මේ හම්බ කරනවා-මේ ගෙවනවා!
අතේ සතයක්වත් ඉතිරි නො වන ග‍්‍රාමීය ණය උගුල
(ක‍්‍රිෂ්ණ
විජේබණ්ඩාර)
වර්තමාන ජන සමාජයේ කියැවෙන හැටියට, ණය ගැනීම බොහොම සරල වැඩකි.
රටේ බහුතරයක් දෙනා, විවිධ කාරණා සඳහා
බැංකුවලින් ‘ණය ලබාගෙන, ඒවාට මාස්පතා වාරික ගෙවමින්
සිටින්නෝ ය. ඒ අතර ඔවුහු ලීසිං කොම්පැණිවලට’ ද, රන් භාණ්ඩ උකස්කරුවන්ට ද, බැංකු නො වන මූල්‍ය ආයතනවලට ද, ‘කණ්ඩායම් ණය’ දෙන සමිති
සමාගම්වලට ද ණයවී සිටින්නෝ ය.
ඒවාට මාසික වාරික ද ගෙවමින් සිටින්නෝ ය. ඒ මදිවාට
ඔවුහු ඉලෙක්ට්‍රොනික් බඩු විකුණන සාප්පුවලට ද, ‘ක්‍රෙඩිට් කාඞ් කොම්පැණිවලට’ ද. පොලී මුදලාලිලාට ද, සීට්ටුකරුවන්ට ද, ණයවී සිටිති. ‘ණයට මුදල් දීම’ සඳහා තවත් කොහේ හෝ අලූත් තැනක් පහළ වෙනවා නම්, ඔවුන් එතැනින් ද ‘ණයක්’ ගන්නවා සිකුරු ය.
දැන් සමස්ත සමාජය ම දුවන්නේ ණය පිට ය!
ගාල්ලට නුදුරු පෙදෙසක වෙසෙන තැනැත්තෙකුට, දිනක් කොළඹ රැකියාව කරන තම හිතවතෙකු ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේ ය.
‘මචං, පොඩි ලෝන්
එකක් ගහ ගන්න පුළුවන් ද?’, මිතුරා විමසී ය.
‘අනේ බං, ලෝන් එකක්
දෙන්න තරම් සල්ලියක් මා ගාව නෑනේ’, ගාල්ලේ හිතවතා උත්තර බැන්දේ ය.
‘මචං පොඩි එකාගේ කිරිපිටි ඉවර වෙලා. ගෙදරත්
අඩුපාඩුයි. බැලූවා බැලූවා, එකෙක් ළඟවත් සල්ලි නෑනේ.
වැඩි ගාණක් නෙවෙයි, රුපියල් එක්දාස් පන්සීයක් ණයට හොයලා දීපන්. මම හවස
ගාලූ එනවා’, මිතුරා
ඇවිටිලි කළේ ය.
මිතුරාට පුදුම සිතුණි.
ඔහුගේ හිතවතා රැකියාව කරන්නේ කොළඹ ය. පදිංචිය
ගාල්ලේ ය. නවීන මෝටර් රථයක් පවා හිමි ඔහුට ඒ තරම් අහේනියක් බලපෑවේ කෙසේ ද? රුපියල් එක්දාස් පන්සීයක් වැනි මුදලක්වත් සොයා ගන්නට බැරිකමක්!
‘එයාට විතරක් නෙවෙයි මචං, අපටත් එහෙමයි. ඒ සල්ලි කඬේකින් ඉල්ලලා දුන්නා.
හම්බ කරන සල්ලිය එක එක ජාතියේ ණය වාරිකවලට
ම ගෙවලා දැම්මාම අතේ කීයක්වත් ඉතුරුවක් නෑ’, ඔහු ලියුම්කරු සමග කීවේ ය!
‘එකෙක් අතේවත් සල්ලි නැතිකම’ වර්තමාන ජන සමාජයේ සුලභ ලක්ෂණයකි.
‘එකෙකුටවත් කිසිදු මුදල් ඉතිරියක්
නො වීම’, ඊට හේතුවයි. රටේ සෑම
කෙනෙක් ම, දැන් ජීවත් වෙන්නේ,
‘මේ ගන්නවා-මේ ගෙවනවා’ තියරියෙනි. අලූත් ආයෝජන කර්මාන්ත හෝ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ආදිය ක‍්‍රියාත්මක
නො වන නිසා, වර්තමානයෙහි
රටවැසියන් අතර මුදල් සංසරණය අඩු ය.
ජීවන වියදම ද බොහොම ඉහළ ය. මුදල්
අහේනියෙන් පෙළෙන නිසා දැන් මුළු සමාජය ම, මහා ණය කන්දක පැටලී ගොසිනි.
