අන්තර්ජාල ටැක්සිකාරයන්ගේ
කොළඹ අඳෝනාව!
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
’ඉන්ටර්නෙට්’ සහ ‘ස්මාර්ට් පෝන්’ මත පදනම් වෙමින් කොළඹ
නගරයේ දුවන ‘අලූත් ටැක්සිකාරයන්’ හෙවත් ‘අන්තර්ජාල කුලී රථ
ධාවකයන්’, මේ දිනවල කල් ගෙවන්නේ
මහත් කේන්තියෙනි. ඔවුන් සේවයට බැඳී සිටින දෙස්-විදෙස් ‘ටැක්සි කොම්පැණි’ විසින් කිලෝමීටරයකට
ගෙවන හයර් ගාස්තුව, වාහන නඩත්තු වියදමට
සාපේක්ෂව ඉහළ නො දැමීම, ඊට හේතුවයි.
ඉකුත් (2018) මාර්තු 23 වැනි දා පටන් පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල්
නමයකින් ඉහළ ගියේ ය. එයින් පසුව ‘හයර් කිලෝමීටරයේ මිල’ සොච්චමකින් හෝ ඉහළ යනු
ඇතැයි බලා සිටිය ද, ඔවුන්ට තවමත් දුවන්නට
සිදුව ඇත්තේ පරණ මිලට ය. ඉහළ ගිය ඉන්ධන මිලේ
ආර්ථික බර ද, වාහන නඩත්තුවේ වැය බර
ද දරා ගනු නො හැකිව දැන් ඔවුහු මහත් පීඩනයට පත්ව සිටිති!
දශක කිහිපයකට ඉහත නම් කොළඹ ටැක්සි ලෝකය අත්පත්කර ගෙන
සිටියේ, ‘මයිනර්’ වර්ගයේ කුලී මෝටර් රථ
ය. ඒවා, එකල එම්. එස්. ප‍්‍රනාන්දු ගායන
ශිල්පියාගේ, ‘මම ටැක්සිකාරයා-ඇරල යන්න හරිම සූරයා’ ගීතය තරමට ම ජනප‍්‍රියව
තිබිණි. කොළඹ පුරවරයේ
පදිංචිකාරයන් මෙන්ම දිනපතා කොළඹට ඇදී එන පිටස්තරයන් ද එකල ‘උපතේ සිට මරණය දක්වා ම’ ටැක්සිවල පිහිට සෙවූහ. කොළඹ නගරය සිසාරා දැන්
දුවන්නේ ‘අන්තර්ජාල පන්නයේ’ අලූත් ටැක්සි (ඉන්ටර්නෙට් ටැක්සි) වුව ද, ඒ කාරණය දැනුදු වලංගු
ය.
පසුකාලීනව ‘ත‍්‍රී රෝද රථ’ විසින් කොළඹ ටැක්සි වෙළෙඳපොළ ආක‍්‍රමණය කරන ලදී. දැනුදු කොළඹ නගරයේ
ලොකුම කුලී ගමන් සේවාව වන්නේ ‘ත‍්‍ර‍්‍රී වීලර්’ ය. එය විදෙස් සංචාරකයන්
අතර ප‍්‍රකටව ඇත්තේ ‘ටුක් ටුක්’ යනුවෙනි. දැනට හෙළිදරව්වී ඇති
තොරතුරු අනුව, දිනකට කොළඹට පිවිසෙන
පිටස්තර ජන සංඛ්‍යාව විසි ලක්ෂයකට අධික ය. ඔවුන් ගෙන් විශාල
පිරිසක් කොළඹ ඇතුළත ගමන්වල දී කුලී රථවල සේවය ලබා ගනිති. කොළඹ කුලී රථ සේවාවට, දැනට වසර කිහිපයක පටන්
‘අන්තර්ජාල පන්නයේ’ අලූත් කුලී රථ එක්ව
තිබෙනු පෙනෙයි. ඒවා කොළඹ නගරයහි
සැරිසරන දෙස්-විදෙස් මගීන් අතර ජනප‍්‍රිය වෙමින් තිබේ.
