මල්ලී, උඹ අරූගේ ‘කතාව’ හොරකං කළා නේද?
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
දිනපතා ලක්බිම පත්තරේ ආරම්භ කෙරුණේ ඞී. බී. වර්ණසිරි මහත්තයාගේ ප‍්‍රධාන
කර්තෘත්වයෙන්. එහි සම කර්තෘවරයා වූයේ
කිත්සිරි නිමල්ශාන්ත මහත්තයායි. ප‍්‍රධාන උප කර්තෘවරයා
වශයෙන් වැඩ කළේ මියුලන් පෙරේරා මහත්තයායි. මම වැඩ කළේ ප‍්‍රාදේශීය
ප‍්‍රවෘත්ති කර්තෘවරයා හැටියටයි. ආරම්භක සමයේ ප‍්‍රවෘත්ති
කර්තෘ හැටියට වැඩ කළේ නිලූක කදුරුගමුවයි. ඔහු ටික කලකින් ‘විදේශ සේවාවට’ ගියා. ඉන් පස්සේ චතුර විද්‍යාරත්න, සිරිමල් පොන්සේකා, සම්පත් දේශප‍්‍රිය, ප‍්‍රභාත් වීරරත්න සහ
කුසුම් වික‍්‍රමසිංහ ආදී වශයෙන් පත‍්‍රකලාවේදීන්
කිහිප දෙනෙක් ම ප‍්‍රවෘත්ති කර්තෘවරුන් හැටියට වැඩ කළා. ක‍්‍රීඩා කර්තෘ ධුරය
දැරුවේ රන්ජන් පරණවිතානයි. ශ‍්‍රී ලාල් ගෝමස් ඡායාරූප
කර්තෘ හැටියට වැඩ කළා.
‘අරලිය’, ‘රැජින’, ‘හඳහන’ ඇතුළු සතිපතා පත්තර පළ
කරමින් සිටි ‘සුමති පුවත්පත් සමාගම’, 1994 වසරේ ඔක්තෝබර් නම
වැනි දා ‘ලක්බිම ඉරිදා සංග‍්‍රහය’ පටන් ගත්තා. එතෙක් ලංකාදීපයේ සේවය කරමින්
සිටි මම 1994 සැප්තැම්බර් පළමුවැනි
දා ‘සුමතියට’ පැමිණ ‘ඉරිදා ලක්බිම’ කණ්ඩායමට එකතු වුණා. එය සිදු වූයේ, අප හිතාදර ජ්‍යෙෂ්ඨ
මාධ්‍යවේදී රංජිත් නිමල්සිරි මහතා මගින් බන්දුල පද්මකුමාර මහතා කළ ඇරයුමක් අනුවයි. ඉරිදා ලක්බිමේ ප‍්‍රධාන
කර්තෘවරයා වූයේ බන්දුල පද්මකුමාර මහත්තයායි. කාලය වේගයෙන් ගෙවී
ගියා.
සුමති සමාගමේ පත්තර කන්තෝරුව තිබුණේ ඔවුන්ට අයත්, ‘ග‍්‍රෑන්ඞ්පාස් ‘අශෝකා සිනමාහල’ පැවති ගොඩනැගිලි
සංකීර්ණයේ උඩු මහලේ යි. එහි පළමු මහලේ ‘රැජින’ සහ අනෙකුත් සති
පුවත්පත් කර්තෘ මණ්ඩල පවත්වා ගෙන ගියා. දෙවැනි මහල ‘ඉරිදා ලක්බිමට’ වෙන් වුණා. තුන්වැනි මහල, එහි උප මහලත් සමග ‘දිනපතා ලක්බිමට’ වෙන් කෙරුණා.
