Total Pageviews

Sunday, November 3, 2019

නව දේශීය දෙමුහුම් වී ප‍්‍රභේදයක් රටට තිළිණ කළ හැටි



පනාගොඩට පැමිණි සොබාදහම
නව දේශීය දෙමුහුම් වී ප‍්‍රභේදයක් 
රටට තිළිණ කළ හැටි
එම්. ඞී. පියසේන ගොවියා  ‘ගුරුපියා’ සොයා ගැනීම
 කොලෙස්ටරෝල් පාලනය අතින් ඉහළම ගුණයක්







ගුරුපියා වී
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(පින්තූර-නන්දන රණසිංහ-හෝමාගම)
ලොව හොඳම ගොවියා, ‘සොබාදහම’ බව ප‍්‍රචලිත කතාවකි. එය, මීට කන්න තුන හතරකට  පමණ ඉහත හෝමාගම, පනාගොඩ ප‍්‍රදේශයට එබිකම් කළ බව, දැන් සක්සුදක් සේ පැහැදිලි ය. එම්. ඞී. පියසේන නම් ගොවියාට පනාගොඩින් හමුවූ ‘අමුතු වී වර්ගය’ සොබාදහමේ මුහුම් වීමෙන් නිර්මාණය වූවක් බව හරියට ම තහවුරු වීම ඊට හේතුව ය. එහි තේරුම,  හෝමාගම, පනාගොඩ, කපුරුගොඩ පාරේ වෙසෙන එම්. ඞී. පියසේන නම් ගොවියාට ‘සොබාදහම’ මුණ ගැසී ඇති බව ය!

‘සොබාදහම’ ඔහුට මුණගැසී ඇත්තේ, පනාගොඩ යුද හමුදා කඳවුරු සංකීර්ණ භූමිය තුළ පිහිටි කුඹුරු යායේ දී ය. හමුවෙන් පසුව ලෝකයට තිළිණ කෙරුණු නව වී ප‍්‍රභේදයේ නම, ‘ගුරුපියා’ ය. එහි සහලින් පිසෙන බත, පෝෂණීය සහ ඖෂධීය ගුණයෙන් අනූන බව, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයන අංශයේ පිළි ගැනීමයි!

හෝමාගමට නුදුරු පනාගොඩ පිහිටි යුද හමුදා කඳවුරු සංකීර්ණය, විශාල භූමියක් පුරාවට පැතිරුණකි. එහි කුඩා වැවක් ද ඒ දියවරින් වගා කෙරෙන කුඹුරු ද තිබේ. එයින් අක්කර දාහතක කොටසක, යල-මහ දෙකෙහිම වී වගා කෙරෙන්නේ එම්. ඞී. පියසේන ගොවියා අතිනි. එය යුද හමුදා කඳවුරෙන් ‘බද්දට ගත්’ කුඹුරකි. ඔහු එහි වගා කරන්නේ දේශීය පාරම්පරික වී වර්ග ය. ඒ, වස විස නැති කාබනික ක‍්‍රමයට ය.

එම්. ඞී. පියසේන ගොවියාට ‘සොබාදහම’ හමු වූයේ නිකම්ම නොවේ. ඔහුගේ පියාණන් වූ එම්. සිමියොන් සිංඤ්ඤෝ නම් පුරෝගාමී ගොවියාගේ අඩි පාරේ ගමන් කළ නිසා ය. එය විචිත‍්‍රවත් පුවතකි.
පියසේන ගොවි මහතා

‘අපේ තාත්තා ඒ කාලේ ‘කිරි නාරං’, ‘බටපොළැල්’, කුරුළු තුඩ’, ‘එච් හතර’ වගේ පාරම්පරික වී ජාති වගා කළා. අපේ පුද්ගලික කුඹුරු තිබුණේ පනාගොඩ මීගස්මුල්ල හරියේ. අපි වවා ගෙන තමයි බත් කෑවේ. 1960 විතර වෙනකල් අපේ පළාතේ දේශීය පාරම්පරික වී ගොවිතැන කෙරුණා. ඊට පස්සේ තමයි ඔය රසායනික පොහොර ගහන, වස තෙල් ගහන නවීන ගොවිතැන ආවේ. ඒකෙන් දේශීය පාරම්පරික වී  ගොවිතැන අභාවයට ගියා’, පියසේන මහතා අතීත මතකයන් පෙළ ගස්වමින් කියන්නේ ය.

පියාණන්ගේ අනුදැනුමෙන් කුඹුරු-පිටිවල වැඩ කළ ද, පියසේන වෘත්තියෙන් කාර්මික අංශයේ වැඩ මූලිකවරයෙකි. ඔහු කලක් විදෙස්ගතව ද, ලංකාවේ ද රැකියාව කළේ ය.

‘2008 වසරේ තමයි මං රස්සාව අත්හැරලා ලංකාවට ආවේ. ඉන් පස්සේ තමයි වී ගොවිතැනට බැස්සේ. දවසක් මං පාන්දර හෝමාගම පැත්තේ තැනක රසායනික පොහොර ගන්න දිග පෝලිමක ඉන්නවා. එවේලේ තමයි මම කල්පනා කරන්නේ, ඇයි අපේ තාත්තලා අපට දුන්  ගොවිතැන් රටාවේ යන්න බැරි කියලා. මොකද අපිට ඒ කාලේ පැරණි වී වර්ග වගා කරලා යම් දැනුමක් තිබුණා. මං ආපහු ආවා. ඊට පස්සේ තමයි මට ‘පී. ගුරුසිංහ ගොවි ක‍්‍රියාකාරිකයා හමු වුණේ. ඔහු තමයි මට මුලින්ම ‘රත් සුවඳැල්’ නමැති දේශීය පාරම්පරික වී වර්ගය දුන්නේ. ඔය 2008 දි. එතැනින් තමයි මං දේශීය පාරම්පරික වී ගොවිතැනට එකතු වෙන්නේ’ පියසේන තම අතීත අත්දැකීම් එකින් එන දිග හරිමින් කියයි.

ඔහු පනාගොඩ යුද හමුදා කඳවුරේ කුඹුරු ඉඩම බද්දට ලබා ගෙන, එහි දේශීය පාරම්පරික වී වර්ග වගා කරන්නට පටන් ගත්තේ මීට වසර පහකට පමණ ඉහත දී ය. එකල ඒ භූමිය පුරන් වුණු කුඹුරු යායකි. එය බද්දට ගෙන අස්වද්දන්නට මග පෙන්වන ලද්දේ එවකට හෝමාගම කොට්ඨාශයේ රාජකාරි කළ කෘෂි උපදේශකවරයා වූ ජී. ජී. සමිත මධුශංක විසිනි. 

පියසේන සහ තවත් ගොවීන් නම දෙනෙක් යාය අස්වද්දන්නට එකතු වූහ.  එය ශුද්ධකර, එහි ඇති සාර පස පාදා ගන්නට මහත් පරිශ‍්‍රමයක් දරන්නට ද සිදු විය. ‘ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ’ (මොන්ලාර් ආයතනය) සම්පත් ආරියසේන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ (යූ. එන්. ඞී. පී.) අරමුදලක් ලබා ගෙන නව කුඹුරේ ඇළවල් ආදිය කපා දුන්නේ ය. එවකට ප‍්‍රදේශයේ කෘෂිකර්ම, පර්යේෂණ සහ නිෂ්පාදන සහකාරවරයාව සිටි අජිත් ධර්මකීර්ති ලියනගේ ද පියසේනගේ ප‍්‍රයත්නයට උදව් කළේ ය. 

පනාගොඩ යුද හමුදා කඳවුරේ ප‍්‍රධානීන් ද හැකි සෑම සහායක් ම දුන්හ.
දේශීය පාරම්පරික වී ගොවිතැන සඳහා මුලින්ම ඔහුට ගුරුහරුකම් දුන්නේ පී. ගුරුසිංහ ගොවි ක‍්‍රියාකාරකයා ය. ඊට පසුව ‘ශ‍්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ’ සුරන්ජන් කොඩිතුවක්කු සහ සම්පත් ආරියසේන යන කාබනික ගොවිතැන ගැන උනන්දු පරිසරවේදීන්ගේ ද මගපෙන්වීම් ලැබිණි. මේ අතර පියසේන ගොවියා සමග එකතුවී සිටි ගොවීන් නම දෙනා වගාවෙන් ඉවත් වූහ. අවසන මුළු යායට ම ඉතිරි වූයේ පියසේන පමණි. පසුව ඔහු දේශීය පාරම්පරික වී වර්ග විස්සක් පමණ වස විසෙන් තොරව වගා කරන උද්ේ‍යා්ගිමත් ගොවියෙකු බවට පත් විය. මඩතවාලූ, ගෝනබරු, හැටදා වී, මුරුංගා කායම්, කුරුළු තුඩ, දහනල ආදී පැරණි වී වර්ග විස්සක් පමණ ඒවා අතර විය.

පියසේන තම ගොවි බිමට අවශ්‍ය කාබනික පොහොර සොයා ගන්නේ ද අමුතුම ක‍්‍රමයකට ය.

‘මං පනාගොඩ කුඹුරට කවදාවත් රසායනික පොහොර දාලා නෑ. වල් නාශක, කෘමිනාශක ගහලා නෑ. මෙච්චර ලොකු කුඹුරකට දාන්න තරම් කොම්පෝස්ට් පොහොර සොයා ගන්නත් අමාරුයි. ඒත් මම කොම්පෝස්ට් පොහොර ටිකක් හදා ගන්නවා. ඒවා මගේ එළවළු ගොවිතැනට ගන්නවා. මේ අක්කර දාහතක කුඹුරට, මූලික පොහොර හැටියට මම දාන්නේ  කුකුළු පොහොරයි. බිත්තර දාන කිකිළියන්ගේ පොහොර තමයි මම ගන්නේ. ඒවා සොයා ගන්නත්  අමාරු නෑ. තව ඉතින් ආණ්ඩුවෙන් දෙන දියර පොහොර එකක් යොදනවා. සම්පත් ආරියසේන මහතා හදලා දුන්නු කාබනික දියර පොහොර වර්ගයකුත් මම පාවිච්චි කරනවා. මගේ ගොවිතැන, සොබාදහමට ළං කරන්න හැකි තරම් උත්සාහ කරනවා’, ඒ, පියසේනගේ ගොවිතැනේ රිද්මයයි.

