Total Pageviews

Tuesday, December 15, 2015

රුහුණේ සංස්කෘතික අනන්‍යතාව කොහි සිට එන එකක් ද?

රුහුණේ සංස්කෘතික අනන්‍යතාව 
කොහි සිට එන එකක් ද?
එහි අක්-මුල් කොහේ ද?
x    කෘතිය-රුහුණු අවුරුදු සිරිත් විරිත්
x    කර්තෘ-ජයතිස්ස තෙන්නකෝන්
x    පිටු-144/මිල-රුපියල් 300.00යි.
x    පරිච්ෙඡ්ද-14යි.
x    ගොඩගේ ප‍්‍රකාශනයක්.
 



ජයතිස්ස තෙන්නකෝන් මහතා


ප‍්‍රකට ගත් කතුවරයෙකු සහ මාධ්‍යවේදියෙකු වන ජයතිස්ස තෙන්නකෝන් මහතා විසින් රචිත, රුහුණු අවුරුදු සිරිත් විරිත් ග‍්‍රන්ථය, 2015 දෙසැම්බර් 14 වැනි දා පස්වරුවේ ගාල්ල, ලබුදූව, දක්ෂිණපාය ශ‍්‍රවණාගාරයේ දී දොරට වැඩියා. එය සිදු වූයේ දකුණු පළාතේ ලේඛකයන්ට ‘ලේඛකාධාර’ පිරිනැමීම පිණිස, දකුණු පළාත් සභාවේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ චාම් උත්සවයක් ද සමගයි. දකුණු පළාත් සභාවේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සව සභාවේ ප‍්‍රධාන ආරාධිතයා වූයේ, දකුණු පළාත් ප‍්‍රධාන ඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතායි. පළාත් සභාවේ උසස් නිලධාරීන්, ප‍්‍රභූවරුන්, ලේඛකයන්, කලාකරුවන් සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා. උත්සවයේ ආරාධිත දේශකයා වූයේ මාධ්‍යවේදියෙකු මෙන්ම ගත් කතුවරයෙකු ද වන, ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර මහතා ය. එහි දී ඔහු කළ දෙසුම මේ සමග පළ කෙරේ.


පැරණි සිරිත් විරිත් සහ පැරණි වත් පිළිවෙත් සම්භාරයන් මැකී යමින් තිබෙන කාලයක, භාග්‍යවන්ත මාසය වෙනුවෙන් ජයතිස්ස තෙන්නකෝනුන් ගෙන එන රුහුණු අවුරුදු සිරිත් විරිත් ග‍්‍රන්ථය ඉතා ඉහළ වැදගත්කමක් දරනවා.  රුහුණට වෙනමම සංස්කෘතික අනන්‍යතාවයක් ඇති බව අප කවුරුත් දන්නා කරුණක්. රුහුණේ අවුරුදු සිරිත් විරිත් ද එහි කොටසක් බව පැහැදිලියි. ජන ව්‍යවහාරයේ පවතින අවුරුදු අසිරියෙන් යම් සැලකිය යුතු කොටසක් ලේඛනගත කරන්නට ඔහු දරා තිබෙන උත්සාහයට අප පින් දිය යුතුයි.
 

මා මුලින්ම, කෘතියේ දක්වා තිබෙන දුලබ ගණයේ අවුරුදු  සිරිත් ගැන යම් කෙටි සඳහනක් කරන්නම්. ඉන් පසුව රුහුණේ සංස්කෘතික අනන්‍යතාව කෙසේ ගොඩ නැගුණේ ද? යන කාරණය ගැන ඔබට කියන්නට අදහස් කරනවා. මා ඒවා කියන්නට යන්නේ පුරාවිද්‍යාත්මක පර්යේෂණ ආදිය ඇසුරෙනුයි. එසේම යම් වෙනස් කෝණයකිනුයි.
 

ජයතිස්ස සිය කෘතියේ,  
X   කෝඳුරුවන් වෙනුවෙන් කැවුම් පිසීම
x    සූර්ය සංක‍්‍රාන්තිය සහ හිරු දෙවොල ගැන (පි/33)
x    අවුරුදු කෝණය-‘කෝණ උදාවෙදි දරුවෝ හැමෝම ගෙදරට එන්න    ඕනි’ (පි/35)
x    දෑවුරුදු වැඳීම (පි/43)
x    ගේ අලේ කිරීම (පි/48)
x    ලිප් බොකු ආච්චි පිදීම/කුණු මුත්තා පිදීම (පි/58)
x    අවුරුදු රබන් සුරල් (පි/90)
x    රබන් කරත්තය (පි/95)
x    මාතර, ගොඩගම, ලේනදූවේ ‘හඳ දානය’ (පි/103)
x    නිල්වලා ධීවර ජනයාගේ අවුරුදු පාරු වන්දනාව (පි/108)
x    වේරගම්පිට, උයන්වත්තේ නොනගත පෙරහැර (පි/113-117)
x    ජන ක‍්‍රීඩා (පි/114-118)
 



