Total Pageviews

Tuesday, December 1, 2015

තුෂාරගේ අලූත්ම කාව්‍ය නිර්මාණ සංග්‍රහය

මුහුදම කඳුළු බිඳුවකි
තුෂාරගේ අලූත්ම කාව්‍ය සමුච්චය
 



නව පරපුරේ කවියෙකු වන, නීතිඥ තුෂාර ද සිල්වාගේ අලූත්ම නිර්මාණ සංග‍්‍රහය වන ‘මුහුදම කඳුළු බිඳුවකි’ කෘතිය, ළඟදීම එළි දැක්වීමට කටයුතු යොදා තිබේ. ඔහු මෑතක සටහන් කළ කාව්‍ය නිර්මාණ ගණනාවක්ම එයට ඇතුළත්කර ඇති අතර, කෘතියට පෙරවදන ලියා ඇත්තේ ප‍්‍රවීණ කිවියර සෙනරත් ගොන්සල්කෝරාල මහතා විසිනි.
 

තුෂාරගේ ප‍්‍රථම කාව්‍ය නිර්මාණ සංග‍්‍රහය පළ වූයේ ඔහු පාසැල් ශිෂ්‍ය අවධියේ සිටිය දී ය. 1987 වසරේ පළවූ එය ‘කව්මිණිමුතු’ නම් විය. ඉන් පසුව ඔහු 2000 වසරේ දී ‘මුහුදු රළ වගේ’ කාව්‍ය නිර්මාණ සංග‍්‍රහය පළ කළේ ය. 2006 වසරේ ඔහු ‘ඉද්දමලී’ නමින් ළමා ගී සංග‍්‍රහයක් පළ කළේ ය. ඔහු ලියූ ‘පංචායුධ කුමාරයා’ නම් ළමා කතාව 2007 වසරේ පළ කෙරිණි. තුෂාර 2008 වසරේ එළි දැක් වූ ‘ඉගිලෙන කණ කොක්කු’ යොවුන් නවකතාවට, ගොඩගේ යොවුන් සාහිත්‍ය සම්මාන ලැබිණි. ඊට අමතරව ඔහු, ‘මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම්’, ‘සමථ මණ්ඩලය’ සහ ‘බුද්ධිමය දේපල හා ප‍්‍රකාශන හිමිකම්’ යන නීති ග‍්‍රන්ථවල ද කතුවරයා ය.
 

මේ නිර්මාණය උපුටා ගත්තේ ඔහුගේ ‘මුහුදම කඳුළු බිඳුවකි’  කෘතියෙනි.
 

සේකරට
 

ඔබේ දුම් වැටිය
මට දෙන්න සේකර   
 

බලන්න
දිලිසි දිලිසී මා වටේට
එළිය දෙන හැටි
සිගරැට් දුම් රැස් වළල්ල
 

මෙන්න
පොඩි මල්ලිත් ඇවිත්
වක්කඩ ළඟ හිඳ
දණ්ඩි පැටවෙක් අල්ල ගෙන
 

ඔබ හැඩම
කෙහෙරැලි  අවුල් වූ විට
මාත් එහෙමයි
මටත් ඔබ සිහිවෙන්න
හිතේ සතුටක් නැති විට
 

සතුටක් ද දුකක් ද ජීවිතය
දැන සිටියේ ද සේකර ඔබ
ඒත්
දුම්වැටියක් වගෙයි
ගෙවී යයි ගෙවී යයි ජීවිතය
(තුෂාර ද සිල්වා)
2015/12/01.






No comments:

Post a Comment