‘දිනපතා ලක්බිම’ ආරම්භ කෙරුණේ 2000 වසරේ මාර්තුවේ. බන්දුල පද්මකුමාර
මහත්තයා ඉවත් වූවායින් පසුව, ඒ වන විට ‘ඉරිදා ලක්බිමේ’ ප‍්‍රධාන කර්තෘ පදවිය ඉසිලූවේ සුන්දර නිහතමානි ද මැල් මහත්තයා. ඒ ගොල්ලෝ දෙවැනි මහලේ
ඉරිදා ලක්බිම ගහද්දී, අපි තුන් වැනි මහලේ
සිට දිනපතා ලක්බිම ගැහුවා. අපි පත්තර ගැහුවා ය
කිව්වාට, සුමති සමාගමේ මුද්‍රණ
අංශය නම් පැවතියේ සිනමාහල පිටුපසට වන්නටයි. සමාගමේ තවත් අංශ එහි
පිහිටුවලා තිබුණා. පත්තර කර්තෘ මණ්ඩල
දෙකක් වශයෙන් හිටපු අපිට,
අලූතින් ම පැමිණි තරුණ පිරිස සමග වැඩ කිරීම බොහොම ආශ්වාදජනක දෙයක් වුණා.
ඒ කාලයේ අපේ ‘ලෝකය’ වුණේ දිනපතා ලක්බිමට වෙන් වුණු තුන් වැනි මහලයි. එහි ඉහළ උප මහල ‘නිවුස් රූම්’ (ප‍්‍රවෘත්ති අංශය) එකටත්, පහත මහල ප‍්‍රධාන
කර්තෘවරයාගේ නිල කාමරය, උප කර්තෘ අංශය සහ පිටු
සැලසුම් අංශයෙන් ද සමන්විත වුණා. ප‍්‍රධාන කර්තෘ ඞී. බී. වර්ණසිරි, සහ සම කර්තෘ කිත්සිරි
නිමල්ශාන්ත දෙපලගේ නිල කාමරත් එහි පැවතියා. ඉතින් මේ ප‍්‍රධානීන්
දෙදෙනාට ම දවසකට සෑහෙන වාර ගණනක් විවිධ කටයුතුවලට ඉහළ උප මහලට එන්න සිදු වුණා. අපේ කට්ටියටත් නිතර
නිතර පහත මහලට යන්න සිදු වුණා.
නිවුස් රූම් එකේ කට්ටිය!
පත්තරේක ‘නිවුස් රූම්’ (ප‍්‍රවෘත්ති අංශය) එක සහ ‘සබ් ඩෙස්ක් එක’ (උප කර්තෘ අංශය) ප‍්‍රධාන කර්තෘගේ ඇස්
මානයේ තිබිය යුතුයි. එය පත්තරය මෙහෙයවීමේ
දී පහසුවක් ඇති කරනවා. ඒත් ‘දිනපතා ලක්බිම’ ගොඩනැගිලි සැකැස්ම
අනුව එවැනි පහසුවක් ඇතිකර ගන්නට හැකි වූයේ නෑ. කර්තෘවරයාට නිතරම අවශ්‍ය
වන ප‍්‍රවෘත්ති අංශය මෙන්ම ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති අංශයත් තුන් වැනි මහලේ, ඉහළ උප මහලට සින්න
වෙලා තිබුණේ. පස්සේ කාලේ මමයි, සම්පත් දේශප‍්‍රියයි, ශ‍්‍රී ලාල් ගෝමසුයි
සහ රන්ජන් පරණවිතානයි තමයි නිවුස් රූම් එකේ ‘ඩෙස්ක් හෙඞ්ලා’ හෙවත් ‘අංශ ප‍්‍රධානීන්’ හැටියට වැඩ කළේ.
