ඉන්දියාව
ගුවන් යානා එන්නේ නැති, අසාර්ථක,
මත්තල ගුවන් තොටුපොළ
බදු ගන්නට යන්නේ මොන කෙහෙල්මලකට ද?
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
හම්බන්තොට පිහිටි ‘මත්තල’, අරුම පුදුම ජාත්‍යන්තර ගුවන් තොටුපොළකි. එය හැමදාමත් දැඩි
විවේචනයට ලක් වෙයි. අනේක විධ නින්දා අපහාස
විඳියි. ඒ අතර වරින්වර විවිධ දේශපාලන කතිකාවලට ද අඩුවැඩිය සපයයි. විවේචකයන් කියන්නේ එය ‘සුදු අලියෙක්’ බවයි!
ඉකුත් අප‍්‍රියෙල් මාසයේ 18 වැනි දා ද, මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්
තොටුපොළ ජාතික තලයේ කතාබහකට ඇදී ආවේ ය. ඒ, ලොව භාණ්ඩ ප‍්‍රවාහනය
කරන විශාලතම ගුවන් යානය (රුසියානු ඇන්ටොනොව්-124) උන්හිටි ගමන් මත්තලට
ගොඩ බෑම නිසා ය. එය ටොන් 700ක් බරට බඩු භාණ්ඩ ප‍්‍රවාහනය
කළ හැකි ගුවන් යානයකි. මෙම යානය ගොඩ බැස්වීමට
විශාල ඉඩකඩක් ද අවශ්‍යය වේ. ඔවුන් මත්තලට පැමිණ
තිබුණේ ‘විවේකයක්’ ගන්නට ය.
යෝධ ගුවන් යානය පැමිණි පුවත ‘වෙබ් මාධ්‍යවල’ ද පළවී තිබිණි. ඒවා කියැවූ අන්තර්ජාල
පාඨකයන් කදිම ‘කොමෙන්ටු’ ද පළකර තිබිණි. ඉන් එකක සඳහන් වූයේ, ‘ලෝකයේ ලොකුම බඩු ප‍්‍රවාහන
ගුවන් යානය ‘වී’ පටවන්නට මත්තලට පැමිණි
ඇති බවයි!’ තවත් පාඨකයෙකු විමසා තිබුණේ ‘ලෝකයේ ලොකුම බඩු ප‍්‍රවාහන
ගුවන් යානාව ‘වී ටොන් 700ක් ගෙන යන්නට පැමිණියා
ද?’ යන්නයි! වර්තමාන ආණ්ඩුව, 2015 වසරේ සැප්තැම්බරයේ
මත්තල ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ ගබඩාව, ‘වී ගබඩාවක්’ බවට පත්
කළෝ ය. ඔවුන් එහි ‘වී’ ගබඩා කළේ, ගොඩනැගිල්ලේ සවිකර
තිබුණු වටිනා උපකරණ පවා ගලවා ඉවත් කරන්නේ ද නැතිව ය.
කොමෙන්ටුකරුවන්ගේ කතාවලින් මතු වන්නේ
විවේචනාත්මක උපහාසයකි. එයින් වැදගත් කාරණයක්
පිළිබිඹු වේ. එනම්, තුට්ටු දෙකේ දේශපාලන
ඝට්ටන මුල්කර ගෙන, ඩොලර් මිලියන ගණනක්
වටිනා නවීන ගුවන් තොටුපොළක් ‘කුණු මුල්ලට වීසිකර දැමීම’ ගැන සමාජයේ කැමැත්තක් නැති බවයි. එය, ගුවන් තොටුපොළක් ‘වී ගබඩාවක්’ බවට පත් කිරීමට පාලකයන් ගත් ‘බුද්ධිමත් තීරණය’
පිළිබඳ උපහාසය මතු කිරීමක්
යයි ද කිව හැකි ය.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිළිබඳ මේ කාරණය සිහිපත්
වුයේ, ඉකුත් දින කිහිපයෙහි
අනාවරණය වුණු තොරතුරු කිහිපයක් නිසා ය. ඉන් එකක් නම්, දිනපතාම මත්තලට
පැමිණෙමින් තිබුණු එකම ගුවන් යානය ද සිය මත්තල ගමන අත්හැර දමන්නට තීන්දුකර ඇතැයි
කියන කාරණයයි. එය ‘ප්ලයි ඩුබායි ගුවන්
සේවා සමාගමේ’ ගමන් වාරයකි. මත්තල ගමන මූල්‍යමය
වශයෙන් පාඩු සහගත එකක් වීමත්, ගුවන් යානාවල පක්ෂීන් ගැටීම නිසා අලාභානි සිදු වීමත් නිසා එවන් පියවරක් ගෙන ඇතැයි, ජූනි 11 වැනි දින පළවූ මාධ්‍ය
වාර්තාවල සඳහන් විය.
