Total Pageviews

Wednesday, December 2, 2015

‘මහාවංශ’ කතු හිමියන්ට ඇමරිකාවෙන් සහතිකයක්

‘මහාවංශ’ කතු හිමියන්ට 
ඇමරිකාවෙන් කාලනිර්ණ සහතිකයක්
 
දෙමළ මහා සෑය-කැණීම්වලට පෙර


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘මහාවංශය’ යනු, පුරාණ ලංකාවේ ඉතිහාසය ගැන ලියැවුණු විශිෂ්ඨතම ග‍්‍රන්ථයයි. ක‍්‍රිස්තු පූර්ව 543 දී විජය රජුගෙන් ඇරඹෙන ලංකාවේ මහා සම්මත රාජ වංශයේ පටන්, ක‍්‍රිස්තු වර්ෂ 1798 ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු දක්වා වූ ඉතිහාස කතා පුවත් රැසක් එයට ඇතුළත් ය. එය අද දක්වාත් දිගින් දිගටම ලියා ගෙන එන ඉතිහාස කෘතියකි. එසේ වුව ද, මුල් ‘මහාවංශය’ යයි සැලකෙන්නේ විජය රජුගේ (ක‍්‍රි. පූ. 543) පටන්, මහාසේන රජු (ක‍්‍රි. පූ. 303) දක්වා වූ වසර 240ක ඉතිහාසය ඇතුළත් පරිච්ෙඡ්ද 37කින් සමන්විත කොටසයි. එතැන් සිට, පළවැනි පරාක‍්‍රමබාහු රජුගේ (ක‍්‍රි. ව. 1153) පාලන සමය දක්වා වසර 1457ක කාලය ඇතුළත් පරිච්ෙඡ්ද 42ක කොටස, එහි ද්වීතීය භාගය හෙවත් ‘චූලවංශය’ යනුවෙන් හැඳින් වේ.
 
භාවිතාවේදී කෘතීන් ද්විත්වයම ගණන් ගැනෙන්නේ ‘මහාවංශය’ ලෙසිනි. පැරණි මූලාශ‍්‍රවල හැටියට එය ලියැවී ඇත්තේ ක‍්‍රි. ව. 05 වැනි සියවසේ දී ය. අනුරාධපුර, මහා විහාරබද, ‘දික්සඳසෙනෙවියා පිරුවෙන්හි’ මාහිමි, ‘මහාථෙර මහානාම’ හිමියන් එහි කතුවරයා ය. උන්වහන්සේ ගෙන් පසුව, තවත් මහ තෙරවරුන් අතින් ‘මහාවංශය’ දිගටම රචනා කෙරුණු බව ප‍්‍රකට ය. මේ කරුණු සටහන් කරන්නේ, ඉතිහාස ග‍්‍රන්ථ රචනය ගැන කියන්නට නොවේ. ‘මහාථෙර මහානාම’ හිමියන් සහ උන් වහන්සේ රචනා කළ ‘මහාවංශය’ නමැති කෘතියෙහි ආශ්චර්්‍යය ගැන කියන්නට ය. ඒ හිමියන් ලියා ඇති දෙය හුදු ප‍්‍රබන්ධයක් නොව ‘සත්‍යයක්’ බවට, නොබෝදා ඇමරිකාවේ ‘බීටා ඇනලිටික්’ පුරාවිද්‍යා රසායනාගාරයෙන් කාලනිර්ණ සහතිකයක් ලැබීම, ඊට හේතුව ය! කාලනිර්ණ සහතිකය ලැබී ඇත්තේ, පොළොන්නරුවේ සුප‍්‍රකට ‘දෙමළ මහා සෑයෙහි’ පෞරාණිකත්වය සම්බන්ධයෙනි.

