Total Pageviews

Sunday, December 20, 2015

එංගලන්තයේ කුමාරයෙකු වෙනුවෙන් හැදූ මිහිරිපැන්නේ පිංතාලිය



එංගලන්තයේ කුමාරයෙකු වෙනුවෙන් හැදූ
මිහිරිපැන්නේ පිංතාලිය





(සටහන සහ ඡායාරූප-නන්දසිරි වැලිගමගේ-ගාල්ල)
පැරණි පිංතාලිය වනාහි අපේ කෞතුක වස්තුන් විශේෂයකි. එය ඈත අතීතයේ පයින් ගමන් බිමන් ගිය යුගවල දී, අතරමග යන එන්නන්ගේ දිය පවස නිවා ගැනීම සදහා අම්බලන්වල හෝ එවන් වෙනත් ස්ථානවල තනා තිබිණි. පයින් ගමන් ගිය අතීතයේ අම්බලම් මෙන්ම පිංතාලි ද විශේෂයෙන් කැපී පෙනුණි.
  
එහෙත් අද අප මේ හඳුන්වා දෙන පිංතාලිය නම්, ඒ ගණයට වැටෙන්නක් නොවේ. එංගලන්තයේ රාජ කුමාරයකු සිහි වීම පිණිස එය තනා තිබීම, ඊට හේතුවයි. ඒ අන් කවරෙක් හෝ  නොව,  වේල්ස්හි රාජ කුමාරයාණන් සිහි වීම පිණිස . පිංතාලිය ඉදිකර ඇත්තේ අපේ රට, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට නතුව පැවති සමයේ දී ය.

එහි ඒ සඳහා ලියැවී ඇති සිහිවටන ජේදයෙහි මෙසේ දැක්වේ.

, වේල්ස්හි රාජකුමාරයාණන් සිහි වීම පිණිස කරවන ලදී- 1922.3.21.   යනුවෙනි.

පිංතාලිය පිහිටුවා ඇති ස්ථානය ද අති විශේෂ .ඒ හබරාදුව ආසනයේ, මිහිරිපැන්න, ධම්මරතන මහා විද්‍යාල භුමියේ පාසැල් ගොඩනැගිල්ලක් ආසන්නයේම .


මේ පාසැල පිහිටා ඇත්තේ ලේසි පහසු තැනක ද නොවේ. මේ රටේ වර්තමාන සාහිත්‍ය හා සංස්කෘතික මහා පුබුදුවේ, මහා නියමුවකු වූ මහා කවීන්ද්‍ර, මිහිරිපැන්නේ ධම්මරතන නාහිමියන්ගේ මහ පන්සල ඉදිරිපිට ය. නැතහොත් විජයබා මහ පිරුවනින් පසු මෙරට පිහිට වු දෙස් විදෙස් පතල මිහිරිපැන්නේ අරියකර මහ පිරුවන ඉදිරිපිට .

පාසැල ආරම්භ කොට ඇත්තේ 1889 දෙසැම්බර් මස 5 දිනක . ගෙවී ගිය දා එයට වසර 126 ක් සපිරුණි. එහෙත් මේ දිගු  ඉතිහාසය තුළ දැන ගන්නට ඇති තොරතුරු අනුව, පාසැලට, පන්සලට හෝ මිහිරිපැන්න ගමට වේල්සයේ රාජ කුමාරයා සපැමිණ නැත. එසේ නම් මෙවන් සිහිවටන පිංතාලියක් ඉදි කෙරුණේ කවර පදනමකින් ? යන්න, තවම හෙළි නො වුණු ගැටළුවකි.
  

කෙසේ වුව ද මෙවන් සිහිවටන පිංතාලි, රටේ වෙනත් ස්ථානවලත් ඇත් ? යන්න විමසිය යුත්තක් නිසා,   මිහිරිපැන්නේ පිංතාලිය  අපි අද මෙසේ  ප්‍රසිද්ධකර සිටින්නෙමු.

එවන් සිහිවටන පිංතාලි ගැන යමක් දන්නා සහෘදයෙක් වෙත් නම්, මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරත්වා.
2015/12/20.

No comments:

Post a Comment