සුද්දන්ගෙ කාලේ ගාල්ලට අමුතු රෝහලක්!
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ඒඩ්ස් සහ අනෙකුත් ලිංගික
සම්පේ‍්‍රෂණ රෝග මර්දනය කිරීමේ ජාතික වැඩසටහන මගින් හෙළිකර ගත් තොරතුරු
අනුව, 2016
වර්ෂයේ දී ශ‍්‍රී ලංකාවෙන් වාර්තාවූ ඒඞ්ස් ආසාදිතයන් සංඛ්‍යාව 249කි. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන අන්දමට ඉන් වැඩිම පිරිස
වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. එය 132කි. ඊළඟට ආසාදිතයන්
වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ, දකුණු පළාතේ ගාල්ල දිස්ත‍්‍රික්කයෙනි. එය 17කි. ආසාදිතයන් 249 දෙනා අතුරෙන් සියයට 51ක් සාමාන්‍ය ලිංගික සබඳතා (ගැහැණු-පිරිමි) පැවැත්වුවෝ වෙති. තවත් සියයට 37ක් සමරිසි හෙවත්
සමලිංගික (පිරිමි-පිරිමි) සබඳතා පැවැත්වූවෝ වෙති! ඒඩ්ස් යනු මාරාන්තික රෝගයකි.
එහි ව්‍යාප්තිය ගැන නො සලකා සිටිය නො හැකි ය.
ගාල්ල, වරින්වර විවිධ ලෙඩ රෝග තත්ත්වයන්ට මුහුණදෙන නගරයකි.
අතීතයේ එය සිදු වූයේ යුරෝපීය ආක‍්‍රමණ සහ සුප‍්‍රකට ‘ගාලූ වරාය’ නිසා ඇතිවුණු විදේශික සංක‍්‍රමණයන් හේතුවෙනි. එකල ගාල්ලේ
වසූරිය සහ මැලේරියා ආදී වසංගත රෝග ද පැතිරී තිබුණේ ය. වර්තමානයේ නම් ‘සංචාරක ව්‍යාපාරයේ බලපෑම්’ නිසා ගාල්ලේ ඒඩ්ස් රෝග ව්‍යාප්තිය සිදුවන බව කල්පනා කළ
හැකි ය!
‘ලිංගික සම්පේ‍්‍රෂණ රෝග’ සම්බන්ධයෙන් ගත් කල, බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ දී පවා ගාල්ල ගැන
පැවතුණේ විශේෂ අවධානයකි. එකල බි‍්‍රතාන්‍යයන් විසින් ගාලූ කොටුවේ පවත්වා ගෙන ගිය
රෝහල, ‘Lock
Hospital’ හෙවත් ‘අගුළු දැමූ රෝහලක්’ බවට සකසනු ලැබුවේ ද ‘ලිංගික සම්පේ‍්‍රෂණ රෝග’ බහුලව පැතිරීම නිසා ය.
බටහිර පන්නයේ වෛද්‍ය ප‍්‍රතිකාර සේවාවන් පිළිබඳ ගාලූ ඉතිහාසය සහ එහි විකාශනය ගැන හාරා අවුස්සන කෙනෙකුට, එබඳු අපූරු තොරතුරු රැසක්
මුණගැසෙන්නේ ය.
බටහිර වෛද්‍ය ක‍්‍රමය සම්බන්ධයෙන් ගත් කල ගාල්ලේ සෞඛ්‍ය
සේවා ඉතිහාසය තරමක් පැරණි එකකි. එහි ආරම්භය 15 වැනි ශත වර්ෂයේ සිට හටගත් යුරෝපීය ආක‍්‍රමණ දක්වා
දිවෙයි. පැරණි සිංහල රජුන් දවස ලංකාව පුරා පැතිර තිබුණේ, ආයුර්වේද ක‍්‍රමය ද ඇතුළුව දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයකි.
එය ශාක ඖෂධ මත පදනම්ව පැවතිණි. රටට යුරෝපීය ආක‍්‍රමණ එල්ල වීමත් සමග තත්ත්වය වෙනස්
විය.
