Total Pageviews

Tuesday, December 22, 2015

දේශීය පාරම්පරික බතකින් පිළිකාවට සහනයක්

රට වේගයෙන් පිළිකා මාරයාට බිළි වෙයි!
දේශීය පාරම්පරික බතකින් පිළිකාවට සහනයක්
 


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
පිළිකා රෝග පිළිබඳ භීතිය, දැන් ඉතා වේගයෙන් ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණය කරමින් සිටින්නේ ය. පිළිකා රෝගීන් සංඛ්‍යාව ඉතා සීඝ‍්‍රයෙන් ඉහළ යාම සහ ඒ ගැන අලූත් තොරතුරු හෙළිදරව් වීම, ඊට හේතුවයි. පිළිකා රෝග මර්දනයෙහි යෙදී සිටින රජයේ සෞඛ්‍ය අංශවල දත්ත නිරීක්ෂණය කිරීමේ දී, දැන් සෑම පැයකට වරක්ම එක් පුද්ගලයෙකු බැගින් පිළිකා රෝගයෙන් මියයන බව පසක් වෙයි. මෙය අපේ ජන සමාජය තිගැස්සෙන සහ භීතියට පත් වන තරම් කාරණාවකි. පිළිකාව, හඳුනා ගන්නේ ද අවසන් මොහොතේ දී ය. ඉන් පසුව ඒ රෝගියාගේ දරු පවුලට අතිශයින්ම දුර්භාග්‍ය සම්පන්න කාල වකවානුවක් එළඹෙයි. ප‍්‍රතිකාර සඳහා අධික වියදමක් දරන්නට වීම සහ ඉන් මුළු පවුලටම හට ගන්නා මානසික කම්පනය, ඔවුන් එවන් දුර්භාග්‍යයකට තල්ලූකර දමන්නට මුල් වෙයි. රෝගී වූයේ පවුලේ උපයන්නා නම්, තත්ත්වය තවත් බරපතල ය!
 

පිළිකා රෝග පිළිබඳ අලූත් කතිකාව කරළියට ආවේ, 2015 වසරේ ඔක්තෝබර් මාසයේ අග භාගයේ ය. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය 2015 ඔක්තෝබර් 29 වැනි දා, ලෝක පිළිකා රෝග ප‍්‍රවණතා සම්බන්ධයෙන් කළ හෙළිදරව්වත් සමගිනි. සකස් කළ මස් වර්ග හෝ රතු පැහැති මස් මාංශ ආහාර බහුලව බුදින අයට, මහා අන්ත‍්‍රයේ (බඩවැලේ) හෝ අධෝ අන්ත‍්‍රවල පිළිකා වැළඳීමේ අවදානමක් ඇති බව ඉන් කියැවිණි. වර්තමානයේ ලංකාවේ මහජනතාව ද සොසේජස් ආදී සකස් කළ මස් වර්ග ද, තෙලෙන් බැද සකස්කර ගත් මස් වර්ග ද, රක්ත වර්ණ මස් වර්ග ද වැඩියෙන් ආහාරයට ගැනීමේ ප‍්‍රවණතාවක් ඇතිකර ගෙන සිටිති. එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන් කාරණය මහත් අවධානයට ලක් විය. පිළිකා වූ කලී, ‘නිහඬ මාරයෙකු’ වන බැවින්, ඒ පිළිබඳ යමක් කතිකා කිරීම වටින්නේ ය.
 
නිහඬ මාරයා
අපේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කළ ‘පිළිකා රෝග නිවාරණය හා මර්දනය සම්බන්ධව ජාතික ප‍්‍රතිපත්තිය හා ක‍්‍රමෝපාය සැලැස්ම-2015’ සහ
zAnnual Health Bullatin-2013Z යන ලියැවිලි, වර්තමාන ලංකාවේ පිළිකා රෝග ව්‍යාප්තිය ගැන තොරතුරු රාශියක් ගෙන එන්නේ ය. එහි සඳහන් දත්ත විමසා බලන විට පෙනී යන්නේ, 1990 දශකයෙන් පසුව ලංකාවේ පිළිකා රෝග ව්‍යාප්තියෙහි කිසියම් කැපී පෙනෙන වර්ධනයක් හට ගෙන ඇති බවයි.
 
ලංකාව පමණක් නොවේ. ලොව රටවල් බොහොමයක් පිළිකා රෝගවල තර්ජනයට මුහුණ දී සිටින්නේ කලක සිට ය. පිළිකා රෝග සම්බන්ධ ලෝක මට්ටමේ අධ්‍යයන අනුව, 2008 වසර වන විට ලොව සිටි පිළිකා රෝගීන් ගණන මිලියන 12.7කි. එය වර්ෂ 2030 වන විට මිලියන 22.2ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ කාරණා පදනම්කර ගනිමින් උපකල්පනයක යෙදෙන සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, 2030 වසර වන විට ලංකාවේ පිළිකා රෝගීන් සංඛ්‍යාව සියයට 78 කින් ඉහළ යාමට ඉඩ ඇති බවයි! එය අතිශයින්ම බරපතල තත්ත්වයකි.
 