පොළොන්නරුවේ ඇතුළු පුරයෙහි පැවති වල් බිහිව ගිය එක්තරා කඳු ගැටයක්, අනාදිමත් කාලයක් මුළුල්ලෙහිම හඳුන්වා දෙනු ලැබුවේ ගරා වැටුණු චෛත්‍ය ගොඩැල්ලක් වශයෙනි. ජන ව්‍යවහාරයෙහි එය ‘දෙමළ මහා සෑය’ යනුවෙන් හැඳින්විණි. එය මෑතක් වන තුරුම කිසිදු කැණීමකට හෝ සංරක්ෂණයකට නතු නො වූ, පැරණි ගොඩනැගිල්ලක් විය. මහාවංශයේ එන පුවතක් හැරෙන්නට ඒ ගැන වැඩි යමක් හෙළිදරව් වී තිබුණේ ද නැත. වරින් වර සුළු පරිමාණ කැණීම් කීපයක් කෙරුණ ද, වැඩි යමක් සොයා ගන්නට නො හැකි විණි. මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න සූරීන් සිය ‘පොළොන්නරුව-මධ්‍යකාලීන ලක්දිව අගනගරය’ නම් කෘතියෙහි ‘දෙමළ මහා සෑය’ ගැන මෙසේ කියන්නේ ය.
 
කැණීම්



‘දෙමළ මහාසෑය-දමිළයන්ගේ දාගැබ’
‘පරාක‍්‍රමබාහුගේ දකුණු ඉන්දීය සටනේ දී අල්වා ගනු ලැබූ ද්‍රවිඩ සිරකරුවන් විසින් ගොඩ නංවන ලද හෙයින්, මේ නම යෙදී ඇත. එය මෙතෙක් කැණීමකට හෝ සංරක්ෂණයකට හෝ භාජනය නොවූ සුවිසල් ගඩොල් ගොඩනැගිල්ලකි. පරාක‍්‍රමබාහුගේ මූලික අරමුණ වූයේ ඔහුගේ අගනුවර මෙම මහා ස්තූපය ගොඩ නැංවීම වුවත්, යම් හේතූන් මත ඔහුට එය කළ නො හැකි විය. පූර්ණ වශයෙන් අවසන් කළේ නම් එය මීටර් 183ක් උසැති ලෝකයේ විශාලතම බෞද්ධ ස්මාරකය වනු නො අනුමාන ය. අති විශාල දාගැබක් ලෙසින් එය නිම නොවූ අතර, එය මත පසු කලක දී කුඩා දාගැබක් ඉදිකර ඇත’ (පිටුව-209)
 
මහාවංශ පුවත
මහා පරාක‍්‍රමබාහු රජු දකුණු ඉන්දීය සටනේ දී අල්ලා ගනු ලැබූ ද්‍රවිඩ සිරකරුවන් ලවා, ‘දෙමළ මහා සෑය’ ඉදි කළ බව සඳහන් වන්නේ මහාවංශයේ ය. එහි 78 වැනි පරිච්ෙඡ්දයේ ය.
 
මහාවංශය පවසන අන්දමට, පොළොන්නරුවේ දෙමළ මහා සෑය ඉදිකර ඇත්තේ මහා පරාක‍්‍රමබාහු රජු (ක‍්‍රිස්තු වර්ෂ-1153-1186) විසිනි. රජුගේ අණින්, ඉන්දීය පාණ්ඩ්‍යයන්ට සහාය පිණිස, ලංකාපුර නම් සෙනෙවියා ඉන්දියාවට ගොස් කළ සටනක දී, චෝලයන් 12,000ක් අත්අඩංගුවට පත් විය. සිරකාර පිරිස ලංකාවට කැඳවා ගත් පසුව, රජු සෑය ඉදි කරවා ඇත්තේ ඔවුන් මෙහෙවරට ගනිමිනි. එබැවින් එය ‘දෙමළ මහා සෑය’ යයි නම් ලද්දේ ය. මහාවංශ කතාවෙහි එන හැටියට, සෑයෙහි වට ප‍්‍රමාණය  රියන් 1300කි. මහාවංශය මෙසේ කියයි.
 
