Total Pageviews

Friday, July 6, 2018

මධු ලෝලීන්ගේ කිරිපල්ල හූරා ගෙන රාජ්‍ය ආදායම තර කිරීම!


මධු ලෝලීන්ගේ කිරිපල්ල හූරා ගෙන 
රාජ්‍ය ආදායම තර කිරීම!

 
(Daily News)


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
බොහෝ දෙනෙකු පිළිගැනීමට අකමැති වියහැකි වුව ද, වර්තමාන ලංකාවේ ජාතික මත්පැන කසිප්පුය. දේශීය නිෂ්පාදනයක් වීම දවැඩි පිරිසක් විසින් භාවිතා කිරීම ද, රටේ  ඕනෑම අස්සක් මුල්ලකින් වුව මිලටගත හැකි වීම ද නිසා, එය ජාතික මධුපානයක්බවට පත්ව ඇති බව පෙනීයයි.

නිල නො වනසහ අනවසරමත්පැනක් වන කසිප්පුමනුෂ්‍යයන්ගේ සෞඛ්‍යයට බෙහෙවින් අහිතකර සහ මරණීය දෙයක් බව ඇත්ත ය. ඒ  බැව් දැන දැන ම, බොහොම දෙනෙක් ඒවා පානය කරන්නට නිර්භීතව පෙළඹී සිටිති. කසිප්පුසඳහා කිසිවෙක් කිසිදු බද්දක් අය නො කරන නිසා එයින් බෝතලයක මිල, රුපියල් 400ක් බව ද අසන්නට ලැබේ. එහෙත් හුදී ජන පන්තියේ ගල් අරක්කුබෝතලයක මිල දැන් රුපියල් 1620කි! අරක්කු බෝතලයකට එතරම් ඉහළ මිලක්  පැනවී තිබෙනුයේ, ආණ්ඩුව නිල මත්පැන්වලින්අධික ලෙස බදුඅය කරන බැවිනි.

දැනට පවත්නා ගණන්-හිලව් අනුව, ‘සැර මත්පැන්ලීටර් එකකට රජයේ බද්ද රුපියල් 1850කි. එය අරක්කු බෝතලයක්හෙවත් සැර මත්පැන් මිලි ලීටර් 750කට ගැලැප්පූ විට, එක් ගල් අරක්කු බෝතලයකින් රජයට අයවෙන බදු මුදල රුපියල් 1388කි! ඒ අනුව, ගල් අරක්කු බෝතලයක බදු රහිත මිලවනු ඇත්තේ රුපියල් 232ක් බවට ගණන් හදා ගැනීමට පුළුවන!

මත්පැන් සහා බදු ඉහළ දැමීම ගැන බලයේ සිටින ආණ්ඩු නිතර ම කියන්නේ, එය මහජනයා මතින්මුදා ගැනීමේ අරමුණ පෙරදැරිව ගන්නා ලද ක‍්‍රියාමාර්ගයක් ය, යන්නයි. ඔවුන් පවසන අන්දමට, අධික ලෙස මත්පැන් භාවිතය නිසා රටවැසි මහජනතාව විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වන බැවින්ආණ්ඩුවේ සෞඛ්‍ය වියදම් ද පවතින්නේ ඉහළ තලයක ය. මත්පැන් බදු වැඩි කිරීමෙන් රජයට ආදායමක් ද ලැබෙන අතර, මහජනයාගේ මධු ලෝලත්වයද පාලනය වෙතියි ඔවුහු නිතර ම පැහැදිලි කරති.

මේ කතාව කොහෙත් ම ඇත්තක් නොවේ. බලයේ සිටින ආණ්ඩු මත්පැන් බදු වැඩි කරන්නේ මහජනයා කෙරෙහි ස්නේහයෙන් නොව, කෙලින්ම රජයේ ආදායම තරකර ගැනීමේ ඒකායන පරමාර්ථයෙනි. බදු ඉහළ දැමීමෙන් නිල මත්පැන්වලමිල කොතෙක් ඉහළ ගිය ද, කිසිම දිනයක රටේ මත්පැන් පරිභෝජනයෙහි අඩුවීමක් සිදු වුණු බවක් දැන ගන්නට නැත. නිල මත්පැන් මිල ඉහළ යාමෙන් ඇත්තට ම සිදු වන්නේ, ‘සැර මීවිතක්ප‍්‍රිය කරන හුදී ජනයා අනවසර, කිසිදු යහපත් ප‍්‍රමිතියකට නැති, ශරීරයට අහිතකර කසිප්පුබඳු රහසිගත නිෂ්පාදනවලට ඇදී යාමයි!