ලංකාව ආක‍්‍රමණය කළ මුල්ම යුරෝපීය ජාතිය වූයේ ‘පෘතුගීසීන්’ ය. ඔවුහු වර්ෂ 1505 දී ගාල්ලට කඩා වැදී, එහි සමුද්‍ර තුඩුව ආශ‍්‍රිතව යුද බලකොටුවක් තනා ගත්හ.
ඉන් පසුව රටේ මුහුදුබඩ පළාත් සිය අණසකට නතුකර ගත්හ. පෘතුගීසීන් තම යුද සෙබළුන්ට ප‍්‍රතිකාර
කිරීම පිණිස ගාලූ කොටුවේ කුඩා ‘රෝහලක්’ පවත්වා ගෙන ගිය බව කියනු ලැබේ. එය පිහිටියා යයි කියන්නේ
ඔවුන්ගේ ආරම්භක බලකොටුව යයි සැලකෙන ‘කළු කොටුව’ ආශ‍්‍රිතව ය. එය බටහිර ක‍්‍රමයේ වෛද්‍ය ප‍්‍රතිකාර පිණිස
ලංකාවේ ඇරඹුණු ප‍්‍රථම රෝහලයි. පෘතුගීසි ජාතික වෛද්‍යවරුන් අතින් එහි ප‍්‍රතිකාර
කටයුතු සිදු වන්නට ඇත. ගාලූ කොටුවේ එකල පෘතුගීසි පවුල් 262ක් පදිංචිව සිටි බව කියැවේ.
එයින් පසුව වර්ෂ 1640 දී ‘ලන්දේසීන්’ හෙවත් ඕලන්ද ආක‍්‍රමණිකයන්
කඩා වැදී, ගාල්ලේ
මෙන්ම ලංකාවේ සෙසු මුහුදුබඩ පළාත් ද සිය අණසකට නතුකර ගත්හ. ලංකාව ආක‍්‍රමණය කළ
තෙවැනි යුරෝපීය ජාතිය වූ බි‍්‍රතාන්‍යයන් (ඉංග‍්‍රීසීන්) මෙහි එන තුරු ම, මුහුදුබඩ පළාත් පාලනය කළෝ ඔවුහු ය.
බටහිර වෛද්‍ය ප‍්‍රතිකාර ශිල්පය අතින් ගාල්ලට නව ආලෝකයක්
ගෙන ආවේ ලන්දේසීන් ය. ගාල්ල අල්ලා ගත් ඔවුහු තම ප‍්‍රයෝජනය සඳහා රෝහලක් ඉදිකර ගත්හ. එය ඔවුන්ගේ හමුදා සේනාංකවල ප‍්‍රයෝජනය
මුල්කර ගෙන ඉදිවුණු එකකි. එහි ප‍්‍රතිකාර කටයුතු පවත්වා ගෙන යන ලද්දේ ලන්දේසි
ජාතික ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙකු ඇතුළුව, වෛද්‍යවරුන් කණ්ඩායමකගේ මෙහෙයවීමෙනි. ඔවුන්ගේ යුද හමුදා
නිලධාරීන්, යුද
භටයන් සහ ලන්දේසීන්ගේ වෙළෙඳ
අංශවල අයට ද, නැව්
මගින් පැමිණෙන යුරෝපීය ජාතිකයන්ට ද එයින් ප‍්‍රතිකාර කෙරිණි. රෝහල පිහිටා තිබුණේ, ගාලූ කොටුවේ වර්තමාන අධිකරණ සංකීර්ණය ඉදිරිපිටින් දිවෙන
පැරණි ‘රෝහල්
වීදියේ’ ය. එනම්
වර්තමානයේ ‘හාබර්
මාස්ටර් නිල නිවාසය’ පවත්වා ගෙන යන භූමිය ආශ‍්‍රිතව ය. ලන්දේසීන්ගේ රෝහල
විශාල එකකි. එය ගාලූ ජන ව්‍යවහාරයට ආවේ, ‘ඩච් හොස්පිට්ල්’ යනුවෙනි. ගාලූ උරුමය පදනමේ තරංග ලියනාරච්චි මහතා පවසන
අන්දමට, ලන්දේසි
රෝහල වර්තමානයේ වෙළෙ`ද
සංකීර්ණයක් බවට නවීකරණයකර ඇති ‘පැරණි බි‍්‍රතාන්‍ය රෝහල් ගොඩනැගිල්ල’ මෙන් තුන් ගුණයක්වත් විශාල ය!