‘පඬිරජය ගෙණ ඒ රටින් ගෙණෙන ලද දෙමළුන් ලවාත් කරවූ බැවින් දෙමළ සෑය යයි නම් ලත් එක්දහස් තුන්සිය රියන් විශාල වූ සියලූ ථූපයන්ට මහත්වූ දෙවෙනි කෛලාශය ඒ සමානවූ මහාසෑයක් රහතුන්ගේ සෘඬියක්ද, දෙවර්ගයක්ද නැතිව මහත් වූ රාජරධියෙන්ම කරවූයේ ය’ (මහාවංශය-සිංහල/බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල, දෙහිවල/පිටුව-390)
 
මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා
මේ අනුව අතීත දෙමළ මහා සෑය, සුවිසල් ස්තූපයකි. සුවිසල් බෞද්ධ ස්මාරකයකි. වර්තමානයෙහි ද එවන් ප‍්‍රතාපවත් මහා දාගැබ් නිර්මිතයක නටබුන් දැක ගත හැකි බව ඇත්ත ය. එහෙත් දැන් එය දිස් වන්නේ, කාලයාගේ ඇවෑමෙන් ගරා වැටුණු පැරණි චෛත්‍යයක රූ සිරියෙනි. අද එහි වට ප‍්‍රමාණය අඩි 1950ක් සේ (මීටර්-594.46ක්) සැලකෙයි. එහි ගරා වැටුණු උස මීටර් 31ක් පමණ වෙයි.
 
මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා

රජය 2014 වසරේ දී එහි සංරක්ෂණ කටයුතු සඳහා අත ගැසුවේ ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ද ඇතිව, සංරක්ෂණ කටයුත්ත පැවරුණේ ‘මධ්‍යම සංස්කෘතික අරමුදලට’ ය. ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුවේ ‘දෙමළ මහා සෑය’ කැණීමේ පර්යේෂණ ව්‍යාපෘතිය ආරම්භ කළේ, 2014 වසරේ මාර්තු 29 වැනි දා ය. අරමුදලෙහි එවකට අධ්‍යක්ෂ ජනරාල් ධුරය හෙබවූ, මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා ඊට මග පෙන් වූයේ ය. කැණීම් ව්‍යාපෘතියෙහි උපදේශකවරයා වූයේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් අධ්‍යක්ෂ, ආචාර්ය නිමල් පෙරේරා මහතා ය. පර්යේෂණයෙහි අරමුණ වූයේ, සෑය සංරක්ෂණය කිරීම සඳහා එහි ඉදි කිරීම් ව්‍යුහය නිවැරදිව හඳුනා ගැනීමයි.
 

කැණීම් පර්යේෂණය තවමත් අවසන්ව නැත. මධ්‍යම සංස්කෘතික අරමුදලේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි දැනුදු (2015 දෙසැම්බර්) එහි වැඩ කෙරී ගෙන යයි. එබැවින් දැන් දෙමළ මහා සෑය පිළිබඳ මෙතෙක් නෑසූ රහස් ගණනාවක්ම ඉන් අනාවරණය වෙමින් පවතී. මහා දාගැබ් නිර්මාණය සම්බන්ධයෙන් පැරණි ශිල්පීන්ට පැවති දැනුම් සම්භාරය කොතෙක් පිරිපුන් ද යන්න, ඉන් පැහැදිලි වන බව මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි.
 
 
ආචාර්ය නිමල් පෙරේරා මහතා
කැණීම් භාරව සිටින ආචාර්ය නිමල් පෙරේරා මහතා, සිය අත්දැකීම් විස්තර කරන්නේ මෙසේ ය.
 
