Total Pageviews

Friday, December 25, 2015

මාතෘ භූමියට හැබෑවටම පෙම් බැඳ නික්ම ගිය මිනිසෙක්

මාතෘ භූමියට හැබෑවටම පෙම් බැඳ නික්ම ගිය මිනිසෙක්
මහාචාර්ය පී. ඩබ්ලිව්. විතානගේ මහතා පිළිබඳ 
ලෙන්ගතු සමරු සටහනක්
 





(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
නාය යාම්, ගිලා බැසීම් හෝ පස් කඳු කඩා වැටීම්වලට අදාළ සුවිසල් කඳුකර භූමි දර්ශන, ගෙදර සාලයේ ලියන මේසය මතට ගෙන ඒම සම්බන්ධයෙන්, මහාචාර්ය පියදාස විතානගේ සූරීන්ට තිබුණේ කදිම පරිචයකි!
 
‘වර්ෂාව ඇවිල්ලා පොළොව තෙතබරි වෙනවා. ඒක දරා ගන්න බැරි වුණාම බොස්, කඳු බැවුම්වල තියෙන පස් ස්තර පදාස පිටින් පහළට රූටා යනවා’, ඔහු විස්තර කරන්නේ පින්තූර ඇලවූ සුදු බි‍්‍රස්ටල් බෝඞ් දෙක තුනක්ම මේසය මත දිග හරිමිනි.
 
බි‍්‍රස්ටල් බෝඞ් පුරාවට යම් රටාවකට ඇලවූ වර්ණ පින්තූර විශාල සංඛ්‍යාවකි. ඉන් කිසියම් කඳුකර දර්ශනයක් අතිශයින්ම පුළුල් කෝණයකින් අපේ ඇස් හමුවේ දිග හැරෙයි.
 
‘මේ තියෙන්නෙ කැටයාපතන නාය යාම!’
 
බි‍්‍රස්ටල් බෝඞ් මත මැවුණු කඳුකර දර්ශනයේ යම්කිසි කොටසක් මට පෙන්වමින් ඔහු කියයි. එහි කඳුකර භූමිය මෙන්ම පස් කන්ද ගලා ගෙන නාය යාම හට ගත් ආකාරයත් මැනවින් චිත‍්‍රණය වී තිබේ. ඔහුගේ ලියන මේසය අවට එබඳු බි‍්‍රස්ටල් බෝඩ් රෝල් ගණනාවකි. ඒ හැම එකකම ලංකාවේ කොතැනක හෝ කඳුකර භූමි දර්ශනයක් ඇතුළත් ය! එය හරියට මුළු ලංකාවේම කඳුකර භූමි දර්ශන, ගෙදර සාලයට ගෙනාවාක් වැන්න.
 
‘මේ වැඬේට හරියට මහන්සි වෙන්ඩ වෙනවා ඇති නේ ද? සර්’, මම අසමි.
 
‘මහන්සි නොවී වැඩක් කරන්න පුළුවන් ද බොස්? මේක පුරුදුකර ගත්තාම හරිම සරලයි. සීන් එකේ එක පැත්තක ඉඳන් පේ‍්‍රම් එකින් එකට මාජින් තියා ගෙන පින්තූර ටික ගන්නවා. එතකොට අර මුළු දර්ශනයම වයිඩ් ඈන්ගල් එකකින් එනවා’, පිළිතුරු දෙයි. අද මෙන් ‘පොටෝ ෂෝප්’ මෘදුකාංග තනා නො තිබුණු ඒ කාලයේ, එය අනර්ඝෙ ඡායාරූප පාඩමකි.
 
එකල මුළු රටම පාහේ නම ඇසූ පමණින්ම ඔහු හඳුනති. ප‍්‍රකට භූ විද්‍යාඥයෙකු වූ හෙතෙම මහාචාර්ය පී. ඩබ්ලිව්. විතානගේ මහතා ය. අතිශයින්ම චාම් සරල මිනිසෙකු වූ එතුමා භූ විද්‍යාඥයෙකු වශයෙන් පතළව සිටියේ ලංකාවේ පමණක් නොවේ. ඔහු එතෙර රටවල ද මහත් ප‍්‍රසිද්ධියක් ලැබූවෙකි. විතානගේ මහතාගේ විෂය, අප කවුරුත් පය ගසා ගෙන සිටින මහ පොළොව ය. එහි ඇති වන භූමි කම්පා, භූ පැලූම්, නාය යාම්, ගිලා බැසීම්, පස් කඩා වැටීම්, ගිනි කඳු පිපිරීම්, මෙන්ම පොළෝ අභ්‍යන්තරයේ හට ගන්නා විවිධාකාර සංසිද්ධීන් ඔහුගේ විෂය පථයයි. ඔහු නිරන්තරයෙන්ම කතා කරන්නේ ද ඒ ගැන ය. ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක, මුල් වරට භූ විද්‍යා පීඨයක් ආරම්භ කරන්නට පුරෝගාමී වූයේ ඔහු ය. රැකියාවෙන් ඉසිඹුලෑව ද,  මියයන තුරුම ඔහු මහ පොළොව ගැන උගන්වනු පිණිස සරසවි ගියේ ය!
 



