කූඤ්ඤය ගැලවූ පිස්සු වඳුරාගේ කතාව
සිහි ගන්වන ‘නකල්ස් ඉඩම් නාඩගම’!
මොරගහ කන්දටත් අවදානමක්
සුප‍්‍රකට ‘දුම්බර වනපෙත’ (නකල්ස් වන රක්ෂිතය) පරිවාරයෙන් පිහිටි රජයේ ඉඩම්වලින් අක්කර 21,000ක පමණ කොටසක් ‘ආර්ථික සංවර්ධන ව්‍යාපෘති’ සඳහා පෞද්ගලික අංශයට නිදහස් කරන්නට යාම සම්බන්ධයෙන් පැන නැගී ඇත්තේ විශාල ආන්දෝලනයකි. එය වර්තමාන ආණ්ඩුවෙන් කෙරෙන ‘අමුතු සංවර්ධනයේ’ තවත් කෙරුවාවක් ලෙස ගිනිය හැකි ය.
‘දුම්බර වනපෙත’ වැනි පාරිසරික වශයෙන් ඉතා සංවේදී භූමි භාගයක් මායිමේ, ‘සත්ත්ව පාලනය’ හෝ ‘ජල බෝතල් නිෂ්පාදනය’ වැනි ආර්ථික ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන්නට යාම, එහැමපිටින් ම අමුතු, අපබ‍්‍රංශ කෙරුවාවකි. එය, ‘කූඤ්ඤය ගැලවූ පිස්සු වඳුරාගේ කතාව’ වුව සිහිපත්කර වන තරම් අපූරු නාඩගමකි! ආණ්ඩුවේ නායකකාරකාදීන් විසින් හිස් මුදුනින් ම උත්කර්ෂයට නැංවූ ‘මොරගහ කන්ද’ සහ ‘කළු ගඟ’ යන මහා පරිමාණ ජලාශ ව්යාපෘති පවා එයින් අනතුරට පත්වන්නට ඉඩ තිබීම ඊට හේතුවයි!
ප‍්‍රමාණයෙන් හෙක්ටයාර් 21,000ක් පමණ වන දුම්බර වනපෙත, මහනුවර සහ මාතලේ යන දිස්ත‍්‍රික්කවලට අයත් ය. එය, ‘ශ‍්‍රීපාද වන අඩවිය’ හැරුණු විට ලංකාවේ ඇති විශාලත ම තෙත් කලාපීය වැසි වනාන්තර පද්ධතිය ද වෙයි. එය, ඉහළ කඳුකර වනාන්තර (කුරු වනාන්තර හෝ වලාකුළු වනාන්තර), උප කඳුකර වනාන්තර සහ පතන් බිම් ඇතුළු වනාන්තර වර්ග කිහිපයකින් ම සමන්විත ය. ඒවාට ඇත්තේ සුවිශේෂ වටිනාකමකි. ‘දුම්බර කඳුවැටිය’ හෙවත් ‘නකල්ස්’ යනු, මහවැලි ගඟේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශයක් වීම ඊට හේතුව ය. ලංකාවේ කෘෂිකර්මාන්තයට සහ ජල විදුලිබල නිපැයුමට ලොකුම දායකත්වය සපයන්නේ මහවැලි ගඟයි. එහි සමස්ත ජල පෝෂක ප‍්‍රදේශයෙන් සියයට 30ක් පමණ අයත් වන්නේ දුම්බර කඳුවැටියට ය. දුම්බර වනපෙතට ය. එනම්, අඹන් ගඟේ සහ මාතලේ කළු ගඟේ ජල පෝෂක පෙදෙස්වලට ය.
දුම්බර වනපෙත්වල ඇති ජෛව විවිධත්වය ද අති මහත් ය. දැනට අනාවරණයවී ඇති පරිදි, ‘කුල’ 141කට අයත් සපුෂ්ප ශාක විශේෂ 1033ක් එයින් වාර්තාවී තිබේ. එ්වා අතුරින් විශේෂ 160 ක් පමණ ලංකාවට ආවේණික ශාක වේ. එයින් විශේෂ 225 ක් පමණ දැවමය ශාකයන් ය. ලංකාවට ආවේණික ශාක විශේ්ෂ සම්භාරයෙන් සියයට 17ක් පමණ දුම්බර වනපෙතින් වාර්තා වීම විශේෂත්වයකි. පරිසරවේදී සජීව චාමිකර මහතාට අනුව, උභය ජීවීන්, උරගයින්, මත්ස්යයින්, පක්ෂීන්, ක්ෂීරපායින්, සමනළුන් ආදී සත්ව කාණ්ඩ අතරින් විශේෂ 329ක් දුම්බර වනපෙතින් හමුවී තිබේ. එයින් වාර්තාවී ඇති පෘෂ්ඨවංශී ජීවී විශේෂ සංඛ්යාව 247කි. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ දුම්බර වනපෙත ඉහළ ජෛව විවිධත්වයකින් හෙබි සංවේදී වනාන්තරයක් බවයි.