ජයතිස්ස මහතා නව ග්‍රන්ථය ප්‍රධාන ඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතාට පිළිගන්වමින්-දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු ඇමති වීරසුමන වීරසිංහ මහතා ද ඡායාරූපයෙහි වෙයි. (පින්තූරය-ප්‍රියාන් ද සිල්වා)

ආදී විශාල පරාසයක අවුරුදු කරුණු සඳහන් කරනවා. ඒ සියල්ලෙන්ම රුහුණේ සංස්කෘතිය පිළිබඳ අප ඉදිරියේ තබන චිත‍්‍රය ඉතා විචිත‍්‍රවත් එකක්. අම්මාගේ කිරි මෙන්, හිරුගේ රශ්මියෙන් සශ‍්‍රීක වූ අතීත රුහුණ, අවුරුදු කාලයට ශෂ්‍ය ප‍්‍රීතියෙන් ද, ලෙන්ගතුකමින් ද, බෞද්ධාගමික හික්මීමෙන් ද පිරී පැවතුණා. ජයතිස්ස, සිය අවුරුදු සිරිත් විරිත් හා අනෙකුත් අවුරුදු සමාජ චර්යාවන් උලූප්පා පෙන්වමින්, ව්‍යංගයෙන්  අපට කියන්නේ කුමක් ද? අතීත රුහුණ ධන ධාන්‍යයෙන්, රට සල්ලියෙන් මෙන්ම සමාජය සහ පවුලේ ලෙන්ගතුකම්වලින් ද පිරිපුන්ව පැවති බවයි. එසේ නො පැවතියා නම්, ඒ තරම් විශාල සිරිත් විරිත් සමුදායක් ගොඩ නැගෙන එකක් නැහැ. වර්තමාන රුහුණේ, ඒ තරම් සෞභාග්‍යයක් තිබෙනවා ද යන්න ගැටළුවක්.
 

ජයතිස්ස සිය කෘතියේ කියන තරම් සංස්කෘතික අනන්‍යතාවයක් රුහුණට ආවේ කොහොම ද? එහි අක්-මුල් කොහේ සිට එන්නේ ද? කිනම් අතීතයක සිට එන්නේ ද? යන්න, අප සොයා බැලිය යුතු වෙනවා.

පැරණි රුහුණ
පැරණි රුහුණ, බොහොම සශ‍්‍රීක මෙන්ම ඉතා විචිත‍්‍රවත් ඉතිහාසයක් ඇති සුවිශේෂ භූමි භාගයක්. බස්නාහිර පළාතේ කළුතර හෙවත් ‘කාලතිත්ථයෙන්’ මුහුදට බසිනා කළු ගඟෙන් ද. මහනුවර, මහියංගණය, දිඹුලාගල, සිත්තාරු සහ අල්ලෙයි ඔස්සේ ත‍්‍රිකුණාමල බොක්ක දක්වා වැටී ඇති මහා වාලූකා හෙවත් මහවැලි ගඟෙන් ද මායිම් වූ සුවිශාල බිම් තීරුව පැරණි රුහුණයි. රෝහණයයි. මේ භූමිය වර්තමානයෙහි කළුතර, රත්නපුරය, ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, නුවරඑළිය, මහනුවර, බදුල්ල, පොළොන්නරුව, අම්පාර, මඩකලපුව සහ ත‍්‍රිකුණාමලය යන පරිපාලන දිස්ත‍්‍රික්කවලට අයත් වෙනවා.
පැරණි රුහුණ එක් පැත්තකින් රටේ සමුද්‍ර තීරය හා සම්බන්ධයි. රට ඇතුළතින්, එය කන්ද උඩරට සහ මධ්‍යම කඳුකරයේ උතුරු සහ ඊසාන දිග පෙදෙස්වලට ද සම්බන්ධයි. සමස්ත රුහුණ ගැන වැඩි දෙනෙක් දන්නේ, එය ගොඩ-මඩ දෙකින්ම සරුසාර කෘෂිකාර්මික භූමියක් ලෙසයි. එහෙත් පැරණි රුහුණට ඉතා විශිෂ්ඨ ගණයේ විදේශ වෙළෙඳ සම්බන්ධතා පැවති බවත්, ඉතා විශිෂ්ඨ නාවික කර්මාන්තයක් පැවති බවත්, අප‍්‍රකටයි. රුහුණේ අප දන්නා ඉතිහාසය, වර්තමාන පුරාවිද්‍යා පර්යේෂණ ඔස්සේ තවත් අලූත් වී තිබෙනවා.
 

