රත්නපුරයෙන් මතුවන
මැණික් කර්මාන්තයේ දේශීය තාක්ෂණ ලකුණ
මැටි මැණික්, විදුම් සහ පිළිස්සුම්!
(ක‍්‍රිෂ්ණ
විජේබණ්ඩාර)
(ඡායාරූප-බුද්ධික
වීරසිංහ සහ රංජිත් ඉලේපෙරුම)
රත්නපුරයේ දී පෙන්වූ මැටි මැණික් සහ අනෙක් මැණික් ගල්
(ලංකාවේ මාධ්‍යයක මෙම පින්තූරය වර්ණයෙන් පළ වන්නේ මුල් වතාවට ය.
(පින්තූරය-බුද්ධික වීරසිංහ)
|
රත්නපුරයේ දී ‘මුක්කරු
මැණික් ලොට් එකක්’ ලියුම්කරුට
පෙන්වූ පුද්ගලයා ද වීදි මැණික් වෙළෙන්දෙකි. ඔහු ලියුම්කරු සමග කතා කළේ පත්තරයෙන්
ඔහු කවුරුන්දැයි හෙළිදරව් නො කරන පොරොන්දුව පිට ය.
‘මේවා මට
හම්බවුණු ඒවා නෙවෙයි. මං මේ වගේ මැණික් එකතු කරනවා. මේවාට යම් වෙළෙඳපොළකුත්
තියෙනවා. මුක්කරු මැණික් ෆලෝ කරන අය මට මේවා ගෙනත් දෙනවා’ යයි ඔහු කියා
සිටියේ ය.
ඔහු පෙන්වූ මැණික් ගල් සමූහය, ඇත්තට ම බොහොම දුර්ලභ මාදිලියකි. ඊට හේතුව
වන්නේ, ඒවා කපා, ඔප දමා ඇති
ආකාරයයි.
’මේවා තමයි ‘මැටි මැණික්!’, එහි වූ යම්
කොටසක් පෙන්වමින් ඔහු කීවේ ය.
ඒවා පැහැයෙන් තද රතු පාට සහ කහ පාට ය. හැඩය
රවුම් ය. හරියට කුඩා බෙහෙත් පෙත්තක් හෝ ‘වොෂර් එකක්’ වැනි ය. වට ප‍්‍රමාණයෙන්
මුං ඇටයක තරම ය. අරුමයකි,
ඒවායෙහි මැදින් සියුම් සිදුරක් ද තනා තිබේ! ඇතැම් ‘මැටි මැණිකක්’ මුං ඇටයක්
මෙන් වටකුරු ය. වීදි වෙළෙන්දා පවසන්නේ ඒවා ‘මැටි මැණික්’ බව ය. සැබෑවකි. අත්ලට
ගෙන බැලූ විට, ඒවායෙහි
මතුපිට පෘෂ්ඨය අතිශයින්ම සුමට ය. මැණික් ගලක පෘෂ්ඨය වාගේ ම ය!
ඛනිජමය සහ ‘ක්රිස්ටල්මය’ ස්ඵටිකවලින්
පිරුණු මැණික් ලෝකයේ, රත්න විද්‍යාත්මකව
‘මැටි මැණික්’ කියා දෙයක්
නැත. එහෙත් රත්නපුරේ ජන ව්‍යවහාරයේ දී ඒවා ‘මැටි මැණික්’ ය. වීදි වෙළෙන්දා නො
දන්නවා හෝ නො කීවාට, මේවා පෞරාණික ‘මැටි පබළු’ ය. ඈත අතීතයේ
දී පළඳනා හැටියට භාවිත කළ වස්තූන් ය. එනම් ‘ආභරණ’ ය. මැණික් වැනි ස්ඵටිකමය ඛනිජ භාවිතයට පෙර
මනුෂ්‍යයන් පැළඳීම පිණිස පාවිච්චි කළේ මැටියෙන් තැනූ ‘පබළු’ වැනි දේවල් ය.
ලියුම්කරු 2008 වසරේ දී තංගල්ලට
නුදුරු, හුංගම, මිණිඇතිලිය
වෙල් යායේ කෙරුණු පුරාවිද්‍යා කැනීම් නැරඹීමට ගියේ ය. කැනීම මෙහෙයවූ ආචාර්ය නිමල්
පෙරේරා මහතා පැවසූ අන්දමට,
එය අදින් වසර 4,400-3,800ත් අතර වකවානුවකට අයත්
බවට කාලනීර්ණය කෙරුණු මානව ජනාවාසයකි. එයින් ද මැදින් සිදුරක් විදින ලද ‘මැටි පබළු’ හමුවී තිබිණි.
පුරාවිද්‍යා නිලධාරියෙක් ලියුම්කරුට ඒ ගැන විස්තර කළේ, පබළුව මැදින්
නූලක් ද යවා පෙන්වමිනි. මිණිඇතිලියෙන් හමු වුණු පබළු නම් දිස්වූයේ මැටි පාටිනි.