ඉපැරණි දේශීය පාරම්පරික වී ගොවිතැනේ වැඩ හවුල්කරුවන් වුයේ මී ගවයන් ය. දැන් කුඹුරු වැඩට හවුල්කර ගත හැකි මී ගව සම්පතක් පනාගොඩ පැත්තේ නැත. එබැවින් පියසේනගේ වී වගා භූමිය මඩ කෙරෙන්නේ ‘අත් ට‍්‍රැක්ටරය’ හෙවත් ‘යකඩ මී හරකා’ යොදා සී සෑමෙනි. වර්තමානයේ ඔහුගේ ගොවිතැන් කටයුතු සඳහා උදව් කරන්නේ ප‍්‍රදේශයේ කෘෂිකර්ම, පර්යේෂණ සහ  නිෂ්පාදන සහකාරවරිය වන එම්. ඒ. වී. ජයන්තිමාලා ය.

පියසේන ගෙවියාට සිය කුඹුරේ දී ‘සොබාදහම’ මුණ ගැසෙන්නේ, මහ පොළොව සුවපත් කරන මෙබඳු ගොවිතැනක නියැලී සිටින අවස්ථාවක ය. එය සිදු වුයේ මීට වසර තුනකට පමණ උඩ දී ය. ඒ වතාවේත් ඔහු දේශීය පාරම්පරික වී වර්ග විස්සක් පමණ වගාකර තිබිණි.

පියසේන ගොවියා ඒ කතාව වචනයට නංවන්නේ මහත් අභිමානයෙනි.

‘මගේ කුඹුරේ අක්කර තුන් කාලක පමණ කොටසක යම් වෙනසක් දැක්කා. මම එතැන වපුරලා තිබුණේ ‘දික් වී’ කියන දේශීය වී වර්ගයයි. ඒත් ඒවා අතර තැනින් තැන අඩි තුනහමාරක්-හතරක් විතර උස වෙනත් වී වර්ගයක් හැදිලා තිබුණා. ඒකේ ‘කරල’ පවා වෙනස්. වර්ණයත් වෙනස්. මේක හඳුනා ගන්න බෑ. අක්කර තුන්කාලට ම තිබුණේ වී කරල් දහසයයි. සෑම ගොයම් ගසකම පුරුක් හතරක් තිබුණා. මම ඒක වෙනම කපා ගත්තා. මේ අක්කර තුන්කාලේ භූමියේ තිබුණේ ‘දික් වී’. ඒ වටේට තවත් කුඹුරු කෑලිවල වෙනත් දේශීය වී වර්ග වගා කරලා තිබුණා. මේක, ඒ හැම එකකට ම වඩා වෙනස්. විවිධ වී වර්ග එක ලඟ පුදින කොට, ස්වාභාවිකවම ඒවායින් අලූත් ප‍්‍රභේද අභිජනනය වෙන බව මම අහලා තිබුණා. ඒත් මගේ කුඹුරේ එහෙම දෙයක් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ’, ඔහු කියයි.

එයින් පසුව මේ අමුතු වී වර්ගය, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, රසායන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය පහන් ගොඩකුඹුරගේ ඇසට හසු වන්නේ ය. ඒ, තම ශිෂ්‍යාවක් කළ හඳුන්වා දීම අනුව ය. ඉන් පසුව පියසේන ගොවියා සොයා ගත් නව වී ප‍්‍රභේදය සම්බන්ධයෙන්, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයෙන්  පර්යේෂණ කටයුත්තක් සංවිධානය කෙරිණි. එය අධීක්ෂණය කළේ ආචාර්ය පහන් ගොඩකුඹුර ය. ආචාර්ය ප‍්‍රශාත්න මලවිආරච්චි සහ පී. ඒ. නදිනි තුෂාරා නම් පර්යේෂණ ශිෂ්‍යාව ද ඊට එක් වූහ. නව වී ප‍්‍රභේදය, ‘දේශීය පාරම්පරික වී ප‍්‍රභේද දෙකක් මුහුම් වීමෙන් මූලාරම්භ වූ බව’ ඔවුන්ගේ නිරීක්ෂණය විය.

මේ අතර පියසේන ගොවියා, තමන් සොයා ගත් නව වී ප‍්‍රභේදය ‘ගුරුපියා’ යනුවෙන් නාමකරණය කළේ ය.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ පර්යේෂකයන් වැඩි අවධානයක් යොමුකර තිබුණේ ‘ගුරුපියා’ වී ප‍්‍රභේදයෙන් නිපැයෙන සහලෙහි (බතෙහි) පෝෂණීය සහ ඖෂධීය ගුණාංග හඳුනා ගැනීමට ය. ඒ අනුව කළ හැදෑරීම්වලින් අනාවරණය වූයේ, ‘ගුරුපියා’ සහලේ ග‍්‍රෑම් සියයක කිලෝකැලරි 375ක ශක්තියක් ඇති බව ය. සාමාන්‍යයෙන් නිවුඩු සහල් ග‍්‍රෑම් සියයක ඇති ශක්ති ප‍්‍රමාණය කිලෝකැලරි 360ක් බව පොදු පිළි ගැනීමයි. ඒ අනුව බලන විට, ‘ගුරුපියා’ සහල කැලරි ශක්තිය අතින් ඉදිරියෙන් සිටින බව පෙනී යන්නේ ය.

සහලින් පිසෙන බත, ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ආසියානු කලාපයේ ජනී ජනයාගේ ද ප‍්‍රධාන ශක්තිජනක ආහාරයයි. ‘දේශීය පාරම්පරික’ හෝ ‘නව වැඩි දියුණු කළ’ සහල් ගත් විට, ඒවායෙහි පිෂ්ඨය (කාබෝහයිඩ්‍රේට්), ප්‍රෝටීන, මේද අම්ල, ඛනිජ ලවණ (සින්ක්) ආදී පෝෂණීය සහ ඖෂධීය සංඝටක ගණනාවක් ම හඳුනාගත හැකි ය. පැරණි දේශීය පාරම්පරික වී ප‍්‍රභේදවල පවතින පෝෂණීය සංඝටක ප‍්‍රමාණය, නව වැඩි දියුණු කළ වී වර්ගවලට වඩා වැඩි බව, කාර්මික තාක්ෂණ ආයතනය 2006 වසරේ සිට කළ පර්යේෂණ මාලාවෙන් හෙළි විණි. ඔවුන්ගේ පර්යේෂණයේ දී නව සහ පැරණි සහල් ප‍්‍රභේද 40ක් සලකා බැලිණි.

කාර්මික තාක්ෂණ ආයතන පර්යේෂණයේ දත්ත සමග සසඳන විට පෙනී යන්නේ, නව ‘ගුරුපියා’ වියෙහි සහලේ ගුණාංග ද, දේශීය පාරම්පරික සහල්වල ගුණාංගවලට බෙහෙවින් සමාන මට්ටමක පවතින බවයි. දේශීය පාරම්පරික සහල්වල සින්ක් සංයුතිය පිහිටන්නේ සියයට 2ත්, සියයට 3.9ත් අතර ය. එහෙත් නව ‘ගුරුපියා’ සහලේ සින්ක් සංයුතිය පවතින්නේ සියයට 4.8ක් තරම් ඉහළ මට්ටමක ය. සින්ක් යනු තුවාල සුව වීම කෙරෙහි බලපාන සංඝටකයකි. ඒ කාරණයේ දී ‘ගුරුපියා’ සහල ඉදිරියෙන් සිටින්නේ ය.

‘සතිඅග අරුණ’ කළ විමසුමකට පිළිතුරු දෙමින් ආචාර්ය පහන් ගොඩකුඹුර ප‍්‍රකාශ කළේ, ‘ගුරුපියා’ සහලෙහි සංයුතිය තුළ මිනිස් ශරීරයට හිතකර අසංතෘප්ත මේද අම්ල සියයට 66.8ක් ඇති බවයි.
‘මේ සහල්වල මනුෂ්‍යයන්ගේ ශරීර වර්ධනයට සහ විකසනයට අත්‍යවශ්‍ය ‘ඔලෙයික් අම්ලය’  සියයට 63.5ක් තිබෙනවා. එයින් දේහයේ අහිතකර කොලෙස්ටරෝල් (අහිතකර මේදය) මට්ටම පාලනය වෙලා, හෘද්‍යාබාධ අවදානම අඩු කරනවා’ යයි ද ඇය  සඳහන් කළා ය.

එම්. ඞී. පියසේන ගොවි ක‍්‍රියාකාරිකයා ලියුම්කරුට හඳුන්වා දෙන්නේ ශ‍්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ පරිසරවේදී වසන්ත විජේවර්ධන ය.

‘පියසේන ගොවියා තම පවුලේ අය ද එකතුකර ගෙන කරන්නේ රජයක් විසින් කළයුතු සංවර්ධන පර්යේෂණයක්. අක්කර තුන් කාලක භූමියක පීදුණු අමුතුම වී කරල් දහසය ඔහු හඳුනා ගන්නේ සිය හත්මුතු පරපුරේ ගොවිකම් දැනුම අනුවයි.  ඔහු මෙය විද්‍යාත්මකව හඳුනා ගන්නත් වෙහෙසෙනවා. මේ සියල්ල සිදු වෙන්නේ රටේ වාසනාවටයි. මේ නව වී ප‍්‍රභේදයේ පේටන්ට් උරුමය පියසේන ගොවියාගේ පවුලට ලැබිය යුතු යයි මම යෝජනා කරනවා’, වසන්ත විජේවර්ධන කියන්නේ ය.

පනාගොඩ පියසේන ගොවියාට, සොබාදහම මුණගැසීම හරිම අපූරු ය.