අප මේ සටහන ලියන්නේ 2015 දෙසැම්බරයේ අග භාගයේ ය. එහෙත් දැනට ලංකාවේ පිළිකා රෝග සම්බන්ධයෙන් ගොනු වී, ප‍්‍රකාශයට පත් වී ඇත්තේ 2008 හෝ 2009 යන වර්ෂවලට අදාළ තොරතුරු හා සංඛ්‍යා දත්තයන් ය. ඊට අමතරව zAnnual Health Bullatin-2013 වාර්තාවේ එන සංක්ෂිප්ත විස්තර ද ප‍්‍රකාශයට පත්ව තිබේ. ඒ සමගම, 2010 වර්ෂයට අදාළව මහරගම ජාතික පිළිකා විද්‍යායතනයේ දත්ත ද ප‍්‍රසිද්ධියට පත්ව තිබේ. 2015 වසර අග භාගයේ දී වුව ද, අපට රටේ පිළිකා රෝග තත්ත්වයන් ගැන චිත‍්‍රයක් මවා ගැනීමට අවස්ථාව ලැබී ඇත්තේ, මේ ටිකක් පැරණි තොරතුරු ඇසුරිණි.
 
ඒ අනුව 1985 වසරේ දී වාර්තා වූ පිළිකා රෝගීන් සංඛ්‍යාව, රටේ ජනගහණයෙන් ලක්ෂයකට 31.6කි. ඒ අතර, එම වසරේ අලූත් රෝගීන් වාර්තා වීම, ජනගහණයෙන් ලක්ෂයකට 37.6ක් විය. 2008 වසර වන විට එය පුද්ගලයන් ලක්ෂයකට 81.6ක් දක්වා වේගයෙන් ඉහළ නැග තිබුණේ ය.
 
2008 වසරේ දී අලූතින් හඳුනා ගත් පිළිකා රෝගීන් සංඛ්‍යාව 16,511කි. 2009 වසර වන විට රට පුරා වාර්තා වී තිබුණු පිළිකා රෝගීන් සංඛ්‍යාව, 20,450ක් විය. 2013 වසරේ අලූතින් හඳුනා ගත් පිළිකා රෝගීන් සංඛ්‍යාව 25,515ක් දක්වා ඉහළ නැංගේ ය.
 
පිළිකා රෝගවලින් මියයන පිරිස ද ඉහළ ගොස් තිබේ. 2000 වසරේ දී පිළිකා රෝගයට ගොදුරුව මියගිය සංඛ්‍යාව 7842කි. 2009 වසර වන විට එය මරණ 11,286ක් දක්වා ඉහළ නැංගේ ය. එය ජනගහණයෙන් ලක්ෂයකට මරණ 55.2කි.
 
මහරගම ජාතික පිළිකා විද්‍යායතනයේ දත්ත අනුව, 2010 වසරේ එයට ඇතුළු කළ පිළිකා රෝගීන් සංඛ්‍යාව 42, 474කි. ඉන් ලියාපදිංචි පිළිකා රෝගීන් ගණන 11,513ක් විය. එම වසරේ දී රෝගීන් 1744 දෙනෙක් මියගිය අතර, මරණ අනුපාතය සියයට 04ක් විය. මහරගම පිළිකා රෝහල, 2010 වසරේ නව රෝගීන් 11,576 දෙනෙක් ලියාපදිංචිකර ගෙන තිබිණි. 2010 වසරේ දී ඔවුන්ගේ රෝහලට වැඩියෙන්ම රෝගීන් ඇතුළත්ව ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 2105කි. ඊළඟට ගම්පහ (1697) දිස්ත‍්‍රික්කයෙනි. තවත් 950ක් කළුතරින් ද, 707ක් කුරුණෑගලින් ද, 677ක් රත්නපුරයෙන් ද, 504ක් පුත්තලමෙන් ද ප‍්‍රතිකාර පිණිස එහි පැමිණ තිබේ.
 