ආරම්භක සමයේ ‘නිවුස් රූම්’ එකට අනුයුක්තව වැඩ කරපු තරුණ පිරිසට, ධර්ම ශ‍්‍රී තිලකවර්ධන, නිලූක කදුරුගමුව, සාලිය ජනකකුමාර, ගීත් ගුණසේකර, සුනේත‍්‍රා ඇතුගල්පුර, විමල් පේ‍්‍රමරත්න, අයි. ඩබ්ලිව්. රූපසිංහ, කමණී හෙට්ටිආරච්චි, පද්මිණී මාතරගේ, ගයාන් කුමාර වීරසිංහ, ලසන්ත වීරකුලසූරිය,
ශ‍්‍රියාණි විජේසිංහ, රමේෂ් කුමාර්, කුසුම් වික‍්‍රමසිංහ, රුවිනි සුමුදුමලී ගුරුගේ, අරුණි මුතුමලී, නදීකා සමරනායක, භක්ති මෙන්ඩිස්, තිස්ස රවීන්ද්‍ර, සම්පත් ධර්මප‍්‍රිය
දිසානායක, මිහිරි පොන්සේකා, ශාලික පෙරේරා, ඉන්දිකා රාමනායක, චමරී ප‍්‍රියංවදා, තිලාන් පුංචිහේවා, සමන්ති වීරසේකර, නෙරංජලා වික‍්‍රමසිංහ, සම්පත් ලක්මාල්, වර්ණජිත් සුමනසේකර, සමන්ත වැලිහිඳ, රිද්මි වීරක්කොඩි, අමල් සමන්ත, ජයන්ත සමරකෝන් ආදී
විශාල පිරිසක් සේවය කළා. පැතුම් වික‍්‍රමරත්න, කමල් ලියනාරච්චි, ඉෂාර රත්නකාර, කුමුදුනී ලක්මාලි
බණ්ඩාර, රමේෂ් වරල්ලේගම, පානුක රාජපක්ෂ, සමන්ත දිලාන් වැලිගමගේ, ප‍්‍රසන්න අධිකාරී, රන්මලී සෝමසිරි, ගයාත‍්‍රි නදීකා
පින්තු, තිලක් ඉන්දික
සෙනෙවිරත්න, ක්‍රිස්ටි මහේෂ් ද
සිල්වා, සංජය නල්ලපෙරුම, දිල්හාන් විමල්ක, ගයාන් ගාල්ලගේ, තිලක් පුෂ්පකුමාර ඇතුළු තවත් පිරිසක් පසුව එක් වුණා.
මගේ ‘ඩෙස්ක් එකේ’ වැඩ කරපු උදයජීව ඒකනායකත් හිටියේ උන්ගේ ගොඬේමයි. ඊට පසුව පැමිණි සාලිය
කුමාර ගුණසේකරත් ඒ ගොඩට ම වැටුණා. ඒ වගේ ම, ඡායාරූප අංශයේ හිටපු
ලක්රුවන් වන්නිආරච්චිලා, ප‍්‍රෑන්ක් සොයිසලා, සජීව චින්තකලා, ජගත් ඉරෝෂණලා, ප‍්‍රදීප්
දිල්රුක්ෂණලා, රොමේෂ් ධනුෂ්කලා, ලක්මාල් වසන්තලා, යමුනි රෂ්මිකාලා, දුලාංජලී මුතුවාඩිගේලා,
කුමුදු කාරියවසම්ලා, ඉන්දික ශ‍්‍රී
අරවින්දලා, ඇන්ටන් ජෝලා වැනි අයත් උන්ගේ ගොඬේ ම වැටිලා හිටියා. මේ හැම දෙනෙක් ම පාහේ
මුලින් වැඩ කළේ ‘ප‍්‍රීලාන්ස්’ හෙවත් නිදහස්
වාර්තාකරුවන් හැටියට යි. එකෙක් අතරේවත් බේද
තිබුණේ නෑ. ඒක මාර සහෝදරත්වයක්!
රන්ජන් පරණවිතානගේ මග පෙන්වීම යටතේ චමින්ද සමන්කුමාර, සුගත් ධර්මප‍්‍රිය, සීවලී එදිරිවීර, කැළුම් ශිවන්ත, චාමර ලක්ෂාන් කුමාර,
ශ්‍යාමජිත් පොන්සේකා, නිශ්මං රණසිංහ, ජගත් අශෝක,
නිශාන්ත කුමාර ඇතුළු පිරිසක්, ක‍්‍රීඩා අංශයට ගොඩ
නැගුණා.
