Total Pageviews

Monday, June 18, 2018

ලංකාව වර්ෂාධික රටක් බවට පත්වෙමින් යයි!



ලංකාව වර්ෂාධික රටක් බවට පත්වෙමින් යයි!



(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
වැසි කාලයට නම් කොළඹ, මහ එපා කරපු තැනකි. වැහැපු ගමන් සමහර තැන් වතුරෙන් යට වෙනවා ය. කාණු උතුරනවා ය. ඒවායෙහි තියෙන ජාති සේරම පාරවල් දිගේ ගලන්නට පටන් ගන්නවා ය. ඉවත් නො කළ කුණු ගොඩවල දුර්ඝන්ධවත් සාරය ද ඒවාට එකතු වෙයි. පාරවල් දිගේ ගලන වතුර කළු පාට ය. ඒවා පයට පෑගුණ විට කකුල් පතුල් කසනවා ය. වණ වෙනවා ය! වැසි කාලයට මහත් අපුලෙන් යුතුව, කොළඹ පිටකොටුව අවට මාර්ගවල ජලයේ බැස ඇවිදින්නට සිදු වීම මගී මහජනතාවට සාමාන්‍ය කාරණයකි!

වැසි කාලයට, කොළඹ ආශ‍්‍රිත පහත් බිම් බොහොමයක් ජලයෙන් යටවෙනවා ය. දෙමටගොඩ, රාජගිරිය සහ මාලිගාවත්ත ආදී ප‍්‍රදේශ මෙන්ම, කැලණි ගඟ කටේ පිහිටි තොටළඟ, සේදවත්ත, මීතොටමුල්ල, වැල්ලම්පිටිය, අංගොඩ, කොටිකාවත්ත සහ කැලණිය ආදී පෙදෙස් ද ජලයෙන් යට වෙනවා ය. මහජනතාවට උන්හිටි තැන් නැතිවී, පාසැල් පන්සල් පල්ලි ආදියෙහි සරණ සොයා යන්නට සිදු වෙනවා ය. කොළඹ ආශ‍්‍රිත ජන ජීවිතය එහැමපිටින් ම අඩාල වෙනවා ය. වතුර බහින්නේ නැතිව දවස් ගණන් අනාථවී ඉන්නට සිදු වෙනවා ය!

 කොයිහැටි වෙතත්  අලූත් කොළඹ ඉස්සර තරම් යට වෙන්නේ නැත. පසුගිය ආණ්ඩුව කාලයේ කොළඹ නගරය ආශ‍්‍රිතව ගලා බස්නා ඇළ මාර්ග ශුද්ධ පවිත‍්‍රකර  දැමිණි. දැන් ඒවායෙහි නිරුපද්‍රිතව වැහි වතුර ගලා බසින්නේ ය. එහෙත් කාණු පද්ධති හරිහැටි ශුද්ධ නො කෙරෙන තරම් ය. ඉතින් මාර්ග ඔස්සේ වැහි වතුර ගලයි. දිනකට කොළඹට එන විසි ලක්ෂයක් පමණ වන ජනී ජනයා ද, මේ තත්ත්වයේ කොටස්කාරයන් ය. ඔවුන් අතින් කසල සහ අනෙකුත් අපද්‍රව්‍ය විධිමත් ලෙස බැහැර කෙරෙන්නේ නැති බව ප‍්‍රසිද්ධ කාරණයකි!

කොළඹට වැසි ඇද හැලෙන්නේ වකවානු දෙකකට ය. එයින් පළමුවැනි වැසි සමය, පෙබරවාරියේ සිට ජූනි මාසය දක්වා කාලයේ එළඹෙයි. ඊළඟ වැසි සමය එළඹෙන්නේ, සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා කාලයේ ය. මේ ගෙවී යන්නේ ද ජූනි මාසයකි. කොළඹට මහ වැසි ඇද හැලෙන සමයකි. එතැනින් ඔබ්බට, තවත් වස්සාන සැප්තැම්බරයක් සහ නොවැම්බරයක් එළඹෙනු ඇත්තේ ය.