මාගම රාජධානිය
අතීත රුහුණ, සිය නැව් කර්මාන්ත සහ විදේශ වෙළෙඳාම් ඔස්සේ ඉතාමත් සමෘද්ධිමත් අවධියකට එසැවී ගියේ ‘මාගම රාජධානිය’ බිහි වීමත් සමගයි. ඒ, ක‍්‍රිස්තු පූර්ව 307 දී, එවකට අනුරාධපුරයේ රජ කළ දේවානම්පියතිස්ස රජුගේ බාල සොහොයුරු-‘මහා නාග කුමාරයා’ හදිසියේ රුහැණට පලා ඒමේ සිද්ධියත් සමගිනුයි. එතැනින්, ‘මාගම’ රාජධානිය ආරම්භ වෙනවා. ‘මහාගාමය’ එහි අගනුවරයි. එය තිස්සමහාරාමයේ පිහිටා තිබුණා. මෙය අදින් වසර 2300කට ඉහත හට ගත් සිද්ධියක්. රටේ දකුණ, ගිනිකොණ සහ නැගෙනහිර භූමිවලින් සජ්ජිතව ‘මහා රුහුණු රට’ එතැනින් නිර්මාණය වන්නට ඇති.
 

මෙතැන දී මා ඔබට, ‘හෙන්රි පාකර්’ නමැති බි‍්‍රතාන්‍ය ජාතික ඉංජිනේරුවා  මුණ ගස්වන්නට කැමතියි. ඔහු ඉතිහාසයට හා පුරාවිද්‍යාවට කැමති කෙනෙක්. පාකර්, වර්ෂ 1833 දී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය යටතේ දකුණු පළාත භාර ඉංජිනේරු තනතුරට පත් වෙනවා. ඒ සමගම ඔහු තිස්සමහාරාමයේ පෞරාණික නටබුන් ගැන පර්යේෂණ කරනවා. ඔහු සිය පර්යේෂණ ගැන වාර්තාවක්, 1884 වසරේ දී රාජකීය ආසියාතික සමිති සඟරාවෙහි පළ කරනවා. එහි සඳහන් වන අන්දමට, මහානාග කුුමාරයා බිහි කළ රෝහණයේ අගනුවර වූ ‘මහාගාමය’ පිහිටා ඇත්තේ තිස්සමහාරාමයේයි. එහි විසූ කුඹල්කරුවන්, රන්කරුවන්, වානේ සහ යකඩ කර්මාන්තකරුවන් මෙන්ම විදෙස් වෙළෙඳාම් ගැන ද තොරතුරු ඔහු සොයා ගන්නවා.
 

මහානාග කුමරුන්ගේ සමයේ පටන්ම රුහුණ වෙනමම අනන්‍යතාවක් ගොඩ නගා ගන්නවා. එය ඉතාමත් විචිත‍්‍රවත්. ඒ ඉතිහාසය කෙටියෙන් විස්තර කරන්නම්.
 

බලංගොඩ මානව ජනාවාස සමය
සුළු භූමි ප‍්‍රමාණයක හැරෙන්නට, පැරණි රුහුණ ප‍්‍රාග් ඓතිහාසික  යුගයේ පටන්ම මානව ජනාවාස ලෙසින් පැවතුණා. කළු ගඟ පහළ නිම්නයේ බුලත්සිංහල පාහියන් ලෙනෙහි පැවති ආදි මානව ජනාවාසය අදින් වසර 48,000ක් පැරණියි. එය දැනට දකුණු ආසියාවේ පැරණිම ආදි මානව ජනාවාසය වශයෙන් සැලකෙනවා. ඊළඟට කළු ගඟ ඉහළ නිම්නයේ කුරුවිට, බටදොඹ ලෙන අදින් වසර 37,000ක් පැරණි මානව ජනාවාසයක්. ආචාර්ය පී. ඊ. පී. දැරණියගල, ඔහුගේ පුත් ආචාර්ය සිරාන් දැරණියගල, ආචාර්ය ඩබ්ලිව්. එච්. විජයපාල සහ ආචාර්ය නිමල් පෙරේරා යන විද්වතුන් මේ පර්යේෂණ ඉදිරියට ගෙනාවා. ලංකාවේ විසූ ‘නවීන මානවයන්’ හෙවත් ‘බලංගොඩ මානවයන්ගේ යුගය’ අනාවරණය කිරීමට, පර්යේෂණ මෙහෙය වූයේ අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි.
අපි දැන් කතා කළේ කළු ගඟ ඉහළ නිම්නය ගැනයි. ඊට ටිකක් දුරින් බලංගොඩ ප‍්‍රදේශය හරහා ‘වලවේ ගඟ ගලා බසිනවා. කළු ගඟ නිම්නයේ ආදි මානවයින් අදින් වසර 48,000 සහ 37,000 යන අතීත වකවානු ඔස්සේ පාහියන් ලෙන සහ බටදොඹ ලෙන් ජනාවාස කරන විට, වලවේ ගඟ නිම්නයේ ඉහළ ප‍්‍රදේශවල කුමක් වී ද? වලවේ ඉහළ නිම්නයට අයත්, කල්තොට, ‘කූරගල’ ලෙන්වල විසූ ආදි මානවයෝ අදින් වසර 16,000ක් පුරාණයේ සිට ජනාවාස තනා ගන්නවා. කූරගලින් පහළ තිබෙන්නේ උඩවලවේ ජාතික වනෝද්‍යානයයි. ඒ වලවේ පහළ නිම්නයයි. එහි ඇති ‘බෙල්ලන්බැඳිපැලැස්ස’ එළිමහන් ආදි මානව ජනාවාසය, අදින් වසර 12,500ක් පැරණියි. එහි විසූ අය හීලෑ බල්ලන් පවා ඇතිකර තිබුණා. බෙල්ලන්බැඳිපැලැස්සේ අලූත්ම පර්යේෂණ කළ ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන අන්දමට, කූරගල කියන්නේ ‘වියලි කලාපීය සහ වෙරළබඩ විසූ ආදි මානවයන්, රටේ කඳුකරයට ආ-ගිය අතරමැදි කඳවුරක් වැනි තැනක්. වලවේ ගඟ පහළ නිම්නයේ හුංගම, මිණිඇතිලිය ගමෙන් 2008 වසරේ දී හමුවූ ‘මැණික් හාමි’ අදින් වසර 4000ක් පැරණි කෙනෙක්. ඔහුගේ සනුහරේ අය මැටි පබළුවලින් හැදූ ‘මාල’ පළඳා තිබුණා. බූන්දල පල්ලේමලල ප‍්‍රදේශයෙන් ද වසර 3310ක් පැරණි මානව ජනාවාස හමු වුණා. 2009 වසරේ මහාචාර්ය රාජ් සෝමදේවයන්, ඇඹිලිපිටියේ ‘රංචමඩමේ’ කළ කැණීම්වලින් අදින් වසර 3368ක් පැරණි මානව ජනාවාසයක් මතුකර ගත්තා. මැටියෙන් නිම කළ ආදාහනාගාර භාවිතය, ආභරණ පැළඳීම එහි විසූවන්ගේ සිරිතක්. එබඳු තවත් ජනාවාසයක් ඔහු වලවේ ඉහළ නිම්නයේ හල්දුම්මුල්ලෙනුත් සොයා ගත්තා. ඉන් යකඩ භාවිතය ගැන පවා සාධක ලැබුණා. වලවේ ගඟ මෝයෙනුත් 2008 දී ආදි මානව ඇටසැකිල්ලක් හමු වුණා. ‘ලූවිස්’ නමැති විද්වතෙක්, 1910 දශකයේ දී මාතර දිස්ත‍්‍රික්කයේ ‘ඌරුමුත්ත ගල් ලෙන’ කැණීම් කරලා ආදි මානව ජනාවාසයක් සොයා ගත්තා. පුරාවිද්‍යාඥයන් කියන හැටියට, යාල වනයේ මිනිහාගල්කන්ද ඉසව්වෙන් හමු වන මානව ජනාවාස සාධක අදින් වසර 1,25,000ක් පැරණියි.
 

