍ර රෝද රථයෙනි. ලියුම්කරුගේ බිරින්දෑද ගමනට එක්විය.
 

අලූයම පහ පමණ වන විට වෙදගෙදර ඉදිරිපිට තේ කඩ විවෘත වන්නට පටන් ගත්තේය. අද එතැන කුඩා නරගයක් මෙනි. ආපනශාලා, බෙහෙත් බඩු කඩ, නවාතැන් කාමර දෙන ස්ථාන, ගමේ එළවළු කඩ සහ තවත් නානාප‍්‍රකාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසැල්ද රැුසක් එහි තිබේ. අසල නිවෙස්වල වැසිකිළි පාවිච්චි කිරීමේ ගාස්තුව රුපියල් 20/-කි.
 

උදෑසන 7.30ට වෙදගෙදර ගේට්ටු විවෘත විය. එම පරිශ‍්‍රයෙහි එක් කෙළවරක වෛද්‍යවරයාගේ නිවසද, ඒ අසල ඔවුන්ගේ පැරණි නිවසද විය. ඊට යාබදව උතුරුමැද පළාත් හිටපු මහ ඇමති (අභාවප‍්‍රාප්ත* බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාගේ පළාත් සභා ප‍්‍රතිපාදන මගින් ඉදිකරවූ ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ගොඩනැගිල්ලද විය.
 

වෙදගෙදර පරිශ‍්‍රයට ඇතුළු වූ රෝගීන්, අංක පිළිවෙළට ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ශාලාවේ බංකු මත වාඩි විය යුතුය. ඊළඟට උදේ 8.00 වන විට රංජිත් දිසානායක වෙද මහතා එහි පැමිණ ප‍්‍රතිකාර කටයුතු ආරම්භ කළේය. ප‍්‍රතිකාර ගන්නට එන සැවොම, අනිවාර්යයෙන්ම ‘‘එක්ස් රේ ඡායාරූපයක්’’ රැුගෙන ආ යුතුය. බොහොම කාරුණිකව රෝගියා පිරික්සන වෙදමහතා, අනතුරුව ප‍්‍රතිකාර නියම කරයි.
‘‘මේ තුණ්ඩුවත් අරන් අපේ අර පරණ ගෙදර බේත් බඳින කාමරේට යන්න. ඒ බෙහෙත බැඳලා ආයෙත් මා ළඟට එන්න’’, ඔහු කාරුණිකව කියයි.
 

ඒ අනුව ලියුම්කරුද පැරණි නිවසේ බෙහෙත් බඳින කාමරයට ගිය අතර, ඔහුට පෙර එහි ගිය තවත් කිහිපදෙනෙකුම එහිවූ බංක මත වාඩිවී සිටිනු පෙනිණි. වෙද මහතා ප‍්‍රතිකාර නියම කළ පසුව බෙහෙත් බැඳීම් කරන්නේ ඔහුගේ කාර්යමණ්ඩලයයි. වෙද මහතාගේ උපදෙස් අනුව. ඇට බිඳුණු ස්ථාන සැකසීම පවා කරන්නේ ඔවුන්ය. කාර්යමණ්ඩලයේ දෙතුන් දෙනෙකු බෙහෙත් බඳින කාමරයේ බිම හිඳ ගෙන ‘‘පොල් පිති’’ තොගයක් කපා, පලා, කුඩා පතුරු බවට පත් කරමින් උන්හ. එය බෙහෙත් බඳින කාමරයේදී ලියුම්කරු දුටු ප‍්‍රථම දර්ශනයයි. බෙහෙත් බැඳීම් කරන්නේ පොල්පිති පතුරු ආධාරයෙනි.
 

මේ අතර උන් හිටි ගමන් නිවසේ ඇතුළු දෙසින් ‘අයියෝ - අම්මෝ’ යනුවෙන් මහා විලාපයක් ඇසුණි. රැුඳී සිටි පිරිස අන්දමන්ද වූහ. ගෙතුළින් පැමිණි කෙනෙක් කියා සිටියේ, රෝගියෙකුගේ පාදයක යම් තැනක් නිවැරදි පිහිටුමකට සකස් කළ බවයි !
 

ලියුම්කරුටද යම් බියක් දැනුණි.
 

අතේ ඇටකටු යන්ත‍්‍රයකින් හාරන්නාක් බඳු වේදනාවක් !

