Total Pageviews

Saturday, February 17, 2018

ග්ලයිපොසේට්? ලංකාවේ තේ අපනයනය ගැන විපරමක්


රුසියානු තහනම ඉවත් කිරිමෙන් පසුව
ලංකාවේ තේ අපනයනය ගැන විපරමක්
 
 

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ලංකාවේ ‘තේ’ ගැන ලෝකය හමුවේ නිතරම ඉහළින්ම කියැවෙන විශේෂ නාමකරණයක් තිබේ. එනම්,  ‘
Pure ceylon tea’ (පිරිසිදු ලංකා තේ) යන්නයි. රසවත්කමින් ද, ගුණාත්මක බවින් ද පිරිපුන් තේ නිපදවෙන්නේ ලංකාවේ බව ‘සුද්දාගේ කාලයේ’ පටන් (බි‍්‍රතාන්‍ය පාලන සමයේ පටන්) අප රට ලබා ඇති යශෝ කීර්තියකි. එබැවින් ලංකාවේ තේවලට කවදත් පැවතුණේ හොඳ ඉල්ලූමකි.  

එසේ වුවත් 2017 වසරේ දෙසැම්බරයේ දී රුසියාවෙන්  පැනවුණු ‘තේ’ අපනයන තහනම, ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ලංකාවේ තේ සඳහා තිබුණු කීර්තිය ද යම් පමණකට පළුදුකර දැමුවේ ලංකාවේ තේ නිපැයුම්වල ‘පවිත‍්‍රත්වය’ සම්බන්ධයෙන් ගැටලූවක් ද මතු කරමිනි. දැන් ජපානය ද ලංකාවේ තේ නිපැයුම් සම්බන්ධයෙන් ගැටලූ මතු කරන බව පසුගිය දිනවල අසන්නට ලැබිණි. ඒ, ලංකාවේ තේ නිපැයුම්වල ‘එම්.සී.පී.ඒ.’ නම් වල් නාශක රසායනය අනුමත ප‍්‍රමිතියට වඩා වැඩි බව පවසමිනි.
 

ජපානයේ තේ ගැටලූව ගැන කතා කරන උදවිය කියන්නේ, ‘ග්ලයිපොසේට්’ වල් නාශකය තහනම් කිරීම නිසා  එය සිදුවූ බවයි. මාරාන්තික වකුගඩු රෝගය සම්බන්ධයෙන් දැඩිව බලපාන බව හෙළිවීම නිසා, ලංකාවට ‘ග්ලයිපොසේට්’ ගෙන්වීම තහනම් කළේ 2015 වසරේ ජුනි මස 11 වැනි දා ය. එයට මුල් වූයේ වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ය. එයින් පසුව වතු වැවිලි ක්ෂේත‍්‍රයේ ඇතැම් අය පැවසුවේ, ‘ග්ලයිපොසේට්’ නැතිව තේ වගාවන් නිසියාකාරව නඩත්තු කළ නො හැකි බවයි. ඉන් පසුව, ‘ග්ලයිපොසේට්’ තහනම ඉවත්කර ගැනීම පිණිස ඔවුහු දැඩි ‘සටනක්’ ගෙන ගියහ. එහෙත් ආණ්ඩුව තහනම ඉවත් කළේ නැත. දැන් ජපානය ලංකාවේ සම්බන්ධයෙන් මතු කරන කාරණය ද, ඔවුන් සිය වාසියට හරවා ගනිමින් සිටිනු පෙනෙයි.
 

ඔවුන් පවසන අන්දමට, ‘ග්ලයිපොසේට්’ තහනමෙන් පසුව වතු වැවිලි ක්ෂේත‍්‍රයේ භාවිත කෙරුණේ ‘එම්.සී.පී.ඒ.’ නම් වල් නාශක රසායනයයි. දැන් ජපානය පවසනවා යයි කියන්නේ ලංකාවෙන් යවන තේවල ඔවුන්ගේ රට අපේක්ෂා කරන  මට්ටමට වඩා ‘එම්.සී.පී.ඒ.’ වැඩි බවයි!
 