‘ඉන්ටර්නෙට්’ සහ ‘ස්මාර්ට් පෝන්’ මත පදනම් වුණු අලූත්
ටැක්සි සේවාව කොළඹට පැමිණියේ මෑතක දී ය. දැනට ඇමරිකානු ‘යූබර්’ මෙන්ම, ‘පික් මී’, ‘සොනිට්’, ‘කැන්ගරූ’, ‘රන්මල්’, ‘කැන්ගෝ’ සහ ‘හෙලෝ කැබ්’ ආදී අන්තර්ජාල ටැක්සි
සේවා කිහිපයක් ම කොළඹ නගරයේ ක‍්‍රියාත්මක වෙයි. ඔවුන් තම සේවාවන්
පවත්වා ගෙන යන්නේ විවිධ මාදිලියේ මෝටර් රථ (කාර්) මගිනි. ඒවා වායු සමන පහසුකම්
සහිත නවීන මෝටර් රථ ය. සමහර සමාගම් ‘ත‍්‍රී විලර්’ ද තම ජාලයට එක්කර ගෙන
සිටිති. ඔවුන් මගියා, ධාවකයා සහ ටැක්සි
සමාගම අතර සම්බන්ධතාවය පවත්වා ගෙන යන්නේ අන්තර්ජාල ‘ඇප් එකක්’ (මෘදුකාංගයක්) ඔස්සේ ය. මගීන් කුලී රථ ඇනවුම්
කරන්නේ ද, කුලී මුදල් ගෙවන්නේ ද, ටැක්සි සමාගම සේවාව
මෙහෙය වන්නේ ද අන්තර්ජාලය මගිනි. එය ජංගම දුරකතන මගින්
ද කළ හැකි ය. මගියාට අවශ්‍ය
පරිදි ඕනෑම මාදිලියක කාර් රථයක් එයින්
ඇනවුම් කළ හැකි ය. එමෙන්ම, තමන් ඇනවුම් කරන රථයේ
ස්වභාවය, රියදුරු ගැන විස්තර
ආදිය ද මගියාට දැනගත හැකි ය. එය පැය විසි හතරේ ම ක‍්‍රියාත්මක
වන සේවාවකි.
අන්තර්ජාල පන්නයේ ටැක්සි සේවාවන්, මගීන් සම්බන්ධයෙන්
අතිශයින් ම ආචාරශීලීව කටයුතු කරති. ඔවුන්ගේ රියදුරන් වැඩ
කරන්නේ යම් විනය නීති මාලාවකට යටත්ව ය. යම් අකටයුත්තක් වුව
හොත්, එය ‘ටැක්සි කොම්පැණියට’ පැමිණිලි කිරීමට ද
පුළුවන. ‘හයර් මුදල’ සම්බන්ධයෙන් බිල්පතක් අවශ්‍ය නම්, එය අන්තර්ජාලය මගින්
තම ජංගම දුරකතනයට ගෙන්වා ගැනීමට ද පුළුවන. දැනට මෙබඳු කුලී මෝටර් රථ දස
දහසක් පමණ කොළඹ නගරය තුළ සංසරණය වෙතියි කියති.
අන්තර්ජාලය මත පදනම් වුණු ‘ටැක්සි සමාගම්වලට’, තමන්ගේ ම කියා මෝටර් රථ ඇත්තේ නැත. ඔවුන් තම සේවාවන් පවත්වා ගෙන යන්නේ ‘අනුන්ගේ මෝටර් රථ’ ලියාපදිංචිකර ගෙන, කුලී ගමන් සංවිධානය කිරිමෙනි. මෙහිදී වාහන හිමිකරුවන්ට ධාවන කිලෝමීටර් ගණනට මුදල් ගෙවනු ලැබේ. මෙම ක‍්‍රියාවලිය ඔස්සේ ඔවුහු විශාල ලාභයක් ද උපයති. වාහන අනුන්ගේ නිසා, ඒවා නඩත්තුවට ටැක්සි කොම්පැණිවලට මුදල් වැය වන්නේ ද නැත.