(මෙම ලිපිය 2019/11/03-ඉරිදා අරුණ පුවත්පතේ පළ විය.)
2019/10/30







Sunday, October 27, 2019

ගාල්ලේ බෝපේ ‘සිංගප්පූරු ගෙදර’ ඇත්තන්නෙ විත්ති


 ‘සිංගප්පූරුවේ රන් ආභරණ මාටින් 
අතින් හැඩවූ වගයි 









ඉහළ ඡායාරූපය-මාටින් ධර්මපාල මහතා සිය බිරිඳ සහ දරුවන් සමග සිංගප්පූරැවේ දී
පහළ ඡායාරූපය-ධර්මපාල මහතාගේ දෙවැනි පුත් පියදාස, ඔහුගේ දියණිය සමග ඕස්ටේර්‍්‍රලියාවේ දී
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(පින්තූර-සුපුන් රංජන)
ගාල්ලේ, කලේගාන, බෝපේ පිහිටි ‘ශ්වේතබිම්බාරාමය’, (පොල්කඳවිල පන්සල) ශ‍්‍රී ලංකාවෙන්  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණයවූ ටී. බී. එලියස් නමැති ලොව සුප‍්‍රකට ‘මුතු’ අලංකරණ ශිල්පියාගේ ධන පරිත්‍යාගයෙන් වැඩි දියුණු කෙරුණු විහාරස්ථානයයි. ඔහු බෝපේ ගමේ ඉපිද  එහි හැදී වැඩුණු තැනැත්තෙකි.  එලියස් මහතා වර්ෂ 1887 දී ශ‍්‍රී ලංකාවෙන් සිංගප්පූරුවට නික්ම ගොස්, 1888 වසරේ දී  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වෙයි. ඉන් පසුව ඔහු ‘මුතු’ කැඞීමේ සහ අලංකරණය කිරීමේ ව්‍යාපාරයක් මෙහෙයවයි. එයින් ඔහු මහා ධන කුවේරයෙකු බවට පත් වේ!

ටී. බී. එලියස් මහතා ගැන සඳහන් කරමින් මේ සටහන පෙළ ගස්වන්නට ආරම්භ කළේ විශේෂ කාරණයකට ය. එනම්, බෝපේ ගමෙන් බිහිවී ජාත්‍යන්තරයට ගිය, ‘ස්වර්ණාභරණ කර්මාන්ත ක්ෂේත‍්‍රයට’ සම්බන්ධ තවත් ගාලූ පුත‍්‍රයෙකු ගැන කියන්නට ය. ඔහු, බෝපේ විසූ ‘මාටින් ධර්මපාල මහතා’ ය. 

ධර්මපාල මහතා කවරෙකු දැයි හඳුනා ගත හැකි යම් සඳහනක්, බෝපේ ශ්වේතබිම්බාරාම විහාරස්ථානයේ ආවාස ගෘහයේ දී දැනුදු දැකිය හැකි ය. එය පැරණි දැන්වීම් පුවරුවකි. දැන්වීම් පුවරුව සකස්කර ඇත්තේ වර්ෂ 1941 දී ශ්වේතබිම්බාරාමයට විදුලි පහන් මිලයට ගැනීම සඳහා බරපැන දැරූ පින්වතුන් ගැන තොරතුරු දැක්වීමට ය. දැන්වීම් පුවරුවෙහි දැක්වෙන ආකාරයට, මාටින් ධර්මපාල මහතා ඒ සඳහා පරිත්‍යාගකර ඇති මුදල රුපියල් සියයකි. එය අංක එකට සටහන්කර තිබේ. ඊළඟට වැඩි ම මුදල පරිත්‍යාගකර ඇත්තේ එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතා ය. ඔහු පරිත්‍යාග කළ මුදල රුපියල් පණහකි. එය අංක දෙකට සටහන්කර තිබේ. එතැනින් පහළට ලියා ඇත්තේ රුපියල් තිහ, විස්ස, දහය ආදී වශයෙන් පරිත්‍යාග කළ පින්වතුන්ගේ නම් ය.

පන්සලට රුපියල් පණහක් පරිත්‍යාග කළ එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතා ප‍්‍රකටව ඇත්තේ දකුණු පළාතෙන් බිහි වුණු මහා ධනවතෙකු වශයෙනි. ඔහු ගාල්ලේ සුප‍්‍රකට අමරසූරිය පවුලේ ප‍්‍රබල පුරුකකි. එහෙත් මාටින් ධර්මපාල මහතා, අමරසූරිය මහතා මෙන් දෙගුණයක මුදලක්, එනම් රුපියල් සියයක් පරිත්‍යාගකර තිබේ. මහා ධනවතෙකු සේ සැලකුණු එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතාටත් වඩා මුදලක් පරිත්‍යාග කළ මේ දානපතියා කවරෙක් ද? යන්න, මහත් කුතුහලයක් උපදවයි!
චන්ද්‍රවතී ධර්මපාල මහත්මිය සිය සැමියා ද සමග බෝපේ නිවසේ දී

ලියුම්කරු මේ කාරණය නිරික්ෂණය කළේ 2019 වසරේ පෙබරවාරි මස 02 වැනි දා බෝපේ ශ්වේතබිම්බාරාම විහාරස්ථානයට ගිය අවස්ථාවේ ය. විහාරාධිපති කොටවෙල විමලචන්ද්‍ර හිමියන් එහි දී මුණගැසිණි. උන් වහන්සේ පැවසුවේ, මාටින් ධර්මපාල මහතා බෝපේ ගමෙන් බිහිවී සිංගප්පූරුවට සංක‍්‍රමණය වූ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකු බවයි. එසේම  ඔහු සිංගප්පූරුවේ ‘ලංකාරාම පන්සල’ ආරම්භ කරන්නට මූලිකත්වය ගත් කණ්ඩායමේ කෙනෙක් ද වන බවයි. 

පසුව කොටවෙල විමලචන්ද්‍ර හිමියන්ගේ හඳුන්වා දීමෙන්, බෝපේ ලන්දෑව හන්දියේ පදිංචිව සිටින බැසිල් උඩුමලගල මහතා මුණ ගැසීමට හැකි විය. ඔහුගේ මග පෙන්වීම මත ලියුම්කරුට මාටින් ධර්මපාල මහතාගේ පවුලේ අය දැන හැඳින ගැනීමට අවස්ථාව ලැබිණි. 

බෝපේ, ලන්දෑව හන්දියෙන් වටරැක පාරට හැරී මීටර් පණහක් පමණ යන විට, දකුණු පසින් අලූත් පන්නයේ නිවසක් දැකිය හැකි ය. කලකට ඉහත එතැන තිබුණු පැරණි නිවස, ගමේ වහරෙන් නම් ‘සිංගප්පූරු ගෙදර’ ය. එය මාටින් ධර්මපාල මහතාගේ නිවසයි. ඔහු සහ ඔහුගේ පවුලේ බොහොම දෙනෙක් සිංගප්පූරුව සමග සබඳතා පැවැත්වීම එවන් නාමකරණයකට හේතුව ය. ගමේ බාල පරපුර ඔහු හඳුන්වන්නේ ‘සිංගප්පූරු සීයා’ යනුවෙනි.

ගාලූ වරාය සරුසාරව පැවති බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ, ගාල්ලේ ව්‍යාපාරිකයන් බොහොම දෙනෙක් විදෙස් රටවලට ගොස් ධනවතුන් බවට පත් විය.  මාටින් ධර්මපාල මහතා සිංගප්පුරුවට සංක‍්‍රමණය වීම ද එබඳු කතා පුවතකි. 

බෝපේ, කලේගාන, වැකුණගොඩ සහ හීන්පැන්දල යනු එකිනෙකට සමීප ගම් ප‍්‍රදේශයන් ය. අතීතයේ සිට ම ඒවා ප‍්‍රසිද්ධව තිබුණේ, පාරම්පරික කැටයම් කර්මාන්ත ශිල්පීන්ගේ නිජබිම් වශයෙනි. ඒවායෙහි විසූවෝ අනාදිමත් කාලයක් මුළුල්ලේ මැණික් සහ ස්වර්ණාභරණ, ලී, ගල් ආදී කැටයම් කැපීමේ ශිල්ප කලාවන්හි නියැලී සිටියෝ ය. මාටින් ධර්මපාල නමැති ව්‍යාපාරිකයා බිහි වන්නේ ද කලා ශිල්ප සම්බන්ධයෙන් පාරම්පරික උරුමයන් කර පින්නා ගෙන ය. මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ එක්තරා ‘අතුරු වෘත්තියක්’ ඔහුගේ ජීවනෝපාය විය. එය ඉංග‍්‍රීසි බසින් නම් ‘Engraver’ ය. සිංහල බසින් නම් එයට තනි වචනයක් නැත. මැණික් හෝ රනින් නිම කළ මුදු, මාල, පෙන්ඩන් ආදී ආභරණවල සියුම් ‘අකුරු’, ‘මෝස්තර’ හෝ ‘රූප’ කෙටීම මේ වෘත්තියෙහි කාර්්‍යභාරයයි. එය බොහොම දුලබ, දුෂ්කර, සියුම් කලා ශිල්පයකි. මාටින් ධර්මපාල මහතා ද ‘එන්ගේ‍්‍රවර් ශිල්පියෙකි’. කොතෙක්  දස්කම් දැක්වුව ද, මාටින් ධර්මපාල මහතා කිසි දිනක එම ශිල්පය හදාරා නැත. ඔහු එය ප‍්‍රගුණකර තිබෙන්නේ ස්වෝත්සාහයෙනි.

සය දරු පියෙක් වන මාටින් ධර්මපාල මහතා, සිය ජීවිතයේ වැඩි කාලයක් වාසය කළේ සිංගප්පූරුවේ ය. වර්තමානයේ බෝපේ, වටරැක වෙසෙන චන්ද්‍රවතී ධර්මපාල (80) මහත්මිය, ඔහුගේ දූ පුතුන් අතරින් සිවු වැන්නියයි. ඇය සිය පියාණන් ගැන අතීත තොරතුරු දිග හරින්නේ මහත් අභිරුචියෙනි.