‘‘වෑල්ඩින් වෙද ගෙදර පාරම්පරික බෙහෙත බැන්ද පසුව, ඉබේ කෑගැස්සෙන තරම්, උහුලන්නට අසීරු වේදනාවක් දැනෙන බව, රට පුරා ප‍්‍රචලිතව ඇති කතාවකි. ‘‘ටිකක් රිදෙයි, ඒත් ඒක උහුලන්නට වෙනවා’’ , අපේ රියදුරු විජේදාස මහතාද කල්තියා මට පවසා තිබිණි. මේ සම්බන්ධයෙන් යම් භීතියක් ඇති වුවද අත සුවරක ගත යුතු නිසා අවස්ථාවට මුහුණ දෙන්නට හිත හදාගතිමි. අනෙක බෙහෙත බඳින්නේද පැය එකහමාරක කාලයකට පමණි.
 

‘‘බේත් බඳින්න ඉස්සරවෙලා ඔයාගේ අත හදන්න වෙනවා. අතනින් ඉඳගෙන ඉන්න’’, ලියුම්කරුගේ තුණ්ඩුව බැලූ වෛද්‍ය සහායකවරයෙක් අසුනක් පෙන්වමින් කීය. ඉක්බිති තවත් වෛද්‍ය සහායකවරයෙක් පැමිණ, අතෙහි මැණික් කටුවේ තෙල් වර්ගයක් ගල්වා, පිරිමැද, එක්වරම ඉහළට පහළට කිහිපවරක් නැමුවේය. ඒ සමඟම ඇඟිලි ටික අල්ලා අත ඉදිරිපසටද ඇද්දේය. එවේලෙහි ඇති වූයේ යටිගිරියෙන් කෑ ගැසෙන තරම් වේදනාවකි. කෙඳිරිගාමින් එය ඉවසා ගත්තෙමි.
 

ඊළඟට එළඹියේ බෙහෙත බැඳීමේ වාරයයි. ලියුම්කරු බෙහෙත් බඳින කාමරයේ බංකුවක ඉන්දවාගත් වෛද්‍ය සහායකවරු දෙදෙනෙක් එක්ව එම කටයුත්ත පිළියෙල කළහ. ඔවුහු මුලින්ම මැණික්කටුව සන්ධිය මැදිවන සේ දෙපසින් වියළි රෙදි කැබලි දෙකක් එතූහ. ඉක්බිති, කළු පැහැති යම් තෙල් වර්ගයක් බව පෙනෙන ද්‍රාවණයක් පෙඟවූ මෘදු සීතල රෙදිකඩක්, ඒ මැදින් (මැණික් කටුව සන්ධිය මැදි වන සේ* අතෙහි දවටා, ඒ මතින් තුනී ඉටි කොලයක් ඇතිරූහ. එයින් පසුව, පොල්පිති කට්ටා කැබලි මත, පොල්පිති පතුරු තබා ඝනකම හණ නූල්වලින් (ඝනකම ගෝනි නූල්) ඉතා තදට බැඳ දෑමූහ.
‘‘විනාඩි 30ක් යනකොට ලොකු රිදීමක් වේදනාවක් දැනෙයි. එහෙමම පැය එකහමාරක් ඉඳලා මෙතෙන්ට එන්න. විනාඩි 30ක් ඇතුළත වේදනාවක් නාවොත් අපට කියන්න’’ යයි කී ඔවුහු, මා ගෘහ සාලයේ ඇති බංකුවක වාඩි කළහ.
 

ඒ වන විට බෙහෙත් බඳින ගෙයි සාලය හා කාමර පුරාද, ඉස්තෝප්පුවේද, පිටුපස බරාදවලද බෙහෙත් බැඳගත් රෝගීන් සිටිනු දක්නට ලැබිණි. දෙපාවල කලවා හෝ කෙණ්ඩාවල ඇට බිඳුණු රෝගීන්ට පොල්පිති පතුරු තබා බෙහෙත් බැඳ බිත්තිවලට හිඳුවා, දෙපා දිගහැර තබලාය. පිට කොන්දේ ප‍්‍රශ්න ඇති රෝගීන්, කොට්ට එලූ බංකු මත මුනින්තලා කරවා, බංකුවලට තබා බෙහෙත් බැඳලාය. තවත් සමහරු බිම එලූ පැදුරු මත හොවා බෙහෙත් බැඳලාය. උකුළු පෙදෙසේ අස්ථි බිඳුණු කාන්තා රෝගීන් වෙනම කාමරයක මේස මත හොවා බෙහෙත් බඳිනු පෙනුණි. කල්තියා බෙහෙත් බැඳගත් වැඩි දෙනෙක් ඒ වන විටත් කෙඳිරිගාමින්, විලාප නගමින්, වේදනාවෙන් කෑ ගසමින් උන්හ. ඇතැමුන් තමන් බැඳි බංකු පවා සෙලවෙන තරම් වේදනා පීඩිතව දඟලති. අත්වලට බෙහෙත් බැඳි ලියුම්කරු බඳු පුද්ගලයන් නම් ගෙහි ඔබ මොබ ඇවිදිමින් සිටියහ. සමහරු කෙඳිරි ගෑහ.
 