ලන්දේසි පාලන සමයේ දී ගාල්ල ආශ‍්‍රිතව වරින්වර ‘වසූරිය’ (Small pox) නමැති වසංගත වයිරස් රෝගය විශාල ලෙස පැතිරී
ගොස් තිබේ. වර්ෂ 1786 දී එයින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 800ක් පමණවූ බව පැරණි තොරතුරුවල (Galle
medical journal) එයි. කේ. ඞී. පරණවිතානයෝ සිය ‘ගාලූ පුරාණය’ කෘතියෙහි කදිම පුවතක් අනාවරණය කරති. එනම් ලන්දේසි පාලන
සමයේ ගාලූ රෝහලේ සිටි වෛද්‍යවරු, වර්ෂ 1796 දී ‘වසූරිය රෝගය’ පාලනය කිරීම සඳහා ‘ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රමයක්’ සාර්ථකව අත්හදා බැලූ බවයි. එය සිදුකර ඇත්තේ එකල එහි ජ්‍යෙෂ්ඨ
වෛද්‍යවරයා වශයෙන් කටයුතු කළ ආබ‍්‍රහම්
ස්ට‍්‍රාස්බර්ග් මහතා විසිනි. ඊට අමතරව, ‘Galle medical journal’ සඟරාවේ (Vol 11: No. 1, September-2006) ද, ගාල්ලේ ලන්දේසි වෛද්‍යවරුන් එකල වසූරිය මර්දනයට එන්නත්
භාවිත කළ බව සඳහන්කර
තිබේ. අපුර්වත්වය වන්නේ, එය
බි‍්‍රතාන්‍ය ජාතික වෛද්‍යවරයෙකු වන එඞ්වඞ් ජෙනර් මහතා විසින් ‘වසූරිය මර්දන එන්නත’ ලෝකයට දායාද කරන්නට ද පෙර සිදු කළ අත්හදා බැලීමක් වීමයි.
ඔහු වසූරිය මර්දන එන්නත ලොවට හඳුන්වා දුන්නේ වර්ෂ 1798 දී ය!
පසුව ලන්දේසීන්ට පහර දුන් බි‍්‍රතාන්‍යයෝ, වර්ෂ
1796 දී ගාල්ල
සහ ගාලූ යුද බලකොටුව අත්පත්කර ගත්හ. ඒ කාලයේ ලංකාවේ ප‍්‍රධාන වාණිජ වරාය පැවතුණේ ද
ගාල්ලේ ය. වරාය ආශ‍්‍රිතව පිහිටි ගාලූ කොටුව මෙන්ම, ලන්දේසීන් පාලනය කළ අනෙකුත් මුහුදුබඩ පළාත් ද ආක‍්‍රමණික
බි‍්‍රතාන්‍යයන්ගේ (ඉංග‍්‍රීසීන්ගේ) අණසකට නතු විය. ගාලූ කොටුව ඔවුන්ගේ යුද කඳවුරක් බවට පත් විය.
ඉක්බිති, බි‍්‍රතාන්‍යයෝ
ගාලූ කොටුවේ නව රෝහලක් තැනවූහ. එය ඉදි
කෙරුණේ, ඔවුන්ට
පෙර එහි සිටි ලන්දේසීන් හැදු රෝහලට සමීපයෙනි. අලූත් රෝහල ඔවුන්ගේ හමුදා නිලධාරීන්, යුද භටයන්
සහ කොටුව තුළ පදිංචි යුරෝපීයයන් වෙනුවෙන් පවත්වා ගෙන ගිය එකකි. වසංගත රෝග ආදී
අවස්ථාවල එයින් සිංහල ජනයා ට ද ප‍්‍රතිකාර කරනු ලැබී ය. ‘Lock Hospitals’ හෙවත් ‘අගුළු දැමූ රෝහල්’ බිහි කෙරුණේ ද මේ කාලයේ ය. එය ද බි‍්‍රතාන්‍ය යටත් විජිතකරණ
සමයේ ලොවට බිහිවුණු සංකල්පයකි.