ඇත්ත කතාව නම්, තේ වගා කිරීමේ දී රසායනික වල් නාශක යෙදීමක් අවශ්‍ය නො වන බවයි. තේ ගස නියම පඳුරක් ලෙස වර්ධනය කළ පසුව එය පුළුල් පැතිරුමක් සහිතව වියනක් පරිද්දෙන් පිහිටයි. එවිට හිරු එළිය පොළොවට නො වැටෙන බැවින් වල් පැලෑටි නො වැවෙන තරම් ය. මෙය තේ වගාවේ තාක්ෂණය පිළිබඳ කාරණයකි. අනෙක, තේ වගාවේ වල් නෙලීම් ආදිය කෙරෙන්නේ කම්කරුවන්ගේ ශ‍්‍රමයෙනි. වතු සමාගම් දැන් කරන්නේ, ශ‍්‍රම පිරිවැය අඩුකර ගැනීම පිණිස වල් නාශක යොදා වගාව නඩත්තු කිරීමයි. මෙම තත්ත්වය නිසා අද වතුකරයේ විශාල පිරිසකට රැකියා නැතිව ගොසිනි. ‘එම්.සී.පී.ඒ.’ යනු වී වගාවේ භාවිත කරන, පළල් පත‍්‍ර සහිත වල් පැලෑටි මර්දනය කරන රසායනික වල් නාශකයකි. ඒවා තේ වගාවට භාවිත කරන්නේ මන්ද? යන්න ගැටලූවකි. ඇත්තට ම තේ වගාවට ඒවා  ඕනෑ නැත. දැන් සිදු වෙමින් පවතින්නේ, ‘එම්.සී.පී.ඒ.’ පිට දමා ‘ග්ලයිපොසේට්’ තහනම ඉවත්කර ගන්නට දරන වෑයමකි.
 

ලංකාවේ තේ නිපැයුම්වල ‘පවිත‍්‍රත්වය’ සම්බන්ධයෙන් මෑත කාලයේ ලෝකය හමුවේ ප‍්‍රශ්න කෙරී නො තිබිණි. එවැන්නක් කරළියට පැමිණියේ රුසියාවෙන් පැන වුණු තේ අපනයන තහනමත් සමගිනි. මතුපිටින් කියැවුණු ආකාරයට නම්, තහනම පැනවුණේ රුසියාවට අපනයනය කෙරුණු ලංකාවේ තේ ඇසුරුමක ‘Ckhapra beetle’ නම් වර්ගයක කෘමියෙක් හමුවීම හේතුවෙනි. (එසේ වුව ද, එයට වෙනත් හේතු කාරණා ද බලපෑ බව පසුව අසන්නට ලැබිණි.) 

ඉකුත් දෙසැම්බරය අග භාගයේ පළ වුණු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනුව, රුසියානු බලධාරීන් පසුව තහනම ඉවත්කර ඇත්තේ ලංකාවට ‘කොන්දේසි’ කිහිපයක් පනවමිනි. එනම්, රුසියාවට අපනයනය කරන තේ තොග, ‘දුම් ගසා’ විෂබීජ හරණය, තේ කුඩුවල ප‍්‍රමිතිය සහතික කිරීම සහ අපනයන තේ තොග රඳවා තබන ගබඩා පිරිසිදුව තබා ගැනීම යන කොන්දේසි සහිතව ය. ලංකාවේ බලධාරීන් ඒවාට එකඟවී තිබේ. මේ සම්බන්ධයෙන් ලංකාවේ මාධ්‍ය තුළ එතරම් කතිකාවක් මතු නො විණි.
 

ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් සියයට 14ක් පමණ ලබා දෙන්නේ තේ නිපැයුම් අපනයනය කිරීමෙනි. එබැවින් තේ අපනයන කටයුතුවල කිනම් හෝ පසුබෑමක් ඇති වුව හොත්, එය මුළු රටේම ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් වන තරමේ කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. කෙසේ වෙතත් තේ නිෂ්පාදන කර්මාන්තය මෙහෙයවන අපේ රටේ බලධාරීන්, විදෙස් වෙළෙඳපොළ අරභයා එතරම් සැලකිල්ලකින් කටයුතු කරන බවක් නො පෙනේ.
 

රුසියාව සහ ජපානය හැරුණු විට, ලංකාවේ තේ අපනයන වෙළෙඳපොළ එහැමපිටින්ම පාහේ මැද පෙරදිග රටවල් මත සංකේන්ද්‍රණයවී තිබෙනු පෙනෙයි. එය වසර ගණනාවක් මුළුල්ලේම දැකිය හැකි තත්ත්වයකි. එහි තේරුම වන්නේ, ලංකාව මෑත භාගයේ තම තේ අපනයන වෙළෙඳාම් පිණිස අලූත් රටවල් (අලූත් වෙළෙඳපොළවල්) ප‍්‍රමාණවත් තරම් සොයා ගෙන නැති බවයි! එසේම දැනට ලංකාවේ තේ අපනයනය කෙරෙන රටවලට වුව, ‘තවත් ටිකක් වැඩිපුර විකිණීමට’ ඉඩක් පාදා ගන්නට ද උත්සුකවී නැති බවයි!
 