කෙසේ හෝ වේවා ලියුම්කරුට බෙහෙත් බැඳ ප‍්‍රථම විනාඩි 30 තුළදී සැලකිය යුතු තරමේ වේදනාවක් නොදැනුණි. අත නවා -ඇද්ද මොහොතේ හටගත් වේදනාව නම් එහෙමම තිබිණි. එබැවින් යළිත් බෙහෙත් බඳින කාමරයට ගොස් ඒ ගැන දැනුම්දීමට සිදුවිය. එවිට වෛද්‍ය සහායකයන් කළේ, බැඳුම් ලිහා, ඒ මෙන් තුන් ගුණයක් තරම් තදට යළිත් හණ නූලෙන් බැඳ දැමීමයි. ඒවෙලේ යම් බියක් මෙන්ම කුතුහලයක්ද දැනුණි. මා, මේ සියල්ලට මුහුණ දිය යුතුවේ.
 

විනාඩි දහයක් පමණ ගෙවී යද්දී, අමුතුම තාලේ වේදනාවකි. බෙහෙත් බැඳි අත කීරි ගැසී යන්නට විය. එය හරියට අතේ ඇටකටු යම් යන්ත‍්‍රයකින් හාරා ගෙන යනවාක් බඳුය. මහා රිදුමකි. හටගත් රිදුම අත ඇතුළෙන් වැලමිට සහ උරහිස දෙසට ගමන් කරන්නාක් වැන්න. එය ඇත්තටම උහුලා ගන්නට බැරි තරම් වේදනාවකි. මා සිටි බංකුව ඉදිරිපිට පැදුරක හොවා සිටියේ මාවනැල්ලේ සිට පැමිණි මුස්ලිම් තරුණයෙකි. යතුරුපැදි අනතුරකට ලක්වූ ඔහුගේ පාදයක කෙණ්ඩා පෙදෙස බිඳී තිබුණේය. රෝහලෙන් දැමූ ‘‘ගල් බැන්ඬේජය’’ කපා දමා ඔහුටද බෙහෙත් බැඳ තිබිණි. වේදනාව දරා ගන්නට මා මෙන් ඔහුද මහත් ආයාසයක් ගත්තේය. තමන් හටගත්තේ, දරාගත නොහෙන තරම් දැවිල්ලක්’’ බව සමහරු කීය.
 

එහි එන සමහර රෝගීන් වේදනාව දරා ගැනීම පිණිස, හොර රහසින් මත්පැන් පානය කරන බවක්ද එහිදී ඇසුවෙමි. එසේ වුවද එවන් අය මට හමුනොවීය. ‘‘අපොයි බීලා ඇවිත් අහුවුණොත් වෙද මහත්තයා ඒ අය එලවලා දමයි’’, ඒ ගැන ඇසූ මොහොතේ වෛද්‍ය සහායකයෙක් පැවසීය. බොහෝ දෙනා පවසන අන්දමට, මත්පැන් හෝ වේදනානාශක පෙතිවර්ග බීමෙන් බෙහෙතින් ඇතිවන වේදනාව පාලනය නොවේ. රෝගීන්ගේ අදහසේ හැටියට, වේදනාව හට ගැනීම, යනු අස්ථි උණුවීමේ කි‍්‍රයාවලියයි. එය අත්විඳීමෙන් පමණක් පාලනය කළ යුතු වේදනාවකි. ලියුම්කරු සිය වේදනාව විඳදරා ගත්තේ, ක‍්‍රමයෙන් පැය එකහමාරේ කාලපරිච්ෙඡ්දය හමාර වන බව මෙනෙහි කිරීමෙනි. වේදනාව ප‍්‍රමාද වී පැමිණි නිසා වැඩිපුර විනාඩි විස්සක් ඉවසා දරාගෙන සිටීමට ලියුම්කරුට සිදු විය.
 