‘බෝපේ  ‘වටරැක’ කියන්නේ අපේ තාත්තා උපන් ගමයි. මෙහේ ඉතින් ඔය කැටයම් වැඩට බොහොම ප‍්‍රසිද්ධයි. මුල් කාලේ තාත්තා ‘හරක් ඇටවලින්’ බොත්තම් හදන ව්‍යාපාරයක් කළා. ඒවා කොළඹ ගෙනිහින් අලෙවි කළා. තාත්තාට ඔය බොහොම සියුම් වැඩ හොඳට පුළුවන්. පස්සේ වර්ෂ 1930 දි විතර තමයි තාත්තා සිංගප්පූරුවට සංක‍්‍රමණය වෙලා තියෙන්නේ’, යයි ඇය සිය අතීත මතකයන් සිහිපත් කරන්නී ය. 

සිංගප්පූරුවට ගිය මාටින් ධර්මපාල මහතාට මුලින් ම, යම් යම් ආයතනවල රැුකියා කරන්නට සිදු විණි. එහෙත් කල් යාමේ දී ඔහු සිය ‘එන්ගේ‍්‍රවර්’ වෘත්තිය මුල්කර ගෙන ව්‍යාපාරික කටයුතු ඇරඹී ය. සිංගප්පූරුවේ ඔහුගේ නිවස පිහිටා තිබුණේ ‘සිලිංගි පාර’ ප‍්‍රදේශයේ ‘කැෆේ සිනමාහල’ අසල ස්ථානයක ය. නිවසේ කොටසක ‘එන්ගේ‍්‍රවර් වැඩ පොළ’ ද  පවත්වා ගෙන යනු ලැබිණි.

මාටින් ධර්මපාල මහතාගේ විවාහය සිදුව ඇත්තේ ද සිංගප්පූරුවේ දී ය. ඒ වන විට ද සිගප්පූරුවේ පදිංචිව සිටි පී. ඒ. ලූසි නෝනා නම් ලාංකික තරුණිය ඔහුගේ මනාලිය වූවා ය. ලූසි නෝනා ද බෝපේ ගමේ උපත ලද්දියකි. විවාහය ද සමග මාටින් ධර්මපාල මහතා, ටී. බී. එලියස් මහතාගේ ඥාතිවරයෙක් බවට පත් විය! 

‘අපේ අම්මාගේ (පී. ඒ. ලූසි නෝනා) අක්කා, ඒ කියන්නේ අපේ ලොකු අම්මා විවාහ වෙලා හිටියේ එලියස් සීයාගේ බෑණා කෙනෙකු සමගයි.  ඒක නිසා, එලියස්ගේ බෑණා බැන්ද පවුලෙන් කෙල්ලෙක් ගේන්න  ඕනෑ කියලා අපේ තාත්තලාගේ  පවුලේ අදහසක් කතා වෙලා තියෙනවා. ඔය වෙන කොට අපේ අම්මා පදිංචිවෙලා හිටියේ සිංගප්පූරුවේ. ඉතින් අපේ තාත්තා අපේ අම්මව විවාහකර ගෙන තියෙන්නෙත් සිංගප්පූරුවෙදි මයි’, චන්ද්‍රවතී ධර්මපාල මහත්මිය පවසන්නී ය. 

දැනට අසූ හැවිරිදි වියෙහි පසු වුව ද, ඇයට අතීත විත්ති හොඳින් මතක ය. 

‘එන්ගේ‍්‍රවර් ශිල්පියෙකු’ ලෙස කටයුතු කරන්නට පටන් ගෙන බොහොම කෙටි කලක දී මාටින් ධර්මපාල මහතා සිය දියුණුවේ මාවත පාදා ගත්තේ ය. සිංගප්පූරුවේ  වෙළ-හෙළඳාම් සරුසාර වීමත්, රන් ආභරණ පැළඳීම ජනප‍්‍රිය විලාසිතාවක් පවට පත් වීමත් ඊට හේතුව විය. අනෙක, එකල සිංගප්පූරුවේ ක‍්‍රීඩා තරඟ ආදිය බහුලව තිබිණි. ජයග‍්‍රාහකයන්ට පිදෙන කුසලානවල ‘නම් වාසගම්’ කෙටවුණේ ‘එන්ගේ‍්‍රවර් ශිල්පීන්’ අතිනි. මේ ශිල්පයේ දක්ෂයන් හිඟ ය. එබැවින් මාටින් ධර්මපාල මහතාගේ සාප්පුවට ඉහළ ඉල්ලූමක් තිබිණි. ආභරණවල අකුරු හෝ රූප කෙටීම සම්බන්ධයෙන් අංක එකට ගණන් ගැනුණේ ඔහු ය. ඔහු වැඩ කරන්නේ අතිනි!

මාටින් ධර්මපාල මහතා සහ ලූසි නෝනා යුවළට දරුවන්  හත් දෙනෙකි. දියණිය, ‘ලීලා’ වැඩිමලා ය. ඊළඟට සිරිල් සහ පියදාස යන පුතුන් ය.  ඔවුනට බාල චන්ද්‍රා, කුසුමා සහ විමලා යනුවෙන් තවත් දූවරුන් තිදෙනෙකි. පවුලේ බාල පුතණුවන් වූයේ සුනිල් ය. ‘අපි ඔක්කොම ඉපදුණේ සිංගප්පුරුවේදි’, යයි චන්ද්‍රවතී ධර්මපාල මහත්මිය සිහිපත් කරන්නී ය. 

ඇය සහ ඇගේ සොහොයුරු සොහොයුරියන්  පාසැල් අධ්‍යාපනය ලැබුවේ ද සිංගප්පූරුවෙනි. කුඩා  චන්ද්‍රවතී, ලංකාවට ආවේ පාසැල් අධ්‍යාපනයේ හතර වැනි වසරට ය.   එහෙත් ඇය ද වැඩි කාලයක් ගත කළේ සිංගප්පූරුවේ ය. 

කෙසේ වෙතත් ඔවුන්ට ‘නරක දසාවක්’ උදා වූයේ දෙවැනි ලෝක යුද්ධය (වර්ෂ 1939-1945) එළඹීමත් සමගිනි.  සිංගප්පුරුව එකල බි‍්‍රතාන්‍යයට පක්ෂපාතී රටක් සේ සැලකිණි. එබැවින් නිරන්තරයෙන් ම, ජපන් හමුදාවල තාඩන පීඩන එල්ල විය. ඒවා එ රට වෙළෙඳපොළ තත්ත්වයන්ට ද බලපෑම් ඇති කළේ ය. ඉක්බිති ජපාන රාජකීය ගුවන් හමුදාව 1942 වසරේ දී බෝම්බ හෙළා සිංගප්පූරුව යටත්කර ගත්හ.
චන්ද්‍රවතී ධර්මපාල මහත්මිය, දෙවැනි ලෝක යුද සමයේ අත්දැකීම් මුවට නංවන්නේ මෙසේ ය. 

‘ඔය කාලේ අපට සුද්දන් ගෙන් බොහොම කරදර සිද්ධ වුණා. තාත්තා අපිවත් අරන් පිටිසරකට ගියා. එහේ බංකරේක හැංගිලයි අපි හිටියේ. සුද්දෝ එනවා, චීන්නුත් එනවා. චීන්නු මොනවාවත් කියන්නේ නෑ. ඒ අය හරි නපුරුයි. අපිව රැක ගන්න තාත්තා බොහොම දුක් වින්දා. එක් අවස්ථාවක සැඟවෙන්න ගිහිල්ලා, බිම ඇද වැටිලා කකුලකුත් බිඳුණා’,
මේ කාලයේ සිංගප්පූරුවට ආහාර හිඟයක් ද ඇති විය. එබැවින් මාටින් ධර්මපාල මහතාට සිය දරු පවුල රැක ගැනීම දුෂ්කර එකක් විය. ඔහු කොහේ හෝ ඇවිද ගොස් සහල් ටිකක් ගෙන එයි. ඉක්බිති එයින් කැඳ පිස දරුවන්ගේ කුසගිනි නිවයි. ‘ඒ කාලේ මංඤ්ඤාක්කා අලේ සිවිඞ්ඩ විතරයි නො කෑවේ. මංඤ්ඤාක්කා කොල පවා  කෑවා. කෑම හිඟය ඒ තරම් ම උග‍්‍රයි’, මාටින් ධර්මපාල මහතාගේ පවුලේ අය කියති.
චන්ද්‍රවතී ධර්මපාල මහත්මිය, සිය පියාණන්ට සිංගප්පූරුව අත්හැර එන්නට සිදු වුණු කාරණය ද පැහැදිලි කළා ය.

‘දවසක් තුවක්කු ගත්තු සුද්දෝ කට්ටියක් ඇවිත් අපේ සාප්පුවට අත දික් කරලා මොනවා දෝ කීවා.ඒත් අපේ තාත්තාට ඒක හරියට ඇහිලා නෑ. එයා ඒ ගැන ඇහුවාම, උන් තාත්තාට තුවක්කු ඇල්ලූවා. ඉතින් තාත්තා බය වුණා. ඊට පස්සේ තාත්තා අපිත් එක්ක නැවෙන් ලංකාවට එන්න තීරණය කළා’, චන්ද්‍රවතී මහත්මිය අතීත මතකයන් දිග හරිමින් පවසන්නී ය.

සිංගප්පූරුව දෙවැනි ලෝක යුද්ධයෙන් බැටකන අවස්ථාව වන විට, ලාංකිකයන් විශාල පිරිසක් එ රට විවිධ රැකියා ආදියෙහි නියැලෙමින් උන්හ. යුද්ධයත් සමගම ඒ අයට යළි ලංකාවට එන්නට සිදු විය. එකල ලංකාවේ බලය පතුරුවා ගෙන සිටි බි‍්‍රතාන්‍ය පාලකයෝ ඔවුන් ලංකාවට ගෙන ඒම පිණිස නෞකා තුනක් යෙදවූහ. චන්ද්‍රවතී ධර්මපාල මහත්මිය ඇතුළු මාටින් ධර්මපාල මහතාගේ දරු පවුල ලංකාවට පැමිණියේ එයින් තුන් වැනි නෞකාවේ ය.