මත්තල ගුවන් තොටුපොළ සම්බන්ධ අනෙක් තොරතුර වුයේ, ආණ්ඩුව මත්තල ජාත්‍යන්තර
ගුවන් තොටුපොළ ඉන්දියාවට බදු දෙන්නට අරඅඳිමින් සිටින්නේ ය, යන කාරණයයි. ජුනි මස නම වැනි දා
සැලවුණු පරිදි, එය හෙළිකර තිබුණේ ‘ශ‍්‍රී ලන්කන් ගුවන්
සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී, සුරේන් රත්වත්තේ මහතා ය.
මාධ්‍ය වාර්තාවල සඳහන් වුණු අන්දමට, ඔහු මේ බව පවසා
තිබුණේ ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර පැවති
ගුවන් සමාගම් විධායක නිලධාරීන්ගේ හමුවක දී ය. මත්තල ජාත්‍යන්තර ගුවන්
තොටුපොළ ඉන්දියාවට බදු දෙන්නට අරඅඳින බව රටවැසියන්ට දැනී
ගොස් තිබුණේ දැනට මාස ගණනක සිට ය. ඒ පිළිබඳ අනුමාන වාර්තා
වරින්වර මාධ්‍යයෙහි ද පළ විණි. මෙවර අනාවරණය වුණු ප‍්‍රවෘත්තිය
බරපතල ය. එය හෙළිකර තිබුණේ ද ශ‍්‍රී
ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරීවරයා ය. එය ලෙහෙසියෙන් බැහැර
කළ නො හැකි තොරතුරකි.
මත්තල වඩාත් ප‍්‍රකටව ඇත්තේ ‘ගුවන් යානා එන්නේ නැති’ ගුවන් තොටුපොළක්
වශයෙනි. හම්බන්තොට මාගම්පුර
වරාය ප‍්‍රකටව ඇත්තේ ද ‘නැව් එන්නේ නැති
වරායක්’ වශයෙනි. චීනය අනූනම අවුරුදු
කාලයකට හම්බන්තොට වරාය බදු ගත්තේ ය. දැන් මත්තල ගුවන්
තොටුපොළ ද ඉන්දීය සමාගමකට බදු දෙන්නට අරඅඳිමින් යයි. මේවා අතිශයින් ම
අසාර්ථක ව්‍යාපෘති නම්, චීනය සහ ඉන්දියාව ඒවා
බදු ගන්නේ අහවල් කෙංගෙඩියකට දැයි කිසිවෙකු පැහැදිලි කරන්නේ ද නැත.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ ඉදිකර නිම
කෙරුණාට, මත්තල ගුවන් තොටුපොළ
සහ මාගම්පුර වරාය, ඔහු සැලසුම් කළ ව්‍යාපෘති නොවේ. ඒවා සැලසුම් කෙරුණේ 1994 වර්ෂයේ ක‍්‍රියාත්මක
කරන්නට ගිය ‘රුහුණුපුර’ නම් හම්බන්තොට නගර
සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ය. දකුණු පළාතේ තරුණ
තරුණියන් අතර පැවති දැඩි විරැකියාව, ආර්ථික පසුබෑම වැනි තත්ත්වයන් නිසා, තරුණ කැරලි සහ රජයට
එරෙහි වර්ජන ආදිය ඇති වීම නිසා ‘රුහුණුපුර’ ව්‍යාපෘතිය සැලසුම් කෙරිණි. සැලසුම සකස් වූයේ එවකට ජනාධිපති ධුරය හෙබැවූ
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ද මෙහෙයවීමෙනි. දකුණු පළාතේ ආර්ථිකය
නැංවීම සඳහා කොළඹ සිට මාතරට අධිවේගී මාර්ගයක් තැනීම, හම්බන්තොට ප‍්‍රදේශයේ
නව වරායක් සහ ගුවන් තොටුපොළක් ඉදි කිරීම මෙන් ම, ඒ ආශ‍්‍රිතව මහා පරිමාණ කර්මාන්ත පුරයක්
බිහි කිරීම ඇතුළු සංවර්ධන යෝජනා ගණනාවක් ම ‘රුහුණුපුර’ සැලසුමට ඇතුළත් විය. එහෙත් ජනාධිපතිනි
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාලන සමයේ ඒවා සම්පූර්ණ කරන්නට නො හැකි විය. ගුවන් තොටුපොළ ඉදි
කරන්නට මුලින් සැලසුම් කෙරුණේ වීරවිල ප‍්‍රදේශයේ ය. පසුව මහජන විරෝධතා
නිසා එය මත්තලට ස්ථාන මාරු කෙරිණි. දකුණු පළාතේ ආර්ථිකය
නැංවීම සඳහා 1994 වසරේ සැලසුම් කෙරුණු ව්‍යාපෘති, තනවා නිම කෙරුණේ
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී ය. ඔහු ඒ සඳහා මූල්‍ය සහාය ලබා
ගත්තේ චීනයෙනි.
