ග්ලයිපොසේට් තහනම,
මාරාන්තික වකුගඩු රෝගය,
මංඤොක්කා-බතල සහ වට්ටක්කා!
මංඤොක්කා-බතල සහ වට්ටක්කා!
ඇමරිකාවේ ‘මොන්සැන්ටෝව’ ලොව සුප‍්‍රකට කෘෂි රසායන සහ ආහාර භෝග බීජ නිපදවන බහුජාතික සමාගමකි. ‘පූර්ණ’ හෙවත් සමූලඝාතක වල් නාශකයක් වන ‘ග්ලයිපොසේට්’ ලෝකයට නිපදවා දෙන්නේ ද ඔවුන් ය. ‘ග්ලයිපොසේට්’, වර්ෂ 1964 දී ලොව මුල් වරට නිපදවූයේ ‘Stauffer Chemical’ නමැති ඇමරිකානු සමාගමකි. ඔවුන් එය භාවිතකර ඇත්තේ නාන කාමරවල සහ ජල නලවල ‘කිවුල’ පිරිසිදු කිරීමට ය. පසුව වර්ෂ 1970 සිට මොන්සැන්ටෝ සමාගම එයින් ‘වල් නාශක රසායන’ නිපදවන්නට පටන් ගත්තේ ය. ඔවුන් ලෝකයට ඉදිරිපත් කළ ප‍්‍රථම ‘ග්ලයිපොසේට්’ නිෂ්පාදනය ‘රවුන්ඩප්’ ය. නොයෙක් වෙළෙඳ නාමවලින් ඉදිරිපත් වුණ ද, ‘ග්ලයිපොසේට්’ යනු අද ලොව බහුලව භාවිත කරන පූර්ණ වල් නාශකයකි. එය විෂ සහිත එකක් යයි ප‍්‍රකට ය. දැනට ලංකාවේ භාවිතය තහනම් ය!
කාරණය එසේ වුව ද ලංකාවේ අය මොන්සැන්ටෝවටත් වඩා දක්ෂයෝ ය. වර්තමානයේ ඔවුන් ‘ග්ලයිපොසේට්’ භාවිතා කරන්නේ මංඤොක්කා සහ බතල වගාවල පස බුරුල්කරවා, ඒවායෙහි අල පහසුවෙන් ගලවා ගතහැකි තත්ත්වයට පත්කර ගන්නට ය. ගැලවීමට පෙර ‘ග්ලයිපොසේට්’ ගැසූ මංඤොක්කා සහ බතලවල, ‘පිටි ගතිය’ වැඩි බව ඔවුන්ගේ ඇදහීමයි! රජරට ප‍්‍රදේශයේ වට්ටක්කා ගෙඩිවලට ද ‘ග්ලයිපොසේට්’ ඉසින බව ප‍්‍රකට ය. එයින් ඒවායෙහි ද පිටි ගතිය වැඩි වන බව ඔවුන්ගේ සොයා ගැනීමයි! අම්පාර දිස්ත‍්‍රික්කයේ ඇතැම් වී ගොවීන්, ගොයම් පැසීම ඉක්මන්කරවා ගන්නේ අස්වනු නෙලීමට දින දහයකට පමණ පෙර ‘ග්ලයිපොසේට්’ ඉසීමෙනි. එයින් ගොයම දවසට දෙකට පැසී, වී ඇටය ද අමුතු රන්වන් පැහැයකට හැරෙන බවත්, එය වැඩි මිලක් ලැබෙන්නට හේතුවක් වන බවත්, ඔවුන්ගේ අවබෝධයයි. ගොවීන් මේවා කරන්නේ හොර රහසේ ය. ඒ සඳහා ‘හොර ග්ලයිපොසේට්’ අප‍්‍රසිද්ධියේ විකිණෙයි. ලේබල් ගැලවූ ලීටර් හතරේ ‘ග්ලයිපොසේට්’ කෑනයක් රුපියල් 3000-4000ක් පමණ වේ. ඉන්දියාවෙන් හොරෙන් එන ‘ග්ලයිපොසේට් කුඩු’ වර්ගයක් ද රහසින් අලෙවි වෙයි. කොටින්ම, මොන්සැන්ටෝ සමාගම පවා ලංකාවේ ‘ග්ලයිපොසේට්වල’ එබඳු අමුතු භාවිතාවන් ගැන නො දන්නා බව නම් සහතික ය!
