Total Pageviews

Monday, February 15, 2016

ජාතික ජන මාධ්‍ය සහ නව මාධ්‍යයෙහි අභියෝගය-05 වගකීම සහ සදාචාරය තවදුරටත්


 









 වගකීම සහ සදාචාරය තවදුරටත්
ඇත්තටම සියල්ලම හෙළි කළ යුතු ද?
 



(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
පොදුවේ ගත් කල, නව මාධ්‍ය ධාරාවේ සිටින උදවිය මෙන්ම ඒවාට සහාය පළ කරන උදවිය ද, යම් ප‍්‍රවෘත්තිමය සංසිද්ධියකට අදාළ ‘සියල්ලම’ හෙළි විය යුතු යයි කල්පනා කරති. ඔවුන් ලියා පළ කරන හෝ පවසන දේවල් මගින් ඒ බව පෙනී යයි. යමෙක් ඒ අදහස පිළි ගන්නේ යයි සිතමු. එහි දී පැන නැගෙන ගැටළු තුනක් තිබේ.
 

x  -    ඉන් ප‍්‍රධානම ගැටළුව වන්නේ, එලෙස සියල්ලම හෙළි කළ යුතු ද? යන කාරණයයි.
 

x  -    අනෙක සියල්ල හෙළි කිරීම නිසා යම් පාර්ශවයක් අගතියට පත් වන්නේ නම්, ඒ ගැන වගකීමක් දරන්නේ කවුරුන් ද? යන්නයි.
 

x  -    තුන් වැන්න වන්නේ, රටේ ක‍්‍රියාත්මක වන පොදු නීති පද්ධතිය පවා උල්ලංඝනය කරමින් එබඳු හෙළිදරව් කිරීම් කළ හැකි ද? යන්න සහ ඊට නීතියෙන් ඉඩ ලැබේ ද? යන්නයි.
 

සම්මත ධාරාවේ ජාතික ජන මාධ්‍ය, ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ දී නීති, ආචාරධර්ම පමණක් නොව, ‘රීති’ සමූහයක් ද පිළිපදිති.
 

ඔවුහු මිනීමැරුම්, ස්ත‍්‍රී හෝ ළමා දූෂණ, බිහිසුණු ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ආදී අපරාධමය සිද්ධීන් ගැඹුරින් විස්තර නො කරති. එසේම එබඳු සිද්ධීන්වලට සම්බන්ධ මිනිසුන් හෝ දරුවන් තිගැස්සෙන, සංවේදී ඡායාරූප හෝ චලන රූප භාවිත නො කරති. එසේ කරන්නේ මන්ද? එවන් ප‍්‍රතිපදාවක් පවත්වා ගෙන යන්නේ මන්ද? පුවත කියවන හෝ නරඹන අය, අපරාධයක් කෙරුණු ක‍්‍රමවේදය ගැන ඉගෙන ගත යුතු නැති නියා ය. ඔවුන් අනවශ්‍ය ලෙස කම්පනයට පත් විය යුතු නැති නිසා ය. අපරාධ වින්දිතයන් හෝ ඔවුන්ගේ ඥාති පවුල්වල අය තවදුරටත් කම්පනයට පත් කළ යුතු නැති නිසා ය. ඊළඟට සිය දිවි නසා ගැනීමක් කෙරුණු ආකාරය විස්තර නො කරති. එවැනි සිද්ධියක ප‍්‍රවෘත්තිය ලියන්නේ, ගෙල වැලලා ගැනීමක්, වස පානය කිරීමක් හෝ දුම්රියට පැනීමක් ආදී සංක්ෂිප්ත ස්වරූපයෙනි. දිවි නසා ගැනීමේ සිද්ධියට හුදු වීරත්වයක් ආරෝපණය නො කෙරේ. මෙහි අරමුණ වන්නේ තවත් කෙනෙකුට සිය දිවි නසා ගැනීම සඳහා, ප‍්‍රවෘත්තියෙන් අත්වැලක් ඇති නො වනු පිණිස ය.
 