උන්ගේ ව්‍යවහාරයට අනුව, ප‍්‍රවෘත්ති අංශය ‘නිවුස් කෑල්ල’ නමිනුත්, ක‍්‍රීඩා අංශය ‘ස්පොර්ට් එක’ නමිනුත්, ඡායාරූප අංශය ‘පොටෝ කෑල්ල’ නමිනුත් හැඳින්වුණා. උප කර්තෘ අංශයට ‘සබ්එක’ යයි ව්‍යවහාර වුණා. දෙවැනි මහලේ සිටි, කර්තෘ මණ්ඩල පරිපාලන
නිලධාරී එස්. ගල්හේන මහත්තයා පොදු
ව්‍යවහාරයේ දී ‘ගලා’ බවට පත් වුණා. ඔහුගේ පරිපාලන අංශය, ‘ගලාගේ කෑල්ල’ වුණා. සුමති සමාගමේ වෙනත්
අංශවල අය, දිනපතා ලක්බිමේ නිවුස්
රූම් එකට, ‘මල් පාත්තිය’ යනුවෙන් අපර නමක් ද
පටබැඳ තිබුණා.
’නිවුස් කෑල්ලේ’ වෙන වෙන ම මේස තිබුණේ
ඉරිදා ලක්බිමෙන් ආපු සම්පත් දේශප‍්‍රියට, බුද්ධික වීරසිංහට, ශ‍්‍රී ලාල් ප‍්‍රියන්තට, නිලූකට, මට ඔය වාගේ කිහිප දෙනෙකුට පමණයි. අලූත පැමිණි අයට, විශාල දිග මේස දෙකක්
ගෙනැල්ලා ‘නිවුස් කෑල්ල’ මැද්දේ විශාල ‘ප‍්‍රීලාන්ස් ඩෙස්ක්
එකක්’ පිළියෙල කෙරුණා. කට්ටිය ම ඒක වටේ පුටු තබා ගෙන සහජීවනයෙන් වාසය කළා මතකයි. නිවුස් කෑල්ලත් ඉඩ මදි
වුණු නිසා උප කර්තෘ අංශය පිහිටි පහත මහලේ රවුම් මේසයකත් කිහිප දෙනෙක් සහජීවනය කළා.
ඔය කාලේ ‘දුරකතන’ පහසුකම් සිමිතයි. කෝල් එකක් ගන්න සෑහෙන
සටනක් දෙන්න වෙනවා. සමහරුන්ට ‘මල් කඩනවා’ කියලා චෝදනාත් ආවා. ටෙලිපෝන්වලට ඉතින්
රණ්ඩු-සරුවලූත් නිමක් නෑ. හැබැයි ඒවා දවල් බත වළඳනකම්
විතරයි! කන්තෝරුවෙන් සියලූ
දෙනාටම බෝල්පොයින්ට් පෑන් දුන්නා. ඒත් හැමදාම වාගේ පෑන්
නැතිවෙන බවට මැසිවිලි එමටයි. මේවාට නිතරම අහුවුණේ
භක්ති මෙන්ඩිස්!
’යකෝ කවුරුහරි මගෙ
පෑනත් උස්සලා!’, දවසක් භක්තිත් කෑගැහුවා මතකයි.
‘නිවුස්’ නම් බොහොම බරපතල බව
ඇත්තයි. ඒත් ‘නිවුස් රූම් එක’ නිතරම බොහොම
සැහැල්ලූවෙන් මෙන්ම, බොහොම කෙළිකවටකමින් ද
පිරී තිබුණා. ඒක බොහොම සජීවී එකක්. පසුව ප‍්‍රධාන කතු
පදවියට පත් වුණු කිත්සිරි නිමල්ශාන්ත මහත්තයාත් විහිළු කොලොප්පම්වලට කැමති කෙනෙක්
වීම හින්දා ඒවා නැගලා ම ගියා.
