වසර 158ක් වියැති,
සිංහල පත්තර මුද්රණ කලාවේ මුත්තණුවෝ!
උන්දෑ ගැන දැන් කාටත් අමතකයි!
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡායාරූප-ඉන්දීවරී ශ‍්‍රීපාලී චන්ද්‍රසේකර)
‘මධ්යම පලාතේ ඒජන්ත (ෂාර්ප්) උන්නාන්සේ තෙල්දෙනිය පලාතේ වැව් සෝදිසි පිණිස ගොස් එන විට වාහල ඇලේ වෑකන්ද උඩ ගමන් කරද්දී කකුල ලිස්සා ගොස් වැටුනේ ය. ඒ ලඟ සිටි කෝරාල අල්ලා ගැණීමෙන් වැවට නොවැටී ගැලවුනේ ය. මේ ඇර වෙන තුවාලයක් වුනේ නැතැයි කියා තිබේ. (මහනුවර)’
මේ උපුටා ගැනීම, අපේ ‘මුත්තණුවන්ගේ’ පත්තරයෙනි!
‘මුත්තණුවන්’ යයි කීවේ, ලංකාවේ සිංහල පුවත්පත් මුද්රණ කර්මාන්තයේ මුත්තණුවන්ට ය. උන්දෑ සිටියේ ගාල්ලේ ය. ඒ, අදින් වසර 158කට පමණ ඉහත 1860 වර්ෂයේ ය. මුත්තණුවන් එකල සිංහල ප‍්‍රවෘත්ති පත‍්‍ර කලාවේ බොහොම පෙරළිකාරයෙකි!
උන්දෑගේ දුකසැප බලනු පිණිස, ලියුම්කරු ඉකුත් දිනයක ගාල්ලේ කතළුව, රන්වැලි පුරාණ විහාරයට ගියේ ය. 2012 වසරේ මහා ගින්නට බිලි වීමෙන් පසුව ‘මුත්තණුවන්’ තවම පසුවන්නේ ගිලන් ඇඳේ ය!
වර්ෂ 1886 අගෝස්තු මස 18 වැනි දා උන්දෑ පලකළ පුවතක කොටසක් මෙසේ ය.
‘වේරගොඩ දේවාලයේ තිබීසම්භවූ ‘මාසබාදු’ යන පුරාණ පාළිපොත ගාල්ලේ වැල්ලබඩ පත්තුවේ ජයවර්ධන මුදලිතුමාවිසින් ඉංග‍්‍රීසිභාෂාවට නගනබව ද ලංකා කතාන්ත‍්‍රයේ තොරතුරු රාසියක් මෙහි අඩංගුව තිබෙන බව ද කියා තිබේ. තවත් මේ පොත ඉංගිරිසියට නැගීමට විජේසිංහ මුදලිතුමා උපකාරකරනබව ටයිම්ස් පත‍්‍රයේ ලියුම්කරුවෙක් කියා තිබේ’
අපේ මුත්තණුවන් මේ පුවත මුද්රණයකර ඇත්තේ, ගාල්ලේ, දංගෙදර වීදියේ අංක 369 දරණ ‘ලංකෝපකාර අච්චු කන්තෝරුවේ දීය. මුත්තණුවන් මුද්රණයෙන් එළියට දුන් පුවත්පතේ නම ‘ලංකාලෝකයයි’. එකල උන්දෑ බොහොම ‘හයි-හත්තියෙන්’ සිටි කෙනෙකි.
‘ලංකාලෝකය’ යනු ලංකාවේ ප‍්‍රථම සිංහල පුවත්පතයි. වර්ෂ 1860 දී එය පළකර ඇත්තේ ගාල්ලෙනි. ආරංචියේ හැටියට, මුත්තණුවන් එංගලන්තයේ සිට නැව් නැගී, ගාල්ලේ වරායෙන් ගොඩ බැස ලංකාවට පැමිණ ඇත්තේ ‘ලංකාලෝකය’ සිංහල පුවත්පත මුද්රණය කිරීමට ය. ගාල්ල වරාය සාරසුබාවට ක‍්‍රියාත්මක වෙමින් තිබුණු ඒ කාලයේ මුත්තණුවන් පදිංචිව සිටියේ, ගාල්ල කොටුවේ, ‘චර්ච් වීදියේ අංක 02 දරන ස්ථානයේ’ ය. එය ‘ලංකාලෝක පත්තර කන්තෝරුව’ යනුවෙන් හැඳින්වෙන්නට ඇත!