තවම ගාලූ-මාතර යන දිස්ත‍්‍රික්කවලින් ආදි මානව ජනාවාස ගැන පැහැදිලි සාධකයක් ලැබිලා නෑ. ඇතැම් විට ඔය කියන කාලේ මේ ප‍්‍රදේශ මානව පරිසරයකට නො ගැලපුණා වෙන්නත් පුළුවන්. ඒත් රුහුණේ අතීතය ගැන මේ සියල්ලෙන්ම පැවසෙන්නේ කුමක් ද? රුහුණ ආදි මානව යුගයේ පටන්ම ජනාවාසව පැවති බවයි.
 

ආචාර්ය සිරාන් දැරණියගල මහතා 1969 වර්ෂයේ කළ කැණීම් අනුව, ක‍්‍රි. පූ. 900 දී, (එනම් අදින් වසර 2900කට ඉහත) අනුරාධපුරය දියුණු නගරයක්. ඊට අමතරව ප‍්‍රාග් ඓතිහාසික මානව ජනාවාස සාධක ද හමු වුණා. ආචාර්ය නිමල් පෙරේරා මහතා 2001 වසරේ දී තිස්සමහාරාමයේ ‘සඳගිරි සෑය’ කැණීම් කළා. එහි දී ද ප‍්‍රාග් ඓතිහාසික මානව ජනාවාස හමු වුණා. ඒ සමගම අනුරාධපුරයේ මෙන්, ක‍්‍රි. පූ. 900 කාලයට අයත් දියුණු ජනාවාසයක සාධක  ද හමු වුණා. මහාචාර්ය රාජ් සෝමදේව මහතා, තිස්සමහාරාම ප‍්‍රදේශයේ ‘තඹරවැව’ නමැති ස්ථානයේ කළ කැණීමකින් ද ක‍්‍රි. පූ. 900 කාලයට අයත් ආදි මානව ජනාවාසයක් සොයා ගෙන තිබුණා. මේවායෙහිි තේරුම වන්නේ අනුරාධපුරය සහ තිස්සමහාරාමය යනු, එකම වකවානුවේ, එකට බිහි වූ මානව ජනාවාස වන බවයි. රට මධ්‍යයේ සහ රටේ දකුණුකරයේ පැවතිය ද, මේ ජනාවාස දෙක සමකාලීනයි. ඒවා අදින් වසර 2900ක් පැරණියි.
 