මධු ලෝලීන්නො වන අයඑනම් පැවිද්දන් සහ කාන්තාවන් වැනි අය හැමවිට ම පවසන්නේ, ‘මත්පැන් මිල කොතරම් ඉහළ දැමුවත් කමක් නැතැයිකියා ය. ඉන් තමන්ට සමීප මධු ලෝලීන්ගේ මත්පැන් භාවිතාව හීනවී යතියි ඔවුහු අදහති. එය ඇත්තක් නොව හුදු සිහිනයක් ම පමණි. මිල ගණන් කොතෙක් ඉහළ ගිය ද, මධු ලෝලීහු නිල නො වන මත්පැනකින්හෝ තම ඇබ්බැහිය සතපවා ගන්නට  පසුබට නො වීම, ඊට හේතුවයි.

නිල මත්පැන්වල මිල ඉහළ යන වාරයක් වාරයක් පාසා ම, ක්ෂයවී යන්නේ මධුවිතට ලොල්වූ හුදී ජනයින්ගේ පවුල්වල ආර්ථික ශක්තියයි. ආහාරපාන, ඇඳුම් පැළඳුම්, දරුවන්ගේ අධ්‍යාපන වියදම්, වෛද්‍ය ප‍්‍රතිකාර වියදම් සහ සමාජීය යුතුකම් ආදී වශයෙන් කුටුම්භය සුරැකීම’  පිණිස වෙන් කෙරෙන මුදල් සම්භාරයයි. ඉහළ යන මත්පැන් මිල ගණන්වලට ඔරොත්තු දීමසඳහා, වැඩි දෙනෙක් කුටුම්භය සුරැකීමේමුදල් කෝටාවෙන් ටිකක් කපා දමති! නැතිනම් සෞඛයයට අහිතකර වුව ද, මිලෙන් අඩු නිල නො වන, අනවසර මත්පැන් වෙත යොමු වෙති.
නිල නො වන, අනවසර මත්පැන්වලට යොමු වීම නිසා ඔවුන් ලෙඩ රෝගවලට ගොදුරු වූයේ නම්, ඒ බර  පැටවෙන්නේ ද කුටුම්භයට ය. වෛද්‍ය ප‍්‍රතිකාර වියදම  රජයට ය. එවන් තත්ත්වයක දී කුටුම්භයට ඇති වන ආර්ථික ආරවුල විසඳා දෙන්නට එන කෙනෙක් ද නැත්තේ ය. පිළිගන්නට අසීරු වුව ද යථාර්ථය මෙයයි.

බදු මුදල් ඉහළ දමා මත්පැන් මිල ඉහළ යන්නට සැලැස්වීම, මහජනයා කෙරෙහි උපන් ස්නේහය පෙරදැරිව කෙරෙන දෙයක් නොවේ. එය කෙලින් ම රජයේ ආදායම තරකර ගැනීමේ කපටි විධි ක‍්‍රමයකි. මත්පැන් බදු ඉහළ නංවා අරක්කු මිල ඉහළ යන්නට සැලැස්වීම, අධික ලෙස සෙනග පටවා ගත් බසයක කෙරෙන පොකට් ගැසීමකට සමාන ය. පොකට් ගැසුවා ය කියා කිසිවෙකුත් බස්වල යාම අත් නො හරිති. 
මත්පැන් බදු වැඩි කළ නිසා කිසිවෙක් මධු ලෝලත්වය ද අත් නො හරිති. ඉන් සිදු වන්නේ හුදී ජනයින්ට නො දැනී ම, රජයේ මල්ල තර වීමයි. 

බලයේ සිටින ආණ්ඩු, මත්පැන් බදු ඉහළ දමන්නේ මහජනයාගේ සෞඛ්‍යය රැක ගැනීමේ කතාඉස්සරහට දමමිනි. එය හරියට මධු ලෝලීන්ගේ දෙපරැන්දෙන් අත දමා කිරිපල්ල හූරා ගැනීමක්වැනි ය!