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) මගින් World tea production and trade current and future  devolopment-2015’ නමින් නිකුත්කර ඇති වර්තාව, ලෝකයේ තේ නිෂ්පාදන ගැන බොහෝ දත්ත ඇතුළත් ලියැවිල්ලකි. එහි දැක්වෙන අන්දමට ලොව ලොකුම තේ නිෂ්පාදකයා චීනයයි. එ රට වාර්ෂික තේ නිපැයුම මෙටි‍්‍රක් ටොන් මිලියන 1.9කි. එය ලෝක තේ නිපැයුමෙන් සියයට 38කි. ඊළඟට ලොකුම තේ නිෂ්පාදකයා ඉන්දියාවයි. එ රට නිෂ්පාදනය, වසරකට තේ ටොන් මිලියන 1.2කි. ලෝක තේ නිපැයුමෙහි තුන්වැනි කෙරුම්කාරයා අප‍්‍රිකානු රටක් වන කෙන්යාවයි. ඔවුන්ගේ තේ නිපැයුම වසරකට ටොන් 4,36,300කි. ලෝක තේ නිෂ්පාදන පෙරහැරෙහි හතර වැනියා ශ‍්‍රී ලංකාව යි. ඒ රටවල් තරම් නො වුව ද, වාර්තාවේ දැක්වෙන අන්දමට ලංකාවේ වාර්ෂික තේ නිපැයුම ටොන් 3,43,100කි. (ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව, 2016 වසරේ ලංකාවේ තේ නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් 2,92,000කි. එනම් කිලෝග‍්‍රෑම් මිලියන 292.6කි.) එම රටවලට අමතරව වියට්නාමය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, උගන්ඩාව, මල්ලාවි, ටැන්සානියාව සහ රුවන්ඩාව යන රටවල් ද ලෝක තේ සැපයුමේ කණිටු කොටස්කාරයන් බවට පත්ව  සිටිති. තේ නිපැයුම සම්බන්ධයෙන් ලංකාවේ ආසන්නතම වෙළෙඳ තරඟකරුවා කෙන්යාව ය!
 

2016 වසරේ දත්ත (ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව) අනුව, ලංකාවේ තේ තොග වැඩියෙන්ම මිල දී ගන්නා රටවල් අතරින් ඉහළින්ම සිටින්නේ රුසියාවයි. ලංකාවේ ලොකුම තේ ගැනුම්කරුවා වන ඔවුන්, 2016 වසරේ අපේ රටෙන් මිල දී ගත් තේ තොගය මෙටි‍්‍රක් ටොන් 34,433කි. (එසේම 2017 වසරේ මුල් මාස දහය තුළ ඔවුන් ලංකාවෙන් මිලයට ගෙන තිබුණු තේ තොගය මෙටි‍්‍රක් ටොන් 29,000ක් පමණ වූහයි, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල දැක්විණි.) ඊළඟට ලොකුම  ගැනුම්කරුවා ඉරානයයි. 2016 වසරේ ඔවුන් අපේ රටෙන් මිල දී ගත් තේ තොගය මෙටි‍්‍රක් ටොන් 33,929කි. එසේම, තුර්කිය මෙටි‍්‍රක් ටොන් 27,069ක් ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙටි‍්‍රක් ටොන් 18,381ක් ද, ලිබියාව මෙටි‍්‍රක් ටොන් 12,645ක් ද ජපානය මෙටි‍්‍රක් ටොන් 7,764ක් ද වශයෙන් ලංකාවෙන් තේ මිල දී ගෙන තිබේ. තවත් රටවල් කිහිපයක්ම ලංකාවේ තේ මිල දී ගත්ත ද, ඔවුහු ‘සුළු ගැනුම්කරුවන්’ වෙති!
 

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිකුත් කළ ඉහත සඳහන් ලියැවිල්ලට අනුව, ප‍්‍රංශය ටොන් 15,200ක් ද, ජර්මනිය ටොන් 28,900ක් ද, පෝලන්තය ටොන් 15,000ක් ද, ජපානය ටොන් 1,19,100ක් ද, බි‍්‍රතාන්‍යය ටොන් 1,16,200ක් ද, ඇමරිකාව ටොන් 1,27,000ක් ද වශයෙන්, විවිධ රටවලින් වාර්ෂිකව තේ තොග ආනයනයකර ගනියි. ලංකාවේ අපට, ඒ රටවලට වැඩි වැඩියෙන් තේ විකිණීම පිණිස ලොකු උනන්දුවක් නැති තරම් ය.
 

