ලක්බිම පත්තරෙන්
ක‍්‍රිෂ්ණ අයියා බලන්න ගාලූ ඇවිත්
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
මිහිරිත්, කමණීත්, පද්මිණීත් ටක් ගාලා කුස්සිය ආක‍්‍රමණය කළා. ඒ වෙනකොටත් අපේ ගෙදර
කට්ටිය අමුත්තන්ට කෑම හදලයි තිබුණේ. ඒත් තව පොඩි පොඩි
දේවල් සූදානම් කරන්න ඕනෑ. උන්ට හරියට තමන්ගේ
ගෙදර වාගෙයි. උයන්නට අවශ්‍ය උපකරණ
අඩුම-කුඩුමත් ඒවා රඳවලා තිබුණු තැන්වලින් ඒ අය ම
සොයා ගත්තා. මිතුරු සප්පායමට ‘කටගැස්ම’ හදන එක තමයි උන් කළේ!
පහුගිය (2018) ජූනි 16 වැනි සෙනසුරාදාව මටත්, මගේ බිරින්දෑ ඇතුළු පවුලේ අයටත් බොහොම ප‍්‍රීතිමත්
දවසක් වුණා. ‘ලක්බිම’ පත්තරේ එකට වැඩ කරපු සගයන් කණ්ඩායමක් ම ගාල්ලේ අපේ ගෙදරට
නෑගම් ආපු එක ඊට හේතුවයි.
ලක්බිමේ හිටපු කර්තෘමණ්ඩල අධ්‍යක්ෂ හා වර්තමානයේ ලංකා
ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ප‍්‍රංශ පුවත් සේවයේ ලක්රුවන් වන්නිආරච්චි, දැනට මව්බිම පත්තරේ
වැඩ කරන සුනිල් තෙන්නකෝන් සහ රුවිනි සුමුදුමලී ගුරුගේ, ඉරිදා ලක්බිමේ මිහිරි
පොන්සේකා, දිනපතා ලක්බිමේ ගීත්
ගුණසේකර, පද්මිණී මාතරගේ, අජිත් හේරත්, කමණී හෙට්ටිආරච්චි, විදුරංග විතානගේ යන
හිත මිතුරන්, ‘ක‍්‍රිෂ්ණ අයියා’ බලන්න පැමිණි පිරිසට
ඇතුළත් වුණා. ඔය දවසේ අපේ බිරින්දෑ
තොමෝ මදක් අසනීපයෙනුයි (මැද කනේ බැලන්ස් එක
ගිලිහී යාමේ රෝගී තත්ත්වය) හිටියේ. ඒක හින්දා ‘නෑගම් ගමන’ කල් දාන්නැයි කිව්වත්, ‘හරි අපි උයාගෙන හරි
කන්නම්’ කියලයි එයාලා ආවේ. කොළඹ පත්තර කන්තෝරු
ජීවිතයෙන් සමු ගත්තේ 2015 වසරේ මහා මැතිවරණයෙන් පසුවයි. ඊට පස්සේ කළේ, ‘ප‍්‍රීලාන්සයෙක්’ හැටියට එළියේ ඉඳන්
ලියන එකයි. දැන් කොළඹ යන්නෙත්
බොහොම කලාතුරකින්. ඉතින් ලක්බිමේ පැරණි
මිතුරු පිරිස පැමිණීම අපේ ජීවිතවලට අලූත් හුස්මක් බවට පත් වුණා. කලකට පසුව උන් දැක
ගැනීම ද අපමණ සතුටක් වුණා.
‘රාවය’ පත්තරේ වැඩ කරපු සමන්
සී. ලියනගේ මගේ අසල්වැසියෙක්. ඔහුත් ‘ලක්බිමේ එවුන්ගේ’ නෑගම් ගමන ගැන දැන
සිටියා. සමන්-ඉනෝකා ජෝඩුව ම එදා
උදෙන් ම අපේ ගෙදර! බිරින්දෑ තොමෝගේ රෝගී
තත්ත්වය නිසා ඔවුන්ගේ පැමිණීම අමුත්තන්ට සලකන්න ලොකු හයියක් බවට පත් වුණා.