වර්තමානයේ බොහොමයක් පෙදෙස්වල, ‘දිරා ගිය ගස්කොලන් බඳුකේඩෑරි වුණු මිනිසුන් සුලභව දැකිය හැකි ය. ඔවුන් ගෙන් බහුතරයක් යැපෙන්නේ දවස් කුලියටලැබෙන කුමක් හෝ කුලී වැඩක යෙදීමෙනි. දවසේ කුලී මෙහෙවර නිමවූ විගසින් ම, ඔවුන් දුවන්නේ කසිප්පු පොළටය. ඇතැමෙක් උදේ වැඩට යන්නේ ද එහි ගොස් පොඩි එකක්දමා ගෙන ය. ඉන් වැඩි දෙනෙක් දෛනිකව මධු පානය කරන්නෝ ද වෙති. හදිසියේ මහළුව ගියාක් බඳු දිරා ගිය රූපකායන් සහිත ඔවුහු, වේගයෙන් අවරට යමින් සිටින බව ද පෙනී යයි!

කසිප්පු ඇබ්බැහියන් ගෙන් බහුතරය, දිනකට රුපියල් 800, 1000, 1200, 1500 ආදී ගණන්වලට කුලී වැඩ කරන්නන් ය. ඒ වැටුපෙන් කුටුම්භය ද රැකිය යුතු බැවින් ඔවුන්ට නිල අරක්කුබොන්නට පුළුවන්කමක් නැත. ඔවුන්ගේ අතට-මිටට ගැලපෙන මිල ගණන් ඇත්තේ හොර කසිප්පු පොළේ ය. අපොයි, සීල් අරක්කු බෝතලයක් ගන්න සල්ලිවලින් කසිප්පු බෝතල් හතරක් විතර ගන්න පුළුවන්යයි ද ඔවුන් කියනු ඇත්තේ ය.

ඒ අර්ථයෙන් ගත් කල, අඩු ආදායම් ලබන හුදී ජන පන්තියේ මිනිසුන් කසිප්පු පොළට තල්ලූකර දමා ඇත්තේ ද ආණ්ඩුව විසිනි. තවත් පැහැදිලිව කියනවා නම්, ‘තමන් ප‍්‍රිය කරන වින්දනයට ගැලපෙනප‍්‍රමිතිගත අරක්කු ටිකක් බීමට ඔවුන්ට ඇති අවස්ථාව අහුරා ඇත්තේ ආණ්ඩුව යි. මිල වැඩි නිසා ඔවුන්ට නිල අරක්කුවලටඅත් දිග මදි ය! නිල නො වන මත්පැන් නිසා මිනිසුන් ලෙඩ වීම සම්බන්ධයෙන් වගකිව යුතුව ඇත්තේ ද අරක්කුවලට බදු පිට බදු ගැසූ ආණ්ඩුව යි!

අරක්කු හෝ වෙන යම් නිල මත්පැනක් බීමේ සංස්කෘතිය කිසියම් සාමීචියක්ද මුසු වුණු එකකි. එයට යම් සුහදශීලී පරිසරයක්, සෝඩා. බයිට් සහ ඇතැමුන්ට දුම්වැටි ආදිය මෙන් ම, යම් කල් මැරිල්ලක් ද අවශ්‍ය වේ. ඒ සඳහා වැඩිපුර මුදලක් ද වැය කළ යුතු ය. එහෙත් කසිප්පු ඇතුළු නො නිල මත්පැන් සංස්කාතියට ඒවා අවශ්‍ය නැත. ග්ලබ් ග්ලබ්ශබ්ද දෙක තුනක් සහ අජිනොමොටෝයහමින් දැමූ රුපියල් දහයේ උම්බලකඩ සම්බල් පැකට්ටුවක් සහ ඇතැම් විට බීඩියක් දෙකක් එයට හොඳට ම සෑහේ. එහි කිසිදු කල් මැරිල්ලක් ද නැත. සියල්ල එහැමපිටින් ම ගෙදර යන ගමන්මොඩලයේ වැඩකි!

රාජ්‍ය ආදායමේ වැඩි කොටස අරක්කු බදුවලින් පුරවා ගැනීමේ ක‍්‍රියාවලිය ටිකක් පැරණි එකකි. 2005 වසරේ සැර මත්පැන් සඳහා අය කෙරුණේ ලීටරයකට රුපියල් 381ක බද්දකි. 2014 වර්ෂය වන විට එය රුපියල් 1200ක් දක්වා ඉහළ දැමිණි. ඉන් පසුව 2015 වසරේ අරක්කු බද්ද ලීටරයකට රුපියල් 1850ක් දක්වා එක්වර ම රුපියල් 650කින් ඉහළ දමනු ලැබී ය. වර්තමානයේ ගල් අරක්කුයයි හදුන්වන මත්පැන් බෝතලය රුපියල් 1620කට මිල කෙරී තිබෙන්නේ, ලීටරයකට රුපියල් 1850ක බද්ද අනුව ය. එළිපිට මොන කතා කීව ද, ආණ්ඩුවේ මත්පැන් බදු විශාල ලෙස ඉහළ නංවා ඇත්තේ රාජ්‍ය ආදායම තරකර ගැනීමට ය.