දෙවැනි ලෝක යුද්ධය වර්ෂ 1945 වසරේ දී හමාර විය. ඉන් පසුව මාටින් ධර්මපාල මහතා යළිත් සිංගප්පුරුවට ගොස් ව්‍යාපාර කටයුතුවල යෙදුණේ ය. එතෙක් ව්‍යාපාරය පවත්වා ගෙන ගොස් තිබුණේ ඔහුගේ එ රට කාර්යමණ්ඩලයයි. 

ගාලූ වැසියන් නැව් නැගී යාම සුලභව සිදු වුයේ, ගාලූ වරාය බි‍්‍රතාන්‍යයන්ගේ පාලනය යටතේ පැවති සමයේ ය. එකල මාටින් ධර්මපාල මහතා ද වසර දෙකකට වරක් ලංකාවට ආවේ-ගියේ ගාලූ වරාය ඔස්සේ නැව් නැගී මෙනි. මාටින් ධර්මපාල මහතාගේ පවුලේ අයගේ මතකයන් අනුව, එකල ගාල්ලේ සිට සිංගප්පූරුවට යාත‍්‍රා කිරීමට නැවකට ගත වන කාලය දින තුන හමාරකි. 

‘හරි විනෝදයි ඉතින්. තට්ටු ඇඳන් තමයි තිබුණේ. නැවේ දි ගල් ගෙඩි වගේ හයිය බනිස් කන්න දෙනවා’, ඔවුහු කියති. 

මාටින් ධර්මපාල මහතා සිංගප්පුරුවේ දී ‘බෞද්ධ නායකයෙකු’ ලෙස ද කටයුතුකර තිබේ. ඔහු එ රට බෞද්ධ සමිතිවල ක‍්‍රියාකාරිකයෙකි. සිංගප්පූරුවේ ලංකාරාමය විහාරස්ථානය ඉදි කරන්නට මුල් වුණු කණ්ඩායමට ඔහු ද ඇතුළත් විය.

ධර්මපාල මහතා මියයන්නේ, වර්ෂ 1960 දී ඔහු බෝපේ ගමට පැමිණ සිටි අවස්ථාවක ය. ඒ වන විට ඔහු 64 වැනි වියෙහි පසු විය. ධර්මපාල මහතාගේ  අභාවයෙන් වසර 41කට පසුව, එනම් 2001 වසරේ දී ඔහුගේ බිරිඳ ලූසි නෝනා ද මියගියා ය. ඇය මියගියේ ද සිය සැමියා මෙන් ලංකාවේ,  බෝපේ නිවසේ දී ය.

පියාණන් අභාවයට පත් වන අවස්ථාව වන විට, ඔහුගේ දෙවැනි පුත් පියදාස ධර්මපාල මහතා සේවය කරමින් සිටියේ හොංකොං රටේ බී. පී. ද සිල්වා ස්වර්ණාභරණ සමාගමේ ය. ඊට පෙර ඔහු මහනුවර ප‍්‍රැන්සිස් පෙරේරා ස්වර්ණාභරණ සමාගමේ ද සේවයකර තිබිණි. පියාණන්ගේ අභාවයෙන් පසුව සිංගප්පූරුවේ  ‘එන්ගේවර්’ ව්‍යාපාරය පැවරුණේ දෙවැනි පුත් පියදාස ධර්මපාලට ය. පසුකාලීනව ඔහු  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය විණි. පියදාස ධර්මපාල මහතා මියගියේ ද  ඕස්ටේ‍්‍රලියාවේ දී ය. මාටින් ධර්මපාල මහතාගේ වැඩුමල් පුත් සිරිල් ධර්මපාල සේවය කළේ සිංගප්පූරුවේ පොලීසියේ ය.

මේ අතර ‘එන්ගේ‍්‍රවර්’ ශිල්පය සඳහා යන්ත‍්‍ර සූත‍්‍ර පැමිණියේ ය. එයින් එන්ගේ‍්‍රවර් වැඩ සඳහා සිංගප්පූරුවේ පැවති ඉල්ලූම අඩු විය. ව්‍යාපාරය පසුබෑමකට ලක් විය. එයින් මාටින් ධර්මපාල මහතාගේ ව්‍යාපාරය ද බිඳ වැටිණි. 

චන්ද්‍රවතී ධර්මපාල මහත්මිය විවාහ වූයේ අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කළ කේ. එල්. ඩබ්ලිව්. දයානන්ද මහතා සමගිනි. විවාහය සිදුව ඇත්තේ 1959 වසරේ ය. ඔවුන්ට දරුවන් පස් දෙනෙකි. 

‘තවම අපේ පවුල්වල කට්ටිය සිංගප්පූරුවේ ඉන්නවා. සමහරු ව්‍යාපාර කරනවා. දැන් බෝපේ ගමේ ‘සිංගප්පූරු ගෙදර’ කියලා කියන්නේ අපේ ගෙදරටයි’,  කේ. එල්. ඩබ්ලිව්. දයානන්ද මහතා පැවසුවේ ය!

(මෙම ලිපිය 2019/10/27 සතිඅග අරුණ පුවත්පතේ පළවිය)


                                   



Saturday, October 19, 2019

මා වී බතේ අරුමය සහ තවත් කතා


ලිංගික ශක්තිය වඩවන
මා වී බතේ අරුමය සහ තවත් කතා

 





(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
පුරාණයේ මාතර නිල්වලා ගං නිම්නයේ කෙරුණු ‘මා වී’ ගොවිතැන  හා බැඳුණු ඇතැම් සිරිත් විරිත් මහත් කුතුහලය දනවන්නේ ය. ඉන් එක් සිරිතකට අනුව, ‘මා වී’ වගා කරන කලාපයේ ගොවි තරුණයෙකුට ‘හිරයක්’ ගේන්නේ (විවාහයට තරුණියක් සොයන්නේ) ද, මා වී වගා කරන පවුලකිනි. එසේ කරන්නේ ඇයි ද? කියා විමසන කෙනෙකුට ලැබෙන්නේ බොහොම ‘කෘෂිකාර්මික’ පිළිතුරකි!
 

‘මේකනේ, ‘මා වී’ වගා කරන ගොවි ගෙදරක තියෙන වැඩ සම්භාරය ගැන දන්නේ ‘මා වී’ වගා කරන පවුල්වල අය විතරයි. ඉතින් වෙන තැනකින් කෙල්ලක් ගෙනාවොත් එයා ඔය ‘මා වී තෝත්තරේ’ දන්නෙ නෑනේ. එතකොට වැඩ ටික අවුල් වෙනවා. මා වී ගැන දන්න ගෙදරකින් කෙල්ලන් සොයන්නේ ඒකයි’ යනුවෙන් එහි සඳහන් වෙනු ඇත!
මා වී සම්බන්ධයෙන් ගත් කල, මේ කාරණයත් බොරුවක් නො වේ. එහෙත් ඇත්ත, එළිපිට කතා නො කරන වෙනත් කාරණයකි. එය රහසක් බඳු ය.
 

නිල්වලා නිම්න වැසි ගොවීන් දැන් නම් වගා කරන්නේ ‘මහ  මාවී’ නමැති දේශීය පාරම්පරික වී ප‍්‍රභේදයයි. ඊට ඉහත නම් ඔවුහු ‘හිවල් මාවී’ වගා කළහ. පැරණි නිල්වලා නිම්නය නිරන්තරයෙන් ගංවතුර උවදුරට හසු වන බැවින් ගොවීහු මා වීවලට හුරු පුරුදුව සිටියහ. මා වී සහලෙහි බත, පෝෂණ ගුණයෙන් මෙන්ම ඖෂධීය ගුණයෙන් ද පොහොනේ ය. එබැවින් එකල ගොවීහු සිය වගා කටයුතුවල දී ‘බුද්ධ භෝගය’ යයි ගෞරවයෙන් සැලකුවේ ද ‘මා වීවලට’ ය.
 

අතීතයේ දී  අපේ රටේ දේශීය පාරම්පරික ‘මා වී’ වර්ග 28ක් පමණ පැවතිණි. ඒවා වගා කෙරුණේ රටේ තෙත් කලාපීය ප‍්‍රදේශවල ය. විශේෂයෙන් ම, නිල්වලා, ගිං, කළු, කැලණි සහ අත්තනගලූ ඔය ආදී තෙත් කලාපීය ගංගා නිම්නවල ය.
 

ගොයම් ගසක් හැටියට ‘මා වී’ ශාකයේ ගති සොබාවන් විශ්මයජනක ය. එය ගංවතුර හෝ අධික ජල තත්ත්වයන්ට ඉතා හොඳින් ඔරොත්තු දෙයි. එය ජලයට කුණු වෙන්නේ නැත. පීදුණු ගොයම ගංවතුරට හසු වුව ද, වී කරල ජලයෙන් ඉහළට ඇදී එයි. එබැවින් ගොවීන් කියන්නේ ‘ඔරුවෙන් ගිහින් හෝ ගොයම් කපන්නට හැකි’ බව ය.
 

පාරම්පරික මා වී ගොයමෙහි ඵල දරන වයස මාස හයකි. එහි ගොයම් ගස අඩි පහක් හයක් පමණ දිග ය. පුරුක් සහිත ය. මාස හයට එහි පුරුක් හතක්  වැඩෙයි. ගොයම ඵල දරා වී කරල් හැදෙන්නේ හත් වැනි පුරුකේ ය. කුමන මාසයක වී වැපිරුව ද, ගොයම පීදී කරල් හැදෙන්නේ දෙසැම්බරයේ ය. ලෝකයේ වෙනත් වී වර්ග සෑම එකකම පාහේ ගොයම් පැලයක් ලබා ගැනීමට ‘වී ඇටයක්’ සිටුවිය යුතු ය. එහෙත්  ‘මාවී’ එසේ නොවේ. මා වී ගොයම් ගසක පුරුක් වෙනම කපා සිට වූ විට, එයින් නව ගොයම් ගසක් හට ගනියි!
 