‘ග්ලයිපොසේට්’, ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ 1980 දශකය මුල් භාගයේ ය. එය පූර්ණ වල් නාශකයකි. එහි තේරුම වන්නේ, කොල පැහැයෙන් තිබෙන ඕනෑම වල් පැලැටියක් දවසට දෙකට සමූලඝාතනයකර දමන්නට ඒවාට හැකියාව ඇති බවයි. එය අද අපේ රටේ වඩාත් ‘ආන්දෝලනාත්මක ම කෘෂි රසායනය’ බවට පත්ව තිබේ.
ලංකාවේ ගොවීන් ග්ලයිපොසේට් භාවිතා කරන්නේ තේ සහ වී ආදී භෝග වගාවල වල් පැලෑටි වර්ග මර්දනය කරන්නට ය. ඒවා අධික විෂ සහිත බවත්, රජරට ද ඇතුළුව රටේ වියලි කලාපීය ප‍්‍රදේශවල පැතිර යන මාරාන්තික වකුගඩු රෝගය කෙරෙහි දැඩිව බලපාන බවත් පසුව සොයා ගැනුණි. ඉන් පසුව 2015 වසරේ ජුනි මස 11 වැනි දා රජය මගින් ග්ලයිපොසේට් තහනම් කෙරිණි.
ග්ලයිපොසේට් තහනම් කිරීම මහත් ආන්දෝලනාත්මක කාරණයක් විය. ‘ග්ලයිපොසේට් නැතිව මහා පරිමාණ තේ වගාවන් පවත්වා ගෙන යන්නට බැරි යයි’ කියමින්, වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා ඇතුළු මහා පරිමාණ තේ වැවිලිකරුවන් පිරිසක් හඬ නගන්නට වීම නිසා ආන්දෝලනය හට ගත්තේ ය. ඔවුන් දිගින් දිගට ම කියා සිටියේ, තහනම ඉවත් කළ යුතු බව ය.
වකුගඩු රෝගයෙන් බැටකන ගොවීන්ගේ පාර්ශවයෙන් කියැවුණේ, තහනම ඉවත් කිරීම ‘කොහෙත්ම නො කළ යුතු’ බවයි!
‘ග්ලයිපොසේට්’, මිනිසුන් මාරයා හමුවට කැන්දා ගෙන යන බව ද ඔවුහු තරයේ කියා සිටියහ. ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් හොබවන අතුරලියේ රතන හිමියන් ඔවුන් අතර කැපී පෙනුණි.
මේ අතර ඇතැම් විද්වතුන් පෙන්වා දුන්නේ, ‘ග්ලයිපොසේට්’ මාරාන්තික වකුගඩු රෝගයට බලපාන බවට තවම විද්යාත්මකව ඔප්පුකර නැති බවයි! ඔවුන් එසේ තර්ක කළේ, රජරට විශ්වවිද්යාලයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා ඒ ගැන කළ විද්වත් පර්යේෂණ ජාත්යන්තර පර්යේෂණ සඟරා ආදියෙහි ද පළ කෙරී තිබිය දීය.
සමූලඝාතක වල් නාශකයක් වන ‘ග්ලයිපොසේට්’, මනුෂ්යයන්ට නම් එහැමපිටින් ම අහිතකර ය. උග‍්‍ර ලෙස විෂ සහිත ය. 2015 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය ද ‘ග්ලයිපොසේට් දෙවැනි කාණ්ඩය’ සම්බන්ධයෙන් හෙළිදරව්වක් කළේ ය. එයින් කියැවුණේ ඒවායෙහි ‘පිළිකාකාරක’ තත්ත්වයන් පවතින බවයි!