ආර්්‍යය සංක‍්‍රමණ සහ රුහුණ
බලංගොඩ මානවයන් විසූ කාලය, ජනප‍්‍රිය ව්‍යවහාරයේ දී හැඳින්වෙන්නේ ‘ගල් යුගය’ නමිනුයි. එහි අදහස වන්නේ, ‘ආදි මානවයන් දඩයමින් සහ වනජ ද්‍රව්‍ය රැස් කිරීමෙන් ජීවත් වූ සමය’ යන්නයි. සාමාන්‍යයෙන් ගල් යුගයෙන් පසුව මනුෂ්‍යයන්, යකඩ, සහ මැටි බඳුන් තැනීම ආදිය සහිත ‘කෘෂිකාර්මික යුගයකට’ එළඹෙනවා. එය ‘නව ශිලා යුගය’ යනුවෙන් හැඳින්වෙනවා. එහෙත් ලංකාවේ තවම ‘නව ශිලා යුගයක්’ ගැන ප‍්‍රමාණවත් තරම් සාධක හමුවී නෑ. එබැවින් ලංකාවේ ගල් යුගයේ අවසානය සහ නව ශිලා යුගයේ ආරම්භය කෙසේ වී ද? යන්න, මහත් කුතුහලය දනවනවා. එය ඇත්තටම පරිවර්තන අවධියක්. ඒ ගැන සාධක නෑ. ආචාර්ය සිරාන් දැරණියගල මහතා ඇතුළු පර්යේෂකයන් කියන්නේ, ලංකාවේ ගල් යුගය ගෙවී ගෙන යද්දී, යකඩ තාක්ෂණය සහ මැටි බඳුන් තැනීම ආදිය දත් අය කෙලින්ම ඉන්දියාවෙන් අපේ රටට සංක‍්‍රමණය වන්නට ඇති බවයි. එය ‘පූර්ව ඓතිහාසික  යකඩ යුගය’ කෙලින්ම ලංකාවට සංක‍්‍රමණය වීමක් ලෙසත් සැලකෙනවා. මේක නව යුගයක්. පෙරළියක්.
 

සිරාන් දැරණියගල මහතා 1969 වර්ෂයේ අනුරාධපුරයේ කළ කැණීම්වලින්, යකඩ තාක්ෂණ භාවිතය, මැටි බඳුන් තැනීම සහ භාවිතය, වී වගාව, අශ්වයන් ඇතුළු සත්ත්ව පාලනය ආදී සාධක ලැබුණා. ඒවා ක‍්‍රි. පූ. 900ට අයත්. ඒ කාලයටම අයත් සාධක, තිස්සමහාරාමයේ සඳගිරි සෑයෙනුත් ලැබුණා. මේ මුල් කාලීන ආර්්‍යය ආගමනයයි. පුරාවිද්‍යා චක‍්‍රවර්ති, පූජ්‍යය එල්ලාවල මේධානන්ද හිමියන් පවසන අන්දමට, ඉන්දු ආර්්‍යය සංක‍්‍රමණ සමයේ දී වලවේ ගඟ පහළ නිම්නයේ ද මානව ජනාවාස ඇති වුණා. එය   ක‍්‍රි. පූ. 543-විජයාගමනයේ දී සිදු වූවක්. මා සිතන ආකාරයට, ක‍්‍රි. පූ. 900 වැනි සියවසෙන් පටන් ගෙන, විජයාගමනය දක්වා වූ කාලය, ලංකාවේ ජන ශිෂ්ඨාචාරයේ ‘කඩයිමක්’ හෝ ‘නව යුගයක බිහි වීම’ පෙන්නුම් කරනවා. පැරණි රුහුණේ ප‍්‍රාග් ඓතිහාසික ජනාවාස යුගයෙන් පසුව, තිස්සමහාරාමයේ සඳගිරි සෑයේ කැණීමෙන් ද පෙනී යන්නේ, එය අලූත් යුගයක, අලූත් ශිෂ්ඨාචාරයක සරුසාර ඇරඹුමක් බවයි.
 

ජයතිස්සයන් සිය කෘතියේ සඳහන් කරන රුහුණේ  අලූත් අවුරුදු සිරිත්, ඉබේ පහළ වූවා නොවෙයි. ඒ අලූත් මානව සංස්කෘතිය, අදින් වසර 48,000ක් පැරණි බලංගොඩ මානව යුගයේ පටන්, පූර්ව ඓතිහාසික යකඩ යුගය මෙන්ම, සඳගිරි සෑය සහ තඹරවැව කැණීමෙන් මතු වූ (ක‍්‍රි. පූ. 900) දියුණු ශිෂ්ඨාචාරය ඔස්සේ ද අඛණ්ඩව විකාශනය වූවක්. ඒ කිසිවක්  ඕපපාතික නොවෙයි. එය එතැනින් ද නැවතුණේ නෑ. රුහුණේ අලූත් ශිෂ්ඨාචාරය නාවික වෙළෙඳාම් ඔස්සේ ද පැතිරී ගියා.
 