‘දෙමළ මහා සෑය’, සාමාන්‍යයෙන් අක්කර හතරක පමණ භූමි වපසරියකින් සමන්විතයි. එය මෙතෙක් කල් සැලකුණේ, බොරළු සහ තිරුවානා ගල් සහිත ස්වභාවික කඳු ගැටයක් මත ඉදි කළ චෛත්‍යයක් වශයෙනුයි. 2014 වසරේ සිට කෙරෙන කැණීම්වලින් අද ඒ අදහස වෙනස් වී තිබෙනවා. ඒ අනුව සෑය ගොඩ නගා ඇත්තේ, වෘත්තාකාර ප‍්‍රාකාරයක් මැදට, මීටර් 25ක් පමණ උසට පස් දමා, අඩිය අඟලට තලා, පුරවා සකස් කිරීමෙනි. මහා සෑයක් යයි අප සිතන වෘත්තාකාර කොටස, මෙසේ පුරවා සැකසූ ප‍්‍රාකාරයයි. සාමාන්‍යයෙන් අක්කර පහක පමණ භූමියක් පස් පුරවා සකස්කර තිබෙනවා. එය එක් අතකට, වට අඩි 1950ක පැතිරුණු, මීටර් 25ක් පමණ උසට පස් පුරවා තැනූ වේදිකාවක් හෝ මළුවක් වගෙයි! එහි හරි මැද කුඩා චෛත්‍යක නටබුන් දක්නට ලැබෙනවා. ඇත්තටම සෑය එයයි!’
 
‘අපට මතුපිටින් තිරුවාණා සහිත බොරළු පස් ගොඩැල්ලක් මෙන් පෙනෙන කඳුගැටයක් බඳු කොටස පුරවා සකස් කල එකක්. වියලි කලාපයට ආවේණික රතු-දුඹුරු පස්වලින් එය පුරවලා තියෙනවා. බොරළු සහිත පස්, තිරුවාණා සහිත පස්, මැටි සහිත පස්, රොන් මඩ සහිත පස්, වැව් හෑරීමේ දී ඉවත් කෙරුණු පස්, ගඩොල්, ගොඩනැගිලි කඩා දැමීමේ දී ඉවත් කෙරෙන ද්‍රව්‍ය ආදී වශයෙන් මේක පස්වලින්ම පුරවලා, ජලය දමා අඩිය අඟලට තලලා සකස් කරලා තියෙනවා. පරාක‍්‍රමබාහු රජ තුමා එක පස් බිඳක්වත් අපතේ යවලා නෑ. වටේ තිබෙන වෘත්තාකාර ප‍්‍රාකාරය හදන්න ගඩොල් භාවිතකර තිබෙනවා. මේ ප‍්‍රාකාරය මීටර් 25ක් පමණ උසයි. ඒක හරියට වේදිකාවක් වාගෙ. චෛත්‍යය ඉදිකර ඇත්තේ ඒ මැද යි. මේක ඇත්තටම ලංකාවේ දාගැබ් කර්මාන්තයේ සුවිශේෂ ඉදි කිරීමක්’ යයි, ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි.
 
කැණීමෙන් හෙළිවූ අතීත රහස්
කැණීමේ දී හමුවූ පුරා වස්තු අතර, ආදි මානව යුගයට අයත් ‘ගල් ආයුධ’, පැරණි වළං කටු, මැටි මෙවලම් ආදිය ද තිබිණි. ඒවා අතර පැවති අඟුරු කැබලි, ඔවුන්ට මහාර්ඝ සම්පතක් විය. එයින් ‘කාබන් 14 පරීක්ෂණ’ පවත්වා, සෑයෙහි දින වකවානු පිළිබඳ කාලනිර්ණ වාර්තා ගැනීමට හැකි වීම ඊට හේතුව විය. ‘වලස්පතිගේ අඩවිය’ කළ විමසුමකට පිළිතුරු දෙමින් 2015/12/02 වැනි දා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතා ඒ කතා පුවත හෙළිදරව් කළේ මෙසේ ය.
 
