Total Pageviews

Sunday, February 28, 2016

ජාතික ජන මාධ්‍ය සහ නව මාධ්‍යයෙහි අභියෝගය-07-අවසන් කොටස

ජාතික ජන මාධ්‍ය සහ
නව මාධ්‍යයෙහි අභියෝගය-07-අවසන් කොටස
අසීමිත නිදහස හික්මවා ගැනීම


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
නව මාධ්‍යයට කැමැත්තක් දක්වන බොහොම දෙනෙකු, අන්තර්ජාල අඩවිවල  ඕනෑම දෙයක් ලියන්නට මෙන්ම පළ කරන්නට ද නිදහසක් තිබිය යුතු යයි කල්පනා කරන බව පෙනේ. අන්තර්ජාලයෙහි ඇති ක්ෂණික බව නිසා ඔවුන්ගේ හඬ ඉතා ප‍්‍රබල බව ද පිළිගත යුතු වේ. දැනටමත් ඔවුන් අසීමිත නිදහසක් භුක්ති විඳිමින් සිටිති. මෙහි දී සාකච්ඡා කළ යුතු වන්නේ, නව මාධ්‍යයට එවන් අසීමිත නිදහසක් ලැබී ඇත්තේ කෙසේ ද? යන කාරණයයි.

අන්තර්ජාලය මුල්කර ගත් නව මාධ්‍ය මේ තරම් නිදහසක් (සියල්ල හෙළි කරන තරම්) භුක්ති විඳින්නේ, අන් කිසිවක් නිසා නොවේ. ලංකාවේ පොදු නීති රීති තවම අන්තර්ජාල තත්ත්වයන්ට ගැලපෙන තරම් යාවත්කාලීනවී නැති නිසා ය. අනෙක අන්තර්ජාලය මගින් නව තාක්ෂණය සමග පුබුදු කළ නව මාධ්‍ය ධාරාව, එහි නිර්භීතභාවය නො කෙලෙසෙන සේ වඩාත් සංවර තලයකට ඔසවා තබන්නට ප‍්‍රමාණවත් ක‍්‍රියාවලියක් තවමත් හට ගෙන නැති නිසා ය. එසේම නව මාධ්‍යයෙහි නියැලී සිටින උදවිය ද, එවැනි කාරණා ගැන තවම නිසි සංගායනාවකට හෝ සම්මුතියකට එළඹී නැති බැවිනි. නව මාධ්‍ය ජන සමාජයෙහි පැතිර යන්නට පටන් ගෙන තවම වැඩි කලක් ගත නොවූ බැවින්, ඒසේ වූවා ද විය හැකි ය.

දැනට ලංකාවේ ක‍්‍රියාත්මක වන නීති ක‍්‍රියාවලියේ හැටියට, ජාතික ධාරාවේ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය සඳහා බලපවත්වන නීති සහ ආචාරධර්ම පද්ධතියක් තිබේ. එසේ වුවත් නව මාධ්‍ය සඳහා එවැන්නක් නැත. මේ සම්බන්ධව තොරතුරු දන්නා අය පවසන අන්දමට, අනතර්ජාලය මුල්කර ගත් මාධ්‍ය සඳහා දැනට බල පවත් වන්නේ ‘පරිගණක අපරාධ නීතිය’ සහ ‘අපහාස නීතිය’ යන නීති කාරණා පමණි. අන්තර්ජාල මාධ්‍ය සම්බන්ධයෙන් ගත් කල, ඒවා ද යම් දුර්වල මට්ටමක පවතින බව කියති. රටේ නීති ක‍්‍රියාවලිය නව මාධ්‍ය කෙරෙහි බල පැවැත්විය හැකි පරිදි තවම යාවත්කාලීන නො වීම, ඊට හේතුවයි. අනෙක, නව මාධ්‍ය නියමනය කරන්නට තරම් පුළුල් ආචාරධර්ම පද්ධතියක් ද තවම බිහිවී නැත.

කරුණු මෙසේ හෙයින්, නව මාධ්‍ය මගින් පීඩාවට පත්වන පාර්ශව, ඔවුන්ට එරෙහිව නීතිය හමුවට යන්නේ නැති තරම් ය. ඉන් ලැබෙන ‘ලිහිල’, නව මාධ්‍ය කෙරෙහි ආසක්තවී සිටින උදවිය විසින් ‘අන්තර්ජාල මාධ්‍යයෙහි නිදහස’ යයි සලකන බවක් පෙනෙන්නට තිබේ. එබැවින් නව මාධ්‍යයෙහි ඇතැම් උදවිය, සිත් සේ අසංවර පිණුම් ගසමින් සිටිති.