බිහිසුණු චිත‍්‍රයක්
පිළිකාව වූ කලී දැන් මුළු රටේම රෝහල්වල, ‘දෙවැනි’ මරණීය රෝගයයි. කොළඹ, මහනුවර, ගාල්ල සහ බදුල්ල යන දිස්ත‍්‍රික්කවල පිහිටි ප‍්‍රධාන රෝහල්වල එය ‘අංක එකේ’ මරණීය රෝගයයි! 2013 වසරේ, මහරගම ජාතික පිළිකා විද්‍යායතනයට රෝගීන් 12,689ක් ද, මහනුවර රෝහලට රෝගීන් 3516ක් ද, කරාපිටිය රෝහලට රෝගීන් 2455ක් ද, බදුල්ල රෝහලට රෝගීන් 2203ක් ද, යාපනය රෝහලට රෝගීන් 1061ක් ද, කුරුණෑගල රෝහලට රෝගීන් 1042ක් ද අලූතින් ලියාපදිංචි වී තිබිණි. මේ තොරතුරු අපට කියන්නේ, වර්තමානයෙහි පිළිකා රෝගය රට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් යන බවයි.

හෘද රෝග සහ වකුගඩු රෝග මෙන්ම පිළිකා රෝග ද සුවිශේෂ තත්ත්වයේ මාරාන්තික රෝග බව කවුරුත් දනිති. රෝගය උත්සන්නව, රෝගියා මිය යන්නේ තනිවම නොවේ. ඔහුගේ දරු පවුලම ශෝකයෙන් මෙන්ම ආර්ථික ගැටළුවලින් ද උපරිමයට හෙම්බත්කර, මානසිකව ද ඝාතනය කරවමිනි! පිළිකා රෝගය පිළිබඳ හෙළිදරව් වන දත්ත, රට වැසියන්ට මවා දෙන්නේ බිහිසුණු චිත‍්‍රයකි!
 
2001 වසරේ පිළිකා රෝගවලින් මියගිය පිරිමින් සංඛ්‍යාව, රටේ ජනගහණයෙන් පුද්ගලයන් ලක්ෂයකට 46.7ක් විය. එය 2009 වසරේ 60.2ක් දක්වා ඉහළ නැංගේ ය. 2001 වසරේ පිළිකා රෝගවලින් මියගිය කාන්තාවන්ගේ සංඛ්‍යාව, රටේ ජනගහණයෙන් පුද්ගලයන් ලක්ෂයකට 39.1ක් විය. 2009 වසරේ එය 50.3ක් දක්වා ඉහළ ගියේ ය. අලූතින් වාර්තා වන රෝගීන් ගෙන් ද පුද්ගලයන් ලක්ෂයකට 62.7ක් පිරිමින් ය. 79.0ක් කාන්තාවන් ය. මෙහි තේරුම වන්නේ, පිළිකා රෝග වැළඳීම අතින් කාන්තාවන්ගේ තත්ත්වය වඩාත් අවදානම් තලයක තිබෙන බවයි. සෞඛ්‍ය බලධාරීන් පවසන අන්දමට, පිළිකා රෝගීන් අතර කාන්තා ප‍්‍රතිශතය ඉහළ ගොස් ඇත්තේ පියයුරු පිළිකා හේතුවෙනි. 2009 වසරේ වාර්තා වූ සමස්ත පිළිකා රෝගීන් ගෙන් 10,148 දෙනෙක්ම පිරිමින් ය. 10,302 දෙනෙක්ම ගැහැණුන් ය.
 

ළමා පරපුරේ අවදානම
2001 සහ 2006 යන වර්ෂවල පිළිකා රෝග දත්ත පදනම්කර ගනිමින්, ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් පිළිකා රෝග වර්ගීකරණයක් ඉදිරිපත්කර තිබේ. ඒ අනුව, ලංකාවෙන් වැඩිපුරම අසන්නට-දකින්නට ලැබෙන පිළිකා රෝග 10ක් දක්වා ඇත. ඒවා නම්, පියයුරු, මුඛ, ගලනාල, ගැබ් ගෙළ, පෙනහළු, තයිරොයිඞ්, ඩිම්බ කෝෂ, මහා බඩවැල සහ අධෝ බඩවැල, ලිම්පෝමා සහ ලියුකේමියා යන පිළිකා රෝග තත්ත්වයන් වෙති.
 
2009 වසරේ දත්ත  අනුව, වයස අවුරුදු 14 දක්වා පිරිමි ළමුන්ට බහුලව වැළඳෙන පිළිකා රෝග දෙක වන්නේ ලියුකේමියා (සියයට 44.2)සහ ලිම්පෝමා (සියයට 12.1) යන රෝගයන් ය. එම වයස් කාණ්ඩයේම ගැහැණු ළමුන්ට වැඩියෙන්ම වැළඳෙන පිළිකා රෝගය ලියුකේමියා වන අතර, එය සියයට 39.4ක ප‍්‍රතිශතයක් වේ. ඊළඟ රෝගය, මොළයේ පිළිකා ය. එහි ප‍්‍රතිශතය සියයට 10.9කි. ලංකාවේ ළමා පරපුර, ඉතා බරපතල ලෙස ලියුකේමියා, ලිම්පෝමා සහ මොළයේ පිළිකාවලට ගොදුරු වෙමින් යන බව, මින් අපට කියාපාන කාරණයයි.
 