මිල ඉහළ දැමුවා ය කියා, ලංකාවේ සැර මත්පැන් භාවිතය හෝ නිෂ්පාදනය කොහෙත්ම අඩුවී නැත. සුරාබදු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව, 2005 වසරේ අපේ රටේ සැර මත්පැන් නිෂ්පාදනය ලීටර් මිලියන 38කි. මත්පැන් බදු තව්තිසාවට මවැඩි කළ 2015 වසරේ එය ලීටර් මිලියන 51ක් දක්වා ඉහළ නැගිණි. 2016 වසරේ ලංකාවේ සැර මත්පැන් නිෂ්පාදනය ලීටර් මිලියන 55ක් විය. ඒ අනුව, 2005 පටන් ගෙවී ගිය වසර 11ක පමණ කාලය තුළ සැර මත්පැන් නිපැයුම ලීටර් මිලියන 17කින් ඉහළ ගොස් තිබේ. එම කාලය තුළ වසරකට මත්පැන් ලීටර් මිලියන 1.54 පමණ නිපදවා ඇති බවට ගණන් හදාගත හැකි ය!

කෙසේ වෙතත් 2013 වර්ෂයේ ලිටර් මිලියන 120ක් වූ බියර් (ධාන්‍ය මත්පැන්) නිෂ්පාදනය 2016 වසරේ ලීටර් මිලියන 52ක් දක්වා පහත වැටිණි.

2015 හා සසඳන විට, 2016 වසරේ දී ලංකාවේ සැර මත්පැන් නිෂ්පාදනය ලීටර් මිලියන 51 සිට 55ක් දක්වා සියයට 7.4කින් වර්ධනයවී ඇත. සුරාබදු දෙපාර්තමේන්තුව 2016 දී රජයට රැස්කර දුන් සමස්ත සුරාබදු ආදායම රුපියල් බිලියන 120.7කි. සැර මත්පැන් සඳහා අය කෙරෙන සුරාබදු ආදායම ද 2016 දී සියයට 28.2ක වර්ධනයක් ලබාගෙන තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුව, 2016 වර්ෂයේ සමස්ත සුරාබදු ආදායම රුපියල් බිලියන 120.7ක් දකවා වැඩි වීම ගැන සලකන්නේ බොහොම ඉහළිනි. 2016 වසරේ රජයට වැඩි ම ආදායමක් උපයා දුන් ආයතන අතරින් තුන් වැනි ස්ථානය ලබන්නට තමන්ට හැකි වුණු බව සුරාබදු කොමසාරිස්වරයාගේ ‘2016 කාර්යසාධන වාර්තාවේසඳහන් වේ. මින් අංක එක, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ අංක දෙක, ශ‍්‍රී ලංකා රේගුව වන්නට ඇත. රටට ආදායම් සොයා දීම අතින්, තුන් වැනි තැන සුරාබදු දෙපාර්තමේන්තුවයි.

සුරාබදු කොමසාරිස්වරයා හුවා දක්වන බිලියන 120.7ක ඉහළ බදු ආදායම, නිසැකව ම මධු ලෝලීන් යම් පිරිසක් කසිප්පු පොළට තල්ලූකර දමමින් ද, ඉතිරි පිරිසගේ හරුබස්සට නිල වශයෙන් පොකට් ගසමින්ද රැස්කර ගත් සල්ලියක් නො වේ ද?

මේ කාරණය 2017 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ ද පැහැදිලිකර තිබේ. එහි සඳහන් වන අන්දමට 2016 වර්ෂයේ සමස්ත සුරාබදු ආදායම රුපියල් මිලියන 4,54,952කි. ඉන් මිලියන 1,20,238ක් මත්පැන් බදු ආදායම ය. 2006 වසරේ සිට ගෙවුණු දස වසරක කාලය තුළ, මත්පැන් බද්දේ ආදායම රුපියල් මිලියන 99,577කින් ඉහළ ගොස් තිබේ.