එකල ‘ලංකාලෝකය’ පත්තරය නිකුත් වූයේ ‘ගාල්ලේ දී අච්චු ගැස්වූයේ ය’ යනුවෙන් මුල් පිටුවේ පළ කෙරුණු විශේෂ හැඳින්වීමක් ද සමගිනි. අපේ මුත්තණුවෝ සෑම බදාදා දිනයක ම ‘ලංකාලෝකය’ මහජනයාට නිකුත් කළහ. පත‍්‍රයේ මාසික දායක මුදල ශත විස්සකි!
සිංහල පුවත්පත් මුද්රණ කර්මාන්තයේ මුත්තණුවන් අයත් වන්නේ ජර්මනියේ ‘ගුටෙන්බර්ග්ගේ’ මුද්‍රණ යන්ත‍්‍ර පරම්පරාවට ය. ඔහු කළ නිපැයුමේ හැඩරුවට සහ තාක්ෂණ මාදිලියට අනුව අපේ මුත්තණුවන් බිහිකර ඇත්තේ වර්ෂ 1850න් පසු කාලයක ය. එකල ඒවා නිපදවා ඇත්තේ එංගලන්තයේ ‘කොලොම්බියන්’ මුද්‍රණ යන්ත‍්‍ර සමාගමයි. ඉන් පසුව වර්ෂ 1859 දී පමණ මුත්තණුවෝ ගාල්ලෙන් ලංකාවට ගොඩ බටහ!
මුත්තණුවන් ගොඩබසින කාලවකවානුව, ලංකාවේ බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලන සමයයි. එකල ලංකාවාසී සිංහල ජනයාට නොයෙකුත් ගැටලූ මතුවී තිබිණි. ආක‍්‍රමණික බි‍්‍රතාන්‍යයන් තම මිෂනාරි දේවගැතිවරුන් මගින් ක‍්‍රිස්තියානි ආගම ව්යාප්ත කරන්නට උත්සාහ ගැනීමත්, එයින් රටේ මුහුදුබඩ පළාත්වල සිංහල බෞද්ධ ජනයාට යම් යම් බලපෑම් සිදුවෙමින් පැවතීමත් නිසා ගැටලූකාරී තත්ත්වය හට ගෙන තිබිණි.
එකල ක‍්‍රිස්තියානි ආගමිකයන් සහ බෞද්ධයන් අතර ‘බද්දේගම වාදය’, ‘පානදුරා වාදය’ ආදී මහා වාද පවා ඇතිවිණි. මේ කාලයේ ‘මුද්‍රණාල’ පහසුකම් තිබුණේ ක‍්‍රිස්තියානි ආගමික පාර්ශවයන්ට පමණ ය. එබැවින් ඔවුන් බෞද්ධාගමට එල්ල කරන විවේචනවලට පිළිතුරු දීමට ද, බෞද්ධයන් දැනුවත් කිරීමට ද ක‍්‍රමයක් නො තිබිණි.