තත්ත්වය එසේ වුවත් ‘ග්ලයිපොසේට්වලට’ පක්ෂව සිටින උදවිය ඒවා පිළිගන්නේ නැත. එබැවින් ඔවුන් ‘වසවලට කැමැත්තක් ඇති අය’ හෙවත් ‘ග්ලයිපොසේට් පේ‍්‍රමීන්’ හැටියටත්, ‘ග්ලයිපොසේට්වලට’ විරුද්ධ උදවිය ‘වසවලට කැමැත්තක් නැති අය’ හැටියටත් විග‍්‍රහකර ගැනීම සුදුසු බව ලියුම්කරුගේ අදහසයි!
‘ග්ලයිපොසේට්’ තහනමට එරෙහිව හඬ නගන, ‘වසවලට කැමත්තෙන් සිටින’ පාර්ශව දෙස බලන විට, ඔවුන් බොහොම බලසම්පන්න කණ්ඩායමක් බව පෙනී යයි. ඔවුන් අතර දේශපාලනඥයන්, විශ්වවිද්යාල ආචාර්යවරුන්, කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ ඉහළ නිලධාරීන් සහ මාධ්යවේදීන් ඇතුළු පිරිසක් සිටින බව පැහැදිලි ය.
ඔවුන් පවසන අන්දමට, 2015 තහනමට පෙර පටන් ම, ලංකාවේ තේ වගාවන් සඳහා ‘ග්ලයිපොසේට්’ භාවිතාකර තිබේ. එහෙත් තේ වගා කෙරෙන කඳුකර ප‍්‍රදේශවලින් වකුගඩු රෝගීන් හමු නොවේ. ඉතින් තේ වගාව සඳහා ‘ග්ලයිපොසේට්’ භාවිතා කිරීමෙහි වරදක් නැතැයි, වසවලට කැමති අය කියති!
ලංකාවේ මහා පරිමාණ තේ වතුවලින් වැඩි හරියක් ම අයත් වන්නේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත‍්‍රික්කවලට ය. ඒවා අයත් වන්නේ මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප‍්‍රදේශවලට ය. තේ වගාවට ‘ග්ලයිපොසේට්’ අත්‍යවශ්‍යයයි පවසන උදවිය, නො කියන කාරණයක් ද තිබේ. එනම්, තේ වතුවලට යොදන ‘ග්ලයිපොසේට්’ අවසානයේ මහවැලි ගඟට මුසුවී, රජරට ගොවි බිම්වලට ගලා බසිනවා ය, යන කාරණයයි! මහවැලි වතුර වදින ප‍්‍රදේශ බොහොමයක් දැනටමත් වකුගඩු රෝගයට ගොදුරුවී ඇති බව ද ඔවුහු නො කියති!
මහාචාර්ය චන්න ජයසුමනයන් පෙන්වා දෙන ආකාරයට, මාරාන්තික වකුගඩු රෝගයට ප‍්‍රධාන හේතුකාරකය වන්නේ ජලයේ සහ පසේ දියැවී තිබෙන ‘ආසනික්’ ඇතුළු බැර ලෝහ ය. ‘ග්ලයිපොසේට්’ කිවුල් ජලයට මුසු වීමෙන් ඇතිවන රසායනික දාමයන් ඔස්සේ, බැර ලෝහ මිනිස් ශරීරයට ඇතුළු වන ක‍්‍රමවේදය සැකසෙයි. වකුගඩු රෝගීන් බහුලව සිටින අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත‍්‍රික්ක කිවුල් ජලයෙන් අනූන ය. එම ප‍්‍රදේශවල ගොවිතැන් වැඩට ‘ග්ලයිපොසේට්’ භාවිතාව, වකුගඩු රෝගයට අත වැනීමක් වන්නට ඇත!