2016 වසරේ දත්ත අනුව ප‍්‍රංශය අපෙන් මිලයට ගත්තේ තේ ටොන් එක් දහසකට අඩු ප‍්‍රමාණයකි. ජර්මනිය අපෙන් ගන්නේ මෙටි‍්‍රක් ටොන් 6854ක් පමණි. පෝලන්තය මෙටි‍්‍රක් ටොන් 2455ක් පමණි. ජපානය මෙටි‍්‍රක් ටොන් 7764ක් පමණි. බි‍්‍රතාන්‍යය මෙටි‍්‍රක් ටොන් 1241ක් පමණි. කොටින්ම ලංකාවේ ඇතැමුන් හිස් මුදුනින් අදහන ඇමරිකාව වසරකට ලංකාවෙන් මිලයට ගන්නේ තේ ටොන් 5000කට වඩා අඩු ගණනකි!
 

අප මට්ටු කරන්නට දෝ ඉකුත් දෙසැම්බරයේ ‘තේ තහනමක් පනවා’ පසුව එය ඉවත් කළ රුසියාව ද, ලංකාව සහ ලොව විවිධ රටවලින් විශාල වශයෙන් තේ ආනයනය කරන  රටකි. ඔවුන් වාර්ෂිකව ආනයනය කරන තේ තොග ප‍්‍රමාණය ටොන් 1,59,000කට අධික ය. 2006 වසරේ දී ඔවුන් ලංකාවෙන් මිල දී ගත් තේ තොගය මෙටි‍්‍රක් ටොන් 66,207කි. 2016 වසර වන විට එය ටොන් 34,433ක් දක්වා පහත වැටී තිබේ. 2006 වසර සමග සසඳන විට එය ටොන් 32,000ක පමණ අඩු වීමකි. ලංකාවේ බලධාරීන් එයට හේතු සොයා බැලූ බවක් හෝ එයට පිළියම් කළ බවක් හෝ අසන්නට නැත!
 

අප, ලොව ඇතැම් තේ බොන රටවලට ‘ලංකා තේ’ යවන්නේ ද නැත! පකිස්තානය, ප‍්‍රංශය, ග‍්‍රීසිය සහ සිංගප්පූරුවට තේ අපනයනය කළ බවක් ද 2016 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් නොවේ. දැනටමත් තහවුරුව තිබෙන විදේශ වෙළෙ`දපොළවල් පසුගිය කාලයේ තවදුරටත් පුළුල් වුණු බවක් ද දැක ගන්නට නැත.
 

රුසියාව අපට පැනවූ තේ තහනම ඉවත් කිරීමේ දී ඔවුන් අපට දැමූ කොන්දේසි ඔස්සේ, ලංකාවෙන් අපනයනය කරන  ‘තේ’ කොතෙක් දුරට පිරිසිදු ද? යන කාරණය ඉස්මත්තේ කතාබහට ආවේ ය. ලංකාවෙන් රුසියාවට යැවුණු තේ ඇසුරුමක කෘමියෙකු සිටි බව බොරුවක් හෝ මවාපෑමක් නොවේ. එයින් ම අපේ තේ තොගවල, ඇසුරුම්වල හෝ බහලූම්වල ‘පවිත‍්‍රතාවය’ සම්බන්ධයෙන් යම් ගැටලූවක් ඇති බවක් ඉස්මතු වෙයි!
 

රුසියාවේ තහනම පැනවුණු විගස, ‘රොයිටර්’, ‘ද හින්දු’, ‘බී. බී. සී.’ ඇතුළු ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති සේවා ගණනාවක ම ඒ ගැන අනාවරණය කෙරිණි. ‘ලංකාවේ අනර්ඝ තේ’ සම්බන්ධයෙන් ලෝකය පුරා පවතින අවධානය කොතෙක් දැයි එයින් පැහැදිලි විණි. එබැවින් අපට පිටරට යැවිය හැක්කේ, ‘ආහාරමය පානයකට සුදුසු තරමට’ පවිත‍්‍රභාවයෙන් යුතු තේ තොග පමණකි. කෙසේ වෙතත් අප ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් ද? යන්න ගැටලූවකි. ඒ අර්ථයෙන් ගත් කල, ජපානයෙන් මතු කෙරෙන කාරණය ද බැහැර කළ නො හැකි ය.
 