එකල ගාල්ලේ පරමානන්ද මහා විහාරයේ අධිපති පදවිය හෙබැවුයේ ‘බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස නාහිමියන් ය. උන් වහන්සේ, එකල සියම් රටේ (වත්මන් තායිලන්තය) රජකළ ‘මොන්කුට්’ රජුගේ මිතුරෙකි. ලංකාවේ බෞද්ධයන්ට ‘මුද්‍රණාලයක්’ නැතිකමේ ප‍්‍රශ්නය, උන් වහන්සේ සියම් රජුට දන්වා යැවූහ. ඒ අනුව, මුද්‍රණ යන්ත‍්‍රයක් මිලට ගත් සියම් රජු, එය ධම්මාලංකාර නාහිමියන්ට ත්යාග පිණිස එවූහ. එය ලංකාවට ආවේ වර්ෂ 1859 දීය. ඒ, අනිකෙකු නොව, අපේ මුත්තණුවන් ය! එයින් පසුව වර්ෂ 1860 ජුනි මාසයේ පටන් අපේ මුත්තණුවන් විසින් ‘ලංකාලෝකය’ පුවත්පත මුද්‍රණය කරන ලද්දේ ය.
එකල මුත්තණුවන්ගේ නිවහන පිහිටා තිබුණේ ගාල්ල කොටුවේ චර්ච් වීදියේ ය. වර්ෂ 1886 දී එය, ගාල්ලේ දංගෙදර වීදියේ අංක 369 දරන ස්ථානයට මාරු විණි. මුත්තණුවෝ එතැන හිඳිමින් ද ‘ලංකාලෝකය’ අච්චු ගැසුහ.
ඉන් පසුව 1912 වසරේ, මුත්තණුවන්ට යළිත් ස්ථාන මාරුවක් ලැබිණි. බුලත්ගම ධම්මාලංකාර නාහිමියන් විසින් මුත්තණුවන් අහංගම, කතළුව ‘රන්වැල්ල පුරාණ මහා විහාරයට’ රැගෙන යාම, ඊට හේතුවයි. ‘රන්වැල්ල පුරාණ මහා විහාරයට’ ද ධම්මාලංකාර නාහිමියන් භාරයේ පැවති විහාරස්ථානයකි.
එතැන් පටන් අපේ මුත්තණුවෝ පත්තර අච්චු ගැසුවා දැයි පැහැදිලි නැත. කෙසේ වෙතත්, දෙවැනි ලෝක යුද්ධය පැවති සමයේ (1942 වර්ෂය) දෙවසරක පමණ කාලයක් මුත්තණුවන් වාසය කළේ පානදුරේ ය. ඒ, ‘සිටි මුද්‍රණාලය’ වශයෙනි. පසුව මුත්තණුවන් යළිත් කතළුවේ රන්වැල්ල පන්සලට ගෙන එනු ලැබී ය. රන්වැල්ලේ පුරාණ විහාරයේ තොරතුරු අනුව, වර්ෂ 1960 පමණ වන තුරු එයින් යම් යම් මුද්රණ කටයුතු කෙරී තිබේ!
2012 වසරේ නොවැම්බර් මස 19 වැනි දා රාත‍්‍රියේ, රන්වැලි පුරාණ විහාරය හදිසි ගින්නකට බිලි විය. එයින් විහාරස්ථානයට ද, අපේ මුත්තණුවන්ට ද බරපතල හානි සිදු විය. එය පැරණි මුද්‍රණ යන්ත‍්‍රයක් යයි කියන්නට ද බැරි තරමට හානිවී තිබිණි.
එයින් බොහොම දෙනෙක් කම්පා වුහ. ලංකාවේ මුල් ම සිංහල පුවත්පත මුද්රණය කළ යන්ත‍්‍රය (අපේ මුත්තණුවන්) දැඩි ලෙස විනාශවී යාම රටේ මහත් කතාබහට ද ලක් විය.
‘අපි ඕක තිබුණු විදිහට ම හදලා දෙන්නම්’, අලාභානි බලන්නට පැමිණි ආණ්ඩුවේ ඇත්තෝ ද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇත්තෝ ද පොරොන්දු වූහ.
මේ අතර, ‘ ඕක රජයට දෙන්ඩ! එතකොට රජයේ වියදමෙන් සංරක්ෂණය කරන්න පුළුවන්’ යයි ආණ්ඩුවේ ඇත්තෝ ඉල්ලූහ. රන්වැලි විහාරස්ථානයේ දායකකාරකාදීහු ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළහ!