සිද්ධීන් සත්‍ය වුව ද, ඒවා මහජනයා අතරට යාමෙන් මහජන කැළඹීම්, ජාතීන් හෝ කණ්ඩායම් අතර අරගල හෝ ආගමික ගැටුම් ඇතිවේ යයි සිතිය හැකි නම්, ජාතික ධාරාවේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඒවා හෙළි නො කරති. එසේ කරන්නේ රට හෝ ජන සමාජය තවදුරටත් ප‍්‍රචණ්ඩත්වයකට තල්ලූ වීම වළකනු පිණිස ය.
රටේ ජනතාවගේ අතිමහත් ගෞරවයට හෝ භක්තියට පාත‍්‍රවූ, යම් ආගමික විශ්වාස ආදිය ගැන විවේචන එල්ල නො කිරීම ද සිරිතකි. හෙළි කෙරෙන ඇතැම් තොරතුරක්, යම් පවුල් සංඛ්‍යාවකගේ බලවත් සිත් තැවුලකට හේතු විය හැකිය. එබඳු කාරණා හෙළි කිරීමෙන් ජනතාවට අත්වන සෙතක් ද නැත.
 

ජාතික ධාරාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය, යම් සිද්ධියක් හෝ ඊට සම්බන්ධ පුද්ගල චරිතවල නම්-ගම් හෙළිදරව් කරන්නේ, ඉන් ඔවුන්ට අපහාසයක් නොවේ නම් පමණකි. ඔවුහු රටේ අපහාස නීතිය ගරු කරති. බොහොමයක් අවස්ථාවල, ප‍්‍රවෘත්තියෙන් චෝදනාවට ලක් වන තැනැත්තාගේ අදහස් දැක්වීමක් ද ප‍්‍රවෘත්තියට එකතු නො වන්නේ නම් ඔහුගේ නම් පළ කරනු නො ලැබේ!
 

යම් නඩුවක් විභාග වන්නේ ‘ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව පනත’ යටතේ නම්, ඔවුහු එය වාර්තා නො කරති. ඒ පනතට අනුව කෙරෙන නඩු විභාග, මාධ්‍යයෙහි වාර්තා කිරීම නීතියෙන්ම තහනම්කර තිබීම ඊට හේතුවයි. ළමයින් සම්බන්ධ ප‍්‍රවෘත්ති වාර්තාකරණයන් ද, ඔවුන්ට බලපාන නීති රීතිවලට යටත් විය යුතු ය.
 

නිසියාකාර ශික්ෂණයක් ලැබූ ප‍්‍රවෘත්ති වාර්තාකරුවෙකු, කිසිදාක ප‍්‍රමාණවත් තරම් සාක්ෂි නැතිව ප‍්‍රවෘත්ති වාර්තා කරන්නේ නැත. සිද්ධීන් සත්‍ය වුව ද, සාක්ෂි නැතිනම් ඒවා පළ නොකර සිටින අවස්ථා කොතෙකුත් ඇත. ප‍්‍රවෘත්ති ලිවීමේ දී ඔවුහු මාධ්‍ය ආචාරධර්ම ද ගරු කරති.
 

ඉහතින් සඳහන් කළේ, ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ දී ජාතික ධාරාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය විසින් පොදුවේ පවත්වා ගෙන යන, ප‍්‍රධාන පෙළේ ප‍්‍රතිපදාවන් කිහිපයක් පමණි.
 