මා වී සහලේ බත බොහොම රස ය. මෘදු ය. යමෙකුට එය හිතූ තරම් අනුභව කරන්නට ද නුපුළුවන. බත් ටිකක් කෑ විට මහත් බර ගතියක් දැනෙයි. එසේ වන්නේ එහි ඉහළ පෝෂණ ගුණය නිසා ය. මා වී සහලේ බත පිසෙන ප‍්‍රමාණය ද වැඩි ය. මා වී බත, මිනිස් ශරීරයේ බර නිසි පරිදි පවත්වා ගෙන යයි. දේශීය වෛද්‍ය ග‍්‍රන්ථ ආදියෙහි සහ ජන වහරෙහි දැක්වෙන අන්දමට, මා වී වු කලී, ‘කාය ශක්තිය වර්ධනය කෙරෙන ගුණයෙන් යුත්’ සහලකි. එනම්, ‘වාජීකරණ ගුණයෙන් යුත්’ බතක් උපදින සහලකි. එහි ඇති ප්‍රෝටීන ප‍්‍රතිශතය සියයට 7.80ක් තරම් ඉහළ මට්ටමක ඇති බව පර්යේෂණ මගින් සොයා ගෙන තිබේ. මා වී සහලේ බත වැළඳීමෙන් ‘ලිංගික ශක්තිය වර්ධනය වන බව’ නිල්වලා ගං නිම්නවාසී ගොවීන්ගේ පිළිගැනීමයි.
 

මා වී ගොවිතැන් කරන පවුලක තරුණයෙකුට, මා වී ගොවිතැන් කරන පවුලක කෙල්ලෙක් ම කාර බැන්ද වීමේ සිරිත සම්බන්ධයෙන් එළිපිට කතා නො කරන රහස එළියට එන්නේ මෙතැන දී ය. මා වී බත වළඳන පිරිමින් ජවාධිකයන් ය. එවැනි පිරිමින්ගේ ‘ගති සොබාවන්ට’ ඔරොත්තු දෙන්නට නම්, තරුණියකට වුව ‘මා වී’ බතේ හයිය තිබිය යුතු ය. මා වී වගා කරන ගොවි පවුලක කොල්ලෙකුට, එවන් ගොවි පවුලකින් ම කෙල්ලෙකු කැන්දා ගෙන ඒමේ රහස එයයි! 
 

මාතර නිල්වලා නිම්න වාසී ගොවීහු මා වී සහලේ කුරුට්ටෙන් ‘කුඩු පිට්ටු’ නම් ආහාරයක් සකසා ගනිති.  එය ‘ඇඟිල්ලේ ගා ගෙන කන’ දියර පිට්ටුවකි. ‘අපි ඉතින් කුඩු පිට්ටු නම් හාමුදුරුවරුන්ට වළඳවන්නේ නෑ. ඒවා වැඩිපුර කන්න කියන්නේ අලූත බැඳපු අයටයි’ යයි ඔවුහු කට කොනෙන් හිනැහෙමින් කියති.
 

වාජීකරණ ඔසු ගුණය පමණක් නොවේ. ලංකාවේ දේශීය පාරම්පරික සහල් වර්ග බොහොමයක් දියවැඩියා රෝගය සහ එයින් හට ගන්නා අතුරු ආබාධ, පිළිකා, ස්නායු, ඉදිමුම් රෝග ඇතුළු බෝ නො වන රෝග පාලනය සහ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ඉහළම හැකියාවක් දක්වන බව, පසුගිය කාලයේ කාර්මික තාක්ෂණ ආයතනය මගින් කළ පර්යේෂණ මගින් හෙළි විය. ඒ පිළිබඳ තොරතුරු, ජර්මනියේ දී ඉංග‍්‍රීසි බසින් පළ කෙරුණු ‘Health Food Properties of Traditional Rice in Sri Lanka’ නම් පර්යේෂණ ග‍්‍රන්ථය ඔස්සේ අනාවරණය කෙරිණි. ආචාර්ය කාංචනා අබේසේකර සහ ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර යන අපේ විද්වතුන් දෙදෙන, එහි කතුවරුන් වූහ.
 

එහි සාකච්ඡාවට ගැනෙන විෂය වන්නේ ලංකාවේ දේශීය පාරම්පරික සහල්වල ඇති ඖෂධීය සහ පෝෂණීය ගුණාංග සම්බන්ධයෙන් ‘කාර්මික තාක්ෂණ ආයතනය’ කළ පර්යේෂණ මාලාවේ අපූර්ව තොරතුරු ය. ශ‍්‍රී ලංකාවේ දේශීය පාරම්පරික රතු සහල් වර්ග බොහොමයක්, දියවැඩියාව, පිළිකා, ස්නායු ආබාධ ආදී බෝ නොවන රෝග පාලනය සහ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ඉහළම හැකියාවක් දරන බව, එයින් අනාවරණය විය.
 

දියවැඩියාව සහ එයින් ඇති වන අතුරු ආබාධ , පිළිකා, ස්නායු සහ ඉදිමුම් රෝග, එසේ දේශීය පාරම්පරික සහලින් මැඩ පැවැත්විය හැකි රෝග අතර වේ. දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ බොහොමයකි. ඇස් පෙනීම දුර්වලවීම, තුවාල සුව නොවීම, වකුගඩු දුර්වලවීම, ශරීරය දුර්වලවීම සහ හෘද රෝග තත්ත්වයන් පවා ඇති වීම, ඒවා අතර වේ. දේශීය පාරම්පරික රතු සහල් වර්ගවල ඒවා ද පාලනය කිරීමේ සහ මැඩ පැවැත්වීමේ ගුණාංග තිබෙන බව, කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණයෙන් සොයා ගැනුණි.
 

අනාවරණය වූ වැදගත්ම කාරණය වූයේ, ‘නිවුඞ්ඩ’ : (Bran) (කුරුට්ට) සහිත,‘මසුරන්’, ‘සුදු හීනැටි’, ‘දික් වී’ සහ ‘ගොඩ හීනැටි’ යන පාරම්පරික රතු සහල් වර්ගවලට, දියවැඩියාව පාලනය කිරීම සම්බන්ධයෙන් ඉහළම තැනක් හිමි වන බවයි. ඒවාට අමතරව, වන්නි දහනල, හේරත් බණ්ඩා, කොට්ටියාර් සහ සුලැයි (සූල) යන දේශීය රතු සහල් වර්ග ද රුධිරයේ සීනි පාලනය සම්බන්ධයෙන් උසස් තත්ත්වයන් පෙන්නුම්කර අත.
 

ශරීර පෝෂණය යහපත් තත්ත්වයෙන් පවත්වා ගෙන යාම සහ බෝ නො වන රෝගවලින් මිදුණු සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීම ද යහපත් ලිංගික ජීවිතයකට හේතු කාරක වෙයි. දේශීය පාරම්පරික වී වර්ග බොහොමයක එවන් ගුණාංග යහමින් තිබේ. ‘කුරුළු තුඩ’ නම් වියෙහි සහල (බත), කුඩා දරුවන්ගේ පෝෂණය කෙරෙහි දැඩිව බලපාන බව ගොවීන්ගේ පිළිගැනීමයි.
 

මා වී  පමණක් නොවේ. මිනිසුන්ගේ ලිංගික ශක්තිය වඩවන සහල් වර්ග ගණනාවක් ම    දේශීය පාරම්පරික සහල් වර්ග අතර එයි. ‘චරක’, ‘සුශ‍්‍රැත’ සහ ‘සාරාර්ථ සංග‍්‍රහය’ ආදී ආයුර්වේද වෛද්‍ය ග‍්‍රන්ථවල ද ඒවා ගැන සඳහන්ව තිබේ. මේ සහල් වර්ගවල ප්‍රෝටීන ප‍්‍රතිශතය ඉහළ ය. සුවඳැල්, කුරුළු තුඩ, රත් හැල්, කළු හීනැටි, මුතු මාණික්කන්, පොලයල් ආදිය ඒවා අතර වෙයි. මුතු මාණික්කන් සහලේ බත, කාන්තාවන්ගේ සමේ වර්ණය පැහැපත් කරවන බව ප‍්‍රකට ය. කෝට්ටේ රජ වාසලේ බිසෝවරුන්ට ආහාර පිණිස මුතුමාණික්කන් සහල් රැස්කර තැබූ බව කියැවේ. පොලයල් සහලේ බත, මහළු විය එළඹෙන විට මතුවන ශරීර ලක්ෂණ යටපත් කරන බව පැරණි ව්‍යවහාරයෙහි සඳහන් වේ.
 

අපේ රටේ දැනට කෙරෙන්නේ, මේවා වගාකර ගෙන  ‘බත්’ වශයෙන් අනුභව කිරීම පමණකි. එහෙත් පාරම්පරික සහලේ ඇති ‘වාජීකරණ’ ගුණයන් පදනම්කර ගනිමින් යම් ‘ඔසුවක්’ හෝ ‘ශක්තිජනක’ ආහාරයක් නිපදවන්නට හැකි නම් එය මහත් සේ ප‍්‍රචලිත වෙනවා සිකුරු ය!  එසේම, කාන්තා රූ සිරිය වඩවන යම් නිපැයුමක් ද කරන්නට පුළුවන!
2019/10/10                                                             



Wednesday, September 25, 2019

බලන් තලංගම තෙත් බිමෙහි රූ සිරි!


බලන් තලංගම තෙත් බිමෙහි රූ සිරි!