දහස් ගණනක් සරසවි සිසුන්ට භූ විද්‍යා ගුරුතුමෙකු වූ එතුමෝ, අංකුර මාධ්‍යවේදියෙකු වූ මගේ ද ඇදුරු තුමෙකි. පාසැල් සමයේ ‘සමාජ අධ්‍යයනය’ විෂය තුළින් පමණක් භූ විද්‍යා කරුණු ඇබින්දක් ඉගෙන ගෙන සිටි මට, මහ පොළොව කියා දුන්නෝ එතුමෝ ය. එබැවින් මෙහි සටහන් කෙරෙන අතීත මතකයන් දිග හරින්නේ මහත් ගෞරවයෙනි.
 
එය මා ‘ලංකාදීපයේ’ සේවයට බැඳුණු 1990 දශකයේ මුල් භාගයයි. අප කර්තෘ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයෙකු වූ නිමල් සමරසිංහයන් දිනක් මට අපූරු වැඩක් පවරා දුන්නේ ය.
 
‘මල්ලී, මේක මම දාගත්තු වැඩක්. ඒත් මට යන්ඩ වෙන්නෙ නෑ. හදිසියේ ගමේ (ඉමදුවට නුදුරු කනංකේ) යන්ඩ වෙලා තියෙනවා. ඔයා නුවර ගිහිල්ලා ප්‍රොපෙසර් විතානගේ හම්බවෙන්ඩ. මම සේරම කියලයි තියෙන්නෙ. කතා කරන්ඩ තියෙන්නේ නියඟ කාලෙට ජල සම්පත් සොයා ගන්න හැටි. ප්‍රොපෙසර් කතාකර ගෙන යයි. ඔයා ප‍්‍රශ්න අහන්ඩ. හරි හොඳ කෙනෙක්. උදේ ටේ‍්‍රන් එකේ ගිහිල්ලා, හවසට කොළඹ එන්ඩ පුළුවන්’, ‘නිමල් අයියා’ කීය.
 
මම ‘හා’ කීවෙමි.
 
එදිනෙදා හමුවන විවිධ ප‍්‍රවෘත්ති වාර්තා කළ ද, නිමල් අයියා යම් යම් විද්‍යාත්මක සහ පාරිසරික කාරණා සම්බන්ධයෙන් ද උනන්දුවක් දැක්වූ කෙනෙකි. ඔහු එකල විවිධ ක්ෂේත‍්‍රවල විද්වතුන් විශාල පිරිසක් සමග ද සබඳතා ගොඩ නගා ගෙන සිටියේ ය. ඒ වන විට මම, මහාචාර්ය පී. ඩබ්ලිව්. විතානගේ මහතා දැන හැඳින සිටියේ නමින් පමණකි. ඔහු සමග සාකච්ඡාකර නිමල් අයියා ‘ලංකාදීපයට’ ලියූ ලිපි කාගේත් සිත් ගත්තේ ය. එබැවින් මට ද ඒ ගැන ඇල්මක් ඇති විය.
 
නියමිත දිනයේ උදේ පාන්දරින්ම කොළඹින් පිටත්ව මහනුවර ගිය මට, මහාචාර්යවරයා මුණ ගැසුණේ තල්වත්තේ පිහිටි ඔහුගේ මනරම් නිවසේ දී ය. දළදා මාළිගයට මදක් නුදුරින්, මහියංගණ පාරේ, තල්වත්තේ පිහිටි එය නම්කර තිබුණේ ‘බ්ලූ ස්ටාර්’ යනුවෙනි.
 
නිවසට ගොඩ වූ සැණින් මහාචාර්යවරයා මා පිළිගත්තේ බොහොම ලෙන්ගතුව ය.
 