මොන්සැන්ටෝ සමාගමේ වෙබ් අඩවියේ සඳහන්වන ආකාරයට, ඔවුන් දැනට ලෝකයේ විවිධ භෝග (ආහාර භෝග ද ඇතුළුව) 100ක පමණ වල් පැලෑටි පාලනය සඳහා ‘ග්ලයිපොසේට්’ අඩංගු වල් නාශක වර්ග නිපදවති. ඒවා රටවල් 130ක පමණ භාවිත කෙරේ. ඔවුන් නිපදවන කෘෂි රසායන වර්ග බොහොමයක් මනුෂ්යයන්ට විෂ සහිත බවත්, සමාගම ඒ සම්බන්ධයෙන් පාරිභෝගික මහජනතාවට නො කියන බවත්, මොන්සැන්ටෝවට එරෙහිව නිතරම නැගෙන චෝදනාවකි. ඔවුන් නිතර ම හුවා දක්වන්නේ සිය නිපැයුම්වල අනර්ඝත්වය පමණි.
මොන්සැන්ටෝව නිතර ම උත්සාහ කරන්නේ, ආහාර භෝගවල බීජ නිපදවීම සහ ජාන තාක්ෂණය ඔස්සේ නව බීජ නිපදවීම යන ක්ෂේත‍්‍රයේ ‘ලෝක මට්ටමේ ඒකාධිකාරය’ තමන් යටතේ තබා ගැනීමට ය. එසේම, ඒවාට ගැලපෙන විවිධ කෘෂි රසායන වර්ග නිපදවීමේ ‘ඒකාධිකාරය’ ද තමන් යටතේ තබා ගැනීමට ය. ඒ සඳහා ඔවුහු විද්යාඥයන් විශාල පිරිසක් ද සේවයට යොදවා ගෙන සිටිති. විවිධ පර්යේෂණ ද පවත්වති. කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ නව නිපැයුම් බිහි කිරීම මෙන්ම, විවිධ අවස්ථාවල දී මොන්සැන්ටෝවට එල්ලවන රළු චෝදනාවන්ට, ඒවා සමනයවන ආකාරයේ ‘විද්යාත්මක පිළිතුරු සැපයීම’ ද ඔවුන්ගේ රාජකාරියට අයත් ය. තම පාරිභෝගික රටවල ආණ්ඩු පවා ග‍්‍රහණයට ගත හැකි මට්ටමේ ‘ක‍්‍රම සහ විධි’ ඔවුන්ට තිබේ. යම් යම් රටවල ‘ස්වාධීන’ විද්වතුන් යයි ප‍්‍රකට උගතුන්, උසස් නිලධාරීන් මෙන්ම දේශපාලනඥයන් ද, රහසිගතව ‘අත-යට’ ඩොලර්වලට නම්මවා ගැනීම, මොන්සැන්ටෝවේ උපක‍්‍රමයක් යයි කියනු ලැබේ. ඒ සඳහා අත දිගහැර වියදම් කිරීමට ද ඔවුන් සූදානම් ය!
‘වසවලට කැමති’ ලංකාවේ උදවිය පැවසුවේ ‘ග්ලයිපොසේට්’ නැතිව මහා පරිමාණයෙන් තේ වගා කරන්නට බැරි බව ය. මහා පරිමාණ තේ වගාවන් බිඳ වැටෙමින් යන බව ය. වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා ද ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ ය. ‘ග්ලයිපොසේට් තහනම’ ඉවත් කරන්නැයි ඔවුහු පැවසූහ. 2018 මැයි මාසයේ වාර්තා වූයේ ඔවුන්ගේ ඉල්ලීම ඉටුවන බවයි. ආණ්ඩුව ‘ග්ලයිපොසේට් තහනම’ ඉවත් කරන්නට යන බව, අමාත්‍ය නවීන් දිසානායක මහතා ම ජනමාධ්‍ය හමුවේ කියා සිටියේ ය.