ශ‍්‍රී ලංකා ණය තොරතුරු කාර්්‍යාංශය 2016 වසර සඳහා
නිකුත් කළ ‘වාර්ෂික
වාර්තාව’ අනුව, එම වසරේ සමස්ත ණය ගනුදෙණුවලින් බහුතරය මුදල් ‘ණයට’ ගැනීම් ය. එය සියයට 59කි. තවත් සියයට 16ක්
කල්බදු (ලීසිං) ගනුදෙණු ය. තවත්
සියයට 15ක් ‘ක්‍රෙඩිට් කාඞ්’ වන අතර, තවත් සියයට හතක් ‘බැංකු
අයිරාවලින්’ කළ ණය
ගනුදෙණු ය. ඔවුන් කියන හැටියට, 2016 වසරේ ගෙවීම් අතපසුකර ඇති ණය ගනුදෙණුවලින් සියයට 65ක් ම ‘ණය’ වශයෙන් ලබා ගත් මුදල් ය.
තවත් සියයට 16ක් ම කල්බදු ගනුදෙණු ය.
තවත් සියයට 11ක් පමණ බැංකු අයිරා මගින් සැපයුණු මුදල් ය. මුළු රට ම
ණය උගුලක සිරවී සිටින බව මෙයින් පෙනේ.
ග‍්‍රාමීය ජන සමාජය අතීතයේ පටන් ම, බොහොම මනුස්සකම් ඇති තැනක් ලෙස ප‍්‍රකට වූවකි. ඕනෑම ‘හදිසියක
දී’ අනෙකාට පිහිට වීමේ ගුණය ඒවායෙහි
සුරැකී තිබිණි. ගමේ ගති සොබාවන් තවමත් එහෙම ම තිබේ. හැබැයි ‘මුදල් ගණුදෙනුවලට’ නම් දැන්
කිසිදු මනුස්සකමක් නැත. කලකට ඉහත
ගැමියන් මුදල් හදිසියක් පිරිමසා ගත්තේ, ගමේ කාගෙන් හෝ ‘අතමාරුවක්’ ඉල්ලා ගැනීමෙනි.
දැන් මුදල් හදිසියකට ‘අතමාරු’ නම් නැත! අතමාරුවක්
සොයා යන කෙනෙකුට, අසන්නට
ලැබෙන්නේ, ‘අනේ සල්ලි නම් නෑ’ යන වදන් පෙළයි. ඉන් පසුව මෙසේ යෝජනා කරන්නට ද පුළුවන!
‘මට ‘අහවලා’ ගෙන් නම් ඉල්ලලා දෙන්න පුළුවන්.
හැබැයි එතන මාසෙකට සියේට දහයක් පොලී
ගන්නවා’
කරන්නට ම දෙයක් නැති තැන, වැඩි දෙනෙක් මෙබඳු
යෝජනාවන්ට එකඟ වෙති. වැඬේට
මැදිහත් වන අසල්වැසියා එක්කෝ මුදල් අයිතිකරුගේ නියෝජිතයෙකි. ඔහු ‘අහවලා’ ගෙන්
සියයට පහේ මාසික පොලියට ගන්නා මුදල්, අනෙක් අයට සියයට දහයේ පොලියට ණයට දී මුදල් උපයන කෙනෙක් වන්නට පුළුවන. නැතිනම් ‘අහවලා ගෙන්’ අරන්
දෙනවා යයි අඟවා, තමන්ගේ ම මුදල් පොලියට දෙන කෙනෙක් වන්නට ද පුළුවන. ‘හදිසියකට අතමාරු’ නැතුවාට, සෑම ගමක ම
පාහේ ‘පොලියට’ ගන්නවා නම් ඕනෑ තරම් මුදල් තිබේ! මහජනයා ද
දැන් ‘හැම දෙයකට ම ණය ගැනීමේ’ සංස්කෘතියක් හුරුකර ගෙන සිටිති!
‘මුදල් පොලියට දීම’ වර්තමානයේ
ඉහළම ආදායම් ලැබෙන ව්‍යාපාරයකි.