වෙළෙඳ නාවික ශිෂ්ඨාචාරය
පැරණිි රුහුණට ඉතා විශිෂ්ඨ වරාය සහ නාවික වෙළෙඳ ශිෂ්ඨාචාරයක් තිබුණා. ක‍්‍රි. පූ. 02-03 වැනි සියවස්වල පටන් රටේ ක‍්‍රියාත්මක වූ ප‍්‍රධාන වරාය තුනෙන් දෙකක්ම රුහුණේ. එකක් ත‍්‍රිකුණාමලයේ මහවැලි ගඟ මෝයේ, ‘ගෝකණ්ණ’වරාය. අනෙක, අම්බලන්තොට වලවේ ගඟ මෝයේ ‘ගොඩවාය’ වරාය. ඒවාට අමතරව මඩකලපුවේ ‘පල්ලවංක වරාය’ ද, කිරින්දේ ද, වැලිගම ද, ගාල්ලේ ද, දොඩන්දූවේ ද, බේරුවල ද පැරණි වරාය පැවතුණා. වලවේ ගඟ ඉහළ නිම්නයේ-හතරබාගේ ප‍්‍රදේශයේ දී ස්වයංක‍්‍රීය ස්වාභාවික සුළං උදුන් ආධාරයෙන් උණුකර ගත් වානේ සහ යකඩ, ඒ කාලයේ සිරියාවේ ‘දමස්කස්’ නුවරට යවා තිබෙනවා. එය සිදු වූයේ ක‍්‍රි. පූ. 02-03 වැනි සියවස්වලයි. රුහුණට රෝම අධිරාජ්‍යය සමග ද සබඳතා පැවති බව, මහාචාර්ය ඔස්මන් බෝපෙආරච්චි මහතාගේ පර්යේෂණ මගින් හෙළි වුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ‘කාවා ව්‍යාපෘතිය’ යටතේ තිස්සමහාරාමයේ කළ කැණීම්වලින් ක‍්‍රි. පූ. 03 වැනි සියවසට අයත් නාවික වෙළෙඳාම් අවශේෂ හමු වුණා. ඒ අතර 2008 වසරේ දී  ‘වී’ මුට්ටියක් ද හමු වුණා. රුහුණ ධන ධාන්‍යයෙන් මෙන්ම, විදෙස් වෙළඳාමෙන් ද සජ්ජිතව පැවති බව ඉන් ඉඟි කෙරෙනවා. ගොඩවාය මුහුදෙන් හමු වූ දැවමය නෞකාවේ නටබුන්, ක‍්‍රි. පූ. 03 වැනි සියවස තරම් පැරණියි.
 

රට ඇතුළතින් ඉපැයූ ඇත් දළ, මැණික්, යකඩ, ගම්මිරිස් ඇතුළු කුළුබඩු ආදී වෙළෙඳ ද්‍රව්‍ය, මේ වෙළෙඳ නාවික ශිෂ්ඨාචාරය ඔස්සේ එතෙර යැවුණු බව කිව හැකියි.
 

වර්ෂ 1505න් පසුව එළඹි යටත් විජිත පාලන සමයත් සමග රුහුණ තරමක් ඇද වැටුණු බව ඇත්තයි. එහෙත් රුහුණේ වැස්සන් තම දෑ අභිමානයත්, අනන්‍යතාවයත් හැකි පමණ රැක ගෙන, අලූත් තත්ත්වයට ගැලැප්පුණු බව පේනවා. රුහුණට අනන්‍ය වූ සංස්කෘතික ක‍්‍රියාවලියක් අදත් නො නැසී ඉතිරිව තිබීම, ඊට හොඳම සාක්ෂියක්. ජයතිස්ස අද අපට ගෙන එන රුහුණේ අලූත් අවුරුදු සිරිත් ද ඉන් එක් කොටසක් බව කිව යුතුයි.
 

මා යෝජනා කරන්නේ රුහුණේ සංස්කෘතික අනන්‍යතාව, ආදි මානව සමයේ පටන්-යම් යම් දුක් ගැහැට මධ්‍යයේ වුව ද අඛණ්ඩව පැවත ආ එකක් බවයි. එය මා කලින් කීවාක් මෙන්,  ඕපපාතික නෑ.
 

ජනපද ව්‍යාපාර
පැරණි රුහුණ අති විශාල භූමි පරාසයක්. එබැවින් කතුවරයා සිය පෑනට හසුකර ගන්නේ, බෙන්තර ගඟේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ වත්මන් දකුණු පළාත පමණයි. දිස්ත‍්‍රික්ක තුනක තුනක ජන සංස්කාතික කාරණා පිළිබඳ ගවේෂණය කිරීම පවා ඉතාමත් බරසාර කටයුත්තක්. ඉතින් ජයතිස්සයන් ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත‍්‍රික්ක තුන පමණක් සිය කෘතියට තෝරා ගැනීම ගැන අපට තේරුම් ගත හැකියි. එහෙත් මෙහි සුවිශේෂ තත්ත්වයන් ඇති බව  අමතක කළ නො හැකියි. මා මේ කාරණය  ඔබට පැහැදිලි කරන්නම්.
 