‘නිමල් මට විස්තරේ කිව්වා. ප‍්‍රශ්නයක් නෑ. අපි කතා කරමු බොස්’ හෙතෙම සුහදව පැවසී ය.
 
ඔහුගේ නිහතමානී ස්වරූපය මට මහත් පුදුමයක් ඇති කළේ ය!
 
ප‍්‍රධාන පාරෙන් මදක් ඉහළට දිවෙන කුඩා මාවතක කෙළවර වූ බ්ලූ ස්ටාර්, කලකට ඉහත අලංකාර සංචාරක හෝටලයකි. එය එකල, මහාචාර්යවරයාගේ එකම පුතණුවන් විසින් පවත්වා ගෙන ගිය ව්‍යාපාරයක් විය. ඔහු  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචියට ගොස් සිටි බැවින් ඒ වන විට සංචාරක හෝටලය වැසී තිබිණි. එහෙත් මහාචාර්යවරයාගේ නිවසත්, කබානා ඇතුළු හෝටල් ගොඩනැගිලිත් එලෙසම දක්නට ලැබිණි. දැන් එහි ජීවත් වන්නේ මහාචාර්ය විතානගේ මහතා පමණි. මහාචාර්යවරයාගේ බිරිඳ ද වෙසෙන්නේ  ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන සිය පුතු ළඟ ය. දහවලට පැමිණෙන වයස්ගත සේවිකාවක් නිවසෙහි අහාර පිසීම් ආදිය කළ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රියදුරෙකු ද සිටිනු පෙනුණි. 

පත්තරය වෙනුවෙන් කරන කතාබහට පෙර, භූ විද්‍යා විෂය සම්බන්ධයෙන් මා සතු දැනුම කොතෙක් දැයි පිරික්සීමට ද මහාචාර්යවරයා  අමතක නො කළේ ය. ඇත්තටම සාමාන්‍ය පෙළ විභාගයට ඉගෙන ගත් යමක් විනා, අන් කිසිදු භූ විද්‍යාවක් මා දැන සිටියේ නැත. මම බියෙන් බියෙන් ඒ බව ඔහුට කීවෙමි. එවිට ඔහු කියා සිටියේ මගේ දැනුම් මට්ටම ගැන අවබෝධයෙන් සිටීම, සම්මුඛ සාකච්ඡාව නිවැරදිවකර ගැනීමට රුකුලක් වන බවයි. ‘ගණන් ගන්න එපා අයිසේ, මම කියා දෙන්නම්’ මගේ වික්ෂිප්තය තේරුම් ගත් ඔහු හිනැහෙමින් පැවසී ය.
 
මහාචාර්යවරයාගේ නිවස පුළුල් සාලයකින් යුත් ගෘහයකි. එහි මුළු වපසරියම වෙන් වී තිබුණේ භූ විද්‍යාව වෙනුවෙනි! ගල් ගොඩවල්, ලී පෙට්ටිවල දැමූ පස් ගොඩවල්, විශාල ප‍්‍රමාණයේ තිරුවානා ගල්, කහඳ ගල්, ආදී විවිධ ද්‍රව්‍ය රැසක්ම සාලයෙහි ගොඩ ගසා තිබිණි. ඒ සමගම බි‍්‍රස්ටල් බෝඞ් රෝල් රාශියක් ද විය. එය මට නම් මහත් අමුත්තක් ගෙන දුන් දර්ශනයක් වූයේ ය. සාමාන්‍යයෙන් අපේ නිවෙස්වල නම් ගෙදර සාලයේ තබන්නේ පුටු සෙටි, කැබිනට් අල්මාරි, විසිතුරු බඩු, සෝපා ආදියයි. එහෙත් ඔහුගේ නිවසෙහි ඒවා පසෙකටකර, ගල් ගොඩවල් තැන්පත්කර තිබිණි. මහාචාර්යවරයාගේ ලියන මේසය මත පවා තිරිවානා ගල් ගොඩක් විය. එක් කුඩා මේසයක පොත්පත් කන්දරාවක්ම දක්නට ලැබිණි.
 