ආදි මානවයන්ගේ ‘ආභරණ’ ගැන, ආචාර්ය සිරාන්
දැරණියගල මහතා වර්ෂ 1969 දී
අනුරාධපුරයේ ඇතුළුපුර කැනීමෙන් ද, දඹුල්ල ‘ඉබ්බන්කටුව’ මෙගලිතික සුසාන භූමියේ
කැනීම්වලින් ද මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇඹිලිපිටියේ රංචමඩම සහ හල්දුම්මුල්ල යන ප‍්‍රදේශවල
කළ කැනීම්වලින් ද තොරතුරු ලැබී තිබේ.පොදුවේ ගත් කල, මනුෂ්‍යයන් මැටි පබළු වැනි පැරණි ආභරණ භාවිත කළ වකවානුව
අදින් වසර 4000ත් 3000ත් අතර කාලයට
අයත් වෙයි.
රත්නපුරයේ දී ලියුම්කරුට පෙන්වූ ‘මැටි මැණික්’, ඇත්තට ම පැරණි
‘මැටි පබළු’ ය. ඉතා හොඳින්
පුළුස්සා ගත් මැටි පබළු ය. රත් පැහැය එයට සාක්ෂියකි. ඒවා මැදින් සිදුරුකර ඇත්තේ ‘පළඳනාව’ සකස්කර ගැනීම
(අමුණා ගැනීම) සඳහා ය. මේවා කොතැනකින් හෝ හමුවූ ‘පුරාවස්තූන්’ බව
ලියුම්කරුගේ කල්පනාවයි!
ඇත්තට ම, ඒවා හමු වන්නේ ‘මුක්කරුවරුන්
මැණික් ගැරූ ස්ථානවලින්’ ද? නැතිනම්
ඔවුන්ගේ සොහොන් හෝ වෙන යම් ‘මැණික් එකතුවලින්’ ද? යන්න
ගැටලූවකි. මනුෂ්‍යයන් මැටි පබළු භාවිතකර තිබෙන්නේ, පළඳනා සඳහා ‘මැණික්’ හෝ ‘වීදුරු’ යොදා ගන්නට
ඉහත කාලයේ ය. එකල මැණික් තිබී නැත. එහෙත් මුක්කරුවරුන් ලංකාවට පැමිණි සමයේ මැණික්
තිබිණි. එබැවින් මුක්කරුවරුන් ‘මැටි පබළු’ තැනුවා හෝ
භාවිත කළා යයි සිතන්නට ද නුපුළුවන!
කෙසේ වෙතත් ලියුම්කරුට පෙන්වූ ‘මුක්කරු
මැණික්’ සමූහයෙහි සැබෑ
මැණික් ගල් කිහිපයක් ද තිබුණේ ය. ඒවා මනා සේ කපා ඔප දමා තිබිණි. විශේෂත්වය වූයේ, ඒවා ද මැදින්
ඉතා සියුම් ලෙස සිදුරුකර තිබීමයි. මෙම මැණික් ගල්, කිසියම් පළඳනාවක්
සෑදීම පිණිස සිදුරු කළ බව පැහැදිලි ය. අපූර්ව කාරණය වන්නේ ඒවා මැදින් ඉතා සියුම්
විද තිබීමයි. අද පවා මැණික් ගලක් මැදින් සිදුරක් විදීමේ තාක්ෂණය සුලභ එකක් නොවේ.
එසේ නම්, මුක්කරුවරුන්ගේ
සමයේ හෝ ඊට ඉහත (පැරණි රජුන් දවස) එතරම් සියුම් ලෙස සිදුරු විද්දේ කෙසේ ද? යන්න පුදුම
සහගත කාරණයකි. විශේෂත්වය වන්නේ එම මැණික් ගල් ඇතුළේ දිශා කිහිපයකට විහිදෙන සිදුරු
සකසා තිබීමයි! එය රත්නපුරයේ ඉපැරණි මැණික් කර්මාන්ත තාක්ෂණයට අයත් ද? යන්න මහත්
කුතුහලය දනවන කාරණයකි.
මැණික් පතල් හා කර්මාන්ත කලාවේ දේශීය
තාක්ෂණය බොහොම අපූර්ව පුළුල් දෙයකි. එය නිසැකව ම, අනාදිමත් කාලයක්
මුළුල්ලේ කළු ගඟ ඉහළ
නිම්නයෙහි (රත්නපුරයෙහි) ජන භාවිතාව ඔස්සේ ගොඩ නැගුණු එකකි. එසේම, මැණික් පතල්
හා කර්මාන්ත කලාවේ තාක්ෂණය,
කිසියම් දුරකට ‘රත්නපුරයට අනන්‍ය බවක්’ ද පෙන්නුම්
කරයි. එය, මැණික් ඉල්ලම්
ඇති ස්ථාන සෙවීම, මැණික් පතල්
කැනීම (රත්නපුරයේ ජන වහරෙන් පතල් කැපීම), මැණික් කපා ඔප දැමීම සහ පුළුස්සා වර්ණ
වැඩිකර ගැනීම ආදි ක්ෂේත‍්‍ර ගණනාවකින් කැපී පෙනෙයි.