කොළඹ නගරයේ දුවන අන්තර්ජාල මාදිලියේ ‘ටැක්සි රථ’ වැඩි හරියක් ම, වාරික ගෙවීමේ පදනමින් මිලයට ගත් මෝටර් රථ ය. ඉන් බහුතරයක ම රියදුරුකම කරන්නේ ද ඒවායෙහි අයිතිකරුවන් ම ය. ඔවුන් අතරින් විශාල පිරිසක්, කෙලින්ම ‘ජීවනෝපාය මාර්ගයක්’ වශයෙන් කුලී ධාවනයේ යෙදෙති. තවත් පිරිසක්, අනුන්ගේ කුලී රථවල රියදුරන් වශයෙන් රැකියාව කරති. ඔවුන් පංගු ක‍්‍රමයකට අනුව මුදලක් හෝ වැටුපක් ලබති. තවත් සැලකිය යුතු පිරිසක් ‘අර්ධ කාලීන’ රැකියාවක් වශයෙන් අන්තර්ජාල ටැක්සි දුවති. ඇතැමෙක් අමතර ආදායමක් උපයා ගැනීම සඳහා, සවස් හෝ රාත‍්‍රී කාලයට තමන්ගේ ම පෞද්ගලික මෝටර් රථය අන්තර්ජාල ටැක්සි ජාලයකට සම්බන්ධකර ගෙන සිටිති. ඉන්ධන මිල සහ නඩත්තු වියදම් ඉහළ යාමට සාපේක්ෂව, තමන්ට ලැබෙන ‘කිලෝමීටර් මුදල’ ඉහළ නො යාම නිසා දැන් මේ සියල්ලන් ම දැඩි පීඩාවකට පත්ව සිටින්නෝ ය!
අන්තර්ජාල ටැක්සි සේවාවේ කුලී රථ සඳහා මගීන් ගෙන් මුදල්
අය කෙරෙන්නේ ධාවනය කෙරෙන කිලෝමීටර් ගණනට ය. එය මෝටර් රථ මාදිලිය
අනුව ද, කුලී ගමන ගිය කාල
වේලාව අනුව ද, ටැක්සි සමාගම අනුව ද
වෙනස් වේ. මගීන් අතර වැඩියෙන් ම
ජනප‍්‍රියවී ඇත්තේ, ගාස්තු අඩු ම මාදිලියේ
කාර් රථයි. ඒ සඳහා එක් සමාගමක් ගමනේ
පළවැනි ධාවන කිලෝමීටර් 10ක් සඳහා අය කරන්නේ, එක් කිලෝමීටරයකට
රුපියල් 35ක් බැගිනි. එයින් ඔබ්බට ඔවුන් (11 වැනි කිලෝමීටරයේ සිට) කිලෝමීටරයකට රුපියල් 42ක් බැගින් අය කරති. තවත් සේවාවක, පළමු කිලෝමීටර් දෙක සඳහා ගාස්තුව රුපියල් 140කි. එයින් ඔබ්බට ධාවනය
කෙරෙන සෑම කිලෝමීටරයකට ම රුපියල් 45ක් බැගින් අය කෙරේ. ඊට අමතරව විනාඩියකට
රුපියල් හතරක් බැගින් ප‍්‍රමාද ගාස්තුවක් ද ‘හයර් බිලට’ එකතු වෙයි. අන්තර්ජාල මාදිලියේ ත‍්‍රීරෝද
රථ සඳහා මුදල් අය කෙරෙන්නේ ධාවන කිලෝමීටරයකට
රුපියල් 35ක් බැගින් ගණන් හදමිනි. සුළු සුළු වෙනස්කම්
පැවතිය ද, කොළඹ නගරයේ දුවන
අන්තර්ජාල ටැක්සි රථ සමාගම් ගාස්තු අය කරන්නේ ඒ ආකාරයට ය.
කොළඹ අන්තර්ජාල ටැක්සි සේවාවේ සියලූම මෝටර් රථ, ‘ටිප් ටොප් එකට’ තබා ගත යුතු බව
සම්මතයයි. ඒ සඳහා ඒවා සුපිරියට ම
නඩත්තු කළ යුතු ය. නැතිනම් ඔවුන්
සේවාවෙන් ප‍්‍රතික්ෂේප වේ. එසේ වුව ද වර්තමානයේ
ඔවුන් අනේක විධ දුෂ්කරතාවලින් මිරිකී සිටිති.