මම 2016 අවුරුද්දේ අසනීප වුණා. ඒ අවස්ථාවේත් මාධ්‍ය
ක්ෂේත‍්‍රයේ ගොඩක් දෙනෙක් ඇවිත් මගේ දුක සැප බලලා ගියා. වරක් සම්පත් දේශප‍්‍රිය, රුවිනි ගුරුගේ, වෙහාන් කුලසේකර, ගයාත‍්‍රි නදීකා
පින්තු එහෙම ආවා. ඊට පස්සේ ගයාන් කුමාර
වීරසිංහ, ලසන්ත වීරකුලසුරිය, උදය ඒකනායක, ප‍්‍රභාත් නිපුන්
ඒකනායක ආවා. දවසක් හම්බන්තොට ඉඳන්
ග‍්‍රැන්විල් රත්නායක ආවා. මොණරාගල සංජීව
බණ්ඩාරත්, අම්බලන්තොට ඞී. ජී. ජයසුන්දරත්, වවුනියාවේ සනත් ප‍්‍රියන්තත්
ඇවිත් ගියා. මිහිරි පොන්සේකා
පස්යාලෙත් ඉන්නවා. ගාල්ලේ උළුවිටිකේත්
ඉන්නවා. ගාලූ ආවාම එයා හිටපු
ගමන් මෙහේත් එනවා. මිහිරි දවසක් සංජය
නල්ලපෙරුම එක්කත් ඇවිත් ගියා.
ප‍්‍රෑන්ක් සොයිසා නම් අවුරුද්දට පස්සෙ සතියෙත් දරු පවුල
පිටින් ම ඇවිත් ගියා. කරාපිටියේ බුද්ධික
බණ්ඩාර නම් අසල්වැසියා වගේ. උන් හිටි ගමන් දරු
පවුලත් එක්ක ම ඇවිත් යනවා. ගාලූ මාධ්‍ය නඩයේ
ලලිත් චාමින්දලා, සරත් කුමාර ලොකුගේලා, මහින්ද පී. ලියනගේලා, රවී ලියනගේලා, වඳුරඹ සිරිනිහාල්ලා, සමන් කළුආරච්චිලාත් ඉඳහිට
ඇවිත් යනවා. එඞ්වින් මණ්ඩලවත්ත
කවියා නම් සතියකට දෙදකට වරක් මේ පැත්තේ එනවා මයි. පැමිණි නො පැමිණි හැම
දෙනෙක් ම, ටෙලිපෝන් කරලා
හරි ‘ලක්බිම’ පත්තරේ සහ අනෙකුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ පැරණි ලෙන්ගතුකම්
පවත්වා ගෙන යනවා. වැල්ලා (සමන්ත දිලාන් වැලිගමගේ) සහ එයාගේ තාත්තා නන්දෙ
අයියාත් (නන්දසිරි වැලිගමගේ) අපේ දුකසැප සොයා බලනවා. ඔවුන් හැම දෙනාගේ සෙනෙහස අපට මහත්
සන්තුෂ්ඨියක් ගෙන එනවා.
කීප දෙනෙක් ඇරෙන්නට, 2000 වසරේ මාර්තුවේ පටන් ගත්තු දිනපතා ලක්බිම
පත්තරේ කර්තෘ මණ්ඩලයට එකතු වුණු බහුතර පිරිස පත්තර කලාවට ආධුනිකයන්. ඒ වගේ ම ඔවුන් අතිශයින් ම තරුණ කණ්ඩායමක්. ලක්බිම පත්තර කන්තෝරුව, ඔවුන්ට තම මාධ්‍ය
ජීවිතය ගොඩනගා ගන්නට මාධ්‍ය පාසැලක් බවට පත් වුණැයි කිවොත් එය නිවැරදියි.