උදෙන් ම කළ යුතු පැවරුම් නැතිනම්, සාමාන්‍යයෙන් උදේ 9.30-10.00 පමණ වන විට මේ තරුණ
පිරිස ‘නිවුස් රූම් එකට’ රොද බදිනවා. ඉන් පසුව බොහොම ලෙන්ගතු, සාමීචි කිචිබිචියක්
මැවෙන්නට පටන් ගන්නවා. ඒ අතරේ බොහොම
ආන්දෝලනාත්මක නිවුස් කොපිත් ලියැවෙනවා. ‘නිවුස්’ වැඩියෙන් ම තියෙන්නේ ‘ඩිපෙන්ස්’ (ආරක්ෂක තොරතුරු) සහ ‘පොලිස් රවුන්ඞ්’ (පොලිස් ප‍්‍රවෘත්ති) එකේ. ඒ වැඬේ බාර ගත්තු
තිස්ස රවීන්ද්‍රත්, ගයාන් කුමාරත් එක එක
අයට දුරකතනයෙන් අමතමින් වැඩ පටන් ගන්නවා. ඔය අතරේ ‘නිවුස් නැති එවුන්ට’, ‘උඹ මේක ලියා ගනින්’ කියලා පොඩි නිවුස්
කෑලි සගයන්ට දෙන පුරුද්දකුත් තිබුණා. ඒවා ලියැවුණේ ‘කතාව’ දුන්නු කෙනාගේ නමත්
එල්ලලයි. මේකට කිව්වේ ‘ජොයින්ට් බයි ලයින්’ කියලයි. පඩි ගෙවන්නේ ලියා
පළවෙන ‘නිවුස් කෑලි’ ගණනටයි. ඉතින් නිවුස් වැඩි
ගණනක් ලියන්න කවුරුත් උත්සාහ කළා.
එක එක අමාත්‍යංශවලින් එන ‘ප්‍රෙස් රිලීස්’ (මාධ්‍ය නිවේදන) මගින් ප‍්‍රවෘත්ති
ලියන්නත් ලොකු තරගයක් තිබුණා. ඒවා පළ කෙරුණේ ‘බයි ලයින්’ නැතිවයි. ලියපු කෙනා උදේට ඇවිත්
‘මුදල් ලකුණු කරන
පත්තරේ’ තමන්ගේ නිවුස් එක
උඩින් නම ලියන්න ඕනෑ. නැතිනම් තමන්ට ඒ ප‍්‍රවෘත්තියට
මුදල් ලැබෙන්නේ නෑ.
ඔය කාලේ සමහර කෙනෙක්, නමක් පළ නො වුණු
අනුන්ගේ ප‍්‍රවෘත්තිවලත් නම ලියා ගෙන තිබුණා. ඉතින්,
‘කවුද යකෝ මගේ එක ලකුණුකර ගත්තේ? කියලා රණ්ඩුත් වෙනවා. ගෑනු ළමයි නම් කියන්නේ
‘අයියෙ ඔයා හරී නරකයි’ කියලයි!
භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස් හොඳ නිවුස්කාරයා. එයත් ගයාන් කුමාර
වීරසිංහ සමග ‘පොලිස් නිවුස්වලට’ හොටේ දමාගෙනයි හිටියේ. නිවුස් හෙවිල්ලෙදී
භක්ති ටිකක් උපක‍්‍රමශීලීයි. ඔන්න ගයාන්, කොහේ හරි පොලීසියකට
කතා කරලා මොකක් හරි හොඳ ප‍්‍රවෘත්තියක් ලූහුබඳිනවා. භක්තිත් රබර් කන දාලා, මේක කොහේ සිද්ධියක්
දැයි හොරෙන් ම දැන කියා ගන්නවා. ඊට පස්සේ හෙමින් මාරු
වෙලා ගිහින් වෙන ටෙලිපෝන් එකකින් ඒ පොලීසියට ම කතා කරනවා. විස්තරේ අසා ගන්නවා. ඊට පස්සේ තකහනියේ
කොපිය ලියලා ප‍්‍රවෘත්ති කර්තෘට භාර දෙනවා. දැන් ගයාන් මේක දන්නේ
නෑ. පස්සේ ගයානුත් සිද්ධිය ලියලා කොපිය දෙන්න යනවා.
