රට තුළ රැකියා ඇබැර්තු පන් ලක්ෂයක්
ඇඟළුම් කර්මාන්ත ක්ෂේත‍්‍රයේ 77,000ක් !
ආරක්ෂක නියාමක ක්ෂේත‍්‍රයේ 57,000ක් !
නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත‍්‍රයේ 39,000ක් !
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ
ශ‍්‍රම ඉල්ලූම් සමීක්ෂණයෙන් හෙළි වෙයි
(ක‍්‍රිෂ්ණ
විජේබණ්ඩාර)
සාමාන්‍ය ව්‍යවහාරයේ කියැවෙන හැටියට නම්, යමෙකුට
රැකියාවක් සොයා ගැනීම යනු අතිශයින්ම බරපතල, එමෙන්ම ලෙහෙසි පහසු නොවන කාරණයකි.
කොටින්ම, හුදී
ජනයින්ගේ ජනප‍්‍රිය වහරෙන් කිව හොත් ‘මාර කේස් එකකි’. එහෙත්
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නොබෝදා නිකුත් කළ ‘ශ‍්‍රම
ඉල්ලූම පිළිබඳ සමීක්ෂණ වාර්තාවෙන්’ හෙළිදරව්කර තිබුණේ, ලංකාවේ
රැකියා වෙළෙඳපොළ ගැන අප කිසිසේත්ම නො සිතන අන්දමේ කාරණයකි. 2017
වර්ෂය පදනම්කර ගෙන සැකසූ වාර්තාවේ දැක්වෙන ආකාරයට වර්තමාන ලංකාව රැුකියා අවස්ථා සඳහා
මිනිසුන් (ශ‍්‍රමිකයන්) නැතිකමින් පෙළෙන්නේ ය. ඔවුන් කියන හැටියට, දැනට
ලංකාවේ ඇති රැකියා ඇබෑර්තු සංඛ්‍යාව පන් ලක්ෂයකට (4,97,302) ආසන්න
ය!
වඩාත් සරලව කියන්නේ නම්, මේ
කතාවෙහි තේරුම ලංකාවේ විවිධ ආයතන ශ‍්‍රමිකයන් පන් ලක්ෂයකට ආසන්න පිරිසක් ඉල්ලමින්
ලතවෙන බව ය.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2017
වර්ෂය පදනම්කර ගනිමින් මෙම සමීක්ෂණය පවත්වා ඇත්තේ, රට පුරා
විසිරී ඇති ආයතන 3500ක් නියැදියක් වශයෙන් යොදා ගනිමිනි. එයින්
හෙළිදරව්වී ඇති තොරතුරු බොහොම අපූරු ය. ඉන්
රටේ ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට වර්තමාන ලංකාවේ රැකියා වෙළෙඳපොළ පිළිබඳ අලූතින්
සිතන්නට යමක් ගෙන එතියි යන්න, ලියුම්කරුගේ කල්පනාවයි.
‘රැකියා
ජනනය’ හෙවත්
අලූත් රැකියා අවස්ථා බිහි කිරීම යනු, දැනට දශක ගණනාවක් මුළුල්ලේ ම
අපේ රටේ පාලකයන් මුහුණ දුන් අතිශය බරපතල ප‍්‍රශ්නයකි. 1980
දශකයට ඉහත කාලයේ නම්, රටේ ජනප‍්‍රියතම ජීවනෝපාය මාදිලිය වූයේ
රජයේ ආයතනවල රැකියා කිරීමයි. එකල රටේ පුළුල් පෞද්ගලික අංශයක් නො තිබුණු බැවින්, මිනිසුන්ට රජයේ ආයතනයක රැකියාවක්
කරනවා හැරෙන්නට වෙනත් විකල්ප ද නො වීය. මේ කියන කාලයේ රජයේ රැකියාවක් ලබා ගැනීම
යනු සිහිනයක් සැබෑවීමක් බඳු කාරණයකි!
මුල්ම කාලයේ රජයේ රැකියාවලට සේවකයන් බඳවා
ගෙන ඇත්තේ එක්කෝ තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම මගිනි. නැතිනම්, එක්
එක් ආයතනවල පවතින ඇබැර්තු රජයේ ගැසට් පත‍්‍රයේ පළකර, අයදුම්කරුවන්
ගෙන්වා සම්මුඛ පරීක්ෂණවලට යොමු කිරීමෙනි. කල්ගත වන විට රටේ ජනගහනය වැඩිවී, රැකියා
ඉල්ලූම්කරුවන් සංඛ්‍යාව ද ඉහළ ගියේ ය. එයින් රැකියා සොයා ගැනීම ද තරඟයක් බවට පත්
විය. ටික කලක් ඇවෑමෙන්, ‘රැකියා විරහිතභාවය’ යයි
අලූත් ප‍්‍රවණතාවයක් ඇතිවී, එය රට පෙළන ප‍්‍රශ්නයක් බවට පත් විණි.