‘එක කොම්පැණියක් අපට
ගෙවන්නේ කිලෝමීටරයකට රුපියල් 30යි. අපට දෙන හැම හයර්
එකකින් ම ඔවුන් සියයට 25ක මුදලක් කොමිස්
හැටියට කපා ගන්නවා. දැන් අවුරුදු දෙකක්
විතර පවතින්නේ මේ ගාස්තු ක‍්‍රමය ම තමයි. ඉන්ධන මිල සහ අමතර
කොටස් ආදියේ මිල දිගින් දිගට ම ඉහළ ගිය නිසා දැන් ඒක
ප‍්‍රමාණවත් නෑ. කොම්පැණිය අපට ගෙවන
මිල ඉහළ දැම්මෙත් නෑ. මීට මාස හත අටකට ඉහත
දී ප‍්‍රමාද ගාස්තුවත් ඉවත් කළා. ඒක අපේ ආදායමට බලපානවා. අපට ලීසිං ගෙවා ගන්නත් අමාරුයි. අපේ අමාරුකම් කිව්වත්
කොම්පැණිය ගණන් ගන්නේ නෑ’
යයි, කුඩා මෝටර් රථයක්
පදවන රථ හිමියෙක් පැවසුවේ මහත්
කනස්සල්ලෙනි.
කොළඹ තවත් අන්තර්ජාල ටැක්සි සමාගමක් අලූතින් මෝටර් රථයක් තම සේවාවට එක්කර ගන්නා විට රුපියල් විසි දහසක මුදලක් ලියාපදිංචි ගාස්තුව වශයෙන් අය කරයි. ඉන් පසුව වාහන හිමියාට ‘ස්මාර්ට් පෝන්’ එකකුත් ලබා දෙයි. ඔවුන් හයර් ආදායමෙන් කපා ගන්නා කොමිස් මුදල සියයට දහයකි. ඊට අමතරව, දිව්ව ද, නො දිව්ව ද, සෑම වාහනයකින් ම දිනකට රුපියල් 100ක් බැගින් ද මුදලක් අය කරයි. ඔවුන් තම සේවාවේ කුලී රථ හිමිකරුවන්ට ගණන් බේරන්නේ ඒ මුදල් කපා ගැනීමෙන් පසුව ය. තවත් සේවාවක එක් වාහනයකින් දිනකට අය කරන මුදල රුපියල් 300කි.
ක්ෂේත‍්‍රයේ සමහර සමාගම් වාහන හිමියන්ට ‘දිරි දීමනා’ ද ලබා දෙයි. ඒවා තීන්දු කෙරෙන්නේ
සතියකට දුවන ‘හයර්’ ගණන මත පදනම් වෙමිනි. ඇතැම් සමාගම් තම වාහන
හිමියන්ට සතියකට දිවිය යුතු කුලී ගමන් සංඛ්‍යාව මෙ පමණකැයි කියා ඉලක්ක (ටාගට්) ද පවරා තිබේ. එය සම්පූර්ණ කරන වාහනවලට
යම් වැඩිපුර මුදලක් ගෙවීම ඔවුන්ගේ සිරිතයි. ඇතැම් සමාගමක්
නිරන්තරව තම සේවාව ලබා ගන්නා මගීන්ට, කුලී ගාස්තුව සඳහා විශේෂ වට්ටම් ද
පිරිනමයි. සමහර මගීන්ට සියයට 50ක වට්ටම් හිමිවන
අවස්ථා ද දක්නට ලැබේ. කෙසේ වෙතත් දැන් දැන්
වාහන හිමියන්ට දැඩි මුදල් දුෂ්කරතා මතුවී ඇත.
‘අපේ එකෙක් හිටියා, එයා දිව්වේ හයිබි‍්‍රඞ්
පියෙස් කාර් එකක්. මාසෙක ලීසිං එක
රුපියල් 85,000ක්. තෙල් ගණන් ගියාට පස්සේ
වාර්ක ගෙවීම හිර වුණා. පස්සේ අතේ පාඩුවට
වාහනේ විකුණලා දැම්මා’, අන්තර්ජාල ටැක්සි
සේවාවේ රියදුරෙක් තම අත්දැකීමක් සිහිපත් කළේ එසේ ය.