වර්ෂ 1952 දී වැල්ලවායේ හඳපානාගල වැව හැදෙනවා. 1956 දී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ බඳගිරිය ජලාශය හැදෙනවා. 1949 වසරේ දී අම්පාරේ ගල් ඔය ජලාශය ඇරඹෙනවා. එය මෑත ඉතිහාසයේ කෙරුණු ප‍්‍රථම මහා ගොවි ජනපද ව්‍යාපාරයයි. ඉන් පසුව 1961 දී වලවේ ව්‍යාපාරය යටතේ උඩවලවේ ජලාශය බැඳෙනවා. 1985 දී ලූණුගම්වෙහෙර ජලාශය හැදෙනවා. 1950 දශකයෙන් ඇරඹුණු දශක තුනක් තුළ මුළු රුහුණම කිසියම් ගොවි ජනපද ක‍්‍රියාවලියකින් වෙළී යනවා. අලූත් නගර බිහි වෙනවා. ඒ සමගම නිල නො වන, අනවසරයන් වශයෙන් ද අලූත් ගොවිතැන් වැඩ ඇරඹෙනවා. මේ නිල-නො නිල අලූත් ගොවි ජනපද ක‍්‍රියාවලියට ජනපදිකයන් ඇදී ආවේ කොහෙන් ද? මා අසා ඇති ආකාරයට, නිල්වලා ගඟ නිම්නයෙන් හට ගත් ජනගහණ තෙරපුම ඇඹිලිපිටිය, හම්බන්තොට, වැල්ලවාය, මොණරාගල ඔස්සේ ගල් ඔය දෙසට තල්ලූ වී ගියා. මේක එක්තරා ජන සංක‍්‍රමණයක්. හරියට බි‍්‍රතාන්‍ය පාලන සමයේ ගාලූ-මාතර මිනිස්සු ‘සිංහලේ ගියා’ වගේ. ඔවුන් නිල්වලා නිම්නයෙන් ඇරඹී ඈත රුහුණට පැතිරී ගියා. දොඩන්දූව, බේරුවල සහ වැලිගම වරාය පැවති කාලයේ ද, නැව් මගින් රටේ නැගෙනහිර පෙදෙස්වලට ගමන් බිමන් තිබුණා.
 

ඔවුන් නිකම්ම එහි ගියා නොවෙයි. ගිං, නිල්වලා, වලවේ, කිරිඳි ආදී ගංගා නිම්නවල පැවති ජන ස්ංස්කෘතිය ද ඔවුන් නව ජනපදවලට අරන් ගියා. මෙය ඉතා විශාල සංස්කෘතික සංක‍්‍රමණයක්. මේ අදත්, අම්පාර-මාතර, මොණරාගල-මාතර, අම්පාර-ගාල්ල, මොණරාගල-ඇඹිලිපිටිය, මොණරාගල-වලස්මුල්ල, ඇඹිලිපිටිය-මාතර, ඇඹිලිපිටිය-මිද්දෙණිය ආදී බස් සේවාවලට අති විශාල මගී සංඛ්‍යාවක් සිටීම ඊට සාක්ෂියක්. ඔවුන්ට ඒ බස් සේවා නැතිව බෑ. විශේෂයෙන්ම සිංහල අලූත් අවුරුදු සමයට නිල්වලා නිම්නයට නෑගම් හෙවත් මුල් ගම් බලා යන අධික ජන පිරිස් දැකිය හැකියි. සමහරු දරුවන් ලැබීම පිණිස ද මුල් ගම් බලා එනවා. මේක ඔවුන්ගේ මුල් පිළිබඳ කාරණයක්.
 

මා මෙයින් කියන්නට යන්නේ, පැරණි රුහුණට අයත් පහළ ඌවෙන් එහා නැගෙනහිර දිගට වෙසෙන ජනයා අතර, නිල්වලා, වලවේ ආදී ජන නිම්නවලට අනන්‍ය වූ සංස්කෘතික ශේෂයන් පවතින බවයි.
 

පෙරළි තුනක්
පැරණි රුහුණ ගත් විට ජන පෙරළි තුනක් හඳුනා ගත හැකියි. ඉන් පළමුවැන්න වන්නේ, ඉන්දියාවෙන් පැමිණි ‘පූර්ව ඓතිහාසික යකඩ යුගය’, කෙලින්ම අදින් වසර 48,000ක පටන් ලංකාවේ පැවති ‘ගල් යුගය’ මත පතිත වීමේ පෙරළියයි. ලංකාවේ මිනිසුන් අදින් වසර 34,000කට ඉහත දී ගින්දර භාවිතය සොයා ගෙන තිබුණා. ඒ සාධක හමු වුණේ බුලත්සිංහල පාහියන් ලෙනේ කළ පර්යේෂණවලිනුයි. ඒ කාලේ එහි විසූවන් දඩ මස් හෝ වනජ ආහාර පුළුස්සා අනුභව කරන්න ඇති. ඉන් පස්සේ අදින් වසර 2900-3000 පමණ කාලේ, ‘පූර්ව ඓතිහාසික යකඩ යුගය’, කෙලින්ම ඉන්දියාවෙන් ලංකාවට පතිත වෙනවා. වී ගොවිතැන, සත්ත්ව පාලනය, යකඩ භාවිතය සහ මැටි වළංවල උයා කෑම වැනි අලූත් ශිෂ්ඨාචාරයක ලක්ෂණ එයින් ඇරඹෙනවා. අපි අද අලූත් අවුරුද්දේ නැකතට ගිනි මොළවා, නැවුම් වළඳක කිරිබතක් පිස ගැනීමේ සිරිතක් පවත්වනවා. මේ සංකේතවත් කරන්නේ කුමක් ද? ආදි මානවයා ගින්දර සොයා ගැනීමේ ජයග‍්‍රහණයත්, ඔවුන් අලූත් ශිෂ්ඨාචාරයකට පිවිසී මැටි වළංවල උයා කෑමට පුරුදු වූ විජයග‍්‍රහණයත් ඉන් සංකේතවත් වෙනවා කියා මා සිතනවා.
 