පසු කාලීනව රජයේ රැකියා දීම කෙරුණේ
පාර්ලිමේන්තු තලයේ මහජන නියෝජිතයන් මගිනි. රජය මගින් ‘රැකියා
බැංකුවක්’ ද
ආරම්භ කෙරිණි. මහජන මන්ත‍්‍රීවරුන් වෙතින් රැකියා ලබා ගැනීමේ ක‍්‍රමය ‘මන්ත‍්‍රී
චිට් එකෙන් යනවා’ යයි ජන වහරට ද එක් විය. එකල බලයේ සිටි
දේශපාලනඥයන් බොහොම දෙනෙක්, මහජනතාවට රැකියා ලබා දීම ‘ඡන්ද
ගැරීමේ’ තුරුම්පුවක්
හෝ අවියක් බවට ද පත්කර ගෙන උන්හ. පාසැල් සහ විශ්වවිද්‍යාල මගින් පිටවන තරුණ
තරුණියන් සිය ගණන් මන්ත‍්‍රීවරු පසුපස යාම, එකල සුලභ කාරණයක් වූයේ ය.
ඇතැම් දේශපාලනඥයන් ගෙන් රැකියාවක් ලබා ගැනීමට ගිය තරුණියන්ට, ‘රෙස්ට්
හවුස්’ හෙවත්
තානායම්වල ‘ලිංගික
පිදේනි’ දීමට සිදු වුණු බව ද එකල ප‍්‍රසිද්ධ
රහසක්ව තිබිණි! රැකියා දීම, රාජ්‍ය බලය ලබා ගැනීමේ ඉහළම මැතිවරණ
පොරොන්දුවක් වූයේ ය.
රැකියා වෙළෙඳපොළ සම්බන්ධයෙන් පැවති
අවාසනාවන්ත තත්ත්වය බරපතල ලෙස වෙනස් වූයේ, වර්ෂ 1977
දී ‘එක්සත්
ජාතික පක්ෂය’
ආණ්ඩු බලයට පැමිණීමත් සමගිනි. පක්ෂයේ නායක ජේ. ආර්.
ජයවර්ධන මහතා රාජ්‍ය නායකයා වීමත් සමග, විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියක්
හඳුන්වා දුන්නේ ය. එයින් රටේ පෞද්ගලික අංශය වඩාත් පුළුල් විය. විදෙස් ආයෝජන ද
ඇතුළුව රට පුරා අලූත් කර්මාන්ත ව්‍යාපාර රාශියක් ඇති විය. කොළඹට නුදුරු කටුනායක, බියගම
සහ ගාල්ලේ,
කොග්ගල යන නව විදේශ ආයෝජන කලාප ආරම්භ කිරීම ඒ අතර ප‍්‍රධාන
විය. එයින් අලූත් රැකියා අවස්ථා රාශියක් ජනනය වූ අතර, එතෙක්
රටේ පැවති ‘විරැකියාව’, පෞද්ගලික
අංශය මගින් උරා ගනු ලැබී ය.
අලූතින් උදාවු තත්ත්වය සමාජ ආකල්පවල ද
වෙනසක් ඇති කිරීමට සමත් විය. එනම්, එතෙක් මුල් බැස ගෙන තිබුණු ‘සුදු
කරපටි රැුකියා මානසිකත්වය’ ටිකෙන් ටික වියැකී යාමයි. ක‍්‍රමයෙන්, පෞද්ගලික
අංශයේ රැකියාවල යෙදීම ද යහපත් දෙයක් බවට අදහස් පැතිරිණි.
එයින් පසුව බලයට පැමිණි ආණ්ඩු ද, විවෘත
ආර්ථික ක‍්‍රියාවලිය ආපසු හරවන්නට උත්සාහ නො කළහ. ඔවුන් ද පෞද්ගලික අංශයේ ආයෝජන
දිගින් දිගට ම දිරිමත් කළහ. රටේ වෙළෙඳ ක‍්‍රියාවලිය පුළුල් කළහ. වරාය, මහාමාර්ග, ගුවන්
තොටුපොළ, බැංකු
සහ රක්ෂණ සහ සන්නිවේදන ආදී යටිතල පහසුකම් ක්ෂේත‍්‍ර විශාල ලෙස දියුණු කෙරිණි.
