වට්ටක්කා, මඤ්ඤොක්කා, ක්‍රෝටන් කොල සහ කොස්
කොල මොඩලයේ දේශපාලනය
හෙට නොව, අද දවසේත් දුෂ්-පෝෂණයෙන් සපිරුණු රටක්
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
වැඩි වන ආහාර මිල ගණන්
පිළිබඳව මාධ්‍යවේදියෙකු යොමු කළ ප‍්‍රශ්නයකට
පිළිතුරු දෙමින් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා, පසුගියදා කදිම උපදෙසක් දුන්නේ ය. ඔහු මහජනයාට කියා
සිටියේ, දැන් ඉතින් අඩු මිලට
ඇති වට්ටක්කා, මඤ්ඤොක්කා ආදිය ආහාරයට
ගන්නා ලෙසයි! කලකට ඉහත කෘෂිකර්ම
දෙපාර්තමේන්තුවේ උසස් නිලදරුවෙක් ද රටට පැවසුවේ, ‘ක්‍රෝටන් කොල’ සහ ‘කොස් කොල’ ද ආහාරයට ගත හැකිය යනුවෙනි!
ඇමති තනතුරු හොබවන දේශපාලනඥයන් ද,
ඉහළ තනතුරු හොබවන ඇතැම් රාජ්‍ය නිලධාරීන් ද, මෙබඳු ප‍්‍රකාශ ඉදිරිපත්
කරන්නේ නිකම්ම නොවේ. ‘ලෙල්ලට ම ගැසූ’ මහජන බදු මුදල් ආදියෙන් සුපිරි සුකුමාර ජීවිත ගත කරමින්, අතට පයට සහ දැසි
දස්සන්ට පවා සුපිරි පන්නයේ වාහන ආදිය ඇති පදම් භාවිතා කරමින් සිටින අතරතුර ය! රාජ්‍ය වරප‍්‍රසාද
යහමින් භුක්ති විඳිමින් සිටින අතරතුර ය!
මේ සටහන ලියන මොහොත වන විටත්, ලංකාවේ පෝෂණ තත්ත්වය
යහපත් එකක් නො වන බවට කරුණු අනාවරණය වෙමින් පවතියි. දේශපාලනඥයන් සහ උසස්
නිලධාරීන් විඳින දිව්‍ය සැප සම්පත්
සම්භාරයට වැසී ඇති බැවින්,
පෝෂණයෙන් හීන මිනිසුන්ගේ කතා වස්තුව ‘තොරණේ විස්තරයට නැගෙන්නේ ම’ නැත. ‘දුෂ්-පෝෂණය’ දැන් රටේ සාමාන්‍ය
තත්ත්වයක් බවට පත්ව ඇති බවක් පෙනී යයි!
සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද එළඹුණු ඉකුත් අප‍්‍රියෙල්
මාසයේ (2018) පටන් ම එළවළු මිල ගණන්
පැවතියේ බොහොම ඉහළ මට්ටමක ය. එබැවින් අලූත් අවුරුදු
උත්සව සමයේ බොහොම දෙනෙකුට මහත් අසීරුතාවයන්ට මුහුණ දීමට සිදු විය. දැන් එළඹී ඇත්තේ ජූලි
මාසයයි. වෙළෙඳපොළේ එළවළු ඇතුළු ආහාර
ද්‍රව්‍ය මිල ගණන් තවමත් ඉහළ ගිය ගමන් ය!
දේශීය කැකුළු සහල් කිලෝව රුපියල් හැත්තෑ ගණන් ය. බෝංචි, ලීක්ස්, කැරට්, ගෝවා ආදී උඩරට එළවළු
වර්ග හැම එකක් ම පාහේ ග‍්‍රෑම් 250ක් රුපියල් 90ක්, 95ක් පමණ වේ. ග‍්‍රෑම් 250ක් රුපියල් 40ට, 50ට ඇත්තේ වට්ටක්කා, පතෝල ආදිය පමණකි! ඉකුත් මාස කිහිපයෙහි
හටගත් වර්ෂාධික තත්ත්වයෙන් එළවළු වගාවන් විශාල ලෙස විනාශ වීම නිසා, වෙළෙඳපොළ මිල ගණන් ඉහළ ගිය
බව ද අසන්නට ලැබේ.