නීති රීති, ආචාරධර්ම හෝ ප‍්‍රතිපදාවන් කොතෙක් පැවතිය ද, ජාතික ධාරාවේ ඇතැම් මාධ්‍ය ඒවා එක රුපියලකටවත් නො සලකනු ද දක්නට ලැබේ. ඇතැමුන් අපරාධවල කෲරත්වය පෙන්වති. ප‍්‍රචණ්ඩ සිද්ධීන්වල ලේ රසය බෙදා හරිති. ස්ත‍්‍රී දූෂණ හෝ ලිංගික අතවර සිද්ධීන්වල දී කුණු රසය විදාරණය කරති. තවම වැරදිකරුවන් නොවූ මිනිසුන්ගේ ඇඳිවත් ගලවා දමති! අපරාධකරණය ගැන ‘ටියුෂන්’ දෙන ප‍්‍රකාශන පවා වෙළෙඳපොළේ දක්නට ලැබේ. එබැවින් ජාතික ධාරාවේ විද්‍යුත්  සහ මුද්‍රිත මාධ්‍ය ද ‘පොතේ කියන තරම්’ සුජාත ද නැත්තේ ය. අතලොස්සක් නො සරුප්ව හැසිරෙන  ව ඇත්ත ය. එහෙත් සමස්තයක් වශයෙන් ගත් කල, ඒවායෙහි යම් හැදියාවක්, පිළිවෙලක් සහ ප‍්‍රමිතියක් ද දැකිය හැකි වේ. ජාතික ධාරාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය යම් නියාමන ක‍්‍රියාවලියකට යටත්ව හැසිරීම ඊට හේතුවයි.
 

එසේම ඒවා රටේ පොදු නීතියට යටත්ව කටයුතු කරයි. ඔවුන්ගේ පුවතකින් යමෙකුට අපහාස හෝ යම් අනර්ථයක් වූවා නම්, ඊට එරෙහිව නෛතික ක‍්‍රියාමාර්ගයකට යාමට හැකියාව තිබේ. එබැවින් ඔවුන් ප‍්‍රවෘත්ති වාර්තාකරණයෙහි යෙදෙන්නේ, යම් සීමාවකට යටත් වෙමිනි.
 

නව මාධ්‍යයෙහි වෙනස
ලියුම්කරු සිතන විදිහට, ජාතික ධාරාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මෙන්ම අන්තර්ජාලය මුල්කර ගත් නව මාධ්‍ය අතර ඇති ලොකුම වෙනස්කම ද මෙයයි. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මෙන් නොවේ. නව මාධ්‍යවලට යම් නියාමන ක‍්‍රියාවලියක්, නීති රීත් හෝ විධිමත් ආචාරධර්ම පද්ධතියක් නැත. එබැවින් ඒවාට අසීමිත නිදහසක් ලැබී තිබේ. නව මාධ්‍යයෙහි පළ කිරීම් හෝ නො කිරීම් තීරණය කරන්නේ, එය මෙහෙයවන තැනැත්තා ය. එනම්, වෙබ්කරුවා, බ්ලොග්කරුවා හෝ ෆේස් බුක් ආදී සමාජ මාධ්‍ය ජාලකරුවා ය. ඒවායෙහි මාධ්‍ය නිදහස ඔවුන් අතින්ම තීන්දු වේ. ඒ අයට ඇත්තටම, හිතූ හිතූ දේ ප‍්‍රචාරය කරන්නට තරම් උපරිම නිදහසක් තිබේ!
 