‘Lock Hospitals’ හෙවත් ‘අගුළු දැමූ රෝහල්’ යන බි‍්‍රතාන්‍ය සංකල්පයේ අරුත ද අමුතු එකකි. ඉන් කියැවෙන්නේ ‘ලිංගාශ‍්‍රිත සහ ලිංගික සම්පේ‍්‍රෂණ රෝග’ ව්‍යාප්තිය වළැක්වීම සඳහා සකස් කළ රෝහල් පරිශ‍්‍ර’ යන්නයි. එබඳු රෝග වැළඳුණු අයට ප‍්‍රතිකාර කිරීමේ දී සෙසු රෝගීන් ගෙන් වෙන්කර තැබිය යුතු බැවින්, බි‍්‍රතාන්‍යයෝ බොහොමයක් යටත් විජිතවල ‘Lock Hospitals’ සංකල්පය ක‍්‍රියාත්මක කළහ. 18 සහ 20 යන සියවස්වල, ඔවුන්ගේ යුද කඳවුරු පැවති රටවල ‘Lock Hospitals’ හෙවත් ‘අගුළු දැමූ රෝහල්’ පිහිටවනු ලැබී ය. බි‍්‍රතාන්‍ය යුද භටයන් ‘සිපිලිස්’ (උපදංශය) සහ ‘ගොනෝරියා’ යන ලිංගික සම්පේ‍්‍රෂණ රෝගවලින් බේරා ගැනීම, ‘Lock Hospitals’ හෙවත් ‘අගුළු දැමූ රෝහල්’ පිහිටු විමෙහි අරමුණ විය.
ලංකාවේ බි‍්‍රතාන්‍ය පාලකයෝ, වර්ෂ 1867 දී ගාලූ කොටුවේ පැවති ඔවුන්ගේ රෝහල ද,
‘Lock Hospitals’ හෙවත් ‘අගුළු දැමූ රෝහලක්’ බවට පත් කළහ. ඒ අනුව, ලිංගික සම්පේ‍්‍රෂණ රෝග වැළ`දුණු බි‍්‍රතාන්‍ය යුද භටයන්ට සහ ඔවුන්ගේ වෙළෙඳ අංශවල යුරෝපීයයන්ට එයින් ප‍්‍රතිකාර කෙරිණි.
ඔවුහු තව අපූරු දෙයක් කළහ. ඒ, ගාල්ල අවට සැරිසරන ලිංගික සම්පේ‍්‍රෂණ රෝග වැළදී ඇතැයිි සැක කරන කාන්තාවන් බලෙන් ම අල්ලා ගෙන ගොස් රෝහල්ගත කිරීමයි! ඔවුන්ට ප‍්‍රතිකාර කෙරුණේ ද බලහත්කාරයෙනි. ඔවුන් මුදා හැරුණේ රෝග තත්ත්වයන් සුව වූ පසුව ය. එහි දී ‘දැන් ඔවුන්ට එබඳු රෝගයක් නැතැයි’ කියා වෛද්‍ය සහතිකයක් ද පිරිනමනු ලැබී ය! මේ කාරණය සඳහන් වන්නේ ‘Galle medical journal- Vol 11: No. 1, September 2006’ සඟරාවෙන් උපුටා ගෙන අන්තර්ජාලයෙහි පළකර ඇති ලිපියක ය. එය සකසා ගෙන ඇත්තේ රුහුණු වෛද්‍ය පීඨයේ මහාචාර්ය සරත් ලේකම්වසම් මහතා ‘ගාල්ල වෛද්‍ය සංගමයේ’ දී කළ දේශනයක් ඇසුරිනි. මෙසේ බලහත්කාරයෙන් ම අල්ලා ගෙන ගිය කාන්තාවන්, ‘ලොව පැරණිම රැකියාවේ’ යෙදුණු අය වන්නට ඇත! ගාල්ල බි‍්‍රතාන්‍ය පාලනයට නතුව පැවති සමයේ, ‘ලොව පැරණිම වෘත්තිය’ කොතරම් ජයට කෙරෙන්නට ඇතිදැයි, ‘අගුළු දැමූ රෝහල්’ පිහිටුවන්නට සිදු වීමෙන් ම අපූරුවට පෙනී යන්නේ ය.