මෙහි දී කෙරෙන්නේ අධික පොලියට ණය දීම ය. ඉන්
ආදායමක් උපයා ගැනීම ය. මුදල් ‘පොලියට
ගැනීම’ අද බොහොම සාමාන්‍ය දෙයකි. ණය ගැනීම,
‘සමාජ විලාසිතාවක්’ තරමට පැතිරුණු එකකි. ‘මුදල් පොලියට ගැනීම’ කේන්ද්‍රගතව
ඇත්තේ ‘බැංකු’ හෝ එවන් විධිමත් මූල්‍ය ආයතන සමග නොවේ. ‘පොලී මුදලාලිලා’ හෝ
ඔවුන්ගේ ‘උප ඒජන්තවරුන්’ වැනි ‘අවිධිමත්
ණය සැපයුම් මූලාශ්‍ර’ සමගිනි. පොලී
මුදලාලිලා සම්බන්ධයෙන් සමාජයෙහි ඇත්තේ ‘කළු චිත‍්‍රයකි’. ඔවුන් වැඩි දෙනෙක් බෙහෙවින් සැරපරුෂ, මැරවර ගති සොබා ඇත්තන් ය.
එය ‘මුදල් පොලියට දීමේ ව්‍යාපාරයේ’ ලක්ෂණයකි. එවැන්නන් ‘පොලීකාරයා’,
‘පොලියා’ හෝ ‘පොලියෙස්ටර්’ වැනි අපර නම්වලින් ද හැඳින්වේ. සැරට, මැරකමට නො
සිටියහොත්, දුන්
මුදල් ආපසු අයකර ගැනීම අසීරු බව ඔවුහු මැනවින් දනිති. ඔවුන්
වෙනුවෙන් දැන් බොහොමයක් ගම්වලින් ‘අතමාරු සංස්කෘතිය’ පලවාහැර
තිබෙනු දැකිය හැකි ය!
ග‍්‍රාමීය තලයේ මූල්‍ය සැපයුම් ක‍්‍රියාවලිය කොතෙක් පුළුල් වුව ද, ලිහිල් කළා යයි කීව ද, ‘මුදල් හදිසියක දී’ වැඩි
දෙනෙක් බැංකු හෝ වෙනත් විධිමත් ආයතන වෙත නො යති. එවන් මූල්‍ය
සැපයුම්කරුවන් ඉල්ලන කොන්දේසි සැපිරීමට ඔවුන් අපොහොසත් වීම, ඊට හේතුවයි. බැංකු හෝ වෙනත් විධිමත් ආයතන ද, ණය මුදල් ලබා දෙන්නේ ඉහළ ම
කොන්දේසි යටතේ ය. ඔවුහු යම් ස්ථාවර වත්කමක් ඇපයක් වශයෙන් ඉල්ලා සිටිති. රජයේ හෝ
පෞද්ගලික අංශයේ ඉහළ වැටුප් ලබන ඇපකරුවනුත් ඉල්ලා සිටිති. සමුපකාර ග‍්‍රාමීය
බැංකු පවා ඉහළ ‘ණය
කොන්දේසි’ අපේක්ෂා කරති. විධිමත්
ණය සැපයුම්කරුවෝ, ණය මුදල
ගැනීමේ අරමුණ කුමක් ද? කියා සොයා
බලති. ලබා ගන්නා ණය මුදල ආපසු ගෙවීමේ හැකියාවක් ඇති ද? යන්න ගැන ද සොයා බලති. එවන්
ආයතනවලින් ණය මුදලක් අනුමත වීමට සැලකිය යුතු කාලයක් ද ගතවේ. වැඩි
දෙනෙකුට එවන් කොන්දේසි සැපිරීමේ හැකියාවක් නැත. එබැවින්
බොහොම දෙනෙක් වෙනත් ‘අවිධිමත්
මූල්‍ය සැපයුම් මාර්ගවල’ පිහිට
පතන්නට පෙළඹෙති. වර්තමාන සමාජය මුදල් හදිසියක් සපුරා ගන්නා ලොකු ම ක‍්‍රියාමාර්ගය වන්නේ,
‘රන් භාණ්ඩ’ උකසට තබා මුදල් ලබා ගැනීමයි.
ඊළඟ ක‍්‍රමය ප‍්‍රසිද්ධ හෝ අප‍්‍රසිද්ධ පොලී මුදලාලිලාගේ පිහිට පැතීමයි.
රටේ ඕනෑම ප‍්‍රදේශයක් ගත් විට, එහි වෙසෙන බහුතරයක් මිනිසුන්ගේ ස්වර්ණාභරණ ද ඇත්තේ බැංකු හෝ වෙනත් තැන්වලට උකස් කළ ගමන් ය. ඔවුන්ට
හදිසියක දී උකස් තියන්නට ද දෙයක් ඉතිරිවී නැත. එබඳු තැනැත්තන්ට ඇති එකම පිහිට පොලී මුදලාලිලාගෙන් ණයට මුදලක් ගැනීම ය! එබැවින්
වාණිජ බැංකු, සමුපකාර ග‍්‍රාමිය
බැංකු, සණස බැංකු, ප‍්‍රාදේශීය සංවර්ධන බැංකු, සමෘද්ධි බැංකු සහ වෙනත් නීත්‍යානුකූල මූල්‍ය ආයතන කොතෙකුත් පැවතිය ද, වර්තමාන සමාජයේ ‘පොලී
මුදලාලිලාට’ ද විශාල
ඉල්ලූමක් නිර්මාණයවී තිබෙනු පෙනෙයි.