සෞඛ්‍ය බලධාරීන්ගේ තොරතුරු අනුව, පිළිකා රෝග මේ තරම් බහුල වීම කෙරෙහි බලපාන කරුණු ගණනාවකි. රටේ වැඩිහිටි ජනගහණය ඉහළ යාම සහ මහජනයා අපරදිග රටවල ජීවන රටාවට හුරු වීම යන කාරණා ඉන් ප‍්‍රධාන ය. වත්මන් ජනතාවගේ ශාරීරික ක‍්‍රියාකාරිත්වයන් ද අඩු ය. බොහොම දෙනෙක් මේද බහුල මෙන්ම කැලරි අධික ආහාර වැඩියෙන් ගැනීමට පුරුදුව සිටිති. ඉන් ශරීර බර වැඩි වී, ස්ථුලතාවය හට ගනී. සෑහෙන පිරිසක් දුම්වැටි සහ මධ්‍යසාර භාවිතයට පුරුදුව සිටිති. මෙබඳු අහිතකර තත්ත්වයන් නිසා පිළිකා රෝග වැඩියෙන් ව්‍යාප්ත වීමට මග පෑදේ. අලූතින් වාර්තා වන පිළිකා රෝගීන් සංඛ්‍යාව, වසරින් වසර ඉහළ යන්නේ එබැවිනි.
 
පිළිකා රෝග වැළඳීම කෙරෙහි බලපාන තවත් කාරණයක් තිබේ. සෞඛ්‍ය බලධාරීන්ගේ වාර්තාවල ඒ ගැන යම් සඳහනක් නැති බව නම් ඇත්ත ය. එහෙත් ජනතාව ගෙන් බොහොම දෙනෙක් කල්පනා කරන්නේ, නවීන රසායනික ගොවිතැන ඔස්සේ මහ පොළොවට, පානීය ජලයට සහ ආහාර බෝගවලට එක් වන බැර ලෝහ සහ අනෙකුත් රසායනික ද්‍රව්‍යය ද, පිළිකා ව්‍යාප්තියට ප‍්‍රබල හේතුවක් වන බව ය. පිළිකා රෝග පිළිබඳ අතීත දත්ත පිරික්සන විට එක්තරා කාරණයක් පැහැදිලිව පෙනී යයි. එනම්, නවීන රසායනික ගොවිතැන ව්‍යාප්ත වීමත් සමගම, පිළිකා රෝග තත්ත්වයන් ද කෙමෙන් උත්සන්න වූ බව ය!
 
අලූත් ආලෝකයක්
කෙසේ වෙතත්, පිළිකා රෝග නිවාරණය සඳහා 2011 වසරේ කෙරුණු දේශීය පර්යේෂණයක් මගින් යම් ආලෝක දහරක් මතුකර ගෙන තිබේ. කාර්මික තාක්ෂණ ආයතනය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කළ පර්යේෂණය මගින් හෙළිකර ගත් කාරණා අනුව, පිළිකා රෝග නිවාරණය සඳහා ලංකාවේ දේශීය පාරම්පරික සහල් වර්ගවලින් යම් පිහිටක් ලැබිය හැකි ය. ‘ශ‍්‍රී ලංකාවේ පාරම්පරික සහල් වර්ග කිහිපයක ගුණාංග’ යනුවෙන් ඔවුන් නිකුත් කළ කුඩා ග‍්‍රන්ථයක, මේ බව සඳහන්කර ඇත. ඔවුන් කළ පර්යේෂණයට, දේශීය පාරම්පරික සහල් වර්ග 25ක් අධ්‍යනයකර ඇති අතර, ඒවායෙහි ගුණාංග විද්‍යාත්මකව පරීක්ෂාකර තිබේ. පර්යේෂණය පැවැත් වූයේ, ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර මහතාගේ අධීක්ෂණයෙනි.
 

ඔවුන් සඳහන් කරන අන්දමට, කලූ බාල වී, පච්චපෙරුමාල්, රත් සුවඳැල් සහ කලූ හීනැටි යන සහල් වර්ගවල ‘ප‍්‍රති ඔක්සිකාරක’ ගුණය වැඩි ය. එබැවින් ඒවා ආහාරයට ගැනීමෙන් පිළිකා සහ හෘද රෝග වැනි බෝ නො වන රෝග පාලනය වේ!
2015/12/18.

No comments:

Post a Comment