ලන්දේසීන් සහ ඉංග‍්‍රීසීන් (බි‍්‍රතාන්‍යයන්) ගාලූ කොටුවේ රෝහල් බිහි කළ ද, ස්වදේශිකයන් හෙවත් සිංහල ජනයාට ඒවායෙහි ප‍්‍රතිකාර කෙරුණේ නැත. ඉඳහිට ගාල්ලේ සාමාන්‍ය මහජනතාවට ප‍්‍රතිකාර කළ ද, ඒවා ඇත්තට ම යුරෝපීය ආක‍්‍රමණිකයන්ගේ යුද සේනා සහ වෙළෙඳ ප‍්‍රජාවේ සුවසෙත පිණිස පිහිටවූ රෝහල් ය. එකල සිංහල හුදී ජනයින් වෙනුවෙන් ඉදි කළ බටහිර පන්නයේ රෝහලක්, ගාලූ පුරයට නො තිබිණි. ගාල්ල නගරයට රෝහලක් ලැබීමේ කතා පුවත බි‍්‍රතාන්‍ය වැවිලිකරුවන්ගේ යුගය දක්වා දිවෙනු පෙනෙයි.
බි‍්‍රතාන්‍යයෝ, 1869 දී ගාලූ කොටුවට සමීප කළුවැල්ල, ‘මහ මෝදර’ ප‍්‍රදේශයෙන් වෙරළාසන්න ඉඩමක් අත්පත්කර ගත්හ. තේ වතුවල සේවය ස`දහා ඔස්සේ ඉන්දියාවේ මලබාර් ප‍්‍රදේශයෙන් ගාල්ලට ගෙන්වා ගත් කුලීකරුවන්, ‘නිරෝධායනය’ කෙරුණේ මහමෝදර භූමියේ දී ය. වසූරිය රෝගය වැළැක්වීම පිණිස ඔවුන්ට, ප‍්‍රතිශක්තිකරණ ඔසු එන්නත් කරනු ලැබිණි. ඉන් පසු මොරවක ප‍්‍රදේශයේ තේ වතුවලට පිටත්කර යැවිණි.
වර්ෂ 1889 දී බි‍්‍රතාන්‍යයෝ, මහ මෝදර භූමිය නව ගොඩනැගිලි ආදිය ඉදිකර ක‍්‍රමයෙන් වැඩි දියුණු කළහ. මේ අතර, 1895 වසරේ ‘මැලේරියා රෝගය’ ද වසංගතයක් වශයෙන් ගාල්ල ආශ‍්‍රිතව පැතීරී තිබේ. පසුව වර්ෂ 1914 දී මහ මෝදර භූමිය සම්පූර්ණ මහජන රෝහලක් බවට පත් කෙරිණි. වක්වැල්ලේ සිට ගිං නදියෙන් එන ‘කැප්පු ඇල’, ඊට නුදුරින් මුහුදට වැටෙන නිසා එයට ‘මහ මෝදර මහ රෝහල’ යයි නම් පටබැඳිණි. එකල එය දකුණු පළාතේ ප‍්‍රධාන මහ රෝහල විය. මහජනතාව එය ‘ගාල්ලේ මහ රෝහල’ යයි හැඳින්වූහ. වර්ෂ 1940 වන විට ගාල්ලේ මහ රෝහල හෙවත් ‘මහ මෝදර රෝහල’, නේවාසික රෝගීන් සඳහා වාට්ටු 21ක් ද, බාහිර රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ අංශයකින් ද සමන්විත විය.
කල්ගත වන විට පෙනී ගියේ මහ මෝදර ගාලූ මහ රෝහලේ ඉඩකඩ ප‍්‍රමාණවත් නො වන බවයි. පසුව 1980 දශකය මුල් භාගයේ එවකට පාලන බලයේ සිටි ජේ. ආර්. ජයවර්ධන රජය, ගාල්ල නගරයට මදක් ඇතුළතින් නව රෝහලක් ආරම්භ කරන්නට තීරණය කළේ ය. ඒ සඳහා තෝරා ගැනුණු භූමිය වුයේ ‘කරාපිටියයි’. කරාපිටිය යනු එකල පොල් ඉඩම්වලින් සමන්විත, එතරම් ජනාකීර්ණ නොවූ, හුදෙකලා පෙදෙසක් විය. ප‍්‍රදේශවාසීන් කියන හැටියට, ‘රාජාගේ කඩේ’
යයි ප‍්‍රකට තේ කඩයක් පමණක් එහි තිබුණේ ය. යම් පමණකට කඳුකර ස්වභාවයෙන් යුත් පොල් ඉඩම් මණ්ඩියේ රෝහලක් ඉදිවීම අපූරු දෙයක් විය.