රටේ හටගත් දෙවැනි පෙරළිය, බි‍්‍රතාන්‍ය පාලකයන් කන්ද උඩරට අල්ලා ගැනීමෙන් පසුව හට ගත් කැරලි ඇතුළු සිද්ධි මාලාවයි. එයින් ‘සිංහලේ යාම’ නම් ජන සංක‍්‍රමණ පිළිවෙත ද ඇති වුණා. තුන් වැන්න, 1950 දශකයේ පටන් ඇති වුණු ගොවි ජනපද ව්‍යාපාර සමූහයයි. මේ සියලූ අවස්ථාවල දීම රුහුණේ ජන සමාජය දැඩි වෙනස්කම්වලට මුහුණ දෙන්නට ඇති. ඒ සමගම සංස්කෘතික කාරණා ද අලූත් තත්ත්වයන්ට ගැලැප්පෙන්නට ඇති.
 

රුහුණේ ජීවන ක‍්‍රියාවලිය
රුහුණේ ජීවන ක‍්‍රියාවලියෙහි ප‍්‍රධාන කොටස් තුනක්  හඳුනා ගන්න පුළුවන්. ඉන් එකක්, රට ඇතුළත පැවති වී, අනෙකුත් ධාන්‍ය සහ හේන් වගාව හා බැඳුණු කෘෂිකාර්මික ක‍්‍රියාවලියයි. අනෙක, සමුද්‍රය හා බැඳුණු වෙළෙඳ නාවික සහ ධීවර ක‍්‍රියාවලියයි. රුහුණේ විවිධ ප‍්‍රදේශවලින් වරින් වර හමු වූ විදේශීය කාසි සම්භාරය ඊට සාක්ෂි සපයනවා. ආහාර සුරක්ෂිතතාවෙන් පිරිපුන්, සමෘද්ධිමත් ජන සමාජයක මහේශාක්‍ය ලක්ෂණ එයින් ඉස්මතු වෙනවා. තුන් වැනි කාරණය වන්නේ, ඒ සියල්ල බෞද්ධාගමික පසුබිමක් හා බද්ධ වී පැවතීමයි. ඒ ගැන අමුතුවෙන් නිදසුන් සැපයිය යුතු නෑ. නිල්වලා පහළ නිම්න වැසි ගොවීන්, අදත් ‘මා වී’ සලකන්නේ ‘බුද්ධ බෝගය’ යනුවෙනුයි. ඔවුන් බුදුන් නො වැඳ, මා වී බැත සුළං කරන්නට ‘මුඩේට’ නගින්නේත් නෑ.
 

කෘෂිකර්මාන්තය යනු සූර්්‍යයාගේ ආලෝකය සහ උණුසුම පදනම්කර ගත් ‘යල-මහ’ ක‍්‍රියාවලියක්. අතීත නාවික කර්මාන්තය ද මෝසම් සුළං ධාරා මත පදනම් වුණා. මේ කාරණා දෙකම රුහුණේ සිංහල අවුරුද්දට සම්බන්ධයි. සිංහල අවුරුද්ද ඇත්තටම හිරු දෙවිඳුන් පිළිබඳ ජන උත්සවයකැයි කියා මට සිතෙනවා. හිරුගේ බැල්ම, ධාන්‍ය හෙවත් ආහාර, මෝසම් සුළං අදත් අපට අවශ්‍යයයි. ජයතිස්ස මේ කාරණය, ‘බක්’ යන පදය යනු ‘බත්’ යන්නෙහි විකාශනයක් ලෙසින් විග‍්‍රහ කරනවා. එය හරිම අරුත්බරයි. මට සිතෙන්නේ, හිරු දෙවියන්ගේ අවුරුදු සැරිය යනු වී ශෂ්‍යයෙහි අසිරිය වන  බවයි.
 

සියල්ල මැකී යන සමයක, අවුරුදු සිරිත් ඔස්සේ රුහුණ උලූප්පා දුන්නාට ජයතිස්සට හද පත්ලෙන්ම ප‍්‍රශංසාව හිමි වෙනවා.
-ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර
2015/12/15.







No comments:

Post a Comment