ආචාර්ය සිරාන් දැරණියගල සූරීන් වර්ෂ 1969 දී
අනුරාධපුරයේ ඇතුළු පුරයේ කළ පුරාවිද්‍යා කැනීම, ලංකාවේ කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත
සම්බන්ධයෙන් අතිශයින් ම වැදගත් පර්යේෂණයකි. අදින් 3000කට පමණ (ක‍්‍රි. පූ. 1000-750) ඉහත දී, ලංකාවට ‘පූර්ව ඓතිහාසික යකඩ යුගය’ එළඹුණේය යන්න, එයින් කෙරුණු
ලොකු ම හෙළිදරව්වයි. පර්යේෂණයෙන් අනාවරණය වූ අන්දමට, එකල අනුරාධපුයේ විසූවෝ
‘යකඩ නගුල’ ද ඇතුළුව
කෘෂිකාර්මික යකඩ මෙවලම් භාවිතකර තිබේ. ‘පූර්ව ඓතිහාසික යකඩ යුගය’ ඉන්දියාවේ සිට
මෙ රටට ගලා ආ බව, විද්වතුන්ගේ
මතයයි.
කළු ගඟ ඉහළ නිම්නය සම්බන්ධයෙන් ද මේ කාරණය
ඉතා වැදගත් ය. ‘වලවල්
හෑරීමෙන් කරන’ මැණික් පතල්
කැනීම් ද, යකඩ යුගයෙන්
පසුව ආරම්භ වන්නට ඇතැයි කල්පනා කළ හැකි ය!
ජන සමාජය යකඩ භාවිතයට හුරු වීමත් සමගම, මැණික් පතල්
කැපීමට භාවිත කරන ‘උදැල්ල’ සහ ‘ඉල්ලම් කූර’ (වෙනත් ප‍්‍රදේශවල
භාවිත කරන ‘නාරස්සනය’ වැනි අඩි තුනක් පමණ දිග යකඩ කූරක් වැනි මෙවලමක්), නිර්මාණයකර
ගන්නට ඇත! පාරම්පරික මැණික් පතල් කර්මාන්තය ගත් විට, ලෝහමය මෙවලම් ඇත්තේ
ඉතා සුළු සංඛ්‍යාවකි. උදැල්ල, ඉල්ලම් කූර, වතුර ඉසින බාල්දිය සහ
ඉල්ලම් ඇති ස්ථාන සෙවීමට භාවිත කරන ‘කම්බිලි කූර’ වැනි මෙවලම් ඒ අතර වේ.
මැණික් පතල් කර්මාන්තයට භාවිත කෙරෙන අනෙක් සියලූම මෙවලම් දැවමය හෝ ශාකමය කොටස්
ඇසුරෙන් නිපදවා ගැනේ.
මැණික් පතල් මාදිලි ද ගණනාවකි. පොළොවේ වලක්
සේ කනින පතල්, ගංගාවල කෙරෙන
ඇදුම් පතල්, විශාල ප‍්‍රමාණයේ
වලවල් වශයෙන් කනින ‘පතස්’ ආදිය ඒ අතර
වෙයි. පොළොවේ ‘වලවල්’ ආකාරයට කනින
පතල්වල ‘ප්‍රමාණය’ කියන්නේ ‘රියන්වලිනි’. එනම්, හතර රියන්
පතල්, අට රියන් පතල්, දෙළොස් රියන්
පතල්, දාසය රියන්
පතල් ආදී වශයෙනි. එයින් හැඳින්වෙන්නේ පතලයේ දිග ප‍්‍රමාණයයි. සාමාන්‍යයෙන් මැණික්
පතලයක පළල රියන් හතරකි. දේශීය පතල් කැපීමේ කලාවේ ගණන් මිමි සකසා ගෙන ඇත්තේ
පතල්කරුවන්ගේ ආරක්ෂාව සහ වැඩ කිරීමේ පහසුව වැනි කරුණු සලකමින් විය හැකි ය.
(මතු සම්බන්ධයි)
(මෙම ලිපිය 2018/03/25 රිවිර
පුවත්පතේ පළවිය.)
niyamai
ReplyDeleteකලින් කොටස් වගේම අගේ ඇති තොරතුරු ටිකක්.
ReplyDeleteප්‍රා ජේ, අටම් පහුර සහ පසන්ජි-ලිපි පෙළ කියවා දමන කොමෙන්ටුවලට ස්තුතියි.
Delete