සියල්ලෙහිම අරුත මට වැටහුණේ ටික වේලාවකට පසුව ය. ඒ ඔහු සිය ආකර්ෂණීය වාග් චාතුර්්‍යයයෙන් මා මන්මත් කොට, මා ද කැටුව මහ පොළොව ඇතුළෙන් චාරිකා කරද්දී ය! ඉතා ගැඹුරු භූ විද්‍යාත්මක කාරණා, අතිශය සරල සිංහලෙන් විස්තර කරමින් ඔහු ‘ලංකාදීපයට’ දුන් සාකච්ඡුාව බෙහෙවින් විචිත‍්‍රවත් විය. මතු පිටින් මනුෂ්‍ය වාසයට මෙන්ම, ගහ කොළ-සතා සීපාවාට ද මනරම් ලැගුම් සහ ජලය, ආහාර ආදිය පිණිස වූ කාරුණික මහ පොළොව, ඇතුළතින් ද කොතරම් විභූතිමත් ද යන්න එයින් මට පසක් විණි! නිවසෙහි රැුස්  කළ සෑම ගල් ගොඩකටම, සෑම පස් ගොඩකටම, කුමක් හෝ අතිශයින්ම විද්‍යාත්මක, භූ ගර්භීය කාරණාවක් ගැට ගැසී තිබුණේ ය!

ප‍්‍රථම හමු වීමෙන් පසුව එතුමාත් මාත් අතර ගොඩ නැගුණේ කදිම මිත‍්‍ර සන්ථවයකි. ඔහු සමග සාකච්ඡාකර සැකසූ පළමු විශේෂාංග ලිපිය ‘ඉරිදා ලංකාදීපයේ පළ වීමෙන් පසුව, එවන් තවත් ලිපි ලියන්නැයි මාගේ ප‍්‍රධානීහු කීහ. එබැවින් අපි දුරකතනයෙන් නිතර නිතර කතාබහ කළෙමු. තල්වත්තේ, බ්ලූ ස්ටාර් නිවසේ දී ද හමු වූයෙමු. ටික කලක් යන විට, මහාචාර්යවරයා  බෙහෙවින් කුළුපග වැඩිහිටි මිතුරෙකු බවට පත් විය. මා වන් කුඩා මාධ්‍යකාරයෙකු එලෙසින් ඇසුරු කිරීමට තරම් එතුමෝ පුළුල් නිහතමානිත්වයකින් සිටීම, පුදුම එළවන සුළු විය.
 
කොළඹ සිට එන සමහර දිනක මා ප‍්‍රමාද නම්, ඔහු සිය රියදුරා සමග මෝටර් රථය මහනුවර දුම්රිය පොළට එවයි. තවත් ඇතැම් දිනයක, ආපසු යන මා දුම්රිය පොළට ඇරලවයි. බොහෝ දිනවල පත්තරයට කෙරුණු සම්මුඛ සාකච්ඡා, ලැබෙන්නේ ද අමුතු විදිහකට ය. මුලින්ම ඔහුගේ ‘බීර’ සංග‍්‍රහයකි. ඊළඟට රාත‍්‍රී ආහාර ය. ඉනික්බිති, අලූයම දෙක-තුන පමණ වන තුරු ඔහු ලංකාවේ භූ විද්‍යා කාරණා කතා කරයි. මම ප‍්‍රශ්න අසමි. එතුමෝ පිළිතුරු දෙති. ඒ අතරතුර, මගේ සටහන් දෙස ද විපරම් කරමින් යම් දෝෂයක් වෙතොත් නිවැරදි කරවති. ලංකාවේ වන නාය යාම්, භූමි කම්පා, කඳුකර ජලාශ, හා භූ පැලූම්, උණු දිය උල්පත්, කොත්මලේ නාය යාම්, එල් නීනෝ නියඟ තත්ත්වය ආදී ඵූ විද්‍යාව සම්බන්ධ බොහෝ කාරණා, අපේ සාකච්ඡාවලට තේමා විය. ඔහු ඒවා විස්තර කරන ආකාරයට නිදිමතක් ද නො දැනෙයි. පින්තූර ඇලවූ බි‍්‍රස්ටල් බෝඞ් පෙරළමින් ඇතැම්  කාරණා විස්තරකර දෙයි.
 
කොත්මලේ ජලාශය ආශ‍්‍රිතව ඇති කොත්මලේ, තිස්පනේ, කඩදොර, කොත්තුණුගොඩ, නියංගන්දොර ආදී ප‍්‍රදේශ, අතීතයේ පටන්ම නාය යාම් සහ පොළොව ගිලා බැසීම් සඳහා ප‍්‍රසිද්ධ ය. වරක් ‘ඉරිදා ලංකාදීපයට’ විශේෂාංග ලිපියක් ලිවීම සඳහා මම එහි චාරිකා කළෙමි. එහි දී බෑවුම් සහිත පෙදෙසක ඇවිදිමින් සිටි අපට, එක් වරම හුරු පුරුදු රුවක් දිස් විය. කැන්වස් තොප්පියක් පැළඳ, සැහැල්ලූ උඩුකය ඇඳුමකින් සැරසුණු තැනැත්තෙක්, තවත් පිරිසක් ද සමග සැරිසරනු ඒ දර්ශනයයි. හේ මහාචාර්ය විතානගේ සූරීන් ය!
 