’ආ, මේක භක්තිත් ලියලා
තියෙනවා නේ’ කියලා උත්තරයක්
ලැබෙනවා. ඒ කියන්නේ ගයාන්ට
කලින් භක්ති සිද්ධිය සොයා ගෙන?
මේකට ගයාන්ට ‘මල පනිනවා’. ඊට පස්සේ ටිකක් කෑගහ ගන්නවා. ටික වේලාවකින් දෙන්නා
සමගි වෙනවා. එක ප්ලේන්ටිය බෙදා ගෙන
බොනවා. නිවුස් එක දෙන්නාගෙම
බයි ලයින්වලින් පළවෙනවා. දෙන්නාට ම මුදලූත්
ලැබෙනවා! භක්ති ආයෙමත් දවසක
එහෙම ‘ගේමක්’ දෙනවා. ගයානුත් ආයෙමත් පොඩි
දෝස්මුරයක් දානවා. සමහර දාට, ‘මේක උඹ ලියා ගනින්’ කියලා විස්තරේකුත්
දෙනවා. වැඬේ හරිම විනෝදජනකයි.
ප‍්‍රවෘත්ති කර්තෘවරුන් ලෙස වැඩ කළ සම්පත්, නිලූක, කුසුම්, ප‍්‍රභාත්, ඒ හැමෝටමත් මේක රහසක්
නෙවෙයි. සමහර දවසක භක්ති
කලින්ම කොපියක් ලියාගෙන ගියාම,
‘මල්ලී උඹ අරූගෙ ‘කතාව’ (ප‍්‍රවෘත්තිය හෝ ප‍්‍රවෘත්ති
කතාව) හොරකං කළා නේද?’ කියා විමසන අවස්ථා ද
නො තිබුණා නොවෙයි!
ඒ ප‍්‍රශ්නයට ‘රෙඩි මේඞ්’ උත්තරයකුත් භක්තිට තිබුණා.
‘පිස්සුද අයියා, මං එහෙම කරනවද?’ කියලා එයා අහනවා!
(මතු සම්බන්ධයි)
කි්‍රෂ්ණ මහත්තයට අපිව නම් අමතක වෙලා. ඒකට නම් කමක් නෑ. ලක්බිම පුවත්පතේ වැඩ කරපු අවුරුදු දෙකක කාලය තුල ඉගෙන ගත් දේවල් මුළු ජීවිතේටම ප්‍රයෝජනවත්. තවත් රස මුසු දේවල් මේ පුංචි ගුහාව ඇතුලෙ සිදු වුනා. ඒ දේවල් ගැන මතකය අළුත් කරන්නට ක්‍රිෂ්ණ මහතා දරණ වෑයම අති විශිෂ්ඨයි. මේ පුංචි පුවත් ගුහාවෙන් තමයි අද වුනත් සියළු මාධ්‍ය අංශවල තවමත් පෙළහර පාන මාධ්‍යවේදීන් පිරිසක් ඉන්නෙ. ලක්බිමේ වැඩ කරපු කෙනෙක් ඉන්නවා නම් කොතන වුනත් එයාගෙ දක්ෂකම පේනවා. ඒ ආභාෂය ලබා දුන්නෙ ක්‍රිෂ්ණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්. වෙනත් පුවත්පතක නොතිබෙන සොඳුරු සහෘදත්වයක් ලක්බිමේ තිබෙනවා. ඔබේ උත්සාහය නැවත වතාවක් අගයමි. සෞම්‍ය සෝමසිරි.
ReplyDelete