Total Pageviews

Thursday, December 31, 2015

මීයාගල ජනකවි


පුංචි මැණිකෙ අපි යං මීයාගලට
මීයාගල ජනකවි
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘මීයාගල’ යනු සියඹලාණ්ඩුවේ සුප‍්‍රකට මුතුකණ්ඩිය ජලාශය ඉස්මත්තේ, වනගත කඳුකර ඉසව්වට අයත් පැරණි ගමකි. එකල ද (වර්ෂ 1998 දී පමණ) එය හුදෙකලා ගමක් වූ අතර, එහි යා යුතුව තිබුණේ ද අතිශයින්ම දුෂ්කර ගමනකිනි. 


සියඹලාණ්ඩුවේ සිට අම්පාරට දිවෙන මාර්ගයේ, 21 හන්දියෙන් හැරී බුද්දමට ද, එතැන් සිට කඳුකර දුෂ්කර වනගත මගක් ඔස්සේ පා ගමනින්ම කිලෝමීටර් 08ක් පමණ ද ගෙවා ‘මීයාගලට’ යා යුතු විය. ඒ ගමනේ දී දියෙහි බැස, මී ඇල් ඔයෙන් ද එතෙර විය යුතු ය. මුතුකණ්ඩිය ජලාශය බැඳ ඇත්තේ මී ඇල් ඔය හරස් කිරීමෙනි. එය හැඩ ඔයේ අතු ගංගාවකි.
 

මීයාගල, අමුතුම තාලේ ගමකි. එකල එහි වැස්සන්ගේ ප‍්‍රධාන ආහාරය වූයේ බත් නොවේ. කුරහන් ය. ඊට හේතුව, ඒ ගමේ කුඹුරු නැති වීමයි. ඉතින් ගැමියෝ කුරහන් වගාකර ගෙන බුදිති. ගම යැපෙන්නේ හේන් ගොවිතැනිනි. ගමේ ඇත්තන්ගේ සිතුම් පැතුම් ද, චාරිත‍්‍ර-වාරිත‍්‍ර ද වෙනස් ය.  ගම මැදින් වනයේ බොහෝ දුරක් ගිය විට, බිබිල-අම්පාර පාරේ යද්දී හමු වන නිල්ගල වනයට ද යා හැකි ය.
 

පරිසරවේදී බන්දුරංග කාරියවසම් මහතා, එකල ශ‍්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ ක‍්‍රියාකාරිකයෙකු වශයෙන් සියඹලාණ්ඩුව ප‍්‍රදේශයේ වැඩ කළේ ය. මාධ්‍යවේදී මොණරාගල සංජීව බණ්ඩාර මහතා ඔහුගේ සගයෙකි. මීයාගල ගම ගැන මට මුලින්ම තොරතුරු කීවෝ ඔවුහු ය. රටට නිදහස ලැබුණු කාලයේ පටන් ඒ ගමේ මිනිසුන්, මී ඇල් ඔයට පාලමක් හදා දෙන ලෙස කරන ඉල්ලීම්වලට තවම කිසිවෙකු සවන් දී නැති බවත්, ඔවුන්ට ‘කලිසම් ඇඳි අය’ පෙන්නන්නට බැරි බවත්, කිසිදු පිටස්තරයෙකුට ගම ගැන කිසිදු තොරතුරක් නො දෙන බවත් ඔවුහු මා සමග කීවෝ ය. ගමේ පැරණි උදවිය, ගමෙන් පිටතට ගොසින් ආපසු එන විට ගම් මායිමේ එක්තරා ස්ථානයක ඇති ගල් පර්වතයකට ‘ඇඳි වත ඔසවා පෙන් වීමේ’ චාරිත‍්‍රයක් පවත්වන බවත් මට දැන ගන්නට ලැබුණි. මට මහත් කුතුහලයක් ඉපදිණි. එවකට මා සේවය කළ ‘ඉරිදා ලක්බිම’ වෙනුවෙන්, 1998 වසරේ දිනක මීයාගල ගම සොයා ගියෙමි. ඔවුන් ගැන ලිපි කිහිපයක් ලියුවෙමි. වර්තමාන මීයාගල ගම කෙසේ දැයි මම නො දනිමි.
 

එවකට සියඹලාණ්ඩුවේ සිටි සංජීව බණ්ඩාර මහතා මට බොහෝ තොරතුරු සොයා දුන්නේ ය. ඒ සමග මට දී තිබුණු ‘මීයාගල ජනකවි’ රැසක්, මේ නො බෝදා පැරණි ලිපි ගොනුවකින් හමු විය. ඒවා සංජීවයන් එකල මීයාගල ගමෙන් එකතු කළ ජන කවි වේ.
සංජීවගේ අවසරය ද ඇතිව, මහජනතාවගේ රස වින්දනය පිණිස ඒවා ‘වලස්පතියට’ එක් කරන්නෙමි.
 