‘ආ මේ ක‍්‍රිෂ්ණනේ!’ 
මහාචාර්යවරයා මා පිළිගත්තේ ඉතා කුළුපගව ය.
‘මං මේ ළමයිත් එක්ක ෆීල්ඞ් විසිට් එකකට ආවා’, ඔහු පැවසී ය. ඔහු සමග සිටි පිරිවර, පේරාදෙණිය සරසවියේ භූ විද්‍යාව හදාරන සිසු සිසුවියන් ය.
 
මහාචාර්ය විතානගේ මහතා සරසවි ඇදුරුකම කරන අතරතුර, රජයේ විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලට ද උපදේශක දායකත්වය දුන්නේ ය. එසේම ඉදි කිරීම් ක්ෂේත‍්‍රයෙහි ඇතැම් ගවේෂණ සඳහා ද එක් විය. එවන් බාහිර වැඩවල දී සහායකයන් ලෙස එක්කර ගත්තේ තම සිසු කැලයි. ව්‍යාපෘතියෙන් ලැබෙන දීමනා මුදලින්, තම සිසුන්ට ද මුදලක් දීම ඔහුගේ සිරිත විය.
 
දිනක් සවස් කාලයේ දුරකතන ඇමතුමක් දෙමින් මහාචාර්යවරයා පැවසුවේ, හෙට දිනයේ මාත් නිමල් අයියාත් දැකීමට ‘ලංකාදීපයට’ එන බවයි. තමන් යම් කටයුත්තකට කොළඹ එන බවත්, ඒ අතර අප බලන්නට ද එන බවත් ඔහු කීවේ ය.
 
කියූ ලෙසම ඔහු පසුවදා දහවල් කාලයේ ලංකාදීපයට ආවේ ය. නිමල් අයියාත් මමත් ඔහු පිළිගෙන, ලංකාදීප ප‍්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා හමුවට ද කැඳවා ගෙන ගියෙමු. ‘මේ ගොල්ලෝ හොඳට ලියනවා’ යයි ඔහු අපට ප‍්‍රශංසාවක් ද එක් කළේ ය.
 
මහාචාර්ය පී. ඩබ්ලිව්. විතානගේ යයි රටට පතළ වුව ද, ඔහුගේ සම්පූර්ණ නාමය, පියදාස විජේරත්න විතානගේ ය. 1921 වසරේ උපත ලැබූ ඔහු පාසැල් අධයාපනය ලැබුවේ,  ගැටියමුල්ල රජයේ සිංහල පාසැල සහ කොළඹ නාලන්දා යන විද්‍යාලවලිනි. ඉන් පසුව ඔහු වර්ෂ 1941 දී කොළඹ යුනුවර්සිටි කොලීජියට ඇතුළු විය. ඉන් භූගෝල විද්‍යාව පිළිබ`ද බී. ඒ. විශේෂ උපාධිය ලබා ගත්තේ ය. පසුව ඔහු ඇමරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයෙන්, භූ විද්‍යාව හැදෑරූ අතර, වර්ෂ 1957 දී එයින් පී. එච්. ඞී. උපාධිය (ආචාර්ය උපාධිය) ලැබී ය. මහාචාර්ය විතානගේ මහතා, කොළඹ යුනුවර්සිටි කොලීජියේ ද, ලංකාවේ භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද, ඇමරිකාවේ ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ ද සේවයකර තිබේ. වර්ෂ 1960 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවයට ගිය ඒ මහතා, ලංකාවේ පළමුවරට එහි භූ විද්‍යා පීඨයක් ආරම්භ කළේ ය. එතැන් පටන් පර්යේෂණ කිරීමත්, සිසුන්ට ඉගැන්වීමත් ඔහුගේ ජීවන තේමාව බවට පත් විය.
 