ලංකාවේ තේ, පිටරටින් ගෙනා තේ සමග කලවම්කර ‘සිලෝන් ටී’ යන කීර්තිමත් සන්නාමය යටතේ අපනයනය කිරීමේ කටයුත්තක් ද කලක පටන් ම සිදු වෙමින් පවතියි. බලධාරීන් පවසන්නේ එය, ‘අගය වැඩිකර ප‍්‍රති අපනයනය කිරීමේ’ වැඩ පිළිවෙලක් බවයි. එසේම නීති විරෝධීව ‘කසල තේ’ පිටරට යැවීමේ අවස්ථා ද වරින් වර අසන්නට ලැබේ. රබර් හෝ වෙන යම් කාර්මික නිෂ්පාදනයක් මෙන් නොවේ. තේ යනු ආහාරමය පානයකි. එබැවින් දැන් ඉතින්, තේ වගාව, දළු නෙලීම, ප‍්‍රවාහනය මෙන්ම නිමි තේ වශයෙන් ඇසුරුම් කිරීම දක්වා වන සමස්ත ක‍්‍රියාවලියෙහි ‘පිරිසිදුකම’ සහ ‘සෞඛ්‍යාරක්ෂිතකම’ ගැන අලූතින් කල්පනා කිරීම ද යහපත් ය!

(පින්තූරය-අන්තර්ජාලයෙනි)


(මෙම ලිපිය 2018/02/18 ඉරිදා රිවිර පුවත්පතේ පළ විය.)

2 comments:

  1. ඔබ කවදාවත් ගහක් වගා කොට පලදාව එනතේක් රැකබලාගෙන තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. ගස්කොලන් ගැන මගේ අත්දැකීම් මගේ කුඩා කාලය දක්වා දිව යනවා. මගේ උපන් ගම වුණු, රත්නපුර දිස්ත්රි.ක්කයේ කිරිඇල්ල කුඩා වන රොද, රබර් වගා, ඇල-දොළ, කළු ගඟ සහ කෙත්වතුවලින් සමන්විතයි. අපේ ගෙවල් තිබුණු ඉසව්වේ කුඩා වන රොද කිහිපයක් තිබුණා. කුඩා අවදිය ගෙවුණේ ඒවා ඇසුරේයි. අපේ පවුල්වලට තිබුණු කුඹුරු වැඩට පවා එක් වුණා. කිරිඇල්ලේ අපේ ගෙවත්ත අපේ පවුලේ අය විසින් වවා සකසා ගත් එකක්. උසස්පෙළට පාසැල් යන කාලයේ කුඹුරු වැඩ කළා. හොඳ අස්වනු ගත්තා.
      පසුකාලීනව නිවස ඉදිරිපිට රබර් වගාව ඉවත් කෙරුණා. ඒ කාලයේ මම සේවය කළේ ලංකාදීප පත්තරේ. වැඩිපුර ලිව්වේ පරිසර පුවත්. වැඩිපුර ඇසුරු කළේ වන සංරක්ෂණ සහ වනජීවී නිලධාරීන්. මා එකල ඔවුන්ගේ වන අපරාධ වැටලීම් නිරීක්ෂණය කරන්නට රට පුරාම පාහේ ගිහින් තියෙනවා. සෑම අඩවි වන කාර්යාලයකම පැල තවානක් තියෙනවා. ඒවායෙහි තියෙන්නේ වන වගාවලට ගන්නා ගස් වර්ගයි. යන යන තැනින් පැල ඉල්ලා ගෙන ඒම මගේ සිරිතක්. එයින් කොටසක් කිරිඇල්ලේ ඉඩමේ සිටවූවා. තවත් කොටසක් හිත මිතුරන්ට දුන්නා. ඒවා සිටුවා රැක බලා ගන්නට උනන්දු කළා. (2015 දී පත්තර රස්සාව අහිමිවන තුරු ම මගේ නිවසේ විවිධ කැලෑ පැල වර්ග තිබුණා. මිතුරන්ට තෑගි දුන්නා.)
      පසුකාලීනව, එනම් 1998 දී පමණ මගේ පදිංචිය ගාල්ලේ මැද කීඹිය ගමට මාරු වුණා. දැන් මම ඉන්නේ මැද කීඹියේ. අපට තිබෙන ඉඩම ඉතා කුඩා එකක්. ඒත් නිවස වටේටම විවිධ ගස් වර්ග සිටෙව්වා. බිබිලෙන් ගෙනා මිල්ල පැලයක්, පාලවියෙන් ගෙනා පලු පැලයක්, රත්නපුරයෙන් ගෙනා නා පැලයක්, සිංහරාජයෙන් ගෙනා මා වේවැල් පැලයක්, බදුල්ලෙන් ගෙනා ගම්මාලු පැලයක් සහ මී පැල දෙකක් සහ පිහිඹිය, හල්, හොර, කළුවර, සහ තවත් ගස් ඒ අතර වූවා.
      පසුගිය (2017) මැයි මාසය වෙනතුරු සියල්ල හොඳින් තිබුණා. මැයි මාසයේ වැස්සත් සමග පැමිණි සැඩ සුළගින් ගස් බොහොමයක් කඩා වැටුණා. නිවස බේරුණේ නුලෙන්. ලයිට් කම්බි කැඩිලා ගියා. පස්සේ ආදරයෙන් හැදුවා වුණත්, අවදානම් ගස් කිහිපයක් ඉවත් කරන්නට සිදු වුණා. ඒ වුණත් කිරිඇල්ලෙන් ගෙනවුත් වවා ගත් හල් ගස, නා ගස, මී ගස් දෙක, කළුවර ගස, සහ තවත් ගස් කිහිපයක් තවම තියෙනවා. මා වේ වැල් පැලය ඉල්ලාගෙන ආවේ සිංහරාජයේ මාටින් අයියාගේ නිවසින්. එය වල් දෙල් ගසකට ගියා. හරිම ලස්සනයි. මා වේවැල් පැලය වසර තුනක් විතර අලංකාර පැලයක් හැටියට නිවසේ පෝච්චියක හදන්න පුළුවන්. ඊට පස්සේ එය විශාල ඉඩක් ඇති තැනක සිටුවිය යුතුයි. අපේ වේ වැල කැති මිටක් විතර මහතට වැවුණා. වල් දෙල් ගස ඉහළටම ගියා. එහි මල් පීදුනා. පස්සේ වැල මැරී යන්නට ගිය නිසා මෝරපු වැල කපා ගත්තා. දැන් එතැන කුඩා පැලයක් වර්ධනය වෙමින් තියෙනවා.
      ගම්මාලු ගස පොල් ගසක් තරම් මහතට වැඩුණා. එය තිබුණේ වැට මායිමට කිට්ටුවයි. අල්ලපු ඉඩමේ තේ වගාව. ඒ අයට ගම්මාලු ගසෙන් හෙවන වැටෙනවා යයි කියමින් අපි නැති වෙලාවක එහි ලොකුම අත්ත කපා දමා තිබුණා. ටික කලකින් ගස මැරී ගියා. මම සිතන විදිහට මේ පළාතේ තිබුණු එකම ගම්මාලු ගස එයයි. පලු පැලය ගෙනවුත් සිටෙව්වේ 1999 දීයි. මෙහේ තෙත් කලාපීය දේශුණය එයට ඇල්ලුවේ නැති නිසා දෝ ගස හොදින් වැඩුණේ නෑ. මීට දෙවසරකට පමණ ඉහත දී මඩුවක් හදන්න එය ඉවත් කරන්න සිදු වුණා. අපේ ඉඩම කුඩා නිසා වෙන කරන්න දෙයකුත් නෑ. ගස් වවන්න කැමතියි. ඒත් අපට ඉඩම් හිඟයි. අපේ ඉඩම වටේට ම තේ වගාව. අපේ පවුල්වල අයත් ජීවත් වෙන්නේ එයින්. ගස් වවන්න ඉඩක් නෑ. තිබෙන ගසුත් අතු කප්පාදු කරලා නඩත්තු කරන්න වෙනවා.
      කිරිඇල්ලේ නා ගස් පේලියක් වැව්වා. කළු මැදිරිය ගසක් වැව්වා. නැදුන් ගස් වැව්වා. දවට ගස් වැව්වා. තව ගොඩක් ගස් වවා තිබුණා. පසුව මගේ මල්ලීගේ තේ වගා කටයුතු සඳහා නා ගස් පේලිය ඉවත් කරල තිබුණා. අනෙක් ගස් තවම තිබෙනවා.
      ගස් සම්බන්ධයෙන් මගේ මැදිහත්වීම් ඔය ආකාරයි.
      ඔබේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්නට ඇතැයි සිතනවා. කොමෙන්ටුවට ස්තුති කරනවා.

      Delete