කොළොම් තොට මායිමේ



අප‍්‍රකට පරිසර පද්ධතියක අසිරිය


 
ආගන්තුක ශාක ඉවත් කරමින්


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
රජ බිසෝවරුන් කොහොමත් රුවැත්තියන් ය. අන්ත:පුර ස්ත‍්‍රීහු ද එසේ ය. ඔවුහු රජ ගෙයි ඇතුළු මාළිගාවල වාසය කරති. අදින් වසර 600කට පමණ  පෙරාතුව පැවති කෝට්ටේ රාජධානි සමය ප‍්‍රකටව ඇත්තේ බාහිර සහ අභ්‍යන්තර වියවුල්වලින් පිරුණු වකවානුවක් වශයෙනි. එහෙත් කෝට්ටේ විසූ රජවරු, සිය බිසෝවරුන්ගේ ද, අන්ත:පුර ස්ත‍්‍රීන්ගේ ද රූප සම්පත්තිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ බව ජන ප‍්‍රවාදවල සහන් වෙයි. එකල ඔවුන්ට බතසලසා ඇත්තේ එක්කෝ මුතු සම්බාසහලෙනි. නැතිනම්, ‘මුතු මාණික්කන්සහලෙනි. රජුන් ඇතුළු මහ වාසල රාජකීයයන් මෙන්ම, ප‍්‍රභූවරුන් ද වැළඳුවේ මුතු සම්බාසහලේ බත ය.

ජන ප‍්‍රවාදවල කියැවෙන හැටියට, එකල මුතු සම්බා සහල් නිපැයුණේ මුතුරාජවෙලපැසුණු කුඹුරුවල ය. මුතු මාණික්කන් සහල් නිපැයුණේ කෝට්ටේ රජ වාසලට සමීප සරුසාර වෙල් යායවල ය. කෝට්ටේ රජුන්ගේ යුද සෙබළුන් අනුභව කළේ හීනැටි සහලේබත බව ද කියැවේ. එකල රජවාසලට සමීප කුඹුරු ද, ඒවාට දිය රැුස්කර දුන් වැව් සහ ජලාශ ද, කුඩා පරිමාණයේ ඔය (හොය) දහරා ද තිබිණි. සුප‍්‍රකට දියවන්නා ඔයද ඉන් එකකි.



මේ සටහන අකුරු කරන්නේ, කෝට්ටේ විසූ රජවරුන් ඔවුන්ගේ සිත්ගත් රුවැත්තියන්ගේ කෝමල රේඛා නඩත්තු කරන්නට  උනන්දු විණැයි ජන වහරේ එන තොරතුරු පළ කරන්නට නොවේ. වී ගොවිතැන ද ඇතුළුව ඔවුන්ගේ රාජකීය භාවිතාවන්ට දියවර සැපයුණු තලංගම වැවගැන අලූත් කරුණු ටිකක් දිග හරින්නට ය. ඒවා, අලූත් කොළඹට පාරිසරික වින්දනයක් ගෙන එනු ඇත්තේ ය.

තලංගම වැව පිහිටා ඇත්තේ කඩුවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ය. එය අපට හමුවන්නේ වර්තමානයෙහි ප‍්‍රත්‍යන්ත නුවරුන් කොළොම් පුරයට වැදෙන  කොට්ටාවේ සිට තලවතුගොඩ සහ බත්තරමුල්ල ඔස්සේ බොරැල්ලට වැටෙන අංක 174 බස් මාර්ගය ආශ‍්‍රිතව ය. වැව සහ පරිවාරයේ ජලාශ‍්‍රිත පරිසර පද්ධතිය, වර්තමානයේ තලංගම උතුර, මුත්තේගොඩ, තලංගම දකුණ, බටපොත සහ කුමාරගේ වත්ත යන ග‍්‍රාම නිලධාරී වසම්වලට අයත් වෙයි.

යාල, උඩ වලවේ, සිංහරාජය, නකල්ස් සහ හෝර්ටන්තැන්න ආදී ප‍්‍රදේශ තරම් ප‍්‍රසිද්ධියක් නො ඉසිළුව ද, තලංගම වැව සහ පරිවාරයේ ජලාශ‍්‍රිත භූමිභාග පාරිසරික සංචාරයන්ප‍්‍රිය කරන උදවිය අතර බෙහෙවින් ජනප‍්‍රිය ය. අතිශයින් ම ජනාකීර්ණ කොළොම් තොටට අත පොවන තරම් දුරින් පිහිටි තලංගම ඉසව්ව, සුන්දර භූමි දර්ශන මෙන් ම, සතා සීපාවා සහ ගහකොල ඇතුළු ජෛව විවිධත්වයෙන් ද පොහෝනේ ය.  එය පක්ෂීන් නරඹන්නන් අතර ද බොහොම ජනප‍්‍රිය සංචරණ ඉසව්වකි. 

පැරණි ව්‍යවහාරයේ හැටියට තලංගම වූ කලී තඩාග ග‍්‍රාමයන්නයි. ඒ අවට ඇති හීනැටිකුඹුර’, ‘තලවතුගොඩසහ මහනියරආදී ග‍්‍රාම නාමයන්, අතීතයේ එහි පැවති කෘෂිකාර්මික ජීවිතය ගැන කටු සටහනක් වර්තමානයට ද ශේෂ කරවයි. තලංගම ප‍්‍රදේශයේ අදටත් දකින්නට තිබෙන එක්තරා වෙල් යායක් හඳුන්වන නාමය මුත්තෙට්ටුව කුඹුරය. එහි වපසරිය අක්කර හයක් පමණ වේ. ජන ප‍්‍රවාදවල කියැවෙන හැටියට, කෝට්ටේ රජවාසලට බතසැපයුණේ එයින් අස්වැද්දුණු වී සම්පතිනි. කෝට්ටේ රජ වාසල ඇත් පන්තියට’ (අලි ඇතුන්) දිය කෙළි සැලැස්වුහයි කියන්නේ ද තලංගම වැවෙනි.

පැරණි කතා පුවත්වල එන හැටියට, තලංගම වැව ඉදිකර ඇත්තේ කෝට්ටේ රජ කළ හය වැනි පරාක‍්‍රමබාහු රජ්ජුරුවෝ (ක‍්‍රි. ව. 1547-1551) ය. ප‍්‍රදේශයේ පැරැන්නන් පවසන අන්දමට, කෝට්ටේ රාජධානි කාලයේ පැවති තලංගම වැවවිශාල එකකි. එහි ජල පෝෂක ප‍්‍රදේශය එකල වර්ග සැතපුම් තිස් තුනක පමණ භූමියක් පුරාවට පැතිර තිබුණි. එයින් වැඩි හරියක් කුඹුරු ය. වැව සහ ජල පෝෂක ප‍්‍රදේශයට වර්ෂාව ලැබෙන්නේ නිරිත දිග මෝසම් කාලය ඔස්සේ ය. වැව ආශ‍්‍රිත කලාපයේ වාර්ෂික වැසි පතනය මිලි මීටර් 2000-2500ක් පමණ වෙතැයි, මධ්‍යම පරිසර අධිකාරිය කියයි. එකල මුළු තලංගම ප‍්‍රදේශයට ම, දියවර සැපයුණේ තලංගම වැවෙනි. එසේම, ප‍්‍රදේශයේ ගංවතුර පාලනය  හා ද එයින් සිදු වුයේ අනගි මෙහෙවරකි.

එහෙත් පසුකාලීනව වැවෙහි නඩත්තුව අභාවයට ගියේ ය. එබැවින් වැව ක‍්‍රමයෙන් ගොඩ විය. කෙසේ වෙතත් මෑත ඉතිහාසයේ තලංගම වැව, අක්කර 44ක පමණ භූමි වපසරියකින් සමන්විතව තිබිණි. පසුව වැවෙහි වපසරිය තවත් අඩුවී ගිය අතර, 1990 දශකය මුල් භාගයේ දී එය ප‍්‍රතිසංස්කරණය කෙරිණි. දැන් වැවට ඉතිරිව ඇත්තේ අක්කර 37ක පමණ කොටසක් පමණි. මධ්‍යම පරිසර අධිකාරිය පවසන ආකාරයට, වැවෙහි වර්තමාන ජල ධාරිතාවය අක්කර අඩි පණහකි. එහි රැඳෙන දියවරින් ගොවිතැන් කෙරෙන භූමිභාග පිහිටා තිබෙන්නේ, අකුරේගොඩ සහ උතුරු තලංගම අතර ය. එයින් අක්කර 250ක් පමණ වී වගා කෙරෙන කුඹුරු ය.


පීපල් ටු පීපල් වොලන්ටියර්ස්යනු, ජගත් පාරිසරික පහසුකම් ව්‍යාපෘතියේ මගපෙන්වීම මත, මධ්‍යම පරිසර අධිකාරියේ ද අනුග‍්‍රහය ඇතිව, තලංගම වැව ආශ‍්‍රිත භූමි සහ ජලජ පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීම පිණිස ඉදිරිපත්ව සිටින රාජ්‍ය නො වන පාරිසරික සංවිධානයකි. ඔවුන් සහන් කරන අන්දමට, මේ ඉසව්ව තෙත් බිම් පරිසර පද්ධතියකි’.  
එහි දී හමුවන පක්ෂි විශේෂ සංඛ්‍යාව 207කි. ඉන් ලංකාවට ආවේණික විශේෂ ගණන 23කි. සංක‍්‍රමණික විශේෂ සංඛ්‍යාව 95කි. පක්ෂීන්ට අමතරව, ක්ෂීරපායී සත්ත්ව විශේෂ 24ක් ද, මිරිදිය මත්ස්‍ය විශේෂ 35ක් ද, සමනල විශේෂ 64ක් ද, බත්කූරු විශේෂ 37ක් ද, උරග විශේෂ 23ක් ද එයින් හමු වේ. උන්ට අමතරව, උභය ජීවී සහ සර්ප විශේෂ ද එහි වෙසෙති. වැව ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ශාක ප‍්‍රජාව තුළ තෙත් කලාපීය මෙන්ම, ජලජ පරිසරයේ වැවෙන ශාක වර්ග ගණනාවක් ද දක්නට ලැබේ.  ඒවා අතර, කොරකහ, හල්, දිවිකදුරු, ගොරක, මයිල, මී, කුඹුක් සහ වල්ලපට්ටා ආදී ශාක වර්ග කැපී පෙනෙයි. කොළඹ නගරය සමීපයේ, අතිශය ජනාකීර්ණ නාගරික ප‍්‍රදේශයක් තුළ පවතින මේ ජෛව විවිධත්වය සුවිශේෂ ය.