‘කැණීම්වලින් හමුවූ අඟුරු සාම්පල් අපි ඇමරිකාවේ බීටා ඇනලිටික් කාලනිර්ණ රසායනාගාරයට යැව්වා. දැන් ඔවුන්ගේ වාර්තාව අපට ලැබී තිබෙනවා. ඒ අනුව ‘දෙමළ මහා සෑය’ දාගැබ, ක‍්‍රිස්තු වර්ෂ 1025ත්, 1165ත් අතර කාලයේ ඉදි කළ බවට කාලනිර්ණය වී තිබෙනවා. මේක ඉතාමත් වැදගත් වාර්තාවක්. මොකද, මෙයින් ‘මහාවංශයේ’ එන කතාව සත්‍යයක් බව ඔප්පු වෙනවා. මේ වකවානුව අයත් වන්නේ මහා පරාක‍්‍රමබාහු රජතුමා (ක‍්‍රි. ව. 1153-1186) අපේ  රට පාලනය කළ වසර  33ක කාල පරාසයටයි. මහාවංශය සඳහන් කරන ආකාරයට, දෙමළ මහා සෑය එතුමා විසින් ඉදිකර වූවක්. දැන් එය තහවුරු වෙනවා. අනෙක මේ වාර්තාවෙන් කියැවෙන තවත් දෙයක් තිබෙනවා. ඒ මහාවංශයේ සඳහන් කතා ප‍්‍රවෘත්තිය, පුරාවිද්‍යා පර්යේෂණවලින් හෙළිකර ගත් තොරතුරු සමග සමපාත වන බවයි. ඉන් කියැවෙන්නේ, මහාවංශයේ කතු හිමියන් සත්‍ය තොරතුරු වාර්තාකර ඇති බවයි. මෙයින් මහාවංශයේ එන ඓතිහාසික තොරතුරුවල විශ්වසනීය භාවය තවදුරටත් තහවුරු වෙනවා’
 
දෙමළ මහා සෑය ඉදි කිරීමට සම්බන්ධ කාලනිර්ණ වාර්තාවට අමතරව, තවත් කාල වාර්තා දෙකක් ද ඔවුන්ට ලැබී තිබේ. ඉන් එක් අඟුරු සාම්පලයක්, ක‍්‍රි. පූ. 01 වැනි සියවසට අයත් වේ. අනෙක, ක‍්‍රි. ව. 02 සහ 03 යන සියවස්වලට අයත් ය. 

‘මේකත් බොහොම වැදගත්. එයින් පෙනෙන්නේ, අනුරාධපුර යුගයේ දී පවා දෙමළ මහා සෑය ඉදි කළ ඉසව්ව (පොළොන්නරුව) ජනාවාසව පැවති බවයි. පරාක‍්‍රමබාහු රජ තුමා සෑය ඉදි කරන්න, ජනාවාස ප‍්‍රදේශයක් තෝරා ගත් බව මින් පැහැදිලි වෙනවා’ යයි, මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේ ය.

දෙමළ මහා සෑය කැණීම් ව්‍යාපෘතියෙහි කළමනාකාර හේරත් මහතාගේ සම්බන්ධීකරණයෙන්, ක්ෂේත‍්‍ර නිලධාරීන් වන, ඇල්ප‍්‍රඩ් ද මැල්, ප‍්‍රියන්ත මාරසිංහ සහ කුමාරි අලහකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් කැණීමට එක්ව සිටිති.
 
(පින්තූර-මධ්‍යම සංස්කෘතික අරමුදල සහ අන්තර්ජාලයෙනි.)
2015/12/03.








6 comments:

  1. ඔබ බොහොම වැදගත් කරුණක් ඉදිරිපත් කරලා තියෙනවා. මහාවංශය ප්‍රබන්ධයක් නොවන බවට මෙක වැදගත් ශාක්ෂියක්. ඒ එක්කම පුළුවන් කමක් තියෙනවා නම් මහාවංශයේ නැතිවී තිබෙන 39 පරිච්චේදය ගැන යමක් පල කරන්නකො . ඒ පරිච්චේදයේ තිබුණේ රාවණා යුගය ගැන කියලා සමාජයේ මතයක් තියෙනවා .
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි.-ක්‍රිෂ්ණ

      Delete
  2. වැදගත් ලිපියක්..!

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි-ක්‍රිෂ්ණ

      Delete