කෙසේ වෙතත්, පසුගියදා නිකුත් කෙරුණු 2017 වසරේ ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙන්, ‘ග්ලයිපොසේට් පේ‍්‍රමී මහා පරිමාණ තේ වැවිලිකාර ප‍්‍රජාවට ‘කනේ පාරක්’ ගසා තිබිණි. එයින් කියැවුණේ 2017 වර්ෂය තුළ ලංකාවේ තේ වගා සහ නිෂ්පාදන ක්ෂේත‍්‍රය සියයට 5.2ක වර්ධනයක් ලබා ඇති බවයි. ‘ග්ලයිපොසේට්’ නැතිකම නිසා ශ‍්‍රම කුලිය ද ඉහළ ගිය තත්ත්වයක් තුළ තේ නිපැයුම් ක්ෂේත‍්‍රයේ සියයට 5.2ක වර්ධනය සිදු වුණු බව මහ බැංකුව කියයි. වර්ෂය තුළ තේ වගාවට හිතකර මට්ටමේ දේශගුණික තත්ත්වයක් පැවතීමත්, තේ කම්හල් වැඩියෙන් විවෘත වීමත් යන කාරණා එයට හේතුවූ බව ද මහ බැංකු වාර්තාවේ සඳහන්ව තිබේ. (47 වැනි පිටුව)
තේ නිපැයුම් ක්ෂේත‍්‍රය 2017 වසරේ සිය වර්ධනය අත්කර ගෙන ඇත්තේ, ‘ග්ලයිපොසේට්’ තහනම් කෙරුණු තත්ත්වයක් යටතේ වීම විශේෂත්වයකි. 2017 වසරේ තේ නිෂ්පාදනය සහ අපනයනය වර්ධනය වුණු බවත්, අලූතින් තේ කම්හල් පවා විවෘත කෙරුණු බවත් මහ බැංකු විග‍්‍රහය අනුව පෙනී යයි. මෙහි යටි පෙළින් කියැවෙන අදහස වන්නේ, ‘ග්ලයිපොසේට්’ තහනම හෝ ඒවා නැතිකම, තේ නිෂ්පාදන කර්මාන්තයේ පැවැත්මට බලපා නැති බවයි. එහි වර්ධනය අඩාල කිරීමට ද බලපා නැති බවයි.
නවීන් දිසානායක ඇමතිවරයා පවසන අන්දමට, ‘ග්ලයිපොසේට්’ නැති නිසා තේ නිපැයුම් කර්මාන්තයේ බිඳ වැටීමක් සිදු වුවා නම්, 2017 වසරේ කොහෙත් ම සියයට 5.2ක වර්ධනයක් ඇති වන්නට ඉඩක් නැත. ඇමතිවරයා පැවසුවේ ඇත්තක් නම්, සිදුවිය යුතුව තිබුණේ පරිහානියකි. එහෙත් දැන් සමස්ත තේ නිපැයුම් ක්ෂේත‍්‍රය ම, සියයට 5.2ක වර්ධනයක් වාර්තාකර තිබේ. එය සතුටු විය හැකි තත්ත්වයකි. එහෙත් එයින් වැවිලි කර්මාන්ත අමාත්යවරයා නිතරම කියන ‘ග්ලයිපොසේට් නැතිව බැරිය’ යන කතාව, ‘පට්ට බොරුවක්’ බවට පත් වෙයි!
එසේ නම් ‘මරණීය වසවලට අපරිමිතව කැමති පිරිසක්’ හෝ ‘ග්ලයිපොසේට් පේ‍්‍රමීන් පිරිසක්’ බිහි වූයේ මන්ද? යන කාරණය ලොකු ගැටලූවකි. ඇත්තට ම, ‘ග්ලයිපොසේට්’ වෙනුවෙන් කතා කරන්නේ මොන්සැටෝවේ අත-යට ඩොලර් ද? යන්න, වෙනම විමසිය යුතු කාරණයකි!
(මෙම ලිපිය, 2018/06/10 දින ‘සැබෑ’ පුවත්පතේ මංගල කලාපයේ පළවිය.)
No comments:
Post a Comment