මීයාගල ජන කවි
මී ඇල් ඔයේ දිය ටික    වාසනාවන්
බෝගහ පිටියෙ දා ගැබ  වාසනාවන්
හතර වටේ ඇති කඳු      වාසනාවන්
ඉස්කෝලේ කලූ ලිය     වාසනාවන්

මේ පාඩුවේ මම කුරහන් කපන කොට
ඇයි මස්සිනේ ආවේ මගෙ      ඉස්සරට
හතර වරං හැම දෙවි පිහිටයි        නුඹට
අව්ව බෝයි පලයං මස්සිනෙ       ගමට

අනේ මම මාස ගාණක් දුක්            විඳලා
සෙනේ ඇතිව වැඩ කෙරුවේ ලොබ වීලා
පුංචි නෝන හිත නැති බව මට     දැනිලා
කරදර සිතින් ඉන්නේ මම සුසුම්   හෙළා

යන්න එපා මා හැර කිසි     කරුණකට
ගියොත් මරණ නියමයි අපි  දෙන්නාට
මැරෙන තුරා එක වහලක    සිටින්නට
පුංචි මැණිකෙ අපි යං           මීයාගලට

බදුලූ වෙලේ වෙල් පාරෙන් යන වතුරු
ඒ සේමයි මගේ දෑසින් යන         කඳුළු
වෙනත් පිරිමි දුටු විට මට වස      කදුරු
මුතු බණ්ඩලා දුටුවම නැලවෙයි  කඳුළු

බස්නාහිරට හොඳ දඩයම් පොළක්          ඇතී
දඩයම් පොළට යන ඇත්තෝ බොහෝ වෙතී
දස්සකමට ඒ දිවි දෙන් එතන                  ඇතී
දඩයම් කරන දිවියා තව ආවෙ               නැතී

අම්මණ්ඩියේ බෑ මට නො කියා ඉන්න
මුං මණ්ඩියේ පැලකට කීවේ      යන්න
ගෝණන්ඩියක් උයලා දුන්නේ  කන්න
අම්මණ්ඩියේ සුදු බංඩී එපා             මට

තුං තුං කිරි තුං තුං කිරි          කනත්තේ
දෙලූම් විතර තන ඇවිදින්    ළපැත්තේ
ඒවා අල්ලන්න මගෙ සිත   කැමැත්තේ
දවසක් ඉන්න දෙනවද ඔබෙ ළපැත්තේ

ඇයි මස්සිනේ උඹ ආවේ මගේ ගෙට
උඹෙ අයියා අවසර දුන්න ද      උඹට
මතු ජාතියේ බැරි  ඕවට     කඹුරන්න
--- බැසියන් මස්සිනෙ මට නිදියන්න

එන්න කීවාට ආවෙමි තිගේ          ගෙට
කන්න කීවාට කෑවෙමි බුලත්          විට
ඉන්න කීවාට ඉන්නම් යහන           පිට
ආයෙත් නේමි පර වේසියෙ තිගේ ගෙට


දෙලූම් විතර තන එන පුංචි           වයසට
බැලූම් බෝල සතු පිරිමින්  දකින      විට
ඇලෙන් ඉඳල රති කෙළි පහස දෙන  විට
පුළුන් රැලක බර නැත පුරුදු වෙන     විට

එගොඩ ගොඬේ ඉඳ බෙයියන් අඹන    නගා
මෙගොඩ ගොඬේ ඉඳ බෙයියන් අඹන  නගා
ඇඳි සේලේ් බොල් පින්නෙන් තෙමුණි නගා
කුරුණෑගලට යන්නට පාර කියන්       නගා

එගොඩ ගොඬේ ඉඳ බෙයියන් ඇඹුත්      නැතී
මෙගොඩ ගොඩේ ඉඳ බෙයියන් ඇඹුත්    නැතී
ඇඳි සේලේ බොල් පින්නෙන් තෙමුණෙ නැතී
කුරුණෑගලට යන්නට පාර මෙහි            නැතී

අතක වළලූ අත ලාලා සිටිය        නගා
නෙතක අඳුන් තෙල් ගාලා සිටිය  නගා
රත්නවල්ලිකඩ ඇඳලා සිටිය       නගා
කිරිනැලියේ බොල සිටියේ කයේ නගා

අතක වළලූ අත ලෑවෙත් නුඹේ        නගා
නෙතක අඳුන් තෙල් ගෑවෙත් නුඹේ නගා
රත්නවල්ලිකඩ ඇන්දෙත් නුඹේ      නගා
කිරිනැලියේ බොල සිටියේ නුඹේ    නගා
 

අතක වළලූ අත ලාලා ගෙට       පලයන්
නෙතක අඳුන් තෙල් ගාලා ගෙට පලයන්
රත්නවල්ලිකඩ ඇඳලා ගෙට      පලයන්
දුවේ නුඹේ අයියට ඇයි             කියාපන්

අතක වළලූ අත ලාලා       උනින්දා
නෙතක අදුන් තෙල් ගාලා උනින්දා
රත්නවල්ලිකඩ ඇඳලා     උනින්දා
අම්මේ උඹට මම යේලිය  උනින්දා

2015412/20.


No comments:

Post a Comment