විතානගේ සූරීන් කළ පර්යේෂණ ද බොහොමයකි. ඉන් බොහොමයක් ලංකාවේ ධරණිතලය සම්බන්ධයෙන් අතිශය බරපතල සොයා ගැනීම් ය. ලංකා භූමි ප්ලේටය, භූ පැලූම් එස්සේ ඉන්දීය ප්ලේටයෙන් වෙන්ව ගිනිකොණ දෙසට පාවී යාම, ලංකාවේ භූ පැලූම් සංසිද්ධීන් සහ භූ කම්පන නිසා නිසා කඳුකර ජලාශවලට ඇති විය හැකි බලපෑම්, ආදී කාරණා රැසක්ම ඒ අතර වෙයි.  විශේෂයෙන්ම 1990 දශකයේ දී රටේ භූමිය සම්බන්ධයෙන් කුමක් වුවත්, ආණ්ඩුව මෙනම ජනමාධ්‍ය ද කරුණු විමසුවේ විතානගේ සූරීන් ගෙනි. දිවා-රෑ නො බලමින් ඒ සෑම දෙයකටම උත්තර දීමට හෝ කරුණු පැහැදිලිකර දීමට ඔහු සැදී පැහැදී සිටියේ ය.
 
දියතලාවේ ලංකාදීප ප‍්‍රවෘත්ති ලේඛකයා වූ ආනන්ද හපුගොඩ මහතා, වරක් ඒ ප‍්‍රදේශයේ හට ගත් ජන නො සන්සුන්තාවයක් ගැන හදිසි පුවතක් ලංකාදීපයට දැනුම් දුන්නේ ය. පොළොවෙන් ගින්නක් මතුව ඇති බැවින්, එය ගිනි කන්දක් කියා මහජනතාව බියටත් නො සන්සුන්තාවයටත්  පත්ව සිටින බව ඉන් කියැවිණි. ඒ සමගම මහනුවර නගරයේ යම් කලබැගෑනියක් ගැන ද කොළඹට ආරංචි විය. ඉන් පැවසුණේ, නාඳුනන පිරිසක් හදිසියේම පැමිණ මහාචාර්ය පී. ඩබ්ලිව්. විතානගේ මහතා පැහැරගෙන ගොස් ඇති බවයි. ඔහුගේ තල්වත්ත බ්ලූස්ටාර් නිවසේ සේවිකාව පවා දැන සිටියේ, ‘කට්ටියක් ආවා, සර් ඒ අයත් එක්ක ගියා’ යන්න පමණකි. ටික වේලාවකට පසුව ආනන්ද හපුගොඩ දුරකතනයෙන් කීවේ, ‘ගිනි කන්ද’ පරීක්ෂා කරන්නට පේරාදෙණියේ මහාචාර්යවරයෙක් හෙලිකොප්ටරයකින් දියතලාවට පැමිණ ඇති බවයි!
 
ඔහු මහාචාර්ය විතානගේ මහතා ය. මහාචාර්යවරයා එහි පැමිණ තිබුණේ, එවකට ජනාධිපතිවරයා වූ රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ ඉල්ලීමෙනි. ගිනි ගත් පොළාව පරීක්ෂා කළ මහාචාර්යවරයා පැවසුවේ එය ගිනි කන්දක් නොව, පොළොව යට ඇති යම් කාබනික තට්ටුවකට ගිනි ඇවිලීමෙන් හට ගත් තත්ත්වයක් බවයි. ගිනිකඳු කලබලය අවසන් විය. රාත‍්‍රියේ බ්ලූස්ටාර් නිවසට කතා කළ මට එබඳු ගිනි ඇවිලීම් ඇති විය හැකි ආකාරය ගැන විශාල විස්තරයක් අසා ගත හැකි විණි.
 
ලංකාවේ මෙතෙක් හට ගත් විශාලතම නාය යාම වාර්තා වූයේ 1997 වසරේ ය. එය, කොළඹ-බදුලූ පාරේ බෙරගල හන්දියට තරමක් දුරින් නාකැටියේ හට ගත් ‘කොස්ලන්ද නාය යාමයි’. ලියුම්කරු එවකට සේවය කළේ ‘ඉරිදා ලක්බිම’ පුවත්පතේ ය. නාය යාම ගැන කළ විමසුමේ දී, මහාචාර්යවරයා එහි විද්‍යාත්මක පැත්ත ගැන කරුණු පැහැදිලි කළේ, කඳුකරයේ ඇති අවදානම පිළිබඳව ද විස්තර කරමිනි. මහා ජලාශ ගණනාවක්ම රටේ මධ්‍යම කඳුකරයෙහි ඉදිකර ඇති බැවින්, භූමි කම්පාවලින් පරිස්සම් විය යුතු බව ද ඔහු පැවසී ය. කඳුකර ජලාශ ආශ‍්‍රිතව භූ කම්පන මාන සවිකර, නිරන්තරව පරීක්ෂා කළ යුතු බව ද ඔහු නිතර අවධාරණය කළේ ය.
 