වැඩි දෙනෙක් කල්පනා නො කළ ද, ආහාර මිල ගණන් ඉහළ යන
විට රටවැසියන්ගේ පෝෂණ මට්ටම ද පහතට වැටෙන්නේ ය. ඊට සාපේක්ෂව ‘මන්දපෝෂණ දර්ශක’ ද ඉහළ නගින්නේ ය. දුෂ්-පෝෂණය කැපී පෙනෙන්නේ ය.
මන්දපෝෂණ තත්ත්වයන් ඉහළ තලයක පැවතීම, ශ‍්‍රී ලංකාව කලක පටන්
ම මුහුණ දෙන නරක තත්ත්වයකි. එයට වැඩිපුර ම
ගොදුරුවී සිටින්නේ ග‍්‍රාමීය සහ වතුකරයේ මහජනතාව ය. එනම්, රටට විදෙස් විනිමය හා
ආහාර සම්පත සපයා දෙන තීරුවට අයත් ජන පිරිස් ය. ජන හා සංඛ්‍යාලේඛන
දෙපාර්තමේන්තුව 2016 වර්ෂය අළලා නිකුත් කළ
‘ජන විකාශ හා සෞඛ්‍ය වාර්තාවේ’ (Sri Lanka
Demographic and Health Survey-2016) මේ සම්බන්ධයෙන් අලූත්ම
තොරතුරු ඇතුළත්ව තිබේ.
රටක පවතින මන්දපෝෂණ තත්ත්වය මැන බලන ප‍්‍රධාන මිනුම් දඬු කිහිපයක් වේ. ඉන් එකක් වන්නේ ‘අඩුබර දරු උපත්’ අනුපාතයයි. අනෙක ‘Stunting’ යනුවෙන් හඳුන්වන, වයස අවුරුදු පහට අඩු
දරුවන් අතර පවතින ‘වයසට අනුව උස නැතිකමේ’ ප‍්‍රශ්නයයි. මෙයට ‘කුරු වීමේ තත්ත්වය’ යනුවෙන් ද ව්‍යවහාර වේ. ‘කෘෂ වීම’ (Wasting) හෙවත් ‘උසට සරිලන සේ ශරීරයේ
බර ප‍්‍රමාණවත් නො වීම’ ඊළඟ මිනුම් දණ්ඩයි. ඉන් පසුව එන්නේ, ‘වයසට අනුව ශරීර බර ප‍්‍රමාණවත්
නො වීම’ (Under
weight) පිළිබඳ තත්ත්වයයි.
ඉකුත් දශක දෙකහමාරක පමණ කාලයක පටන්, ශ‍්‍රී ලංකාව මෙබඳු තත්ත්වයන්
සම්බන්ධයෙන් පෙන්වා ඇත්තේ යහපත් තත්ත්වයක් නොවේ. රට තුළ සිවිල්
යුද්ධයක් ද පැවති 1993 වර්ෂය තරම් ඈත කාලයක
සිට බැලූව හොත්, ලංකාවේ මන්දපෝෂණ
තත්ත්වය පාලනයවී ඇත්තේ බොහොම මන්දගාමීව ය. ඒ බැව් පෙනී යන්නේ, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
මගින් පළ කරන ‘Annual
Health Statistics’ වර්තා සහ ජන හා සංඛ්‍යාලේඛන
දෙපාර්තමේන්තුවේ වාර්තා නිරීක්ෂණය කරන විට ය.