රෝගීන් කොතෙක් සිටියද, වරින්වර බෙහෙත් බඳින ගෙයට පැමිණ වේදනා විඳින රෝගීන් පරික්සාකර බැලීම, රංජිත් දිසානායක වෙදැදුරුගේ සිරිතයි. ඒ අතර ඔහු තම සහායකන්ට අවශ්‍ය උපදෙස් ද දෙයි. රෝහල්වලින් එන රෝගීන්ට දැමූ ‘‘ගල් බැන්ඬේජ් කැපීම’’ කරන්නේ බෙහෙත් බඳින ගෘහයෙහි බරාදයකය. සාමාන්‍ය යකඩ කපන කියත් භාවිත කරමින්, කිහිප දෙනෙකුගේම ගල්බැන්ඬේජ් කපන ආකාරය දුටුවෙමි. ‘‘සමහර දාට’’ ලොකු වෙද මහත්තයා ඇවිත් බලලා යනවා’’ ඇතැමෙක් කීහ.
නියමිත වේලාව හමාරවීමෙන් පසුව පෙරවරු 11.20ට පමණ, වෛද්‍ය සහායකවරු ලියුම්කරු අත බැඳි බෙහෙත ලිහා දැමූහ. ඉක්බිති වෙද මහතා හමුවන්නැයි දැන්වූහ. ඒ වන විට වෙද ගෙදර පරිශ‍්‍රය තුළ 400කට අධික පිරිසක් රැුඳී සිටින්නට ඇත. වෙදගෙදර මිදුල්, බෙහෙත් බඳින ගෙය හා ඒ අවට මෙන්ම, රෝගීන් පරික්‍ෂා කරන ශාලාව ආශ‍්‍රිතවද ඔවුන් රැුඳී උන්හ. ඉන් වැඩි දෙනෙක් රෝගීන්ගේ සහායට පැමිණි නෑදෑ හිතවතුන් බව පෙනුණි.
 

රෝගීන් පරික්‍ෂා කරන ශාලාව, දිගු පෝළිමකින් යුතු වුවද, බෙහෙත් බැඳීමෙන් පසුව දෙවන වර එන රෝගීන් ඇතුළට ගැනීම සඳහා වෙනමම පෝළිමක් සකස් කර තිබුණි. ලියුම්කරුගේ අත පරික්‍ෂා කළ රංජිත් දිසානායක වෙදමහතා, දින 18 ක් සඳහා මැල්ලූම්, පත්තු සහ තැවීම්වලින් සමන්විත ප‍්‍රතිකාර පන්තියක් නියම කළේය. අත්ල හරවා නිවැරදිව බෙහෙත් බඳින්නැයිද උපදෙස් දුන්නේය. යළිත් එහි පැමිණෙන්නට අවශ්‍ය නොවනු ඇතැයිද කීවේය.
 

වෙද මහතා සමග ටිකක් කතාබහ කිරීමට දැඩි අවශ්‍යතාවයක් තිබණද, ලියුම්කරු වේදනා විඳිමින් සිටීමත්, එතැන ඇවිස්සුණු කඩිගුලක් මෙන් සෙනඟින් පිරී තිබීමත් නිසා එය ඉටුකරගත නොහැකි විය. දවහල් 12.00 පමණ වන විට මුළු වෙදගෙදර පරිශ‍්‍රයම, ඉතා කාර්යබහුල ‘‘කුඩා රෝහලක්’’ සිරිගෙන තිබිණි. කිහිලිකරුවලින් පැමිණි සමහර රෝගීන් ආපසු ගියේ දෙපයිනි. සමහර රෝගීහු කොන්දේ අමාරුසුව වීම නිසා සෘජු කයින් ගමන් කරනු පෙණුනි.
 