ලියුම්කරු දන්නා එක්තරා තැනැත්තියක්, රුපියල් 50,000ක මුදලක් සියයට දහයේ මාසික පොලියට ලබා ගෙන තිබුණේ ය. මසකට
රුපියල් 5000ක් බැගින්, වසරක් පුරා ඇය ගෙවූ පොලී මුදල රුපියල් 60,000කි. ඉන් පසුව ඇය රුපියල් 50,000ක ණය මුදල ද ගෙවා දැමුවා ය.
රුපියල් 50,000ක මුදලක් පොලියට ගැනීම නිසා එක් වසරක් තුළ ඇයට ගෙවන්නට සිදුවු සමස්ත මුදල
රුපියල් 1,10,000කි! පොලීකරුවා
තම රුපියල් 50,000ක මුදල
වෙනුවෙන්, එක් වසරක් තුළ ලැබූ ආදායම
රුපියල් 60,000කි!
පොලී මුදලාලිලා මුදල් ණයට දෙන්නේ මාසිකව සියයට පහේ, දහයේ, විස්සේ
හෝ විසිපහේ පොලියට ය. මුදල ‘ලොකු’ නම් ඉඩම්
ඔප්පුවක්, වාහනයක පොතක් වැනි ස්ථාවර
වත්කමක් ද ඇපයක් වශයෙන් තබා ගනියි.
ණය මුදලේ
‘පොලී මුදල්’ මාස්පතා වෙනම ගෙවිය යුතු වේ.
ගිවිසගත් වකවානුව තුළ සම්පූර්ණ ණය මුදල ම
ගෙවා දැමිය යුතු ය. මසකට සියයට දහයේ පොලියක් යනු වසරකට සියයට 120ක පොලී අනුපාතිකයකි!
එනම් ‘ගිනි පොලියකි’. කොළඹ ඇතුළු නාගරික ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වන ‘ඬේලි කලෙක්ෂන්’ නම් ණය ක‍්‍රමයේ
මාසික පොලිය සියයට දහයකි.
රුපියල් 10,000ක් ණයට ගන්නා කෙනෙක් දිනකට රුපියල් 200ක් බැගින් දින 60ක් පුරාවට
ණය ගෙවිය යුත්තේ ය. ගෙවීම හමාර වන විට ණයකරු ගෙන් අයවුණු සමස්ත මුදල රුපියල් 12,000කි. කොළඹ නගරයේ පොලී මුදලාලිලා ක‍්‍රියාත්මක කරන ‘එක් දින ණය සේවාව’ ලබා ගන්නා
අය, උදේ ගත් ණය නො වැරදී ම, හවසට පොලිය ද සමග පියවිය යුතු ය.
එහි දිනක පොලිය සියයට 20කි!
පොලී මුදලාලිලා මාසිකව ‘ගිනි පොලියක්’ අය කළ ද, බැංකු හෝ වෙනත් පිළිගත් මූල්‍ය ආයතන ණය දෙන්නේ ‘වාර්ෂික පොලියට’ ය. එය වසරකට
සියයට 11 සිට 18ක් 19ක් දක්වා
පරාසයක දිවෙයි. සමුපකාර ග‍්‍රාමීය බැංකු ණය දෙන්නේ වාර්ෂිකව සියයට 16-17ක පමණ පොලියට ය.
දැන් ‘ණය මුදල්’ රක්ෂණය
කිරීමට ද පුළුවන. බැංකු සහ විධිමත් ණය සැපයුම්කරුවන්ගේ කොන්දේසි වැඩි බව ඇත්ත ය. එහෙත්
ණයකරුට ඉන් යම් ආරක්ෂාවක් සැලසේ.
ණය ගෙවන්නට අතපසු වූවා යයි කියා ඔවුන්
හන්දි ගානේ බැණ වදින්නේ නැත.
මැරවරයන් දමා දේපල කොල්ලකන්නේ නැත. ඔවුන්
මාසික ණය වාරිකය ගණන් බලන්නේ පොලී මුදලේ වාරිකය ද ඊට එක් කරමිනි. වාරික
සියල්ල ගෙවා නිම වන විට, ණය මුදල
මෙන් ම පොලිය ද සම්පූර්ණයෙන් ගෙවී හමාරවී යන්නේ ය.
එසේ වුවත් මිනිසුන්ට ඇතිවන ‘හදිසි කාරණා’, බැංකු හෝ විධිමත් මූල්‍ය සැපයුම්කරුවන්ගේ ‘නාඩියට’ අසු වන්නේ
නැත. ඔවුන් මල්වර මඟුල්, අවමඟුල්, දානමාන හෝ ලෙඩ-දුක් අවස්ථා ආදිය පිරිමසා ගැනීමට ණය දෙන්නේ නැත. එදිනෙදා
මුදල් අවශ්‍යතා පිරිමසා ගන්නට ණය දෙන්නේ ද නැත. දුන්නත්
ඉක්මණින් අතට ගන්නට ද බැරි ය.
‘පොලී මුදලාලිලා’ විසින් පුරවා දමන්නේ, මේ ආකාරයට බැංකු හෝ වෙනත් විධිමත් මූල්‍ය සැපයුම්කරුවන් වෙතින් ගිලිහෙන
මූල්‍ය අවකාශයයි.
බොහොමයක් මිනිසුන්ට යම් ‘හදිසි මුදල් අවශ්‍යතාවයක්’, ණය නොවී දරා ගැනීමට පුළුවන්කමක් නැත. ඉහළ
වැටුප් සහිත රැුකියා නො කරන, ව්‍යාපාරික කටයුතුවල ද නො යෙදෙන ඔවුන්ට එවන් ආර්ථික ශක්තියක් ඇත්තේ නැත. අඩු
ආදායම් ලබන ජන කොටස්වල ආර්ථිකය දියුණු කරන්නට යයි කියා ක‍්‍රියාත්මක කළ ව්‍යාපෘතිවලින්
පලක් වුණු බවක් ද නො පෙනෙයි.
ජීවන වියදම ද අහස උසට නැග ඇති බැවින්
ඔවුහු නිතර ම අගහිඟකම්වලින්
පෙළෙති. එබඳු අයට ‘ඉතිරි කිරීම්’ ද නැති
තරම් ය. ඉතින් හදිසි මුදල් අවශ්‍යතාවයක දී ‘ණය නොවී සිටින්නට’ පුළුවන්කමක්
නැත්තේ ය.
මිනිසුන්ට ‘මුදල්
හදිසි’ ඇති වන්නේ මල්වර මඟුල්, අවමඟුල්, දානමාන හෝ
ලෙඩ-දුක් අවස්ථා වැනි ‘අහඹු වියදම්’ නිසා ය. ජන හා
සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2009/2010 ගෘහ ඒකක ආදායම්-වියදම් සමීක්ෂණ වාර්තාවෙහි දක්වා ඇති ආකාරයට, ‘අහඹු වියදම’, යම් පවුලක ආහාර නො වන මාසික වියදමෙන් සියයට 9.5ක් පමණ වේ. එය මිනිසුන්ට ‘මුදල් හදිසි’ නිර්මාණය කරන්නේ ය.
මෑතක පටන් ‘කණ්ඩායම්
ණය’ නම් ණය ගැනීමේ ක‍්‍රමයක් ද
සමාජයෙහි ප‍්‍රචලිතව තිබේ.
එය ක‍්‍රියාත්මක වන්නේ කාන්තාවන් මුල්කර
ගනිමිනි. ණය දෙන පාර්ශවය, රාජ්‍ය හෝ
පෞද්ගලික අංශයේ විය හැකි ය.
එයින් ද ණය ගන්නේ, ඒ වන විටත් බැංකුවලට, ලීසිං කොම්පැණිවලට, පොලී
මුදලාලිලාට, සීට්ටුවලට, ණය දෙන සමිතිවලට හෝ උකස් කඩයට ආදී වශයෙන් හතර අතට ණයවී සිටින මිනිස්සු ය! ඒවායින්
ණය දෙන්නේ සියයට 17.7ක පමණ වාර්ෂික පොලියකට ය.
මෙය හරියට ‘ණය පිට-ණය ගැනීමකි’. එහි වාරිකය ද එකතු වන්නේ, තමන්ගේ ‘ගෙවීම්
සම්භාරයට’ ය. අන්තිමේ
දී, ‘මේ හම්බකරනවා-මේ ගෙවනවා’ මිස එක සතයක්වත් අතට ඉතිරි නොවේ!
(කාටුන් අන්තර්ජාලයෙනි)
(මෙම ලිපිය 2018/06/31 දින සැබෑ පුවත්පතෙහි පළ විය.)
+++++++++++
ReplyDelete