අවසානයේ රජය පැත්තෙන් කිසිවක් කෙරුණේ නැත. ටික දිනක දී මුත්තණුවන් පිළිබඳ අවධානය ද නැතිවී ගියේ ය.
මාරකොල්ලියේ විමලජෝති නාහිමියෝ රන්වැල්ල පුරාණ විහාරයේ අධිපති පදවියට පත්ව ආවේ, පන්සල ගිනි ගැනීමේ සිද්ධියෙන් පසුව ය. ඉක්බිති උන් වහන්සේ පන්සලේ වියදමෙන් ‘මුත්තණුවන්’ පිළිසකර කිරීම ඇරඹූහ.
‘දැනට රුපියල් පනස්දාහක් විතර වියදම්වෙලා තියෙනවා. අපි බාස්උන්නැහේලා ගෙනල්ලා මේකේ යකඩ කොටස් ටික පිළිසකර කළා. දැන් මේක ‘මුද්‍රණ යන්ත‍්‍රයක්’ කියලා පේනවා. ඒත් මේක පැරණි මුද්‍රණ යන්ත‍්‍ර ගැන දැනුමක් තියෙන කාර්මිකයෙකු ලවා හදවන්න ඕනෑ. මට මේක පරණ තිබිච්ච තත්ත්වයට ම, ඒ කියන්නේ ක‍්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයට ගොඩ ගන්න අවශ්යයි’, විමලජෝති හිමියෝ ලියුම්කරු සමග පැවසූහ.
‘ලංකාලෝක මුද්‍රණ යන්ත‍්‍රය’ යළි පෙර තත්ත්වයට සංරක්ෂණයකර ගැනීම සම්බන්ධයෙන් විහාරාධිපති හිමියේ කරුණු තුනක් යෝජනා කරති.
x-කොලොම්බියන් වර්ගයේ පැරණි මුද්‍රණ යන්ත‍්‍ර ගැන අවබෝධයක් ඇති කාර්මික ශිල්පියෙකු හඳුනා ගෙන, ඔහුගේ උදව්වෙන් එය අලූත්වැඩියාකර ගැනීම,
x-ඒ සඳහා බරපැන සපයා ගැනීම,
x-පිළිසකර කිරීමෙන් පසුව එය තැන්පත් කිරීමට වීදුරු කුටියක් සහිත කුඩා කෞතුකාගාරයක් සාදා ගැනීම යනු ඒවායි.
‘මේ වැඩටික කර ගන්න අපට මුදල්-හදල් නෑ. ඒ වගේම පැරණි මුද්‍රණ යන්ත‍්‍ර ගැන දන්න කාර්මිකයෙක් අපට හොයා ගන්නත් අසීරුයි. කොග්ගල කියන්නේ අපට අල්ලපු ගම. මාර්ටින් වික‍්‍රමසිංහ ජන කෞතුකාගාරය නරඹන්න එන ඉස්කෝල ළමයි විශාල පිරිසක් මේ පන්සලටත් එනවා. මේ පන්සලේ ඉතා දුර්ලභ ගණයේ පැරණි බිතු සිතුවම් තියෙනවා. මේක සංචාරකයන් යන එන තැනක්. ඉතින් මේ මුද්‍රණ යන්ත‍්‍රය සංරක්ෂණය කරලා කෞතුකාගාරයක් බිහිකර ගැනීමේ විශාල වැදගත්කමක් තියෙනවා’, විමලජෝති හිමියෝ කියති.
දැන් එහි එන උදවියට දැක ගන්නට ඇත්තේ, ලංකාලෝක මුද්‍රණ යන්ත‍්‍රය හෙවත්, අපේ මුත්තණුවන්ගේ අසම්පූර්ණ රූපකායක් පමණි! එය අතිශයින් ම ශෝචනීය කාරණයකි.
(මෙම
ලිපිය 2018 /06/10 දින ඉරිදා රිවිර
පුවත්පතේ පළවිය.)
No comments:
Post a Comment