අන්තර්ජාලය දෙස බලන විට, වෙබ් අඩවි, බ්ලොග් අඩවි සහ ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය ජාල, දැන් කිසියම් ‘පොදුජන මාධ්‍ය ධාරාවක්’ බවට පත්ව ඇති බව පෙනෙයි. එහෙත් ෆේස් බුක් සහ ඊට සමාන සමාජ මාධ්‍ය ජාලා කිසියම් පෞද්ගලික මට්ටමේ සන්නිවේදන මෙවලමක් බව ප‍්‍රකට ය.එහෙත් එය ද දැන් පොදු ජන සන්නිවේදනය පිණිස භාවිත වේ. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය 2016 ජනවාරි 27 වැනි දා නිකුත් කළ සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන අන්දමට ද, මහජනයා ප‍්‍රවෘත්ති හෝ එදිනෙදා තොරතුරු ලබා ගැනීමේ අංක එකේ ජනප‍්‍රිය මූලාශ‍්‍රය වන්නේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවන් ය. දෙවනුව ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාල සහ අන්තර්ජාලයයි. මින් වයස අවුරුදු 18-24 කාණ්ඩයේ අයගේ අංක එකේ ප‍්‍රවෘත්ති මූලාශ‍්‍රය ෆේස් බුක් ය. එසේම බහුතරයක් පිරිස්, තමන්ට ඊමේල් මගින් එන ප‍්‍රවෘත්තිමය පණිවුඩ අන්‍යයන් සමග බෙදා ගැනීමට කැමැත්තෝ ය. මින් පෙනී යන කාරණය වන්නේ, නව මාධ්‍ය අද ඉතා පුළුල් සන්නිවේදන ක‍්‍රියාවලියක යෙදී සිටින  බවයි. එය ඇත්තටම අද, යම් ආකාරයක පොදු ජන මාධ්‍ය ධාරාවක් බවට පත් වෙමින් තිබේ. සම්මත ධාරාවේ ජන මාධ්‍යයට නැති, අසීමිත නිදහසක් භුක්ති විඳිමින් ඔවුහු ඒ තත්ත්වයට එසැවී සිටිති.
 

නව මාධ්‍යයෙහි හැඩතල
අන්තර්ජාලය මුල්කර ගත් නව මාධ්‍ය නන් වැදෑරුම් ය. එදිනෙදා තොරතුරු හෝ ප‍්‍රවෘත්ති ගෙන ඒම, එදිනෙදා දේශපාලනික හෝ සමාජ-සංස්කෘතික සිදු වීම්වලින් මතු වන ප‍්‍රවණතා පිළිබඳ විචාර හෝ අදහස් දැක්වීම, සිය මති මතාන්තර  එළි දැක්වීම, කලා සහ සාහිත්‍ය කාරණා හෝ නිර්මාණ ඉදිරිපත් කිරීම, සංචාරක සටහන්, විදෙස් තොරතුරු ආදිය ගෙන ඒම වැනි දේවල් එහි දැකිය හැකි ය. ඇතැමෙක් විවිධාකාර ඡායාරූප ගෙන එති. ප‍්‍රවෘත්ති හෝ එදිනෙදා තොරතුරු ගෙන එන වෙබ්, බ්ලොග් හෝ ෆේස් බුක් පිටු හැරුණු විට, නව මාධ්‍යයෙහි වැඩිපුරම දක්නට ලැබෙන්නේ, දේශපාලනික, සමාජමය, සංස්කෘතික, හෝ වෙන යම් ප‍්‍රවණතා පිළිබඳ විචාර, අදහස් හෝ මති මතාන්තර එළිි දැක්වීම් ය. මේ ආකාරයේ අදහස් ප‍්‍රකාශනවලට සම්මත ධාරාවේ මාධ්‍ය තුළින් එතරම් ඉඩක් නො ලැබේ. එහෙත් නව මාධ්‍යයේ දී ඒ සඳහා පුළුල් ඉඩකඩක් විවරකර ගෙන ඇති අයුරු පෙනෙයි.
 