නව රෝහල ඉදි කෙරුණේ නිකම්ම නොවේ. රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ද සමගිනි. එබැවින් එය ‘ශික්ෂණ රෝහලක්’ වුයේ ය. එය 1982 වසරේ මහජන සේවය සඳහා විවෘත විය. එයින් පසුව එතෙක් මහ මෝදර රෝහලෙන් කෙරුණු සියලූ වෛද්‍ය ප‍්‍රතිකාර කටයුතු, කරාපිටිය නව රෝහලට මාරු කෙරිණි.
වර්තමානය වනවිට, ‘කරාපිටිය ශික්ෂණ රෝහල’ ලංකාවේ මහ රෝහල් අතර ‘අංග සම්පූර්ණ’ දැවැන්තයෙකි. කොළඹ හෝ මහනුවර දී කෙරෙන තරම් ම උසස් ප‍්‍රතිකාර සේවා එයින් ඉටු වේ. රෝහලේ උසස් නිලධාරියෙක් සඳහන් කළ අන්දමට, එහි දැනට ඇති වාට්ටු සංඛ්‍යාව 60ක් පමණ වේ. ඇඳන් සංඛ්‍යාව 1891කි. වර්තමාන කරාපිටිය රෝහල, හෘද රෝග සහ හෘද ශල්‍ය, ස්නායු, ප්ලාස්ටික්, පිළිකා රෝග ප‍්‍රතිකාර ඇතුළු තවත් ප‍්‍රතිකාර අංශ ගණනාවකින් සමන්විත ය. හදිසි ප‍්‍රතිකාර ඒකකයක්, විවිධ සායන සහ බාහිර රෝගී අංශ ද එහි ක‍්‍රියාත්මක වේ. කරාපිටිය ශික්ෂණ රෝහල මගින් වසරකට බාහිර රෝගීන් 3,75,000කට පමණ ද සායන රෝගීන් 6,00,000කට පමණ ද ප‍්‍රතිකාර කෙරෙයි. වසරකට රෝගීන් 1,78,000ක් පමණ එහි නේවාසික ප‍්‍රතිකාර ලබති. රෝහලෙහි සමස්ත කාර්යමණ්ඩලය 3052ක් පමණ වේ.
දිනකට සාමාන්‍යයෙන් 24,600ක පමණ පිරිසක්, වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම, නේවාසික රෝගීන්ගේ සුවදුක් බැලීම ආදී විවිධ කටයුතු පිණිස රෝහලට එති! ඒ පිරිස අතර දකුණු පළතේ පමණක් නොව අම්පාර, මොණරාගල, රත්නපුරය, ඇඹිලිපිටිය, කතරගම, බලංගොඩ ආදී ප‍්‍රදේශවලින් ද, අනුරාධපුරය වැනි ඉතා දුරබැහැර ප‍්‍රදේශවලින් ද පැමිණෙන අය සිටිති. මහජනයා කියන්නේ, ‘කරාපිටියේ ගියොත් කොහොම හරි ගොඩ දානවා’ යනුවෙනි!
මහ මෝදර රෝහලේ ස්ථාපිතව ඇති ‘නාරි සහ ප‍්‍රසවවේද’ අංශ සියල්ලම කරාපිටියට ගෙන ඒමට රජය කටයුතුකර ගෙන යයි. ඒ සඳහා ජර්මන් රජයේ ආධාර ඇතිව නව රෝහලක් දැන් (2017) ඉදි වෙමින් පවතී.
(මෙම
ලිපිය 2018 පෙබරවාරි 11 ඉරිදා රිවිර පුවත්පතේ පළ විය.)
(පින්තූර-අන්තර්ජාලයෙනි)
2018.02.05.
No comments:
Post a Comment