‘දැන් බලන්ඩකෝ ඉතින්
ලංකාවේ ප‍්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනවල තනතුරු දරා ගෙන වැඩ කරන්නේ ලක්බිමෙන් පටන්
ගත්තු කට්ටිය’
මේ ළඟදිත් දවසක සමන්ත දිලාන් වැලිගමගේ (වැල්ලා) ‘දිනපතා ලක්බිමේ’ අතීත විත්තියක් මතක්
කළේ එහෙමයි.
දිනපතා ලක්බිමට කුළුඳුලේ තරුණ තරුණියන් පිරිසක් පුහුණුකර
ගෙන. උන් පත්තර කලාවට හික්මවා ගෙන දිනපතා
පත්තරයක් පළ කරන්නට සිදු වීම, මට හිතෙන්නේ එක්තරා අභ්‍යාසයක් කියලයි. මේ කණ්ඩායම ගොඩ නැගුණේ
‘ලක්බිමේ’ වැඩ කළ ප‍්‍රවීණයන්
අතලොස්ස අතරේ හැදී වැඩෙමිනුයි. ඔවුන් කවුරුත් පාහේ මේ
කොල්ලන්ට කෙල්ලන්ට ගුරු මුෂ්ඨි නො තකමින්, නො මසුරුව ඉගැන්නුවා. උනුත් තාරුණ්‍යයට
ආවේණික සකලවිධ ගති ලක්ෂණයන් ද සහිතව පත්තර කලාවේ ඇලී ගැලී යන්නට පටන් ගත්තා. සෙල්ලමක් නෙවෙයි. ආරම්භක කාලේ ලක්බිමේ
හිටපු සුහුඹුල් වාර්තාකරුවන් සංඛ්‍යාව 50ක් ද ඉක්මවනවා! පත්තර කලාව ගැන කිසිදු
පෙර පුහුණුවක් නැති පිරිසක් එක්ක දිනපතා පත්තරයක් ගහන එක ලෙහෙසි වැඩක් නෙවෙයි. ඒක ‘සමූහ අභ්‍යාසයක්’ කියලයි මට හිතෙන්නේ.
ලක්බිමේ පැරණි කණ්ඩායමක් ‘ක‍්‍රිෂ්ණ අයියා’ බලන්ඩ ආපු නෑගමෙන් මගේ
මතකයන් අළුත් වුණා. මේ සටහන් පෙළ
ලියැවෙන්නේ ඒ සන්තෝෂයේ උදව්වෙනුයි. නුපුහුණු තරුණ
කණ්ඩායමක් එක්ක දිනපතා පත්තරයක් ගැහීමේ අභියෝගයක් ජය ගන්නේ කොහොම ද? කියන කාරණය, මේ සටහන්වලින්
පැහැදිලි වේවි. දැන් ලෝකයේ ‘මුද්‍රිත කඩදාසි මාධ්‍ය’ ක්ෂීණ වෙමින් යනවා. මිනිසුන්ගේ අදහස් ප‍්‍රකාශනය
සහ තොරතුරු දැන ගැනීමේ විධික‍්‍රමය අන්තර්ජාලයට මාරු වෙමින් යනවා. මට හිතෙන විදිහට, මා ඇතුළු අපේ කාලයේ
මාධ්‍යකරුවන් අයත් වන්නේ,
‘මුද්‍රිත කඩදාසි’ මත කටයුතු කළ මාධ්‍ය
මාදිලියේ අවසාන පරම්පරාවටයි. එබඳු සමයක් ආසන්නයේ
අපේ ඇසුරේ කෙරුණු ‘දිනපතා ලක්බිම’
අභ්‍යාසය ගැන යම් සටහනක් තැබීම, ජන මාධ්‍යයේ ඊළඟ ‘මාදිලියට’ වැදගත් වේ ය කියලා මට
හිතෙනවා. මේ සටහන් ලියන්නේ ඒ
නිසයි!
(මතු සම්බන්ධයි)
No comments:
Post a Comment