(‘සංහිඳ පර්ෂදයේ’ මෙහෙයවීමෙන්, 2018 ජුනි මස 02 වැනි දා සවස, ගාල්ල ‘හෝල් ඩි ගෝල්’ ශාලාවේ දී ‘සුදු නෙළුම
සාහිත්‍ය කලා මංගල්‍යය’ පැවැත්විණි. ‘රත්න ශ‍්‍රී
විජේසිංහ-පන්සැට දිවියක, සාළිස් වසක
අස්වැන්න’ යනුවෙන් හැඳින්වුණු එහි
තේමාව වූයේ, ප‍්‍රවීණ
කිවියර රත්න ශ‍්‍රී විජේසිංහයන්ගේ නිර්මාණ කර්තව්‍යය ඇගයීමයි. චූලානන්ද සමරනායක ලියූ මෙම ලිපිය උපුටා
ගන්නා ලද්දේ, ‘සංහිඳ පර්ෂදය’ එහි දී නිකුත්
කළ සමරු කලාපයෙනි.)
කවියාගේ පුනරාගමනය
කිවියර රත්න ශ‍්‍රී විජේසිංහ දිවි මගෙහි
සයවන දශකයේ මධ්‍ය භාගයට එළඹෙනුයේ කාව්‍යක්කාරයකු ලෙස සිය පුනරාගමනයද සනිටුහන්
කරමිනි. වස්සානයට පසු එහි සංකේතයයි. මෙහිදී මා පුනරාගමනය යනුවෙන් සඳහන් කරන්නේ
සැබැවින්ම ඔහු කලක් ස්වයං පිටුවහලක සිටියේ යයි මා විශ්වාස කරන හෙයිනි. 1979දී බියනොවන්
අයියණ්ඞී කාව්‍ය සංග‍්‍රහයෙන් ඇරඹි ඔහුගේ චාරිකාවෙහි තවත් අදියරක් වස්සානයට පසු
මගින් සළකුණු කෙරෙයි. පසුගිය මෑත කාලය
පුරා එනම් අනූව දශකයේ අගභාගයේ සිට දෙදහස් පහළොව දක්වා ලාංකික සමාජ දේශපාලන
සංස්කෘතික දේහය බියකරු ලෙස ඛාදනයට ලක්වෙමින් පැවතියදී අප ඔහුගේ පන්හිඳෙහි හරඹය
දුටුවේ නැති. අසූව දශකයෙහි අතිශය තීරණාත්මක අවධියක වෙල්ලස්සේ ගීතය වැනි මහරු
ගීතයක් හරහා සමස්ත සමාජයම අවදි කිරීමට සමත්වූ බලපෑම් සහගත නිර්මාණකරුවකුගේ නිහඬවත
දරා ගැනිම අසීරුය. ඔහුගේ නිහඬවත අප සසල කළේ එහෙයිනි. එහෙත් දැන් ඔහු නැවතත් ලිවීම
අරඹන විට එය අපට ආනන්දයක් දනවයි.
රත්න ශ‍්‍රී විජේසිංහ ප‍්‍රධාන වශයෙන්ම
ලාංකීය සාහිත්‍ය ක්ෂේත‍්‍රය තුළ පුරෝගාමී චරිතයක් වනුයේ භූමිකා දෙකක් තුළ බව මගේ
අදහසයි. ඒ කාව්‍යය සහ ගේය පද රචනා යන අංශ දෙක තුළිනි. වරින් වර මින් එකක් පරයා
අනෙක නැගෙනුද විශේෂයෙන්ම අසූව දශකයේදී කාව්‍යක්කාරයා පරයා ගේය පද රචකයා ඉස්මතු
වනුද අපි දුටිමු. එහෙත් ඉන් අවැඩක් නොවුණේ එකල ජනප‍්‍රියව පැවති ගීතය හරහා සමාජ
විචාරය පිණිස ඔහුගේ මැදිහත්වීම, විශේෂයෙන්ම කපුගේගේ දැනුවත් භාවිතාව හරහා වඩාත්
තීව‍්‍ර වූ බැවිනි. වෙල්ලස්සේ ගීතය යනු එහි අග‍්‍ර ඵලයයි. අසූව දශකය වර්ණවත් කළ ප‍්‍රධාන සුසංයෝගයන් දෙක
වූ සුනිල් ආරියරත්න සහ නන්දා මාලනී මෙන්ම රත්න ශ‍්‍රී සහ කපුගේ කලා භාවිතාව එකල
පැවති දේශපාලනයේ සාහිත්‍යමය පරාවර්තනය බඳුවීය. එහෙත් අනූව දශකයට පසු ගීතය අන්
කවදාටත් වඩා වාණිජ මෙවලමක් බවට පත්ව සිල්ලරට විකිණෙද්දී රත්න ශ‍්‍රී වැනි ගේය පද
රචකයන් වෙනුවට වාක්‍ය රචනාවන් ගීත බවට හරවන සේල්ස් රෙෆ්ලා වේදිකාව ග‍්‍රහණයට ගන්නා
විට අපට සුනිල් නන්දා මෙන්ම රත්න ශ‍්‍රි ගේ භූමිකාවන්ද පසුපසට තල්ලූ වනු පෙණිනි.
එහි අවසාන ප‍්‍රතිඵලය සුනිල් ආරියරත්න පත්තිනි හා යශෝදරා හරහා පෙන්වන ලද අපගමනයයි.
වෙල්ලස්සේ ගීතය ලියූ, දේශපාලනයේ මජර
ස්වභාවය හොඳින්ම දන්නා රත්න ශ‍්‍රී, සමාජය නිවැරදි දැක්මක් ඉල්ලා සිටි අවධියක සිය
භූමිකාව ප‍්‍රශ්ණකාරී තැනකට පෙරළුවේ ‘ආයුරක්ඛන්තු ආවඩා’ යනුවෙන්
ගීතයක් රචනා කරමිනි. යුද්ධය යනු මානවයාගේ කුරිරුතම නිපැයුම බවත්, හමුදාව යනු
පාලකයාගේ මර්ධනකාරී යන්ත‍්‍රය බවත්, යුද්ධයකදී පළමුවෙන්ම වෙඩි වදින්නේ මනුෂ්‍යත්වයට
බවත්, යුද්ධයේදී යුද
වදිනා දෙපාර්ශවයේම සෙබළුන් යනු ගොදුරු බවත් හොඳින්ම දැන සිටි, ‘කුකුළන්
කෙටවීම’ වැනි ඉතා
දේශපාලනික ගේය පද රචනාවන් කළ රත්න ශ‍්‍රී වෙතින් අප යුද්ධාවසානයේදී එවන් භාවිතාවක්
අපේක්ෂා කළේ නැති. රතුපස්වල පස වතුර ඉල්ලා හඬ නැගූ මිනිසුන්ගේ ලෙයින් රතු පැහැ
ගැනෙද්දී, රණවිරුවන්ට
බෝධි පූජා පැවැත්වූ දැත් බයිනෙත්තු පහරින් සිදුරු වෙද්දී, මිනිසුන් වටහා ගත්
දේශපාලන පාඩම අප කවියා පෙර නොදුටුවේ කෙසේද? ඔහුට ආදරය කරනා බොහෝ අය ඔහු ප‍්‍රශ්ණ කළේ එහෙයිනි. කවියකු ලෙස ඔහුගේ ශක්‍යතාවන් අප හොඳින්ම දැන
සිටි හෙයිනි.
සාහිත්‍ය නිර්මාණ මගින් සමාජ ප‍්‍රතිවිරෝධයන්
පිළිබිඹු කෙරෙද්දී පෙරලා නිර්මාණකරුවන්ද විටෙක එකී ප‍්‍රතිවිරෝධයන්ගේ ප‍්‍රකාශනයන්
බවට පත් වෙයි. ඇතැම් විටෙක නිර්මාණකරුවෝ හිතාමතාම දේශපාලන කරළිය සිය නිර්මාණයන්
හිදී මගහැර යති. ලංකාවේ කාව්‍ය ක්ෂේත‍්‍රය තුළ ඉතා ප‍්‍රබල ලෙස දේශපාලන තේමාවන්
භාවිතා කළ මහගම සේකර, ගීතයේදී රොමාන්තික ගේය පද රචකයෙක් වූවා මිස ඉන් එහාට ගමන්
කළේ නැති. ඔහුගේ ඒ මගහැරයාම අදටත් පිළිතුරු නැති පැණයක් ලෙස ඉතිරිව තිබේ. අමරදේව
හෙළයේ මහා ගාන්ධර්වයා වූවද, ඔහු කිසි විටෙකත් ලාංකීය සමාජ දේශපාලන දේහයේ දෙදරීම් ප‍්‍රශ්ණ
කළේ නැති. ලාංකීය සිනමාවේ පියා ලෙස විරුදාවලී ලැබුව ද ලෙස්ටර්ගේ භූමිකාව ද ඊට
වෙනස් නොවේ. ඔවුන්ගේ මැදිහත්වීම නොවැදගත් යයි මින් අදහස් නොවන බව කිව යුතුය. ඔවුන්
ලාංකීය සාහිත්‍ය කළා ක්ෂේත‍්‍රයේ දැවැන්තයන් වන අතරම දේශපාලන වශයෙන් කළ මැදිහත්වීම
ඉතා අල්ප බව අපට පෙනෙන සත්‍යයයි. ඒ අඩුව පුරවන ලද්දේ කපුගේ, පතිරාජ, ධර්මසිරි
බණ්ඩාරනායක, සුගතපාලද
සිල්වා වැනි සම්ප‍්‍රදාය බිඳ හෙලීමට උත්සුකවූ නිර්මාණකරුවන් විසිනි. රත්න ශ‍්‍රී ද
අයත්වන්නේ ඒ කණ්ඩායමටය.
ඔහු නිහඬවන විට සමාජය ඒ ප‍්‍රශ්ණ කරන්නේ
එහෙයිනි. ඉදින් ඒ සියල්ල අතර වුව රත්න ශ‍්‍රී ලාංකීය කාව්‍ය ක්ෂේත‍්‍රයෙහි
ඉදිරියෙන්ම සිටිනා කවීන් අතලොස්ස අතර පෙරමුණේම සිටින්නේය යන්න ප‍්‍රතික්ෂේප කිරීමට
කිසිවකුත් කල්පනා නොකරයි.
රත්න ශ‍්‍රී ගේ නිර්මාණ ජීවිතයෙහි පොහොසත්
බවට පදනම සපයන අංශ කිහිපයකි. ඉන් ඉදිරියෙන්ම ඇත්තේ ඔහු සතු භාෂා ඥානයයි. ඒ අතරම
ඔහු සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍යය මෙන්ම විදෙස් සාහිත්‍යය ද ඇසුරු කරයි. රත්න ශ‍්‍රී
යනු හුදෙක් විදග්ධ වහර පමණක් නොව ග‍්‍රාම්‍ය වහරද මනාව ග‍්‍රහණය කරගත්තෙක් මෙන්ම
එය පෙරලා නිර්මාණයන්ට උචිත වන ආකාරයට භාවිතා කරන ආකාරය ද දන්නෙකි. එසේම හෙතෙම නව
යෙදුම් නිපැයීමේද රුසියෙකි. ‘අජානේය ඉස්කූටර් තුරඟා’ වැනි යෙදුම් ඒ සඳහා
වන ප‍්‍රකට උදාහරණයන් වේ. මේ අතර ඔහු පාලි භාෂාව කෙරෙහිද උනන්දුවක් දක්වන්නේ මේ
සියල්ල සිය නිර්මාණකරණයේදී අවශ්‍ය පරිදි ගලපා ගැනීමට සහ භාවිතා කිරීමට නොපැකිලෙයි.
සම්ප‍්‍රදාය මැනවින් දන්නා ඔහු එය ගරු කරන අතරම අවශ්‍ය මොහොතේදී එය බිඳහෙලන්නටද
නොපැකිලෙයි. මේ සියල්ල අතරෙහි ඔහු රටෙහි දේශපාලන, සමාජ, සංස්කෘතික
ආගමික චලිතයන් කෙරෙහිද උනන්දුවෙයි. රැවටිල්ල දෛනික භාවිතාව කරගත් සමාජයක පවත්නා
විවිධ අගතීන් ඔහු සිය නිර්මාණයන්ට පාදක කරගන්නේ, එහිදී අගතිගාමී නොවී මානවීය
ගුණයෙන් යුත් නිර්මාණයන් පාඨකයනට තිළිණ කරයි.
රත්න ශ‍්‍රී ගේ කාව්‍ය දිවියෙහි ඇති තවත්
වැදගත් ලක්ෂණයක් වනුයේ ඔහු සමාජ විවේචනයට මෙන්ම ඇවැසි විටක ස්වයං විවේචනයටද කවිය
භාවිතා කිරීමට දක්වන හැකියාවයි. මධ්‍යම යාමයෙහි එන ‘කුක්කුර වත’ ඒ සඳහා ඇති හොඳම
උදාහරණයයි. දේශපාලකයා සහ නිර්මාණකරුවා අතරවන පෑහීම ඒ සමගම නොපෑහීම බවට පත්වන
ආකාරයද, දේශපාලකයා
නිර්මාණකරුවා මෙවලමක් බවට පත් කරගන්නා ආකාරයද විග‍්‍රහ කරනා ඔහු සිය කවිය අවසන්
කරන්නේ ස්වයං විවේචනයක් යෙදීමට හැකි නම් සහ තමන් තුළ නිර්මාණකරුවකු ලෙස අදිටනක්
ඇත්නම් නැවත තමන්ට නිසි මගට එළඹීමට හැකිය යන්න සිහිපත් කරමිනි. ඔහු ඒ පවසන්නේ
තියුණු උපහාසාත්මක බසකිනි. එනම් තවම මගේ දඩයම් දත හැලී නැති යනුවෙනි.
මේ සියල්ල අතරම ඔහුගේ නිර්මාණයන් විමසන විට
කැපී පෙනෙනම ලක්ෂණය වනුයේ ඔහු සතු තියුණු පරිකල්පන ශක්තියයි. වර්තමාන බොහෝ
නිර්මාණකරුවන්ට අවම වශයෙන් ඇති පරිකල්පන ශක්තිය ඔහු ගේ නිර්මාණ වල අරටුව බවට
පත්වෙයි. අන් බොහෝ අයට මගහැරෙන ඉතා සුළු නිමිත්තක් වුව රත්න ශ‍්‍රී හට වෙනස්
මානයකින් ජීවිතය විනිවිදින්නට කවුළුවක් බවට හරවාගත හැකි නව්‍ය ප‍්‍රවේශයක් බවට පත්
කරගත හැකිය. ඔහුගේ විශේෂත්වය එයයි. ඔහුගේ මධ්‍යම යාමය නම් කාව්‍ය කෘතියේ එන ‘දිග
මදි අත්’ යන කවිය මේ
සඳහා හොඳ උදාහරණයකි. ඔහු මේ කවියට නිමිත්ත කර ගන්නේ ගමනක් අතරදී උස් තුරක එල්ලෙන
සුදු පැහැ රෙදි කැබැල්ලකි. ඔහු ඒ රෙදි කැබැල්ල පසුගිය කාලයේ ගිං ගඟ ගලා ඇති වූ මහා
ගංවතුර සහ ඉන් ජනිත දැවැන්ත ව්‍යසනය පිලිබඳව මෙන්ම මනුෂ්‍යයකු ලෙස එවන් විපතක්
හමුවේ අසරණ වන මනුෂ්‍යයකු ගේ හෘද සාක්ෂිය විවරණයටද යොදා ගනියි. එහෙයින්ම එය හුදෙක්
ව්‍යසනයක් පිළිබඳ කවියක් නොව මනුෂ්‍ය ජීවිතයෙහි පුළුල් පරාසයක් වෙත ආලෝකය විහිදුවන
අති සංවේදී කවක් බවට පත්වෙයි. මේ ඔහුගේ පරිකල්පනයේ පොහොසත් බවට කදිම
සාක්ෂියකි.
ඉදින් රත්න ශ‍්‍රී නම් කවියා සිය පුනරාගමනය
සනිටුහන් කරන්නේ ‘වස්සානයට පසුව’ නම් නව කවි එකතුවද සමගිනි. කවියාගේ පෙර
කෘතීන් සමග සසඳන කල, මේ කෘතිය පුරාම කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ වඩා පොහොසත්
උපශාන්ත බවක් මේ කාව්‍ය නිර්මාණ තුළින් පලවීමය. සියුම් සංවේදනයක් දනවන කාව්‍ය
නිර්මාණ හරහා ඔහු වරෙක ජීවිතයෙහි ස්වභාවය විමසන්නට දාර්ශණික කාව්‍යක්කාරයකු මෙන්
වදන් හසුරුවයි. එහි ප‍්‍රතිඵලය වනුයේ පාඨකයා ද සියුම් විඳින්නකු බවට පත් කිරීමට
ඔහු සමත් වීමය. ‘අන්තිම කැමති පත‍්‍රය’ නමින් නව කෘතියෙහි එන කවිය මීට උදාහරණය වේ.
සොබා දහමෙහි ධර්මතාවක් තේමා කරගනිමින් රත්න ශ‍්‍රී මෙහිදී ඒ හරහා මානව දිවියෙහි
ස්වභාවයද අපට සම්මුඛ කරවයි. එහෙයින්ම එය වදන්හී මතුපිට අරුත ඉක්මවා පාඨකයා බොහෝ
දුර රැගෙන යන ගැඹුරු චාරිකාවක් බවට පත්වෙයි. රත්න ශී‍්‍ර නැවත පැමිණ සිටින බව සනාථ
කරන්නට ඒ කවියම ප‍්‍රමාණවත් යයි මම සිතමි.
එහෙයින් අප මේ මොහොතේ ඔහුට මෙසේ ද කිව යුතු
යයි සිතමි. නැවත ආපසු හැරීමට ඔබට අවසරයක් නැත. ඔබේ මග ඇත්තේ ඉදිරියෙනි. ඔබ ඒ මග
නොහැරිය යුතුමය. අපට එසේ ඉල්ලීමට, බල කිරීමට අයිතියක් ඇත. ඒ ලාංකීය කවියෙහි ඔබ
පුරෝගාමී භූමිකාවක් ඉටු කළ නිර්මාණකරුවකු
නිසාවෙනි.
- චූලානන්ද සමරනායක
(ස්තුතිය-සංහිඳ පර්ෂදයට, නීතිඥ ජී.
එච්. අජිත් කුමාර සහ දිමුතු නවීන්ද්‍ර යන මහත්වරුන්ට)
හරි අපූරුයි ක්‍රිෂ්ණ මහත්මයා... රත්න ශ්‍රී අපේ රසභාව අවධි කළ අපූරු කවියෙක්
ReplyDelete