මහාචාර්යවරයා අවස්ථා ගණනාවකම ලංකාවේ කෙරුණු මහා පරිමාණ ජලාශ ව්‍යාපාරවලට සිය උපදේශක දායකත්වය දුන්නේ ය. කාසල්රී, මස්කෙළි  ඔය, මහවැලි ආදී ව්‍යාපාර ඒ අතර වෙයි. ‘සමනල වැව’ ව්‍යාපාරය දෝෂ සහිත බව ඔහු කියා සිටියේ, එහි ජල කාන්දුව ඇති වන්නට ද කලිනි. තම නිවසට නුදුරින් පිහිටි වික්ටෝරියා ජලාශ බැම්මේ, කිඹුලන්තොට ප‍්‍රදේශයේ විශාල භූ පැල්මක් ඇති බැවින් අවදානම් සහගත බව ඔහු කීවේ ය. ලංකාවේ ප‍්‍රථම භූගත ජලවිදුලි බලාගාරය ඉදි වූයේ ‘කොත්මලේ’ ය. ඉදි කිරීම් අතරතුර වරක් එහි භූගත උමගක් තුළ හදිසි නායයාමක් ඇති විය. ඉන් විශාල කලබැගෑනියක් ද හට ගත්තේ ය. ඉදි කිරීම් වැඩ ද කරන්නට නො හැකි තත්ත්වයට පත් විය. උමං කැණීම්වල යෙදී සිටි ජාත්‍යන්තර සමාගම එහි දී උපදෙස් ගත්තේ, මහාචාර්ය පී. ඩබ්ලිව්. විතානගේ  සහ කොන්ක‍්‍රීට් නිර්මිත පිළිබඳ ජාත්‍යන්තර තලයේ විශේෂඥයෙකු වූ මහාචාර්ය කේ. එන්. කුලසිංහ (කොන්ක‍්‍රීට් කුලසිංහ) යන විද්වතුන් ගෙනි. ඔවුහු එක්ව පොළෝ අභ්‍යන්තරයෙහි පරීක්ෂණ පවත්වා යම් විසඳුමක් දුන්හ. එහෙත් එය කුමක් දැයි කිසි දිනක හෙළි වූයේ නැත. ‘පොළාව ඇතුළේ අස්ථායී පාංශු ස්තර නාය ගොස් තිබුණා. අපි ඒවා ඉවත්කර ඒ භූමිය ස්ථායී කළා. ආයෙ එතැන නාය යන්නේ නෑ’, සිද්ධිය ගැන විමසූ ජනමාධ්‍යට ඔවුන් පැවසුවේ එපමණකි. දැන් මේ දෙදෙනාම අප අතර නැත. වර්තමානයේ මහනුවර, පල්ලෙකැලේ ක‍්‍රියාත්මක වන භූ කම්පන නිරීක්ෂණ මධ්‍යසථානය ඇරඹුණේ ද මහාචාර්ය විතානගේ මහතාගේ හඬ නැගීම්වල ප‍්‍රතිඵලයක් වශයෙනි.
 
වර්තමානයෙහි කීර්තිමත් ලාකේය භූ විද්‍යාඥයන් වන මහාචාර්ය සී. බී. දිසානායක, ආචාර්ය විල්බට් කෙහෙල්පන්නල, මහාචාර්ය කපිල දහනායක, ආචාර්ය එන්. පී. විජයානන්ද, මහාචාර්ය ජිනදාස කටුපොත යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් විතානගේ මහතාගේ සෙවණෙහි මහ පොළොව හැදෑරූවන් ය. හදිසියේ මියයන තුරුම ඔහු දිනපතාම පාහේ පේරාදෙණිය සරසවියේ භූ විද්‍යා අධ්‍යයන අංශයට යාමත්, එහි ඉගැන්වීමත් අත්හැරියේ නැත.
 
මහාචාර්ය පී. ඩබ්ලිව්. විතානගේ  මහතා ලංකාවේ භූ ගර්භීය වෙනස්වීම් කෙරෙහි කොතෙක් සංවේදීව සිටියේ ද යන්න ගැන තේරුම් ගැනීමට, ඔහුගේ හදිසි මරණයම අනුවේදනීය නිදසුනකි!
 
මහාචාර්යවරයා මියගියේ 1998 වසරේ ජනවාරි මස 25 වැනි දා ය. එනම්, කොටි ත‍්‍රස්තවාදීන් මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවට බෝම්බ ගසා පිපිරවූ දවසේ ය. බොහෝ දෙනා දන්නේ, එදින ඔහු හෘද්‍යාබාධයකින් මියගිය බව ය. එහෙත් ඇත්ත කතාව තරමක් වෙනස් එකකි.
 
දළදා මාළිගයේ හට ගත් පිපිරීමේ ශබ්දය, මහාචාර්යවරයා පදිංචිව සිටි තල්වත්ත ප‍්‍රදේශයට ද තදින්ම ඇසුණි. ඔහු එයින් මහත් සේ කලබල විය. ඊළඟ මොහොතේ දුරකතනය වෙත ගිය ඔහු කාටදෝ ඇමතුමක් ගෙන, ‘මොකක්ද අයිසේ ශබ්දේ?’ යයි විමසී ය. දුරකතනයේ එහා පැත්තෙන් කුමන පිළිතුරක් ලැබුණේ දැයි කිසිවෙකු නො දනිති. එහෙත් නිවසේ සේවිකාව දුටුවේ, මහාචාර්යවරයා දුරකතන රිසීවරය ද අතැතිව පැත්තකට ඇලවී ගෙන ගොස් එක්වරම බිම ඇද වැටුණු බවයි!
 

එකල ඔහුගේ නිවසෙහි ඉහළ මාලයේ කොටසක්, බැංකු නිලධාරී යුවළකට කුලියට දී තිබිණි. ඒ වේලාවේ නිවසෙහි සිට ඇත්තේ ඔවුන් දෙපළ සහ  මහාචාර්යවරයාගේ සේවිකාව පමණි. සේවිකාවගේ කෑගැසීම අසා එතැනට දිවූ බැංකු යුවළ, සිහිසුන්ව සිටි මහාචාර්යවරයා සිය මෝටර් රථයේ නංවා ගෙන මහනුවර මහ රෝහලට යන්නට පිටත් වූහ. එහෙත් බෝම්බ සිද්ධියෙන් මහනුවර නගරය පුරා අධික රථවාහන තදබදයක් හට ගෙන තිබිණි. එබැවින් මහනුවර මහ රෝහලට යාම දුෂ්කර කටයුත්තක් විය. යන්නට හැකි හැකි තැන්වලින් රිය පැදවූ බැංකු යුවළ, කටුගස්තොටට වැටුණෝ ය. එහි දී පෞද්ගලික රෝහලක් දුටු ඔවුහු රථය වහාම එහි ඇතුළු කළහ. එහි සිටි වෛද්‍යවරයා, මහාචාර්යවරයා රෝහලට රැගෙන ගියේ ද ඔහුගේ පපුව මසාජ් කරමිනි! ඒ අතර ඔහු රෝගියා කවුරුන්දැයි හඳුනා ගත්තේ ය. ඔහුට යාන්තම් සිහිය තිබෙන බව ද පෙනුණි. පපුව මසාජ් කරමින් යන අතර, ඔහු ‘සර්, මොකද වුණේ?’ යයි ද විමසී ය.
 
ගොර ශබ්දයෙන් පිළිතුරු දුන් මහාචාර්යවරයා ඒ අන්තිම මොහොතේ ද පැවසුවේ, ‘අයිසේ මට පස් සාම්පලේකුයි, ගල් සාම්පලේකුයි ගෙනත් දුන්නොත් ටෙස්ට් කරලා කියන්නම්!’ යනුවෙනි. ඒ සමගම ඔහු අවසන් හුස්ම හෙළී ය!
 
අවසන, රටට හොඳ විද්වතෙකු  අහිමි විය. ලියුම්කරුට හොඳ වැඩිහිටි මිතුරෙකු මෙන්ම ලෙන්ගතු ගුරුතුමෙකු ද අහිමි විය.
 
සීතල දෙසැම්බරයට, 2004 වසරේ සුනාමි විපතින් පසුව ඇත්තේ අඳුරු, ශෝකී මතකයන් පමණකි. ඉනික්බිති ජනවාරිය ද දළදා මාළිගාවේ බිහිසුණු ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන, බියකරු මතකයන් ගෙන එයි.  ඒ සමගම, දේශයේ මහ පොළාවට පෙම් බැඳි උතුම් මිනිසාගේ නික්ම යාම ගැන ශෝකී සිතිවිල්ලක් ද ඉබේම ස්පර්ශකර  වන්නේ ය!
2015/12/25.

No comments:

Post a Comment