කෙසේ වෙතත්, ‘කොටි යුද්ධය’ පැවති සමයේ, රටට තව විකල්ප ගුවන් තොටුපොළක් තිබිය යුතුය
යන අදහසක් පැන නැගී තිබිණි. එය ද, මත්තල ප‍්‍රදේශයේ නව
ගුවන් තොටුපොළක් ඉදි කරන්නට බලපෑ කාරණයකි. අද ඉස්තරම් තත්ත්වයෙන්
විවේචනයට ලක්ව තිබෙන්නේ මේ ආකාරයට ගොඩ නැගුණු ගුවන් තොටුපොළයි.
වරාය ද ඇතුළුව හම්බන්තොට ප‍්‍රදේශයේ කෙරුණු මහා පරිමාණ
ඉදි කිරීම් සඳහා ණය සහ ආධාර ලබා ගත්තේ චීනයෙනි. චීනය එසේ කළේ අපේ රටට
ඇති ආදරය නිසා ම නොවේ. හම්බන්තොටට ආසන්න
මුහුදු ප‍්‍රදේශය ඔස්සේ ලොව කාර්ය බහුලතම ‘නැගෙනහිර-බටහිර ජාත්‍යන්තර වෙළෙඳ නැව් මාර්ගය’ දිවෙන නිසා ය. එසේම, ලංකාව ඉන්දියන් සාගරයේ
යුද උපක‍්‍රමික ස්ථානයක පිහිටා තිබෙන නිසා ය. ලෝකයේ නැගෙනහිරට ඛනිජ
තෙල් නැව් යාත‍්‍රා කරන්නේ ද ලංකාව අයිනෙනි. හම්බන්තොට ජාත්‍යන්තර
වෙළෙඳ නාවික ක‍්‍රියාවලියේ මර්මස්ථානයකි. මේ ජාත්‍යන්තර නැව්
මාර්ගය චීනයට, ඉන්දියාවට මෙන් ම
ඇමරිකාවට ද එක සේ වැදගත් ය.
චීනය හම්බන්තොට වරාය ඉදි කරන්නට පැමිණි සමයේ ඉන්දියාව ‘මුට්ටියක්’ දැම්මේ ය. ඒ, ඉන්දීය උප මහ
කොමසාරිස් කාර්යාලයක් හම්බන්තොට නව වරාය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ පිහිටුවමිනි. එය කුමක් සඳහා පිහිට වූයේ ද? යන කාරණය එකල කතාබහට ලක්ව තිබිණි. 2009 වසරේ ඇමරිකානු සෙනේට්
මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු ලියැවිල්ලකින්, ලංකාව ඇමරිකාවෙන් ඈත්වී චීනය දෙසට ඇදී යාම ගැටලූ සහගත බව
ප‍්‍රකාශකර තිබිණි. මේ අතර චීනය, වර්තමානයේ අතිශයින් ම
උපායශීලී ලෙස, පැසිපික් සහ ඉන්දියන්
සාගර කලාපයේ නාවික මර්මස්ථාන සියතට ගනිමින් සිටිනු පෙනෙයි. ඔවුන්ගේ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩ පිළිවෙල ද එබඳු එකකි. තායිලන්තය මැදින් ඉදි
කෙරෙන ‘ක‍්‍රා කැනල් ව්‍යාපෘතිය’
තවත් එකකි! ඔවුහු අපේ හම්බන්තොට
වරාය ද අවුරුදු 99කට බදු ගත්තෝ ය!