ඒ අර්ථයෙන් ගත් කල, රට දුවන්නට සල්ලි දෙන්නේ  මධු ලෝලීන් ය. රජයේ සේවක වැටුප් ගෙවන්නට ද, අධ්‍යාපන, සෞඛ්‍ය, සුබසාධන සහ යටිතල සංවර්ධන මෙන්ම පාලකකාරකාදින්ට දිව්‍ය සැපසම්පාදනය ආදී කටයුතු රාශියක් සඳහා ඔවුන් ගෙන් ලැබි ඇත්තේ ඉතා ප‍්‍රබල දායකත්වයකි. එහෙත් මත්පැන් බොන උදවියට පොදු සමාජයෙන් නම් ලැබෙන්නේ බේබද්දන්හෝ ඩෝපර්ලාවැනි අවමන් සහගත පිළිගැනීම් ය. මත්පැන් නිසා ලෙඩවී රෝහලට ගිය ද ලැබෙන්නේ අවමන් සහගත අප‍්‍රසන්න අත්දැකීම් ය. තමන්ගේ පඩිපත සැකසීම පිණිස මධු ලෝලීන් ද විශාල ලෙස දායකවී ඇතැයි රෝහල්වල අය කල්පනා නො කරති.

මත්පැන් නිසා ලෙඩවී රෝහල්වලට එන අයගෙන් මුදල් අය කළ යුතුය, යනුවෙන් යෝජනාවක් ද පසුගිය කාලයේ කතිකාවට ආවේ ය. දැන් තත්ත්වයේ හැටියට, එය අතිශයින් ම අසාධාරණ යෝජනාවකි. නිල මත්පැන් බිව් අය ලෙඩ වුව ද, ඔවුන් ආණ්ඩුවට ඇති පදම් බදු ගෙවා තිබීම ඊට හේතුවයි. රට දුවවන්නට ඔවුන් ගෙන් අධික ලෙස බදු ගත් තත්ත්වයක් තුළ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ද මුදල් අය කිරීම සදාචාර සම්පන්න නොවේ. අනෙක ඔවුන් ලෙඩ වූයේ ද බදු ගැසූ මත්පැන්හේතුවෙනි. මධුලෝලී යම් පිරිසක් කසිප්පු පොළට තල්ලූවී ගියේ ද ආණ්ඩුවේ  බදු කෙරුවාව නිසා ය. ඔවුන්ට හදිසියේ මහළු වූවාක්බඳු පෙනුමක් ලැබුණේ ද ඒ හේතුවෙනි. ඔවුන් අවමන් ලැබිය යුතු ද? යන්න ද ගැටලූවකි. බදු ගෙවූ ඔබට ස්තුතියියනුවෙන් දැන්වීම් මාලාවක් මේ දිනවල රූප නාලිකා ඔස්සේ ප‍්‍රචාරය වේ. එහෙත් මේ තරම් බදු ගෙවන මධු ලෝලීන් සඳහා කිසිවකු ස්තුතිය පළ කරන්නේ නැත!

රටේ පාලකකාරකාදීන් බොහොම බුද්ධි සම්පන්න ය. ඔවුන් විරැකියා ප‍්‍රශ්නය විසඳන්නේ පොලීසිය යොදවා උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් ප‍්‍රහාර ආදිය එල්ල  කරමිනි. රටේ ප‍්‍රශ්න විසඳන්නේ ඇමති මණ්ඩලය තව තවත් විශාල කරමිනි. රටේ සංවර්ධනයත් ඒ වාගේ ය. දේශීය නිෂ්පාදනය සහ අපනයන නිෂ්පාදන වැඩි කිරීම, ආයෝජන ගෙන්වමින් විදේශ විනිමය උපයා ගැනීම වැනි සංකීර්ණ වැඩ කරන්නට  ඕනෑ නැත. මධු ලෝලී හුදි ජනයින්ගේ දෙපරැන්දෙන් අත දමා කිරිපල්ල සූරා ගත් විට රාජ්‍ය ආදායම තර වෙනවා ය. අරක්කු බෝතලයේ මිල අකනිටා බඹ ලොවට මඉහළ ගිය ද, මධු ලෝලීන් මධු ඇබ්බැහියඅත් නො හරින නිසා ආණ්ඩුවේ ආදායම සියයට පන්සීයක්-දාහක් ම ෂුවර් ය!

(මෙහි එන මත්පැන් නිෂ්පාදන දත්ත සහ සුරා බදු තොරතුරු, සුරාබදු කොමසාරිස්වරයාගේ ‘2016 කාර්යසාධන වාර්තාවෙන්උපුටා ගැනුණි.)


(චිත්‍රය-ඩේලි නිවුස් පුවත්පත/ කාටුන් සහ පින්තූර අන්තර්ජාලයෙනි)


2018/06/25.



No comments:

Post a Comment