ලෝකයට ජන මාධ්‍ය බිහි වූයේ මුද්‍රණ කඩදාසි සහ මුද්‍රණ ශිල්පය නිර්මාණය වීමත් සමගිනි. ඉන් පසුව පුවත්පත්, පොත්පත් ආදී මුද්‍රිත මාධ්‍ය බිහි විණි. ඊට කලකට පසුව ගුවන් විදුලිය හා රූපවාහිනිය බිහිවී, තොරතුරු සන්නිවේදන ලෝකයේ විශාල පෙරළියක් ඇති කළේ ය. දැන් අන්තර්ජාලය සහ ඒ ඔස්සේ නව මාධ්‍ය ධාරාවක් නිර්මාණයවී තිබේ. එය ඉතා පුළුල්ව, බහුලව, අතිශයින් වේගවත් සන්නිවේදන මෙවලමක් ලෙස භාවිත කෙරෙයි. 2014 වසරේ සංඛ්‍යාලේඛන අනුව, පෙර සඳහන් කළාක් මෙන් රටේ ජනගහණයෙන් සෑම හය දෙනෙකුටම එක් අයෙක් අන්තර්ජාල ග‍්‍රාහකයෙකි. එය ඉතා ප‍්‍රබල තත්ත්වයකි. ජනතාව අද අන්තර්ජාලය ඔස්සේ මිතුරු සමාජ පවත්වා ගෙන යමින්, තොරතුරු බෙදා-හදා ගනිමින් සිටිති. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණය අනුව, අවුරුදු 18-24 අතර වයස් කාණ්ඩයෙහි තරුණයන්ගේ ප‍්‍රමුඛතම ප‍්‍රවෘත්ති මෙවලම ෆේස් බුක් ඇතුළු අන්තර්ජාලයයි.

මෙය ඉතා යහපත් ක‍්‍රියාවලියක් වන අතර, ඉන් නව මාධ්‍යයෙහි ඉන්නා සෑම කෙනෙක්ම ‘සන්නිවේදකයෙක්’ හෝ ‘මාධ්‍යකරුවෙක්’ බවට පත් වෙමින් තිබේ. ‘කොමෙන්ටුකරුවන්’ පවා මේ කාණ්ඩයට ඇතුළත් ය. මෙය හරියට ජන සන්නිවේදන ක‍්‍රියාවලිය, ‘ගෘහ කර්මාන්තයක්’ බවට පත් වූවාක් බඳු තත්ත්වයකි. දැන් තිබෙනුයේ ඔවුන්ගේ ක‍්‍රියාවලිය, සමාජ ගෝචර වන සේ හික්මවා ගැනීම ය.

ඒ සඳහා එක් පැත්තකින් ජාතික ධාරාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය, නව ප‍්‍රවේශයකට ගමන් කළ යුතු වෙයි. අනෙක් පැත්තෙන් නව මාධ්‍ය සඳහා ද බල පැවැත්වෙන පරිදි, නීති රීති සහ ආචාරධර්ම පද්ධති යාවත්කාලීන කිරීම ද ප‍්‍රමුඛ අවශ්‍යතාවයකි. ඊළඟට එන්නේ බරපතලම කාරණාවයි. ඒ, සෑම අන්තර්ජාල සන්නිවේදකයෙක්ම විධිමත් මාධ්‍ය පුහුණුවකට යටත් කිරීමයි!

හෙට දවසේ පැමිණිය හැකි නවීන සන්නිවේදන ක‍්‍රම හෝ දැනටමත් පැතිර ඇති අන්තර්ජාලය, පාලනය කරන්නට හැකි වෙතැයි නො සිතිය යුතු ය. එබැවින් ඒවාට යොමු වන පිරිස් සංවර කරවා ගැනීම අතිශයින්ම වැදගත් වනු ඇත. විධිමත් පුහුණුවක් ලැබූ, මාධ්‍ය ගැන දැන උගත් සන්නිවේදකයන්, අසංවරව හැසිරෙන්නේ නැත!
(සමාප්තයි)
(අදහස් දැක්වීම්වලට විවෘතයි)
2016/02/06.

No comments:

Post a Comment