තවත් සමහර අය වෙද මහත්තයාට දණ ගසා වැඳ කෘතඥතාව පළකරනු දිස්විය. කටාන, දංකොටුව, මීගමුව, දෙහිවල, බද්දේගම, මාවනැල්ල, ති‍්‍රකුණාමලය, රුවන්වැල්ල, දඹුල්ල, මහනුවර, පුත්තලම, කෝට්ටේ ආදී දුරබැහැර ප‍්‍රදේශවලින් පැමිණි රෝගීන්ද එහිදී හමුවිය. වෑල්ඩින් වෙද ගෙදර පුර පසළොස්වක පොහොය දිනවලට ප‍්‍රතිකාර කරන්නේ නැත. අනෙක් දිනවල අන්තිම රෝගියා දක්වා වෙදකම් කිරීම රංජිත් දිසානායක වෙදැදුරාගේ සිරිතයි. මුළු රටෙන්ම වෑල්ඩින් වෙදකම ඇත්තේ මෙැතන් බවත්, ඒ වෙදුන් දම්පැලැස්සාගම වෙද ගෙදර හැර දිවයිනේ අන් කිසි තැනකදී ප‍්‍රතිකාර නොකරන බවත්, පැවසෙන දැන්වීම්ද වෙද ගෙදර පරිශ‍්‍රය තුළ ප‍්‍රදර්ශනය කර ඇත. එසේ තමන් වෑල්ඩින් වෙද කෙනෙක් යැයි කියා ගන්නා යමෙක් සිටීනම්, ඔහු මුදල් ගසා කන හොර වෙදෙක් බවත් ඒවායෙහි සඳහන් වේ.
 

කොතෙක් බැරෑරුම් ප‍්‍රතිකාර කළද, වෙද මහත්තයා පිළිගන්නේ බුලත් අත සමඟ දෙන මුදල් පඬුරක් පමණි. බහුතරයක් දෙනා ඊට රුපියල් 500/- නෝට්ටුවක් එක් කරනු දුටුවෙමි. ගෙදර ගෙන ගොස් ගන්නට දෙන තෙල් කාලක් රුපියල් 400/-කි. ලියුම්කරු වෙදගෙදරින්ම මිලදී ගත් ශාක ඖෂධ කට්ටලයට. (කොළ, පොතු, වැල් ආදී) රුපියල් 900/-ක බිල්පතක් වැටිණි. ඒ සියල්ල දින 18ක බෙහෙත් සඳහාය.
 

එක් දිනක් හෝ දින කිහිපයකින් දරුණු කැඩුම් බිඳුම් සුවකරන මෙබඳු ප‍්‍රතිකාර විධි ක‍්‍රමයක් ගැන, ලියුම්කරු මින් පෙර අසා හෝ අත්විඳ නැත. එය ඇතැම්විට, ලොකු වෙදමහත්තයා හෙවත් එස්. එම්. මුතුබණ්ඩා වෙදමහතාගේ පරපුරට ආවේණික රහසිගත ශාක ඖෂධ පන්තියක් වන්නට ඇත. ඉපැරණි ඔසු උයනක්ව පැවති රිටිගල කන්ද (අරිට්ඨ පබ්බත) පිහිටා ඇත්තේ ද මරදන්කඩවලට තරමක් දුරින්, ගනේවල්පොල හරහා හබරණට යන පාරේය. එය එක් අතකින් පෞරාණික බෞද්ධ ආරාම සංකීර්ණයකි. අනෙක් අතින් ඔසු උයනකි. රිටිගල පිහිටීම වියළි කළාපයට අයත් වුවද, එහි ඉහළ කොටස් සීතල තෙත් කලාපීය දේශගුණයෙන් පොහොසත්ය. රිටිගල වන රක්‍ෂිතය හා බැඳුණු ජනශ‍්‍රැතිද බොහොමයකි.
 

කැඩුම් බිඳුම් වෙදකම සම්බන්ධයෙන් ගත්කල, මෑත කාලීනව රිටිගල ආශ‍්‍රිතව බිහිවුණ ප‍්‍රකට වෙද  පරම්පරා දෙකක් හඳුනා ගත හැකිය. ඉන් එක් පරපුරක් ‘‘හොරිවිල වෙදදුරන්ය’’. අනෙක, දම්පැලැස්සාගම එස්. එම්. මුතුබණ්ඩා මහතාගේ ‘‘වෑල්ඩින් වෙද පරපුරය’’. ඔවුන්ගේ වෙදකම් ඔස්සේ, රිටිගල හා බැඳුණු අතීත ශාක ඖෂධ හා වෛද්‍ය කලාවේ නන් විධි ස්පර්ශයන්, වත්මන් රටවැසියන්ට සුවය ගෙන එන බව ලියුම්කරුගේ විශ්වාසයයි.
2014.09.28-2014.10.05. ඉරුදින