අන්තර්ජාල ටැක්සි දිවීම පිණිස ගමෙන් කොළඹට පැමිණි අයගේ
දිවිය බොහොම කටුක ය. ඔවුන් අතරින් සමහරෙකුට, කොළඹින් නවාතැන් පවා
නැත. ඔවුන් මුළු ජීවිතය ම ගෙවන්නේ සිය මෝටර් රථ
ඇතුළේ ය. ඔවුන්ට තුන් වේල
සප්පායම කඩෙනි. ‘හයර් දිවීම’ හමාරවු විට නිදා ගන්නේ ද මෝටර් රථයේ ම ය. ඇඳුම් සේදීම ලොන්ඩරිවලිනි. ඇඳුම් බෑගය තැන්පත්කර
තිබෙන්නේ ද රියෙහි ‘ඩිකියේ’ ය. ඇතැමෙක් අලූයම් යාමයේ
නින්දක් ගැහීම සඳහා කොළඹ නගරයේ හොඳ පොදු වැසිකිලිවලට
සමීප හුදෙකලා ස්ථාන තෝරා ගෙන සිටිති. පාන්දරින් ම පිබිද, එයින් සිරුරු කිස
නිමවා, ගත දොවා දවස ඇරඹීම
ඔවුන්ගේ සිරිතයි. හයිබි‍්‍රඞ් කාර් පදවන
තවත් සමහරු, වාහනය නවත්වා නින්දට
යන්නේ ‘සීසීටීවී’ කැමරා සවි කළ ස්ථානවල
ය. එය ආරක්ෂක පියවරකි! එවන් වැඩි දෙනෙක් මෙසේ
කටුක දිවියක් ගෙවන්නේ, එක්කෝ ‘ලීසිං’ වාරික දරා ගන්නට ය. නැතිනම් අඹු දරුවන්ට යැවීමට මුදලක් ඉතිරිකර ගන්නට ය.
මෝටර් රථය තුළ දිවි ගෙවන එක්තරා රථ හිමියෙක්, සිය රථය තුළ මගීන්ට
අවශ්‍ය පුවත්පත්, වතුර බෝතල්, වේදනා නාශක පෙති වර්ග
ආදිය ද රැස්කර ගෙන සිටියි. අවශ්‍ය නම් ‘වයිෆයි’ පහසුකම් ද තිබේ. ඇතැමෙක් අන්තර්ජාලයේ ‘හයර් ජාල’ පවත්වා ගෙන යති. එයින් හයර් හුවමාරුකර
ගනිති. අනෙකාගේ දුකට පිහිට
වෙති. ගණන් හිලව් ගැන කතිකා
කරති. දුර බැහැර හයර්වලට
අවශ්‍ය සම්බන්ධතා සාදා ගනිති. දවසේ ‘හයර් ප‍්‍රගතිය’, ‘වොයිස් මැසේජ් එකකින්’
හුවමාරුකර ගනිති. ‘යාන්තම් ශතකයක් වාර්තා
කළා (හයර් සීයක් ගියා)’, ‘දැන් නම් ස්ලීප්
රයිඩර් මචං (දැන් මං පාරේ නිදි)’ හෝ ‘අද මම නයිට් රයිඩර්
මචං’ වැනි පණිවුඩ ඒ අතර
වෙයි!
මගියාට කොපමණ සේවාවක් සැලසුණ ද ටැක්සිකාරයන්ගේ දුක්
ගැනවිලි අසන්නට කෙනෙක් නැතිකම, කොළඹ අන්තර්ජාල ටැක්සි සේවාවේ විශේෂ ලක්ෂණයකි. ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ
වෘත්තීය සමිති පවා ඔවුන් ගැන උනන්දු නැත. ටැක්සි සේවා කොම්පැණි
ද ඔවුන්ගේ ගැටලූ ගැන සංවේදී නොවේ.
‘ඒක අපි ගත්ත තීරණයක්
නෙවෙයි, මදර් කොම්පැණියෙන්
කරපු දෙයක්. අපිට කරන්න දෙයක් නෑ’ යන්න, ඔවුන් නිතරම කියන
මන්තරයයි.
‘දැන් බලන්න, තෙල් ගණන් ගියා. නඩත්තු වියදම් ඉහළ
ගියා. ඒත් එක කොම්පැණියක්වත්
හයර් මිල වැඩි කරන්න ඉදිරිපත් වෙන්නේ නෑ. තමන්ගේ හයර් නැතිවෙයි
කියලා ඔවුන් බයයි. කවුරු හරි ඉස්සර
වෙනකම් හැමෝම බලන් ඉන්නවා. මේ වැඩෙන් අපි තැලෙනවා’, අන්තර්ජාල ටැක්සිකාරයෝ
කියති.
(කාටුන් අන්තර්ජාලයෙනි)
(මෙම ලිපිය 2018/07/14 සැබෑ පුවත්පතේ
පළවිය)
අපි නොදකින පැත්තක්!
ReplyDelete