පාසැලූ අධ්‍යාපනයේ විවිධ කඩයිම්වලින් ගිලිහී යන දරුවන් සඳහා වෘත්තීය පුහුණු
පහසුකම් ද බිහිවිණි. එයින් පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේ ද රැුකියා අවස්ථා, පෙරට
වඩා වැඩි වැඩියෙන් ජනනය වන්නට විය. රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ මෙහෙයවීමෙන්
ක‍්‍රියාත්මක කෙරුණු ‘ඇඟළුම් කම්හල් 250ක්
බිහි කිරීමේ වැඩ පිළිවෙල’, ප‍්‍රත්‍යන්ත ගම්වල රැකියා හිඟය විශාල ලෙස
තුනී කරන්නට සමත් විය.
විවෘත ආර්ථික ක‍්‍රියාවලියෙන් පසුව රට
පුරා පෞද්ගලික අංශය නැගී ඒම මෙන්ම එහි ක‍්‍රියාවලිය ද, නිරන්තරයෙන්ම
දැඩි විවේචනයට හසු විය. එහෙත් වඩාත්
පුළුල් වුණු පෞද්ගලික අංශය, රැකියා වෙළෙඳපොළට එකතු වන අලූත් මුහුණු
විශාල වශයෙන් උරා ගැනීමට සමත් වූයේ ය. වර්තමානයේ ආයතනගත රැකියා මෙන්ම සේවා අංශයේ
රැකියා ද, රටේ
සමාජයේ ඉහළින්ම පිළිගැනෙන්නේ ය.
ශ‍්‍රී ලංකා මහබැංකු වර්තාවේ සඳහන් වන
අන්දමට,
2016 වසරේ රාජ්‍ය අංශයේ රැුකියාවල යෙදී සිටි ශ‍්‍රමිකයන්
සංඛ්‍යාව (රැකියා නියුක්තිය) සියයට 14.6කි. පෞද්ගලික අංශයේ ශ‍්‍රමිකයන්
සංඛ්‍යාව සියයට 43.3කි. ස්වයං රැකියා ක්ෂේත‍්‍රයේ ශ‍්‍රමික
සංඛ්‍යාව සියයට 31.6කි.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ‘2017
ශ‍්‍රම ඉල්ලූම පිළිබඳ සමීක්ෂණ වාර්තාවෙහි’ සඳහන් වන අන්දමට, මේ
වන විට පෞද්ගලික අංශයේ රැකියා කරන සමස්ත ශ‍්‍රමික පිරිස මිලියන පහ ද ඉක්මවයි! මහ
බැංකු වාර්තාවේ කියැවෙන ආකාරයට, 2016 වසරේ රාජ්‍ය අංශයේ සේවා
නියුක්තිය 13,98,742කි.
ඒ අනුව ගත හොත්, රාජ්‍ය
අංශයේ මෙන් සිවු ගුණයකටත් වඩා ජන පිරිසක් පෞද්ගලික අංශයෙන් සිය ජීවනෝපාය සලසා
ගනිති. රැකියා ජනනය අරභයා පෞද්ගලික අංශයේ දායකත්වය ඉතා ඉහළ බව මෙම තොරතුරුවලින්
පෙනී යයි.
1990
වසරේ දී ලංකාවේ විරැකියා අනුපාතය සියයට 15.9ක් විය. 2016
වර්ෂය අවසානයේ එය සියයට 4.4ක් දක්වා පහත බැස තිබිණි. කොයිහැටි වෙතත් 2010
වසරෙන් පසුව,
එය සියයට පහෙන් ඉහළට ගියේ ම නැත!
රැුකියා විරහිතභාවය බෙහෙවින් පහත වැටුණ ද, ජනප‍්‍රිය
දේශපාලනය තුළ නම් ‘රැකියාදීම’ තවමත්
සටන් පාඨයකි. ‘බඩු
මිල අඩු කිරීම’
වැනි ඉහළම ගණයේ සටන් පාඨයකි. රාජ්‍ය පාලනයට එන සෑම
කෙනෙක්ම කියන්නේ, තමන් බලයට පැමිණිය හොත් විරැකියාව තුරන්කර
දමන බව ය.
කෙසේ වෙතත්, දැන්
රාජ්‍ය අංශය එතරම් පුළුල් නො කරන නිසා එයින් රැකියා දීම ද දුෂ්කර ය. වර්තමානයේ රැකියා
ජනනය කරන්නේ පෞද්ගලික අංශයෙනි. රට තුළ පුද්ගලික අංශයේ වාණිජ ව්‍යාපාර පුළුල් වන
තරමට, රැකියා
ජනනය ද සුලභ කාරණයක් බවට පත් වන බව මෑත කාලයේ අත්දැකීමයි. එහෙත් ගෙවුණු පස් වසරක
පමණ කාලය තුළ මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත ද බිහි නොවී ය.