අන්තර්ජාල මාධ්‍ය බොහොමයක, එය හසුරුවන්නා හෝ ප‍්‍රකාශයට පත් කරන්නා කවුරුන් ද? යන්න මෙන්ම, ඔහුගේ ඊමේල් ලිපිනය ද  පැහැදිලිව දක්වා තිබේ. එහෙත් සමහර අඩවිවල එබඳු විස්තරයක් නැත. අන්තර්ජාලයේ හමුවන අඩවි විශාල සංඛ්‍යාවක හසුරුවන්නෝ අන්වර්ථ නම්වලින් පෙනී සිටිති. (එය අන්තර්ජාල මාධ්‍යයේ සම්ප‍්‍රදායක් වන්නට ද පුළුවන) එසේම පළ කරන පුවතට හෝ ලිපියට ප‍්‍රතිචාර දැක්වීමේ කවුළුව හැරෙන්නට, අඩවිය හසුරුවන්නා සමග ගනුදෙනු කළ හැකි ක‍්‍රමයක් ඒවායෙහි පෙන්වා නැත. සමහර අන්තර්ජාල අඩවි මෙසේ අන්වර්ථ නම්වලින් පෙනී සිටිමින් ඇති පදම් විවේචන එල්ල කරති. යම් යම් පුද්ගලයන්ට හිතූ සේ මඩ ගසති. අතිශයින්ම අන්තවාදී ලෙස අදහස් පළ කරති. කොටින්ම මෙය, සැඟවී සිට මුළු සමාජයටම ගල් ගසන්නාක් බඳු අමුතු තත්ත්වයකි.
 

ලියුම්කරුගේ අදහස, මෙය නෛතිකව බලපාන කාරණයක් බවයි. මෙබඳු අඩවියකින් යමෙකුට අනර්ථයක් වුව හොත්, ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමේ සෘජු හැකියාවක් නැත. ඒ, අඩවිය හසුරුවන්නෙක් හෝ ලිපිනයක් සොයා ගත නො හැකි බැවිනි. එහෙත් සම්මත ධාරාවේ මාධ්‍ය තුළ තත්ත්වය වෙනස් ය. ඒවායෙහි කර්තෘවරු හෝ සංස්කාරකවරු ප‍්‍රසිද්ධියේ පෙනී සිටිති. ප‍්‍රකාශකවරු සිටිති. ආයතන ප‍්‍රධානීහු සිටිති. පුවත්පත් ක්ෂේත‍්‍රයේ නම්, නෛතික වගකීම ඇත්තේ කර්තෘ, ප‍්‍රකාශක හා මුද්‍රණකරුට ය. ඒ තොරතුරු සඟවන ප‍්‍රකාශන ‘කැලෑ පත්තර’ ලෙස  සලකති! මාධ්‍ය අයතන, ‘නෛතික පුද්ගලයන්’ සේ පෙනී සිටින බැවින්, යමෙකුට අනර්ථයක් වුව හොත්, ඊට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට පුළුවන. නව මාධ්‍ය ධාරාවේ දැනට, එවන් තත්ත්වයක් දක්නට නැත.
 

අනෙක, අන්තර්ජාලයේ එන ‘ලිහිල’ නිසා යමෙකුට ව්‍යාජ අඩවි ඇරඹීමට ද පුළුවන. ෆේස් බුක් ගිණුම් බොහොමයක් මෙසේ ව්‍යාජව පවත්වා ගෙන යන බව ද නො රහසකි.
 

සම්මත ධාරාවේ මාධ්‍ය, ‘මාධ්‍ය ආයතන’ වශයෙන් පවත්වා ගෙන යන  බව මීට පෙර ද සඳහන් කළෙමි. එබැවින් එවන් මාධ්‍ය ආයතනයක්, නිතැතින්ම සාමූහික කටයුත්තක් බවට පත් වේ. ඒවාට යම් යම් ප‍්‍රතිපත්ති සහ න්‍යාය පත‍්‍ර තිබේ. ඒවා ඔවුන්ගේ හාම්පුතුන්ගේ මතා මතාන්තර හෝ වෙළෙඳ මති මතාන්තර නියෝජනය කරන බව ඇත්ත ය. එසේ වුව ද ඒවායෙහි යම් ‘පොදු බවක්’, එනම් සමාජ ගෝචර බවක් දැකිය හැකි ය. එහෙත් නව මාධ්‍යයෙහි සියලූ කාරණා තීන්දු වන්නේ, එය හසුරුවන්නාගේ දැක්ම හෝ මති මතාන්තර අනුව පමණි. ඔහුගේ දැක්ම සමාජ ගෝචර වුව හොත් නම් හොඳ ය!
කෙසේ වෙතත් නව මාධ්‍ය ධාරාවේ එන බොහොමයක් අන්තර්ජාල අඩවි, ඉතාමත් ප‍්‍රශස්තව පවත්වා ගෙන යනු පෙනෙයි. ඒවායෙහි අඩවිය හසුරුවන්නා කවුරුන් ද?, ඊමේල් ලිපිනය කුමක් ද ආදී විස්තර ප‍්‍රසිද්ධියට පත්කර තිබේ. එසේම  ඉන් යමෙකුට අනර්ථයක් වුව හොත්, ඒ සම්බන්ධව කටයුතු කිරීමට ද ඉඩ සලසා ඇත. එහෙත් නව මාධ්‍ය රැල්ලේ බොහොම දෙනෙක් එසේ නො වෙති!
 