1993 වසරේ ලංකාවේ වයස
අවුරුදු පහට අඩු දරුවන් අතර ‘කුරු වීමේ තත්ත්වය’ (Stunting) සියයට 23.8ක් විය. 2000 වසරේ එය සියයට 13.5ක් දක්වා පහත වැටුණි. 2006-2007 කාලයේ එය යළි සියයට 18ක් දක්වා ඉහළ ගියේ ය. 2012 දී එය යළි සියයට 13.1ක් දක්වා පහත බැස්සේ ය. 2016 වසරේ දී එය යළි සියයට
17.3ක් දක්වා ඉහළ ගියේ ය! ඒ අනුව, දැන් ලංකාවේ වයස
අවුරුදු පහට අඩු සෑම ළමයින් සියයකට ම 17 දෙනෙක් ‘මිටිභාවයට’ පත් දරුවන් යයි එයින් පෙන්නුම් කෙරේ.
‘Wasting’ හෙවත් ‘කෘෂ වීමේ තත්ත්වය’ ද එලෙසම ය. 1993 වර්ෂයේ දී ලංකාවේ
ලංකාවේ වයස අවුරුදු පහට අඩු ළමයින්ගේ ‘කෘෂ වීමේ’ තත්ත්වය සියයට 15.5ක් විය. වසර 2000 දී එය සියයට 14ක් දක්වා පහත වැටී, 2010 වර්ෂය වන විට සියයට 19.6ක් දක්වා ඉහළ නැගුණි. 2016 දී එය සියයට 15.1ක් දක්වා අඩු විය. මේ ඉලක්කම් මගින් පෙනී
යන්නේ, 1993 වර්ෂයේ පටන් මේ දක්වා
ම ලංකාවේ ළමා පරපුර, කෘෂ වීමේ ප‍්‍රශ්්නයට
ද දැඩි ලෙස මුහුණ දී සිටින බවයි.
වයස අවුරුදු පහට අඩු දරුවන් අතර, ‘වයසට අනුව බර නැතිකමේ
ප‍්‍රශ්නය’ (Under
weight) ද, 1993 වර්ෂයේ සිට ම
පවතින්නේ ඉහළ තලයක ය. එය 1993 දී සියයට 37.7කි. 2016 දී සියයට 20.5කි!
වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ ශරීර පෝෂණය දුර්වල වීම
කෙරෙහි බලපාන හේතු කාරණා ගණනාවක් ම තිබේ. ගැබිණි මව්වරුන්ගේ
පෝෂණය දුබල වීම, මව්කිරි දීමේ තත්ත්වය
සහ ළමුන්ගේ පෝෂණය තත්ත්වය දුබලව තිබීම ආදී කාරණා ඒ අතර ප‍්‍රධාන ය. ඒ සියල්ල, කලක පටන් ම නරක තත්ත්වයක පවතින බව මෙම දත්ත මගින්
පෙන්නුම් කෙරෙන චිත‍්‍රයයි.
කවර තරාතිරමක කෙනෙකුට වුව ද, නිසියාකාර පෝෂණයක් ලැබීම
සඳහා ‘සමබල ආහාර වේලක්’ ලැබිය යුතු ය යන්න, බොහොම ප‍්‍රසිද්ධ කාරණයකි. ශරීරයට අවශ්‍ය ශක්තිය
ලැබෙන්නේ එයිනි. පෝෂණයෙන් උපදින ශක්තිය
මනින්නේ ‘කැලරිවලිනි.’ වැඩිහිටි පිරිමියෙකුට
අඩු තරමින්, දිනකට කැලරි 2500ක පමණ සහ කාන්තාවකට දිනකට කැලරි 2000ක පමණ පෝෂණයක් ලැබිය
යුතු බව පොදු පිළිගැනීමයි. වයස අවුරුදු 6-11 දක්වා දරුවන්ට දිනකට
කැලරි 1725-2250ක් පමණ අවශ්‍ය බව
කියැවේ. එසේ වුව ද, බොහොම කලක පටන් ම
මහජනයාට එවන් කැලරි ශක්තියක් ලැබෙන ආහාර වේලක් නො ලැබෙන බව පෙනී යයි.