‘ජල පෝෂක ප‍්‍රදේශයක්’ වශයෙන් දුම්බර වනපෙතට ඇති වැදගත්කම ඉතාමත් ඉහළ ය. එය දෙවැනි වන්නේ, ‘රටේ ප‍්‍රධාන ජල උල්පත් ගබඩාව’ යයි කිවහැකි ශ‍්‍රීපාද අඩවියට පමණකි. දුම්බර කඳුවැටිය, නිරිතදිග සහ ඊසානදිග යන මෝසම් වැසි වකවානු දෙකින් ම වැසි ලැබෙන ඉසව්වකි. ඉන් ලැබෙන දියවර, අඹන් ගඟ, මාතලේ කළු ගඟ ඇතුළු ගංගා ගණනාවක් ඔස්සේ පැමිණ මහවැලි ගඟ පෝෂණය කරයි.
දුම්බර (නකල්ස්) වන රක්ෂිතයේ නැගෙනහිරින් ගලා බසින, හීන් ගඟ, මහ ඔය, සහ හසලක ඔය යන කුඩා ගංගාවල ජලය ද, බටහිරින් ගලා බසින හුළු ගඟ සහ ගල්මල් ඔයේ ජලය ද එක් වන්නේ මහවැලි ගඟටයි. මින් හසලක ඔය ආරම්භ වන්නේ, නකල්ස් වනයේ, මීමුරේ, නැගෙනහිර බෑවුමෙනි.
මාතලේ නාඋල ප‍්‍රදේශයේ දී හමුවන ‘අඹන් ගඟ’ ද, මහවැලි ගඟට දියවර සපයන විශාල අතු ගංගාවකි. එය පෝෂණය කෙරෙන්නේ, දුම්බර වනපෙත් ඔස්සේ ගලා එන ‘මාතලේ කළු ගඟෙනි’. දුම්බර වන පියසට අයත්, ලග්ගලට නුදුරු ඉලූක්කුඹුර ඔස්සේ ගලා බසින ‘තෙල්ගමු ඔය’ එකතු වන්නේ ද මාතලේ කළු ගඟට ය.
දුම්බර (නකල්ස්) වන පියසින් කළු ගඟට එක් වන අතු ගංගා අතර, මීමුරේ ඔය, කයිකාවල ඔය සහ කොට ගඟ ද වේ. ඊට අමතරව නකල්ස් කඳු වැටියේ බටහිර දෙසින්, දැලිවල ඔය, දන්කන්ද ඔය සහ රත්තොට ඔය ද කළු ගඟට එක් වෙයි. කළු ගඟේ දියවර පසුව අඹන් ගඟ ඔස්සේ මහවැලි ගඟට එක් වේ.
පසුගිය කාලයේ විවෘත කෙරුණු මොරගහකන්ද ජලාශය ද බිහිවූයේ ද අඹන් ගඟ හරස් කිරීමෙනි. එහි ජල ධාරිතාවය ඝන මීටර් මිලියන 569.9කි. දැනට ඉදි කෙරෙමින් යන, ලග්ගල ‘පල්ලේගම ජලාශය’ ද, මොරගහකන්ද ව්යාපෘතියේම කොටසකි. අඹන් ගඟේ අත්තක් වන මාතලේ ‘කළු ගග’ හරස් කිරීමෙන් එය ඉදි කෙරේ. එහි ජල ධාරිතාවය ඝන මීටර් මිලියන 265.6කි. සමස්ත මොරගහකන්ද ව්යාපෘතිය මගින්, අනුරාධපුර, පොළොන්නරුව සහ ත‍්‍රිකුණාමලය යන දිස්ත‍්‍රික්කවල ඉඩම් හෙක්ටයාර් 82,000කට පමණ දියවර සැපයීමට අපේක්ෂිත ය. රටේ පාලකකාරකාදීහු දුම්බර වනපෙත් පරිවාරයේ ඉඩම් ආර්ථික ව්‍යාපෘති සඳහා නිදහස් කරන්නට යන්නේ, මේ සියල්ල පරදුවට තබමිනි. එයින් හට ගන්නට ඉඩ ඇති ජල හානියේ දිග-පළල අමතකකර දමමිනි. සත්ත්ව පාලනයේ අපද්‍රව්‍ය මුසු අපිරිසිදු ජලය ගොවි බිම්වලට යන බව ද නො තකා හරිමිනි.