වර්තමාන යහපාලන ආණ්ඩුව ද නිතරම කියන්නේ රැකියා
දශ ලක්ෂයක් අලූතින් ජනනය කරන බව ය. ඔවුන් එසේ කීව ද, ජන හා
සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ‘2017 ශ‍්‍රම ඉල්ලූම පිළිබඳ
සමීක්ෂණ වාර්තාවෙහි’ සඳහන් වන අන්දමට නම් දැන් රට තුළ
නිර්මාණයවී ඇත්තේ ශ‍්‍රම හිඟයකි. නැතිනම් ඇබෑර්තු පන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක්
වාර්තා වන්නට හේතුවක් නැත. රටේ නායකකාරකාදීන් කියන කාරණා සහ, ජන
හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තා මගින් හෙළිවන කාරණා අතර ඇත්තේ විශාල
පරස්පරයකි!
ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ එන කරුණු
ගලප්පා ගත් විට,
2013 වසරේ පටන් 2016
වසර දක්වා අලූතින් ජනනයවී ඇත්තේ වසරකට රැකියා 66,750ක් බැගිනි. 2016
වසර තුළ මිනිසුන් විදේශ රැකියාවලට යාම ද අඩුවී තිබේ.
‘2017
ශ‍්‍රම ඉල්ලූම පිළිබඳ සමීක්ෂණ වාර්තාවෙහි’ සඳහන් වන අන්දමට, සමීක්ෂණයට
වාර්තා වුණු පන් ලක්ෂයකට ආසන්න ඇබෑර්තු සංඛ්‍යාව අතර වැඩිම ශ‍්‍රම හිඟය පවතින්නේ ‘මහන
මැෂින් ක‍්‍රියාකරවන්නන්ගේ’ වෘත්තිය සඳහා ය. එහි ඇති ඇබෑර්තු සංඛ්‍යාව
77,189කි.
ඊළඟට ඇබැර්තු ඇත්තේ ‘ආරක්ෂක නියාමක වෘත්තිය’ සඳහා
ය. එහි ඇබැර්තු සංඛ්‍යාව 57,008කි. මේවාට අමතරව නිෂ්පාදන
කර්මාන්ත ක්ෂේත‍්‍රය තුළ ඇති ඇබැර්තු සංඛ්‍යාව 39,397කි.
යාන්ත‍්‍රික ඉංජිනේරු, තාක්ෂණවේදී, ගිණුම්
සහායක සහ හෙද-හෙදි යන වෘත්තීන් සඳහා ද වතු වැවිලි ක්ෂේත‍්‍රයේ ද විශාල ලෙස ඇබැර්තු
හට ගෙන ඇතැයි සමීක්ෂණ වාර්තාව කියයි. ශ‍්‍රම හිඟයට වැඩියෙන්ම මුහුණ දී සිටින්නේ
බස්නාහිර පළාතයි.
වර්තමානය වන විට රටේ වෘත්තීය පුහුණු ක‍්‍රියාවලිය පෙරට වඩා
පුළුල්ව ඇති බව සැබෑ ය. එහෙත් රටේ ආර්ථික ක‍්‍රියාදාමය සම්බන්ධයෙන් අවශ්‍ය ‘ශ‍්‍රම
සම්පත නිපදවීමට’
ඔවුන් අපොහොසත්ව ඇති බව ‘ශ‍්‍රම
ඉල්ලූම පිළිබඳ සමීක්ෂණ වාර්තාව’ මගින් පැහැදිලිවන කාරණයයි.
එසේම අධ්‍යාපන ක‍්‍රියාවලිය ද, රටේ ‘ආර්ථික
මාදිලිය’ සමග
හරිහැටි ගැලැප්පී නැති බව ද ඉන් පෙනී යන්නේ ය. එසේම, ‘සුදු
කරපටි මොඩලයට’
අයත් නො වන විවිධ වෘත්තීන් සඳහා නිසි සමාජ පිළිගැනීමක්
ඇති කිරිමට ද කටයුතුකර නැත. එසේ නො වුණා
නම්, රට
තුළ මේතරම් ඇබැර්තු සංඛ්‍යාවක් ඇති වන්නට බැරි ය!
(කාටුන්-අන්තර්ජාලයෙනි)
2018/01/26.
ඇඟළුම් කර්මාන්ත ක්ෂේත‍්‍රයේ 77,000ක් !
ReplyDeleteආරක්ෂක නියාමක ක්ෂේත‍්‍රයේ 57,000ක් !
නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත‍්‍රයේ 39,000ක් !
මේ අයට ගෙවන මුදල බැලුවම මේවා රැකියා කියල හිතන්න අමාරුයි.