තලංගම වැව ආශ‍්‍රිත පරිසර පද්ධතිය පක්ෂීන් සහ සෙසු සතුන් අධ්‍යනය කිරීම සදහා අගනා ප‍්‍රදේශයක් බව පරිසරවේදීන්ගේ අවධානයට ලක් වන්නේ 1988 වර්ෂයේ පමණ ය.

ඒ කාලේ මමයි, වෛද්‍ය රුවන් පෙරේරා මහත්තයයි පක්ෂීන් නිරීක්ෂණය කරන්න ඔය ප‍්‍රදේශයට එනවා. එතකොට මෙතැන හොඳ ජෛව විවිධත්වයක් තියෙනවා කියලා අපි අත්දකිනවා. ඊට පස්සේ තමයි හුෙඟක් දෙනෙක් මෙහේ එන්න පටන් ගත්තේ’, එසේ කියන්නේ පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ය.

ඔහු පවසන අන්දමට, තලංගම තෙත් බිම් පද්ධතිය ඉතා දුර්ලභ සංක‍්‍රමණික පක්ෂීන්ගේ වාස භූමියකි. බෙල්ලන් කොකාවැනි නේවාසික පක්ෂීන්ගේ අභිජනන තිප්පොළකි.

එක සැරයක් අපට තලංගම දී දුර්ලභ වැහි ලිහිණි විශේෂයක් හමුවුණා. උන් වසර තිහකින් විතර ලංකාවට ආවා කියලා වාර්තා වෙලා තිබුණේ නෑ. දම් සිලූටු දෑතුඩුවාසහ මල් සේරුවාවගේ තෙත් බිම් ආශ‍්‍රිතව වාසය කරන පක්ෂීන් තලංගම දී දකින්න පුළුවන්’, ඔහු පවසයි.

තලංගම තෙත් බිම් පරිසර පද්ධතියෙහි ඇති වැදගත්කම නිසා ම, මධ්‍යම පරිසර අධිකාරිය 2007 වසරේ දී එය පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශයක්බවට ප‍්‍රකාශයට පත් කළේ ය. එයට වැව සහ ඒ ආශ‍්‍රිතව පිහිටි හෙක්ටයාර් 118ක භූමියක් අයත් වන බව, 2007 මාර්තු මස 05 වැනි දා නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ සහන් විණි.


පීපල් ටු පීපල් වොලන්ටියර්ස්සංවිධානයේ අනුරාධ ප‍්‍රභාත් කුමාර මහතා පවසන අන්දමට, කොළඹ නගරය ආශ‍්‍රිතව පිහිටි තෙත් බිම් අතරින් සංක‍්‍රමණික පක්ෂීන් වැඩියෙන් ම දැකිය හැක්කේ තලංගම දී ය. වර්තමානයේ තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය, සමනල අධයයන කවය සහ ප‍්‍රකට පරිසරවේදීන් රැසක් එහි පැමිණ ගවේෂණ කිරීමට පුරුදුව සිටිති.

කොළඹ නගරය පරිවාරයේ පිහිටි තලංගම තෙත් බිම් පරිසර පද්ධතියපාරිසරික සංචරණ කලාපයක් වශයෙන් තවදුරටත් සංවර්ධනය කළ යුතු භූමි භාගයකි. පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ඒ ගැන කියන්නේ මෙසේ ය.

මෙතැන බොහොම ඉහළ ජෛව විවිධත්වයක් තියෙනවා. ඒවා ගැන මීට ඉහතත් අධ්‍යයන කෙරුණා. දැනුත් කෙරෙනවා. ඒවා තව ඉදිරියටත් ගෙන යා යුතුයි. තලංගම වැව කියන්නේ ජල බස්නාවක් ලෙස වැදගත් මෙහෙවරක් කෙරෙන තැනක්. ඒත් ඒකට බාධා වෙන කාරණා තියෙනවා. මේ ඉසව්වෙන් අධිවේගී මාර්ගයක් සැලසුම් කෙරිලා තියෙනවා. එයින් බලපෑම් ඇති වේවි. ඒ අතර, වැව ගොඩ වෙමින් යනවා. ගංවතුර පාලනයට කියලා 1992 දි විතර වැවේ ස්පිල් එක’ (පිටවාන) පහත් කළා. එයින් වැවේ ධාරිතාවය අඩු වුණා. ඒක නැවත යථා තත්ත්වයට පත් කළ යුතුයි. මොන දේ කරන්නත් කලින්, වැව වටේ තිබෙන පරිසර පද්ධති ප‍්‍රතිස්ථාපනය කරන්න  ඕනෑ. ඒ වගේම, ආගන්තුක සහ ආක‍්‍රමණශීලී ශාක ගහනය ඉවත් කළ යුතුයි


පරිසරවේදී අනුරාධ ප‍්‍රභාත් කුමාර මහතා පෙන්වා දෙන අන්දමට, තලංගම වැව ආශ‍්‍රිත තෙත් බිම් පරිසරය සංරක්ෂණය කිරීමේ දී එහි නිවැසි සත්ත්ව සහ ශාක ප‍්‍රජාවට ද, අලංකාර භූ දර්ශනවලට ද හානි වීම් වළකා ගත යුතු ය. තෙවනුව, සංචරණයට පහසුකම් සහ මංපෙත් සැකසිය යුතු ය. එහි එන අයට මේ තෙත් බිම ගැන දැන ගැනීමට, නැරඹුම් ස්ථානයක් සහ තොරතුරු මධ්‍යස්ථානයක් ආරම්භ කළ යුතු ය. එහෙත් එවැනි කටයුතු නො කෙරෙන බව ද අනුරාධ ප‍්‍රභාත් කුමාර මහතා සහන් කරන්නේ ය. 

පරිසරවේදීන් පෙන්වා දෙන අන්දමට, තලංගම ආශ‍්‍රිත ජලජ පරිසර පද්ධතියට එල්ලවී ඇති තර්ජන බොහොමයකි. කුඹුරු ඉඩම් ගොඩ කිරීම නිසා සුළු වැස්සකින් පවා ගංවතුර ඇති වීම, අනවසර යාන්ත‍්‍රික බෝට්ටු ධාවනය නිසා ජලචර පක්ෂීන්ගේ සහ අනෙකුත් සතුන්ගේ හැසිරීම්වලට බාධා එල්ල වීම මෙන්ම, උන්ගේ අභිජනන මධ්‍යස්ථාන විනාශ වීම, නිවාස ව්‍යාපෘති සහ මහා මාර්ග තැනීම වැනි යටිතල ව්‍යාපෘති නිසා වැවට සහ වැව අවට පර්සරයට බලපෑම් එල්ල වීම, කැලි කසල මෙන්ම අපද්‍රව්‍ය වැවට බැහැර කිරීම සහ තෙත් බිම් පරිසරයේ ඇති බිම් පෙදෙස් අනවසර පදිංචිකරුවන්ගේ ග‍්‍රහනයට නතු වීම සහ ආක‍්‍රමණික හා ආගන්තුක ශාක පැතිරීම, ආදී කාරණා ඒ අතර වේ. තලංගම තෙත් බිම සංරක්ෂණය කිරීමේ දී මේ ගැටලූ සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බව ඔවුන්ගේ අදහසයි.

ශ‍්‍ර‍්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ සුරන්ජන් කොඩිතුවක්කු මහතා කියන හැටියට, බේරේ වැව, දියවන්නාව, බොරලැස්ගමුව ඇතුළු කොළඹ ආශ‍්‍රිත තෙත් බිම් මුහුණ දෙන පොදු ප‍්‍රශ්නයක් තිබේ. ඒ, ‘ජල දූෂණයයි’. කර්මාන්ත ශාලා සහ ජනාවාස අපද්‍රව්‍ය ඒවාට එකතුවීම නිසා එය සිදු වේ. මින් කර්මාන්ත අපද්‍රව්‍යවල ආසනික් සහ ඊයම් ඇතුළු බැර ලෝහ ද අඩංගු ය. තලංගම වැව ආශ‍්‍රිත පරිසර පද්ධතිය ද වර්තමානයේ ජල දූෂණයෙන් පීඩා විඳින්නේ ය.

වැව ආශ‍්‍රිතව වෙසෙන උදවිය එහි දියවරින් වී ගොවිතැන් කරති. ගව සහ එළු ආදී සත්ත්ව පාලනයේ යෙදෙති. පලා වර්ග සහ එළවළු ආදී වශයෙන් කොරටු ගොවිතැනෙහි යෙදෙති. දිය නෑම පිණිස ද වැව් දිය පාවිච්චි කරති. මේ තත්ත්වය නිසා වැව ආශ‍්‍රිත ජන ජීවිතයට බැර ලෝහ ඇතුළු වීමේ අවදානම වැඩි ය. ඒවා අඩු කරන්න ක‍්‍රියාමාර්ගයක් ගන්න  ඕනෑ’, සුරන්ජන් කොඩිතුවක්කු මහතා  කියන්නේ ය.

පරිසරවේදීන් කියන හැටියට තලංගම තෙත් බිම් පද්ධතිය, කොළොම් තොට පරිසරයේ නිවැසි කොක්කුන්ගේවිශාලත ම ලැගුම් පොළවලින් එකකි. හැන්දෑ ජාමයට උන් එහි ගාල් වෙනු දකින කෙනෙකුට, උන්ගේ කලිකලහය අසන කෙනෙකුට කොළොම් පුර මායිමේ එවන් තැනක් තිබේදැයි පුදුම සිතෙනු නිසැක ය!
(මෙම ලිපිය 2019/09/22 දින සතිඅග අරුණ පුවත්පතෙහි පළවිය)