බස හා ස්වභාවය
ප‍්‍රවෘත්ති හෝ එදිනෙදා සිද්ධීන් මෙන්ම පෞද්ගලික තොරතුරු හුවමාරුව ද හැරුණු විට, නව මාධ්‍ය බහුතරයක් වෙන්ව තිබෙන්නේ ‘අදහස් දැක්වීම්වලට’ ය. මින් වැඩි හරියක් ‘බ්ලොග් අඩවි’ වේ. ඉන් අඩවි වැඩි සංඛ්‍යාවක්, පුවත්පත් ලෝකයේ එන ‘තීරු ලිපි’ හෝ ‘විචිත‍්‍රාංග (කලර් ස්ටෝරි) සිහි ගන්වයි.  තීරු ලිපි හෝ විචිත‍්‍රාංග රචනයේ දී ‘වාර්තා බස’ යොදා නො ගැනේ. එහි දී ඊට එහා ගිය අලංකාර බස් වහරක් භාවිත කිරීම සිරිතයි. අන්තර්ජාලයේ හමු වන එබඳු අඩවි බොහොමයක්, ඉතා විචිත‍්‍රවත් බස්  වහරක් සහ අපූර්ව රචනා ශෛලියක් භාවිත කරනු පෙනෙයි. ඉන් ඇතැමෙකුගේ ලියැවිල්ලක රස, පුවත්පත් ලෝකයේ පවා දැකීම උගහට ය. ඇතැමෙක් සදය උපහාසයෙන් මනරම් ලියැවිලි ඉදිරිපත් කරනු පෙනෙයි. නව මාධ්‍ය ධාරාවේ හමු වන මේ ලක්ෂණය චමත්කාරජනක ය. පොදුවේ ගත් කල, නව මාධ්‍යවල තොරතුරු හැසිරවීම ඉතා නිදහස් ආරක් මතු කරනු දැකිය හැකි ය.
 


තත්ත්වය මෙසේ වුව ද, ඇතැම් අඩවිවල ක‍්‍රියාකාරිත්වය බෙහෙවින්ම අවුල් සහගත ය. ඒ අය ස්ත‍්‍රී දූෂණ පුවතක් පළ කරන විට, එය නාටකීය ලෙස උත්කර්ෂයට නංවා ලියති. දේශපාලනික කාරණයක දී ප‍්‍රති විරුද්ධ පාර්ශවයන්ට හැකි උපරිමයෙන් අපහාස කරති. එක්තරා ජනප‍්‍රිය පැරණි ප‍්‍රවෘත්ති වෙබ් අඩවියක්, සැමවිටම භාවිත කරන්නේ ඉතාමත් වෛරී භාෂාවකි. ඉතා ජනප‍්‍රිය තවත් ප‍්‍රවෘත්ති වෙබ් අඩවියක්, සිය ප‍්‍රවෘත්තිවලට ලැබෙන ඉතාමත් අසැබි වදන් ඇතුළත් ‘කොමෙන්ටු’ එලෙසින්ම පළ වන්නට හැර නිහඬව සිටිනු පෙනෙයි. යම් යම් දේශපාලන නායකයන්ට මෙන්ම නිළියන්ට ද අපහාස නම් පටබඳිති. ප‍්‍රසිද්ධියේ කියන්නට බැරි තරම් නො සරුප් වදන් පවා සිය ප‍්‍රවෘත්ති කොපිවලට බහාලන අඩවි ද තිබේ!
 