වස්සාන සමය, කොළඹට පමණක් නොව රටේ අනෙකුත් ප‍්‍රදේශවලට ද හොර රහසින් එන එකක් නොවේ. වැසි වකවානු සහ වැසි විපත් සම්බන්ධයෙන් මුළු රටට ම පාහේ යම් අවබෝධයක් ඇත. එහෙත් කිසිවෙකු වැසි කාලයට ඔරොත්තු දීම සඳහා පෙර සූදානමක්ඇතිකර ගන්නේ ද? යන්න ගැටලූවකි. ආණ්ඩුවට ද එවන් දැක්මක් ඇති බවක් නො පෙනෙයි. වර්ෂාවෙන් තොර නියං කාල සම්බන්ධයෙන් ද තත්ත්වය එබඳු ය කිසිදු පෙර සූදානමක් ඇති බවක් නො පෙනෙයි.

දැන් ඉතින් නම්, ඒ ආකාරයට ගල් ගිල්ලාක් මෙන්සිටීමට නො හැකි වනු ඇත්තේ ය. ශ‍්‍රී ලංකාව ක‍්‍රමයෙන් වර්ෂාධික රටක් බවට පත් වෙමින් යන බව හෙළිදරව් වීම, ඊට හේතුවයි. එය පැහැදිලි වන්නේ, 2017 වර්ෂයේ ආර්ථික තොරතුරු ඇතුළත්කර නොබෝදා නිකුත් කළ ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේඑන කාලගුණ දත්ත (16 වැනි සංඛ්‍යාලේඛන වගුව)  නිරීක්ෂණය කිරීමේ දී ය. මහ බැංකුව වර්ෂාපතන තොරතුරු ගෙනහැර දක්වා ඇත්තේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත මූලාශ‍්‍රකර ගනිමිනි.

එහි සඳහන් වන අන්දමට, ගෙවී ගිය වසර 56ක පමණ කාලය තුළ අප රටට ලැබෙන වර්ෂාපතනය ක‍්‍රමයෙන් වැඩිවී තිබේ. එයට රටේ වියලි කලාපීය  ප‍්‍රදේශ ද ඇතුළත් ය. පොදුවේ ගත් කල එම කාලය තුළ ලංකාවේ වැසි දින සංඛ්‍යාව පවා ඉහළ ගොස් ඇත. ලියුම්කරු මෙම ලිපිය සඳහා පදනම්කර ගන්නේ එම දත්තයන් ය.

මහ බැංකු වාර්තාවේ සඳහන් වන දත්ත අනුව පෙනී යන්නේ, ඉකුත් වසර 56ක් පුරාවට අනුරාධපුරය, බණ්ඩාරවෙල, කොළඹ, හම්බන්තොට, කටුගස්තොට, නුවරඑළිය, රත්නපුරය සහ ත‍්‍රිකුණාමලය යන කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානවලට වාර්තාවූ වාර්ෂික වැසි දින ගණන 136කින් වැඩිවී ඇති බවයි. එම කාලය තුළ ඒවාට නිරීක්ෂණයවූ වාර්ෂික වර්ෂාපතනයේ ද ඉහළ යාමක් පෙන්නුම් කරයි. එය දළ වශයෙන් මිලිමීටර් 1649ක වැඩි වීමකි.

මේ කාලය තුළ කොළඹ, කටුගස්තොට සහ නුවරඑළියේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 614කින් අඩුවී ගොස් තිබේ. එය අත්හැර දැමුව ද, 1961 සිට 1917 වසර දක්වා අපේ රටේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1035ක ශුද්ධ වැඩි වීමක්  පෙන්නුම් කරයි. මින් පැහැදිලි වන්නේ, ඉකුත් වසර 56ක කාලය තුළ අපේ රට යම් වර්ෂාධික තත්ත්වයකට ගමන්කර ඇති බවයි!

පසුගිය දිනක ජර්මන් වොච්නම් ජාත්‍යන්තර ආයතනයක් විසින්, ලෝකයේ දේශගුණ හෝ කාලගුණ වෙනස්වීම් නිසා ඇති වන අවදානම් තත්ත්වයන් සම්බන්ධයෙන් (GLOBAL CLIMATE RISK INDEX 2018&  වාර්තාවක් නිකුත් කළේ ය. එහි සඳහන්වූ අන්දමට, ලොව දේශගුණ හෝ කාලගුණ අවදානම වැඩිම රටවල් ලයිස්තුවේ හතර වැනියා ශ‍්‍රී ලංකාව ය.  එහි ඉහළින්ම සිටින්නේ, හයිටි, සිම්බාබ්වේ සහ  පීජී යන රටවල් තුනයි. අවදානම වැඩි ම රටවල් අතරින් දැන් හතර වැනි තැනට වැටුණ ද, 2015 වසරේ දී ලංකාව පැවතියේ 98 වැනි ස්ථානයේ ය. ලංකාව ක‍්‍රමයෙන් කාලගුණ විපත් සහිත රටක් බවට පත් වෙමින් යන බව මෙහි තේරුමයි. එය, කාලගුණ විපත්වලට මුහුණදීම සඳහා ජාතික වැඩ පිළිවෙලක් සකසා ගත යුතු බවට අපට  අවධාරණය කරයි!

මේ කාරණය ඉස්මතු කරමින් 2018 මැයි මස 23 වැනි දා කොළඹ යුනිසෙෆ්කාර්යාලය ද නිවේදනයක් නිකුත්කර තිබුණේ ය. ලංකාව මුහුණ දෙන ස්වභාවික විපත්වලින් සියයට 96ක් ම ගංවතුර, නායයාම්, සැඩ සුළං සහ නියං තත්ත්වයන් නිසා  සිදු වන බව එහි සඳහන් විය. මෙහි තේරුම වර්ෂාධික තත්ත්වය ඇතුළු ස්වාභාවික විපත් පිළිබඳ කාරණය ජාතික න්‍යාය පත‍්‍රයේ ඉස්මත්තට ම පැමිණිය යුතු බවයි.

නිවර්තන කලාපීය රටක් වන ශ‍්‍රී ලංකාව, නිරිතදිග (මැයි-සැප්තැම්බර්) සහ ඊසාන දිග (දෙසැම්බර්- පෙබරවාරි) මෝසම් සුළං ධාරා දෙකෙින් ම වර්ෂාව ලබන දිවයිනකි. කලකට ඉහත නම් වර්ෂාපතන රටාව ගලප්පාගත යුතුව තිබුණේ, වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තය සහ ගංවතුර ආදිය සමග පමණකි. එසේ වුව ද, වර්තමානයේ එය හදිසි තද වැසි, හදිසි ජල ගැලීම් සහ නාය යාම් ඇතුළු ජන ජීවිතය බිඳ වැටීම් ආදිය සමග ද ගලප්පාගත යුතුව තිබෙනු පෙනෙයි. මෑතක පටන් අපේ රටට වැසි විපත් බහුල වෙමින් පැවතීම, ඊට හේතුවයි.

 ඉන්දියන් සාගරයේ දූපතක් වන අපේ රට, හතර වටකරින්ම පාහේ අති විශාල සමුද්‍ර කලාපයක් කේන්ද්‍රකර ගත්තකි. එබැවින් එහි නිතර හට ගන්නා සුළං තත්ත්වයන්, අපේ රටේ කාලගුණය කෙරෙහි දැඩිව බලපාන බව සාමාන්‍ය කාරණයකි. 

2017 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ දැක්වෙන තොරතුරු අනුව පෙනී යන්නේ, ඉකුත් වසර 56ක පමණ කාලය තුළ ලංකාවේ වර්ෂාපතන රටාව යම් වෙනසකට ලක්ව ඇති බවයි. එයින් රටට ඉඟි කෙරෙන්නේ ඉතා වැදගත් කාරණයකි. දශක පහකට වැඩි කාලයක් මුළුල්ලේ වර්ධනය වෙමින් බිහිව ඇති නව වර්ෂාපතන රටාවටහෙවත් වර්ෂාධික තත්ත්වයටඔරොත්තු දෙන ආකාරයට, මුළු රටේ ම ජන ජීවිතය සහ වැඩ ක‍්‍රියාවලිය ගලප්පා ගත යුතුය යන්න,  එම වැදගත් කාරණයයි. රටේ තොටේ කෙරෙන සකලවිධ දේවල්, එනම් කෘෂිකර්මාන්තය සහ ආහාර භෝග වගාව, ආපදා කළමනාකරණය, සෞඛ්‍ය සේවා ඇතුළු කාරණා බොහොමයක් ම, වර්ෂාධික තත්ත්වය සමග පරිස්සමින් ගලප්පාගත යුතුව ඇති බවයි. එය අනිවාර්ය අවශ්‍යතාවයක් මෙන් ම, ජාතික මට්ටමේ වැඩ පිළිවෙලක් ද අවශ්‍යය වන තත්ත්වයකි.  වැසි සමය එන්නට කලින් මනා පෙර සූදානමක්ඇතිකර ගන්නැයි එයින් බල කෙරෙන්නේ ය.

ජල බස්නා මාර්ග ශුද්ධකර විධිමත් ලෙස ජලය බැස යාමට සකස් කිරීම, පෙර සූදානමේ දී ගත හැකි එක් පියවරකි. නිතර ජල ගැලීම්වලට හසුවන කළු ගඟ, කැලණි ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ සහ අත්තනගලූ ඔය වැනි ගංගාවල මෙන්ම, ඒවාට සම්බන්ධ ඇළ මාර්ගවල ජලය බැස යාම පහසු කිරීමට එයින් පියවර ගත හැකි ය. විශේෂයෙන් ම, කොළඹ සහ තදාසන්න නාගරික පෙදෙස්වල ඇළ මාර්ග සහ කාණු පද්ධති වැසි සමයට පෙර ශුද්ධ කිරීම, ජලය බැස යාමට අවහිර වන අන්දමේ අනවසර හෝ නො විධිමත් ඉදි කිරීම් ඉවත් කිරීම ද කළ හැකි ය.

වැසි කාලයට නායයාම් ඇති වන බව කවුරුත් දනිති. නායයාම් හටගත් ස්ථානවල විසූ ජනයා තාවකාලිකව ලැගුම් ගන්වා නඩත්තු කිරීම, දැනට කෙරෙන ක‍්‍රියාවලියයි. ඔවුන් ස්ථිරවම, උපද්‍රව රහිත වෙනත්  ස්ථානවල පදිංචිකර වීමේ වැඩ පිළිවෙලක් දැනට නැත. දැනට කෙරෙන්නේ යම් විපතක් සිදුවුණු පසුව සහන කටයුතු ආරම්භ කිරීමයි. වැඩි දෙනෙක්, ‘පෙර සූදානමයන සංකල්පය කෙරෙහි අවධානය දක්වනවා අඩු ය. නායයාම් සිදුවන පෙදෙස් කවරේ දැයි, දැනටමත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් හඳුනා ගෙන තිබේ. ඒවායෙහි වෙසෙන්නන් අදියර කිහිපයක් මගින් හෝ වෙනත් ස්ථානවල පදිංචි කිරීම යම් ස්ථිර විසඳුමකි.

කරුණු මෙසේ වුව ද, දේශගුණ හෝ කාලගුණ විපත් වෙනුවෙන් ක‍්‍රියාත්මක වන ජාතික වැඩ සැලැස්මක් අපට නැත. නායයාම්වලින් අසරණ වූවන් සඳහා නව නිවාස ආදිය සපයන වැඩ ක‍්‍රියාවලිය, මන්දගාමී හෝ අකාර්්‍යක්ෂම බවට චෝදනා නිතරම පාහේ අසන්නට ලැබේ.
වැසි විපත්වලට මුහුණ දීම සඳහා මහා පරිමාණ ව්‍යාපෘති ද ක‍්‍රියාත්මක කළ හැකි ය. කළු ගඟ ඇතුළු දඩබ්බර ගංගාවල ගංවතුර පාලනය කිරීමේ ව්‍යාපෘති ආරම්භ කිරීම ඉන් එකකි. එහෙත් වර්තමාන ආණ්ඩුව එවන් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රටට දායාද කරන බවක් පෙනෙන්නට නැත. ඔවුන් වඩාත් කැමති, වැසි විපත් අවස්ථාවල බත් පැකට්’,  වියලි ආහාර මළුසහ වන්දි මුදල්පිරිනැමීම වැනි සිල්ලර වැඩවලට ය!

(මෙම ලිපිය 2018 ජුනි 17 දින ‘සැබෑ පුවත්පතෙහි  පළ විය.)


1 comment:

  1. ඔව් අප්පා දැං වහින්නෙ නැතිකාලවලත් වහිනවනෙ

    ReplyDelete