දුම්බර කඳු වැටියේ ඇතැම් භූමිභාග, බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ පටන් තේ සහ එනසාල් යන වගාවන්ට නතු කෙරිණි. එයින් කඳුකර වන ගහණය එළි පෙහෙළි විය. වර්ෂ 1873 දී බි‍්‍රතාන්‍යයෝ, මුහුදු මට්ටමේ සිට මීටර් 1500ට වඩා උසින් පිහිටි ප‍්‍රදේශ ‘රක්ෂිත කැලෑ’ හැටියට නම් කළහ. ඒ අනුව දුම්බර වනපෙත ද රක්ෂිතයක් බවට පත් කෙරිණි. ඉන් පසුව එහි පාලනය ‘වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට’ පැවරිණි. වර්ෂ 2000 දී දුම්බර වනපෙතෙහි හෙක්ටයාර් 17500ක් ‘සංරක්ෂිත වනාන්තරයක්’ බවට ප‍්‍රකාශයට පත් කෙරිණි. එය වර්ෂ 2010 දී යුනෙස්කෝ ‘ලෝක උරුමයක්’ බවට පත් විය.
කෙසේ හෝ වේවා, දුම්බර වනපෙතට දැනුදු ‘ස්වාරක්ෂක කලාපයක්’ (බෆර්සෝන්) පිහිටුවා නැත. වනයේ නිල මායිමට යාබදව, කැලෑ වශයෙන් පවතින තවත් හෙක්ටයාර් 2000ක පමණ ඉඩම් සමූහයක් වනයට පවරා ගන්නට 2004 වසරේ දී තීන්දු කෙරිණි. එම කටයුත්ත ද තවමත් නිසි ලෙස ඉටුවී නැත. ආණ්ඩුවේ ඇත්තන්, වනයට පරිවාරයේ රජයේ ඉඩම් සමූහයක් ම ආර්ථික ව්යාපෘතිවලට නිදහස් කරන්නට යන්නේ එබඳු පසුබිමක් ද පැවතිය දී ය. ඒවා වතු සමාගම්, රජයේ වතු සහ ජාතික ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පවතින ඉඩම් ය.
නකල්ස් ඉඩම් නාඩගම නිසා දැන් පරිසරවේදීන් ද කලබලවී සිටිති. ‘මේක හොඳ වැඩක් නම් නෙවෙයි. ඉඩම් දෙන්න කලින් ’පාරිසරික බලපෑම් ඇගයීමේ වාර්තාවක්’ සකස් කරලා විමර්ශනයක් කරන්න ඕනෑ’, එසේ කියන්නේ පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ය. නම සඳහන් කරන්නට අකමැති වන සංරක්ෂණ නිලධාරියෙක් පැවසුවේ, ‘ ඕවා කරන්න කලින් නකල්ස් වනාන්තරයට කිලෝමීටර් දෙකක්වත් පළලට ‘බෆර් සෝන්’ එකක් (ස්වාරක්ෂක කලාපයක්) පිහිටුවන්න ඕනෑ’ යනුවෙනි.
නිදහස් කරන්නට යන ඉඩම්වලින් බොහොමයක්, අංශක 45ට වඩා වැඩි දැඩි බෑවුම් සහිත භූමිභාගයන් ය. ඒවා මුඩු ඉඩම් යයි කීව ද, ඉන් සමහරක් කැලෑ වශයෙන් පවතින ඒවා ය. වනපෙත ඔස්සේ එන ජලදහරා පහළට ගලා බසින්නේ ද එම භූමි ඔස්සේ ය. ඒවායෙහි භූමිය වෙනස් කරමින් ආර්ථික ව්යාපෘතිවලට නතුකළ හොත් ‘බරපතල සෝදුපාළුවක්’ ඇතිවීම නො වැලැක්විය හැකි කාරණයකි. එයින් ලොකුම බලපෑම ඇති වන්නේ මොරගහ කන්දට ය. ඉදිවෙමින් යන ‘කළු ගඟ’ ජලාශයට ය.
මහවැලි කඩිනම් යෝජනා ක‍්‍රමය යටතේ ඉදි කෙරුණුු ‘රන්ටැඹේ’ ජලාශයට රොන්මඩ පිරීමෙන් සිදුවූ හානිය දැන් කාටවත් මතක නැත!
(මෙම ලිපිය 2018/06/10 දින ඉරිදා රිවිර පුවත්පතේ පළවිය)
(ඡායාරූප
අන්තර්ජාලයෙනි)
No comments:
Post a Comment