‘යුනිසෙෆ්්’ ආයතනය 2011 වසරේ නිකුත් කළ ‘Sri Lanka Nutrition Bulletin’ නම් වාර්තාවේ දැක්වෙන
ආකාරයට, වයස මාස 6-59 අතර දරුවන් ගෙන්
සියයට 25ක් ද, ඔවුන්ගේ මවුවරුන් ගෙන්
සියයට 22.6ක් ද, ‘ඇනීමියා’ හෙවත් රක්ත හීනතාවයෙන්
පෙළෙති. මෙම ජන සංඛ්‍යාව ලක්ෂ 40ක් පමණ වෙතියි ද එහි
දක්වා තිබේ. 2010 වර්ෂයේ කෙරුණු සමීක්ෂණ අනුව, අඩු බර දරු උපත්
අනුපාතය සියයට 18කි. මේ සියලූ තත්ත්වයන්
ඇති වන්නේ ගර්භනී සමයේ මෙන් ම, ඉන් පසු අවධියේ දී ද මව්වරුන්ට නිසි පෝෂණයක් නො ලැබීම
නිසා ය. දරුවන්ට ද නිසි
පෝෂණයක් ලැබී නැති බව දත්තවලින් පෙනී යයි. එහි තේරුම, මිනිසුන් බොහොම දෙනෙක්
පෝෂණීය ආහාර ලබා ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නැතිකමින් පෙළෙමින් සිටින බවයි. එසේ වන්නේ, ඔවුන්ට තම ජීවන වියදම
හෝ පිරිමසා ගන්නට ක‍්‍රමයක් නැති නිසා ය. එයට ‘දිළිඳුකම’ යයි ද කිව හැකි ය! තවත් පිරිසක්, යහපත් ආර්ථික
තත්ත්වයන් සහිතව සිටිය ද,
නො දන්නාකම හෝ වැරදි ආහාර චර්යාවන් නිසා නිසි පෝෂණයක් නො ලබමින් සිටිති. කුමන කාරණය නිසා හෝ
වේවා, පවුලේ පෝෂණ මට්ටම පහත
වැටීම මග පාදන්නේ මන්දපෝෂණ තත්ත්වයන්ට ය.
අතීතයේ පටන් ම රටේ දිළිඳුකම තුරන් කිරීම සඳහා, බලයේ සිටි ආණ්ඩු
මගින් විවිධ වැඩ සටහන් ක‍්‍රියාත්මක
කෙරිණි. සහනාධාර සහල් (කූපන් සහල්), ආහාර මුද්දර, දිළිඳු සහන, ජනසවිය සහ සමෘද්ධි යන
ව්‍යාපෘති ඒ අතර කැපී පෙනුණි. එහෙත් ශ‍්‍රි ලංකාව
තවම නිසි පෝෂණ තත්ත්වයකට එළඹී නැත්තේ ය.
ලංකාවේ දරු පරපුරෙන් සියයට 15-21ක පමණ පිරිසක්
මිටිභාවය, කෘෂවීම සහ බර අඩුකම යන
දුෂ්-පෝෂණීය තත්ත්වයන් ගෙන් පෙළෙනවා ය යන්න, රටක් හැටියට කොහෙත්ම
යහපත් දෙයක් නොවේ. එය, ඔවුන්ගේ ශරීර ශක්තිය, අධ්‍යාපන උනන්දුව, උද්යෝගය මෙන් ම දරා
ගැනිමේ හැකියාව ද දුබල කරවන තත්ත්වයකි. එවන් මිනිස් පරපුරක
ඵලදායිතාවය රටකට යහපත් වේ යයි සිතිය නො හැකි ය!
අඩු මිලට ඇති වට්ටක්කා, මඤ්ඤොක්කා ආදිය ද,
ක්‍රෝටන් කොල සහ කොස් කොල ද ආහාරයට ගත හැකි යයි උපදෙස්
දීමෙන් දුෂ්-පෝෂණ තත්ත්වය විසෙඳන්නේ ද නැත.
(කාටුන්-අන්තර්ජාලයෙනි)
(මෙම ලිපිය 2018 ජූලි මස 08 වැනි දා සැබෑ
පුවත්පතේ පළවිය.)
No comments:
Post a Comment