ලංකාවේ චීන නැඹුරුව ඉන්දියාවට දිරවන්නේ ම නැත. ඉන්දීය පාලකයන් කලක
පටන් ම, කොළඹ දකුණු වරායේ ‘කන්ටේනර් පර්යන්ත’ සිය සමාගම්වල පාලනයට
නතුකර ගන්නට කැස කවමින් සිටිති.
ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය බදු ගන්නට අර අඳිමින් සිටිති. ඒ අතර ත‍්‍රිකුණාමලය
වරාය ගැන ද විවිධ කතා ඇසෙයි. ඉන්දීය පාලකයන් දැන්, ලංකා ආණ්ඩුවේ ප‍්‍රසිද්ධියට
පත් නොවු එකඟතාවයන් මත, මත්තල ගුවන් තොටුපොළ බදු ගන්නට ද සැදී
පැහැදී සිටින බව අසන්නට ලැබේ! එක් අතකට, ලංකාව වැනි කුඩා රටකට
ලොව බලවත් රටවල බලපෑම්වලින් මිදී කටයුතු කිරීම ද අසීරු ය.
මත්තලට ගුවන් යානා එන්නේ නැතැයි කීවාට, එහි වෙනස් පැත්තක් ද
ඇති බව පෙනී යයි. 2016 වසරේ වාර්ෂික විගණකාධිපති වාර්තාවට අනුව, 2013 වසරේ මත්තල ගුවන්
තොටුපොළ භාවිතා කළ මගීන් සංඛ්‍යාව 36,137කි. 2014 වසරේ එය 40,386ක් දක්වා සුළු වශයෙන්
ඉහළ ගොස් තිබේ. ශ‍්‍රී ලංකා මහබැංකු
වාර්තාවට අනුව, 2017 වසරේ දී ද මගීන් 30,051ක් මත්තලින් ගමන්
බිමන් ගොස් තිබේ.
චීනය, නැව් එන්නේ නැති බව කියන හම්බන්තොට වරාය බදු ගත්තේ මොන
කෙහෙල්මලකට දැයි කිසිවෙක් පැහැදිලි නො කරති. එසේ ම, ඉන්දියාව ද, ගුවන් යානා එන්නේ
නැතැයි කියන මත්තල ගුවන් තොටුපොළ බදු ගන්නට යන්නේ මොන කෙහෙල්මලකට දැයි කියා
කිසිවෙක් පැහැදිලි නො කරති. ඔවුන් ඩොලර් මිලියන
ගණන් ගෙවා, ඒවා බදු ගන්නට යන්නේ
මහත් ආර්ථික වාසි ලැබිය හැකි නිසා ය. ආසියානු කලාපයේ නාවික
බලය තමන් සන්තකයේ තබාගත හැකි නිසා ය. ඒවා හෙට ලෝකයට ඉතා
වටිනා ආර්ථික සම්පත් බව දන්නා නිසා ය. ඉන්දියාව නම් මත්තලට
පැමිණීම තුළින්, චීනයට පොඩි ‘ආර්ථික වෙට්ටුවක්’ දැමීමටත් කල්පනා
කරනවා විය හැකි ය!
අවසානයේ සිදු වන්නේ ලංකාවට හිමිවිය යුතු ‘රත්තරන් බිත්තර’ ටික ඔවුන්ගේ සාක්කුවට
යාම ය. ජාතික සම්පත් හෝ ජාතික
වස්තූන් විය යුතු අපේ ආර්ථික ප‍්‍රභවයන්, අපගේ පාලනයෙන් ගිලිහී යාම ය!
(මෙම ලිපිය 2018/06/17 දින රිවිර පුවත්පතේ පළවිය.)
වටිනා ලිපියක්...
ReplyDeletemahindata kadeyanna liyamu lipiyak
ReplyDeleteජාතික සම්පත් විකුණා කෑම බලයට පත්වූ එක දේශපාලන පක්ෂයක මුලික සංකල්පය වේ ...
ReplyDeleteඅනේ අපේ දරුවෝ .....