මෙබඳු නො සරුප්, හැපිචෝල්කාර හැසිරීම්, අන්තර්ජාලය තුළ චමත්කාරජනක නව සන්නිවේදන අාරක් පුබුදු කළ ‘ඊ පරම්පරාවේ’ අඩවිකරුවන්ට ද අපහාසයකි. දැන් නව මාධ්‍ය, ප‍්‍රබල ප‍්‍රසිද්ධ සන්නිවේදන ධාරාවක් බවට පත් වෙමින් යන බැවින් මේවා නුසුදුසු හෝ, සමාජ ගෝචර නො වන ලක්ෂණ බව පිළිගත යුතුව තිබේ.
සුළු පිරිසක් හැරුණු විට, අන්තර්ජාල මාධ්‍ය ධාරාවේ වැඩි දෙනෙකුට ප‍්‍රශස්ත බස් වහරක් දක්නට නැත. සමහරු අන්‍යයන් කොපි කරන බව පෙනේ. හොඳ බසක් නැතත්, ඔවුහු තම අදහස් අකුරු කරන්නට කැමැත්තෝ ය. ඇතැමුන් ‘ඇසේ පැළවෙන
සංකල්ප රූප මවන්නට දක්ෂයෝ ය. එය අගය කළ යුතු ලක්ෂණයකි.
 

අන්තර්ජාල මාධ්‍යයෙහි වෙනස් ශෛලියක්, වෙනස් ක‍්‍රම රටාවක් ඇති වීම නරක දෙයක් නොවේ. එහෙත් එය ජන සමාජයෙහි, සංස්කෘතියෙහි මෙන්ම භාෂාවෙහි ද පිරිහීමක්, පිළිකුලක් හෝ මදාවි ස්වරූපයක් ජනිත කරවන්නක් නො විය යුතුය යන්න, ලියුම්කරුගේ කල්පනාවයි.
 

අන්තර්ජාල නව මාධ්‍යය තුළ සමාජ ගෝචර, සංවර සම්පන්න හෝ ජන සන්නිවේදනය ගැන, යම් දැනුවත් භාවයක් සහිත මාධ්‍යකරණයක් දැකිය හැක්කේ අල්ප වශයෙනි. 2015 වසරේ ඔක්තෝබර් මාසයේ දිගහැරුණු, කොටදෙනියාවේ ‘සේයා’ දැරියගේ් ඝාතනය සම්බන්ධයෙන් ඇතැම් අන්තර්ජාල මාධ්‍ය හැසිරුණු ආකාරය ඊට හොඳම නිදසුනයි. ඔවුන් ඒ සම්බන්ධයෙන් මුදා හැරියේ ප‍්‍රසිද්ධ මාධ්‍යයකට නො තරම්වන දේවල් ය. ඇත්තටම ඒ සියල්ල හෙළි කළ යුතු ද? යන්න, මෙහි දී මතුවන ගැටළුවයි.
(මතු සම්බන්ධයි.)

2016.02.16.








2 comments:

  1. හොඳ ලිපියක්.විස්තරාත්මකව එහෙත් කාටත් තේරෙන අන්දමින් ලියා තියෙනවා. අනුගමනය කල යුතු මාර්ගෝපදේශ බොහොමයක් තියෙනවා.
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ලිපි පෙළම කියවන්න. මෙය 05 වැනි කොටසයි. තව 02ක් එනවා. ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete