Total Pageviews

Thursday, December 17, 2015

නාගරික ක්ෂේම භූමියකට හරිත සිතිවිල්ලක්



මොනවද මේ හරිත නගර ?
නාගරික ක්ෂේම භූමියකට හරිත සිතිවිල්ලක්


(සහන් වාගමගේ)
ලංකාවේ වන ගහණය මේ වන විට සියයට 29ක් දක්වා හීන වී ඇති බව තවදුරටත් නො රහසකි. එහෙත් කෙරෙන්නේ වනාන්තර රැක ගැනීම නොවේ. කොන්ක්‍රීට් නගර ව්‍යාපෘති වැඩියෙන් ව්‍යාප්ත වීම ය. එය තිත්ත ඇත්තකි. නිදහසින් පසුව වරින් වර බලයට පත් රජයන් ස්වකීය අභිමතාර්ථ සාධනය කරලීම වෙනුවෙන් වන ගහණය නසා, මානව අවශ්‍යතා සහා ඉඩකඩ සකසා දුන්හ. සැබැවින්ම විධිමත් නො වන මෙම ක්‍රියා පිළිවෙත නිසා උග්‍ර පාරිසරික ගැටළු ඇති විය. එබැවින් දැන් රට වැසියන් නිද්‍රාශීලිත්වයෙන් අවදි විය යුතු කාලය එළඹ තිබේ. දැන් සැකසු ගොඩනැගිලි හෝ  මහා නගර, කඩා බිලෑම කළ නො හැක.   

 එබැවින් වහාම කළ යුත්තේ කොන්ක්‍රීට් වනාන්තර අතර හරිත නගර ඉදි කිරීමයි.  නො එසේ නම්, නාගරික වන වගා ස්ථාපිත කරලීමයි.
වායු දූෂණය, කසල පිළිබඳ ගැටළුව, හදිසි ගංවතුර වැනි තත්වයන් ඇති වීමේ මූලිකම හේතුව වනුයේ, නාගරිකව ගොඩනැගී පැවතී හරිතමය තත්ත්වයන් මැකී යන තරමමට අනවශ්‍ය ඉදිකිරීම් ආරම්භ කිරීමයි. මෙම තත්ත්වය තවදුරටත් ලංකාව වැනි රටක පැවතුන හොත් පුජා සෞඛ්‍ය තත්ත්වයන්ට හිතකර නො වනු ඇත. කොළඹ නගරය මෙයට දිය හැකි හොඳම නිදර්ශනයයි. එසේ නම් බිඳ වැටී ඇති මෙම පාරිසරික තත්ත්වයන් කඩිනමින්, හැකි උපරිම මට්ටමෙන් යළි වර්ධනය කළ යුතුව තිබේ.

යුරෝපය තුළ මේ වන විට ක්‍රියාත්මක හරිත නගර, නො එසේ නම් Green Stream හෙවත් හරිත ක්ෂේම භූමි ජනප්‍රිය සංකල්පයක් බවට පත්ව තිබේ. ගෝලීය ජනගහණය වර්ධනය වීම, තාක්ෂණික ගම්මාන සහ නගර වර්ධනය වීම මෙන්ම, පාරිසරික දූෂණය ඉහළ යාමත් සමඟින් යුරෝපයේ යම් ගැටළුකාරී තත්ත්වයන් උද්ගත විය. එම තත්ත්වයට පිළියම් සොයා ගිය ඔවුන්ට වැටහී ගියේ වන ගහණය හීන වි යාම නිසා ගැටළු මතුව ඇති බවයි. එයින් හරිත නගර සංකල්පයට පදනම වැටුණි.

සියයට 29 ක් වන මෙරට වන ගහණය සියයට 32ක් දක්වා වර්ධනය කිරීමට අත්‍යවශ්‍ය බව, පසුගිය දිනෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණයකර තිබිණි. එය සතුටුදායක පුවතකි. එමගින් ඉදිරියේ දී අපට සුභදායී ආකල්ප සහ නව බලාපොරොත්තු උපදවයි. නමුත් ජනාකීර්ණ වූ කොළඹ වැනි තදාසන්න නගර පරිසර හිතකාමී තත්ත්වයට පත් කිරීමට නම්, මහත් වෙහෙසක් දැරිය යුතු ය. මහල් නිවාස ප්‍රමුඛ ජනාකීර්ණ  ස්ථානවල පිරිහුණු වන ගහණය නැවත යාවත්කාලීන කළ නො හැක. එසේ නම් සිදු විය යුත්තේ එම ජනාකීර්ණ නගර ආශ්‍රිතව හරිත නගර, නො එසේ නම් ක්ෂේම භූමී වර්ධනයයි. පරිසරය හිතුමිතුරු වන්නේ එවිටයි.


ආසියානු සංවර්ධන බැංකුව විසින් 2012 වර්ෂයේ නොවැම්බර් මස ප්‍රකාශයට පත් කළ Green Cities සඟරාවේ මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කොට තිබේ. මිචෙල් ලින්ෆිල්ඩ් (Michel Linfield) සහ ෆ්ලෝරීන් ස්ටෙන්බර්ග් (Florien Steinberg) එම තොරතුරු ගෙන ඒම සඳහා දායකත්වය දක්වා තිබේ.
ආසියානු කලාපය තුළ ජනාකීර්ණ නගර, වඩාත් තිරසාර පදනමකින් හරිත නගර දක්වා ප්‍රවර්ධනයට අවශ්‍ය පදනම සැකසිය යුතු ආකාරය ෙකසේ ද? යන්න, එයින් වඩාත් හොඳින් විශ්ලේශණය කොට තිබේ. මෙම උධෘතයන් සෑම අතින්ම, කොළඹ පුරයේ ඉදි වන නව නගර නිර්මාණ වෙත වඩාත් පහසුවෙන් සහ ප්‍රාෙයා්ගිකව උපයෝගී කොට ගත හැක.
          ආසියානු සංවර්ධන බැංකුව විසින් ඒ සඳහා නිර්ණායක කිහිපයක් ද හඳුන්වා දී තිබේ. තාක්ෂණිකව ගොඩනගනු ලබන හරිත නගර, ජනාකීර්ණ හරිත නගර, බලශක්ති උත්පාදිත හරිත නගර සහ ප්‍රවාහන ක්‍රම ඉන් හදුන්වා දී ඇත. ජල පෝෂිත නගර, අපද්‍රව්‍ය කළමනාකරණ විධි, මෙන්ම පරිසර නගර සහ අවසානයේ ස්මාර්ට් සිටි (Smart City) හෙවත් ඉතාමත් දැකුම්කලු පාරිසරික හිතවත්කම් ගොඩනැගුණ නගර මෙසේ හඳුන්වා දී ඇත. සංකල්ප හඳුන්වා දීමේ විෂයෙහිලා ගොඩ නැගෙන පාරිසරික හිතවත්කම්, නගරික මිනිසාට මෙන්ම සත්වයන්ටද හිතකර තත්ත්වයන් උදාකරයි. හොංකො, බැංකොක්, ක්වාලා ලාම්පූර්, ෂැංහායි, මහා වැනි නගර අද වන විට මෙම පරිසර ප්‍රතිපත්ති මත සිය නාගරික සංවර්ධනය සිදු කරයි. එහි දී නාගරික පවුල් දැනුවත් කිරීම හා නගරාශ්‍රිතව වෙනම වෙන් කොට ඇති කුඩා වනාන්තර හා වන රෝපණ වැඩසටහන් ජන සහභාගිත්වයෙන් සිදු කෙරේ. ඒවා ජනප්‍රියය.






 එමෙන්ම ජලාශ්‍රිතව පවතින තෙත් බිම් හා වගුරු බිම් වටා ගොඩ නගනු ලබන සංවේදී පරිසර කලාප විශේෂ ආවරණ යොදා සුරක්ෂිත කිරීම, මෙම නගරයන්හි සුලභ දර්ශනයකි. එමෙන්ම රෝහල් හා රාජ්‍ය ආයතන මූලික කොට ගෙන සැකසෙන විශේෂ ශාක වැවීමේ ව්‍යාපෘති අතිශය ජනප්‍රිය වැඩ සටහනක් බවට පත්ව තිබේ. නගර මතින් ගලා බසිනා ජල මාර්ග දෙපස දක්නට හැකි ජලාශ්‍රිත ශාක පද්ධති මෙහි දී බහුලව දැකිය හැකිය. වාහන මඟින් පිට වන දුම් සහ රසායනික වායු මගින්, නගරයට හෝ නාගරික පරිසරයට දැඩි බලපෑමක් නො වීම, මෙම නගරයන්හි දක්නට ලැබෙන විශේෂත්වයයි. 

හරිත නගර සැළසුම් කරලීමට අවශ්‍ය මූලික කරුණු විවිධ අංශයන් මඟින් හඳුනා ගත හැකිය. අවම කාබන් පිරිවැය සහිත ප්‍රවාහන පද්ධතියක්, හරිත ආයෝජන ක්‍රමවේද, හරිත බලාගාර තාක්ෂණ, වන වගා කටයුතු සිදු වන නගර සැළැස්ම සහ හරිත අධ්‍යාපනික කව මෙම මූලික කාරණ මත පදනම් වී ඇත. මෙ මඟින් ක්‍රමානුකූලව සැකසෙන හරිත නගර පරිසරයක් වසර කිහිපයකින් ලබා ගත හැකි වේ. මෙහි දී, වඩාත් සිදු විය යුත්තේ මහජන ආකර්ශනය ලබා ගැනීමයි. ලංකාවේ පවතින කාර්ය බහුල  වේගවත්  නගර රැසක්ම, අද වන විට ගොඩනැගිලි තැනීම පමණක් මූලික කරගත්  සංවර්ධනයට මුල් තැන ලබා දී ඇත. ගාල්ල, මාතර, ගම්පහ, මහනුවර, කුරුණෑගල වැනි කාර්ය බහුල නගර රැසක්ම ඒ අතර වේ. ඒවා සංවර්ධනයේ දී ස්වකීය හරිත ප්‍රතිපත්ති ඉවතලා ඇති බව පැහැදිලි ය. හරිත සංකල්ප වෙනුවට රථ වාහන සහ ගොඩනැගිලිවලින් පමණක් සමන්විත ඊනීයා කාර්මික සංවර්ධන සංකල්පයක් වර්ධනයකර ගෙන ඇත. ප්‍රජාව දැනුවත් කිරිමෙන් හෝ ඔවුන්ගේ එකඟතාවයන් මත කළ හැකි වන වගා හෝ කාබනිකව ආහාර බෝග වැවීමේ ක්‍රමවේදයන් මග හැර ගොස් තිබේ. යුරෝපය තුළ නාගරික ජනයා ස්වකීය නිවෙස් තුළ හා නිවෙස් වටා එළවළු හෝ පළතුරු වගා කිරීමට පුරුදුව සිටිති. එවැනි වැනි සරළ දේවල් පවා මෙරට නගර වාසීහු අතහැර දමා ඇත. කෘෂිකාර්මිකව ගොඩ නැගෙන ආර්ථික රටාවකින් හෙබි ලංකාව වැනි රටකට මෙවැනි වගා කටයුතු අලුත් දෙයක් නොවේ.  
හරිත නගර සංකල්පය තුළ, අවම කාබන් වායු දහනය සහිත ප්‍රවාහන සේවා සහ  ගෙවතු වගාව අතිශය ජනප්‍රිය සංකල්පයකි. හොංකොං සහ ජපානයේ ටෝකියෝ නගර ආශ්‍රිතව ක්‍රියාත්මක මෙම සංකල්ප, දැඩි නීතී විධි විධාන සහිතව පවතී. E-ප්‍රවාහන සේවයන් යටතේ පාපැදිය ජනප්‍රිය මෙන්ම සෞඛ්‍යමත් ප්‍රවාහන මෙවලමකි. ජනතාව එය පිළිගෙන ඇත. නගරය පුරා දිවෙන ප්‍රවාහන ජාලය එකිනෙක සම්බන්ධ වන අතර, මාර්ග අනතුරු සහ වායු දුෂණය මෙන්ම තදබදය වැනි තත්වයන් බැහැර කර තිබේ. නගරයෙන් පිටත පෞද්ගලික වාහන ගාල් කර තැබීමත්, පසුව නගරයට පැමිණීම සඳහා පොදු ප්‍රවාහන සේවාවර්ධනය කිරීමටත් රජය සෘජුව මැදිහත් වී ඇත. එමෙන්ම හරිත ආයෝජන අවස්ථා සහ හරිත රැකියා හෙවත් Green Job  ජපානය වැනි රටවල්හි ජනප්‍රියයි. Circle Economy සහ Eco– Towns සංකල්ප එහි ප්‍රතිඵල වේ.
ඒවා  ප්‍රතිපත්ති ලෙස අද යුරෝපය පුරා පැතිර ගොසිනි. නගරාසන්නව ඇති කරනු ලබන හරිත පටි හෙවත් Green Belt වැනි සංකල්ප  දැන් ඉන්දියාව වැනි නාගරික ජනාවාස බහුල රටවල පවා සාර්ථකව අත්හදා බලනු පෙනෙයි. ජලය, ගොඩබිම, වනාන්තර හා ශාක පද්ධති මෙන්ම වන ජීවීන් යන විවිධ පාරිසරික ලක්ෂණයන්ගෙන් සැඳුම්ලත් හරිත නගර ඉදිවෙමින් පවතී. මංමාවත් සිසාරා සැකසෙන හරිත වැස්ම Green Tent වැනි සංකල්ප අධිවේගී මාර්ග විෂයෙහිලාද යොදා ගැනීමට සමත්ව සිටී. ඒ වෙනුවෙන්ම සැකසුණු නීතී මාලාවකින් සුරක්ෂිත හරිත නගර අද ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වන අතර, තරුණ සහ දුවා දරුවන් අතර ද සිත් දිනා ගෙන ඇත. නිදහස, විනෝදය, ස්වභාවික සෞන්දර්ය සොයා යන නිදහස්කාමී මිනිසුන් බොහොමයක් හරිත නගර අතර දෛනිකව සැරිසරයි. ආකල්ප වඩාත් වර්ධනය කරලීම වෙනුවෙන් පවතින ජංගම පුස්තකාල පවා හරිත නගර තුළ ජනප්‍රිය අංගයක් බවට පත්ව තිබේ. වාර්ෂිකව යහපත් වර්ෂාපතනයක් හිමි, සාරවත් භූමියක පිහිටා ඇති සෞම්‍ය දේශගුණික තත්ත්වයන් යටතේ පවතින  ලංකාව වැනි රටක, හරිත නගර ප්‍රවර්ධනය  ඉතා අපහසු වූවක් නොවේ. අවශ්‍ය වන්නේ මේ සඳහා මඟ පෙන්වීමක් පමණි.


නව ආණ්ඩුව එවැනි තත්ත්වයන් සංවාදයට ගෙන ඇති අතර, කාර්මික කරණයෙන් ඔද්දල් වූ සිත් ඇති පාරිසරික සෞන්දර්යවාදී හිතකාමීහු, ඒවා ක්‍රියාත්මක තලයට ගෙන එන තෙක් අවධාරණයෙන් බලා සිටිති
(ඡායාරූප-අන්තර්ජාලයෙනි)
2015/12/18.

Reference - Green Cities – ADB – 2012 November

Asian Green City Index – 2011 – A.G Siemens 
 Green Architecture now – 2009 –Jodido









 

No comments:

Post a Comment